ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 පෙබරවාරි 26-30 පි.
  • එයාලාගේ විශ්වාසේ තරම මං දැක්කා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එයාලාගේ විශ්වාසේ තරම මං දැක්කා
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බෝම්බ, පතොරම් පිරුණු අයර්ලන්තය
  • විශ්වාසයෙන් පොහොසත් සියරා ලියොන්
  • නයිජීරියාවේදී අලුත්ම සංස්කෘතියක්
  • කෙන්යාවේ සහෝදරයන් ගොඩක් ඉවසුවා
  • ඇමරිකාවේ ධන සම්පත් මැද විශ්වාසය
  • යෙහෝවා දෙවි මාව ඉසිලුවා
    2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • දූවිල්ලේ බඩ ගාපු මාව යෙහෝවා උස්සලා ගත්තා
    යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත කතා
  • “ඔයාට සවන් දෙන අයට ගැලවීම” ලැබෙයි
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යය මගේ ජීවිතය හැඩගැස්වුවා
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 පෙබරවාරි 26-30 පි.
රොබට් ලැන්ඩීස්.

ජීවිත කතාව

එයාලාගේ විශ්වාසේ තරම මං දැක්කා

රොබට් ලැන්ඩීස්

ජීවිතේ සමහර සිද්ධි අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ වගේ දෙයක් මීට අවුරුදු 50කට විතර කලින් මටත් සිද්ධ වුණා. දවසක් කෙන්යාවේදී මං යාළුවෙක් එක්ක ගිනිමැලයක් ළඟ වාඩි වෙලා ෆිල්ම් එකක් ගැන කතා කරකර හිටියා. ඒකේ ආගම ගැනත් තිබුණා. යාළුවා එකපාරටම කිව්වා “ඒකේ බයිබලේ ගැන තිබ්බ දේවල් නං පට්ටපල් බොරු” කියලා.

ඕක අහලා මට බක බක ගාලා හිනා ගියා. මං දන්නවානේ මිනිහාගේ ආගම් ඇදහිල්ල. මං ඇහුවා “ඔයා මොනවාද බයිබලේ ගැන දන්නේ” කියලා. එවෙලේ මුකුත් නොකිව්වාට පස්සේ එයා කිව්වා එයාගේ අම්මා සාක්ෂිකරුවෙක් කියලා. ඉතිං බයිබලේ ගැන දන්න ටික මටත් කියන්න කියලා මං එයාට කරදර කළා.

කොහොමහරි ඔය සාකච්ඡාව මහ රෑ වෙන කල්ම ගියා. එයා කිව්වා මේ ලෝකේ පාලනය කරන්නේ සාතන් කියලා. (යොහ. 14:30) ඒක අහද්දී කරකවලා අතහැරියා වගේ මට දැනුණේ. මොකද මං හිතං හිටියේ ලෝකේ පාලනය කරන්නේ දෙවියන් කියලා. ඒත් එහෙම එකක් නං පේන්න තිබුණේ නෑ තමයි. මොකද ඒ වෙද්දී මට වයස 26ක් වුණාට ලෝකේ වෙන දේවල් දැකලා මං කලකිරිලා හිටියේ.

අපේ තාත්තා ඇමරිකාවේ ගුවන් හමුදාවේ පයිලට් කෙනෙක්. ඒ නිසා මං දැනන් හිටියා ඕනම වෙලාවක න්‍යෂ්ටික යුද්ධයක් ඇති කරන්න එයාලට එක බොත්තමයි ඔබන්න තිබුණේ කියලා. මං කැලිෆෝනියාවේ ඉගෙනගන්න කාලේ යුද්දේ අඳුරු සෙවණැලි වියට්නාමයට වැටෙන්න පටන්ගත්තා. ඔය කාලෙම මාත් ශිෂ්‍ය සංගම්වලට බැඳුණා. අරගල කළා. ඒ දවස්වල පොලිසිය බැටන් පොලු අරන් අපේ පස්සෙන් පන්නගත්ත ගමන්මයි. ඔය අස්සේ කඳුළු ගෑසුත් ගහනවා. අපි ඉතිං පණ එපා කියලා දුවනවා. ඒක නං මහ අඳුරු කාලයක්. දේශපාලනඥයන්ව මරනවා, මිනිස්සු කැරලිගහනවා, පෙළපාළි යනවා. හැමෝටම තිබුණේ එක එක මත. හරියට සුළිකුණාටුවක් ඇවිල්ලා හැම දේම අවුල් වෙලා වගේ.

රොබට් මෝටර් සයිකලේ ළඟ හිටගෙන එයා ගිය තැන් පෙන්නන සිතියමක් පෙන්නගෙන ඉන්නවා.

ලන්ඩන්වල ඉඳන් මධ්‍යම අප්‍රිකාවට

1970දී මං ඇලස්කාවට ගිහින් හොඳට හම්බ කළා. ඊටපස්සේ මං ගියේ එංගලන්තෙට. එහේදී මං මෝටර් සයිකලේකුත් අරන් ඔහේ රටවල් පහු කරගෙන ගියා. මාස ගාණකට පස්සේ නතර වුණේ අප්‍රිකාවේ. ප්‍රශ්නවලින් මිදිලා මං වගේම නිදහස හොයන හුඟක් අයව ඔය අතරේ මට හම්බ වුණා.

මේ ලෝකේ පාලනය කරන්නේ සාතන් කියන දේ කොච්චර ඇත්තද කියලා මට තේරුණා. ඒත් මං කල්පනා කළා ‘සාතන් නං ලෝකේ පාලනය කරන්නේ, දෙවියන් මොනවාද කරන්නේ’ කියලා.

මාස කීපෙකින් මට ඒකට උත්තරේ හම්බ වුණා. ඊටපස්සේ ගෙවුණ අවුරුදු ගාණ පුරාම දෙවියන්ට ආදරේ කරන හුඟක් අයව අඳුරගන්න මට පුළුවන් වුණා. ප්‍රශ්න මැද වුණත් එයාලාගේ විශ්වාසේ තරම මං දැක්කා.

බෝම්බ, පතොරම් පිරුණු අයර්ලන්තය

මං ආයේ ලන්ඩන්වලට ආවාම මගේ යාළුවාගේ අම්මාව හම්බ වෙන්න ගියා. එයා මට බයිබලයක් දුන්නා. ඊටපස්සේ මං ගියේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්වලට. එහෙදී මං පාර අයිනේ බයිබලේ කියව කියව ඉද්දී සාක්ෂිකරුවෙක් මාව දැක්කා. එයා මට බයිබලේ ගැන තව ගොඩක් දේවල් කිව්වා. ඊටපස්සේ මං අයර්ලන්තයේ ඩබ්ලින්වලට ගියා. මං එහේ බෙතෙල් එකට ගියාම මට සහෝදර ආතර් මැතිව්ස්ව හම්බ වුණා. ඊටපස්සේ එයා තමයි මාත් එක්ක පාඩම කළේ.

ඒ කාලේ බයිබලේ ඉගෙනගන්න මට පුදුම ආසාවක් තිබ්බේ. ඒ නිසා මං ආසාවෙන් පාඩම කළා. සාක්ෂිකරුවන්ගේ හැම පොතක්ම වගේ කියෙව්වා, බයිබලෙත් කියෙව්වා. දැන උගත් මිනිස්සු පවා සියවස් ගාණක් තිස්සේ කල්පනා කරලා තියෙනවා ‘ඇයි මෙච්චර දුෂ්ටකම් වෙන්නේ? දෙවියන් කවුද? මැරුණට පස්සේ වෙන්නේ මොනවාද’ කියලා. මං රැස්වීම් ගියාම දැක්කා පොඩි ළමයි පවා ඒවාට උත්තර දෙනවා. යෙහෝවාව අඳුරගෙන ඔහු ගැන ආදරයක් ඇති කරගන්න සාක්ෂිකරුවෝ මට ගොඩක් උදව් කළා.

නයිජල්, ඩෙනිස් සහ මං

1972දී මං බව්තීස්ම වුණා. ඊට අවුරුද්දකට පස්සේ මං පුරෝගාමි පටන්ගත්තා. ඒත් එක්කම අයර්ලන්තයේ උතුරට වෙන්න තිබුණ නිව්රිවල පුංචි සභාවකට උදව් කරන්නත් ගියා. එහෙදී මං හිටියේ කඳුකර පැත්තක තිබුණ කුලියට ගත්ත පුංචි ගේ කෑල්ලක. ඒකට එහා පැත්තේ වත්තේ හුඟක් හරක් හිටියා. මං දේශනයක් පුරුදු වෙද්දී උන් තමයි මගේ සබය වුණේ. උන් ඉතිං තණකොළ ටිකත් හපහප හොඳට අහන් හිටියා. උන් මට දියුණු වෙන්න පැත්තක් පෙන්නුවේ නැති වුණාට සබයක් ඉස්සරහා කතා කරන්න තිබ්බ බය අඩු කරගන්න නං උදව් කළා. 1974දී මට විශේෂ පුරෝගාමි ලැබුණා. ඊටපස්සේ මං සේවේ කළේ නයිජල් පිට් කියලා සහෝදරයෙක් එක්ක.

ඒ කාලේ උතුරු අයර්ලන්තය හරිම නොසන්සුන්. සමහරු එහෙට කිව්වේ “බෝම්බ, පතොරම් පිරුණු දේශය” කියලා. මිනිස්සු ගහගන්න එක, වෙඩි තියාගන්න එක, කාර්වල බෝම්බ පුපුරවන එක සාමාන්‍යයයි. ඒ ප්‍රශ්නවලට දේශපාලනය වගේම ආගමුත් පැටලිලා තිබුණා. හැබැයි කතෝලික සහ රෙපරමාදු අය දැනන් හිටියා සාක්ෂිකරුවෝ පැති ගන්නේ නෑ කියලා. ඒ නිසා අපේ සේවේට නං ප්‍රශ්නයක් තිබුණේ නෑ. මිනිස්සුත් අපිට ගොඩක් උදව් කළා. එයාලා ප්‍රශ්න තියෙන පැතිවලට අපිට යන්න දුන්නේ නෑ.

දවසක් මායි, ඩෙනිස් කැරිගන් කියලා සහෝදරයෙකුයි ළඟපාත නගරෙක සේවේ ගියා. එහේ සාක්ෂිකරුවෝ හිටියේ නෑ. අපි සේවේ කරන් යද්දී කඩේක හිටපු ගෑනු කෙනෙක් කෑගහන්න ගත්තා අපි ඔත්තු බලන්න ආපු එංගලන්ත හමුදා සෙබළු කියලා. ඒ අපි භාෂාව කතා කරපු විදිහ වෙනස් නිසා වෙන්න ඇති. ඒක අහලා අපි හොඳටම බය වුණා. මොකද ඒ චෝදනාව නිසා අපිට වෙඩි තියලා මරන්න වුණත් ඉඩ තිබුණා. කොහොමහරි අපි බස් එක එන කල් ඉද්දී දැක්කා කඩේ ගාව කාර් එකක් නවත්තනවා. ඒකේ හිටපු මිනිස්සු දෙන්නාට ඒ ගෑනු කෙනා අපිව පෙන්නලා මොනවාදෝ කිව්වා. ඊටපස්සේ ඒ දෙන්නා අපි ළඟට ඇවිල්ලා බස් එක එන වෙලාව ගැන බොරුවට ප්‍රශ්න අහන්න පටන්ගත්තා. ටිකකින් බස් ඇවිත් අපි ටක් ගාලා ඒකට නැග්ගා. බස් එකේ කවුරුත්ම හිටියේ නෑ. ඔය අතරේ අපි දැක්කා ඒ දෙන්නා ඩ්‍රයිවර්ටත් මොන මොනවාදෝ කියනවා. අපිට හීන් දාඩිය දැම්මා. අපි හිතුවා අපි දෙන්නා ඉවරයි කියලා. හැබැයි හිතුවා වගේ මුකුත් වුණේ නං නෑ. ඊටපස්සේ අපි බස් එකෙන් බහිද්දී මං ඩ්‍රයිවර්ගෙන් ඇහුවා “අර මහත්තුරු අපි ගැනද කිව්වේ” කියලා. එතකොට ඩ්රයිවර් කිව්වා “ආ නෑ නෑ, මහත්තයලා බය වෙන්න එපා. මං ඔයාලා ගැන දන්නවානේ. මං එයාලට කියන්න ඕන ටික කිව්වා” කියලා.

රොබට් සහ පෝලීන් කසාද බැන්ද දවස.

1977 මාර්තුවල අපි කසාද බැන්දා

1976දී ඩබ්ලින්වල තිබ්බ දිස්ත්‍රික් සමුළුවකදීa මට පෝලීන් ලෝමැක්ස් කියන සහෝදරියව හම්බ වුණා. එයා එංගලන්තයෙන් ඇවිල්ලා හිටපු විශේෂ පුරෝගාමියෙක්. පෝලීන් යෙහෝවා එක්ක හොඳ බැඳීමක් තිබ්බ, නිහතමානී, ආදරණීය කෙනෙක්. එයාගේ මල්ලිගේ නම රේ. එයාලා පුංචි කාලේ ඉඳලාම සත්‍යයේ. කොහොමහරි අවුරුද්දකට විතර පස්සේ පෝලීනුයි, මායි කසාද බැන්දා. ඊටපස්සේ අපි උතුරු අයර්ලන්තයේ බැලිමීනාවල විශේෂ පුරෝගාමි සේවේ කළා.

කාලෙකට පස්සේ අපි බෙල්ෆාස්ට්වල, ලන්ඩන්ඩරිවල සහ තවත් හුඟක් භයානක පැතිවල චාරිකා සේවේ කළා. ඒ පැතිවල හිටපු සහෝදරයෝ කලින් බොරු ආගම්වල බැහැගෙන හිටපු, අනිත් අයව පහත් කරපු, කේන්තියෙන්, වෛරයෙන් වැඩ කරපු අය. ඒත් එයාලා යෙහෝවාගේ උදව්වෙන් ජීවිත වෙනස් කරගෙන තිබුණා. එයාලාගේ විශ්වාසය දැකලා අපිත් ගොඩක් දිරිගැන්වුණා. එයාලට යෙහෝවා ආශීර්වාද කරපු විදිහ, එයාලව ආරක්ෂා කරපු විදිහ අපි ඇස් දෙකෙන්ම දැක්කා.

මං අයර්ලන්තයේ අවුරුදු 10ක් සේවේ කළා. 1981දී අපිට 72වෙනි ගිලියද් පාසැලට ආරාධනයක් ලැබුණා. ඒකෙදී අපිට පැවරුම ලැබුණේ බටහිර අප්‍රිකාවේ සියරා ලියොන්වලට.

විශ්වාසයෙන් පොහොසත් සියරා ලියොන්

සියරා ලියෝන්වල අපි හිටියේ මිෂනාරි නිවසක. ඒකේ අපිත් එක්ක තව ආදරණීය සහෝදර සහෝදරියන් 11දෙනෙකුත් හිටියා. අපි හැමෝටම තිබ්බේ එක කුස්සියයි, ටොයිලට් තුනයි, ටෙලිෆෝන් එකයි, වොෂින් මැෂින් එකයි, ඩ්‍රයර් එකයි. එහේ සැරින් සැරේ කරන්ට් එකත් යනවා. ඒ වගේම වහලේ මීයන්ගේ රාජධානියක්. පොළොවෙන් යට තිබ්බ තට්ටුව නයි ගුහාවක්.

රොබට් අනිත් අයත් එක්ක මෝටර් සයිකලුත් අරන් පාරුවකින් ගඟෙන් එගොඩ වෙනවා.

ගිනියාවේ සමුළුවකට යන්න ගඟෙන් එගොඩ වෙද්දී

එහේ ජීවිතේ එච්චර සැප පහසු නෑ. හැබැයි සේවෙන් අපි ලොකු සතුටක් ලැබුවා. ඒ අය සත්‍යයට හරි උනන්දුයි. හුඟදෙනෙක් අපිත් එක්ක බයිබලේ පාඩම් කළා. ඒ කාලේ ගමේ මිනිස්සු අපිට කිව්වේ “රොබට් මහත්තයායි, රොබට් නෝනායි” කියලා. හැබැයි පස්සේ මට බෙතෙල් වැඩ නිසා වෙනදා තරම් සේවේ යන්න බැරි වුණා. ඊටපස්සේ මිනිස්සු අපිට කිව්වේ “පෝලීන් නෝනායි, පෝලීන් මහත්තයායි” කියලා. පෝලීන්ටත් ඉතිං හරි හිනා.

රෝබට් සහ පෝලීන් එයාලාගේ වාහනේ ළඟ හිටන් ඉන්නවා.

සියරා ලියොන්වල ඈත පැතිවලට සේවේ ගිහින්

එහේ අය දුප්පත් වුණත් දෙවියන් හිතාගන්න බැරි විදිවලින් එයාලව රැකබලා ගත්තා. (මතෙ. 6:33) එහේ එක සහෝදරියක් හිටියා. දවසක් එයාගේ අතේ තිබ්බේ එයාටයි, ළමයි ටිකටයි එදා වේල පිරිමහගන්න ඕනෙ ගාණ විතරයි. හැබැයි එයාට දැනගන්න ලැබුණා මැලේරියාව හැදුණ සහෝදරයෙක්ට බෙහෙත් ගන්න සල්ලි නෑ කියලා. ඉතිං එයා ඒ සල්ලි ටික ඒ සහෝදරයාට දුන්නා. හැබැයි දන්නවාද මොකද වුණේ කියලා? එදාම එක ගෑනු කෙනෙක් ආවා මේ සහෝදරියට කියලා එයාගේ කොණ්ඩේ කපාගන්න. ඒ විදිහට යෙහෝවා එයාට එදා දවසට ඕන කරන මුදල ලැබෙන්න සැලැස්සුවා. ඔය වගේ සිද්ධි එහේ ඕන තරම් වෙනවා.

නයිජීරියාවේදී අලුත්ම සංස්කෘතියක්

අපි සියරා ලියොන්වල අවුරුදු නවයක් සේවේ කළා. ඊටපස්සේ අපිට පැවරුම ලැබුණේ නයිජීරියාවට. එහේ බෙතෙල් එක ගොඩක් ලොකුයි. එහෙදීත් මං කළේ කලින් කරපු පැවරුමමයි. ඒත් පෝලීන්ට නං ඒක ලොකු වෙනසක්. මොකද එයා ගෙයින් ගෙට ගිහින් පැය 130ක් විතර සේවේ කරපු කෙනෙක්. එයාට හොඳ පාඩමුත් තිබුණා. හැබැයි දැන් එයාට දවසම කරන්න තියෙන්නේ බෙතෙල් පවුලේ අයගේ ඇඳුම්වල අඩුපාඩු හදන එක. ඒකට හැඩගැහෙන්න එයාට සෑහෙන කාලයක් ගියා. හැබැයි එයාට පස්සේ තේරුණා හැමෝම එයා කරන දේ ගොඩක් අගය කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි බෙතෙල් පවුලේ අයව දිරිගන්වන්න පුළුවන් කොහොමද කියලත් එයා හැම වෙලේම හිතුවා.

නයිජීරියාවේ සංස්කෘතිය අපිට එහෙම්පිටින්ම අලුත්. දවසක් සහෝදරයෙක් බෙතෙල් එකට අලුතෙන් ආපු සහෝදරියක්ව මගේ ඔෆිස් එකට එක්කන් ආවා. එයාට මං අතට අත දෙන්න ගියාම එයා එකපාරම මගේ කකුල් දෙක ගාව වැඳ වැටුණා. එවෙලේ මගේ ඔළුවට එකපාරම ආවේ ක්‍රියා 10:25, 26යි, එළිදරව් 19:10යි. මං කල්පනා කළා ‘මං දැන් මොකද කරන්නේ, මං එයාට කියනවාද ඕක කරන්න එපා’ කියලා? ඒත් මට හිතුණා ‘එහෙම වෙන්න බෑනේ, මෙයා ප්‍රතිපත්ති දන්න කෙනෙක්නේ’ කියලා.

පස්සේ තමයි මං දැනගත්තේ ඒක එයාලා සාමාන්‍යයෙන් කරන දෙයක් කියලා. ගෑනු, පිරිමි දෙගොල්ලොම ඒක කරන්නේ නමස්කාර කරන්න නෙවෙයි, තව කෙනෙක්ට ගෞරව කරන්න. අතීතයේ හිටපු දෙවියන්ගේ සේවකයනුත් එහෙම කරලා තියෙනවා. (1 සාමු. 24:8) හොඳ වෙලාවට එදා මං කට ඉස්සර කරගත්තේ නැත්තේ. නැත්නම් පව් අර අසරණ සහෝදරියත් අපහසුතාවයට පත් වෙනවා.

අවුරුදු ගාණක් යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කරපු හුඟදෙනෙක්ව අපිට නයිජීරියාවේදී හම්බ වුණා. ඒ වගේ එක් කෙනෙක් තමයි අයිසේ ආඩාග්බෝන.b එයාට සත්‍යය හම්බ වුණේ තරුණ කාලේදී. හැබැයි ඊටපස්සේ එයාට ලාදුරු හැදිලා එයා ලාදුරු කොලනියකට ගියා. එයා විතරයි එහේ සාක්ෂිකරුවෙක්ට හිටියේ. එයාට විරුද්ධවාදිකම් ආවත් එයා එක්ක පාඩම් කරපු 30දෙනෙක්ටත් වඩා බව්තීස්ම වුණා. කොලනිය ඇතුළේ එයා සභාවකුත් පිහිටෙව්වා.

කෙන්යාවේ සහෝදරයන් ගොඩක් ඉවසුවා

කෙන්යාවේදී රයිනෝ පැටියෙක් එක්ක

1996දී අපිව කෙන්යාවේ බෙතෙල් එකට යැව්වා. මං මුලින්ම කියපු සිද්ධියෙන් පස්සේ කෙන්යාවට ආපු පළවෙනි වතාව තමයි ඒ. එහෙදී අපිට හරි අමුතු විදිහේ අමුත්තෝ කට්ටියක් හම්බ වුණා. ඒ වර්වට් වඳුරෝ. උන් සහෝදරියන්ගේ අතේ තියෙන පලතුරු අරන් දුවනවා. දවසක් අපේ සහෝදරියකට බෙතෙල් කාමරේ ජනේලේ වහන්න බැරි වෙලා. එයා ආයේ එද්දී වඳුරු පවුලක් කාමරේ පාටියක් දානවා. ඒක දැකපු පාර අපේ සහෝදරී කෑගහගෙන එළියට දිව්වා. ඒත් එක්කම වඳුරොත් කෑගහගෙන ජනේලෙන් පැන්නා.

එහෙදී පෝලීනුයි, මායි ගියේ ස්වහීලී භාෂාව කතා කරන සභාවකට. ටික කාලෙකින් සහෝදරයෝ මට පොත් පාඩම (සභා බයිබල් පාඩම) භාර දුන්නා. හැබැයි ඒ වෙද්දීත් මට එහේ භාෂාව එච්චර බෑ. ඒත් පාඩමට හොඳට ලෑස්ති වෙන නිසා යාන්තමට ප්‍රශ්නේ අහගන්න පුළුවන්. හැබැයි කෙනෙක් අමතර අදහසක් දුන්නොත් නං මට මෙලෝ දෙයක් තේරුණේ නෑ. ඒත් සහෝදරයෝ ඒ පැවරුම වෙන කෙනෙක්ට දුන්නෙත් නෑ. එයාලා දිගටම ඉවසීමෙන් මට උදව් කළා.

ඇමරිකාවේ ධන සම්පත් මැද විශ්වාසය

1997දී අපිව නිව් යෝර්ක්වල බෘක්ලින් බෙතෙල් එකට යැව්වා. මෙහේ නං සල්ලිවලින් එහෙමයි කියලා කියන්න අඩුවක් නෑ. ඒත් එයාලට වෙනමම ප්‍රශ්න තියෙනවා. (හිතෝ. 30:8, 9) හැබැයි ඒ මොනවා වුණත් අපේ සහෝදරයන්ගේ විශ්වාසේ තරම අපි ඒ රටේදීත් දැක්කා. එයාලා එයාලාගේ කාලය, එයාලා ගාව තියෙන දේවල් පාවිච්චි කරන්නේ එයාලාගෙම දියුණුව වෙනුවෙන් නෙවෙයි, සංවිධානයේ දියුණුව වෙනුවෙන්.

ගෙවුණ අවුරුදු ගාණ පුරාවටම අපිට හුඟක් විශ්වාසවන්ත සහෝදරයන්ව හම්බ වෙලා තියෙනවා. අයර්ලන්තයේ කලකෝලහල මැද අපි එයාලාගේ විශ්වාසය දැක්කා. අප්‍රිකාවේ දුප්පත්කම, හුදෙකලාව මැද අපි එයාලාගේ විශ්වාසය දැක්කා. ධන සම්පත් පිරුණු ඇමරිකාවේදීත් අපි එයාලාගේ විශ්වාසය දැක්කා. මොන දේට මුහුණ දුන්නත් එයාලට යෙහෝවා ගැන ලොකු ආදරයක් තියෙනවා. ඔහු ස්වර්ගයේ ඉඳලා බලද්දී ඒක දැකලා කොච්චර සතුටු වෙනවා ඇද්ද!

පෝලීන් එක්ක වෝර්වික් බෙතෙල් එකේ

“රෙදි වියන උපකරණයක වේගය” වගේ කාලේ හරි ඉක්මනට ගෙවිලා ගියා. (යෝබ් 7:6) දැන් අපි ඉන්නේ වෝර්වික්වල තියෙන ලෝක මූලස්ථානයේ. මෙහේ ඉන්න අයත් අනිත් අයට ගොඩක් ආදරෙයි. එයාලාගේ විශ්වාසේ තරමත් අපි දකිනවා. ඒ විශ්වාසෙට අපේ රජ යේසුස් ක්‍රිස්තුස් ළඟදීම ආශීර්වාද කරනවා. (මතෙ. 25:34) පුංචිම විදිහකින් හරි අපේ රජට සහයෝගය දෙන්න ලැබුණ එක ලොකු වරප්‍රසාදයක්!

a තුන්දින සමුළුවලට ඉස්සර කිව්වේ දිස්ත්‍රික් සමුළු කියලා.

b සහෝදර අයිසේ ආඩාග්බෝනගේ ජීවිත කතාව 1998 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ සඟරාවේ 22-27 පිටුවල තියෙනවා. එයා 2010දී මිය ගියා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න