පාඩම් ලිපිය 48
අමාරු කාලවලදීත් විශ්වාසය නැති කරගන්න එපා!
‘“ධෛර්යවත් වෙන්න. මන්ද මම ඔබ සමඟ සිට ඔබට උපකාර කරන්නෙමි” කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි කියන්නේය.’—හග්. 2:4.
ගීතිකාව 118 “විශ්වාසය තවත් ශක්තිමත් කරන්න”
මේ ලිපියෙන්a
1-2. (අ) යෙරුසලමට ආපු යුදෙව්වන් සහ අපි අතර තියෙන සමානකම් මොනවාද? (ආ) යුදෙව්වන්ට තිබුණ අභියෝග ගැන කෙටියෙන් විස්තර කරන්න. (“හග්ගයි, සෙකරියා සහ එස්රා ජීවත් වුණ කාලය” කියන කොටුව බලන්න.)
‘මෙහෙම ගියොත් ඉස්සරහට මොනවා වෙයිද?’ සමහරවිට ඔයාත් එහෙම කල්පනා කරලා ඇති. ඔයා කරකර හිටපු රස්සාව නැති වුණා නම් ඔයා දහ අතේ කල්පනා කරනවා ඇති කොහොමද පවුලේ අයට කන්න අඳින්න දෙන්නේ කියලා. එහෙම නැත්නම් දේශපාලන ගැටුම් නිසා, සේවේදී එන විරුද්ධවාදිකම් නිසා පවුලේ අයගේ ආරක්ෂාව ගැන ඔයා වධ වෙනවා ඇති. ඔයාගේ තත්වයත් ඒක නම් අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ගෙන් ඔයාට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මොකද එයාලත් ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙද්දී ඒවායින් ජය ගන්න යෙහෝවා එයාලට හයියක් වුණා.
2 බැබිලෝනියේ ඉඳන් ආයෙත් යෙරුසලමට එන්න යුදෙව්වන්ට ලොකු විශ්වාසයක් තියෙන්න ඕනෙ වුණා. මොකද සමහරු මුළු ජීවිත කාලෙම ගෙවලා තිබුණේ බැබිලෝනියේ. එයාලට සිද්ධ වුණා එයාලා ගත කරපු සැප පහසු ජීවිතේ අත්හැරලා නන්නාඳුනන දේශයක අලුතින්ම ජීවිත ගොඩනඟාගන්න. මොකද යෙරුසලමට ආවාට පස්සෙත් යුදෙව්වන්ට ආර්ථික ප්‍රශ්නවලට, දේශපාලනික ගැටුම්වලට වගේම විරුද්ධවාදිකම්වලටත් මුහුණ දෙන්න වුණා. ඒ දේවල් නිසා සමහරුන්ට දේවමාලිගාව ඉදි කරන වැඩවලට අවධානය දෙන්නත් ලේසි වුණේ නැහැ. ඒ නිසයි යුදෙව්වන්ගේ උද්‍යෝගය වැඩි කරන්න ක්‍රි.පූ. 520දී විතර යෙහෝවා දෙවියන් හග්ගයිවයි, සෙකරියාවයි යැව්වේ. (හග්. 1:1; සෙක. 1:1) ඒ දෙන්නාගෙන් ලැබුණ දිරිගැන්වීම්වලින් අන්තිමේදී යුදෙව්වන්ගේ උද්‍යෝගය පණ ගහලා ආවා. හැබැයි ඊට අවුරුදු 50කට විතර පස්සේ යුදෙව්වන් ආයෙත් අධෛර්යය වුණා. ඒ නිසා නමස්කාරයට මුල් තැන දෙන්න යුදෙව්වන්ව දිරිගන්වන්න දෙවියන් නීතිය දක්ෂ විදිහට පිටපත් කරපු එස්රාව බැබිලෝනියේ ඉඳන් යෙරුසලමට එව්වා.—එස්රා 7:1, 6.
3. අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද? (හිතෝපදේශ 22:19)
3 යෙහෝවා දෙවියන් හග්ගයි සහ සෙකරියා මාර්ගයෙන් සෙනඟට සහතිකයක් දුන්නා මොන ප්‍රශ්නවලට මුහුණ දුන්නත් ඔහු එයාලත් එක්ක ඉන්නවා කියලා. අද අපි ප්‍රශ්නවලට මුහුණ දෙද්දී යෙහෝවා අපිටත් ඒ සහතිකයම දෙනවා. (හිතෝපදේශ 22:19 කියවන්න.) අපි මේ ලිපියෙන් යෙහෝවා දෙවියන් හග්ගයි සහ සෙකරියා මාර්ගයෙන් දුන්න පණිවිඩය ගැනත් එස්රාගේ ආදර්ශය ගැනත් බලනවා. ඒ ගැන බලද්දී අපි මේ ප්‍රශ්නවලට උත්තර හොයමු. යෙරුසලමට ආපු යුදෙව්වන්ට මුහුණ දෙන්න වුණේ මොන අභියෝගවලටද? මොන තරම් අමාරුකම් ආවත් දෙවියන්ගේ කැමැත්ත කරන එකට අපි අවධානය දෙන්න ඕනෙ ඇයි? ප්‍රශ්න මැද වුණත් යෙහෝවා අපිව අත්හරින්නේ නැහැ කියන විශ්වාසය තව වැඩි කරගන්න අපිට පුළුවන් කොහොමද?
හිතපු නැති අභියෝග ගොඩක්!
4-5. දේවමාලිගාව හදන්න යුදෙව්වන්ට තිබුණ උද්‍යෝගය නැති වුණේ ඇයි?
4 යෙරුසලමට ආපු යුදෙව්වන්ට කරන්න වැඩ කන්දරාවක් තිබුණා. එයාලා ආපු ගමන් ඉක්මනටම යෙහෝවා දෙවියන්ගේ පූජාසනය හදලා දේවමාලිගාවේ අත්තිවාරම දැම්මා. (එස්රා 3:1-3, 10) හැබැයි එයාලට තිබුණ උද්‍යෝගය අඩු වෙලා යන්න වැඩි දවසක් ගියේ නැහැ. ඇයි ඒ? මොකද එයාලට තිබුණේ දේවමාලිගාවේ වැඩ විතරක් නෙවෙයි. එයාලට සිද්ධ වුණා එයාලට ඉන්න ගෙවල් හදාගන්න, වගා කරන්න. ඒ වගේම පවුලේ අයව රැකබලා ගන්න. (එස්රා 2:68, 70) ඒ ඔක්කොටම වඩා එයාලට අමාරු වුණේ සතුරන්ගෙන් එන විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන එකයි. මොකද එයාලා ආයෙත් දේවමාලිගාව හදනවාට හුඟක් අය කැමති වුණේ නැහැ.—එස්රා 4:1-5.
5 යෙරුසලමට ආපු යුදෙව්වන්ට ආර්ථික ප්‍රශ්න වගේම දේශපාලනික ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න වුණා. මොකද එයාලාගේ දේශය තිබුණේ පර්සියානු අධිරාජ්‍යය යටතේ. ක්‍රි.පූ. 530දී පර්සියානු රජ වුණ සයිරස් මැරුණාට පස්සේ රජ විදිහට පත් වුණේ කැම්බිසස්. ඒ කාලේදී කැම්බිසස් රජ ඊජිප්තුවට විරුද්ධව යුධ මෙහෙයුමක් දියත් කළා. ගොඩක් වෙලාවට පර්සියානු හමුදාවේ සෙබළුන් යුද්ධයට යන ගමන් යුදෙව්වන්ට අණ කරන්න ඇති එයාලට අවශ්‍ය කෑම, වතුර, නවාතැන් දෙන්න කියලා. ඒකෙන් වුණේ යුදෙව්වන්ට තිබුණ ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න එකතු වුණ එකයි. කැම්බිසස්ගෙන් පස්සේ රජකමට පත් වුණේ පළවෙනි දාරියුස්. එයාගේ පාලන කාලේදී පර්සියානු අධිරාජ්‍යය ඇතුළේ මිනිස්සු හරියට කැරලිගැහුවා. ඉතින් මේ හැම දෙයක්ම යුදෙව්වන්ට හරිම දරුණු විදිහට බලපෑවා කියලා කිසිම සැකයක් නැහැ. මේ දේවල් නිසා පවුලේ අයට කන්න අඳින්න දෙන්නේ කොහොමද, එයාලව ආරක්ෂා කරන්නේ කොහොමද කියලා යුදෙව්වන් ගොඩක් කරදර වෙන්න ඇති. ඒ නිසයි සමහරු හිතන්න ඇත්තේ මේක දේවමාලිගාව ගොඩනඟන්න නියම කාලේ නෙවෙයි කියලා.—හග්. 1:2.
6. සෙකරියා 4:6, 7 කියන විදිහට යුදෙව්වන්ට මුහුණ දෙන්න වුණේ මොන අභියෝගයටද? සෙකරියා එයාලට දුන්න සහතිකය මොකක්ද?
6 සෙකරියා 4:6, 7 කියවන්න. යුදෙව්වන් මුහුණ දීපු තව ප්‍රශ්නයක් තමයි විරුද්ධවාදිකම්. ක්‍රි.පූ. 522දී යුදෙව්වන්ගේ සතුරන්ට පුළුවන් වුණා දේවමාලිගාවේ වැඩ නතර කරන්න කියලා රජ ලවා තහනමක් දාන්න. හැබැයි ඒ වෙලාවේ සෙකරියා යුදෙව්වන්ට සහතික කළා මොන විරුද්ධවාදිකම ආවත් මේ වැඩේ සාර්ථකව කරන්න යෙහෝවා දෙවියන් එයාලට උදව් කරනවා කියලා. ඉතින් සෙකරියා කිව්වා වගේම ක්‍රි.පූ. 520දී දාරියුස් රජ ඒ දාපු තහනම අයින් කළා. ඒ වගේම මිලමුදල් දීලා ආයෙත් වැඩ පටන්ගන්න කියලත් යුදෙව්වන්ට කිව්වා. ඒ විතරක් නෙවෙයි අවට ජාතීන්ගේ අධිපතීන්ටත් රජ අණ කළා යුදෙව්වන්ට උදව් කරන්න කියලා.—එස්රා 6:1, 6-10.
7. දෙවියන්ගේ කැමැත්ත කරන්න මුල් තැන දෙද්දී යුදෙව්වන්ට ලැබුණ ආශීර්වාද මොනවාද?
7 යෙහෝවා දෙවියන් හග්ගයි සහ සෙකරියා මාර්ගයෙන් පොරොන්දු වුණා යුදෙව්වන් දේවමාලිගාව ආයෙත් ගොඩනඟන වැඩේට මුල් තැන දෙනවා නම් ඔහු එයාලව බලාගන්නවා කියලා. (හග්. 1:8, 13, 14; සෙක. 1:3, 16) මේ වචනවලින් දිරිගැන්වුණ යුදෙව්වන් ක්‍රි.පූ. 520දී දේවමාලිගාව ඉදි කරන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි අවුරුදු පහකටත් වඩා අඩු කාලයක් ඇතුළත එයාලට පුළුවන් වුණා ඒකේ වැඩ ඉවර කරන්න. මේ විදිහට ප්‍රශ්න මැද්දේ වුණත් යුදෙව්වන් දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දීලා වැඩ කරපු නිසා යෙහෝවා එයාලට කිසිම දේකින් අඩුවක් වෙන්න තිබ්බේ නැහැ. ඒ වගේම ඔහුත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්නත් ඔහු එයාලට උදව් කළා. ඒ නිසා යුදෙව්වන්ට පුළුවන් වුණා දෙවියන්ට සතුටින් නමස්කාර කරන්න.—එස්රා 6:14-16, 22.
දිගටම දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දෙන්න
8. දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දෙන්න හග්ගයි 2:4 අපිට උදව් වෙන්නේ කොහොමද? (පාදසටහනත් බලන්න.)
8 මහත් පීඩාව දවසින් දවස ළං වෙද්දී වෙන කවදාටත් වඩා දේශනා කිරීමේ වැඩේ කොච්චර හදිස්සිද කියලා අපි දන්නවා. (මාක් 13:10) හැබැයි සමහර වෙලාවට ආර්ථික ප්‍රශ්න එද්දී, විරුද්ධවාදිකම් එද්දී දෙවියන්ගේ කැමැත්ත කරන එකට මුල් තැන දෙන්න අපිට අමාරු වෙන්න පුළුවන්. ඔයාත් ඉන්නේ ඒ වගේ තත්වයක නම් හග්ගයි කියපු මේ වචන මතක තියාගන්න. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි”b ඉන්නේ අපේ පැත්තේ. ඔව්, මොන ප්‍රශ්නේ ආවත් දේවරාජ්‍යයට දිගටම මුල් තැන දෙන්න යෙහෝවා දෙවියන්ගේ උදව් අපිට තියෙනවා. ඒ නිසා බය වෙන්න කිසිම හේතුවක් නැහැ.—හග්ගයි 2:4 කියවන්න.
9-10. මතෙව් 6:33 තියෙන වචන කොච්චර ඇත්තක්ද කියලා යුවළක් අද්දැක්කේ කොහොමද?
9 අපි දැන් ඔලෙග්ගේ සහ ඉරීනාගේc අද්දැකීම බලමු. එයාලා පුරෝගාමි සේවය කරපු යුවළක්. එයාලා තීරණය කළා වෙන පැත්තකට ගිහිල්ලා ටිකක් වැඩිපුර සේවේ කරන්න. හැබැයි රටේ ආර්ථිකය කඩන් වැටුණ හින්දා එයාලට රස්සාව නැති වුණා. අවුරුද්දක් විතර යන කල් එයාලට ස්ථිර රස්සාවක් හොයාගන්නත් බැරි වුණා. ඒත් යෙහෝවා දෙවියන් සහ සහෝදර සහෝදරියන් එයාලට උදව් කරපු විදිහ එයාලා අද්දැක්කා. වියදමට සල්ලි නැති වෙද්දී මුලින් නම් ඔලෙග් සෑහෙන්න අධෛර්යය වුණා. හැබැයි බලන්න එයා කියන දේ. “මොන දේ වුණත් අපි සේවේ නැවැත්තුවේ නෑ. ඒක අපි දෙන්නාට උදව් වුණා වඩා වැදගත් දේට මුල් තැන දෙන්න.” ඉතින් රස්සාවක් හොයන ගමන් ඒ දෙන්නා පුළුවන් උපරිමෙන් සේවේ ගියා.
10 දවසක් එයාලා සේවේ ගිහින් ගෙදර එද්දී එයාලාගේ යාළුවෙක් බඩු පුරෝපු බෑග් දෙකක් තියලා ගිහින් තිබුණා. ඒ යාළුවා ඇවිත් තිබුණේ කි.මී. 160ක (හැතැප්ම 100ක) විතර දුර ඉඳන්. ඒ ගැන ඔලෙග් මෙහෙම කියනවා. “යෙහෝවා අපි ගැන කොච්චර නං හිතනවාද, සහෝදරයෝ අපි ගැන කොච්චර වධ වෙනවාද කියලා එදාත් අපි අද්දැක්කා. මොන ප්‍රශ්නේ ආවත් බලාපොරොත්තු සුන් වෙලා පහත්ම අඩියට වැටිලා හිටියත් යෙහෝවා නං කවදාවත් ඔහුගේ සෙනඟව අත්හරින්නේ නෑ.”—මතෙ. 6:33.
11. දෙවියන්ගේ කැමැත්ත කරන්න මුල් තැන දෙනවා නම් අපිට ලැබෙන්නේ මොනවාද?
11 යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිස්සුන්ට උදව් කරන වැඩේට මුල් තැන දෙන්න කියලා යෙහෝවා අද අපෙනුත් ඉල්ලනවා. අපි හත්වෙනි ඡේදයේ බැලුවා වගේ හග්ගයි එදා හිටපු යුදෙව්වන්ගෙන් ඉල්ලුවා දේවමාලිගාව ගොඩනඟන වැඩේ ආයෙත් පටන්ගන්න කියලා. ඒක හරියට නමස්කාරයේ කටයුතුවලට අලුත් ආරම්භයක් දෙනවා වගේ. යෙහෝවා දෙවියන් එයාලට කිව්වා එහෙම කරලා “මා ඔබට ආශීර්වාද කරන හැටි බලන්න” කියලා. (හග්. 2:18, 19) අදත් යෙහෝවා අපිට භාර දීලා තියෙන වැඩේට අපි අපේ ජීවිතේ මුල් තැන දෙනවා නම් දෙවියන් අපිට ආශීර්වාද කරලා මිසක් නවතින්නේ නැහැ.
විශ්වාසය ශක්තිමත් කරගන්නේ කොහොමද?
12. එස්රාටයි, එයාත් එක්ක ආපු අයටයි ශක්තිමත් විශ්වාසයක් ඕනෙ වුණේ ඇයි?
12 ක්‍රි.පූ. 468දී තවත් යුදෙව්වන් කණ්ඩායමක් එක්ක එස්රා බැබිලෝනියේ ඉඳන් යෙරුසලමට ආවා. හැබැයි ඒ වගේ ගමනක් එන්න නම් එයාලට ලොකු විශ්වාසයක් තියෙන්න ඕනෙ වුණා. ඒ ඇයි? මොකද එයාලා ආපු පාර ගොඩක් භයානක එකක්. ඒ වගේම දේවමාලිගාවට කැප කරන්න එයාලා ගොඩක් රන්, රිදී අරන් ආවා. ඒ නිසා එයාලා හරිම ලේසියෙන් මංකොල්ලකාරයන්ගේ ගොදුරක් වෙන්න ඉඩ තිබුණා. (එස්රා 7:12-16; 8:31) යෙරුසලම කියන්නෙත් ආරක්ෂිත තැනක් නෙවෙයි. මොකද එහේ ගොඩක් සෙනඟ හිටියේ නැහැ. ඒ වගේම එහේ පවුරු සහ දොරටු ගරා වැටිලයි තිබුණේ. ඉතින් එස්රාගෙනුයි, එයාත් එක්ක ආපු අයගෙනුයි අපිට ඉගෙනගන්න තියෙන්නේ මොනවාද?
13. යෙහෝවා ගැන ශක්තිමත් විශ්වාසයක් තියාගන්න එස්රාට පුළුවන් වුණේ කොහොමද? (පාදසටහනත් බලන්න.)
13 යෙහෝවා දෙවියන් කලින් ඔහුගේ සෙනඟට උදව් කරපු විදිහ එස්රා දැක්කා. මීට අවුරුදු ගාණකට කලින්, ඒ කියන්නේ ක්‍රි.පූ. 484දී පර්සියානු අධිරාජ්‍යයා වුණ අහෂ්වේරොෂ් රජ යුදෙව්වන්ව සමූල ඝාතනය කරන්න කියලා නියෝගයක් දෙද්දී එස්රාත් බැබිලෝනියේ ඉන්න ඇති. (එස්ත. 3:7, 13-15) එදා එස්රාගේ ජීවිතෙත් තිබුණේ අනතුරේ. ඒ වෙලාවේ “සියලුම පළාත්වල” ඉන්න යුදෙව්වන් එකට එකතු වෙලා නිරාහාරව ඉඳලා යෙහෝවාගෙන් අඬඅඬා උදව් ඉල්ලුවා. (එස්ත. 4:3) ටිකක් හිතන්න එදා සතුරන්ගේ කූට උපායන් කණපිට පෙරළෙද්දී එස්රාටයි, එයාත් එක්ක හිටපු යුදෙව්වන්ටයි යෙහෝවා ගැන කොච්චර විශ්වාසයක් ඇති වෙන්න ඇද්ද! (එස්ත. 9:1, 2) එස්රා මේ අද්දැකීමෙන් තේරුම්ගත්තා මොන දේ වුණත් ඉස්සරහටත් තමන්ගේ සෙනඟගේ පිහිටට එන එකෙන් යෙහෝවාව නවත්තන්න කාටවත් බැහැ කියලා.d
14. අමාරු කාලවලදී යෙහෝවාගේ උදව් අද්දැක්ක සහෝදරියක් තේරුම්ගත්තේ මොනවාද?
14 අමාරු කාලවල් එද්දී යෙහෝවා අපිව බලාගන්න විදිහ අපිත් අද්දකිනවා. ඒකෙන් වෙන්නේ ඔහු ගැන අපිට තියෙන විශ්වාසය තවත් වැඩි වෙන එකයි. නැඟෙනහිර යුරෝපයේ ජීවත් වන සහෝදරි ඇනස්ටේෂියාගේ අද්දැකීම බලන්න. දේශපාලනික කාරණාවලදී පැති ගන්න ආපු බලපෑම නිසා එයා තීරණය කළා රස්සාවෙන් අයින් වෙන්න. බලන්න එයා කියන දේ. “මීට කලින් මං කවදාවත් අතේ සතේ නැතුව මේ විදිහට ඉඳලා නෑ. හැබැයි මං මගේ හැම ප්‍රශ්නයක්ම යෙහෝවාට භාර දුන්නා. ඒ නිසා මං දැක්කා යෙහෝවා මාව කොච්චර හොඳට බලාගන්නවාද කියලා. සමහරවිට මට ඉස්සරහටත් රස්සාවක් හොයාගන්න බැරි වෙයි. ඒත් මං බය නෑ. මොකද යෙහෝවා දෙවියන් අද මාව බලාගන්නවා නම් හෙටත් ඔහු අනිවාර්යයෙන්ම බලාගනියි කියලා මට කිසිම සැකයක් නෑ.”
15. දිගටම යෙහෝවා ගැන විශ්වාසයෙන් ඉන්න එස්රාට උදව් වුණේ මොනවාද? (එස්රා 7:27, 28)
15 යෙහෝවා දෙවියන් උදව් කරන විදිහ එස්රා එයාගේ ජීවිතෙන්ම අද්දැක්කා. අතීතයේදී යෙහෝවා එයාට උදව් කරපු විදිහ ගැන කල්පනා කරන එක එස්රාට උදව් වුණා දෙවියන් ගැන තියෙන විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න. එස්රා කියනවා “මාගේ දෙවි වන යෙහෝවාගේ ආශීර්වාදය මට ලැබුණා” කියලා. (එස්රා 7:27, 28 කියවන්න.) එයා මේ පොත ලියද්දී ඒ අදහස හය සැරයක්ම සඳහන් කරලා තියෙනවා.—එස්රා 7:6, 9; 8:18, 22, 31.
යෙහෝවා දෙවියන්ගේ උදව් වැඩිපුරම අද්දකින්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද? (16 ඡේදය බලන්න)e
16. දෙවියන් අපිට උදව් කරන විදිහ අද්දකින්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද? (පින්තූරයත් බලන්න.)
16 ජීවිතේ අභියෝගාත්මක දේවල්වලට මුහුණ දෙද්දී විශේෂයෙන්ම අපිට දෙවියන්ගේ උදව් අද්දකින්න පුළුවන්. ඒ කොහොමද? උදාහරණෙකට මෙහෙම හිතන්න. ඔයා ඔයාගේ බොස්ව හම්බ වෙන්න ගිහින් සමුළුවට යන්න නිවාඩුවක් ඉල්ලනවා. එහෙම නැත්නම් හැම සතියේම රැස්වීම් යන්න පුළුවන් වෙන විදිහට වැඩ කරන වෙලාවේ වෙනසක් කරන්න පුළුවන්ද කියලා ඔයා අහනවා. ඉතින් බය නැතුව ඒ වගේ දෙයක් ගැන කතා කරද්දී ඔයා කරන්නේ ඔයා වෙනුවෙන් පියවර ගන්න යෙහෝවාට අවස්ථාවක් දෙන එකයි. සමහරවිට ඔයා හිතන්නේ නැති විදිහට රැකියාවේ ප්‍රධානියා ඔයාට ඒකට අවසර දෙයි. අන්න ඒ වගේ වෙලාවට ඔයාගේ හිතේ යෙහෝවා ගැන තියෙන විශ්වාසය තවත් වැඩි වෙයි.
එස්රා දේවමාලිගාවේ ඉඳන් සෙනඟ කරපු පව් ගැන අඬඅඬා යාච්ඤා කරනවා. සෙනඟත් අඬනවා. එතකොට ෂෙකනියා එස්රාව ශක්තිමත් කරන්න මෙහෙම කියනවා. ‘අපි බලාපොරොත්තු අත්හැරිය යුතු නැහැ. ඊශ්‍රායෙල්වරුන් වන අපිට මේ සම්බන්ධයෙන් යමක් කරන්න පුළුවන්. අපි ඔබට සම්පූර්ණ සහයෝගය දෙනවා.’—එස්රා 10:2, 4. (17 ඡේදය බලන්න)
17. ප්‍රශ්නවලට මුහුණ දෙද්දී එස්රා නිහතමානීව වැඩ කළේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)
17 එස්රා නිහතමානීව යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා. කරන්න තියෙන වැඩ කන්දරාව ගැන හිතද්දී එස්රාටත් ලොකු පීඩනයක් දැනුණා. හැබැයි ඒ හැම වෙලාවෙම එයා නිහතමානීව යාච්ඤාවෙන් යෙහෝවා මත රඳා හිටියා. (එස්රා 8:21-23; 9:3-5) ඒ විදිහට වැඩ කරපු නිසා අනිත් අය එයාට උදව් කළා විතරක් නෙවෙයි එයාව ආදර්ශයටත් ගත්තා. (එස්රා 10:1-4) ඉතින් වියහියදම් ගැන, පවුලේ අයගේ ආරක්ෂාව ගැන හිතද්දී ඔයාටත් ලොකු පීඩනයක් දැනෙනවා නම් බය නැතුව ඒ ගැන යෙහෝවාට කියලා ඔහු මත රඳා ඉන්න.
18. යෙහෝවා ගැන අපිට තියෙන විශ්වාසය තව වැඩි කරගන්න උදව් වෙන්නේ මොනවාද?
18 අපිත් නිහතමානී වෙලා යෙහෝවාගෙන් උදව් ඉල්ලනවා නම්, සහෝදර සහෝදරියන් දෙන උදව් පිළිගන්නවා නම් දෙවියන් ගැන අපේ හිතේ තියෙන විශ්වාසයත් තව වැඩි වෙයි. එරිකා කියන්නේ දරුවෝ තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. එයා පහු කරන් ආවේ ලේසි පහසු කාලයක් නෙවෙයි. එයාගේ දරුවෙක් බඩේ ඉද්දීම නැති වුණා. ඒක වෙලා වැඩි කාලයක් යන්න කලින් මහත්තයාත් නැති වුණා. හැබැයි ඒ වගේ අවස්ථාවලදී වුණත් යෙහෝවා ගැන තියෙන විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න එයාට පුළුවන් වුණා. බලන්න එයා කියන දේ. “ඒ කාලේ පුරාම යෙහෝවා මට කොච්චර උදව් කළාද කියලා ඔයාලට තේරුම්ගන්න බැරි වෙයි. ඔහු හිතාගන්න බැරි විදිවලින් මාව ශක්තිමත් කළා. මගේ යාළුවෝ කියපු වචනවලින්, මං වෙනුවෙන් කරපු දේවල්වලින් යෙහෝවා මගේ යාච්ඤාවලට උත්තර දෙන විදිහ මං දැක්කා. මං හිතේ තියෙන හැම දේම යාළුවන්ට කිව්වොත් විතරයි මට උදව් ඕනෙ මොන විදිවලින්ද කියලා දැනගන්න එයාලට පුළුවන් කියලා මං තේරුම්ගත්තා.”
දිගටම විශ්වාසයෙන් ඉන්න
19-20. යෙරුසලමට ආයේ ආපු නැති යුදෙව්වන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
19 යෙරුසලමට ආපු නැති යුදෙව්වන්ගෙනුත් අපිට වැදගත් පාඩමක් ඉගෙනගන්න තියෙනවා. සමහරුන්ට යෙරුසලමට එන්න බැරි වුණේ වයස නිසා, අසනීප නිසා නැත්නම් පවුල් වගකීම් නිසා වෙන්න ඇති. ඒ වුණත් එයාලට පුළුවන් දේවල් දේවමාලිගාව වෙනුවෙන් දෙන්න එයාලා කැමති වුණා. (එස්රා 1:5, 6) පළවෙනි යුදෙව් කණ්ඩායම යෙරුසලමට ඇවිත් අවුරුදු 19කට විතර පස්සෙත් බැබිලෝනියේ හිටපු යුදෙව්වන් පුරුද්දක් විදිහට දේවමාලිගාව වෙනුවෙන් තෑගි යැව්වා.—සෙක. 6:10.
20 සමහරවිට අපිට තියෙන සීමාවන් නිසා හිතේ හැටියට යෙහෝවා දෙවියන්ට සේවේ කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි ඔහුව සතුටු කරන්න කරන පුංචිම දෙයක් වුණත් ඔහු ගොඩක් අගය කරනවා. කොහොමද අපි ඒක දන්නේ? සෙකරියාගේ කාලේ දෙවියන් කිව්වා බැබිලෝනියේ හිටපු යුදෙව්වන් එවපු රන්, රිදී පාවිච්චි කරලා ඔටුන්නක් හදන්න කියලා. (සෙක. 6:11) ඒ “ඔටුන්න” හැදුවේ එයාලා කැමැත්තෙන්ම කරපු ඒ පරිත්‍යාග ‘සිහි වෙන්න.’ (සෙක. 6:14) ඒකෙන් පැහැදිලි වෙනවා හිතපු නැති දේවල්වලට මුහුණ දෙද්දී වුණත් අපි යෙහෝවා වෙනුවෙන් අපේ උපරිමය කරද්දී ඔහු කවදාවත් ඒවා අමතක කරන්නේ නැහැ කියලා.—හෙබ්‍රෙ. 6:10.
21. බය නැතුව අනාගතයට මුහුණ දෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද?
21 මේ අන්තිම කාලේ ජීවත් වෙන අපිට හිතන්නෙවත් නැති දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. ඉස්සරහට මීටත් වඩා දේවල් වෙයි. (2 තිමෝ. 3:1, 13) හැබැයි අපි ඒ ගැන හිතලා ඕනෑවට වඩා බය වෙන්න ඕනෙ නැහැ. මතකද හග්ගයිගේ කාලේ දෙවියන් ඔහුගේ සෙනඟට කියපු දේ? ඔහු කිව්වා ‘මම ඔබ සමඟ සිට ඔබට උපකාර කරන්නෙමි. එබැවින් දැන් භය නොවන්න’ කියලා. (හග්. 2:4, 5) ඉතින් අපිත් යෙහෝවාගේ කැමැත්ත කරන්න අපේ උපරිමය කරනවා නම් ඔහු අපි එක්කත් ඉඳියි. අපි මේ පාඩමෙන් හග්ගයි සහ සෙකරියා කියපු අනාවැකි ගැනත් එස්රාගේ ආදර්ශය ගැනත් ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඒවා අදාළ කරගන්නවා නම් ඉස්සරහට අපේ ජීවිත උඩු යටිකුරු වුණත් දිගටම යෙහෝවා මත විශ්වාසය තියන්න අපිටත් පුළුවන්.
ගීතිකාව 122 ස්ථිරව නොසැලී සිටිමු
a ආර්ථික ප්‍රශ්න එද්දී, දේශපාලනික ගැටුම් ඇති වෙද්දී, සේවේ නිසා විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙද්දී යෙහෝවා දෙවියන් ගැන තියෙන විශ්වාසය තවත් වැඩි කරගන්න මේ ලිපිය අපිට උදව් වෙයි.
b “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි” කියන යෙදුම හග්ගයි පොතේ 14 සැරයක් තියෙනවා. ඒකෙන් යුදෙව්වන්ට වගේම අපිටත් මතක් කරනවා යෙහෝවාට හිතාගන්න බැරි බලයක් තියෙනවා සහ බලවත් දේවදූත සේනාවකට ඔහු අණ දෙනවා කියලා.—ගීතා. 103:20, 21.
c සමහර නම් වෙනස් කර ඇත.
d දෙවියන්ගේ නීතිය දක්ෂ විදිහට පිටපත් කරපු කෙනෙක් වුණ එස්රා යෙරුසලමට එන්නත් කලින්ම යෙහෝවා දෙවියන්ගේ අනාවැකි ගැන ලොකු විශ්වාසයක් ඇති කරගෙන තිබුණා.—2 ලේක. 36:22, 23; එස්රා 7:6, 9, 10; යෙරෙ. 29:14.
e පින්තූරවල අදහස: සහෝදරයෙක් සමුළුවට යන්න නිවාඩු ඉල්ලද්දී බොස් නිවාඩු දෙන්න බැහැ කියනවා. බොස් එක්ක කතා කරන්න ආයෙත් යන්න කලින් එයා හොඳට යාච්ඤා කරලා ලෑස්ති වෙනවා. එයා සමුළුවේ ආරාධනා පත්‍රිකාව බොස්ට පෙන්නලා බයිබලේ ඉගෙනගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන කතා කරනවා. බොස්ට ඒ ගැන ලොකු පැහැදීමක් ඇති වෙලා සහෝදරයාට සමුළුවට යන්න අවසර දෙනවා.