ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 ජනවාරි 26-31 පි.
  • දෙවියන්ගේ සෙනෙහස ඔයාට දැනෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ගේ සෙනෙහස ඔයාට දැනෙනවාද?
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා අපිට ගොඩක් ආදරෙයි
  • ආදරේ පෙන්නලා තියෙන විදි
  • යෙහෝවාගේ ආදරේ ඔයාට දැනෙන්නේ කොහොමද?
  • සෙනෙහස පෙන්නන දෙවියන්ට ළං වෙන්න
  • යෙහෝවා ඔයාට ආදරෙයි කියලා විශ්වාස කරන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • එකිනෙකාට ළං වෙන එක අපිට යහපත්
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා “ජීවමානයි” කියලා මතක තියාගන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ජීවිත පූජාවෙන් වටිනා පාඩම්
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 ජනවාරි 26-31 පි.

පාඩම් ලිපිය 4

ගීතිකාව 30 යෙහෝවා දෙවි මාගේ පියා හා මිතුරායි

දෙවියන්ගේ සෙනෙහස ඔයාට දැනෙනවාද?

“යෙහෝවා දෙවි ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙක්.”—යාකො. 5:11.

ලිපියේ අරමුණ

යෙහෝවා කියන්නේ ලොකු සෙනෙහසක් පෙන්නන දෙවි කෙනෙක්. ඒ සෙනෙහස අපිව ඔහුට ළං කරනවා. අපිට ලොකු ආරක්ෂාවක්, ප්‍රාණවත්බවක් ලබා දෙනවා. ඒ කොහොමද කියලා බලමු.

1. යෙහෝවාගේ නම ඇහෙද්දී හිතේ ඇඳෙන්නේ මොන වගේ පින්තූරයක්ද?

යෙහෝවා කියන්නේ මොන වගේ දෙවි කෙනෙක්ද? ඔයා යාච්ඤා කරන්න ඇස් වහගද්දී ඔයාගේ හිතේ මැවෙන්නේ කොයි වගේ පින්තූරයක්ද? අපිට දෙවියන්ව පේන්නේ නැති වුණත් බයිබලේ ඔහුව එක එක විදිහට විස්තර කරලා තියෙනවා. උදාහරණයකට ඒකේ කියනවා ඔහු “සූර්යයා” වගේ, “පලිහක්” වගේ, “ඇවිළෙන ගින්නක්” වගේ කියලා. (ගීතා. 84:11; හෙබ්‍රෙ. 12:29) තවත් තැනක යෙහෝවාව විස්තර කරලා තියෙන්නේ නිල් මැණිකක, රන් රිදී මිශ්‍ර ලෝහයක සහ දේදුන්නක තියෙන දීප්තියට සමාන දීප්තියක් තියෙන කෙනෙක් විදිහට. (එස. 1:26-28) ඒ දේවල්වලින් පේනවා යෙහෝවා කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨ කෙනෙක්ද කියලා. ඒ ගැන හිතද්දී සමහරවිට අපිට හිතෙන්න පුළුවන් ‘ඔහුට ළං වෙන්න අපි කවුද’ කියලා.

2. යෙහෝවාට ළං වෙන්න අමාරුයි කියලා සමහරුන්ට හිතෙන්නේ ඇයි?

2 අපිට යෙහෝවා දෙවියන්ව පේන්නේ නැති නිසා ඔහුගේ හිතේ අපි ගැන තියෙන ආදරේ තේරුම්ගන්න අපිට අමාරු වෙන්න පුළුවන්. සමහරු තිත්ත අද්දැකීම්වලට මුහුණ දීලා තියෙන නිසා එයාලා හිතන්නේ යෙහෝවා කවදාවත් එයාලට ආදරේ කරන එකක් නැහැ කියලා. එයාලාගෙන් සමහරු කිසිමදාක පිය සෙනෙහස විඳලා නැහැ. ඒ නිසා දෙවියන්ට ළං වෙන්න එයාලට අමාරු ඇති. යෙහෝවාත් ඒක තේරුම්ගන්නවා. ඒ නිසයි ඒකට උදව්වක් විදිහට ඔහුගේ ලස්සන ගුණාංග ඔහු බයිබලේට ඇතුළත් කළේ.

3. යෙහෝවා පෙන්නන ආදරේ ගැන ගැඹුරින් හිතන්න ඕනෙ ඇයි?

3 ආදරය! යෙහෝවාව විස්තර කරන්න ඊටත් වඩා හොඳ වචනයක් තව තියෙනවාද? ඒකයි බයිබලේ “දෙවි ප්‍රේමයයි” කියලා කියන්නේ. (1 යොහ. 4:8) ඇත්තටම, ඔහු කරන පුංචිම දේකින් වුණත් ඒ ආදරේ ඉස්මතු වෙනවා. ඔහුගේ ආදරේ කොච්චරද කියනවා නම් ඔහු ඒක ඔහුට ආදරේ කරන්නේ නැති අයටත් පෙන්නනවා. (මතෙ. 5:44, 45) ඉතින් අපි මේ ලිපියෙන් යෙහෝවා ගැනයි, ඔහුගේ ආදරය ගැනයි ටිකක් බලමු. ඒක අපිට උදව් වෙයි ඔහු ගැන අපේ හිතේ තියෙන ආදරේ තව වැඩි කරගන්න.

යෙහෝවා අපිට ගොඩක් ආදරෙයි

4. දෙවියන්ගේ සෙනෙහස ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

4 “යෙහෝවා දෙවි ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙක්.” (යාකො. 5:11) ඔහු තමන්ව සෙනෙහසින් පිරුණු අම්මා කෙනෙක් විදිහටත් හඳුන්වනවා. (යෙසා. 66:12, 13) අම්මෙක් එයාගේ කිරිකැටියාව ඔඩොක්කුවේ තියාගෙන පද්ද පද්ද හුරතල් කරන විදිහ හිතන්න. අම්මා කතා කරද්දී ඒ කටහඬෙත් සෙනෙහස උතුරනවා. පැටියා අඬද්දී අම්මා දුවලා ඇවිත් එයාට මොනවාද ඕනෙ කියලා බලනවා. යෙහෝවාත් ඒ අම්මා වගේ. අපි වේදනාවෙන් ඉද්දී ඔහුත් ඔහුගේ ආදරේ අපිට පෙන්නනවා. ඒ ආදරේ ගීතිකාකරුටත් දැනුණා. ඒකයි එයා මෙහෙම කිව්වේ. “මාගේ සිත නොසන්සුන් වූ විට ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.”—ගීතා. 94:19.

අම්මා කෙනෙක් එයාගේ චූටි පුතාව පපුවට තුරුලු කරගෙන ඉන්නවා.

“මවක ඇගේ දරුවා සනසන්නාක් මෙන් මමද ඔබව සනසන්නෙමි” (4 ඡේදය බලන්න)


5. යෙහෝවාගේ ආදරය නිසා ලැබෙන්නේ මොනවාද?

5 යෙහෝවා දෙවියන්ගේ හිතේ අපි ගැන තියෙන ආදරේට සීමාවක් නැහැ. අපි වරදක් කළා කියලත් ඒක අඩු වෙන්නේ නැහැ. (ගීතා. 103:8) ඒ දේ දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට සලකපු විදිහෙන් පේනවා. එයාලා සැරින් සැරේ ඔහුට අකීකරු වුණා. හැබැයි එයාලා පසුතැවිලි වෙද්දී දෙවියන් කිව්වා “ඔබ මට ඉතා අගනා වස්තුවකි. මම ඔබට බොහෝ සෙයින් ප්‍රේම කර ඉතා ගෞරවයෙන් සලකමි” කියලා. (යෙසා. 43:4, 5) ඒ ආදරේම තමයි යෙහෝවා අද අපිටත් පෙන්නන්නේ. අපි අතින් බරපතළ වරදක් වුණත් යෙහෝවා නම් අපිව අත්හරින්නේ නැහැ. අපි පසුතැවිලි වෙලා ආපහු ඔහු ළඟට යද්දී අපිටම තේරෙයි ඔහුගේ හිතේ අපි ගැන තිබ්බ ආදරේ ඒ විදිහමයි කියලා. ඒ නිසයි දෙවියන් කියන්නේ ඔහු ‘මුළු හදවතින්ම අපිට සමාව දෙනවා’ කියලා. (යෙසා. 55:7) ඒ සමාව ලැබුණාම “යෙහෝවා දෙවිගෙන් මහත් සහනයක්” අද්දකින්න අපිට පුළුවන්.—ක්‍රියා 3:19.

6. සෙකරියා 2:8 යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

6 සෙකරියා 2:8 කියවන්න. දෙවියන් අපිව සමාන කරන්නේ ඔහුගේ ඇහේ කලු ඉංගිරියාවට. ඇහැ කියන්නේ ශරීරයේ තියෙන සංවේදී වගේම වැදගත් ඉන්ද්‍රියක්. එහෙමනම් ඔහු මේ කියන්නේ “මගේ සෙනඟට අත තිබ්බොත් බලාගෙනයි! ඔයාලා ඔය අත තියන්න හදන්නේ මට තියෙන වටිනාම දේකට” කියලා. ඇත්තටම, අපිට හැඟෙන දැනෙන විදිහ යෙහෝවාට ටක් ගාලා තේරෙනවා. අපිට රිදෙද්දී ඔහුටත් රිදෙනවා. ඔහුට ඕනෙ අපිව ආරක්ෂා කරන්න. ඒ නිසා අපිටත් පුළුවන් ඔහුට කියන්න “ඇසේ කලු ඉංගිරියාව මෙන් මාව රැකගන්න” කියලා.—ගීතා. 17:8.

7. යෙහෝවා අපිට ආදරෙයි කියලා අපි අපිටම තහවුරු කරගන්න ඕනෙ ඇයි?

7 යෙහෝවා දෙවියන්ගේ හිතේ අපි එක් එක් කෙනාට විශේෂ ආදරයක් තියෙනවා. ඒ ආදරේ ගැන අපිම තහවුරු කරගන්නවා දකින්නයි ඔහුට ඕනේ. හැබැයි අපි මුහුණ දීපු කටුක අද්දැකීම් නිසා, දැන් මුහුණ දෙන දේවල් නිසා අපේ හිතේ යෙහෝවාගේ ආදරේ ගැන සැක ඇති වෙන්න පුළුවන්. ඒ සැකය නැති කරගන්න පුළුවන් කොහොමද? ඒකට ඔහු යේසුස්ට, අභිෂේක ලත් අයට සහ අපි හැමෝටම ආදරේ පෙන්නලා තියෙන විදිහ තේරුම්ගන්න එක උදව් වෙයි.

ආදරේ පෙන්නලා තියෙන විදි

8. දෙවියන්ගේ ආදරේ ගැන යේසුස්ට කිසි සැකයක් තිබ්බේ නැත්තේ ඇයි?

8 අපිට හිතාගන්නවත් බැරි තරම් කාලයක් ගැඹුරු සෙනෙහසකින්, ආදරේකින් යෙහෝවා දෙවියන් ඔහුගේ පුතාත් එක්ක බැඳිලා හිටියා. ඒක තමයි මේ විශ්වයේ තියෙන පරණම බැඳීම. යේසුස් ගැන තිබුණ ආදරේ මතෙව් 17:5 යෙහෝවා පැහැදිලිවම කිව්වා. ඕනෙ නම් එතනදී ඔහුට කියන්න තිබුණා “මොහුට මාගේ අනුමැතිය ඇත” කියලා. හැබැයි යෙහෝවා කිව්වා “මේ මාගේ ප්‍රේමණීය පුතා” කියලා. ඒකෙන් පැහැදිලියි ඔහුගේ හිතේ යේසුස් ගැන තිබ්බ ආදරේ ගැන අපි හැමෝම දැනගන්නවාට දෙවියන් කැමති වුණා කියලා. ඇත්තටම යේසුස් ගැන, යේසුස් කරන්න යන කැප කිරීම ගැන යෙහෝවාට ලොකු ආඩම්බරයක් දැනුණා. (එෆී. 1:7) යෙහෝවාගේ ආදරේ ගැන යේසුස්ටත් සැකයක් තිබ්බේ නැහැ. ඒකයි ඔහු කීප සැරයක්ම විශ්වාසයෙන් කිව්වේ ‘මගේ තාත්තා මට ගොඩක් ආදරෙයි’ කියලා.—යොහ. 3:35; 10:17; 17:24.

9. යෙහෝවා අභිෂේක ලත් අයට ආදරෙයි කියලා පේන්නේ මොන දෙයින්ද? පැහැදිලි කරන්න. (රෝම 5:5)

9 යෙහෝවා දෙවියන්ට අභිෂේක ලත් අය ගැන තියෙන ආදරෙත් ඔහු පෙන්නලා තියෙනවා. රෝම 5:5 කියනවා දෙවියන්ගේ ආදරෙන් අභිෂේක ලත් අයගේ “හදවත් පිරිලා” කියලා. (කියවන්න.) මුල් භාෂාවෙන් එතනට පාවිච්චි කරලා තියෙන වචනෙන් අදහස් වෙන්නේ “පුරවනවා” නැත්නම් “වත් කරනවා” කියන එකයි. එක පොතක ඒ ගැන කියන්නේ “ආදරේ දිය පහරක් වගේ ගලාගෙන ඇවිත් හදවත් පුරවනවා” කියලයි. ඒ වචනවලින් අභිෂේක ලත් අය ගැන දෙවියන්ගේ හිතේ තියෙන ආදරේ ලස්සනට මතු කරනවා. අභිෂේක ලත් අයත් ඒ ආදරේ ගැන දන්නවා. (යූද් 1) සැරයක් යොහන් ඒ ආදරේ එයාට දැනුණ විදිහ ගැන මෙහෙම කිව්වා. “පියාණන්ට අප සඳහා කොතරම් ප්‍රේමයක් තිබෙනවාද කියා බලන්න. මන්ද අපව හඳුන්වනු ලබන්නේ දෙවිගේ දරුවන් ලෙසය.” (1 යොහ. 3:1) ඒත් දෙවියන් ආදරේ අභිෂේක ලත් අයට විතරද? නැහැ, ඔහු අපි හැමෝටම ආදරෙයි.

10. යෙහෝවා අපිට ආදරේ පෙන්නලා තියෙන විශිෂ්ටම විදිහ මොකක්ද?

10 ජීවිත පූජාව! මේ විශ්වයේ ආදරය වෙනුවෙන් කරපු විශිෂ්ටතම පරිත්‍යාගය ඒකයි. (යොහ. 3:16; රෝම 5:8) ඇත්තටම යෙහෝවා තමන්ගේ පුතාව දුන්න නිසා පව්වලට සමාව ලබාගන්න වගේම අපිට ඔහුගේ යාළුවෝ වෙන්නත් අවස්ථාව ලැබෙනවා. (1 යොහ. 4:10) යෙහෝවා සහ යේසුස් ඒ පරිත්‍යාගය කළේ අපි එක් එක් කෙනා වෙනුවෙන්. (ගලා. 2:20) ජීවිත පූජාවක් දෙන්න දෙවියන් පියවර ගත්තේ යුක්තිය කියන තරාදිය සමබර කරන්න විතරක් නෙවෙයි, අපිට තියෙන ආදරේ නිසා. ඔහු අපි වෙනුවෙන් දුන්නේ ඔහුගේ වටිනාම වස්තුවයි. ඔහුගේ ආදරේ කොච්චරද කියනවා නම් ඔහු අපි වෙනුවෙන් තමන්ගේ පුතා දුක් විඳලා මැරෙනවා බලන් හිටියා.

11. යෙරෙමියා 31:3න් අපි ඉගෙනගන්නේ මොනවාද?

11 යෙහෝවා කියන්නේ හැඟීම් තද කරගෙන ඉන්න දෙවි කෙනෙක් නෙවෙයි. ඔහු ඔහුගේ ආදරේ ප්‍රසිද්ධියේ කියනවා. (යෙරෙමියා 31:3 කියවන්න.) දෙවියන් අපිව ඔහුට ළං කරගන්නේ අපිට ගොඩක් ආදරේ නිසයි. (ද්වි. 7:7, 8) ඇත්තටම කිසිම දේකට, කිසිම කෙනෙක්ට බැහැ ඒ ආදරෙන් අපිව ඈත් කරන්න. (රෝම 8:38, 39) ඒ ආදරේ ගැන ඔයාට දැනෙන්නේ කොහොමද? දැන් අපි 23වෙනි ගීතිකාවෙන් ඔහුගේ ආදරය, සෙනෙහස දාවිත්ට දැනුණ විදිහ ගැන බලමු. මොකද ඒක අපිට උදව් වෙයි ඔහු අපිට ආදරේ පෙන්නලා තියෙන විදිහ ගැන හිතන්න.

යෙහෝවාගේ ආදරේ ඔයාට දැනෙන්නේ කොහොමද?

12. 23වෙනි ගීතිකාවේ තියෙන්නේ මොනවා ගැනද?

12 ගීතාවලිය 23:1-6 කියවන්න. දෙවියන්ගේ ආදරය, සෙනෙහස 23වෙනි ගීතිකාවේ ලස්සනට විස්තර කරනවා. ඒකේ රචකයා දාවිත්. එයා පැහැදිලි කරනවා එයාගේ එඬේරා වන යෙහෝවායි, එයායි අතරේ කොච්චර කිට්ටු බැඳීමක් තියෙනවාද කියලා. දෙවියන් දාවිත්ට මඟ පෙන්නපු විදිහ එයාට දැනුණා. ඒ නිසා එයා හැම වෙලේම ඔහු මත රඳා හිටියා. ඇත්තටම යෙහෝවාගේ ආදරේ හැම දවසකම දාවිත් අද්දැක්කා. ඒත් දෙවියන් එයාට ආදරෙයි කියලා දාවිත් එච්චර විශ්වාසයකින් කිව්වේ කොහොමද?

13. දෙවියන් දාවිත්ව රැකබලා ගන්නවා කියලා එයාට එච්චර විශ්වාසයක් තිබුණේ ඇයි?

13 “මට කිසි හිඟයක් නොවන්නේය.” දාවිත්ට කිසිම දේකින් අඩුවක් වෙන්න දෙවියන් ඉඩ තිබ්බේ නැහැ. ඒ නිසා ඔහුගේ රැකවරණය ජීවිත කාලේ පුරාම දාවිත්ට දැනුණා. ඒ වගේම යෙහෝවා තමන්ගේ කිට්ටුම යාළුවා කියලත් ඔහු එයා ගැන ගොඩක් සතුටු වෙනවා කියලත් දාවිත් දැනන් හිටියා. ඒ නිසයි මොන දේ වුණත් එයාට ඕනෙ දේ ඕනෙම වෙලාවට දෙවියන් දෙයි කියලා දාවිත්ට විශ්වාසයක් තිබුණේ. දාවිත් දැනන් හිටියා මොන ප්‍රශ්න ආවත් යෙහෝවා එයාට සෙනෙහස පෙන්නනවා කියලා. ඒ නිසයි ප්‍රශ්න ලොකු කරගන්නේ නැතුව ප්‍රශ්න මැද සතුටින් ඉන්න දාවිත්ට පුළුවන් වුණේ.—ගීතා. 16:11.

14. දෙවියන් අපිව බලාගන්නේ කොහොමද?

14 යෙහෝවා දෙවියන් අද අපිවත් ආදරෙන් බලාගන්නවා. විශේෂයෙන්ම ජීවිතේ අඳුරු කාලවල් පහු කරද්දී. ක්ලෙයාa බෙතෙල් එකේ අවුරුදු 20කටත් වඩා වැඩි කාලයක් සේවේ කරපු සහෝදරියක්. එයාගේ පවුලේ අයට එක පිට එක ප්‍රශ්න ආවා. තාත්තාට අංශභාගේ හැදුණා. නංගිව සභාවෙන් අයින් කළා. පවුලේ අය කරකර හිටපු පොඩි බිස්නස් එකත් නැති වුණා. අන්තිමේදී එයාලට ඉන්න හිටින්නවත් තැනක් තිබ්බේ නැහැ. හැබැයි යෙහෝවා එයාලව අත්හැරියේ නැහැ. එයා මෙහෙම කියනවා. “මගේ පවුලේ අයට ඕනෙ කරන දේවල් යෙහෝවා හැම දවසකම අඩුවක් නැතුව දුන්නා. සමහර වෙලාවට එයාලට දේවල් ලැබුණේ මං හීනෙකින්වත් හිතපු නැති විදිහට. එක සැරයක් දෙසැරයක් නෙවෙයි යෙහෝවා ආයේ ආයේ ඔප්පු කරලා පෙන්නුවා ඔහු එයාලව තනි කරලා නෑ කියලා. යෙහෝවා පෙන්නපු ඒ ආදරේ, සෙනෙහස කවදාවත් මගේ හිතෙන් මැකෙන්නේ නෑ. ඒ නිසයි මොන ප්‍රශ්නේ ආවත් මං අදටත් ඔළුව උස්සන් ඉන්නේ.”

15. ප්‍රාණවත් වුණා කියලා දාවිත්ට දැනුණේ ඇයි? (පින්තූරයත් බලන්න.)

15 “ඔහු මා ප්‍රාණවත් කරන්නේය.” එක දිගට ප්‍රශ්න එද්දී දාවිත්ට ලොකු පීඩනයක් දැනුණා. (ගීතා. 18:4-6) හැබැයි යෙහෝවාගේ ආදරය, සෙනෙහස තමයි එයාව ප්‍රාණවත් කළේ. හෙම්බත් වෙලා හිටපු මේ යාළුවාව, දෙවියන් තනි කළේ නැහැ. ඔහු එයාව “සරු තණ බිම්වලට,” “සිසිල් දිය ගලා බසින නිසංසල තැන්වලට” ගෙනිච්චා. ඒ නිසයි ආයේ ප්‍රාණවත් වෙලා දිගටම සතුටින් සේවේ කරන්න දාවිත්ට පුළුවන් වුණේ.—ගීතා. 18:28-32.

දාවිත් සහ එයාත් එක්ක ඉන්න පිරිස දිය පාරකින් වතුර බොන අතරතුරේ දාවිත් යෙහෝවාට ප්‍රශංසා කරනවා.

දාවිත් හොඳටම හෙම්බත් වෙලා ඉද්දී යෙහෝවාගේ ආදරය, සෙනෙහස එයාව ප්‍රාණවත් කළා (15 ඡේදය බලන්න)


16. යෙහෝවාගේ ආදරය ඔයාව ප්‍රාණවත් කරලා තියෙන්නේ කොහොමද?

16 අද අපිත් හැලහැප්පීම්වලට මුහුණ දෙද්දී ‘අපේ පණ රැකෙන්නෙත් යෙහෝවා දෙවියන් පෙන්නන අතිමහත් ප්‍රේමය නිසයි.’ (විලා. 3:22; කොලො. 1:11) බලන්න රේචල්ට වෙච්ච දේ. කොරෝනා වසංගත කාලේ එයාගේ මහත්තයා එයාව විතරක් නෙවෙයි යෙහෝවාවත් අත්හැරලා ගියා. එවෙලේ එයාට ලොකු අසරණකමක් දැනුණා. එයා මෙහෙම කියනවා. “යෙහෝවා ඔහුගේ ආදරේ කිසි අඩුවක් කළේ නෑ. ඔහු මට හුඟක් යාළුවන්ව දුන්නා. එයාලා මාත් එක්ක හොඳට හිනා වෙලා වෙනදා වගේම කතාබහ කළා. මාත් එක්ක කාලේ ගත කළා. සමහරු මට කෑම හදන් ආවා. දිරිගැන්වෙන මෙසේජ්, බයිබල් පද එව්වා. එයාලා හැම තිස්සේම මට මතක් කළා දෙවියන් කවදාවත් මාව තනි කරන්නේ නෑ කියලා. ඇත්තටම මේ ආදරණීය පවුල දීපු එකට මං යෙහෝවාට ගොඩක් තැන්ක් යූ කියනවා.”

17. “කිසිවකට භය නොවන්නෙමි” කියලා දාවිත් කිව්වේ ඇයි?

17 “කිසිවකට භය නොවන්නෙමි. මන්ද ඔබ මා සමඟය.” දාවිත්ගේ හතුරෝ ගොඩක් බලවත් නිසා එයාගේ ජීවිතේ තිබුණේ අනතුරේ. හැබැයි දෙවියන්ගේ ආදරේ නිසා එයාට ලොකු ආරක්ෂාවක් දැනුණා. එයා දැනන් හිටියා හැම දේකදීම යෙහෝවා එයාත් එක්ක ඉන්නවා කියලා. ඒ නිසයි එයා කිව්වේ යෙහෝවා “මා තුළ තිබූ බිය මාගෙන් ඉවත් කළා” කියලා. (ගීතා. 34:4) දාවිත් ප්‍රශ්න හිතින් මවාගෙන බොරුවට බය වුණේ නැහැ. ඇත්තටම එයාට බය හිතෙන දේවල් වුණා. හැබැයි ඒ බයට වඩා යෙහෝවාගේ ආදරේ ගොඩක් බලවත් කියලා දාවිත් අද්දැක්කා.

18. බයක් දැනෙන වෙලාවට යෙහෝවාගේ ආදරේ ඔයාට ශක්තියක් වෙන්නේ කොහොමද?

18 බයක් දැනෙන විදිහේ දේවල් වෙද්දී යෙහෝවා දෙවියන්ගේ ආදරේ ඔයාටත් දැනිලා තියෙනවාද? පුරෝගාමියෙක් වන සූසිට ඒ ආදරේ හොඳටම දැනුණා. පුතා ජීවිතේ නැති කරගත්ත වෙලාවේ එයාටයි, මහත්තයාටයි දැනුණ විදිහ ගැන එයා මෙහෙම කියනවා. “වෙච්ච දේ අපිට තාමත් හිතාගන්න බෑ. අපිට ලොකු අසරණකමක් දැනුණා. ජීවත් වෙලා මොකටද කියලා හිතුණා. හැබැයි ඒ වගේ වෙලාවට යෙහෝවා අපිව සෙනෙහසින් බදාගන්න විදිහ අපිට දැනුණා.” කලින් කතා කරපු රේචල් කියන දේ බලන්න. “දවසක් රෑ එකපාරටම මට පපුව පැළෙන තරම් වේදනාවක් දැනෙන්න පටන්ගත්තා. මට ලොකු බයක් දැනුණා. මං කෙඳිරිගගා යාච්ඤා කළා. ඒත් එක්කම මගේ හිතට දැනුණේ පුදුම සන්සුන්කමක්. හරියට අම්මා කෙනෙක් පුංචි කිරිකැටියාව තුරුලු කරගෙන සනසනවා වගේ යෙහෝවාත් මාව සැනසුවා. මට එහෙම්මම නින්ද ගියා. එදා වෙච්ච දේ නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.” ටාසොස් කියන්නේ වැඩිමහල්ලෙක්. හමුදාවට බැඳුණේ නැති නිසා එයාව අවුරුදු හතරකට හිරේ දැම්මා. එයා මෙහෙම කියනවා. “මට ඕනෙ කරන හැම දෙයක්ම යෙහෝවා මං හිතුවාටත් වඩා වැඩියෙන් දුන්නා. මට ඕනෙම වෙලාවක යෙහෝවා ගැන විශ්වාසය තියන්න පුළුවන් කියලා ඔහු ආයේ ආයේ ඔප්පු කළා. ඇත්තටම හිරගේ කියන්නේ මිනිස්සුන්ව මානසිකව පල්ලහොටම වට්ටන තැනක්. හැබැයි ඒ වගේ තැනක වුණත් මගේ සතුට දිගටම තියාගන්න මට උදව් කළේ යෙහෝවා. ඔහුත් එක්ක කිට්ටුවෙන් වැඩ කරද්දී ඔහුගේ ආදරය, සෙනෙහස මට තව වැඩියෙන් දැනුණා. ඒ නිසා හිරේ ඉද්දීම මං ස්ථාවර පුරෝගාමි පටන්ගත්තා.”

සෙනෙහස පෙන්නන දෙවියන්ට ළං වෙන්න

19. (අ) යෙහෝවාගේ ආදරේ ගැන අපිට සහතික නම් අපි කොහොම යාච්ඤා කරයිද? (ආ) දෙවියන්ගේ ආදරය ගැන තියෙන බයිබල් පදවලින් ඔයාගේ හිතට වැඩියෙන්ම වැදුණේ මොකක්ද? (“යෙහෝවාගේ සෙනෙහස මතක් කරන බයිබල් පද” කියන කොටුව බලන්න.)

19 අපි බලපු අද්දැකීම්වලින් පැහැදිලි වෙනවා ‘ප්‍රේමය ලබා දෙන යෙහෝවා දෙවියන්’ හැම වෙලේම අපිත් එක්ක ඉන්නවා කියලා. (2 කොරි. 13:11) ඔහු අපිට ගොඩක් ආදරෙයි. ඒ නිසා “දෙවිගේ මහත් ප්‍රේමය අද්දකින්න” අපි හැමෝටම පුළුවන්. (ගීතා. 32:10) ඔහු අපිට ආදරේ පෙන්නලා තියෙන විදිහ ගැන හිතන තරමටම අපිට දැනෙන්නේ ඔහු මේ අපේ ළඟින්ම ඉන්නවා වගේ. අපිට පුළුවන් හිතේ තියෙන ඕනම ප්‍රශ්නයක් ගැන යෙහෝවාට කියන්න. ඒ වගේම ඔහුගේ ආදරේ අපිට නැතුවම බැහැ කියලත් කියන්න. මොකද යෙහෝවා අපිව තේරුම්ගන්නවා. අපිට උදව් කරන්න ඔහුට ලොකු ඕනකමක් තියෙනවා.—ගීතා. 145:18, 19.

යෙහෝවාගේ සෙනෙහස මතක් කරන බයිබල් පද

ගීතාවලිය 32:10: “යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්නා දෙවිගේ මහත් ප්‍රේමය අද්දකින්නේය.”

යෙරෙමියා 31:3: “මට ඔබ කෙරෙහි තිබෙන්නේ සදා නොමියන ප්‍රේමයකි. මා ඔබව මහත් ආදරයකින් මා ළඟට ගත්තේ ඒ නිසයි.”

යොහන් 16:27: “පියාණන්ට ඔබ ගැන තිබෙන්නේ මහත් ආදරයක්.”

යාකොබ් 5:11: “යෙහෝවා දෙවි ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙක්.”

20. යෙහෝවාගේ ආදරය අපිව ඔහුට තව තවත් ළං කරන්නේ කොහොමද?

20 සීතල දවසක ගිනිමැලයකින් ලැබෙන උණුසුමට අපි ඉබේම ඇදිලා යනවා. ඒ වගේ යෙහෝවාගේ ආදරේ උණුසුම දැනෙද්දී අපි නිකම්ම ඔහුට ඇදිලා යනවා. ඒ ආදරය හුඟක් බලවත්. හැබැයි ඔහු ඒක පෙන්නද්දී අපිට ලොකු ප්‍රබෝධයක්, සහනයක් දැනෙනවා. ඒ නිසා දෙවියන් ඔයාට පෙන්නන ඒ ආදරේ ජීවිතේට ආදරෙන් වැලඳගන්න. එතකොට ඔයාත් සතුටින් කියයි “යෙහෝවා, මං ඔයාට ගොඩක් ආදරෙයි” කියලා.—ගීතා. 116:1.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • යෙහෝවාගේ ආදරය ඔයා විස්තර කරන්නේ කොහොමද?

  • දෙවියන් ඔයාට ආදරෙයි කියලා ඔයාට විශ්වාස ඇයි?

  • යෙහෝවාගේ ආදරය ගැන ඔයාට දැනෙන්නේ කොහොමද?

ගීතිකාව 108 දෙවිගේ සදාතනික ප්‍රේමය

a සමහර නම් වෙනස් කරලා තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න