ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 මැයි 14-19 පි.
  • සේවේ අත්හරින්නේ නැත්තේ ආදරේ නිසයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවේ අත්හරින්නේ නැත්තේ ආදරේ නිසයි
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අපි ශුභාරංචියට ආදරෙයි
  • අපි මිනිස්සුන්ට ආදරෙයි
  • යෙහෝවාට සහ ඔහුගේ නමට ආදරෙයි
  • අවසානය එන කල්ම කියනවා
  • අනාගතේදී යෙහෝවා කරන විනිශ්චයන් ගැන අපි දන්නේ මොනවාද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සේවේ සතුට වැඩි කරගන්නේ කොහොමද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යේසුස් වගේ උද්‍යෝගයෙන් දේශනා කරන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නොදන්න දේවල් තියෙනවා කියලා පිළිගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 මැයි 14-19 පි.

පාඩම් ලිපිය 20

ගීතිකාව 67 “දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න”

සේවේ අත්හරින්නේ නැත්තේ ආදරේ නිසයි

“අවසානයට කලින් සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කළ යුතුයි.”—මාක් 13:10.

ලිපියේ අරමුණ

උද්‍යෝගයෙන් සේවේ කරන්න ආදරේ අපිව පොලඹවන්නේ කොහොමද?

1. 2023 වාර්ෂික රැස්වීමෙන් අපි ඉගෙනගත්තේ මොනවාද?

2023 වාර්ෂික රැස්වීමේදීa අපේ සමහර විශ්වාසයන් ගැන තිබුණ අවබෝධය තව පැහැදිලි වුණා. සේවේ ගැන පුදුම හිතෙන නිවේදනයකුත් අහන්න ලැබුණා. අපි ඒකෙදී දැනගත්තා මහ බැබිලෝනියේ විනාශයෙන් පස්සෙත් මිනිස්සුන්ට යෙහෝවා දෙවියන් ගාවට එන්න අවස්ථාව තියෙනවා කියලා. ඒ වගේම 2023 නොවැම්බර් මාසේ ඉඳන් ප්‍රචාරකයන් කලින් වගේ පැය, දුන්න ප්‍රකාශන ගාණ වාර්තා කරන්න ඕනෙ නැහැ කියලත් අපි ඒකෙදී දැනගත්තා. මේ වෙනස්කම්වලින් කියන්නේ අපි කලින් තරම් උනන්දුවකින් සේවේ යන්න ඕනෙ නැහැ කියලද? කොහොමටවත් නැහැ!

2. ගත වෙන දවසක් දවසක් ගාණේ තව උනන්දුවෙන් සේවේ යන්න ඕනෙ ඇයි? (මාක් 13:10)

2 ගත වෙන හැම දවසක් ගාණේම කලින්ටත් වඩා අපි උනන්දුවෙන් සේවේ කරන්න ඕනේ. මොකද අවසානයට තව වැඩි දවසක් නැහැ. මේ අවසාන කාලේ කරන දේශනා සේවේ ගැන යේසුස් කියපු දේ මතක් කරගන්න. (මාක් 13:10 කියවන්න.) මතෙව් පොතෙත් කියන්නේ මුළු පොළොව පුරාම දේශනා කළාට පස්සේ “අවසානය” එනවා කියලා. (මතෙ. 24:14) එතන අවසානය කියලා කියන්නේ සාතන්ගේ මේ දුෂ්ට සමාජයේ අවසානය ගැනයි. ඒ “දවස හා වේලාව” යෙහෝවා දැනටමත් ලකුණු කරලා ඉවරයි. (මතෙ. 24:36; 25:13; ක්‍රියා 1:7) හැම දවසක්ම ඉවර වෙද්දී අවසානයට අපි තව දවසකින් ළං වෙලා. (රෝම 13:11) ඒ දවස එන කල් සේවේ අත්හරින්න එපා!

3. සේවේ කරන්න අපිව පොලඹවන්නේ මොකක්ද?

3 ඇයි අපි සේවේ යන්නේ? ඒ, ආදරේ නිසයි. සේවේ යද්දී අපි පෙන්නන්නේ අපි ශුභාරංචියට ආදරෙයි, මිනිස්සුන්ට ආදරෙයි, ඒ ඔක්කොටම වඩා යෙහෝවාට සහ ඔහුගේ නමට ආදරෙයි කියලා. දැන් අපි ඒ පැති තුන ගැන ටිකක් බලමු.

අපි ශුභාරංචියට ආදරෙයි

4. හොඳ ආරංචියක් අහන්න ලැබුණාම මොකද හිතෙන්නේ?

4 හොඳ ආරංචියක් කනට වැටුණාම ඔයාට කොහොමද දැනෙන්නේ? පවුලට අලුත් කිරිකැටියෙක් එකතු වුණොත්? නැත්නම් ඔයාට ඕනම කරපු ජොබ් එක ඔයාට හම්බ වුණොත්? ඔයා ඒ ගැන ඔයාගේ පවුලේ අයට, යාළුවන්ට, හැමෝටම ගිහිල්ලා කියයි. අහන්න පුළුවන් හොඳම ආරංචිය, ඒ කියන්නේ දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ඇහුවාමත් ඒ ගැන හැමෝටම කියන්න ඔයාට හිතුණාද?

5. සත්‍යය ඉස් ඉස්සෙල්ලාම දැනගත්ත දවසේ ඔයාට කොහොමද දැනුණේ? (පින්තූරත් බලන්න.)

5 බයිබලේ තියෙන සත්‍යයන් ඉස් ඉස්සෙල්ලාම ඉගෙනගත්ත දවසට ආයේ ටිකක් යන්න. ස්වර්ගයේ ඉන්න ඔයාගේ තාත්තා ඔයාට ආදරෙයි කියලා ඔයා දැනගත්තා. ඔහුගේ පවුලට ඔයාව එකතු කරගන්න ඔහු ආසාවෙන් බලන් ඉන්නවා කියලා ඔයා දැනගත්තා. මේ හැම ප්‍රශ්නයක්ම, දුකක්ම නැති කරනවා කියලා ඔහු දුන්න පොරොන්දුව ගැන ඔයා දැනගත්තා. මරණය නිසා ඔයාගෙන් වෙන් වුණ අයට පාරාදීසේදී ආයේ ජීවිතේ ලැබෙනවා කියලා ඔයා දැනගත්තා. ඒ වගේ ගොඩක් දේවල් ඔයා බයිබලෙන් ඉගෙනගත්තා. (මාක් 10:29, 30; යොහ. 5:28, 29; රෝම 8:38, 39; එළි. 21:3, 4) ඒ සත්‍යයන් නිසා ඔයාගේ හිතේ සතුට පිරිලා ඉතිරිලා දෝරේ ගලන්න ඇති. (ලූක් 24:32) ඉගෙනගත්ත දේවල් ගැන ඔයාට ලොකු ආදරයක්, අගයක් ඇති වුණා. ඔයා දන්න හැමෝටම ඒ ගැන කියන කල් ඔයාට ඉස්පාසුවක් තිබුණේ නැහැ.—යෙරෙ. 20:9.

සහෝදරයෙක් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොත පාවිච්චි කරලා තව කෙනෙක් එක්ක පාඩමක් කරනවා. පින්තූරවල අදහස: ඒ කෙනා එයා ඉගෙනගන්න දේවල් තව අයට කියනවා. 1. වැඩ කරන තැන කෙනෙක්ට. 2. පවුලේ අයට. 3. යාළුවෙක්ට.

බයිබලේ තියෙන සත්‍යයන් දැනගත්තාම අපිට දැනුණේ ලොකු සතුටක්. අපිට ඕන වුණේ හැමෝටම ඒ ගැන කියන්න (5 ඡේදය බලන්න)


6. අර්නස්ට්ගෙයි, රෝස්ගෙයි අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

6 අර්නස්ට්ගේb අද්දැකීම බලන්න. එයාගේ තාත්තා මැරෙද්දී එයාට අවුරුදු දහයයි. එයා මෙහෙම කියනවා. “මං කල්පනා කළා ‘තාත්තා ස්වර්ගෙට ගියාද? මට කවදාවත් එයාව ආයේ දකින්න බැරි වෙයිද’ කියලා. තාත්තලා ඉන්න ළමයි දැක්කාම මට ඉරිසියා හිතුණා.” අර්නස්ට් හැමදාම කනත්තට ගිහිල්ලා තාත්තාගේ වළ ගාව දණගහලා යාච්ඤා කරලා ඇහුවා “අනේ දෙවියනි, මගේ තාත්තා කොහෙද ඉන්නේ” කියලා. ඔහොම අවුරුදු 17ක් ගියාට පස්සේ අර්නස්ට්ට බයිබල් පාඩමක් කරන්න අවස්ථාව හම්බ වුණා. මැරුණ අයට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ, එයාලා ඉන්නේ තද නින්දක කියලා එයා දැනගත්තා. ඒ වගේම මැරුණ අයව නැවත නැඟිට්ටවනවා කියලත් එයා දැනගත්තා. (දේශ. 9:5, 10; ක්‍රියා 24:15) කාලයක් තිස්සේ එයාගේ හිතේ තිබ්බ ප්‍රශ්නවලට අන්තිමේදී එයාට උත්තර හම්බ වුණා. මේ බයිබල් සත්‍යයන් ගැන එයා දැනගත්තාම එයාට දැනුණේ පුදුම සතුටක්. පස්සේ එයාගේ නෝනා රෝසුත් බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. එයාගේ හිතෙත් සත්‍යය ගැන ලොකු අගයක් ඇති වුණා. ඒ දෙන්නාම 1978 බව්තීස්ම වුණා. ඉගෙනගත්ත දේවල් ගැන පවුලේ අය එක්ක, යාළුවෝ එක්ක, අහන්න කැමති හැමෝම එක්ක එයාලා බෙදාගත්තා. මේ වෙද්දී 70දෙනෙක්ටත් වඩා වැඩි ගාණකට බව්තීස්මය වෙන කල් දියුණු වෙන්න ඒ දෙන්නා උදව් කරලා තියෙනවා.

7. සත්‍යයන් ගැන තියෙන ආදරේ අපේ හිතේ මුල් අදිද්දී මොකද වෙන්නේ? (ලූක් 6:45)

7 බයිබල් සත්‍යයන් ගැන තියෙන ආදරේ අපේ හිතේ ටිකෙන් ටික මුල් අදිද්දී ඒ සත්‍යයන් හිර කරගෙන ඉන්න අපිට බැහැ. (ලූක් 6:45 කියවන්න.) අපිටත් දැනෙන්නේ හරියට එදා හිටපු ගෝලයන්ට දැනුණා වගේමයි. එයාලා කිව්වා “අප ඇසූ දුටු දේ ගැන කතා කරන එක නතර කරන්න නම් අපට බැහැ” කියලා. (ක්‍රියා 4:20) බයිබල් සත්‍යයන්වලට අපි කොච්චර ආදරෙයිද කියනවා නම් පුළුවන් තරම් දෙනෙක්ට අපි ඒ ගැන කියනවා.

අපි මිනිස්සුන්ට ආදරෙයි

8. අනිත් අයට ශුභාරංචිය කියන්න අපිව පොලඹවන්නේ මොකක්ද? (“ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු” කියන කොටුව බලන්න.) (පින්තූරයත් බලන්න.)

8 යෙහෝවායි, යේසුයි වගේ අපිත් මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි. (හිතෝ. 8:31; යොහ. 3:16) ‘දෙවියන්ව දන්නේ නැති, කිසිම බලාපොරොත්තුවක් නැති’ මිනිස්සු ගැන අපිට දැනෙන්නේ ලොකු අනුකම්පාවක්. (එෆී. 2:12) එයාලා දවසින් දවස ප්‍රශ්න කියන සාගරේ ගිලෙනවා. එයාලව ඇදලා ගොඩට ගන්න ඕන දේ අපි ගාව තියෙනවා. ඒ තමයි දේවරාජ්‍යය ගැන ශුභාරංචිය. මිනිස්සුන්ට තියෙන ආදරේ, අනුකම්පාව අපව පොලඹවනවා පුළුවන් හැම දේම කරලා එයාලා ගාවට ශුභාරංචිය ගෙනියන්න. මොකද අපි දන්නවා ඒකෙන් එයාලට බලාපොරොත්තුවක් ලැබෙනවා කියලා. ඒක නිසා දැන් වුණත් එයාලට ප්‍රශ්නවලට සතුටින් මූණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ හැම දේටම වඩා එයාලට “සැබෑ ජීවිතය” ඒ කියන්නේ සදාකාල ජීවිතය ලැබෙනවා.—1 තිමෝ. 6:19.

සහෝදරියක් කඩේකදී පත්‍රිකාවක් පාවිච්චි කරලා තව කෙනෙක්ට සාක්ෂි දරනවා.

මිනිස්සු ගැන තියෙන ආදරේ, අනුකම්පාව නිසා පුළුවන් හැම වෙලාවෙම අපි එයාලා එක්ක ශුභාරංචිය බෙදාගන්නවා (8 ඡේදය බලන්න)


‘ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු’

ආදරේ පෙන්නන්න, මිනිස්සුන්ට ගෝලයන් වෙන්න උදව් කරන්න උදව් වෙන ගතිලක්ෂණ 12ක් මේ සඟරාවේ තියෙනවා. අපි කටපාඩම් කරගත්ත දේ නෙවෙයි මිනිස්සු කරදර වෙන, උනන්දු වෙන දේවල් ගැන හිතන්න මේ සඟරාව අපිට උදව් කරනවා. මෙහෙම හිතන්න. ‘එයාලාගේ මනසේ දුවන්නේ මොනවාද? එයාලට මොනවාද ඕනේ?’ ඒකේ හැඳින්වීමේ මෙහෙම කියනවා. “ගෝලයන් වෙන්න උදව් කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි එයාලට ආදරේ පෙන්නන එක. වෙන ඕනම ක්‍රමයකට, දක්ෂතාවකට වඩා ඒක සාර්ථකයි.”

9. අනාගතේ ගැන අපි දෙන අනතුරු ඇඟවීම මොකක්ද? ඒ ඇයි? (එසකියෙල් 33:7, 8)

9 මිනිස්සුන්ට අපේ හිතේ තියෙන ආදරේ අපිව පොලඹවනවා ළඟ ළඟම එන විනාශය ගැන එයාලට අනතුරු අඟවන්න. (එසකියෙල් 33:7, 8 කියවන්න.) මේ ලෝකේ මිනිස්සු ගැන, සත්‍යයේ නැති අපේ පවුලේ අය ගැන අපිට දැනෙන්නේ ලොකු දුකක්. මොකද එයාලා ඔහේ එදිනෙදා ජීවිතේ දේවල් කරකර ඉන්නවා. එයාලා දන්නේ නැහැ “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ නැවත කිසිදාක සිදු නොවන මහත් පීඩාවක්” එනවා කියලා. (මතෙ. 24:21) ඉතින් අපිට ඕනෙ ඒ කාලේදී මොන වගේ දේවල් වෙයිද කියලා එයාලට කියන්න. එදාට බොරු ආගම් විනාශ වෙනවා. සාතන්ගේ මේ දුෂ්ට සමාජය හර්–මගෙදොන් යුද්දේදී නැත්තටම නැති වෙලා යනවා. අපි ආසයි ඒවා එයාලා දැනන් ඉන්නවා දකින්න. (එළි. 16:14, 16; 17:16, 17; 19:11, 19, 20) අපි දෙන මේ අනතුරු ඇඟවීම පිළි අරන් පුළුවන් තරම් දෙනෙක්ට සැබෑ නමස්කාරයට එකතු වෙන්න ලැබේවා කියලා අපි දෙවියන්ට යාච්ඤා කරනවා. ඒත් අපි කියන දේවල් කනකටවත් ගන්නේ නැති අයට මොනවා වෙයිද? ඒක පිළිගන්නේ නැති අපේ පවුලේ අයට මොනවා වෙයිද?

10. දිගටම අනතුරු අඟවන එක වැදගත් ඇයි?

10 අපි කලින් ලිපියේ බැලුවා වගේ මහ බැබිලෝනිය විනාශ වෙනවා දකිද්දී සමහරුන්ට දෙවියන් ගැන විශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. එයාලට බේරෙන්න යෙහෝවා සමහරවිට අවස්ථාව දෙයි. ඒක එහෙම වුණොත් දැන් අපි වෙනදාටත් වඩා වැඩියෙන් මේ අනතුරු ඇඟවීම මිනිස්සුන්ට දෙන්න ඕනෙ නේද? මොකද අපි දැන් ඒක කිව්වොත් තමයි එයාලට එදාට ඒක මතක් වෙන්නේ. (එස. 33:33) සමහරවිට එදාට එයාලට අපි දුන්න අනතුරු ඇඟවීම මතක් වෙලා එයාලා සැබෑ නමස්කාරයට එකතු වෙන්න පුළුවන්. ගැලවෙන්න තියෙන අන්තිම අවස්ථාවෙන් එයාලා ඒ විදිහට ප්‍රයෝජන ගනියි. මතකද ෆිලිප්පියේ හිරගෙයි භාරකරුව? එයාට විශ්වාසයක් ඇති වුණේ “භූමිකම්පාවක්” ඇති වුණාට පස්සේ. (ක්‍රියා 16:25-34) ඒ වගේ තමයි කෙනෙක් දැන් අපේ අනතුරු ඇඟවීම පිළිගත්තේ නැතත් මහ බැබිලෝනිය විනාශ වෙනවා දැක්කාම වෙනස් වෙන්න ඉඩ තියෙනවා.

යෙහෝවාට සහ ඔහුගේ නමට ආදරෙයි

11. බලසම්පන්න දෙවියන්ට සියලු ප්‍රශංසාවත් ගෞරවයත් දෙන්නේ කොහොමද? (එළිදරව් 4:11) (පින්තූරත් බලන්න.)

11 අපි දේශනා කරන ප්‍රධානම හේතුව යෙහෝවා දෙවියන්ට සහ ඔහුගේ නමට තියෙන ආදරේ. සේවේ යද්දී අපි ආදරේ කරන දෙවියන්ට ප්‍රශංසා කරන්න අවස්ථාව ලැබෙනවා. (එළිදරව් 4:11 කියවන්න.) යෙහෝවා දෙවියන් අපේ ගෞරවයත් ප්‍රශංසාවත් ලබන්න වටිනවා කියන දේට අපිත් එකඟයි. මේ “හැම දෙයක්ම හැදුවේ” දෙවියන් කියලත් අපි ජීවත් වෙන්නේ ඔහු නිසයි කියලත් පැහැදිලි වෙන සාක්ෂි සේවේ ගිහින් අපි පෙන්නනවා. ඒකෙන් අපි කරන්නේ ඔහුට ප්‍රශංසාව, ගෞරවය දෙන එකයි. අපේ දෙවි යෙහෝවා බලසම්පන්නයි. ඔහු කොච්චර බලසම්පන්න වුණත් අපිටත් පුළුවන් ඔහු වෙනුවෙන් දෙයක් දෙන්න. අපේ කාලය, ශ්‍රමය, අපිට තියෙන දේවල් සේවේදී ඔහු වෙනුවෙන් දෙන්න අපිට පුළුවන්. (මතෙ. 6:33; ලූක් 13:24; කොලො. 3:23) ඇත්තටම අපි ආදරේ කරන දෙවියන් ගැන අපි කතා කරන්නේ හරිම ආසාවෙන්. යෙහෝවාට තියෙන ආදරේ අපිව පොලඹවනවා ඔහුගේ නම ගැන, ඒ නම පිටිපස්සේ ඉන්න කෙනා ගැන අනිත් අයට කියන්න.

පින්තූරවල අදහස: ශුභාරංචිය අනිත් අයට කියන්න පුළුවන් විදි. 1. අප්‍රිකාවලදී යුවළක් කාන්තාවකටයි, එයාගේ දරුවාටයි එයාලාගේ ගේ ඉස්සරහා ඉඳන් සාක්ෂි දරනවා. 2. බස් එන කල් ඉන්න ගමන් සහෝදරියක් කාන්තාවකට සාක්ෂි දරනවා. 3. නිවාඩුවක් ගත කරන්න මුහුදු වෙරළකට ගිය වෙලාවක සහෝදරයෙක් එයාට එහා පැත්තේ ඉන්න කෙනාට සාක්ෂි දරනවා.

යෙහෝවා වෙනුවෙන් අපේ කාලය, ශ්‍රමය, අපිට තියෙන දේවල් දෙන්න අපිට පුළුවන් (11 ඡේදය බලන්න)


12. සේවේදී යෙහෝවාගේ නම ගෞරවයට පත් කරන්න පුළුවන් කොහොමද?

12 යෙහෝවාට තියෙන ආදරේ අපිව පොලඹවනවා ඔහුගේ නම ගෞරවයට පත් කරන්න. (මතෙ. 6:9) සාතන් පට්ටපල් බොරු ගොතලා යෙහෝවාගේ නම කැත කරලා තියෙනවා. අපිට ඕනෙ ඔහුගේ නමට ඇති වුණ ඒ කැළල අයින් කරන්න උදව් කරන්න. (උත්. 3:1-5; යෝබ් 2:4; යොහ. 8:44) පණිවිඩේ අහන්න කැමති හැමෝටම යෙහෝවා කවුද, ඔහු මොන වගේ කෙනෙක්ද කියලා අපි කියන්නේ හරිම ආසාවෙන්. අපිට ඕනෙ ඔහු ආදරණීය කෙනෙක් කියලත් ඔහු පාලනය කරන්නේ ධර්මිෂ්ඨව, සාධාරණව කියලත් හැමෝටම කියන්න. ඒ වගේම ඔහුගේ රාජ්‍යයෙන් ඉස්සරහට මේ පොළොවේ හැම දුකක්ම, කරදරයක්ම නැති කරනවා කියලා අනිත් අයට කියන්න. (ගීතා. 37:10, 11, 29; 1 යොහ. 4:8) ඒ විදිහට අපි යෙහෝවා වෙනුවෙන් කතා කරද්දී අපි ඔහුගේ නම ගෞරවයට පත් කරනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන නමට ගැළපෙන විදිහට වැඩ කරන්නත් අපිට පුළුවන් වෙනවා. ඒ ගැන අපිට සතුටුයි.

13. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට අපිව හඳුන්වන එක ගැන අපි ආඩම්බර ඇයි? (යෙසායා 43:10-12)

13 යෙහෝවා අපිව ඔහුගේ “සාක්ෂිකරුවන්” විදිහට තෝරගෙන තියෙනවා. (යෙසායා 43:10-12 කියවන්න.) කාලෙකට කලින් පාලක මණ්ඩලයෙන් එවපු ලියුමක මෙහෙම තිබ්බා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට අපිව හඳුන්වන එක තරම් ගෞරවයක් තවත් නැහැ.” එහෙම කියන්නේ ඇයි? මේ උදාහරණේ බලන්න. කෙනෙක් ඔයාට බොරු චෝදනාවක් කරනවා. උසාවියට ඇවිල්ලා ඔයා වෙනුවෙන් සාක්ෂි දීලා ඒ චෝදනාව බොරුයි කියලා ඔප්පු කරන්න කොයි වගේ කෙනෙක්වද ඔයා තෝරගන්නේ? ඒ කෙනා ඔයා ගැන හොඳට දන්න, ඔයාට විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනේ. අනිත් අය අතරේ එයාට හොඳ නමකුත් තියෙන්න ඕනේ. නැත්නම් එයා කියන දේවල් කවුරුත් පිළිගන්න එකක් නැහැ. යෙහෝවා අපිව ඔහුගේ සාක්ෂිකරුවන් විදිහට තෝරගත්ත එකෙන් තේරෙනවා ඔහු අපි ගැන හොඳට දන්නවා, ඔහුට අපිව විශ්වාසයි කියලා. සාක්ෂිකරුවන් විදිහට අපිව තෝරගෙන ඔහු අපිට ගෞරවයක් දීලා තියෙන නිසා ඔහුගේ නම ගැන කියන්න, සාතන් ඔහු ගැන කියලා තියෙන බොරු හෙළි කරන්න අපිට ලැබෙන කිසිම අවස්ථාවක් අපි අත්හරින්නේ නැහැ. ඔහු ගැන සාක්ෂි දෙන්න ලැබුණ එක අපිට ලොකු ආඩම්බරයක්!—ගීතා. 83:18; රෝම 10:13-15.

අවසානය එන කල්ම කියනවා

14. ළඟදීම වෙන්නේ මොන වගේ දේවල්ද?

14 ළඟදීම අපිට ආස හිතෙන හුඟක් දේවල් සිද්ධ වෙයි. මහත් පීඩාව පටන්ගන්න කලින් තව හුඟදෙනෙක් සත්‍යයට එනවා දකින්න අපි හරි ආසාවෙන් බලන් ඉන්නවා. මිනිස් ඉතිහාසයේ අඳුරුම කාලේ, ඒ කියන්නේ මහත් පීඩාව කාලේ හුඟදෙනෙක් සාතන්ගේ ලෝකෙට පයින් ගහලා යෙහෝවාගේ පැත්තට එනවාත් අපිට දකින්න පුළුවන් වෙයි.—ක්‍රියා 13:48.

15-16. අපි දිගටම කරන්නේ මොකක්ද? කවදා වෙන කල්ද?

15 එතකල් අපිට කරන්න වැඩක් තියෙනවා. ඒක ආයේ කවදාවත් කරන්න හම්බ වෙන්නේ නැති වැඩක්. ඒ, මුළු පොළොව පුරාම දේවරාජ්‍යය ගැන ශුභාරංචිය කියන එක. ඒ ගමන්ම අපිට අනතුරු ඇඟවීමකුත් දෙන්න තියෙනවා. මේ දුෂ්ට සමාජයේ අවසානය අත ළඟයි කියලා මිනිස්සු දැනගන්න ඕනේ. එතකොට ඒ දවස එද්දී අපි කියපු ඒ පණිවිඩේ යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ එකක් කියලා එයාලට තේරෙයි.—එස. 38:23.

16 ශුභාරංචියට, මිනිස්සුන්ට, ඒ ඔක්කොටම වඩා යෙහෝවාට, ඔහුගේ නමට අපි ගොඩක් ආදරෙයි. ඒ ආදරේ නිසා කලින්ටත් වඩා උනන්දුවෙන්, උද්‍යෝගයෙන්, පරක්කු කරන්නේ නැතුව මේ පණිවිඩේ කියන්න අධිෂ්ඨාන කරගමු. “දැන් ඇති” කියලා යෙහෝවා කියන කල් දිගටම ඒක කියමු.

සේවේ කරන්න මේ දේවල් ඔයාව පොලඹවන්නේ කොහොමද?

  • ශුභාරංචියට තියෙන ආදරේ

  • මිනිස්සුන්ට තියෙන ආදරේ

  • යෙහෝවාට සහ ඔහුගේ නමට තියෙන ආදරේ

ගීතිකාව 54 “යා යුතු හරි මඟ”

a 2023 ඔක්තෝබර් 7වෙනිදා නිව් යෝර්ක්වල නිව්බර්ග් සමුළු ශාලාවේ වාර්ෂික රැස්වීම පැවැත්තුවා. ඒ වැඩසටහනේ පළවෙනි කොටස 2023 නොවැම්බර් බ්‍රෝඩ්කාස්ටිං එකෙනුත් දෙවෙනි කොටස 2024 ජනවාරි බ්‍රෝඩ්කාස්ටිං එකෙනුත් බලන්න පුළුවන්.

b 2015 පෙබරවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ “ජීවිත වෙනස් කළ පොතක් - තර්කානුකූල උත්තර බයිබලයෙන් ලැබුණාම මට පුදුම හිතුණා” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න