යුද ගිනි නිවලා දාන්න මිනිස්සුන්ට පුළුවන්ද?
මිනිස්සු එක එක දේවල් නිසා ගහමරාගන්නවා. සමහරු ආර්ථිකයේ, දේශපාලනයේ සහ සමාජයේ වෙනස්කම් වෙනුවෙන් අරගල කරනවා. තවත් අය ඉඩම්, ස්වාභාවික සම්පත් අල්ලගන්න යුද්ධ කරනවා. කාලයක් තිස්සේ පවතින ජාති, ආගම්, කුල භේද නිසාත් මිනිස්සු අතරේ ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් නවත්තලා සාමය ඇති කරන්න පාලකයන් විවිධ දේවල් කරනවා. ඒ මොනවාද? එයාලා දරන ඒ වෑයම් සාර්ථක වෙයිද? අපි දැන් ඒ ගැන බලමු.
Drazen_/E+ via Getty Images
ආර්ථිකය ගොඩනඟන එක
එයාලාගේ ඉලක්කය: ගොඩක් ගැටුම්වලට ප්‍රධාන හේතුවක් වෙන්නේ ඇති නැති පරතරය. ඒ නිසා පාලකයන් හදන්නේ මිනිස්සුන්ගේ ජීවන තත්වය දියුණු කරලා ඒ පරතරය නැති කරන්න නැත්නම් අඩු කරන්න.
බාධා: එහෙම කරන්න නම් ආණ්ඩු බලධාරීන්ට සිද්ධ වෙනවා එයාලා මුදල් වියදම් කරන විදිහේ වෙනසක් කරන්න. 2022දී ලෝකේ පුරාම මිනිස්සුන්ගේ ජීවන තත්වය දියුණු කරන්න ඇමරිකානු ඩොලර් බිලියන 34.1ක් විතර වියදම් කරලා තියෙනවා. හැබැයි ඊට වඩා 250 ගුණයක් යුද්ධ වෙනුවෙන් ඒ අවුරුද්දේ වියදම් කරලා තියෙනවා.
“අපි යුද්ධ වළක්වන්න, සාමය ඇති කරන්න යොදවන මුදල්වලට වඩා වැඩි මුදලක් සහ සම්පත් ප්‍රමාණයක් යුද්ධවලින් පීඩා විඳින අය වෙනුවෙන් යොදවනවා.”— ඇන්ටෝනියෝ ගුටරෙස්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්.
බයිබලේ කියන්නේ මෙහෙමයි: දුප්පත් අයට උදව් කරන්න ලෝකේ ආණ්ඩුවලට, ආයතනවලට පුළුවන්. ඒත් දුප්පත්කම සම්පූර්ණයෙන්ම නැති කරන්න එයාලට බැහැ.—ද්විතීය කතාව 15:11; මතෙව් 26:11.
එකඟතාවක් ඇති කරගන්න එක
එයාලාගේ ඉලක්කය: දෙපිරිසක් හැමෝගෙම යහපත වෙනුවෙන් සාමකාමීව කතා කරලා ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න වළක්වගන්න එක නැත්නම් ප්‍රශ්න විසඳගන්න එක.
බාධා: ප්‍රශ්නයක් ගැන කතා කරන්න, සමථයකට එන්න, එකඟතාවකට එන්න එක කණ්ඩායමක් හරි අකමැති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, සාම ගිවිසුම් ඇති කරන අය ඒවා ඉක්මනින්ම කඩනවා.
“යුද්ධ නැති කරන්න එකඟතාවකට ආවාට පස්සෙත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද ඒ අය ඇති කරගත්ත ගිවිසුම්වල කොච්චර අඩුපාඩු තියෙනවාද කියනවා නම් ඒවා නිසාම තවත් ගැටුම් ඇති වෙනවා.”—American Diplomacy, රේමන්ඩ් එෆ්. ස්මිත්ගේ වෙබ් ලිපියක්.
බයිබලේ කියන්නේ මෙහෙමයි: මිනිස්සු ‘සාමය රැකගන්න ලොකු වෑයමක් දරන්න’ ඕනේ. (ගීතාවලිය 34:14) ඒත් අද ඉන්න හුඟක් අය ‘අනිත් අයට ද්‍රෝහි වෙනවා. එයාලා කිසිම දෙයක් ගැන එකඟ වෙන්නේ නැහැ. අනිත් අයව පාවලා දෙනවා.’ (2 තිමෝති 3:1-4) ඒ වගේ මිනිස්සු නිසා අවංක පාලකයන්ට වුණත් යුද ගැටුම් නවත්තන්න බැරි වෙලා තියෙනවා.
නිරායුධකරණය
එයාලාගේ ඉලක්කය: අවි සීමා කරන එක නැත්නම් අහෝසි කරන එක. ඒ අවිවලට විශේෂයෙන්ම න්‍යෂ්ටික, රසායනික සහ ජීව අවි ඇතුළත් වෙනවා.
බාධා: හුඟක් රටවල් එයාලාගේ බලය නැති වෙයි නැත්නම් සතුරු ජාතීන් ඉස්සරහා අසරණ වෙයි කියන බය නිසා නිරායුධකරණයට කැමති නැහැ. අවි අයින් කරලා දැම්මත් මිනිස්සු ගහමරාගන්න හේතු වෙන දේවල් අයින් වෙලා යන්නේ නැහැ.
“1991දී සීතල යුද්ධය නතර වුණාට පස්සේ හුඟක් ආණ්ඩු අවි අහෝසි කරන්න එකඟ වුණා. ගැටුම් ඇති වෙන එක වළක්වන්න, රටවල් අතරේ තියෙන නොසන්සුන්කාරී තත්වයන් අවම කරන්න සහ වඩා සුරක්ෂිත ලෝකයක් බිහි කරන්න ඇපකැප වෙලා වැඩ කරනවා කියලත් එයාලා පොරොන්දු වුණා. ඒත් එයාලාගෙන් වැඩිදෙනෙක් ඒ පොරොන්දු කඩ කරලා තියෙනවා.”—“Securing Our Common Future: An Agenda for Disarmament.”
බයිබලේ කියන්නේ මෙහෙමයි: මිනිස්සු එයාලාගේ ‘කඩුවලින් නගුල් හදාගන්න’ ඕනේ. ඒ කියන්නේ එයාලාගේ අවි අයින් කරලාම දාන්න ඕනේ. (යෙසායා 2:4) ඒ විතරක් මදි. එයාලාගේ හිත්වල තියෙන දරුණු අදහසුත් අයින් කරන්න ඕනේ. මොකද මිනිස්සු ගහමරාගන්නේ, යුද්ධ කරන්නේ ඒ වගේ අදහස් නිසයි.—මතෙව් 15:19.
ආරක්ෂාව වෙනුවෙන් සන්ධාන හදාගන්න එක
එයාලාගේ ඉලක්කය: සතුරු තර්ජනයක් ඇති වෙද්දී එකිනෙකාට උදව් කරගන්න රටවල් කීපයක් එකඟ වෙනවා. තනි රටක් ඒ වගේ සන්ධානයකට විරුද්ධව යුද්ධයක් පටන්ගන්න බය වෙයි කියලයි එයාලා හිතන්නේ.
බාධා: රටවල් කීපයක් එක්ක සටන් කරන්න තනි රටක් බය වෙයි කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ යුද්ධයක් ඇති වෙන්නේ නැහැ කියලා. සන්ධානයක ඉන්න රටවල් වුණත් හැම වෙලේම එයාලා ඇති කරගත්ත ගිවිසුම්වලට එකඟව වැඩ කරන්නේ නැහැ. සතුරාට විරුද්ධව පියවර ගන්නේ කොහොමද, කොයි කාලේද කියන දේ ගැනත් එයාලා අතරේ මතගැටුම් තියෙන්න පුළුවන්.
“ජාතීන්ගේ සංගමය වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් . . . රටවල් අතරේ සන්ධාන ඇති කරන්න ලොකු වෑයමක් දැරුවා. ඒත් යුද්ධ නවත්තන්න ඒ සන්ධානවලට බැරි වෙලා තියෙනවා.”—“Encyclopedia Britannica.”
බයිබලේ කියන්නේ මෙහෙමයි: වැඩිදෙනෙක් එකතු වෙලා දෙයක් කරද්දී එයාලට එකිනෙකාව ආරක්ෂා කරන්න පුළුවන්. (දේශනාකාරයා 4:12) ඒ වුණත් ආණ්ඩුවලටවත් මිනිස්සු ඇති කරන සංවිධානවලටවත් නියම සාමය, සුරක්ෂිතභාවය ගේන්න බැහැ. “රජ කුමරුන් කෙරෙහිවත්, පිහිටවිය නොහැකි කිසිම මිනිසෙකු කෙරෙහිවත් විශ්වාසය නොතබන්න. මිනිසා අන්තිම හුස්ම හෙළයි; පසට ආපසු හැරෙයි; එදිනම ඔහුගේ යෝජනා සුන් වී යයි.”—ගීතාවලිය 146:3, 4, නව අනුවාදය.
හුඟක් පාලකයන් හැමදාටම සාමය ඇති කරන්න මොන තරම් වෑයම් දැරුවත් යුධ ගිනිදලු නිවලා දාන්න තාමත් බැරි වෙලා තියෙනවා