පාඩම් ලිපිය 17
ගීතිකාව 99 දස දහස් ගණන් සොහොයුරන්
අපි කවදාවත් තනි වෙන්නේ නැහැ
‘මම ඔබට උදව් කරනවා.’—යෙසා. 41:10.
ලිපියේ අරමුණ
යෙහෝවා අපිව බලාගන්න පැති හතරක්.
1-2. (අ) අපිට ප්‍රශ්නවලට තනියම මූණ දෙන්න වෙන්නේ නැහැ කියලා අපි දන්නේ කොහොමද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
දරාගන්න බැරි ප්‍රශ්නවල ඉද්දී අපිට දැනෙන්නේ අපි කුණාටු සාගරයක් මැද පුංචි බෝට්ටුවක තනි වෙලා ඉන්නවා වගේ. හැබැයි අපිට ප්‍රශ්නවලට මූණ දෙන්න වෙලා තියෙන්නේ තනියම නෙවෙයි. ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා අපේ හැම ප්‍රශ්නයක්ම දකිනවා. ඔහු පොරොන්දු වෙනවා ඒ ප්‍රශ්නවලින් එතෙර වෙන්න ඔහු අපිට හයියක් වෙනවා කියලා. ඔහු ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට කියනවා ‘මම ඔබට උදව් කරනවා’ කියලා.—යෙසා. 41:10.
2 යෙහෝවා අපිට උදව් කරන පැති හතරක් මේ ලිපියෙන් අපි බලනවා. (1) ඔහු අපිට මඟ පෙන්නනවා. (2) ඔහු අපිට ඕන දේවල් දෙනවා. (3) ඔහු අපිව ආරක්ෂා කරනවා. (4) ඔහු අපිව සනසනවා. අපිට ජීවිතේ මොන ප්‍රශ්නෙකට මූණ දෙන්න වුණත් ඔහු සහතික වෙනවා අපිව කිසිම දවසක අමතක කරන්නේ නැහැ, අපිව දාලා යන්නේ නැහැ කියලා. ඒ නිසා අපි කවදාවත් තනි වෙන්නේ නැහැ.
යෙහෝවා අපිට මඟ පෙන්නනවා
3-4. යෙහෝවා අපිට මඟ පෙන්නන්නේ කොහොමද? (ගීතාවලිය 48:14)
3 ගීතාවලිය 48:14 කියවන්න. යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි යන්න ඕන මාර්ගය අපිම හොයාගනියි කියලා. ඔහු අද ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට මඟ පෙන්නන එක විදිහක් තමයි බයිබලය. (ගීතා. 119:105) හොඳ තීරණ ගන්න, දැනුත් සදහටමත් සතුටින් ඉන්න උදව් වෙන ගුණාංග ඇති කරගන්න ඔහුගේ මඟ පෙන්වීමෙන් ලියපු බයිබලේ අපිට උදව් කරනවා.a උදාහරණෙකට තරහ හිතේ තියාගන්නේ නැතුව ඉන්න, හැම දේකදීම අවංක වෙන්න, හද පත්ලෙන්ම අනිත් අයට ආදරේ කරන්න යෙහෝවා අපිට උගන්නනවා. (ගීතා. 37:8; හෙබ්‍රෙ. 13:18; 1 පේතෘ. 1:22) ඒ වගේ ගුණාංග අපි පෙන්නද්දී අපිට පුළුවන් හොඳ දෙමාපියන්, හොඳ ස්වාමිපුරුෂයන්, හොඳ භාර්යාවන්, හොඳ යාළුවන් වෙන්න.
4 ඊට අමතරව ප්‍රශ්නවලට මූණ දීපු, අපි වගේම හැඟීම් තියෙන මිනිස්සුන්ගේ අද්දැකීමුත් යෙහෝවා ඔහුගේ වචනයට ඇතුළත් කරලා තියෙනවා. (1 කොරි. 10:13; යාකො. 5:17) ඉතින් අපි ඒ අද්දැකීම් කියවලා ඒවාවලින් ඉගෙනගන්න පුළුවන් පාඩම් අදාළ කරගද්දී අපි පැති දෙකකින්වත් ප්‍රයෝජන ගන්නවා. (1) අපිට තේරෙනවා අපි තනි වෙලා නැහැ කියලා. අපි මූණ දෙනවා වගේ ප්‍රශ්නවලට මූණ දීපු, ඒවා සාර්ථකව ජය ගත්ත තවත් අය ඉන්නවා. (1 පේතෘ. 5:9) (2) අපි ප්‍රශ්න විඳදරාගන්න විදිහ ඉගෙනගන්නවා.—රෝම 15:4.
5. ජීවනයට යන පාරේ යද්දී අපිට මඟ පෙන්නන්න යෙහෝවා පාවිච්චි කරන්නේ කාවද?
5 යෙහෝවා අපිට මඟ පෙන්නන්න අපේ සහෝදරයන්වත් පාවිච්චි කරනවා.b මාස කීපයකට සැරයක් චාරිකා සේවකයන් සභාවලට ඇවිත් අපිව දිරිගන්වනවා. එයාලාගේ දේශන නිසා අපේ විශ්වාසේ ශක්තිමත් වෙනවා. අපි අතර එක්සත්කම තියාගන්නත් ඒවා උදව් වෙනවා. (ක්‍රියා 15:40–16:5) යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් තියාගන්න වැඩිමහල්ලන් එක් එක් ප්‍රචාරකයාට උදව් කරනවා. (1 පේතෘ. 5:2, 3) යෙහෝවාට ආදරේ කරන්න, හොඳ තීරණ ගන්න, හොඳ පුරුදු ඇති කරගන්න දෙමාපියන් දරුවන්ට උදව් කරනවා. (හිතෝ. 22:6) අවබෝධයෙන් වැඩ කරන සහෝදරියන් තරුණ සහෝදරියන්ට හොඳ ආදර්ශයක් තියනවා. එයාලට ඕන මඟ පෙන්වීම් දීලා ආදරෙන් දිරිගන්වනවා.—තීත. 2:3-5.
6. යෙහෝවා දෙන මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන ගන්න අපි කරන්න ඕන මොනවාද?
6 හොඳ තීරණ ගන්න අපිට ඕන කරන හැම මඟ පෙන්වීමක්ම යෙහෝවා දෙනවා. ඒ ගැන අපිට ලොකු අගයක් තියෙනවා කියලා පෙන්නන්නේ කොහොමද? හිතෝපදේශ 3:5, 6 කියනවා “ඔයාගෙම නුවණ මත රඳා ඉන්න එපා. මුළු හදවතින්ම යෙහෝවාව විශ්වාස කරන්න” කියලා. එහෙම කරද්දී “යන්න ඕනෙ හරි පාර ඔහු පෙන්වලා දෙයි.” ඒ කියන්නේ ප්‍රශ්නවලට වැටෙන්නේ නැතුව සතුටින් ඉන්න ඔහු අපිට උදව් කරනවා. ඇත්තටම යෙහෝවා අපි එක් එක් කෙනාට ආදරෙන් දෙන උපදෙස් ගැන අපි ඔහුට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද!—ගීතා. 32:8.
යෙහෝවා අපිට ඕන කරන දේවල් දෙනවා
7. යෙහෝවා අපිට ඕන කරන දේවල් දෙන සමහර විදි මොනවාද? (ෆිලිප්පි 4:19)
7 ෆිලිප්පි 4:19 කියවන්න. යෙහෝවා මඟ පෙන්වීම් දෙනවා වගේම කෑම, ඇඳුම්, ඉන්න තැනක් හොයාගන්න අපි මහන්සි වෙද්දී ඒ මහන්සියට ආශීර්වාදත් කරනවා. (මතෙ. 6:33; 2 තෙස. 3:12) ඇත්ත, එදිනෙදා අවශ්‍ය කරන දේවල් ගැන අපි වධ වෙන එක සාමාන්‍යයි. ඒත් යෙහෝවා කියනවා ඒ ගැන ඕනාවට වඩා කනස්සලු වෙන්න එපා කියලා. (මතෙ. 6:25) මොකද යෙහෝවා කියන්නේ තමන්ගේ විශ්වාසවන්ත සේවකයන් අසරණ වෙද්දී අත්හැරලා යන තාත්තා කෙනෙක් නෙවෙයි. (මතෙ. 6:8; හෙබ්‍රෙ. 13:5) අවශ්‍ය දේවල් දෙනවා කියලා ඔහු දීලා තියෙන පොරොන්දුව සැක කරන්න අපිට කිසිම හේතුවක් නැහැ.
8. යෙහෝවා දාවිත් වෙනුවෙන් කළේ මොනවාද?
8 යෙහෝවා දාවිත්ට උදව් කරපු විදිහ බලන්න. සාවුල්ගෙන් පලා යන කාලේ දාවිත් ගොඩක් අමාරු දේවලට මූණ දුන්නා. ඒ කාලේ පුරාම යෙහෝවා එයාටයි, එයාත් එක්ක හිටපු අයටයි අවශ්‍ය දේවල් දීලා එයාලව බලාගත්තා. ඒ කාලේ ගැන මතක් කරලා දාවිත් මෙහෙම කියනවා. “දැන් මං මහලුයි. මගේ තරුණ කාලේ ඉඳන් මේ වෙන කල් කිසිම ධර්මිෂ්ඨ කෙනෙක්ව අත්හැරලා දානවාවත් ඔහුගේ දරුවන් කෑම හිඟා කනවාවත් මම දැකලා නැහැ.” (ගීතා. 37:25) යෙහෝවා අවශ්‍ය දේවල් දීලා ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව බලාගන්න විදිහ ඔයාත් දැකලා ඇති.
9. විපත්තිවලදී යෙහෝවා ඔහුගේ සෙනඟට අවශ්‍ය දේවල් දෙන්නේ කොහොමද? (පින්තූරත් බලන්න.)
9 විපත්තිවලදීත් යෙහෝවා ඔහුගේ සෙනඟට ඕන කරන දේවල් දෙනවා. උදාහරණෙකට මුල් සියවසේදී ආපු සාගතයෙන් පීඩා විඳපු අයට අවශ්‍ය කරන දේවල් එක එක පැතිවල හිටපු සහෝදර සහෝදරියන් යැව්වා. (ක්‍රියා 11:27-30; රෝම 15:25, 26) අදත් දෙවියන්ගේ සෙනඟ එහෙමයි. විපතකදී යෙහෝවා ඔහුගේ සෙනඟව පොලඹවනවා අසරණ වුණ සහෝදර සහෝදරියන්ට අවශ්‍ය කෑම, වතුර, ඇඳුම්, බෙහෙත් දෙන්න. ඉදි කිරීම් අංශයේ ඉන්න සහෝදරයන් හානි වුණ ගෙවල්, නමස්කාර මධ්‍යස්ථාන අලුත්වැඩියා කරනවා. ආදරේ කරන අයවත් ගෙවල් දොරවලුත් අහිමි වුණ අයව සනසන්න, එයාලව ශක්තිමත් කරන්න දෙවියන්ගේ සෙනඟ ඉක්මනින්ම යනවා.c
විපතකට මූණ දීලා ඉද්දී යෙහෝවා අපිට ඕන සහනය දෙන්නේ කොහොමද? (9 ඡේදය බලන්න)e
10-11. බොරිස්ගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?
10 යෙහෝවා ඔහුට නමස්කාර නොකරන අයවත් බලාගන්නවා. අපිටත් ඕනෙ ඔහුව විශ්වාස කරන්නේ නැති අයට වුණත් කරුණාව පෙන්නන්න පුළුවන් අවස්ථා හොයන්නයි. (ගලා. 6:10) ඒකෙන් යෙහෝවා ගැන හොඳ සාක්ෂියක් දෙන්න පුළුවන්. බලන්න බොරිස්ගේ අද්දැකීම. එයා යුක්රේනයේ ඉස්කෝලෙක විදුහල්පති කෙනෙක්. සාක්ෂිකරුවෙක් නොවුණාට එයා හැම තිස්සේම සාක්ෂිකාර දරුවන්ට කරුණාවන්තව සැලකුවා. එයාලාගේ විශ්වාසයන්වලට ගරු කළා. යුද්දේ නිසා බොරිස් තීරණේ කළා රටේ ආරක්ෂිත තැනකට පලා යන්න. ඒ වෙලාවේ අපේ සහෝදරයන් එයාට හුඟක් උදව් කළා. පස්සේ බොරිස් සිහි කිරීමටත් ආවා. බොරිස් මෙහෙම කියනවා. “සාක්ෂිකරුවන් මං ගැන හොඳට හොයලා බැලුවා. එයාලා කරපු දේවලට මං එයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.”
11 දෙවියන්ට නමස්කාර කළා හෝ නැතා අපිටත් ඕනෙ අපේ තාත්තා වගේ අසරණ වුණ අයට ආදරේ පෙන්නන්න. (ලූක් 6:31, 36) අපි පෙන්නන ආදරේ නිසා කවදා හරි දවසක එයාලා යේසුස්ගේ අනුගාමිකයන් වෙයි කියලා අපි හිතනවා. (1 පේතෘ. 2:12) ඒ නැතත් එයාලට උදව් කරලා දීමෙන් ලැබෙන සතුට අද්දකින්න අපිට පුළුවන්.—ක්‍රියා 20:35.
යෙහෝවා අපිව ආරක්ෂා කරනවා
12. යෙහෝවා ඔහුගේ සෙනඟට මොන වගේ ආරක්ෂාවක් දෙනවා කියලද පොරොන්දු වෙන්නේ? (ගීතාවලිය 91:1, 2, 14)
12 ගීතාවලිය 91:1, 2, 14 කියවන්න. යෙහෝවා පොරොන්දු වෙනවා ඔහුත් එක්ක අපිට තියෙන බැඳීමට හානි වෙන කිසිම දෙයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඔහු කවදාවත් සාතන්ට ඉඩ දෙන්නේ නැහැ සැබෑ නමස්කාරයට හානියක් කරන්න. (යොහ. 17:15) “මහත් පීඩාවේදී” විශ්වාසේ ශක්තිමත්ව තියාගන්න උදව් කරනවා කියලත් අපිව ආරක්ෂා කරනවා කියලත් යෙහෝවා දීලා තියෙන පොරොන්දුව ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරනවා.—එළි. 7:9, 14.
13. යෙහෝවා අපි එක් එක් කෙනාව ආරක්ෂා කරන්නේ මොන විදිවලින්ද?
13 යෙහෝවා අපි එක් එක් කෙනාව ආරක්ෂා කරන්නේ කොහොමද? බයිබලේ මාර්ගයෙන් ඔහු අපිට උදව් කරනවා හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා තේරුම්ගන්න. (හෙබ්‍රෙ. 5:14) අපි බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙද්දී යෙහෝවාත් එක්ක අපිට තියෙන බැඳීම ආරක්ෂා වෙනවා. සතුටින්, නිරෝගිමත් ජීවිත ගත කරන්න ඕන කරන හොඳ තීරණ ගන්නත් පුළුවන් වෙනවා. (ගීතා. 91:4) යෙහෝවා සභාව මාර්ගයෙනුත් අපිව ආරක්ෂා කරනවා. (යෙසා. 32:1, 2) යෙහෝවාට ආදරේ කරන, ඔහුගේ ප්‍රමිතිවලට කීකරු වෙන අයව අපි නිතරම ආශ්‍රය කරද්දී අපිට ඕන කරන දිරිගැන්වීම් වගේම නරක බලපෑම්වලට විරුද්ධව සටන් කරන්න ඕන ශක්තියත් ලැබෙනවා.—හිතෝ. 13:20.
14. (අ) යෙහෝවා අපිට එන හැම ප්‍රශ්නයක්ම අයින් කරලා දාන්නේ නැත්තේ ඇයි? (ආ) ගීතාවලිය 9:10 අපිට දෙන සහතිකය මොකක්ද? (පාදසටහනත් බලන්න.)
14 යෙහෝවා ඔහුගේ සේවකයන්ට අනතුරක් වෙන්න නොදී එයාලව ආරක්ෂා කරපු අවස්ථා තියෙනවා. ඒත් ඔහු හැම තිස්සේම එහෙම කරන්නේ නැහැ. සමහර වෙලාවට “බලාපොරොත්තු නොවුණ දේවල්වලට” අපිට මූණ දෙන්න වෙනවා. (දේශ. 9:11) ඒ වගේම විරුද්ධවාදිකම්වලට, මරණයට පවා මූණ දෙන්න යෙහෝවා ඔහුගේ සෙනඟට ඉඩහැරලා තියෙනවා. ඒ, සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්නයි. (යෝබ් 2:4-6; මතෙ. 23:34) අදත් යෙහෝවා අපිට එන ප්‍රශ්න අයින් කරන්නේ නැහැ. ඒත් අපිට විශ්වාසයි ඔහු ආදරේ කරන අයව ඔහු කවදාවත් අත්හරින්නේ නැහැ කියලා.d—ගීතා. 9:10.
යෙහෝවා අපිව සනසනවා
15. යාච්ඤාවෙන්, බයිබලෙන්, සහෝදරයන් මාර්ගයෙන් අපිට සහනය ලැබෙන්නේ කොහොමද? (2 කොරින්ති 1:3, 4)
15 2 කොරින්ති 1:3, 4 කියවන්න. සමහර වෙලාවලදී වියෝදුක, කනස්සල්ල, පීඩනය වගේ හැඟීම් අපිට දැනෙයි. ඔයා මේ දැනුත් ඉන්නේ ලොකු ප්‍රශ්නෙක වෙන්න ඇති. ඔයාට ලොකු තනිකමක් දැනෙනවාත් ඇති. ඔයාගේ හැඟීම් තේරුම්ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? ඔව්. ඒ, යෙහෝවා. ඔහු ඔයාගේ හැඟීම් තේරුම්ගන්නවා විතරක් නෙවෙයි ‘මොන පීඩාවකට මූණ දුන්නත් ඔහු ඔයාව සනසනවා.’ ඔයා හිතේ තියෙන හැම දෙයක්ම යාච්ඤාවෙන් ඔහුට කියද්දී “කිසිම මනුස්සයෙක්ට තේරුම්ගන්න බැරි” සමාදානයක් ඔහු ඔයාට දෙනවා. (ෆිලි. 4:6, 7) ඔහු අපි වෙනුවෙන්ම ලියලා තියෙන ඔහුගේ වචනය කියවද්දීත් ලොකු සැනසීමක් දැනෙනවා. ඔහු අපිට කොච්චර ආදරේද කියලා ඒකේ තියෙනවා. ඥානවන්ත තීරණ ගන්න ඔහු අපිට උගන්නනවා වගේම ඔහු ඒකේ අපිට බලාපොරොත්තුවකුත් දීලා තියෙනවා. රැස්වීම්වලදීත් අපිට ලොකු සහනයක් දැනෙනවා. අපි දිරිගැන්වෙන ගොඩක් දේවල් ඒකෙන් ඉගෙනගන්නවා. අපිට ආදරේ කරන අයගෙන් අපි වට වෙලා ඉන්න නිසා එයාලාගෙනුත් අපි ලොකු සැනසීමක් ලබනවා.
16. නේතන්ගෙයි, ප්‍රිසිලාගෙයි අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?
16 යෙහෝවා බයිබලේ මාර්ගයෙන් අපිව සනසන්නේ, දිරිගන්වන්නේ කොහොමද කියලා තේරුම්ගන්න අපි එක්සත් ජනපදයේ ඉන්න නේතන්ගෙයි, ප්‍රිසිලාගෙයි අද්දැකීම බලමු. මීට අවුරුදු කීපයකට කලින් එයාලා ප්‍රචාරකයන් අඩු පැත්තකට සේවේ කරන්න ගියා. නේතන් මෙහෙම කියනවා. “අපි විශ්වාස කරා යෙහෝවා අපේ තීරණේට ආශීර්වාද කරයි කියලා.” ඒත් අලුත් පැවරුමට ගියාට පස්සේ එයාලා සෑහෙන සෞඛ්‍ය ප්‍රශ්නවලටයි, ආර්ථික ප්‍රශ්නවලටයි මූණ දුන්නා. ඉතින් එයාලා ආයේ ගෙදර ආවා. ඒත් එහෙමයි කියලත් සල්ලි ප්‍රශ්න අඩු වුණේ නැහැ. නේතන් මෙහෙම කියනවා. “මට හිතාගන්න බැරුව ගියා ඇයි අපි ගත්ත තීරණේට යෙහෝවා ආශීර්වාද කළේ නැත්තේ කියලා. මට හිතුණා එහෙම වුණේ මගේ අතින් වැරැද්දක් වුණ නිසාද කියලා.” ඒත් කාලයත් එක්ක එයාලා තේරුම්ගත්තා අමාරු කාලේදී යෙහෝවා එයාලව අත්හැරියේ නැහැ කියලා. නේතන් මෙහෙම කියනවා. “ඒ මුළු කාලෙම බයිබලේ හොඳ යාළුවෙක් වගේ අපිට ඕන දිරිගැන්වීම්, මඟ පෙන්වීම් දුන්නා. ආපු ප්‍රශ්න ගැන හිතනවාට වඩා යෙහෝවා උදව් කරපු විදිහ ගැන හිතපු එකෙන් ඉස්සරහට මොන අභියෝගේ ආවත් යෙහෝවා අපි එක්ක ඉන්නවා කියන විශ්වාසේ තව වැඩි වුණා.”
17. සහෝදරි හෙල්ගාට සහනය ලැබුණේ කොහොමද? (පින්තූරයත් බලන්න.)
17 සහෝදර සහෝදරියන් මාර්ගයෙනුත් යෙහෝවා අපිව සනසනවා. ඒක තේරුම්ගන්න හංගේරියාවේ ඉන්න හෙල්ගාගේ අද්දැකීම බලමු. අවුරුදු ගාණක් පුරා එයා එක එක විදිහේ අභියෝගවලට මූණ දුන්නා. ඒ නිසා එයාට ලොකු කනස්සල්ලක් දැනුණා. එයාට හිතුණා එයා කිසිම වැඩක් නැති කෙනෙක් කියලා. හැබැයි ආපස්ස හැරිලා බලද්දී එයාට තේරුණා සභාවේ අය මාර්ගයෙන් යෙහෝවා එයාට ඕන සහනය ලබා දුන්නා කියලා. බලන්න එයා කියන දේ. “වැඩ නිසයි, අනිත් ප්‍රශ්න නිසයි මං හෙම්බත් වෙලා හිටියේ. ඒ දවස්වල දරුවත් අසනීප වුණා. හැබැයි ඒ කාලේ පුරාම යෙහෝවා මට උදව් කරපු විදිහ මං දැක්කා. පහුගිය අවුරුදු 30 දිහා බලද්දී මාව සනසනවා කියලා යෙහෝවා දීලා තියෙන පොරොන්දුව ඔහු එක දවසක්වත් ඉටු නොකර හිටියේ නෑ. අනිත් අය හොඳට හිතලා, මාව අගය කරලා, කාරුණිකව කියන දේවලිනුත් යෙහෝවා මාව ශක්තිමත් කරා. මට සහනේ ඕනම කරන වෙලාවලදී සහෝදරයන්ගෙන් මෙසේජ් එකක්, කාඩ් එකක් හම්බ වුණා.”
අනිත් අයව සනසන්න යෙහෝවා ඔයාව පාවිච්චි කරන්නේ කොහොමද? (17 ඡේදය බලන්න)
18. අනිත් අයව සනසන්න අපිට පුළුවන් කොහොමද?
18 අනිත් අයව සනසන එකෙන් අපේ දෙවියන්ව ආදර්ශයට ගන්න අපිටත් අවස්ථාව තියෙනවා. කොහොමද ඒක කරන්න පුළුවන්? එයාලට ඉවසීමෙන් ඇහුම්කන් දීලා, එයාලට සහනයක් දැනෙන විදිහට කතා කරලා, එයාලට ඕන කරන උදව් දීලා අපිට ඒක කරන්න පුළුවන්. (හිතෝ. 3:27) අපිට ඕනෙ තාම දෙවියන්ට සේවේ කරන්නේ නැති අය ඇතුළු හැමෝවම සනසන්න. අපේ අසල්වැසියන් වියෝදුකෙන් ඉද්දී, අසනීපයෙන් ඉද්දී, කනස්සල්ලෙන් ඉද්දී අපි එයාලව බලන්න යනවා. එයාලට ඇහුම්කන් දෙනවා. එයාලට සහනයක් වෙන බයිබල් පදයක් පෙන්නනවා. “ඕනෙම අවස්ථාවකදී අපිව සනසන දෙවියන්ව” අපි ආදර්ශයට ගද්දී අපිට පුළුවන් අපේ සහෝදරයන්ට ප්‍රශ්න දරාගන්න උදව් කරන්න. ඒ විතරක් නෙවෙයි දෙවියන්ව විශ්වාස කරන්නේ නැති අයගේ හිතේ සැබෑ නමස්කාරය ගැන හොඳ හැඟීමක් ඇති කරන්නත් අපිට පුළුවන්.—මතෙ. 5:16.
යෙහෝවා ඕනම වෙලාවක අපි වෙනුවෙන් ඉන්නවා
19. යෙහෝවා අපි වෙනුවෙන් කරන්නේ මොනවාද? අපිට ඔහුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
19 යෙහෝවාට ආදරේ කරන හැම කෙනෙක් ගැනම ඔහු ගොඩක් හිතනවා. අපි ප්‍රශ්නවල පැටලිලා ඉද්දී ඔහු කවදාවත් අහක බලන්නේ නැහැ. දෙමාපියෙක් තමන්ගේ දරුවා ගැන සැලකිලිමත් වෙනවා වගේ යෙහෝවාත් ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් ගැන සැලකිලිමත්. ඔහු අපිට මඟ පෙන්නනවා. අපිට ඕන කරන දේවල් දෙනවා. අපිව ආරක්ෂා කරනවා. අපිව සනසනවා. ඉතින් අපිත් අපේ තාත්තාව ආදර්ශයට ගන්නවා නම් අපිටත් පුළුවන් ප්‍රශ්නවලට මූණ දෙන අයට උදව් කරන්න, එයාලට ශක්තියක් වෙන්න. මොන අභියෝග ආවත් හදවත බිඳෙන දේවල් වුණත් අපිට විශ්වාසයි යෙහෝවා අපිත් එක්ක ඉන්නවා කියලා. මොකද ඔහු පොරොන්දු වෙනවා “බය වෙන්න එපා. මම ඔබ එක්කම ඉන්නවා” කියලා. (යෙසා. 41:10) ඉතින් යෙහෝවා අපිත් එක්ක ඉන්න නිසා අපි එක මොහොතකටවත් තනි වෙන්නේ නැහැ.
ගීතිකාව 100 සැමදෙනාටම ආගන්තුක සත්කාරය පෙන්වන්න
a 2011 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ සඟරාවේ “දෙවිට ගෞරවය ගෙන දෙන තීරණ ගනිමු” කියන ලිපිය බලන්න.
c ඒ වගේ අවස්ථා ගැන දැනගන්න jw.org එකේ සොයන්න කියන තැන “සහන සේවා” කියලා ටයිප් කරන්න.
d 2017 පෙබරවාරි ‘මුරටැඹ’ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.
e පින්තූරවල අදහස: ස්වාභාවික විපතකට මූණ දීලා ඉන්න මලාවි රටේ සහෝදරයන්ට කෑම සහ වෙනත් අවශ්‍ය දේවල් ලැබෙනවා වගේම සහෝදරයන්ගෙන් සහනයත් ලැබෙනවා.