පාඩම් ලිපිය 19
ගීතිකාව 6 අහස දෙවිගේ තේජස ප්‍රකාශ කරයි
දේවදූතයන්ව ආදර්ශයට ගන්න
‘යෙහෝවාගේ අණට කීකරු වෙන ඔහුගේ සියලු දූතයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.’—ගීතා. 103:20.
ලිපියේ අරමුණ
විශ්වාසවන්ත දේවදූතයන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වටිනා පාඩම්.
1-2. (අ) දේවදූතයන්ට වඩා අපි වෙනස් වෙන්නේ මොන පැතිවලින්ද? (ආ) දේවදූතයනුයි, අපියි අතරේ තියෙන සමානකම් මොනවාද?
යෙහෝවා ඔයාව සත්‍ය මාර්ගයට ඇදලා ගත්තාම ඔයා ඇතුල් වුණේ විවිධත්වය, ආදරය පිරුණු පවුලකට. ඒ පවුලේ හැමෝම යෙහෝවාට නමස්කාර කරන අය. ඒ පවුලේ අය අතරේ දේවදූතයන් මිලියන ගාණකුත් ඉන්නවා. (දානි. 7:9, 10) දේවදූතයන් කියද්දී අපිට එකපාරටම මතක් වෙන්නේ එයාලා අපිට වඩා කොච්චර වෙනස්ද කියලයි. උදාහරණෙකට එයාලා අපිට වඩා අවුරුදු දහස් ගාණක් ජීවත් වෙලා තියෙනවා. (යෝබ් 38:4, 7) එයාලා අපිට වඩා හරිම බලවත්. එයාලා හැම අතින්ම ධර්මිෂ්ඨයි, ශුද්ධයි. ඒත් අපි පව්කාරයන්.—ලූක් 9:26.
2 හැබැයි එයාලයි, අපියි අතරේ සමානකමුත් තියෙනවා. උදාහරණෙකට දේවදූතයන්ට වගේ අපිටත් පුළුවන් යෙහෝවාට තියෙන ලස්සන ගුණාංග අපේ ජීවිතවලින් පෙන්නන්න. අපි දෙගොල්ලන්ටම තීරණ ගන්න නිදහස තියෙනවා. අපිට වගේ දේවදූතයන්ටත් නම් තියෙනවා. වෙනස් පෞද්ගලිකත්වයන් තියෙනවා. අපි එක් එක් කෙනාට තියෙන පැවරුම් වෙනස් වගේ එයාලා එක් එක් කෙනාට තියෙන පැවරුමුත් වෙනස්. අපිව වගේම එයාලව නිර්මාණය කරලා තියෙන්නෙත් දෙවියන්ට නමස්කාර කරන අවශ්‍යතාව ඇතුව.—1 පේතෘ. 1:12.
3. දේවදූතයන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
3 දේවදූතයනුයි, අපියි අතරේ ඒ වගේ සමානකම් ගොඩක් තියෙන නිසා එයාලාගේ ආදර්ශය අපිට දිරිගැන්වීමක් වගේම එයාලාගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්නත් පුළුවන්. දේවදූතයන්ගේ නිහතමානිකමින්, මිනිස්සු ගැන එයාලට තියෙන ආදරෙන්, එයාලාගේ විඳදරාගැනීමෙන්, සභාව පිරිසිදුව තියාගන්න එයාලා කරන දේවල්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා මේ ලිපියෙන් බලමු.
දේවදූතයන් නිහතමානියි
4. (අ) දේවදූතයන් නිහතමානියි කියලා පැහැදිලි වෙන්නේ කොහොමද? (ආ) එයාලා නිහතමානී ඇයි? (ගීතාවලිය 89:7)
4 විශ්වාසවන්ත දේවදූතයන් හරිම නිහතමානියි. එයාලා ගොඩක් අද්දැකීම් තියෙන, බලවත්, ප්‍රඥාවන්ත අය වුණත් යෙහෝවා කියන දේවලට කීකරු වෙනවා. (ගීතා. 103:20) යෙහෝවා දෙන පැවරුම් කරද්දී එයාලා ඒ ගැන ලොකුකම් කියවන්නේ නැහැ. එයාලාගේ බලය ප්‍රදර්ශනය කරන්නෙත් නැහැ. අපි එයාලව නමින් දන්නේ නැති වුණත් යෙහෝවා කියන දේ එයාලා කරන්නේ සතුටින්.a (උත්. 32:24, 29; 2 රාජා. 19:35) යෙහෝවාට යන්න ඕන ගෞරවේ එයාලා එයාලට ගන්නේ නැහැ. යෙහෝවා ගැන එයාලට තියෙන ආදරේ, ගෞරවේ නිසයි එයාලා මෙච්චරම නිහතමානී.—ගීතාවලිය 89:7 කියවන්න.
5. යොහන්ව නිවැරදි කරපු දේවදූතයා නිහතමානිකම පෙන්නුවේ කොහොමද? (පින්තූරයත් බලන්න.)
5 දේවදූතයන් නිහතමානියි කියලා පැහැදිලි වෙන සිද්ධියක් බලන්න. ක්‍රි.ව. 96දී විතර දේවදූතයෙක් ඇවිත් පුදුම හිතෙන දේවල් දර්ශනයකින් යොහන්ට පෙන්නුවා. ඒ දේවදූතයාගේ නම අපි දන්නේ නැහැ. (එළි. 1:1) ඒවා දැක්කාම යොහන් දණින් වැටිලා ඒ දේවදූතයාට නමස්කාර කරන්න හැදුවා. හැබැයි දේවදූතයා ඉක්මනින් එයාව නතර කරලා එයාට මෙහෙම කිව්වා. ‘එහෙම කරන්න එපා! පරෙස්සම් වෙන්න! ඔයායි, ඔයාගේ සහෝදරයනුයි වගේම මාත් නිකම්ම දාසයෙක් විතරයි. දෙවියන්ට නමස්කාර කරන්න.’ (එළි. 19:10) ඒ දේවදූතයාට ඕන වුණේ නැහැ දෙවියන්ට යන්න ඕන ගෞරවේ එයාට ගන්න. එයා යොහන්ට මතක් කළා යොහන් නමස්කාර කරන්න ඕනෙ යෙහෝවාටයි කියලා. එයා යොහන්ව පහත් කළෙත් නැහැ. යොහන් එක්ක බලද්දී එයා දෙවියන්ට ලොකු කාලයක් සේවේ කරලා තිබුණත් එයා යොහන්ට වඩා ගොඩක් බලවත් වුණත් එයා කිව්වේ ‘ඔයා වගේම මාත් නිකම්ම දාසයෙක් විතරයි’ කියලා. යොහන්ව නිවැරදි කරන්න එයාට සිද්ධ වුණත් එයා මහලු වයසේ හිටපු යොහන්ට බැනලා, නපුරු විදිහට කතා කළේ නැහැ. එයා කතා කළේ හරිම කාරුණිකව. එයා තේරුම්ගත්තා දැකපු දර්ශනය නිසා යොහන් හිටියේ අන්දුන් කුන්දුන් වෙලා කියලා.
යොහන් එක්ක කතා කරද්දී, එයාව නිවැරදි කරද්දී දේවදූතයා නිහතමානිකම පෙන්නුවා (5 ඡේදය බලන්න)
6. දේවදූතයන්ගේ නිහතමානිකම අපිට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
6 දේවදූතයන්ගේ නිහතමානිකම අපිට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? යෙහෝවාට සේවේ කරද්දී අපිටත් එක එක පැවරුම් හම්බ වෙනවා. අපි ඒවා ගැන පම්පෝරි ගහන්න හොඳ නැහැ. අපේ නමට ලකුණු දාගන්නත් හොඳ නැහැ. (1 කොරි. 4:7) අපි අනිත් අයට වඩා වැඩි කාලයක් සත්‍යයේ ඉන්න නිසා, අනිත් අයට නැති සමහර පැවරුම් අපිට තියෙන නිසා අපි එයාලට වඩා විශේෂයි කියලා හිතන්න හොඳ නැහැ. ඇත්තටම අපිට තියෙන වගකීම් වැඩි වෙන්න වැඩි වෙන්න අපි අපි ගැන අඩුවෙන් හිතන්න ඕනේ. (ලූක් 9:48) දේවදූතයන් වගේ අපිටත් ඕනෙ අනිත් අය වෙනුවෙන් සේවේ කරන්න. නැතුව අපි අනිත් අයට වඩා වැදගත් අය කියලා පෙන්නන්න නෙවෙයි.
7. කාව හරි නිවැරදි කරන්න වෙද්දී නැත්නම් උපදෙසක් දෙන්න වෙද්දී නිහතමානිකම පෙන්නන්න පුළුවන් කොහොමද?
7 සභාවේ කෙනෙක්ව හරි ඔයාගෙම දරුවාව හරි නිවැරදි කරන්න වෙද්දී, එයාට උපදෙසක් දෙන්න වෙද්දී නිහතමානිකම පෙන්නන්න. උපදෙසක් දෙද්දී අපිට ඒක කෙළින්, තදින් දෙන්න වෙයි. හැබැයි යොහන්ව නිවැරදි කරපු දේවදූතයා වගේ අපිටත් පුළුවන් කියන දේ කෙළින් කිව්වත් එයාව මානසිකව වට්ටන්නේ නැතුව ඒක කියන්න. අපි අනිත් අයට වඩා උසස් කියලා හිතන්නේ නැත්නම් බයිබලෙන් උපදෙස් දෙද්දී ඒ කෙනාට ගෞරව කරලා ආදරෙන් ඒක දෙන්න පුළුවන්.—කොලො. 4:6.
දේවදූතයන් මිනිස්සුන්ට ආදරෙයි
8. (අ) දේවදූතයන් මිනිස්සුන්ට ආදරෙයි කියලා පැහැදිලි වෙන්නේ කොහොමද? (ලූක් 15:10) (ආ) දේශනා සේවේදී දේවදූතයන් අපිට උදව් කරන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)
8 දේවදූතයන් මිනිස්සුන්ව එච්චර ගණන් ගන්නේ නැති, එයාලට මොනවාවුණත් කමක් නැහැ කියලා හිතන අය නෙවෙයි. ඇත්තටම දේවදූතයන් මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි. එක පව්කාරයෙක් හරි පසුතැවිලි වෙද්දී එයාලා සතුටු වෙනවා. ඒ කියන්නේ නැති වුණ එක බැටළුවෙක් හරි ආයෙත් යෙහෝවා ළඟට එද්දී, කෙනෙක් එයාගේ ජීවිතේ වෙනස් කරගෙන සත්‍ය මාර්ගයට ඇතුල් වෙද්දී දේවදූතයන් ගොඩක් සතුටු වෙනවා. (ලූක් 15:10 කියවන්න.) අපි සේවේ යද්දීත් දේවදූතයන් අපේ උදව්වට එනවා. (එළි. 14:6) එයාලා කෙළින්ම ගිහින් මිනිස්සුන්ට දේශනා කරන්නේ නැහැ. හැබැයි යෙහෝවා ගැන දැනගන්න කැමති අයව හොයාගන්න දේවදූතයන් අපිට මඟ පෙන්නනවා. ඇත්ත, අපිට හරියටම කියන්න බැහැ “අහවල් කෙනාව හොයාගන්න අපිට උදව් කළේ දේවදූතයන්මයි” කියලා. මොකද දෙවියන් ගැන දැනගන්න කැමති අයට උදව් කරන්න, ඒ අයව හොයාගන්න අපිට මඟ පෙන්නන්න දෙවියන් ඔහුගේ බලයත් පාවිච්චි කරනවා. (ක්‍රියා 16:6, 7) ඒත් ඔහු දේවදූතයන්වත් පාවිච්චි කරනවා. අපි ශුභාරංචිය කියද්දී දේවදූතයන් අපි ළඟින්ම ඉන්නවා කියලා අපිට විශ්වාසයි.—“ඔහු එයාලාගේ යාච්ඤාවලට කන් දුන්නා” කියන කොටුව බලන්න.
යුවළක් කාට් එකේ ඉඳලා ගෙදර යන්න හදද්දී සහෝදරි දකිනවා තවත් කාන්තාවක් ටිකක් දුකෙන් ඉන්නවා. දෙවියන්ට ළං වෙන්න කැමැත්තෙන් ඉන්න අයව හොයාගන්න දේවදූතයන් උදව් කරනවා කියලා තේරුම්ගන්න සහෝදරිය ඒ කාන්තාවට කතා කරනවා (8 ඡේදය බලන්න)
9. දේවදූතයන්ව ආදර්ශයට අරන් මිනිස්සුන්ට අපේ ආදරේ පෙන්නන්න පුළුවන් කොහොමද?
9 දේවදූතයන්ව ආදර්ශයට අරන් මිනිස්සුන්ට ආදරේ පෙන්නන්න පුළුවන් කොහොමද? කෙනෙක්ව ආපහු සභාවට පිළි අරන් කියලා නිවේදනය කළාම දේවදූතයන් වගේ අපිටත් පුළුවන් සතුටු වෙන්න. අපි එයාට ආදරෙයි කියලත් එයා ආයේ යෙහෝවාට සේවේ කරනවා දකින එක සතුටක් කියලත් එයාට පෙන්නන්න. (ලූක් 15:4-7; 2 කොරි. 2:6-8) උපරිමෙන් සේවේට හවුල් වෙලත් අපිට දේවදූතයන්ව ආදර්ශයට ගන්න පුළුවන්. (දේශ. 11:6) අපි සේවේ යද්දී දේවදූතයන් අපිට උදව් කරනවා වගේ අපිටත් පුළුවන් සභාවේ අයට සේවේදී උදව් කරන්න පුළුවන් විදි හොයන්න. උදාහරණෙකට අලුත් ප්‍රචාරකයෙක් එක්ක සේවේ යන්න දවසක් දාගන්න ඔයාට පුළුවන්ද? මහලු සහෝදරයන්ට, අසනීපෙන් ඉන්න සහෝදරයන්ට සේවේ හවුල් වෙන්න උදව් කරන්න ඔයාට පුළුවන්ද?
10. සාරාගේ අද්දැකීමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
10 හිතේ හැටියට සේවේ කරගන්න බැරි විදිහට ඔයාගේ තත්වයන් වෙනස් වුණොත් මොකද කරන්නේ? ඒ වුණත් දේවදූතයන් එක්ක එකතු වෙලා දේශනා සේවේ කරන්න ක්‍රම හොයාගන්න ඔයාට පුළුවන්. ඉන්දියාවේ ඉන්න සහෝදරි සාරාb අවුරුදු 20ක් විතර පුරෝගාමි සේවේ කළාට පස්සේ හොඳටම අසනීප වෙලා ඇඳට කොටු වුණා. එයා මානසිකව වැටුණා. හැබැයි සභාවේ අයගේ උදව් ලැබුණ නිසා, හැමදාම බයිබලේ කියවපු නිසා සාරාට පුළුවන් වුණා නැති වුණ සතුට හොයාගන්න. එයාට ඇඳේ ඉඳගෙන ලියුම් ලියන්නවත් පුළුවන්කමක් තිබුණේ නැති නිසා එයා සේවේ කළේ ටෙලිෆෝන් එකෙන් විතරයි. එයා එයාගේ නැවත බැලීම්වලට කෝල් කළා. බයිබලේ ගැන දැනගන්න කැමති තවත් අයගේ නොම්බර එයාලා සාරාට දුන්නා. එයා ඒගොල්ලන්ටත් කෝල් කළා. මාස කීපයක් යද්දී සාරාට පුළුවන් වුණා පාඩම් 70ක් පටන්ගන්න. එයාට එච්චර බයිබල් පාඩම් කරන්න පුළුවන්කම තිබුණේ නැති නිසා එයා ඒවායින් සමහරක් සභාවේ තව අයට දුන්නා. එයාගේ පාඩම්වලින් වැඩිදෙනෙක් දැන් රැස්වීම්වලටත් එනවා. දේශනා සේවේ උපරිමෙන් හවුල් වෙන සාරා වගේ අය එක්ක වැඩ කරන්න ලැබුණ එක ගැන දේවදූතයන් කොච්චර සතුටු වෙනවා ඇද්ද!
දේවදූතයන් විඳදරාගන්නවා
11. දේවදූතයන් විඳදරාගන්නවා කියන්නේ ඇයි?
11 විශ්වාසවන්ත දේවදූතයන් විඳදරාගැනීම අතින් කැපීපේන ආදර්ශයක් තියලා තියෙනවා. එයාලා අවුරුදු දහස් ගාණක් තිස්සේ අසාධාරණකම්, දුෂ්ටකම් දරාගන්නවා. එයාලත් එක්ක සේවේ කරපු දේවදූතයන් හුඟදෙනෙක් යෙහෝවාට විරුද්ධව කැරලිගහනවා එයාලා දැක්කා. (උත්. 3:1; 6:1, 2; යූද් 6) එක විශ්වාසවන්ත දේවදූතයෙක්ට දවස් ගාණක් තිස්සේ බලවත් භූතයෙක් එක්ක සටන් කරන්න වුණා. (දානි. 10:13) ආදම්ගේ කාලේ ඉඳන් මේ වෙන කල් දෙවියන්ට නමස්කාර කරන්න තීරණේ කරලා තියෙන්නේ හරිම පොඩි පිරිසක් කියලත් දේවදූතයන් දැක්කා. ඒ මොන දේ වුණත් විශ්වාසවන්ත දේවදූතයන් දිගටම සතුටින්, උද්‍යෝගයෙන් යෙහෝවාට සේවේ කරනවා. එයාලා දන්නවා දෙවියන් නියමිත කාලේදී හැම දුෂ්ටකමක්ම නැති කරනවා කියලා.
12. විඳදරාගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?
12 දේවදූතයන්ගේ දරාගැනීම ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? දේවදූතයන් වගේ අපිත් අසාධාරණ දේවල් දකිනවා. විරුද්ධවාදිකම්වලට මූණ දෙනවා. හැබැයි අපිටත් විශ්වාසයි යෙහෝවා මේ හැම දුෂ්ටකමක්ම අවසන් කරනවා කියලා. ඒ නිසා විශ්වාසවන්ත දේවදූතයන් වගේ අපිත් ‘උත්සාහය අත්හරින්නේ නැතුව දිගටම යහපත් දේ කරමු.’ (ගලා. 6:9) දෙවියන් පොරොන්දු වෙනවා විඳදරාගන්න අපිට උදව් කරනවා කියලා. (1 කොරි. 10:13) ඒ නිසා දෙවියන්ගේ බලය ඉල්ලලා ඔහුට යාච්ඤා කරන්න. ඒ බලයට පුළුවන් දිගටම ඉවසීමෙන්, සතුටින් ඉන්න ඔයාට උදව් කරන්න. (ගලා. 5:22; කොලො. 1:11) ඔයා විරුද්ධවාදිකමකට මූණ දෙනවා නම් බය නොවී යෙහෝවා ගැන සම්පූර්ණ විශ්වාසේ තියන්න. ඕනම වෙලාවක ඔයාට උදව් කරන්න, ඔයාව ශක්තිමත් කරන්න ඔහු බලාගෙන ඉන්නවා.—හෙබ්‍රෙ. 13:6.
සභාව දිගටම පවිත්‍රව තියාගන්න දේවදූතයන් උදව් කරනවා
13. මේ අවසාන කාලේ දේවදූතයන්ට තියෙන විශේෂ පැවරුම මොකක්ද? (මතෙව් 13:47-49)
13 මේ අවසාන කාලේ යෙහෝවා දේවදූතයන්ට විශේෂ පැවරුමක් දීලා තියෙනවා. (මතෙව් 13:47-49 කියවන්න.) දේශනා සේවේ නිසා ලෝකේ වටේ මිලියන ගාණක් සත්‍යය පිළි අරන් තියෙනවා. එයාලාගෙන් සමහරු සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවිත වෙනස් කරගෙන යෙහෝවාට නමස්කාර කරන්න පටන් අරන් තියෙනවා. හැබැයි තවත් අය එහෙම කරන්නේ නැහැ. “ධර්මිෂ්ඨයන් අතරින් දුෂ්ටයන්ව වෙන් කරන” වගකීම දෙවියන් භාර දීලා තියෙන්නේ දේවදූතයන්ට. ඒ කියන්නේ සභාව දිගටම පවිත්‍රව තියාගන්න වගකීම එයාලට දීලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ සභාවත් එක්ක ආශ්‍රය කරන එක නතර කරපු කෙනෙක්ට ආයේ කවදාවත් සභාවට එන්න බැහැ කියලා. ඉස්සරහට සභාවේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ කියලත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. සභාව දිගටම පවිත්‍රව තියාගන්න දේවදූතයන් එයාලට පුළුවන් හැම දේම කරනවා කියලා අපිට විශ්වාසයි.
14-15. සභාව හැම අතින්ම පවිත්‍රව තියාගන්න දේවදූතයන්ට තියෙන ආසාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (පින්තූරත් බලන්න.)
14 සභාව පවිත්‍රව තියාගන්න දේවදූතයන්ට තියෙන ආසාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? යෙහෝවා එක්ක අපිට තියෙන බැඳීම ආරක්ෂා කරගන්න අපි එක් එක් කෙනා පුළුවන් හැම දේම කරන්න ඕනේ. යෙහෝවාට ආදරේ කරන්නේ නැති අයව ආශ්‍රය නොකර ඉන්න එකෙන්, යෙහෝවාත් එක්ක අපිට තියෙන බැඳීමට හානියක් වෙන දේවලින් වැළකිලා ඉන්න එකෙන් අපිට ඒක කරන්න පුළුවන්. (ගීතා. 101:3) යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න සභාවේ අයට උදව් කරන්නත් අපිට පුළුවන්. හිතන්න, සභාවේ කෙනෙක් බරපතළ වරදක් කරනවා කියලා ඔයා දැනගත්තා කියලා. එයාට තියෙන ආදරේ නිසා ඔයා එයාට කියන්න ඕනෙ ඒ ගැන වැඩිමහල්ලන් එක්ක කතා කරන්න කියලා. එයා ඒක කරන්නේ නැත්නම් ඔයා වැඩිමහල්ලන්ට ඒ ගැන කියන්න ඕනේ. මොකද යෙහෝවා එක්ක තියෙන බැඳීම දුර්වල වෙලා තියෙන ඒ වගේ අයට ඉක්මනින්ම උදව් ලැබෙනවා දකින්නයි අපි කැමති.—යාකො. 5:14, 15.
15 බරපතළ වැරදි කරන සමහරුන්ව සභාවෙන් අයින් කරනවා. එයාලව අපි ‘ආශ්‍රය කරන්නේ නැහැ.’c (1 කොරි. 5:9-13) ඒ සැලැස්ම නිසා සභාව දිගටම පවිත්‍රව තියාගන්න පුළුවන්. ඒ වගේම එහෙම අයව කිට්ටුවෙන් ආශ්‍රය නොකර ඉන්න එකෙන් අපි ඇත්තටම කරන්නේ එයාලට ආදරෙයි කියලා පෙන්නන එකයි. මොකද අපි යෙහෝවාට කීකරු වෙලා එයාලව කිට්ටුවෙන් ආශ්‍රය නොකර ඉද්දී එයාලා ආයේ යෙහෝවා ළඟට එන්න පියවර ගනියි. එතකොට යෙහෝවායි, දේවදූතයනුයි එක්ක අපිටත් පුළුවන් සතුටු වෙන්න.—ලූක් 15:7.
සභාවේ කෙනෙක් බරපතළ වරදක් කරනවා කියලා දැනගත්තාම අපි කරන්න ඕනෙ මොකක්ද? (14 ඡේදය බලන්න)d
16. දේවදූතයන්ව ආදර්ශයට ගන්න ඔයා කැමති මොන විදිවලින්ද?
16 දේවදූතයන්ගෙන් ඉගෙනගන්න, එයාලත් එක්ක එකට වැඩ කරන්න යෙහෝවා අපිට අවස්ථාව දීලා තියෙන එක ලොකු ගෞරවයක්! එයාලාගේ නිහතමානිකම, මිනිස්සුන්ට තියෙන ආදරේ, දරාගන්න එක, සභාව හැම අතින්ම පවිත්‍රව තියාගන්න එයාලට තියෙන ආසාව වගේ එයාලාගේ ලස්සන ගති අපි ආදර්ශයට ගමු. අපිත් විශ්වාසවන්ත දේවදූතයන් වගේ වෙනවා නම් සදහටම යෙහෝවාගේ පවුලේ රැකවරණය ලබන්න පුළුවන්.
ගීතිකාව 123 දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු
a මිලියන ගාණක් දේවදූතයන් හිටියත් බයිබලේ නම් සඳහන් වෙන්නේ දෙන්නෙක්ගේ විතරයි. ඒ මිකායෙල් සහ ගාබ්‍රියෙල්.—දානි. 12:1; ලූක් 1:19.
b නම වෙනස් කරලා තියෙනවා.
c ‘2024 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 2’ පැහැදිලි කරපු විදිහට සභාවෙන් අයින් කරපු කෙනෙක් රැස්වීමකට ආවොත් ප්‍රචාරකයෙක්ට පුළුවන් බයිබල් ප්‍රතිපත්ති ගැන හිතලා තමන්ගේ හෘද සාක්ෂිය ඉඩ දෙනවා නම් ඒ වගේ කෙනෙක්ට කෙටියෙන් සුබ පතලා එයාව පිළිගන්න.
d පින්තූරේ අදහස: සහෝදරියක් එයාගේ යාළුවාට කියනවා යාළුවා කරන වරදක් ගැන වැඩිමහල්ලන් එක්ක කතා කරන්න කියලා. ඒත් යාළුවා ඒක කරන්නේ නැති වුණාම සහෝදරිය ගිහින් වැඩිමහල්ලන්ට ඒ ගැන කියනවා.