පාඩම් ලිපිය 27
ගීතිකාව 79 ස්ථිරව ඉන්න කියා දෙන්න
යෙහෝවාට සේවේ කරන්න බයිබල් ශිෂ්‍යයාට උදව් කරන්න
‘විශ්වාස කරන දේවල්වලට තදින් ඇලිලා ඉන්න. එඩිතරව ඉන්න.’—1 කොරි. 16:13.
ලිපියේ අරමුණ
යෙහෝවාට සේවේ කරන්න ඕන කරන විශ්වාසය, ධෛර්යය ඇති කරගන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?
1-2. (අ) දෙවියන්ට නමස්කාර කරන තීරණේ ගන්න සමහර බයිබල් ශිෂ්‍යයන් අදිමදි කරන්නේ ඇයි? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
ඔයාට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න බාධා වුණ දේවල් තිබුණාද? සමහරවිට සාක්ෂිකරුවෙක් වුණාම ඔයාගේ වැඩපොළේ අය, යාළුවෝ, පවුලේ අය මොනවා කියයිද කියලා ඔයාට බය හිතෙන්න ඇති. දෙවියන්ගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න ඔයාට බැරි වෙයි කියලා හිතෙන්න ඇති. එහෙමනම් සාක්ෂිකරුවෙක් වෙන තීරණේ ගන්න අදිමදි කරන ශිෂ්‍යයෙක්ව ඔයාට හොඳට තේරුම්ගන්න පුළුවන්.
2 යේසුස් තේරුම්ගත්තා බය නිසා කෙනෙක් දෙවියන්ට සේවේ කරන්න අදිමදි කරන්න පුළුවන් කියලා. (මතෙ. 13:20-22) එහෙමයි කියලා ඔහු කවදාවත් ඒ වගේ අයව අත්හැරියේ නැහැ. ඒ වෙනුවට ඔහු මේ පැති හතරෙන් එයාලට උදව් කළා. (1) දෙවියන්ට සේවේ කරන්න බාධා වෙන දේවල් අඳුරගන්න. (2) යෙහෝවා ගැන තියෙන ආදරේ තව වැඩි කරගන්න. (3) දෙවියන්ට මුල් තැන දෙන්න. (4) අභියෝග ජය ගන්න. ඉතින් යේසුස්ව ආදර්ශයට අරන් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතෙන් අපිත් එක්ක පාඩම් කරන ශිෂ්‍යයන්ට දෙවියන්ට සේවේ කරන තීරණේ ගන්න උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?
බාධා අඳුරගන්න උදව් කරන්න
3. යේසුස්ගේ ගෝලයෙක් වෙන්න නිකදේමස්ට තිබුණ බාධාව මොකක්ද?
3 යුදෙව් පාලකයෙක් වුණ නිකදේමස්ටත් යේසුස්ගේ ගෝලයෙක් වෙන්න බාධාවක් තිබුණා. යේසුස් සේවේ පටන් අරන් මාස හයකට විතර පස්සේ නිකදේමස් තේරුම්ගත්තා යේසුස් දෙවියන් එවපු කෙනෙක් කියලා. (යොහ. 3:1, 2) හැබැයි “යුදෙව්වන්ට තිබුණ බය නිසා” එයා යේසුස්ව හම්බ වෙන්න ආවේ හොරෙන්. (යොහ. 7:13; 12:42) සමහරවිට එයාට හිතෙන්න ඇති එයා යේසුස්ගේ ගෝලයෙක් වුණොත් එයාට තියෙන හැම දෙයක්ම නැති වෙයි කියලා.a
4. දෙවියන් බලාපොරොත්තු වෙන දේ තේරුම්ගන්න යේසුස් නිකදේමස්ට උදව් කළේ කොහොමද?
4 නිකදේමස්ට නීතිය ගැන හොඳ දැනුමක් තිබ්බා. හැබැයි යෙහෝවා එයාගෙන් බලාපොරොත්තු වෙන දේ තේරුම්ගන්න එයාට උදව් ඕන වුණා. ඉතින් යේසුස් කොහොමද එයාට උදව් කළේ? යේසුස් එයාට කාලේ දුන්නා. නිකදේමස් රෑ වෙලා ආවත් ඔහු එයාත් එක්ක කතා කළා. යේසුස් එයාට පැහැදිලිවම කිව්වා ඔහුගේ ගෝලයෙක් වෙන්න නම් එයා මොනවාද කරන්න ඕන කියලා. ඔහු කිව්වා පව් ගැන පසුතැවිලි වෙලා, බව්තීස්ම වෙලා, දෙවියන්ගේ පුතා ගැන විශ්වාසේ තියන්න කියලා.—යොහ. 3:5, 14-21.
5. දෙවියන්ට සේවේ කරන්න බාධා වෙන දේවල් අඳුරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න පුළුවන් කොහොමද?
5 ශිෂ්‍යයෙක්ට බයිබලේ ගැන හොඳ දැනුමක් තිබුණත් දෙවියන්ට සේවේ කරන්න තියෙන බාධා අඳුරගන්න එයාට ඔයාගේ උදව් ඕන ඇති. එයාට බාධාවක් වෙලා තියෙන්නේ එයාගේ රස්සාව හරි පවුලෙන් එන විරුද්ධවාදිකම් හරි වෙන්න ඇති. ඉතින් යේසුස් වගේ එයාට කාලේ දෙන්න. ඔයාට පුළුවන් එයාත් එක්ක තේ එකක් බොන්න, පොඩ්ඩක් ඇවිදින්න යන්න. ඒ වගේ වෙලාවට එයාට තියෙන අභියෝග ගැන එයා නිදහසේ කියයි. වෙනස්කම් කරගන්න එයාට උනන්දු කරන්න. ඒත් ඒ වෙනස්කම් එයා කරගන්න ඕනෙ ඔයා නිසා නෙවෙයි යෙහෝවාට තියෙන ආදරේ නිසයි.
6. ඉගෙනගන්න දේවල් බය නැතුව අදාළ කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න පුළුවන් කොහොමද? (1 කොරින්ති 16:13)
6 බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න යෙහෝවා උදව් කරයි කියලා ශිෂ්‍යයාට විශ්වාසයි නම් එයා ඉගෙනගත්ත දේවල් බය නැතුව අදාළ කරගනියි. (1 කොරින්ති 16:13 කියවන්න.) හොඳ ගුරුවරයෙක් දෙයක් උගන්නලා විතරක් නවතින්නේ නැතුව ඒක ශිෂ්‍යයාට කරන්න පුළුවන් කියන විශ්වාසෙත් ඇති කරනවා. අන්න ඒ වගේ බයිබලේ ගැන උගන්නන හොඳ ගුරුවරයෙක් වෙන්න නම් යෙහෝවා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා උගන්නලා විතරක් මදි. ඒ වෙනුවට ජීවිතේ වෙනස්කම් කරගන්න යෙහෝවා උදව් කරනවා කියලත් ශිෂ්‍යයාගේ හිතේ විශ්වාසයක් ඇති කරන්න ඕනේ. ඒත් කොහොමද ඒක කරන්නේ?
යෙහෝවාට තියෙන ආදරේ වැඩි කරගන්න උදව් කරන්න
7. යෙහෝවා ගැන තියෙන ආදරේ වැඩි කරගන්න යේසුස් ඔහුට සවන් දීපු අයට උදව් කළේ කොහොමද?
7 යෙහෝවා ගැන තියෙන ආදරේ නිසා ඉගෙනගත්ත දේවල් අදාළ කරගන්න ගෝලයන් පෙලඹෙයි කියලා යේසුස් දැනන් හිටියා. ඒ නිසා ස්වර්ගයේ ඉන්න එයාලාගේ තාත්තා ගැන තියෙන ආදරේ වැඩි කරගන්න උදව් වෙන දේවල් යේසුස් එයාලට ඉගැන්නුවා. උදාහරණෙකට ඔහු යෙහෝවාව දරුවන්ට හොඳ දේවල් දෙන තාත්තා කෙනෙක්ට සමාන කළා. (මතෙ. 7:9-11) යේසුස්ට ඇහුම්කන් දීපු සමහරුන්ට ඒ වගේ ආදරණීය තාත්තා කෙනෙක් ඉඳලා නැතුව ඇති. හිතන්න, අකීකරු පුතා ගැන කියපු කතාවේ ඒ පුතා ගොඩක් වැරදි කරලා ආපහු ආවාම තාත්තා එයාව ආදරෙන් බදාගත්ත විදිහ ගැන කියද්දී එයාලාගේ හිතට ඒක කොච්චර දැනෙන්න ඇද්ද කියලා. ඒ විදිවලින් යේසුස් මිනිස්සුන්ට උදව් කළා යෙහෝවාව ආදරණීය තාත්තා කෙනෙක් විදිහට දකින්න.—ලූක් 15:20-24.
8. යෙහෝවා ගැන තියෙන ආදරේ වැඩි කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?
8 ශිෂ්‍යයාට බයිබලේ ගැන උගන්නද්දී දෙවියන්ගේ ගුණාංග ගැන කාවද්දලා එයාගේ හිතේ යෙහෝවා ගැන තියෙන ආදරේ වැඩි කරගන්න උදව් කරන්න. පාඩම කරන හැම වෙලාවකදීම එයා ඉගෙනගන්න දේවලින් යෙහෝවාගේ ආදරේ පේන්නේ කොහොමද කියලා තේරුම්ගන්න එයාට උදව් කරන්න. ඔයා එයාත් එක්ක ජීවිත පූජාව ගැන කතා කරනවා නම් යෙහෝවා පෞද්ගලිකවම එයාට ආදරෙයි කියලා ඒකෙන් පේන්නේ කොහොමද කියලා තේරුම්ගන්න උදව් කරන්න. (රෝම 5:8; 1 යොහ. 4:10) යෙහෝවා එයාට ගොඩක් ආදරෙයි කියලා ශිෂ්‍යයා තේරුම්ගත්තොත් එයා පෙලඹෙයි යෙහෝවාට තව වැඩියෙන් ආදරේ කරන්න.—ගලා. 2:20.
9. මයිකල්ට වෙනස්කම් කරගන්න උදව් වුණේ මොකක්ද?
9 ඉන්දුනීසියාවේ ඉන්න මයිකල් පොඩි කාලේ ඉඳන් සත්‍යය දැනන් හිටියට බව්තීස්ම වුණේ නැහැ. අවුරුදු 18දී එයා රස්සාවක් කරන්න රට ගියා. බැන්දට පස්සෙත් එයා රස්සාව කළේ පිටරට. ඔය අතරේ එයාගේ නෝනායි, දුවයි බයිබලේ ඉගෙනගන්න පටන්ගත්තා. එයාලා ජීවිතේ වෙනස්කම් කරගත්තා. මයිකල්ගේ අම්මා නැති වුණාම මයිකල් තීරණේ කළා ආයේ ගෙදර ඇවිත් පවුලේ අය එක්ක තාත්තාව බලාගන්න. පස්සේ මයිකලුත් බයිබල් පාඩමක් පටන්ගත්තා. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 27වෙනි පාඩමේ “තවත් හොයමු” කියන කොටස එයාගේ හිතට තදින්ම වැදුණා. තමන්ගේ පුතා දුක් විඳලා මැරෙද්දී යෙහෝවාගේ හිතට කොච්චර දුකක් දැනෙන්න ඇද්ද කියලා තේරුණාම මයිකල්ගේ ඇස්වලට කඳුළු ආවා. ජීවිත පූජාව ගැන එයාට තිබුණ අගය තව වැඩි වුණා. ඒක එයාව පෙලඹුවා වෙනස්කම් කරගෙන බව්තීස්ම වෙන්න.
යෙහෝවාට ජීවිතේ මුල් තැන දෙන්න උදව් කරන්න
10. සේවෙට මුල් තැන දෙන්න යේසුස් මුල් ගෝලයන්ට උදව් කළේ කොහොමද? (ලූක් 5:5-11) (පින්තූරයත් බලන්න.)
10 පොරොන්දු වුණ ගැලවුම්කරු යේසුස් කියලා ඔහුගේ මුල් ගෝලයෝ ඉක්මනටම තේරුම්ගත්තා. ඒත් එයාලාගේ ජීවිතවල මුල් තැන දෙන්න ඕනෙ සේවෙට කියලා තේරුම්ගන්න එයාලට උදව් ඕන වුණා. යේසුස් පේතෘස්ටයි, අන්දෘටයි පූර්ණකාලීනව සේවේ කරන්න එන්න කියද්දී ඒ දෙන්නා යේසුස්ගේ ගෝලයන් වෙලා ටික කාලයක් ගිහින් තිබුණා. (මතෙ. 4:18, 19) ඒ වෙද්දී එයාලා යාකොබ් සහ යොහන් එක්ක ජයටම එයාලාගේ මාළු ව්‍යාපාරය කරන් ගියා. (මාක් 1:16-20) පේතෘස් සහ අන්දෘ “දැල් පැත්තකට දාලා” යේසුස් එක්ක පූර්ණකාලීනව සේවේ කරන්න යන්න තීරණේ කරද්දී පවුලේ අයට අවශ්‍ය දේවල් දෙන විදිහ සැලසුම් කරලා තියෙන්න ඇති. සේවෙට මුල් තැන දෙන්න එයාලා පෙලඹුණේ ඇයි? ලූක්ගේ වාර්තාව බලද්දී අපිට පේනවා යේසුස් කරපු ආශ්චර්යය නිසා එයාලව බලාගන්න යෙහෝවාට හැකියාව තියෙනවා කියන විශ්වාසේ එයාලට ඇති වුණා කියලා.—ලූක් 5:5-11 කියවන්න.
සේවෙට මුල් තැන දෙන්න යේසුස් ගෝලයන්ට උදව් කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (10 ඡේදය බලන්න)b
11. ශිෂ්‍යයාගේ විශ්වාසේ ශක්තිමත් කරන්න අපේ අද්දැකීම් පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
11 යේසුස්ට වගේ ආශ්චර්යයන් කරන්න අපිට බැහැ. හැබැයි යෙහෝවාට මුල් තැන දීපු අයට ඔහු උදව් කරපු විදිහ ගැන තියෙන අද්දැකීම් ශිෂ්‍යයා එක්ක බෙදාගන්න අපිට පුළුවන්. උදාහරණෙකට ඔයාට මතකද රැස්වීම්වලට යන්න යෙහෝවා ඔයාට උදව් කරපු විදිහ? සමහරවිට ඔයාගේ බොස් ළඟට ගිහින් රැස්වීම් තියෙන දවසට වැඩිපුර වැඩ කරන්න බැරි ඇයි කියලා පැහැදිලි කරන්න ඔයාට සිද්ධ වෙන්න ඇති. ඒ විදිහට ඔයා යෙහෝවාට මුල් තැන දීපු නිසා ඔහු ඔයාට උදව් කරපු විදිහ එයාට කියන්න. ඒකෙන් ඔයාගේ විශ්වාසේ කොච්චර ශක්තිමත් වුණාද කියලත් කියන්න.
12. (අ) එක එක පසුබිම්වලින් ආපු ප්‍රචාරකයන්ව පාඩමට එක්කන් යන්න ඕනෙ ඇයි? (ආ) දෙවියන්ට මුල් තැන දෙන්න ශිෂ්‍යයාට උදව් කරන්න තව මොනවාද කරන්න පුළුවන්? උදාහරණයක් දෙන්න.
12 යෙහෝවාට මුල් තැන දෙන්න අපේ සහෝදරයන්ට උදව් වුණ දේවල් දැනගන්න එකත් ශිෂ්‍යයාට උදව් වෙයි. ඒ නිසා එයාගේ පාඩමට යද්දී එක එක පසුබිම්වලින් ආපු අපේ සහෝදර සහෝදරියන්ව එක්කන් යන්න. එයාලා සත්‍යයට ආවේ කොහොමද, සේවෙට මුල් තැන දෙන්න එයාලා කළේ මොනවාද වගේ දේවල් ගැන ශිෂ්‍යයාට කියන්න කියලා එයාලට කියන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ “තවත් හොයමු” සහ “තව දැනගන්න” කියන කොටස්වල තියෙන වීඩියෝත් ශිෂ්‍යයා එක්ක බලන්න. උදාහරණෙකට ඒකේ 37වෙනි පාඩමේ ‘යෙහෝවා දෙවි අපේ අවශ්‍යතා ගැන සැලකිලිමත්’ කියන වීඩියෝ එකේ වැදගත් කරුණු එයා එක්ක කතා කරන්න.
අභියෝග ජය ගන්න උදව් කරන්න
13. විරුද්ධවාදිකම්වලට මූණ දෙන්න යේසුස් ගෝලයන්ව පුහුණු කළේ කොහොමද?
13 යේසුස් අනුගාමිකයන්ට ආයේ ආයේ කිව්වා අනිත් අයගෙන් වගේම පවුලේ අයගෙනුත් විරුද්ධවාදිකම් එයි කියලා. (මතෙ. 5:11; 10:22, 36) යේසුස්ගේ සේවේ අන්තිම කාලේදී ඔහු ගෝලයන්ට අනතුරු ඇඟෙව්වා විරුද්ධවාදිකම් නිසා එයාලාගේ ජීවිත වුණත් නැති වෙන්න පුළුවන් කියලා. (මතෙ. 24:9; යොහ. 15:20; 16:2) ඒ නිසා ඔහු කිව්වා පරෙස්සම් වෙන්න කියලා. විරුද්ධවාදීන් එක්ක වාදෙට යන්න එපා කියලත් ඥානවන්තව දේවල් කරන්න කියලත් ඔහු එයාලට කිව්වා. එතකොට එයාලට පුළුවන් දිගටම සේවේ කරන්න.
14. විරුද්ධවාදිකම්වලට මූණ දෙන්න ශිෂ්‍යයෙක්ව පුහුණු කරන්න පුළුවන් කොහොමද? (2 තිමෝති 3:12)
14 බයිබලේ ඉගෙනගන්න නිසා වැඩපොළේ අය, යාළුවෝ, නෑදෑයෝ එයාට මොනවා කියයිද කරයිද කියලා ශිෂ්‍යයාට කලින්ම කියන්න. (2 තිමෝති 3:12 කියවන්න.) ශිෂ්‍යයා ජීවිතේ වෙනස්කම් කරගද්දී වැඩපොළේ සමහරු එයාට විහිළු කරයි. නෑදෑයෝ වුණත් බයිබලෙන් එයා ඉගෙනගන්න දේවල් හෑල්ලු කරයි. එන්න පුළුවන් විරුද්ධවාදිකම් ගැන කියලා අපි එයාව කලින්ම පුහුණු කරද්දී ඒවාට මූණ දෙන්න එයාට ලේසියි.
15. පවුලේ අයගෙන් එන විරුද්ධවාදිකම්වලට මූණ දෙන්න ශිෂ්‍යයාට උදව් වෙන්නේ මොකක්ද?
15 ශිෂ්‍යයාට පවුලේ අයගෙන් විරුද්ධවාදිකම් එනවා නම් එයාලා එහෙම කරන්නේ ඇයි කියලා හිතන්න ශිෂ්‍යයාව උනන්දු කරන්න. සමහරවිට පවුලේ අය හිතනවා ඇති සාක්ෂිකරුවන්ට එයා රැවටිලා කියලා. නැත්නම් සාක්ෂිකරුවන් ගැන එයාලා අහලා ඇත්තේ වැරදි දේවල් වෙන්න ඇති. යේසුස් සේවේ කරනවාටත් ඔහුගේ පවුලේ අය කැමති වුණේ නැහැ. (මාක් 3:21; යොහ. 7:5) ඒ නිසා දිගටම ඉවසීමෙන් ඉන්නත් අනිත් අය එක්ක, පවුලේ අය එක්ක කාරුණික වැඩ කරන්නත් ශිෂ්‍යයාට උදව් කරන්න.
16. අනිත් අය ගැන හිතලා විශ්වාසයන් ගැන කතා කරන්න බයිබල් ශිෂ්‍යයාට උදව් කරන්න පුළුවන් කොහොමද?
16 ශිෂ්‍යයාගේ නෑදෑයෙක් බයිබලේ ගැන දැනගන්න කැමති වුණොත් ශිෂ්‍යයාට කියන්න එක සැරේ දන්න හැම දේම කියන්න එපා කියලා. එහෙම වුණොත් නෑදෑයාට එපා වෙලා ආයේ ඒ ගැන කතා කරන එකකුත් නැහැ. ශිෂ්‍යයාට දිරිගන්වන්න සත්‍යය ගැන ටිකෙන් ටික කියන්න කියලා. එතකොට ඉස්සරහට ආයෙත් එයාට බයිබලේ තියෙන තොරතුරු ගැන කතා කරන්න පුළුවන්. (කොලො. 4:6) සමහරවිට එයාට පුළුවන් නෑදෑයාට කියන්න jw.org එකට ගිහින් බලන්න කියලා. ඒක ඒ නෑදෑයාට උදව් වෙයි එයා කැමති වෙලාවට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන එයාට දැනගන්න ඕන තොරතුරු ගිහින් බලන්න.
17. සාක්ෂිකරුවන් ගැන වැරදි මත තියෙන අයට උත්තර දෙන්න ශිෂ්‍යයාව පුහුණු කරන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)
17 නෑදෑයෙක්, වැඩපොළේ කෙනෙක් අහයි කියලා හිතෙන ප්‍රශ්නවලට උත්තර දෙන විදිහ ශිෂ්‍යයා එක්ක පුහුණු වෙන්න. ඒකට jw.org එකේ තියෙන “නිතර අසන ප්‍රශ්න” කියන කොටස උදව් වෙයි. (2 තිමෝ. 2:24, 25) ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ හැම පාඩමක්ම ඉවර වෙද්දී තියෙන “සමහරු මෙහෙම කියනවා” කියන කොටස ශිෂ්‍යයා එක්ක බලන්නත් අමතක කරන්න එපා. විශ්වාසයන් ගැන එයාගෙම වචනවලින් උත්තර දෙන විදිහ නිතර නිතර පුහුණු වෙන්න කියලා ශිෂ්‍යයාට උනන්දු කරන්න. හැබැයි එහෙම කරද්දී එයා තව දියුණු වෙන්න ඕන පැත්තක් දැක්කොත් ඒක නොකියා ඉන්නත් එපා. ඉතින් මේ විදිහට ශිෂ්‍යයාව පුහුණු කරද්දී ඒක එයාට උදව් වෙයි එයා විශ්වාස කරන දේවල් ගැන බය නැතුව කියන්න.
දේශනා කරන විදිහ ශිෂ්‍යයා එක්ක පුහුණු වෙලා විශ්වාසයන් ගැන ප්‍රසිද්ධියේ කියන්න කියලා ශිෂ්‍යයාව උනන්දු කරන්න (17 ඡේදය බලන්න)c
18. බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් වෙන්න ශිෂ්‍යයාට උදව් කරන්නේ කොහොමද? (මතෙව් 10:27)
18 යේසුස් ගෝලයන්ට කිව්වා ප්‍රසිද්ධ තැන්වලට ගිහින් දේශනා කරන්න කියලා. (මතෙව් 10:27 කියවන්න.) ඉතින් ශිෂ්‍යයා ගෙයින් ගෙට ගිහින් දේශනා කරන්න ඉක්මන් වෙන තරමටම එයා යෙහෝවා මත රඳලා වැඩ කරන්නත් ඉගෙනගනියි. ඒ ඉලක්කෙට යන්න ශිෂ්‍යයාට උදව් කරන්න පුළුවන් කොහොමද? සභාවෙන් විශේෂ ව්‍යාපෘති ගැන නිවේදනය කරද්දී ශිෂ්‍යයාව දිරිගන්වන්න ප්‍රචාරකයෙක් වෙන්න පුළුවන්ද කියලා හිතන්න කියලා. හුඟක් අයට දේශනා කරන්න පටන්ගන්න ඒ වගේ ව්‍යාපෘති උදව් වෙලා තියෙන විදිහ එයාට පැහැදිලි කරන්න. එයාට තියන්න පුළුවන් තව ඉලක්කයක් තමයි සති මැද රැස්වීමේ ශිෂ්‍ය කතා දෙන එක. ඒවා එයාට උදව් වෙයි එයාගේ විශ්වාසයන් ගැන තව හොඳින් පැහැදිලි කරන්න.
ශිෂ්‍යයාට ඕනෙ යෙහෝවාව සතුටු කරන්න කියලා විශ්වාස කරන්න
19. ගෝලයන්ව විශ්වාසයි කියලා යේසුස් පෙන්නුවේ කොහොමද? ඔහුව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?
19 යේසුස් ස්වර්ගයට යන්න කලින් ගෝලයන්ට කිව්වා එයාලා ආයෙත් ඔහුත් එක්ක එකතු වෙනවා කියලා. ඒ වෙලාවේ යේසුස් කතා කරන්නේ එයාලා ස්වර්ගයට යන එක ගැනයි කියලා එයාලට තේරුණේ නැහැ. හැබැයි යේසුස් අවධානය දුන්නේ යෙහෝවාට සේවේ කරන්න එයාලට තිබුණ කැමැත්තට මිසක් එයාලට නොතේරුණ දේවලට නෙවෙයි. (යොහ. 14:1-5, 8) ඔහු දැනන් හිටියා ස්වර්ගයට යන බලාපොරොත්තුව වගේ සමහර දේවල් තේරුම්ගන්න එයාලට කාලේ ඕනෙ කියලා. (යොහ. 16:12) අපේ ශිෂ්‍යයන්ට යෙහෝවාව සතුටු කරන්න ලොකු ආසාවක් තියෙනවා කියලා අපිටත් විශ්වාසයි. ඒ විශ්වාසේ අපි එයාලට පෙන්නන්නත් ඕනේ.
ශිෂ්‍යයා දේශනා කරන්න ඉක්මන් වෙන තරමටම යෙහෝවා මත රඳලා ඉන්නත් ඉගෙනගනියි
20. මලාවිවල ඉන්න සහෝදරියක් එයාට එයාගේ ශිෂ්‍යයාව විශ්වාසයි කියලා පෙන්නුවේ කොහොමද?
20 අපේ ශිෂ්‍යයන්ට ඕන හරි දේ කරන්න කියලා අපි විශ්වාස කරන්න ඕනේ. මලාවිවල ඉන්න සහෝදරි චිෆුන්ඩෝගේ අද්දැකීම බලන්න. එයා ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතෙන් කතෝලික තරුණියක් වුණ ආලිනාෆේ එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. 14වෙනි පාඩම සාකච්ඡා කරලා ඉවර වුණාම චිෆුන්ඩෝ එයාගෙන් ඇහුවා එයා රූප නමස්කාරය ගැන මොකද හිතන්නේ කියලා. ඒක ඇහුවාම ආලිනාෆේට ටිකක් අප්සෙට් ගියා. එයා කිව්වා “ඒක මගේ පෞද්ගලික තීරණයක්” කියලා. චිෆුන්ඩෝ හිතුවා එයා බයිබල් පාඩම නවත්තයි කියලා. හැබැයි කවදා හරි එයා ඇත්ත තේරුම්ගනියි කියන විශ්වාසෙන් චිෆුන්ඩෝ එයාත් එක්ක දිගටම ඉවසීමෙන් පාඩම කළා. ඊට මාස කීපයකට පස්සේ 34වෙනි පාඩමේ තිබුණ මේ ප්රශ්නය චිෆුන්ඩෝ එයාගෙන් ඇහුවා. “බයිබලය ගැනත් සැබෑ දෙවියන් වන යෙහෝවා ගැනත් ඔයා ඉගෙනගෙන තියෙන දේවල් ඔයාට ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ කොහොමද?” එයා උත්තර දීපු විදිහ ගැන චිෆුන්ඩෝ මෙහෙම කියනවා. “එයා වැදගත් කරුණු කීපයක් ගැනම කිව්වා. එයා කිව්වා සාක්ෂිකරුවෝ බයිබලේ වැරදියි කියලා කියන කිසිම දෙයක් කරන්නේ නෑ කියලා.” ඒක වෙලා වැඩි කල් යන්න කලින් ආලිනාෆේ රූපවලට වඳින එක නැවැත්තුවා. එයා බව්තීස්මත් වුණා.
21. යෙහෝවාට සේවේ කරන්න තීරණේ කරන්න ශිෂ්‍යයාට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?
21 අපි දන්නවා ‘වර්ධනය දෙන්නේ දෙවියන්’ කියලා. හැබැයි ශිෂ්‍යයෙක්ට දියුණු වෙන්න උදව් කරන්න අපේ පැත්තෙනුත් දෙයක් කරන්න තියෙනවා. (1 කොරි. 3:7) ඒකට යෙහෝවා එයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් නිකම්ම උගන්නනවාට වඩා වැඩි දෙයක් අපි කරන්න ඕනේ. යෙහෝවා ගැන එයාට තියෙන ආදරේ වැඩි කරගන්න අපි එයාට උදව් කරන්න ඕනේ. ඒ වගේම ජීවිතේ මුල් තැන දෙවියන්ට දීලා දෙවියන් ගැන එයාගේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න කියලත් අපි දිරිගන්වන්න ඕනේ. අභියෝග එද්දී යෙහෝවා මත රඳා ඉන්නත් අපි එයාව පුහුණු කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි යෙහෝවාගේ ප්‍රමිතිවලට අනුව එයා ජීවත් වෙයි කියලත් යෙහෝවාට සේවේ කරන්න එයා බය නැතුව පියවර ගනියි කියලත් අපිට විශ්වාසයි කියන දේ අපි පෙන්නන්න ඕනේ.
ගීතිකාව 55 ඔවුන්ට බිය නොවන්න!
a යේසුස්ව හම්බ වෙලා අවුරුදු දෙකහමාරකට පස්සෙත් නිකදේමස් යුදෙව් මහාධිකරණයේ සාමාජිකයෙක් වෙලා හිටියා. (යොහ. 7:45-52) එක පොතක කියනවා ඉතිහාසඥයන් හිතන්නේ නිකදේමස් යේසුස්ගේ ගෝලයෙක් වුණේ යේසුස් මැරුණාට පස්සේ කියලා.—යොහ. 19:38-40.
b පින්තූරේ අදහස: මාළු ව්‍යාපාරය අත්හැරලා පේතෘසුයි, අනිත් ධීවරයෝයි යේසුස් පස්සේ ගියා.
c පින්තූරේ අදහස: දේශනා කරන්න සහෝදරියක් එයාගේ බයිබල් ශිෂ්‍යයාව පුහුණු කරනවා.