ජීවිත කතාව
“මේ යුද්දේ යෙහෝවාගේ”
ඒ, 2010 ජනවාරි 28වෙනිදා. මං හිටියේ ස්ට්‍රාස්බර්ග්වල. ඒක ප්‍රංශයේ ලස්සන නගරයක්. ඒත් මං එහේ ගියේ සිරි නරඹන්න නෙමෙයි. මං එහේ ගියේ මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය (ECHR) ඉස්සරහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න. ප්‍රංශ රජය සාක්ෂිකරුවන්ට කියලා තිබුණා එයාලට ලැබෙන සම්මාදම් වෙනුවෙන් බද්දක් විදිහට යූරෝ මිලියන 64ක් විතර ගෙවන්න කියලා. ඒ නඩුව දිනන එක අපිට වැදගත් වුණේ සල්ලි නිසා නෙමෙයි. ඒකෙන් යෙහෝවාගේ නම ගෞරවයට පත් වෙනවා. ඔහුගේ සෙනඟට කරලා තියෙන චෝදනා බොරුයි කියලා ඔප්පු වෙනවා. ප්‍රංශයේ ඉන්න සහෝදරයන්ට නිදහසේ නමස්කාර කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඇත්තටම මේ නඩුවේදී සිද්ධ වුණ දෙයින් පැහැදිලිව පෙනුණා “මේ යුද්දේ යෙහෝවාගේ” කියලා.—1 සාමු. 17:47.
මේ ප්‍රශ්නේ පටන්ගත්තේ 1999දී. ඒ, ප්‍රංශ රජය 1993ත් 1996ත් අතර කාලේ ප්‍රංශ ශාඛා කාර්යාලයට ලැබුණ සම්මාදම්වලට අසාධාරණ විදිහට බද්දක් ගෙවන්න නියෝග කළාම. අපි ප්‍රංශ අධිකරණයට මේ කාරණය අරන් ගියත් වැඩක් වුණේ නෑ. ඊටපස්සේ අපි එහේ අභියාචනාධිකරණයෙන් පරාද වුණාට පස්සේ රජය අපේ ශාඛා කාර්යාල ගිණුමේ තිබුණ යූරෝ මිලියන හතරාමාරකට වඩා සල්ලි රාජසන්තක කළා. ඉතිං අපේ අවසාන බලාපොරොත්තුව වුණේ ECHR එක. හැබැයි එයාලා අපිට කිව්වා මේකට තීන්දුවක් දෙන්න කලින් ඔයාලා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයෙක් එක්ක රජයේ නීතික කණ්ඩායම හම්බ වෙලා සමතයකට එන්න පුළුවන්ද කියලා බලන්න කියලා.
අපි යද්දීම හිතුවා අපිට ලැබෙන සම්මාදම්වලින් කොටසක් හරි රජයට දෙන්න කියලා රෙජිස්ට්‍රාර් අපිට කියයි කියලා. හැබැයි අපි තේරුම්ගත්තා යූරෝ එකක් හරි අපි එයාලට දුන්නොත් ඒකෙන් බයිබල් ප්‍රතිපත්ති කැඩෙනවා කියලා. මොකද සහෝදරයන් සම්මාදම් කළේ දේවරාජ්‍යයේ වැඩවලට. ඒ සම්මාදම් ආණ්ඩුවට අයිති නෑ. (මතෙ. 22:21) හැබැයි අධිකරණයේ නීතිවලට ගරු කරන්න ඕන නිසා අපි ඒ රැස්වීමට ගියා.
2010 ECHR එකට ගිය අපේ නීතික කණ්ඩායම
පූර්ව නඩු විභාගය පටන්ගත්තාම රෙජිස්ට්‍රාර්වරිය කිව්වා ප්‍රංශයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් අය කරපු බද්දෙන් කොටසක් හරි එයාලා ආණ්ඩුවට ගෙවයි කියලා එයා බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට අපි එයාගනේ මෙහෙම ඇහුවා. “රජය දැනටමත් අපේ ගිණුමෙන් යූරෝ මිලියන හතරාමාරකට වඩා රාජසන්තක කරලා තියෙනවා කියලා ඔබතුමිය දන්නවාද?”
ඒක ඇහුවාම එයාගේ මූණ වෙනස් වුණා. එහෙම කළා කියලා රජයේ නීතික කණ්ඩායම පිළිගත්තාම නඩුව ගැන රෙජිස්ට්‍රාර්වරිය හිතාගෙන ආපු විදිහ කණපිට පෙරළුණා. එයා ඒ නීතිඥයන්ට බැනලා රැස්වීම ඉවර කළා. එතකොට මට තේරුණා අපි හීනෙකින්වත් හිතපු නැති විදිහට යෙහෝවා මේ නඩුව යන අත වෙනස් කරලා තියෙනවා කියලා. සිද්ධ වුණ දේ ගැන හිතාගන්න බැරි වුණ අපි හරිම සතුටින් එතනින් ආවා.
2011 ජූනි 30වෙනිදා ECHR එකෙන් අපිට පක්ෂව තීන්දුවක් දුන්නා. එයාලා බද්ද අහෝසි කරලා රාජසන්තක කරපු සල්ලි පොලියත් එක්කම ගෙවන්න කියලා රජයට නියෝග කළා. ප්‍රංශයේ ඉන්න සහෝදරයන් අද වෙන කල්ම නිදහසේ නමස්කාර වැඩකටයුතු කරන්නේ ඒ ඓතිහාසික තීන්දුව නිසයි. ගොලියත්ගේ ඔළුවට වැදුණ එක ගලෙන් යුද්දේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරුණා වගේ අපි අහපු එක ප්‍රශ්නෙන් මේ නඩුව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරුණා. එදා දාවිත් ගොලියත්ට කිව්වේ “මේ යුද්දේ යෙහෝවාගේ” කියලා. (1 සාමු. 17:45-47) අපි ඒ නඩුව දින්නෙත් ඒ නිසාමයි.
අපි ලබපු එකම ජයග්‍රහණය ඒක විතරක් නෙමෙයි. අද වෙද්දී බලවත් ආණ්ඩුවලින්, ආගම්වලින් විරුද්ධවාදිකම් ආවත් රටවල් 70ක ඉහළම අධිකරණ සහ ජාත්‍යන්තර අධිකරණ කීපයක්ම අපිට පක්ෂව තීන්දු 1,225ක් දීලා තියෙනවා. ඒ තීන්දු නිසා අපේ අයිතීන් ආරක්ෂා වෙලා තියෙනවා. උදාහරණෙකට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව පිළිගත්ත ආගමක් විදිහට නම් කරලා තියෙනවා. ප්‍රසිද්ධියේ දේශනා කරන්න පුළුවන් වෙලා තියෙනවා. ජාතිය උසස් කරලා සමරන උත්සවවලට හවුල් නොවී ඉන්න අපිට තියෙන අයිතිය, ලේ ගන්නේ නැතුව ඉන්න අපිට තියෙන අයිතිය වගේ අයිතීනුත් ආරක්ෂා වෙලා තියෙනවා.
ඒත් මං ඔයාලට කියන්නම්කෝ ලෝක මූලස්ථානයේ සේවේ කරකර හිටපු මං යුරෝපයේ නඩුවකට සම්බන්ධ වුණ විදිහ.
දෙමාපියන්ගේ උනන්දුව මටත් බෝ වුණා
මගේ තාත්තා ජෝර්ජ්. අම්මා ලුසීල්. එයාලා ගිලියද් පාසැලේ 12වෙනි පන්තියට සහභාගි වුණ අය. 1956 මං ඉපදෙද්දී එයාලා සේවේ කළේ ඉතියෝපියාවේ. මුල් සියවසේ හරිම උද්‍යෝගයෙන් දේශනා කරපු ෆිලිප්ගේ නම තමයි එයාලා මට දැම්මේ. (ක්‍රියා 21:8) මං ඉපදුණාට පස්සේ අවුරුද්දේ ඒ රටේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කළා. මං පොඩි වුණත් අම්මලා හොරෙන් නමස්කාරයේ දේවල් කරපු විදිහ මට හොඳට මතකයි. මට නං ඒක හරි විනෝදයි. ඒත් 1960දී ඒ රටේ බලධාරීන් අපිට කිව්වා එහෙන් යන්න කියලා.
1959 නේතන් නෝර් (වම) අපේ පවුලේ අයත් එක්ක ඉතියෝපියාවේදී
ඊටපස්සේ අපි පදිංචියට ආවේ ඇමරිකාවේ කැන්සාස්වල විචිටා කියන පැත්තට. තැන මාරු වුණත් අපේ අම්මලට සේවේ කරන්න තිබුණ උද්‍යෝගය නං කවදාවත් නැති වුණේ නෑ. එයාලා මට විතරක් නෙමෙයි මගේ අක්කා ජූඩිටයි, මල්ලි ලෙස්ලිටයි දෙවියන්ට ආදරේ කරන්න ඉගැන්නුවා. මං අවුරුදු 13දී බව්තීස්ම වුණා. අවුරුදු තුනකට පස්සේ අපි ප්‍රචාරකයන් අඩු පේරූවල අරෙකුයිපා කියන පැත්තට සේවේ කරන්න ගියා.
මට අවුරුදු 18දී පේරු ශාඛා කාර්යාලයෙන් මාවයි, තව සහෝදරයන් හතරදෙනෙක්වයි විශේෂ පුරෝගාමීන් විදිහට පත් කළා. අපිට සේවේ කරන්න තිබුණේ ඇන්දීස් කඳුකරයේ කවුරුත් සේවේ කරලා නැති පැතිවල. ඒ පැතිවලට කෙචුවා, අයිමාරා භාෂා කතා කරන පැතිත් ඇතුළත්. අපි එහෙට ගියේ ගෙයක් වගේ හදලා තිබුණ වෑන් එකක. ඒක පෙට්ටියක් වගේ නිසා අපි ඒකට කිව්වේ නෝවාගේ නැව කියලා. ඒ පැතිවල හිටපු මිනිස්සුන්ට දුප්පත්කම, අසනීප, මරණය යෙහෝවා ළඟදීම නැති කරනවා කියලා බයිබලෙන් උගන්නපු ඒ කාලේ අදටත් මං මතක් කරන්නේ සතුටින්. (එළි. 21:3, 4) එහේ ගොඩදෙනෙක් සත්‍යයටත් ආවා.
1974දී “නෝවාගේ නැව”
සේවේ කරන්න ලෝක මූලස්ථානයට ගියා
පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වුණ සහෝදර ඇල්බට් ෂ්‍රෝඩර් 1977 පේරූවලට ආපු වෙලාවේ මට කිව්වා ලෝක මූලස්ථානයේ සේවේ කරන්න අයදුම් කරන්න කියලා. ඉතිං මං කළා. 1977 ජූනි 17වෙනිදා මං බෘක්ලින් බෙතෙල් එකේ සේවේ පටන්ගත්තා. ඊළඟ අවුරුදු හතර පුරාම මං වැඩ කළේ පිරිසිදු කිරීමේ සහ නඩත්තු කිරීමේ අංශවල.
1979 අපි බැන්ද දවසේ
1978 ජූනිවල නිව් ඔර්ලියන්ස් ලුසියානාවල තිබුණ ජාත්‍යන්තර සමුළුවකදී මට එලිසබෙත් ඇව්ලෝන්ව හම්බ වුණා. එයාත් යෙහෝවාට ගොඩක් ආදරේ කරපු දෙමාපියන් යටතේ තමයි හැදිලා වැඩිලා තිබුණේ. මට එයාව හම්බ වෙද්දීත් එයා අවුරුදු හතරක්ම ස්ථාවර පුරෝගාමියෙක් විදිහට සේවේ කරලා තිබුණා. ඒ වගේම එයාගේ ආසාව වුණේ දිගටම පූර්ණකාලීන සේවේ කරන්න. අපි දෙන්නාට දෙන්නා අඳුරගත්තා. ඊටපස්සේ අපි ආදරේ කරලා 1979 ඔක්තෝබර් 20 බැන්දා. පස්සේ එයාත් මාත් එක්ක බෙතෙල් එකේ සේවේ කරන්න පටන්ගත්තා.
අපි මුලින්ම ගියේ බෘක්ලින්වල ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවකට. ඒ සහෝදරයෝ අපිට හරිම ආදරෙන් සැලකුවා. ඔය අවුරුදු ගාණ පුරාවටම අපි ඔය වගේ සභා තුනක සේවේ කරලා තියෙනවා. බෙතෙල් සේවේ දිගටම කරගෙන යන්න ඒ සහෝදරයන් අපිට ලොකු හයියක් වුණා. ඒ වගේම අපේ මහලු දෙමාපියන්ව බලාගන්න අපිට උදව් කරපු සහෝදරයන් ගැන, පවුලේ අය ගැන අපේ හිතේ ලොකු අගයක් තියෙනවා.
1986 බෘක්ලින්වල ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවට ගිය බෙතෙල් එකේ අය
නීතික සටන්වලට උදව් කළා
1982 ජනවාරිවල මගේ පැවරුම නීතික අංශයට මාරු වුණාම මට පුදුම හිතුණා. අවුරුදු තුනකට පස්සේ ශාඛා කාර්යාලෙන් මට කිව්වා නීතිඥයෙක් වෙන්න විශ්වවිද්‍යාලෙට ගිහිං ඉගෙනගන්න කියලා. එහෙදී මං ඉගෙනගත්තා ඇමරිකාවේ වගේම තවත් රටවල මිනිස්සුන්ට නිදහසේ දේවල් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දිනපු නඩු නිසයි කියලා. ඒ වැදගත් නඩු ගැන විශ්වවිද්‍යාලේදී උගන්නනවා.
මට අවුරුදු 30දී, ඒ කියන්නේ 1986දී මාව නීතික අංශය බලාගන්න සහෝදරයා විදිහට පත් කළා. මාව විශ්වාස කරලා ඒ වගේ පැවරුමක් දීපු එක ගැන මට සතුටක් දැනුණා. ඒත් මං දැනං හිටියා මේ පැවරුම ලේසි වෙන්නේ නෑ කියලා. මොකද මං දන්නේ නැති ගොඩක් දේවල් තිබුණා.
1988දී මං නීතිඥ උපාධිය ඉවර කළා. හැබැයි මටත් නොදැනීම උසස් අධ්‍යාපනය මායි, යෙහෝවායි අතර තිබුණ බැඳීමට ලොකු හානියක් කරලා තිබුණා. උසස් අධ්‍යාපනයට පුළුවන් කෙනෙක්ගේ හිතේ තරඟකාරිත්වයක් ඇති කරන්න. හොඳ අධ්‍යාපනයක් ලබලා නැති අයට වඩා තමන් උසස් කියලා හිතන්න සලස්වන්න. ඒ උගුලෙන් එලිසබෙත් තමයි මාව බේරගත්තේ. විශ්වවිද්‍යාලෙට යන්න කලින් යෙහෝවාත් එක්ක මට තිබුණ බැඳීම ශක්තිමත්ව තියාගන්න මං කරපු දේවල් ආයෙත් කරන්න එලිසබෙත් මට උදව් කළා. කාලයක් ගියත් මං යෙහෝවාත් එක්ක ආයෙත් හොඳ බැඳීමක් ඇති කරගත්තා. මං අද්දැකීමෙන්ම දන්නවා දැනුමෙන් ඔළුව පුරෝගත්තා කියලා ඒකෙන් අපේ ජීවිතවලට වටිනාකමක් එකතු වෙන්නේ නෑ කියලා. ජීවිතේට වටිනාකමක් එන්නේ යෙහෝවාත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න එකෙන්. ඔහුටයි, ඔහුගේ සෙනඟටයි ආදරේ කරන එකෙන්.
අපේ අයිතීන් වෙනුවෙන් කරන සටන
විශ්වවිද්‍යාලේ ගිහිං ඉවර වුණාට පස්සේ මං බෙතෙල් එකේ නීතික කාරණාවලට, දේශනා සේවේ කරන්න අපිට තියෙන අයිතීන් තහවුරු කරන වැඩවලට වැඩිපුර අවධානය දුන්නා. සංවිධානයේ දේවල් හරි ඉක්මනට වෙනස් වෙන නිසා මගේ පැවරුමේ අභියෝග නැතුවම නෙමෙයි. උදාහරණෙකට ඉස්සර කාලේ අපි ප්‍රකාශන දෙද්දී සම්මාදමක් එකතු කළා. හැබැයි 1990දී නීතික අංශයට කිව්වා සම්මාදම් එකතු කරන්නේ නැතුව ප්‍රකාශන දෙන්න විදිහක් හොයන්න කියලා. ඒකෙන් පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොමිලේ ප්‍රකාශන දෙන්න පටන්ගත්තා. ඒ නිසා බෙතෙල් එකෙයි, සේවෙයි වැඩ ගොඩක් සරල වුණා. ඒ වගේම දැන් රජයට අපෙන් අනවශ්‍ය විදිහට බදු අය කරන්නත් බැහැ. සමහරු හිතුවා මේ වෙනස නිසා අපිට ලැබෙන සම්මාදම් අඩු වෙලා මිනිස්සුන්ට දෙන්නවත් ප්‍රකාශන නැති වෙයි කියලා. එතකොට එහෙම්මම අපේ සේවේ අඩාල වෙයි කියලා එයාලා හිතුවා. හැබැයි වුණේ ඒකේ අනිත් පැත්ත. 1990 ඉඳලා යෙහෝවාට සේවේ කරන අයගේ ගාණ දෙගුණ වුණා. අද වෙද්දී ඕනම කෙනෙක්ට නොමිලේ බයිබලේ ගැන ඉගෙනගන්න අවස්ථාව තියෙනවා. යෙහෝවා දෙවියන්ගේ උදව්, විශ්වාසවන්ත නුවණ ඇති දාසයා දෙන මඟ පෙන්වීම් නිසයි සංවිධානය කරන ලොකු වෙනස්කම් වුණත් සාර්ථක කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා මං මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.—නික්. 15:2; මතෙ. 24:45.
අපි නඩු දින්නේ අපිට හොඳ නීතිඥවරු හිටපු නිසාම නෙමෙයි. හුඟක් වෙලාවට විනිසුරුවරු, ආණ්ඩුවල නිලධාරීන් අපිට පක්ෂව වැඩ කරන්න පෙලඹෙන්නේ යෙහෝවාගේ සෙනඟගේ හොඳ හැසිරීම නිසයි. 1998දී පාලක මණ්ඩලයේ සහෝදරයෝ තුන්දෙනෙකුයි, එයාලාගේ භාර්යාවනුයි කියුබාවේ තිබුණ සමුළුවකට ආපු වෙලාවේ මං ඒක හොඳින්ම දැක්කා. අපි එහේ නිලධාරීන්ව හම්බ වෙලා අපි ගැන කතා කරලා තිබුණා. හැබැයි පාලක මණ්ඩලයේ සහෝදරයෝ කාරුණිකව වැඩ කරපු විදිහ, එයාලා අනිත් අයට ගෞරවය පෙන්නපු විදිහ ඒ නිලධාරීන්ට ඊටත් වඩා සාක්ෂියක් වුණා අපි දේශපාලනයට සම්බන්ධ නෑ කියන්න.
සමහර වෙලාවට “දේශනා කරන්න තියෙන අයිතිය නීත්‍යනුකූලව තහවුරු කරන්න” අපිට උසාවි යන්න වෙනවා. (ෆිලි. 1:7) දශක ගාණක් තිස්සේ යුරෝපයේ, දකුණු කොරියාවේ බලධාරීන් හමුදා සේවේ ප්‍රතික්ෂේප කරන්න අපිට තියෙන අයිතියට ගරු කළේ නෑ. ඒ නිසා යුරෝපයේ සහෝදරයන් 18,000කුත් දකුණු කොරියාවේ සහෝදරයන් 19,000කට වඩා වැඩි ගාණකුත් හිරේ දැම්මා.
ඒත් අන්තිමට 2011 ජූලි 7වෙනිදා ECHR එකෙන් බයාට්යාන්ට එදිරිව ආර්මේනියා නඩුවේදී ඓතිහාසික තීන්දුවක් දුන්නා. ඒ තීන්දුවෙන් යුරෝපයේ හැම රටකටම කිව්වා ආගමික විශ්වාසයන් නිසා හමුදා සේවේ ප්‍රතික්ෂේප කරන අයට වෙනත් පොදු සේවාවන් කරන්න අවසර දෙන්න ඕනෙ කියලා. ඒකෙන් පස්සේ 2018 ජූනි 28වෙනිදා දකුණු කොරියාවේ ව්‍යාවස්ථාධිකරණයෙන් ඒ හා සමානම තීන්දුවක් දුන්නා. අපේ යෞවන සහෝදරයන්ගෙන් එක් කෙනෙක් දෙන්නෙක් හරි විශ්වාසවන්තව හිටියේ නැත්නම් ඔය තීන්දු ඔය විදිහට නොලැබෙන්න ඉඩ තිබ්බා.
ලෝක මූලස්ථානයෙයි, ලෝකේ පුරාම තියෙන ශාඛා කාර්යාලවලයි තියෙන නීතික අංශ දේවරාජ්‍යයේ වැඩකටයුතු කරන්න අපිට තියෙන අයිතිය නීත්‍යානුකූලව තහවුරු කරන්න ගොඩක් මහන්සි වෙනවා. ආණ්ඩුවලින් ගේන විරුද්ධවාදිකම්වලට මූණ දෙන අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් කතා කරන්න ලැබුණ එක අපිට ලොකු ගෞරවයක්. අපි නඩුවක් දින්නත් නැතත් ආණ්ඩුකාරයන්, රජවරුන් සහ ජාතීන්ට හොඳ සාක්ෂියක් දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. (මතෙ. 10:18) නඩුවකදී අපි ඉදිරිපත් කරන ලියවිලිවල, අපි කියන තොරතුරුවල බයිබල් පද සඳහන් කරනවා. ඒවා විනිසුරුවරුන්ට, රජයේ නියෝජිතයන්ට, මාධ්‍යයට, මහජනයාට අහන්න දකින්න ලැබෙනවා. ඒකෙන් අවංක හදවත් තියෙන අයට අවස්ථාව ලැබෙනවා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කවුද, එයාලාගේ විශ්වාසයන්වලට පදනම මොකක්ද කියලා දැනගන්න. එහෙම දැනගත්ත සමහරු සත්‍යයටත් ඇවිල්ලා තියෙනවා.
තැන්ක් යූ යෙහෝවා!
අවුරුදු 40කට වඩා වැඩි කාලයක් පුරා ලෝකේ පුරා තියෙන ශාඛා කාර්යාල එක්ක එකතු වෙලා අපේ නීතික වැඩ බලන්නත් මහාධිකරණ, උසස් නිලධාරීන් ඉස්සරහා පෙනී ඉන්නත් ලැබුණ එක මට ලොකු වරප්‍රසාදයක්. ලෝක මූලස්ථානයෙයි, ලෝකේ පුරාම තියෙන ශාඛා කාර්යාලවලයි ඉන්න නීතික අංශයේ අයට මං ගොඩක් ආදරෙයි. එයාලව මං ගොඩක් අගය කරනවා. ඇත්තටම මගේ ජීවිතේ ආශීර්වාදවලින් පිරුණු එකක් කියලා මට කියන්න පුළුවන්.
පහුගිය අවුරුදු 45 පුරාම හොඳ කාලවලදීත් අමාරු කාලවලදීත් එලිසබෙත් මගේ ළඟින්ම ඉඳලා මට ආදරෙන් උදව් කළා. එයා බරපතළ අසනීපයක් එක්ක ඔට්ටු වෙන නිසා වැඩිය හයිය හත්තිය නැති වුණත් එයා මට දෙන සහයෝගය මං ගොඩක් අගය කරනවා.
අපි අපේ ජීවිතෙන් අද්දැක්කා අපිට ශක්තිය ලැබෙන්නේ, ජයග්‍රහණ ලැබෙන්නේ අපේම හැකියාවන් නිසා නෙමෙයි කියලා. දාවිත් කිව්වා වගේ “යෙහෝවා ඔහුගේ සෙනඟට ශක්තියක්.” (ගීතා. 28:8) ඇත්තටම “මේ යුද්දේ යෙහෝවාගේ.”