පාඨකයන්ගෙන් ප්‍රශ්න
හිතෝපදේශ 30:18, 19 ලේඛකයා කියනවා ‘තරුණියක් වෙතට පුරුෂයෙක්ගේ හිත ඇදී යන විදිහ තේරුම්ගන්න බැහැ’ කියලා. මොකක්ද එයා ඒකෙන් අදහස් කළේ?
මේ පදවලින් අදහස් කරන දේ ගොඩදෙනෙක්ට, විශාරදයන්ට පවා තේරුම්ගන්න අමාරු වෙලා තියෙනවා. ‘නව ලොව පරිවර්තනයේ’ ඒ බයිබල් පද තියෙන්නේ මෙහෙමයි. “මට තේරුම්ගන්න බැරි දේවල් තුනක් තියෙනවා. මට වටහාගන්න බැරි දේවල් හතරක් තියෙනවා. ඒ, රාජාලියෙක් අහසේ පියාඹන විදිහ, සර්පයෙක් පර්වතයක් මත ඇදී යන විදිහ, නැවක් ගැඹුරු මුහුදේ යාත්‍රා කරන විදිහ, ඒ වගේම තරුණියක් වෙතට පුරුෂයෙක්ගේ හිත ඇදී යන විදිහ.”—හිතෝ. 30:18, 19.
කලින් අපි හිතුවේ “තරුණියක් වෙතට පුරුෂයෙක්ගේ හිත ඇදී යන විදිහ” කියලා කියද්දී ඒකෙන් අදහස් කළේ නරක දෙයක් කියලා. අපි එහෙම හිතුවේ ඇයි? ඒ පරිච්ඡේදයේ අනිත් පදවල කතා කරන්නේ කිසිම දවසක සෑහීමට පත් වෙන්නේ නැති දේවල් ගැන. (හිතෝ. 30:15, 16) 20වෙනි පදයේ කතා කරනවා තමන් කිසිම වැරැද්දක් කරන්නේ නැහැ කියලා කියන “අනාචාරයේ යෙදෙන ස්ත්‍රියක්” ගැන. ඒ නිසා අපි හිතුවා අහසේ පියාඹන රාජාලියෙක්, පර්වතයක ඇදිලා යන සර්පයෙක්, ගැඹුරු මුහුදේ යාත්‍රා කරන නැවක් කිසිම සලකුණක් ඉතුරු නොකර ගමන් කරනවා වගේ පුරුෂයෙක් අනිත් අයට නොතේරෙන්න කරන දෙයක් ගැනයි මේ පදයේ කතා කරන්නේ කියලා. ඉතින් අපි නිගමනය කළා “තරුණියක් වෙතට පුරුෂයෙක්ගේ හිත ඇදී යන විදිහ” කියද්දී ඒකෙන් අදහස් කළේ තරුණයෙක් කපටි විදිහට අහිංසක තරුණියක්ව දැලේ දාගෙන එයාත් එක්ක වැරදි දෙයක් කරන එකයි කියලා.
හැබැයි මේ පද දෙකේ කතා කරන්නේ හොඳ දේවල් ගැන කියලා කියන්න හේතු තියෙනවා. ලේඛකයා එයා දැකපු පුදුම හිතෙන දේවල් ගැනයි එතන කතා කරන්නේ.
මුල් හෙබ්‍රෙව් අත්පිටපත්වලිනුත් පේනවා මේ පදවල කතා කරන්නේ හොඳ දේවල් ගැන කියලා. හිතෝපදේශ 30:18 “මට තේරුම්ගන්න බැරි දේවල්” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනෙන් අදහස් කරන්නේ “අදහාගන්න බැරි, පුදුමාකාර දේවල් ගැනයි” කියලා එක පොතක කියනවා.—Theological Lexicon of the Old Testament.
එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක්‍රෝෆඩ් එච්. ටෝයි කියන්නෙත් ඒ පදයේ විස්තර කරන්නේ වැරදි දෙයක් ගැන නෙවෙයි කියලා. එයා මෙහෙම කියනවා. “ඒක ලියපු කෙනා කතා කරන්නේ එයා දැකපු පුදුමාකාර දේවල් ගැන.”
එහෙම බලද්දී හිතෝපදේශ 30:18, 19 කතා කරන්නේ අපිට තේරුම්ගන්න බැරි, අරුම පුදුම දේවල් ගැන කියලා කියන්න පුළුවන්. රාජාලියෙක් අහසේ පියාඹන විදිහ, පාද නැති සර්පයෙක් පර්වතයක ඇදිලා යන විදිහ, දැවැන්ත නැවක් ගැඹුරු මුහුදේ යාත්‍රා කරන විදිහ දකිද්දී අපිට පුදුම හිතෙනවා වගේ තරුණයෙක් සහ තරුණියක් ආදරෙන් බැඳෙන විදිහත් හරිම පුදුමාකාරයි.