ඩ්‍රයිවින් නවත්තන්න කාලේ හරිද?
ඔයා දශක ගාණක් තිස්සේ වාහනයක්, බයික් එකක් පදිනවා ඇති. ඔයාටම කියලා වාහනයක් තියෙද්දී ඕනම වේලාවක ඕනම තැනක යන්න පුළුවන්. ඒත් දැන් දැන් ඔයාගේ පවුලේ අය, යාළුවෝ ඔයාගේ ආරක්ෂාව ගැන වධ වෙනවා. ඒ නිසා එයාලා හිතනවා ඔයා දැන් වාහන පදින එක නැවැත්තුවොත් හොඳයිද කියලා. හැබැයි ඇයි එයාලා එච්චර වධ වෙන්නේ කියලා ඔයා හිතනවා.
ඒ වගේ අවස්ථාවකදී වාහනයක්, බයික් එකක් පදිනවාද නැද්ද කියලා තීරණේ කරන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?
සමහර රටවල යම් වයසක් පහු වෙද්දී හැම රියදුරෙක්ම රියදුරු බලපත්‍රය අලුත් කරන්න වෛද්‍ය සහතිකයක් ගන්න ඕනේ. ඒ වගේ රටවල්වල ඉන්න ක්‍රිස්තියානීන් ඒ නීතියට කීකරු වෙනවා. (රෝම 13:1) ඔයා ඉන්න රටේ එහෙම නීති නැතත් දිගටම වාහනේ පදිනවාද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්න උදව් වෙන මඟ පෙන්වීම් තියෙනවා.
හිතලා බලන්න පැති
වැඩිහිටියන් වෙනුවෙන් පිහිටුවලා තියෙන එක සංවිධානයක් (National Institute on Aging) කියනවා වයසක කෙනෙක් වාහනයක් පදින්න කලින් මේ ගැන හිතලා බලන්න ඕනෙ කියලා.
- වාහනේ යද්දී මට මාර්ග සංඥා කියවන්න අමාරුයිද? රෑට මට පැහැදිලිව පේන්නේ නැද්ද? 
- පැති කණ්ණාඩි දිහා, ඒවාට අහු වෙන්නේ නැති තැන් දිහා ඉක්මනටම බෙල්ල හරවලා බලන්න මට බැරිද? 
- වාහනේ පදිද්දී මට ඉක්මනටම දේවල් කරන්න බැරිද? උදාහරණෙකට ඇක්සලරේටරයෙන් කකුල අරන් ඉක්මනින්ම බ්‍රේක් ගහන්න මට බැරිද? 
- පිටිපස්සෙන් එන වාහනවලට බාධාවක් වෙන තරමටම මං හෙමින්ද යන්නේ? 
- හැප්පෙන්නේ නැතුව අනූනවයෙන් බේරුණ අවස්ථා සෑහෙන්න තියෙනවාද? මගේ වාහනේ වැදිච්ච, හීරිච්ච තැන් තියෙනවාද? 
- මං වාහනේ පදින විදිහ දැකලා පොලීසියෙන් මාව නවත්තලා තියෙනවාද? 
- වාහනේ පදිද්දී මං නිදිකිරා වැටිලා තියෙනවාද? 
- වාහනේ පදින්න බාධා වෙන විදිහේ බෙහෙත් මං ගන්නවාද? 
- මං එළවන එක ගැන පවුලේ අය, යාළුවෝ වධ වෙනවා කියලා මට කියලා තියෙනවාද? 
ඒ ප්‍රශ්නවලින් එකකට, දෙකකට හරි උත්තරේ “ඔව්” නම් ඔයාට සමහර වෙනස්කම් කරන්න වෙයි. උදාහරණෙකට ඔයා වාහනේ පදින වාර ගාණ අඩු කරන්න වෙයි. විශේෂයෙන්ම රෑට. ඔයා වාහනේ පදින විදිහ ගැන හැම තිස්සේම චෙක් කරලා බලන්න. ඔයාට පුළුවන් පවුලේ කෙනෙක්ගෙන්, යාළුවෙක්ගෙන් ඒ ගැන අහන්න. සමහරවිට තවත් ආරක්ෂාකාරීව වාහනයක් පදින විදිහ ගැන ඔයාට ආයතනයකින් ඉගෙනගන්නත් වෙයි. හැබැයි ඒ ප්‍රශ්නවලින් දෙකකට වඩා වැඩි ගාණකට ඔයාගේ උත්තරේ “ඔව්” නම් හොඳම දේ රිය පැදවීමට ආයුබෝවන් කියන එකයි.a
බයිබල් ප්‍රතිපත්තිවලින් උදව්!
අපිට වාහනයක්, බයික් එකක් පදින්න තියෙන හැකියාව ටික ටික අඩු වෙනවා කියලා සමහරවිට අපිට තේරෙන්නේ නැහැ. ඩ්‍රයිවින් නවත්තනවා තියා ඒ ගැන හිතන්නවත් ඔයා කැමති නැතුව ඇති. ඒත් ඒ ගැන පැහැදිලිව හිතලා, හොඳ තීරණයක් ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද? අපි ප්‍රතිපත්ති දෙකක් ගැන බලමු.
නිහතමානී වෙන්න. (හිතෝ. 11:2) වයසට යද්දී අපේ ඇස් පෙනීම, කන් ඇසීම අඩු වෙනවා. මාංශ පේශී දුර්වල වෙනවා. ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න තියෙන හැකියාවත් අඩු වෙනවා. අනතුරක් වෙන්න පුළුවන් නිසා සමහරු වයසට යද්දී එයාලා කරකර හිටපු සමහර ක්‍රීඩා නවත්තනවා. වාහන පදින එකටත් ඒක අදාළයි. නිහතමානී කෙනෙක්ට තේරුණොත් වාහනයක් පදින එක එයාට අනතුරක් කියලා එයා ඒක නවත්තනවා. (හිතෝ. 22:3) ඒ වගේම නිහතමානී කෙනෙක් වාහන පදින එක ගැන ආයේ හිතන්න කියලා අනිත් අය කියද්දී ඒකට ඇහුම්කන් දෙනවා.—2 සාමු. 21:15-17.
ජීවිතවලට අනතුරක් කරන්න එපා. (ද්වි. 22:8) වාහනයක් හරි විදිහට පැද්දේ නැත්නම් ඒක භයානක ආයුධයක් වෙන්න පුළුවන්. වාහන පදින්න තියෙන හැකියාව අඩු වෙලා තියෙද්දීත් කෙනෙක් දිගටම ඒක කරනවා නම් එයා එයාගේ ජීවිතෙත් අනිත් අයගේ ජීවිතත් අනතුරේ දානවා. ඒ ගැන එයා බැරෑරුම්ව හිතුවේ නැත්නම් තව කෙනෙක්ගේ ජීවිතයක් වුණත් නැති වෙන්න පුළුවන්.
ඔයා වාහන පදින එක නැවැත්තුවොත් අනිත් අයට ඔයා ගැන තියෙන ගෞරවේ නැති වෙයි කියලා බය වෙන්න එපා. සීමාව දැනගෙන වැඩ කරන එක, නිහතමානිකම, අනිත් අය ගැන හිතලා වැඩ කරන එක වගේ ඔයා ගාව තියෙන ලස්සන ගුණාංගවලට යෙහෝවා ගොඩක් ආසයි. ඔහු පොරොන්දු වෙනවා ඔහු ඔයාව උසුලගෙන යනවා, ඔයාව සනසනවා කියලා. (යෙසා. 46:4) ඔහු කවදාවත් ඔයාව අත්හරින්නේ නැහැ. ඉතින් ඩ්‍රයිවින් නවත්තනවාද නැද්ද කියලා තීරණයක් ගද්දී තැනට සුදුසු නුවණ දෙන්න කියලත් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව හරි තීරණයක් ගන්න උදව් කරන්න කියලත් යෙහෝවාගෙන් දිගටම ඉල්ලන්න.
a තවත් තොරතුරු දැනගන්න 2002 සැප්තැම්බර් 8 ‘පිබිදෙව්!’ සඟරාවේ “රථ වාහන අනතුරුවලින් ඔබ ආරක්ෂා වී සිටීවිද?” කියන ලිපිය බලන්න.