ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 ජනවාරි 8-13 පි.
  • දුකෙන් ඉද්දී ඔයාට උදව් කරන්න යෙහෝවාට පුළුවන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දුකෙන් ඉද්දී ඔයාට උදව් කරන්න යෙහෝවාට පුළුවන්
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පාවුල් මනසින් වැටුණේ ඇයි?
  • අධෛර්යය වෙද්දී පාවුල් කළේ මොකක්ද?
  • අධෛර්යය කරවන සිතුවිලි පරද්දන්න නම් . . .
  • විශ්වාසෙන් අනාගතය දිහා බලන්න
  • හානිකර සිතුවිලි මඟහරවා ගනිමු
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සේවේ සතුට වැඩි කරගන්නේ කොහොමද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නොදන්න දේවල් තියෙනවා කියලා පිළිගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘බිඳුණු සිත් ඇති අයව යෙහෝවා සනසනවා’
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 ජනවාරි 8-13 පි.

2026 මාර්තු 9-15

ගීතිකාව 45 මාගේ සිතුවිලි විමසන්න

දුකෙන් ඉද්දී ඔයාට උදව් කරන්න යෙහෝවාට පුළුවන්

“මං කොච්චර කාලකණ්ණි මනුස්සයෙක්ද!”—රෝම 7:24.

ලිපියේ අරමුණ

අධෛර්යය වෙලා කියලා දැනෙද්දී අපිට කරන්න පුළුවන් මොනවාද?

1-2. සමහර වෙලාවලට පාවුල්ට දැනුණේ කොහොමද? අපිත් පාවුල් වගේ කියන්නේ ඇයි? (රෝම 7:21-24)

පාවුල්ගේ නම ඇහෙද්දී ඔයාගේ මනසේ ඇඳෙන්නේ කොයි වගේ කෙනෙක්වද? නිර්භීත මිෂනාරිවරයෙක්වද? දක්ෂ ගුරුවරයෙක්වද? බයිබලේ හුඟක් පොත් ලියපු ලේඛකයෙක්වද? ඒ හැම එකක්ම හරි. හැබැයි පාවුල්ටත් දුකක්, කනස්සල්ලක් දැනුණ අවස්ථා තිබුණා. එහෙම බලද්දී එයාත් හුඟක් විදිවලින් අපි වගේ කියලා කියන්න පුළුවන්.

2 රෝම 7:21-24 කියවන්න. රෝමවරුන්ට ලියපු ලිපියේ පාවුල් එයාට හැඟෙන විදිහ ලිව්වා. ඒවා බලද්දී පේනවා අපේ හැඟීම්වලටත් ඒවා සමානයි කියලා. පාවුල් කියන්නේ විශ්වාසවන්ත කෙනෙක් වුණත් හිත ඇතුළෙන් එයාටත් ලොකු සටනක් කරන්න වුණ නිසා සමහර වෙලාවට එයා ගොඩක් අධෛර්යය වුණා. දෙවියන්ගේ කැමැත්ත කරන්න එයාට ලොකු ආසාවක් තිබුණත් එයාගේ දුර්වලකම් නිසා සමහර වෙලාවට ඒක කරන එක එයාට ලේසි වුණේ නැහැ. ඊට අමතරව එයා අතීතයේ කරපු වැරදි ගැන එයාගේ හිත ගොඩක් වධ දුන්නා. ඒ වගේම ඒ අවස්ථාවේ එයා මූණ දුන්න ප්‍රශ්නයක් නිසාත් එයා ගොඩක් අධෛර්යය වෙලයි හිටියේ.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද? (“පැහැදිලි කිරීමක්” කියන කොටසත් බලන්න.)

3 සමහර අවස්ථාවලදී පාවුල්ට ලොකු දුකක්a දැනුණත් එයා ඒ වගේ සිතුවිලිවල ගිලිලා හිටියේ නැහැ. අපි මේ ලිපියෙන් ප්‍රශ්න තුනකට උත්තර බලනවා. එයා “කාලකණ්ණි මනුස්සයෙක්” කියලා පාවුල්ට හිතුණේ ඇයි? ඒ වගේ සිතුවිලිවලට යට නොවී ඉන්න එයාට උදව් වුණේ මොනවාද? ඒවාට යට නොවී ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

පාවුල් මනසින් වැටුණේ ඇයි?

4. පාවුල් මනසින් වැටුණේ ඇයි?

4 අතීතයේ කරපු දේවල් නිසා. සාවුල් කියලා හඳුන්වපු පාවුල් ක්‍රිස්තියානියෙක් වෙන්න කලින් හුඟක් වැරදි දේවල් කළා. උදාහරණෙකට විශ්වාසවන්ත කෙනෙක් වුණ ස්තේපන්ව මරද්දී එයා ඒ ළඟ හිටියා. එයා හිතුවේ එයා කරන්නේ හරි දේ කියලා. (ක්‍රියා 7:58; 8:1) ඒ වගේම ක්‍රිස්තියානීන්ට දරුණු විදිහට පීඩා කරන්න මූලිකත්වය අරගෙන වැඩ කළෙත් සාවුල්.—ක්‍රියා 8:3; 26:9-11.

5. අතීතයේ කරපු දේවල් පාවුල්ට බලපෑවේ කොහොමද?

5 ක්‍රිස්තියානියෙක් වුණාට පස්සේ කලින් කරපු වැරදි ගැන පාවුල්ගේ හිත එයාට ගොඩක් වධ දුන්නා. එයා සත්‍යයේ හිටපු අවුරුදු ගාණ වැඩි වෙද්දී එයා කරපු දරුණු දේවල් ගැන එයාට දැනුණ දුක තව තවත් වැඩි වෙන්න ඇති. උදාහරණෙකට ක්‍රි.ව. 55දී විතර එයා කොරින්තිවරුන්ට ලියපු පළවෙනි ලිපියේ එයා මෙහෙම කිව්වා. “නියෝජිතයෙක් කියලා කියන්නවත් මං වටින්නේ නැහැ. මොකද මම දෙවියන්ගේ සභාවට ගොඩක් පීඩා කළා.” (1 කොරි. 15:9) ඊට අවුරුදු පහකට විතර පස්සේ එෆීසවරුන්ට ලියද්දී පාවුල් එයාව හැඳින්නුවේ “ශුද්ධ තැනැත්තන් අතරේ ඉන්න සුළුම තැනැත්තන්ටත් වඩා වැදගත්කමින් අඩුම කෙනා” කියලා. (එෆී. 3:8) එයා තිමෝතිට ලියද්දී කිව්වා “කලින් මං දෙවියන්ට අපහාස කරපු කෙනෙක්. මං මිනිස්සුන්ට පීඩා කරපු, කාටවත් ගරු කළේ නැති කෙනෙක්” කියලා. (1 තිමෝ. 1:13) ඉතින් පාවුල් සභාවලට යද්දී එයා නිසා පීඩා වින්ද අයව, පීඩා වින්ද අයගේ පවුල්වල අයව හම්බ වුණාම පාවුල්ට කොහොම දැනෙන්න ඇද්ද!

6. පාවුල්ට ලොකු දුකක් දැනෙන්න ඇත්තේ තව මොන හේතුව නිසාද? (පාදසටහනත් බලන්න.)

6 ශරීරයට ඇනිලා තිබුණ කටුව නිසා. පාවුල්ට ලොකු වේදනාවක් දැනුණ දේ හරියට ‘ශරීරයට ඇනිලා තියෙන කටුවක් වගේ’ කියලා එයා කියනවා. (2 කොරි. 12:7) ඒ කටුව මොකක්ද කියලා එයා හරියටම කියන්නේ නැහැ. හැබැයි එයා ඒ පාවිච්චි කරපු උදාහරණෙන් පේනවා සමහරවිට එයා කියන්නේ එයාට තිබුණ අසනීපයක් ගැන වෙන්න ඇති කියලා. එහෙමත් නැත්නම් ඒක එයාට ලොකු වේදනාවක් ගෙනාපු වෙන ප්‍රශ්නයක් වෙන්න ඇති.b

7. පාවුල්ගේ දුර්වලකම් එයාට බලපෑවේ කොහොමද? (රෝම 7:18, 19)

7 දුර්වලකම් නිසා. පාවුල්ගේ අතින් වැරදි වෙද්දී එයා ගොඩක් අධෛර්යය වුණා. හැබැයි එයා එයාගේ පෞද්ගලිකත්වයේ අඩුපාඩු හදාගන්න ගොඩක් උත්සාහ කළා. (රෝම 7:18, 19 කියවන්න.) ඒත් එයා කිව්වා සමහර අවස්ථාවලදී එයා කරන්න ඕන දේ එයා කළේ නැහැ කියලා. තවත් අවස්ථාවලදී එයා කරන්න හොඳ නැති දේ එයා අතින් වුණා කියලා. හැබැයි දුර්වලකම්වලට යට වෙන්නේ නැතුව හරි දේ කරන්න එයා ලොකු සටනක් කළා. (1 කොරි. 9:27) එහෙම වෙලත් ආයේ එයාගේ අතින් වැරදි වුණා. වෙනස් කරගන්න, හදාගන්න හදපු දුර්වලකමක් ආයේ එයා අතින් වෙද්දී එයාට කොච්චර වේදනාවක් දැනෙන්න ඇද්ද කියලා අපිට හිතාගන්න පුළුවන්.

අධෛර්යය වෙද්දී පාවුල් කළේ මොකක්ද?

8. දුර්වලකම්වලින් ගොඩ එන්න පාවුල් කරපු සමහර දේවල් මොනවාද?

8 පාවුල්ටයි, අනිත් ක්‍රිස්තියානීන්ටයි දුර්වලකම් එක්ක සටන් කරලා ඒවායින් ගොඩ එන්න දෙවියන්ගේ බලය උදව් කරන විදිහ ගැන එයා හිතුවා. ඒක එයා ලියපු ලියුම්වලින් පැහැදිලි වෙනවා. (රෝම 8:13; ගලා. 5:16, 17) දෙවියන්ව සතුටු කරන්න නම් ක්‍රිස්තියානීන් වැළකිලා ඉන්න ඕනෙ මොන වගේ ආශාවලින්ද, මොන වගේ පුරුදුවලින්ද කියලා පාවුල් නිතරම වගේ කතා කළා. (ගලා. 5:19-21, 26) ඒ දේවලින් පේනවා පාවුල් එයාගේ දුර්වලකම් ගැනත් හිතන්න ඇති කියලා. ඒවා හදාගන්න එයාට උදව් වෙන දේවලුත් එයා ශුද්ධ ලියවිල්ලෙන් අධ්‍යයනය කරන්න ඇති. ඊටපස්සේ දුර්වලකම්වලින් ගොඩ එන්න එයා මොනවාද කරන්න ඕනෙ කියලා එයා අඳුරගන්න ඇති. කිසිම සැකයක් නැහැ එයා අනිත් අයට දුන්න උපදෙස් එයාම අදාළ කරගත්තා කියලා.

9-10. මනසින් වැටෙන සිතුවිලි එක්ක සටන් කරන්න පාවුල්ට උදව් වුණේ මොකක්ද? (එෆීස 1:7) (පින්තූරයත් බලන්න.)

9 සමහර වෙලාවට පාවුල් අධෛර්යය වුණත් සතුට නැති කරගන්නේ නැතුව ඉන්න එයාට පුළුවන් වුණා. උදාහරණෙකට ඈතින් තිබුණ සභා ගැන හොඳ ආරංචි අහද්දී එයා ගොඩක් සතුටු වුණා. (2 කොරි. 7:6, 7) එයාට සහෝදර සහෝදරියන් එක්ක තිබ්බ කිට්ටු බැඳීම් නිසාත් එයා ගොඩක් සතුටු වුණා. (2 තිමෝ. 1:4) එයා දැනගෙන හිටියා යෙහෝවා එයා ගැන සතුටු වෙනවා කියලා. ‘යෙහෝවා ඉස්සරහා නිදොස් හෘද සාක්ෂියක්’ තියාගෙන යෙහෝවාට සේවේ කරන්න ලැබුණ එක ගැනත් පාවුල් සතුටු වුණා. (2 තිමෝ. 1:3) එයා රෝමයේ හිරේ ඉද්දීත් සහෝදරයන්ගෙන් ඉල්ලුවා “ස්වාමීන් නිසා නිතරම සතුටු වෙන්න” කියලා. (ෆිලි. 4:4) පාවුල් කියපු දේවලින් පේනවා එයා හැම තිස්සේම ප්‍රශ්න ගැන හිතහිත දුක් වෙවී හිටපු කෙනෙක් නෙවෙයි කියලා. අධෛර්යය කරවන සිතුවිලි එද්දී එයා ඉක්මනින්ම හිතට සතුටක් ගේන දේවලට හිත යොමු කළා.

10 අධෛර්යය කරන සිතුවිලි පරද්දන්න පාවුල්ට තවත් දෙයක් උදව් වුණා. ඒ තමයි ජීවිත පූජාව දෙවියන් එයාට පෞද්ගලිකව දුන්න තෑග්ගක් කියලා එයා හිතපු එක. (ගලා. 2:20; එෆීස 1:7 කියවන්න.) ඒ නිසා එයාට ලොකු විශ්වාසයක් තිබුණා යේසුස් මාර්ගයෙන් යෙහෝවා එයාට අනිවාර්යයෙන්ම සමාව දෙනවා කියලා. (රෝම 7:24, 25) ඉතින් අතීතයේ වැරදි කරලා තිබුණත් දුර්වලකම් තිබුණත් පාවුල්ට පුළුවන් වුණා දෙවියන්ට සතුටින් “පරිශුද්ධ සේවයක් කරන්න.”—හෙබ්‍රෙ. 9:12-14.

පින්තූරවල අදහස: 1. පාවුල් කල්පනා කරනවා. 2. අවුරුදු ගාණකට කලින් ක්‍රිස්තියානියෙක්ව ගෙදරින් එළියට ඇදගෙන යන්න කියලා එයා නිලධාරියෙක්ට අණ දුන්න විදිහ එයාට මතක් වෙනවා. 3. යේසුස් වධකණුවක මැරුණ විදිහ ගැන එයා කල්පනා කරනවා.

අතීතය මතක් වෙද්දී පාවුල්ට දුකක් දැනුණත් ජීවිත පූජාව ගැන හිතපු එක ඒ සිතුවිලි පරද්දන්න එයාට උදව් වුණා (9-10 ඡේද බලන්න)


11. පාවුල් අපිට දිරිගැන්වීමක් වෙන්නේ ඇයි?

11 යෙහෝවා අකමැති දෙයක් හිතන්නේ නැතුව, කරන්නේ නැතුව, කියන්නේ නැතුව ඉන්න පාවුල් වගේ අපිත් ලොකු සටනක් කරනවා ඇති. සමහරවිට අපිටත් දැනෙන්න පුළුවන් ‘මං මොන තරම් කාලකණ්ණි කෙනෙක්ද’ කියලා. බලන්න 20 ගණන්වල ඉන්න සහෝදරි එලිසාc එයාට දැනෙන විදිහ ගැන කියන දේ. “මේ සටන කරන එකම කෙනා මං විතරක් නෙවෙයි. පාවුලුත් ඒ සටන කළා කියලා දැනං ඉන්න එක මට සහනයක්. තමන්ගේ සෙනඟ මොන වගේ සටනක්ද කරන්නේ කියලා යෙහෝවා දන්නවා කියන දේ පාවුල්ගේ ආදර්ශය මට මතක් කරනවා.” පාවුල් වගේ අධෛර්යය කරවන සිතුවිලි එක්ක සටන් කරලා, නිදොස් හෘද සාක්ෂියක් තියාගෙන, යෙහෝවාට සතුටින් සේවේ කරන්න නම් අපිට මොනවාද කරන්න පුළුවන්?

අධෛර්යය කරවන සිතුවිලි පරද්දන්න නම් . . .

12. අධෛර්යය කරවන සිතුවිලි පරද්දන්න නම් අපි නිතරම කරන්න ඕනෙ මොනවාද?

12 දෙවියන්ට තව ළං වෙන්න උදව් වෙන දේවල් කරන්න. මෙහෙම හිතන්න. අපි පෝෂ්‍යදායි ආහාර ගද්දී, නිතිපතා ව්‍යායාම කරද්දී, හොඳ නින්දක් ගද්දී ඒකෙන් අපේ ගතටත් හිතටත් සුවයක් දැනෙනවා. ඒ වගේම තමයි අපි හැමදාම බයිබලේ කියවද්දී, සේවේ යද්දී, රැස්වීම්වලට ලෑස්ති වෙද්දී, රැස්වීම් යද්දී, අපේ අදහස් දෙද්දී අපේ හිතට ලොකු ශක්තියක් දැනෙනවා. අපි ඒ දේවල් දිගටම කරනවා නම් ඒක අපිට උදව් වෙනවා අපිව අධෛර්යය කරවන සිතුවිලිවලට මනස යොමු කරන්නේ නැතුව හොඳ දේවලට මනස යොමු කරන්න. ඒකෙන් අපිට ලැබෙන සතුටත් වැඩියි.—රෝම 12:11, 12.

13-14. දෙවියන්ට ළං වෙන්න උදව් වෙන දේවල් කරන එකෙන් සමහරු ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද?

13 අවුරුදු 39දී ජෝන් දැනගත්තා එයාට දුර්ලභ ගණයේ පිළිකාවක් තියෙනවා කියලා. ඒක දැනගත්තාම එයා සෑහෙන්න මනසින් වැටුණා. ‘මේ වයසේදී මට කොහොමද මේ වගේ දෙයක් වුණේ’ කියලා එයා හිතුවා. ඒ වෙද්දී එයාගේ පුතාට අවුරුදු තුනක් විතරයි. ඉතින් ඒ වගේ අධෛර්යය කරවන සිතුවිලි පරද්දන්න ජෝන්ට උදව් වුණේ මොකක්ද? එයා මෙහෙම කියනවා. “මට ලොකු මහන්සියක් දැනුණත් පවුලේ අයව දෙවියන්ට ළං කරන්න උදව් වෙන දේවල් මං දිගටම කළා. අපි වරද්දන්නේ නැතුව රැස්වීම් ගියා. හැම සතියේම සේවේ ගියා. පවුලේ නමස්කාරයත් කළා. මේ වගේ දෙයක් එකපාරටම දැනගන්න ලැබෙද්දී ලොකු දුකක් දැනෙනවා. ඒත් එක්කම යෙහෝවා අපිව ශක්තිමත් කරන විදිහ, අපිට ආදරේ කරන විදිහ අද්දකිද්දී අර වගේ සිතුවිලි යට යනවා. යෙහෝවා මාව මෙච්චර ශක්තිමත් කළා නං ඔහු අනිවාර්යයෙන්ම ඔයාවත් ශක්තිමත් කරයි.”

14 කලින් කතා කරපු එලිසා මෙහෙම කියනවා. “මං රැස්වීම් යන, අධ්‍යයනය කරන හැම වතාවකම මට මතක් වෙනවා යෙහෝවාට මාව ඇහෙනවා, ඔහු මට ගොඩක් ආදරෙයි කියලා. ඒක මට ලොකු සතුටක්.” අප්‍රිකාවේ චාරිකා සේවේ කරන නෝලන් එයාටයි, එයාගේ බිරිඳ ඩියෑන්ටයි දැනෙන විදිහ ගැන මෙහෙම කියනවා. “අධෛර්යය වෙන හැම වතාවකම දෙවියන් එක්ක ශක්තිමත් බැඳීමක් තියාගන්න උදව් වෙන දේවල් අපි අතපසු කරන්නේ නෑ. එතකොට යෙහෝවා අපේ හිත් සතුටින් පුරවනවා. මනසින් වැටිලා ඉද්දී යෙහෝවා අපිට අනිවාර්යයෙන්ම උදව් කරයි, අපිට ආශීර්වාද කරයි කියලා අපි මතක් කරගන්නවා. ඒක කොහොම කරයිද කියලා අපි දන්නේ නෑ. ඒත් ඔහු අනිවාර්යයෙන්ම ඒක කරනවා.”

15. මනසින් වට්ටන සිතුවිලි පරද්දන්න අපි තව මොනවාද කරන්න ඕනේ? උදාහරණෙකින් පැහැදිලි කරන්න.

15 ඔයාට දිගටම දුකක් දැනෙනවා නම් ඒ දුකෙන් ගොඩ එන්න ඔයාට තව දේවල් කරන්න වෙයි. ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. හිතන්න ඔයාට කොන්දේ අමාරුවක් තියෙනවා කියලා. ඒ වේදනාව නැති කරගන්න නම් හැම දවසකම ඇවිදලා විතරක් මදි. කොන්දේ අමාරුවක් ආවේ ඇයි කියලා තේරුම්ගන්න ඔයාට ඒ ගැන ටිකක් අධ්‍යයනය කරන්න වෙයි. දොස්තර කෙනෙක්ව හම්බ වෙන්න යන්නත් වෙයි. ඒ වගේ ආයේ ආයේ අපේ හිතට දුකක් දැනෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න අපිට බයිබලෙන්, අපේ ප්‍රකාශනවලින් තොරතුරු අධ්‍යයනය කරන්න වෙයි. ඒ වගේ සිතුවිලි පරද්දන්න උදව් වෙන්නේ මොනවාද කියලා අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානියෙක් එක්ක කතා කරන්නත් වෙයි. ඔයාට උදව් වෙන තවත් යෝජනා කීපයක් දැන් අපි බලමු.

16. අධෛර්යය කරවන හැඟීම් ඇති වෙන හේතුව තේරුම්ගන්න ඔයාට කරන්න පුළුවන් මොකක්ද? (ගීතාවලිය 139:1-4, 23, 24)

16 ඔයාට උදව් ඕනෙ මොන පැත්තෙන්ද කියලා තේරුම්ගන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. දාවිත් රජ තේරුම්ගත්තා යෙහෝවා එයා ගැන හැම දෙයක්ම දන්නවා කියලා. ඒ නිසයි එයා යෙහෝවාගෙන් ඉල්ලුවේ එයාගේ “හිතට වධ දෙන සිතුවිලි” අඳුරගන්න එයාට උදව් කරන්න කියලා. (ගීතාවලිය 139:1-4, 23, 24 කියවන්න.) ඉතින් ඔයාටත් පුළුවන් ඒ වගේම දෙයක් කරන්න. ඔයාගේ හිතට දුකක් දැනෙන්නේ ඇයි කියලත් ඒ දුකෙන් ගොඩ එන්න පුළුවන් කොහොමද කියලත් තේරුම්ගන්න උදව් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න. ඔයාට මේ වගේ ප්‍රශ්න ගැන හිතන්නත් පුළුවන්. ‘මට මේ වගේ සිතුවිලි එන්න ඇත්තම හේතුව මොකක්ද? මොන දේ නිසාද මට එකපාරටම මේ වගේ හැඟීම් එන්නේ? ඒ වගේ සිතුවිලි එද්දී මං ඒවා ඉක්මනටම අයින් කරනවා වෙනුවට ඒ ගැනම හිතහිත ඉන්නවාද?’

17. දිරිගැන්වෙන දේවල් ගැන හිතන්න මොන වගේ දේවල් අධ්‍යයනය කරන එක උදව් වෙයිද? (පින්තූරයත් බලන්න.)

17 ඔයා ඉන්න තත්වෙට ගැළපෙන විෂයක් තෝරගෙන අධ්‍යයනය කරන්න. කාලෙන් කාලෙට යෙහෝවාගේ ගුණාංගයක් ගැන අධ්‍යයනය කරන එකත් ඔයාට ප්‍රයෝජනවත් වෙයි. උදාහරණෙකට ජීවිත පූජාව ගැන, යෙහෝවා සමාව දෙන විදිහ ගැන හිතපු එක පාවුල්ට උදව් වුණා යෙහෝවාගේ ආදරේ ගැන තව වැඩියෙන් තේරුම්ගන්න. ඉතින් ඔයාටත් පුළුවන් ඒ වගේම දෙයක් කරන්න. ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ සහ ‘ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති’ කියන පොත් පාවිච්චි කරලා යෙහෝවාගේ දයාව, යෙහෝවා සමාව දෙන විදිහ සහ ඔහුගේ නොසැලෙන ආදරය ගැන අධ්‍යයනය කරන්න. ඔයාට උදව් වෙන ලිපි අපේ ප්‍රකාශනවලින් හම්බ වුණාම ඒවාවල ලිස්ට් එකක් හදාගන්න. ඒ ලිස්ට් එක ඔයාට පේන තැනක ගහන්න. අධෛර්යය කරවන හැඟීම් එද්දී ඒ ලිස්ට් එකේ තියෙන ලිපි අධ්‍යයනය කරන්න. ඒවාවල තියෙන තොරතුරු අදාළ කරගන්න උත්සාහ කරන්න.—ෆිලි. 4:8.

තරුණ සහෝදරයෙක් බයිබලෙයි, ටැබ් එකයි, සටහන් පොතකුයි පාවිච්චි කරලා පෞද්ගලික අධ්‍යයනය කරනවා. එයා එයාගේ බයිබලේ පොඩි නෝට් එකක් දාගන්නවා.

මනසින් වට්ටන සිතුවිලි පරද්දන්න ඔයාට උදව් වෙන විෂයන් අධ්‍යයනය කරන්න (17 ඡේදය බලන්න)


18. සමහර අයට උදව් වෙලා තියෙන්නේ මොන වගේ විෂයන් ගැන අධ්‍යයනය කරන එකද?

18 කලින් කතා කරපු එලිසා යෝබ් ගැන අධ්‍යයනය කළා. එයා මෙහෙම කියනවා. “මටත් යෝබ්ට වගේ එක පිට එක ගොඩක් ප්‍රශ්න ආවා. යෝබ් දැනං හිටියේ නෑ එයාට මේ වගේ දේවල් වෙන්නේ ඇයි කියලා. ඒ නිසා එයා මානසිකව අඩියටම වැටුණා. හැබැයි ඒ වෙලාවේදීත් එයා රැඳිලා හිටියේ යෙහෝවා මත.” (යෝබ් 42:1-6) කලින් කතා කරපු ඩියෑන් මෙහෙම කියනවා. “මායි, මහත්තයායි පවුලේ නමස්කාරයට ‘යෙහෝවාට ළං වෙන්න’ පොත කරනවා. කුඹල්කරුවෙක් වගේ යෙහෝවා අපිව සකස් කරන විදිහ අපි ගොඩක් අගය කරනවා. අපි අතින් වැරදි වෙලා අපි අධෛර්යය වෙද්දී යෙහෝවා අපිව අඹනවා. යෙහෝවාට ඕනෙ අපිව තව හොඳ අය කරන්න කියලා මතක් කරගන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා අපිට දැනෙනවා යෙහෝවාට අපි තව තවත් ළං වෙනවා කියලා.”—යෙසා. 64:8.

විශ්වාසෙන් අනාගතය දිහා බලන්න

19. සමහර වෙලාවට අපිට කොහොම හැඟෙයිද? ඒත් අපිට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද?

19 අපි මේ ලිපියේ බලපු හැම යෝජනාවක්ම අදාළ කරගත්තත් කාලෙන් කාලෙට අපිට දුකක්, කනස්සල්ලක් දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට හිතෙයි අපි මහ කාලකණ්ණි මිනිස්සු කියලා. හැබැයි යෙහෝවාගේ උදව්වෙන් අපිට පුළුවන් ඒ වගේ සිතුවිලිවලට යට නොවී ඉන්න. ඒ වගේම අපිට විශ්වාසයි දුකක් දැනෙන දවස් තිබුණත් ජීවිතේ වැඩි කාලයක් අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා. මොකද අපිට යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා යෙහෝවා අපි ගැන සතුටු වෙනවා කියලා.

20. ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද?

20 අතීතයේ කරපු වැරදි නිසා, අපි මූණ දෙන ප්‍රශ්න නිසා, අපේ දුර්වලකම් නිසා අපිව වට්ටන සිතුවිලි එද්දී ඒවාට යට නොවී ඉන්න අපි දිගටම අධිෂ්ඨාන කරගමු. මොකද යෙහෝවාගේ උදව්වෙන් අපිට පුළුවන් ඒවා පාලනය කරගන්න. (ගීතා. 143:10) අපි ආසාවෙන් බලන් ඉන්නේ අපිව වට්ටන සිතුවිලි එක්ක සටන් කරන්න වෙන්නේ නැති ඒ දවස එන කල්. එදාට අපි හැම දවසකම අවදි වෙන්නේ හිතේ සතුට පුරෝගෙන. එදාට අපිට පුළුවන් අපේ දෙවි යෙහෝවාට සතුට පිරුණු හිතකින් සේවේ කරන්න.

ඔයාගේ අදහස මොකක්ද?

  • තමන් කාලකණ්ණි මනුස්සයෙක් කියලා පාවුල්ට සමහර වෙලාවලදී දැනුණේ ඇයි?

  • අධෛර්යය කරවන සිතුවිලි තිබුණත් නිදොස් හෘද සාක්ෂියක් ඇතුව සතුටින් ඉන්න පාවුල්ට උදව් වුණේ මොනවාද?

  • මනසින් වට්ටන සිතුවිලි පරද්දන්න අපි කරන්න ඕනෙ මොනවාද?

ගීතිකාව 34 දෙවිට විශ්වාසවන්තව සිටීම

a පැහැදිලි කිරීමක්: මේ ලිපියේ කතා කරන්නේ කාලෙන් කාලෙට අපිට දැනෙන දුක, කනස්සල්ල, අධෛර්යය කරවන සිතුවිලි ගැන මිසක් කෙනෙක්ට කාලයක් තිස්සේ තියෙන මානසික අවපීඩනය ගැන නෙවෙයි. කාලයක් තිස්සේ තියෙන ඒ වගේ දෙයක් අසනීපයක් නිසා ඒ වගේ කෙනෙක් වෛද්‍යවරයෙක්ගෙන් උදව් ගන්න ඕනේ.

b සමහරවිට පාවුල්ට තියෙන්න ඇත්තේ පෙනීමේ දුර්වලකමක් වෙන්න ඇති. ඒක එහෙමනම් එයාට සභාවන්වලට ලියුම් ලියන්න, තැනින් තැනට ගිහින් සේවේ කරන්න ගොඩක් අමාරු වෙන්න ඇති. (ගලා. 4:15; 6:11) එහෙම නැත්නම් බොරු ගුරුවරු පාවුල් ගැන කියපු දේවල් නිසා එයාට ලොකු දුකක් දැනෙන්න ඇති. (2 කොරි. 10:10; 11:5, 13) හේතුව ඒ මොකක් වුණත් ඒ දේ නිසා සමහර වෙලාවලදී පාවුල් අධෛර්යය වුණා.

c සමහර නම් වෙනස් කරලා තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න