2026 මාර්තු 16-22
ගීතිකාව 20 දෙව්නි, ඔබ දුන්නේ ඔබට ළැදි වූ පුත්‍රයාවයි!
ජීවිත පූජාව අපිට අත්‍යවශ්‍යයි!
“මරණයට මාව ඇදගෙන යන මේ ශරීරයෙන් මාව බේරගන්නේ කවුද?”—රෝම 7:24.
ලිපියේ අරමුණ
යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපේ වැරදිවලට සමාව ලැබෙනවා, පාපයෙන් නිදහස් වෙන බලාපොරොත්තුව ලැබෙනවා, අපිට යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්නත් පුළුවන්.
1-2. අපිව බේරගන්න ඕනෙ මොකෙන්ද? ඒ ඇයි? (රෝම 7:22-24) (පින්තූරයත් බලන්න.)
මේ සිද්ධිය හිතින් මවාගන්න. ගොඩනැඟිල්ලක් කඩන් වැටිලා. ඒ සුන්බුන් අතරේ කෙනෙක් හිර වෙලා ඉන්නවා. සුන්බුන් අයින් කරලා එළියට එනවා තියා එයාට හෙල්ලෙන්නවත් බැහැ. එයාට කරන්න පුළුවන් එකම දේ කවුරු හරි එයාව බේරගන්න එයි කියන බලාපොරොත්තුවෙන් උදව් ඉල්ලලා කෑගහන එක විතරයි.
2 අපි හැමෝම ඉන්නේ ඒ වගේ තත්වෙක. ආදම් එයාගේ නිර්මාතෘට අකීකරු වුණාම එයාට පව්කාරකම උරුම වුණා. අපි හැමෝම එයාගෙන් පැවතෙන අය නිසා අපිත් පාපයේ සුන්බුන් අතරේ හිර වුණා. අපි කාටවත් අපේම උත්සාහයෙන් ඒකෙන් බේරිලා එළියට එන්න බැහැ. ඒකයි පාවුල් රෝමවරුන්ට ලියපු ලියුමේ කිව්වේ අපි පව්කාරකමට වහල් වෙලා ඉන්නේ කියලා. (රෝම 7:22-24 කියවන්න.) පාවුල් ඇහුවා “මරණයට මාව ඇදගෙන යන මේ ශරීරයෙන් මාව බේරගන්නේ කවුද” කියලා. මොකද එයාට දැනුණේ මරණයට එයාව ඇදගෙන යන පව්කාරකමට එයා හිර වෙලා කියලයි. (රෝම 6:23) අපි ඉන්නෙත් ඒ තත්වෙම තමයි. පව්කාරකමෙන් නිදහස් වෙන්න නම් අපිට කාගේ හරි උදව් ඕනෙමයි.
කඩන් වැටුණ ගොඩනැඟිල්ලක හිර වුණ කෙනෙක්ට ඒකෙන් බේරෙන්න උදව් ඕනෙ වගේ පාපයට හිර වෙලා ඉන්න අපිටත් ඒකෙන් බේරෙන්න උදව් ඕනේ (1-2 ඡේද බලන්න)
3. ජීවිත පූජාව නිසා අපිට මොනවාද ලැබෙන්නේ?
3 “මරණයට මාව ඇදගෙන යන මේ ශරීරයෙන් මාව බේරගන්නේ කවුද” කියලා පාවුල් ඇහුවාට පස්සේ එයාම ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙනවා. එයා මෙහෙම කිව්වා. “මං දෙවියන්ට ගොඩක් ස්තුති කරනවා. මොකද ඔහු අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මාව බේරගන්නවා.” (රෝම 7:25) පාවුල් ඒ කතා කරන්නේ යේසුස්ගේ ජීවිත පූජාව ගැනයි. ජීවිත පූජාව නිසා (1) අපේ පව්වලට සමාව ලබාගන්න පුළුවන්, (2) පව්කාර ස්වභාවයෙන් නිදහස් වෙන බලාපොරොත්තුව අපිට ලැබුණා, (3) අපේ නිර්මාතෘ එක්ක සමාදාන වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ එක එක පැත්ත ගැන අපි මේ ලිපියෙන් බලනවා. අපි එහෙම කරද්දී “බලාපොරොත්තුවක් දෙන දෙවියන්” ගැන අපේ හිතේ තියෙන ආදරේ තව වැඩි වෙයි. (රෝම 15:13) ඒ වගේම “අපි වෙනුවෙන් වන්දියක් ගෙවලා අපිව නිදහස් කරපු” යේසුස් ගැනත් අපේ හිතේ තියෙන අගය තව වැඩි වෙයි.—කොලො. 1:14.
පව්වලට සමාව ලැබෙනවා
4-5. අපි හැම කෙනෙක්ටම ජීවිත පූජාව ඕනෙමයි කියන්නේ ඇයි? (දේශනාකාරයා 7:20)
4 ජීවිත පූජාවක් නැතුව අපේ පව්වලට සමාව දෙන්න යෙහෝවාට බැහැ. අපි කරන කියන දේවල් නිසා අපි හැමෝම අතින් වැරදි වෙනවා. (දේශනාකාරයා 7:20 කියවන්න.) සමහර වැරදි බරපතළ ඒවා. උදාහරණෙකට, කෙනෙක් අනාචාරයේ යෙදුණොත් නැත්නම් තව කෙනෙක්ව මැරුවොත් මෝසෙස්ට දුන්න නීතියට අනුව එයාට හම්බ වෙන්නේ මරණ දඬුවම. (ලෙවී. 20:10; ගණන්. 35:30, 31) හැබැයි අපි අතින් වෙන හුඟක් වැරදි ඒ වගේ බරපතළ ඒවා නෙවෙයි. ඒ වුණත් ඒවාත් පව්වලට ඇතුළත්. එක අවස්ථාවක දාවිත් කිව්වා “වචනෙකින්වත් පව් නොකරන්න මම අදිටන් කරගෙන ඉන්නවා. ඒ නිසා මං තියන පියවර ගැන මං පරෙස්සම් වෙනවා” කියලා. (ගීතා. 39:1) ඒකෙන් තේරෙනවා අපි කියන දේවල් නිසා වුණත් අපි අතින් පාපයක් වෙන්න පුළුවන් කියලා.—යාකො. 3:2.
5 කෙනෙක්ට දෙයක් කිව්වාට පස්සේ ඔයාට කවදා හරි හිතිලා තියෙනවාද ‘අපරාදේ මං එයාට එහෙම නොකියා ඉන්නයි තිබුණේ’ කියලා? එහෙම නැත්නම් පස්සේ පසුතැවෙන දෙයක් ඔයා අතින් වෙලා තියෙනවාද? කිසිම සැකයක් නැහැ අපි හැමෝම අතින් ඒ වගේ දේවල් වෙනවා කියලා. ඒකයි බයිබලේ මෙහෙම කියන්නේ. “‘අපේ අතින් කිසි වරදක් වෙන්නේ නැහැ’ කියලා අපි කිව්වොත් අපි කරන්නේ අපිවම රවට්ටගන්න එකයි. අපි සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙනවා කියලා කියන්නත් බැහැ.”—1 යොහ. 1:8.
6-7. යෙහෝවාට අපේ පව්වලට සමාව දෙන්න පුළුවන් වුණේ මොකක් නිසාද? (පින්තූරයත් බලන්න.)
6 ජීවිත පූජාව නිසා යෙහෝවාට පුළුවන් අපේ පව්වලට සමාව දෙන්න. (එෆී. 1:7) හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි අතින් වැරදි වෙද්දී යෙහෝවා ඒවා සැහැල්ලුවට ගන්නවා කියලා. මොකද වැරදි කරන එක යෙහෝවා පිළිකුල් කරනවා. (යෙසා. 59:2) යෙහෝවා යුක්තිගරුක දෙවි කෙනෙක් නිසා අපේ පව්වලට සමාව දෙන්න නම් වන්දියක් ගෙවන්නම ඕනේ.
7 මෝසෙස්ට දීපු නීතියට අනුව ඊශ්‍රායෙල්වරු එයාලාගේ පව්වලට සමාව ලබාගන්න නම් සත්ව පූජා ඔප්පු කරන්න ඕන වුණා. (ලෙවී. 4:27-31; 17:11) ඒ පූජාවලින් එයාලට මතක් කළා මිනිස්සුන්ට සත්ව පූජාවලට වඩා ශ්‍රේෂ්ඨ පූජාවක් අත්‍යවශ්‍යයි කියලා. ඒ තමයි මිනිස්සුන්ට හුඟක් ආශීර්වාද ගේන යේසුස්ගේ ජීවිත පූජාව. ඒ පූජාව නිසා යෙහෝවාට නීත්‍යානුකූල අයිතිය ලැබෙනවා අපේ පව්වලට සමාව දෙන්න. යේසුස්ගේ ජීවිත පූජාව අපිට මොන තරම් වටිනවාද කියලා පාවුල් තේරුම් අරන් හිටියා කියලා එයා කොරින්තිවරුන්ට ලියපු ලියුමෙන් පැහැදිලියි. කොරින්තියේ හිටපු අය කලින් කරපු සමහර නරක දේවල් ගැන කතා කළාට පස්සේ පාවුල් එයාලට මෙහෙම කිව්වා. “දැන් ඔයාලව හෝදලා පවිත්‍ර කරලයි තියෙන්නේ. ශුද්ධ අය විදිහට ඔයාලව වෙන් කරලයි තියෙන්නේ. ඒ වගේම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නමින් සහ දෙවියන්ගේ බලය මාර්ගයෙන් ඔයාලව ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරලයි තියෙන්නේ.”—1 කොරි. 6:9-11.
පව්වලට සමාව ලබාගන්න ඔප්පු කරපු සත්ව පූජාවලින් යේසුස්ගේ ජීවිත පූජාවත් ඒකෙන් අපිට ලැබෙන ආශීර්වාදත් නියෝජනය වුණා (6-7 ඡේද බලන්න)
8. මේ අවුරුද්දේ සිහි කිරීමට සූදානම් වෙද්දී ඔයාට හිතන්න පුළුවන් මොනවා ගැනද?
8 මේ අවුරුද්දේ සිහි කිරීමට යන්න කලින් යෙහෝවා ඔයාගේ වැරදිවලට සමාව දීලා තියෙන නිසා ඔයා අද්දකින ආශීර්වාද ගැන හිතන්න කාලේ ගන්න. උදාහරණෙකට ජීවිත පූජාව දීලා තියෙන නිසා ඔයා දැනටමත් පසුතැවුණ වරදක් ගැන හිතහිත වධ වෙන්න ඕනෙ නැහැ. හැබැයි ඔයාගේ වරදට සමාව ලැබිලා කියලා ඔයාට පිළිගන්න අමාරුද? සමහරවිට ඔයාට මෙහෙම හිතෙනවා ඇති. ‘මං දන්නවා යෙහෝවාට සමාව දෙන්න පුළුවන් කියලා. හැබැයි මං කරපු දේට මටම සමාව දෙන්න මට කවදාවත් බැරි වෙයි.’ ඔයාටත් හැඟෙන්නේ එහෙමනම් මේක මතක තියාගන්න. සමාව දෙන්නේ යෙහෝවායි. විනිශ්චය කරන්න ඔහු භාර දීලා තියෙන්නේ යේසුස්ටයි. සමාව දෙන්නේ කාටද, දෙන්නේ නැත්තේ කාටද කියලා තීරණේ කරන්න යෙහෝවා ඔයාටවත් වෙන කාටවත් අයිතිය දීලා නැහැ. බයිබලේ කියන්නේ මෙහෙමයි. ‘දෙවියන් ආලෝකයේ ඉන්නවා වගේ අපිත් ආලෝකයේ ඉන්නවා නම් ඔහුගේ පුතා වන යේසුස්ගේ ලේවලින් අපේ හැම වරදකින්ම අපි පවිත්‍ර වෙනවා.’ (1 යොහ. 1:6, 7) බයිබලේ තියෙන අනිත් ඉගැන්වීම් විශ්වාස කරනවා වගේ මේ ඉගැන්වීමත් අපිට 100%ක් විශ්වාස කරන්න පුළුවන්. මොකද ජීවිත පූජාව නිසා යෙහෝවාට නීත්‍යානුකූල අයිතිය ලැබුණා අපේ පව්වලට සමාව දෙන්න. ඒ වගේම බයිබලේ ඔහු ගැන කියන්නේ ඔහු “සමාව දෙන්න කැමතියි” කියලයි.—ගීතා. 86:5.
පව්කාරකමෙන් නිදහස ලැබෙනවා
9. බයිබලේ පාපය කියද්දී ඒකට ඇතුළත් වෙන්නේ මොකක්ද? (ගීතාවලිය 51:5)
9 බයිබලේ “පාපය” කියද්දී ඒකට අපි කරන වැරදි දේවල් විතරක් නෙවෙයි අම්මාගේ බඩේ අපිව පිළිසිඳ ගද්දීම අපිට උරුම වෙන පව්කාර ස්වභාවයත් ඇතුළත් වෙනවා. (ගීතාවලිය 51:5 කියවන්න.) අපිට උරුම වෙලා තියෙන පව්කාර ස්වභාවය නිසා අපි වැරදි විදිහට හිතන්න, වැඩ කරන්න පෙලඹෙනවා විතරක් නෙවෙයි යෙහෝවා නිර්මාණය කරපු විදිහටම අපේ ශරීර වැඩ කරන්නෙත් නැහැ. අපි අසනීප වෙනවා, වයසට යනවා, මැරෙනවා. කිසිම වරදක් නොකරන අලුත උපන් දරුවෙක් පවා අසනීප වෙන්නේ, සමහර වෙලාවලදී මැරෙන්නේ එයාට උරුම වෙන පව්කාර ස්වභාවය නිසයි. නරක මිනිස්සු වගේම හොඳ මිනිස්සු දුක් වේදනා විඳලා මැරෙන්නෙත් ඒ පව්කාර ස්වභාවය නිසයි. ආදම් කරපු වරද නිසා අපි හැමෝටම උරුම වුණේ දුක පිරුණ ජීවිත.
10. පාපයට වැටුණාට පස්සේ ආදම්ටයි, ඒවටයි දැනුණේ කොහොමද?
10 ආදම් සහ ඒව පාපයට වැටුණාට පස්සේ එයාලට දැනුණ විදිහ ගැන ටිකක් හිතන්න. දෙවියන්ට අකීකරු වෙලා දෙවියන් කරන්න එපා කියපු දේ කරපු ගමන්ම එයාලාගේ හිත වධ දෙන්න පටන්ගත්තා. (රෝම 2:15) එයාලට තේරුණා එයාලට හැඟෙන දැනෙන විදිහ වෙනස් වෙන්න පටන්ගත්තා කියලා. එයාලට දැනුණා එයාලා ශරීරයේ සමහර අවයව වහගන්න ඕනෙ කියලා. එයාලාගේ නිර්මාතෘගෙන් එයාලා හැංගුණා. (උත්. 3:7, 8) ජීවිතේ මුල්ම වතාවට ආදම්ගෙයි, ඒවගෙයි හිත වධ දුන්නා. එයාලට ලොකු ලැජ්ජාවක්, කනස්සල්ලක් දැනුණා. එයාලාගේ ජීවිතේ ඉතිරි කාලේ පුරාම එයාලට ජීවත් වෙන්න වුණේ ඒ වගේ හැඟීම් එක්ක.—උත්. 3:16-19.
11. පව්කාර ස්වභාවය අපිට බලපාන්නේ කොහොමද?
11 මුල් යුවළට වගේම පව්කාර ස්වභාවය අපේ ජීවිතවලටත් ලොකු බලපෑමක් කරනවා. අපි දුක, කනස්සල්ල, පීඩනය අද්දකින්නේ පව්කාර ස්වභාවය නිසයි. අපි ඒකෙන් ගොඩ එන්න කොච්චර උත්සාහ කළත් අපිට ඒක කරන්න බැහැ. මොකද බයිබලේ කියනවා ‘කිසිම තේරුමක් නැති අනාගතයකට යටත් වෙන්න’ අපිට සිද්ධ වුණා කියලා. (රෝම 8:20) මේ දේ තනි තනි පුද්ගලයන් විදිහට විතරක් නෙවෙයි පොදුවේ අපි හැමෝම අද්දකිනවා. උදාහරණෙකට පරිසරය රැකගන්න, අපරාධ අඩු කරන්න, දුප්පත්කම නැති කරන්න, ජාතීන් අතරේ සාමය ඇති කරන්න මිනිස්සු කොච්චර නම් උත්සාහ කරනවාද! හැබැයි ඒ කිසිම දෙයක් 100%ක් සාර්ථක වෙලා නැහැ. ඒත් ජීවිත පූජාව නිසා අපිට බලාපොරොත්තුවක් ලැබුණා.
12. ජීවිත පූජාව නිසා අපිට තියෙන බලාපොරොත්තුව මොකක්ද?
12 දෙවියන් “නිර්මාණය කරපු දේවල් කුණු වෙන සහ මරණයෙන් කෙළවර වෙන ජීවිතේකට වහල් වෙලා හිටියත් ඒකෙන් නිදහස් වෙන” බලාපොරොත්තුව ජීවිත පූජාව නිසා ලැබුණා. (රෝම 8:21) ජීවිත පූජාවේ ප්‍රයෝජන අපි සම්පූර්ණයෙන්ම අද්දකිද්දී ඒ කියන්නේ පාරාදීස පොළොවේදී අපි පරිපූර්ණ අය වෙද්දී අපි ආයේ අසනීප වෙන්නේ නැහැ. මනසින් පීඩා විඳින්නේ නැහැ. අපි කරන කියන දේවල් ගැන අපිට ලැජ්ජා වෙන්න ඕනෙ වෙන්නේ නැහැ. අපි දේවල් ගැන හිතහිත එදාට වධ වෙන්නේ නැහැ. මේ පොළොව ලස්සන තැනක් කරන්න, සාමය ඇති කරන්න අපි ගන්න උත්සාහය එදාට සාර්ථක වෙනවා. මොකද අපි ජීවත් වෙන්නේ අපි වෙනුවෙන් ජීවිතේ දුන්න “සමාදානයේ කුමාරයා” වන යේසුස්ගේ පාලනය යටතේ.—යෙසා. 9:6, 7.
13. මේ අවුරුද්දේ සිහි කිරීමට යන්න කලින් ඔයාට හිතන්න පුළුවන් තව මොනවා ගැනද?
13 පව්කාර ස්වභාවයෙන් නිදහස් වුණාම ඔයාගේ ජීවිතේ මොන වගේ එකක් වෙයිද කියලා ටිකක් හිතන්න. ඔයා හැම දවසකම නැඟිටින්නේ හරිම ප්‍රබෝධයෙන්. ඔයාට, ඔයා ආදරේ කරන අයට බඩගින්නේ ඉන්න වෙයි, අසනීප වෙයි, මැරෙයි කියන බය එදාට නැහැ. ඒ ‘බලාපොරොත්තුව ඔයා තදින් අල්ලගෙන’ ඉන්න නිසා එදාට විතරක් නෙවෙයි දැනුත් ඔයාට සමාදානය අද්දකින්න පුළුවන්. “ඒ බලාපොරොත්තුව අපේ ජීවිතේට නැංගුරමක් වගේ.” ඒක අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. ඒක සැක කරන්න කිසිම හේතුවක් නැහැ. (හෙබ්‍රෙ. 6:18, 19) නැංගුරමකට පුළුවන් නැවක් එහේ මෙහේ ගහගෙන යන්නේ නැතුව එක තැන තියාගන්න. ඒ වගේ තමයි අපේ බලාපොරොත්තුවට පුළුවන් අපේ විශ්වාසේ ශක්තිමත්ව තියාගන්න උදව් කරන්න, ප්‍රශ්න ගැටලු විඳදරාගන්න උදව් කරන්න. ඉතින් යෙහෝවාව “ලොකු උනන්දුවකින් හොයන අයට ඔහු ආශීර්වාද කරනවා” කියන විශ්වාසෙන් දිගටම ඉන්න. (හෙබ්‍රෙ. 11:6) ඔයා දැන් මේ සමාදානය අද්දකින්නෙත් අනාගතය ගැන ලස්සන බලාපොරොත්තුවක් ඔයාට තියෙන්නෙත් යේසුස්ගේ ජීවිත පූජාව නිසයි.
යෙහෝවා එක්ක සමාදාන වෙන්න ලැබෙනවා
14. පව්කාරකම නිසා යෙහෝවාත් එක්ක අපිට තිබුණ බැඳීමට මොකද වුණේ? ඒ ඇයි?
14 ආදම් සහ ඒව පාපයට වැටුණ දවසේ ඉඳන් තවදුරටත් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න මිනිස්සුන්ට පුළුවන්කමක් තිබුණේ නැහැ. බයිබලේ කියන්නේ පාපය නිසා මිනිස්සු හැමෝමයි, එයාලාගේ නිර්මාතෘයි අතරේ හතුරුකමක් ඇති වුණා කියලයි. (රෝම 8:7, 8; කොලො. 1:21) එහෙම වුණේ ඇයි? යෙහෝවා හැම අතින්ම පරිපූර්ණ කෙනෙක් නිසා ඔහුට බැහැ පාපය ගණන් ගන්නේ නැතුව ඉන්න. බයිබලේ ඔහු ගැන කියන්නේ “ඔබ මොන තරම් ශුද්ධ දෙවි කෙනෙක්ද කිව්වොත් නපුර ගණන් නොගෙන ඉන්න ඔබට බැහැ. දුෂ්ටකම් නොසලකාහරින්නත් ඔබට බැහැ” කියලයි. (හබ. 1:13) පාපය නිසා දෙවියන් සහ මිනිස්සු අතරේ තිබුණ බැඳීම කැඩුණා. කැඩුණ ඒ බැඳීම හරිගස්සලා දෙවියන් එක්ක සමාදාන වෙන්න අපිට අවස්ථාව ලැබුණේ නැත්නම් අපි කාටවත් බැහැ යෙහෝවාගේ කිට්ටු යාළුවන් වෙන්න. ඔහු එක්ක ආයේ සමාදාන වෙලා යාළුකමක් ඇති කරගන්න අපිට පුළුවන් වුණේ ජීවිත පූජාව නිසයි.
15. යේසුස්ගේ මරණය නිසා යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න මිනිස්සුන්ට අවස්ථාව ලැබුණේ කොහොමද?
15 බයිබලේ කියනවා “යේසුස් අපේ පාප වෙනුවෙන් ඔහුගේ ජීවිතය පූජා කළා. ඒ පූජාව නිසා දෙවියන් එක්ක ආයෙත් සමාදාන වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා” කියලා. (1 යොහ. 2:2) යේසුස්ගේ ජීවිත පූජාව නිසා කොහොමද එහෙම දෙයක් වෙන්නේ? මිනිස්සු පාපයට වැටුණ දවසේ ඉඳලා දෙවියන් එක්ක එයාලට තිබුණ බැඳීම කැඩුණා. හැබැයි තමන්ගෙම ප්‍රමිතිවලට ඇලිලා ඉන්න යෙහෝවාට ඒ කැඩුණ බැඳීම ආයෙත් ඇති කරගෙන මිනිස්සු එක්ක සමාදාන වෙන්න පුළුවන් වුණා. ඔහුට ඒක කරන්න නීත්‍යානුකූල අයිතිය ලැබුණේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. (රෝම 3:23-26) යේසුස්ගේ මරණයට කලින් ජීවත් වුණ විශ්වාසවන්ත අයව පවා ධර්මිෂ්ඨ අය විදිහට සලකන්න දෙවියන්ට පුළුවන් වුණා. (උත්. 15:1, 6) මොකද යේසුස් ඔහුගේ ජීවිතේ පූජා කරන්න නියමිතව තිබුණේ අනාගතයේදී වුණත් ඔහු ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා කියලා යෙහෝවා දැනන් හිටියා. (යෙසා. 46:10) දෙවියන් එක්ක සමාදාන වෙන්න මිනිස්සුන්ට මඟ විවෘත වුණේ ජීවිත පූජාව නිසයි.
16. සිහි කිරීමට යන්න සූදානම් වෙන මේ කාලේ ඔයාට හිතන්න පුළුවන් තව මොනවා ගැනද? (පින්තූරයත් බලන්න.)
16 යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙලා තියෙන නිසා දැන් ඔයාගේ ජීවිතේ හොඳ අතට හැරිලා තියෙන විදිහ ගැන ටිකක් හිතන්න. සමහරවිට යේසුස් කිව්වා වගේ ඔයා යෙහෝවාට “පියාණෙනි,” “තාත්තේ” කියලා කතා කරනවා ඇති. (මතෙ. 6:9) තවත් වෙලාවලදී “යෙහෝවා මගේ යාළුවා” කියලා ඔයා කියනවා ඇති. අපි යෙහෝවාට “තාත්තා,” “යාළුවා” කියලා කිව්වත් අපි ඒක කියද්දී මතක තියාගන්න ඕනෙ අපි නිහතමානීව ඔහුට ලැබෙන්න ඕනෙ ගෞරවේ දෙන්න ඕනෙ කියලා. මොකද අපි පව්කාරයන් නිසා අපිට බැහැ අපේම උත්සාහයෙන් යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න. එහෙම කරන්න පුළුවන් වුණේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. “ක්‍රිස්තුස් වධකණුවේ වගුරුවපු රුධිරය මාර්ගයෙන්” අපි හැමෝටම ඔහුත් එක්ක සමාදාන වෙන්න අවස්ථාව දුන්නේ යෙහෝවාමයි. (කොලො. 1:19, 20) අපි පව්කාරයන් වුණත් අපිට යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි.
යෙහෝවායි, මිනිස්සුයි අතරේ කැඩුණ බැඳීම ආයෙත් ඇති කරන්න නීත්‍යානුකූල අයිතිය ලැබුණේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි (16 ඡේදය බලන්න)
යෙහෝවාගේ දයාව ජීවිත පූජාවෙන් පේනවා
17. යෙහෝවා දයාවන්ත කෙනෙක් කියලා ජීවිත පූජාවෙන් පේන්නේ කොහොමද? (එෆීස 2:4, 5)
17 ජීවිත පූජාවෙන් ඔප්පු වෙනවා යෙහෝවා “කිසිම අඩුවක් නැතුව දයාව පෙන්නන” කෙනෙක් කියලා. ‘අපේ වැරදි නිසා අපි හිටියේ මැරුණු අය වගේ වුණත් ඔහු අපිව ආයෙත් ජීවත් කළා.’ (එෆීස 2:4, 5 කියවන්න.) කඩන් වැටුණ ගොඩනැඟිල්ලක හිර වෙලා ඉන්න අය වගේ “සදාකාල ජීවනය ලබා දෙන සත්‍යය පිළිගන්න කැමැත්තෙන්” ඉන්න නිහතමානී අය තේරුම් අරන් තියෙනවා එයාලා පාපයට හිර වෙලයි ඉන්නේ කියලා. එයාලා ඒකෙන් නිදහස් වෙන්න කෑගහලා උදව් ඉල්ලනවා. (ක්‍රියා 13:48) යෙහෝවා එයාලාගේ ඉල්ලීම් අහලා එයාලට අවස්ථාව දෙනවා දේවරාජ්‍යය ගැන පණිවිඩය දැනගන්න. ඒකෙන් එයාලට පුළුවන් වෙනවා ඔහු ගැනත් ඔහුගේ පුතා යේසුස් ගැනත් තව දැනගන්න. (යොහ. 17:3) ආදම් සහ ඒව පාපයට වැටුණ වෙලාවේ සාතන් හිතුවා නම් එයා යෙහෝවාගේ අරමුණ කඩාකප්පල් කළා කියලා එයාට කොච්චර වැරදිලාද!
18. ජීවිත පූජාව ගැන කල්පනා කරද්දී අපි මනසේ තියාගන්න ඕනෙ වැදගත්ම දේ මොකක්ද?
18 ජීවිත පූජාව නිසා අපි අද්දකින ආශීර්වාද ගැන හිතද්දී යෙහෝවා ඒක දීපු ප්‍රධානම හේතුව මොකක්ද කියලා අපි මතක තියාගන්න ඕනේ. ඔහු ජීවිත පූජාව දුන්නේ අපිව බේරගන්න විතරක් නෙවෙයි, ඒකෙන් ඊට වඩා වැදගත් දෙයක් වෙන නිසයි. සාතන් ඒදන් උයනේදී යෙහෝවාට විරුද්ධව කරපු චෝදනාවට උත්තරයක් දෙන්න ජීවිත පූජාව නිසා යෙහෝවාට පුළුවන් වෙනවා. (උත්. 3:1-5, 15) සාතන් යෙහෝවා ගැන කියපු හැම දෙයක්ම බොරුයි කියලා ඔප්පු කරන්න ජීවිත පූජාව නිසා පුළුවන්. ඒ වගේම මිනිස්සුන්ව පාපයෙන් සහ මරණයෙන් නිදහස් කරද්දී යෙහෝවා ඔප්පු කරලා පෙන්නනවා ඔහු ආදරණීය දෙවි කෙනෙක් කියලා. අපි පව්කාරයන් වුණත් යෙහෝවා ඔහුගේ මහත් කරුණාව නිසා අපිටත් අවස්ථාව දීලා තියෙනවා සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න. (හිතෝ. 27:11) ජීවිත පූජාව ඔයා හුඟක් අගය කරනවා කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.
ගීතිකාව 19 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය