හෘදය සාක්ෂියට අනුව හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීම
යෙසායා 2:4 සහ යොහන් 18:36 මත පදනම් වී ඇත.
ආර්මේනියාව
2012 නොවැම්බර් 27වෙනිදා මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය, කාචාට්‍රියාන් සහ පිරිස එදිරිව ආර්මේනියාව යන නඩුවේදී සාක්ෂිකරුවන්ට පක්ෂව තීන්දුවක් ලබා දුන්නා. එම නඩුවට හේතු වුණේ හමුදා අධීක්ෂණය යටතේ විකල්ප සේවාවන් කිරීම ප්‍රතික්ෂේප කළ සාක්ෂිකරුවන් 17දෙනෙකුට විරුද්ධව ආර්මේනියාවේ රජය විසින් කළ අසාධාරණ චෝදනාවයි. අධිකරණයෙන් සාක්ෂිකරුවන්ට පක්ෂව ලැබුණු තීන්දුව නිසා ඔවුන්ට වන්දි හා සියලු නඩු ගාස්තු ගෙවන්න ආර්මේනියාවේ රජයට සිදු වුණා.
එම නඩු තීන්දුවත් ඊට පෙර බයාට්යාන් එදිරිව ආර්මේනියාව නඩුවේ බයාට්යාන්ට පක්ෂව ලැබුණු තීන්දුවත් යුරෝපීය අධිකරණයෙන් සාක්ෂිකරුවන්ට පක්ෂව ලැබුණු තවත් නඩු තීන්දුත් තිබියදී ආර්මේනියාවේ රජය තවමත් සාක්ෂිකරුවන්ට විරුද්ධව නඩු පවරනවා. කෙසේවෙතත් 2013 ජූනි 8වෙනිදා ආර්මේනියාවේ රජය විසින් විකල්ප සේවාවන්ට අදාළ නීතිය සංශෝධනය කළ නිසා මින් ඉදිරියට විකල්ප සේවාවන් අධීක්ෂණය වෙන්නේ හමුදාව යටතේ නොවෙයි. ඒ නිසා 2013 නොවැම්බර් 12වෙනිදා වන විට සිරභාරයේ සිටි සියලුම සාක්ෂිකරුවන්ට විකල්ප සේවාවන් කිරීමේ පදනම මත නිදහස ලැබුණා.
දකුණු කොරියාව
2013 ඔක්තෝබර් 31වෙනිදා වන විට සහෝදරයන් 602දෙනෙක් සිරභාරයේ සිටියා. 1950 සිට මේ දක්වා දකුණු කොරියාවේ බලධාරීන් හමුදා සේවය ප්‍රතික්ෂේප කළ සාක්ෂිකරුවන් 17,605දෙනෙකුව සිරගත කර තිබෙනවා. ඒ සියලුදෙනාට ලැබුණු දඬුවම් කාලයේ එකතුව අවුරුදු 34,184ක්.
මෑතක් වන තුරුම සාක්ෂිකරුවන්ව දැමුවේ වෙනත් දරුණු අපරාධකරුවන් සිටින සිරකුටිවලටයි. ඒත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි සහෝදරයන් කිහිපදෙනෙක් ඔවුන්ව වෙනම සිරකුටිවලට දමන්න කියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. ඒ නිසා බලධාරීන් 2013 අප්‍රියෙල් මාසයේ සිට එක් සිරකුටියක සහෝදරයන් හතරදෙනෙක් හෝ පස්දෙනෙක් සිටින විදිහට බොහෝදෙනෙක්ව වෙනත් සිරකුටිවලට දැමුවා.
ඒ ගැන එක් සහෝදරයෙක් කිව්වේ මෙහෙමයි. “දැන් අපිට අපරාධකාරයන්ගේ නරක කතා, ඒ අය හැසිරෙන විදිහ ඇහෙන්නේ පේන්නේ නැති නිසා ලොකු සහනයක් දැනෙනවා.” තවත් සහෝදරයෙක් කිව්වේ “දැන් අපිට එක් එක් කෙනාව දිරිගන්වන්නත් පුළුවන්, රැස්වීම් පහම තියන්නත් පුළුවන්” කියලයි.
මේ අතර නැවත සේවයට කැඳවීමේ පදනම මත හමුදා සේවයෙන් ඉවත් කළ පුරුෂයන් 56දෙනෙක් පසු කාලයේදී සාක්ෂිකරුවන් වුණා. ඔවුන්ව නැවත හමුදා පුහුණුවට කැඳවන අවස්ථාවලදී එය ප්‍රතික්ෂේප කරන නිසා අපරාධකරුවන් හැටියට සලකා ඔවුන්ට විරුද්ධව වරින් වර නඩු දමනවා. ඒ නිසා නිතර දඩ මුදල් ගෙවන්නත් සිදු වෙනවා. මේ වෙනකොට අවුරුදු 8ක් තිස්සේ වසරකට කිහිප වතාවක්ම පුහුණුව සඳහා ඔවුන්ව කැඳවන නිසා එයට මුහුණ දීම ඔවුන්ට ලේසි දෙයක් නෙමෙයි.
සිංගප්පූරුව
විකල්ප සේවාවන් ඉටු කරන්න තමන් කැමතියි කියා බලධාරින්ට දිගින් දිගටම කියා සිටියත් දැනටත් සහෝදරයන් 12දෙනෙක් මාස 39ක් පුරා සිර දඬුවම් විඳිනවා. හදිසි අවශ්‍යතා මත හමුදා සේවයට බඳවාගැනීමේ සැලැස්මට තම සේවය ලබා දීමට එකඟ නොවූ නිසා තවත් සහෝදරයෙක් සිර දඬුවම් විඳිනවා.
තුර්ක්මෙනිස්ථානය
සාක්ෂිකරුවන් 9දෙනෙක් ආගමික විශ්වාසයන් මත හමුදා සේවය ප්‍රතික්ෂේප කළ නිසා අවුරුදු 2කට ආසන්න කාලයක් පුරා සිරදඬුවම් විඳිනවා. නිතරම ඔවුන් බන්ධනාගාර නිලධාරීන්ගේ අමානුෂික වධ හිංසාවලටත් ලක් වෙනවා. ඔවුන් නිදහස ලැබුවත් වරින් වර ඔවුන්ව අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් යටතේ සිරගත කර තිබෙනවා. මෙම සාක්ෂිකරුවන්ගෙන් 10දෙනෙක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත් මේ ගැන පැමිණිලි කර තිබෙනවා.
හෘදය සාක්ෂිය නිසා දේශානුරාගී උත්සවවලට හවුල් වීම ප්‍රතික්ෂේප කිරීම
දානියෙල් 3:16-18 මත පදනම් වී ඇත.
ටැන්සානියාව: නිවැරදිකරුවන් කියා තීන්දු වූ නිසා සාක්ෂිකාර දරුවන්ට නැවත පාසැල් යන්න අවස්ථාව ලැබුණා
ටැන්සානියාව
ජාතික ගීය ගායනා නොකිරීම නිසා ගුරුමණ්ඩලය විසින් දරුවන් 5දෙනෙක්ව පාසැලෙන් ඉවත් කිරීම සහ එකසිය විසි දෙදෙනෙකුගේ පන්ති තහනම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි දෙයක් කියා ඩාර් එස් සලාම් නගරයේ අභියාචනාධිකරණය ඒකමතිකව තීරණය කළා. සාක්ෂිකාර දරුවන්ට තම විශ්වාසයන්ට එකඟව කටයුතු කිරීමටත් තම ආගමික ප්‍රතිපත්ති රැකීමටත් නීතියෙන් අයිතියක් තිබෙනවා කියා 2013 ජූලි 12වෙනිදා උසාවියෙන් ප්‍රකාශයක් නිකුත් කළා. ඒ දරුවන් නිසා ලැබුණු නීතික ජයග්‍රහණවලින් යෙහෝවා දෙවිට ගෞරවයක් ලැබුණු අතර ටැන්සානියාවේ නමස්කාර කටයුතු නිදහසේ කරගෙන යෑමටත් අවස්ථාව උදා වුණා.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස
ක්‍රියා 4:19, 20 මත පදනම් වී ඇත.
කසක්ස්තානය
අපේ ප්‍රකාශන ගැන ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් පැවැත්තුවා. ඒවා අන්තවාදී ප්‍රකාශන ලෙස නම් කළ ඔවුන් කියා සිටියේ එහි ඇති අදහස් සමාජයේ සහ ආගම් අතර බෙදීම් ඇති වීමට හේතු වෙනවා කියායි. 2013 අප්‍රියෙල් 6වෙනිදා කරබලික් නගරයේ පොලීසිය, නිවෙසක පැවැත්වූ රැස්වීමකට අනවසරයෙන් කඩා වැද අපේ පොත් පත් ඔවුන්ගේ භාරයට ගත්තා. 2013 ජූලි 3වෙනිදා අස්තානා නගරයේ උසාවියකින් අපේ ප්‍රකාශන 10ක් තහනම් කළ අතර අපේ පොත් පත් රටට ගෙන්වීම සීමා කළා. තවදුරටත් 2012 දෙසැම්බර් මාසයේදී රජයේ නිලධාරීන් විසින් දේශනා සේවය නීති විරෝධී ක්‍රියාවක් ලෙස සඳහන් කරමින් සේවයේ ගිය සහෝදරයන්ව දිගින් දිගටම අත්අඩංගුවට ගත්තා. 2013 මාර්තු 28වෙනිදා ආගමික කටයුතු පිළිබඳ ආයතනයක් විසින් සාක්ෂිකරුවන්ට කියා සිටියේ රට පුරා තිබෙන ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානවලින් පිටත ආගම ගැන කතා කිරීම තහනම් දෙයක් කියායි. මේ නිසා බලධාරීන් විසින් 2013 ජූලි මාසයේ සිට සහෝදර සහෝදරයන් 21දෙනෙක්ට විරුද්ධව නඩු පවරා තිබෙනවා.
එකට එක්රැස්වීමේ නිදහස
හෙබ්‍රෙව් 10:24, 25 මත පදනම් වී ඇත.
අසර්බයිජානය
2010 ජනවාරි මාසයේ, ආගමික සංවිධානවල වැඩකටයුතු සොයා බැලීමට රජය පත් කර තිබෙන කමිටුව විසින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ආගමක් හැටියට නැවත ලියාපදිංචි කිරීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. එයට හේතුව අයදුම්පතේ තිබෙන දෝෂයක් කියා ඔවුන් කියා සිටියා. සාක්ෂිකරුවන් නැවත නැවත ලියාපදිංචිය ඉල්ලුම් කළත් බලධාරීන් එය ප්‍රතික්ෂේප කළා. නැවත ලියාපදිංචි කිරීමට අවසර නොදීමෙන් රජය සිදු කරන්නේ නිදහසේ ආගම ඇදහීමට ඇති අයිතිය උල්ලංගනය කිරීමක් කියා කියමින් සහෝදරයන් 2012 ජූලි 31වෙනිදා මේ කාරණය මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ අවධානයට ලක් කළා. ඔවුන් එහෙම කළේ, තම ආගම ලියාපදිංචි නොකර ආගමික කටයුතු නිදහසේ කරගෙන යෑමට නොහැකි නිසයි.
පුද්ගල සහ දේපල සුරක්ෂිතභාවය සහ නිදහස
ෆිලිප්පි 1:7 මත පදනම් වී ඇත.
යුක්රේනය
සාක්ෂිකරුවන්ට නමස්කාර කටයුතු කරන්න නීතියෙන් නිදහසක් තිබුණත් ඔවුන්ට ශාරීරික වධ හිංසාවලට සහ නමස්කාර මධ්‍යස්ථාන ගිනි තැබීම් වැනි දේවල්වලට මුහුණ දීමට සිදු වුණා. මේ ගැන බලධාරීන්ට වාර්තා කළත් ඒවා වළක්වන්න නිසි ක්‍රියා මාර්ගයක් ගත්තේ නැහැ. ඒ නිසා විරුද්ධවාදීන් ඒ දේවල් කරන්න තව තවත් පෙලඹුණා. ප්‍රතිඵලයක් හැටියට සහෝදරයන්ට 2012 සහ 2013 වසරවලදී දරුණු වධ හිංසාවලට මුහුණ දෙන්න වුණා. 2010දී මෙවැනි සිද්ධීන් වාර්තා වුණේ 5යි. 2011දී එය 15 දක්වා වැඩි වුණා. 2012දී සිද්ධීන් 50ක්ද 2013 මුල් මාස පහ ඇතුළත පමණක් සිද්ධීන් 23ක්ද වාර්තා වුණා. මේ නිසා ශාඛා කාර්යාලය මෙම කාරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට වාර්තා කිරීමට පියවර ගත්තා.
යුක්රේනය: ගිනි තබා විනාශ කළ නමස්කාර මධ්‍යස්ථානය නැවත ගොඩනැඟීමට සැලසුම් කර තිබෙනවා
ස්වාධීන තීරණ ගැනීමේ නිදහස
ක්‍රියා 5:29 සහ ක්‍රියා 15:28, 29 මත පදනම් වී ඇත.
ආර්ජන්ටිනාව
2012 වසරේ කණ්ඩායම් 2ක් අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී ඒ අසල සිටි සහෝදර පැබ්ලෝ ඇල්බරාසිනිටත් වෙඩි වැදුණා. සිහිසුන්ව සිටි ඔහුව රෝහලට රැගෙන ගිය අතර ඔහු ළඟ සෞඛ්‍ය ප්‍රතිකාරවලට අදාළ ස්ථාවර ඇටෝනි බලපත්‍රය තිබුණ නිසා රෝහලේ නිලධාරීන් රුධිරය රහිතව ප්‍රතිකාර කිරීමට කැමති වුණා. එහෙත් සාක්ෂිකරුවෙක් නොවන ඥාතියෙක් පැබ්ලෝගේ ජීවිතය බේරගන්න රුධිර ප්‍රවේශනයක් අවශ්‍යමයි කියා කියමින් ඒ සඳහා උසාවි නියෝගයක් ලබාගන්න උත්සාහ කළා. ඒ වුණත් ආර්ජන්ටිනාවේ මහාධිකරණය කියා සිටියේ ඔහු සිහිසුන් තත්වයේ සිටියත් වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් ඔහු ගෙන තිබෙන ස්ථාවරයට ගරු කළ යුතුයි කියායි. ඒ නිසා ඔහුට රුධිරය ලබා නොදුන් අතර ඉක්මනින්ම ඔහු සුවය ලැබුවා.
ආගම හේතුවෙන් විඳීමට සිදු වන අසාධාරණයන්
ලූක් 21:12-17 මත පදනම් වී ඇත.
කිර්ගිස්තානය
ටොක්ටොගල් නගරයේ තිබුණු නමස්කාර මධ්‍යස්ථානයකට විරුද්ධවාදීන් දෙවතාවක්ම ගිනි තැබුවා. ඒ හේතුවෙන් ගොනු කළ නඩුවේදී 2013 අප්‍රියෙල් 16වෙනිදා සාක්ෂිකරුවන්ට පක්ෂව තීන්දුවක් ලැබුණා. ගිනි තැබීම සිදු කළ අයව වැරදිකරුවන් ලෙසට ඔප්පු වූ අතර පාඩුව සඳහා වන්දි ගෙවීමටත් උසාවිය නියෝග කළා. මුල්ම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුට නිසි දඬුවම් දීමට උසාවිය පියවර ගෙන තිබෙන නිසා එවැනි සිදුවීම් මතුවට සිදු නොවෙයි කියා සහෝදරයන් සිතනවා. ඒ වගේම සාක්ෂිකරුවන් ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානය නැවත ගොඩනඟන්න සැලසුම් කරනවා.