සෝදිසියෙන් ඉන්න!
රූප නමස්කාරය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
2022 මාර්තු 25වෙනිදා සාන්ත පීතර දේවස්ථානයේ පවත්වපු දේවමෙහෙයකදී ෆ්‍රැන්සිස් පාප්වරයා කරපු දෙයක් කතෝලික ප්රවෘත්ති සේවයේ මෙහෙම වාර්තා කරනවා. “එතුමා ඇස් වහගෙන, හිස පහත් කරගෙන මරියතුමියගේ පිළිමයක් ඉස්සරහා නිහඬව යාච්ඤා කළා. එතුමා මරියතුමියට කන්නලව් කළා ලෝකෙට සාමය ගේන්න කියලා.” ඒ අවස්ථාව ගැන වතිකානු ප්රවෘත්ති සේවයක් මෙහෙම වාර්තා කළා. “පාප්තුමා ලෝකවාසී හැමෝවම විශේෂයෙන්ම යුක්රේනයේ සහ රුසියාවේ වැසියන්ව නිර්මල මරියතුමියගේ දෑත්වලට භාර කළා.”
ඔයා හිතන්නේ මොකක්ද? ඒ විදිහට පිළිම ඉස්සරහට ගිහින් ඒවාට යාච්ඤා කරන එක හරිද? බයිබලේ ඒ ගැන කියන දේ බලන්න.
“රූප සාදා නොගන්න. අහසේ හෝ පොළොවේ හෝ ජලයේ හෝ තිබෙන කිසිම දෙයක හැඩයකට සමාන රූප සාදා නොගන්න. ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න. මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.”—නික්මයාම 20:4, 5.a
“ඔවුන් නමස්කාර කරන දේවතා රූප සාදා ඇත්තේ රන් හා රිදීවලින්ය. ඒවා සාදන්නෙත් මනුෂ්‍යයන් විසින්ය. ඒවාට කටවල් ඇත. නමුත් කතා කිරීමට නොහැකිය. ඇස් ඇත. නමුත් කිසිවක් පෙනෙන්නේ නැත. ඒවාට කන් තිබුණත් කිසිවක් ඇසෙන්නේ නැත. නාසයක් තිබුණත් ගඳ සුවඳ දැනෙන්නේ නැත. ඒවාට අත් ඇත. නමුත් කිසිවක් ඇල්ලීමට නොහැකිය. පාද ඇත. නමුත් ඇවිදීමට නොහැකිය. උගුරෙන් කිසිම හඬක් නික්මෙන්නේ නැත. ඒවා සාදන්නොත් ඒවා කෙරෙහි විශ්වාසය තබන්නොත් එම රූප හා සමාන වන්නෝය.”—ගීතාවලිය 115:4-8.
“මාගේ නාමය යෙහෝවාය. මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි. මට ලැබිය යුතු ප්‍රශංසාව දේවතා රූපයකට දීමට ඉඩ නොදෙන්නෙමි.”—යෙසායා 42:8.
“මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, රූප වන්දනාවෙන් පලා දුවන්න.”—1 කොරින්ති 10:14.
“ප්‍රිය දරුවෙනි, දේවතා රූපවලින් වැළකී සිටින්න.”—1 යොහන් 5:21.
නමස්කාරයේදී රූප පාවිච්චි කරන එක ගැන බයිබලේ කියන්නේ මොනවාද කියලා තව විස්තර දැනගන්න “බයිබලයෙන් පිළිතුරක් - රූප නමස්කාරය” කියන ලිපිය බලන්න. එහෙම නැත්නම් ‘රූපවලට නමස්කාර කරන එක ගැන දෙවියන් මොනවාද හිතන්නේ?’ කියන වීඩියෝ එක බලන්න.
මේ වගේ විෂයන් ගැනත් බයිබලේ කියන්නේ මොනවාද කියලා දැනගන්න ඔයා කැමතිද?
Photo credit: Vincenzo Pinto/AFP via Getty Images
a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.