ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍රයක් ජීවත් වුණු ප්‍රදේශය ගැන තහවුරු කරන සොයාගැනීමක්
බයිබලයේ සඳහන් වෙනවා පොරොන්දු දේශය අත් පත් කරගත් ඊශ්‍රායෙල්වරු ඒ දේශය තමන් අතරේ හිටිය ගෝත්‍ර අතරේ බෙදාගත්තා කියලා. ඒ අවස්ථාවේදී මනස්සේ ගෝත්‍රයේ පවුල් දහයකට ගෝත්‍රයේ අනිත් අයට දුන් ප්‍රදේශයට ඈතින් ඒ කියන්නේ යොර්දාන් ගඟට බස්නාහිරෙන් තිබුණු ප්‍රදේශයෙන් බිම් කොටස් ලබා දුන්නා කියලයි බයිබල් වාර්තාවේ සඳහන් වෙන්නේ. (යොෂුවා 17:1-6) එහෙම දෙයක් ඇත්තටම වෙලා තියෙනවා කියලා ඔප්පු කරන්න පුරාවිද්‍යාත්මක සාක්ෂි තියෙනවාද?
1910දී සමාරියේ කළ කැණීම්වලින් මැටි බඳුන්වලින් කැඩිලා ගිය කොටස් රැසක් හොයාගෙන තියෙනවා. ඒ කොටස් අතර වයින්, රූපලාවන්‍ය ද්‍රව්‍යවලට යොදාගත්ත තෙල් ඇතුළු අගනුවරේ පිහිටි රජමාලිගාවට ගෙන්වාගත් සුඛෝපභෝගී භාණ්ඩ ගැන හෙබ්‍රෙව් භාෂාවෙන් ලියවිලා තිබුණු වාර්තාවනුත් තිබිලා තියෙනවා. ක්‍රි.පූ. 8වෙනි සියවසට අයත් මැටි බඳුන්වල කැඩිලා ගිය කොටස් 102ක් ඒ කැණීම්වලදී හොයාගෙන තිබුණා. හැබැයි පැහැදිලිව කියවගන්න පුළුවන් වුණේ ඒ කොටස්වලින් 63ක සඳහන් තොරතුරු විතරයි. පවුල්වල නම්, දිනයන් සහ භාණ්ඩ අපනයනය, ආනයනය කළ වෙළෙන්දන්ගේ නම් ගැන ඒ කොටස් 63 සඳහන් වෙලා තිබුණා.
මේ කොටස්වලින් දැනට හඳුනගෙන තියෙන හැම පවුලක්ම මනස්සේ ගෝත්‍රයට අයිති වීම හරිම විශේෂ දෙයක්. මේ සොයාගැනීමෙන් “මනස්සේගේ පෙළපතේ අය සහ ඔවුන් ජීවත් වුණු ප්‍රදේශය ගැන බයිබලයේ සඳහන් වාර්තාව සනාථ කිරීමට අමතර සාක්ෂියක් ලැබෙනවා” කියලා අධ්‍යයනය සඳහා සකස් කරලා තිබුණු බයිබලයක සඳහන් වෙනවා.—NIV Archaeological Study Bible.
මනස්සේගෙන් පැවැතෙන්නෙක් වුණු නෝවා කියන කාන්තාව ගැන මේ කොටසේ සඳහන් වෙනවා
බයිබල් ලේඛකයෙක් වුණු ආමොස් ඒ කාලේ සමාරියේ ජීවත් වුණු ධනවත් අය පිළිබඳ කියලා තියෙන මේ දේ කොයි තරම් ඇත්තක්ද කියලා ඒ සොයාගැනීම්වලින් පැහැදිලි වෙනවා. “ඔබ විශාල බඳුන්වලින් වයින් බොන්නහුය. ඉස්තරම්ම තෙල් සිරුරේ ආලේප කරගන්නහුය.” (ආමොස් 6:1, 6) මනස්සේ ගෝත්‍රයට අයිති ඒ පවුල් දහය ජීවත් වුණු ප්‍රදේශයට වයින්, තෙල් වගේ දේවල් ගෙන්වගෙන තියෙනවා කියලා සමාරියෙන් හමු වුණු මැටි බඳුන්වල කොටස්වලින් තහවුරු වෙනවා.