නිර්මාණයක්ද?
කිසිම මැලියමකට නොදෙවෙනි බෙලිඇණයාගේ මැලියම්
සත්ව විද්‍යාඥයන් අවුරුදු ගාණක් තිස්සේම දැනගෙන හිටියා ගල්පරවල, ජැටිවල, නැව් බඳවල තදින් ඇලිලා ඉන්න බෙලිඇණයා කියන බෙල්ලාට පුදුමාකාර හැකියාවක් තියෙනවා කියලා. බෙලිඇණයා නිපදවන මැලියම් මිනිසුන් නිෂ්පාදනය කරන කිසිම මැලියම් වර්ගයකට දෙවෙනි වෙන්නේ නැහැ. තෙතමනය තියෙන තැනක වුණත් තදින් ඇලිලා ඉන්න බෙලිඇණයාට පුළුවන් වෙන්නේ කොහොමද කියන එක මෑතක් වෙන කල්ම විද්‍යාඥයන්ට රහසක් වෙලයි තිබුණේ.
මේ ගැන හිතන්න: කීටයෙක්ව ඉද්දී ඒ මේ අත පීනලා ඇලිලා ඉන්න වඩාත්ම සුදුසු තැනක් බෙලිඇණයා තෝරගන්නවා. ඌ සුදුසු තැනක් තෝරගත්තාට පස්සේ උගේ ශරීරයෙන් ශ්‍රාවයන් දෙවර්ගයක් පිට කරනවා කියලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. ඌ මුලින්ම පිට කරන්නේ තෛලමය ශ්රාවයක්. ඌ ඇලිලා ඉන්න තැනෙන් වතුර ඉවත් කරන්න ඒක උදව් වෙනවා. ඒ වගේම අනිත් ශ්රාවයට ඇලෙන්න උදව් වෙන මතුපිටක් සකස් කරලා දෙනවා. ප්‍රෝටීනවලින් සමන්විත ඒ අනිත් ශ්‍රාවය හඳුන්වන්නේ පොස්පොප්රෝටීන කියලයි.
ඒ ශ්‍රාවයන් දෙකම එකතු වුණාම බැක්ටීරියාවලටවත් විනාශ කරන්න බැරි තරම් ශක්තිමත් මැලියම් වර්ගයක් නිපදවෙනවා. ඒ මැලියම් වර්ගය ඒ තරම්ම ශක්තිමත්ව තියෙන එක වැදගත් වෙන්නේ බෙලිඇණයා ඇලෙන්න තෝරගන්න තැනේ ඌ ජීවිත කාලය පුරාම ඉන්න නිසයි.
බෙලිඇණයන්; බෙලිඇණයන් නිපදවන මැලියම්වල කෙඳි අන්වීක්ෂයකින් පෙනෙන ආකාරය
බෙලිඇණයා ඒ මැලියම් වර්ගය නිපදවන විදිහ විද්‍යාඥයන් කලින් හිතන් හිටියාට වඩා හුඟක් සංකීර්ණයි. ඒ ගැන හොයලා බලපු කණ්ඩායමේ හිටිය කෙනෙක් කියනවා “බෙලිඇණයාගේ මේ පුදුමාකාර හැකියාව ගැන දැනගන්න ලැබුණු නිසා වතුර තියෙන තැනක වුණත් දෙයක් තදින් අලවන්න පුළුවන් කොහොමද කියන එකට හොඳම විසඳුමක් හොයාගන්න පුළුවන් වුණා” කියලා. වතුර යට භාවිත කරන්න පුළුවන් මැලියම් වර්ග විතරක් නෙවෙයි ඉලෙක්ට්‍රෝනික උපාංග සකස් කරද්දීත් ශල්‍යකර්මවලදී ශරීරයට විවිධ කොටස් බද්ධ කරද්දීත් භාවිත කරන්න පුළුවන් විවිධ මැලියම් වර්ග නිපදවන්න පර්යේෂකයන්ට ඒ සොයාගැනීම ප්‍රයෝජනවත් වෙයි.
ඔයාගේ නිගමනය මොකක්ද? ශක්තිමත් මැලියම් වර්ගයක් නිපදවන්න බෙලිඇණයාට හැකියාව ලැබිලා තියෙන්නේ පරිණාමයෙන්ද? නැත්නම් කවුරු හරි ඌව නිර්මාණය කරපු නිසාද?