ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
යුද්ධයක් මැද සහනයක්!
2022 මැයි 27
අපි ජීවත් වෙන මේ අවසාන කාලේදී “යුද්ධ ගැනත් යුද්ධ පිළිබඳ ආරංචි ගැනත්” අපිට හතර වටෙන්ම ඇහෙනවා. (මතෙව් 24:6) යුද්දේ නිසා පීඩා විඳින අපේ සහෝදර සහෝදරියන්ව අපි එක මොහොතකටවත් අමතක කරන්නේ නැහැ. ‘2022 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 3’ වීඩියෝ එකෙනුත් අපි බැලුවා අපේ සහෝදරයන් යුක්රේන යුද්දෙන් පීඩා විඳින සහෝදරයන්ට උදව් කරන්න කොච්චර මහන්සි වෙනවාද කියලා. ඒත් ළඟ ළඟම බෝම්බ පිපිරෙද්දී යුධ ගිනිදලු ඇවිලෙද්දී සහෝදරයන්ට සහන සේවා ලබා දෙන්නේ කොහොමද? ලැබුණ සහන සේවාවලින් යුක්රේනයේ ඉන්න අපේ සහෝදරයෝ ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද?
ඕනෙ මොනවාද? දෙන්නේ කොහොමද?
2022 පෙබරවාරි 24වෙනිදා යුක්රේනයේ යුද්ධය පටන්ගත්තා. එදා සම්බන්ධීකාරකයන්ගේ කමිටුව එහේ ඉන්න සහෝදරයන්ට සහන සේවා ලබා දෙන්න මුදලක් වෙන් කරන්න අනුමැතිය දුන්නා. ඒ වගේම යුක්රේන ශාඛා කාර්යාලය ඒ රටේ වෙනත් පැතිවලින් බඩු මිල දී අරන් සහන සේවා කමිටු මාර්ගයෙන් සහෝදරයන්ට ඒවා ඉක්මනින්ම බෙදලා දෙන්න පියවර ගත්තා.
ඊට අමතරව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය යුක්රේනයේ සහෝදරයන්ට අවශ්‍ය මොනවාද කියලා ඉක්මනින්ම හොයලා බලන්න පියවර ගත්තා. සම්බන්ධීකාරකයන්ගේ කමිටුවේ සහ ප්‍රකාශන කමිටුවේ සහෝදරයන් ලෝක ව්‍යාප්ත භාණ්ඩ හා සේවා සැපයුම් අංශයට කිව්වා යුක්රේනයේ සහ පෝලන්තයේ ශාඛා කමිටු එක්ක එකතු වෙලා අවශ්‍ය දේවල් සැලසුම් කරන්න කියලා. ඒ නිසා ඒ ශාඛා කාර්යාලවල භාණ්ඩ හා සේවා සැපයුම් අංශයේ, ප්‍රවාහන අංශයේ සහ නීතික අංශයේ සහෝදරයන් ලෝක ව්‍යාප්ත භාණ්ඩ හා සේවා සැපයුම් අංශයත් එක්ක හැම දවසකම එකතු වෙලා ඒ සැලසුම් ගැන කතා කළා. ඒ සාකච්ඡාවට යුක්රේන ශාඛා කමිටුවේ සහෝදරයෙකුත් එකතු වුණා.
සහනාධාර පෙට්ටියක තියෙන කෑම බීම, සනීපාරක්ෂාවට අවශ්‍ය දේවල් සහ දිරිගැන්වෙන පුංචි කාඩ්
ලෝක ව්‍යාප්ත භාණ්ඩ හා සේවා සැපයුම් අංශයේ සේවේ කරන ජේ. ස්විනී මෙහෙම කියනවා. “බඩු යවන්න කලින් සහෝදරයන්ට අවශ්‍ය මොනවාද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. අපිට ඕනෙ වුණේ එයාලා සාමාන්‍යයෙන් කන බොන, සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේවල්ම යවන්න. හැබැයි දෙන්නේ මොනවාද කියලා විතරක්ම නෙවෙයි එයාලාට ඒවා දෙන්නේ කොහොමද කියලත් ප්‍රශ්නයක් තිබුණා. මොකද ඒ වෙද්දිත් යුද්දේ සෑහෙන්න දරුණු තත්වයක තිබුණේ. ඉතින් මේ බඩු යවද්දී කිසිම කෙනෙක්ට අනතුරක් වෙන්න බෑ. ඒ වගේම පුළුවන් තරම් ඉක්මන්ට ඒවා යවන්නත් ඕනේ.”
2022 මාර්තු 9 වෙද්දී සහෝදරයන්ට යවන්න ඕනෙ මොන වගේ දේවල්ද කියලා තීරණය කළා. එයාලට යවන බඩු පෙට්ටිවල හාල්, ටින් කරපු මස් මාළු, ඇට වර්ග, සහ සනීපාරක්ෂාවට අවශ්‍ය සබන්, ටොයිලට් පේපර් වගේ දේවල් ඇතුළත් වුණා. ඒ කාලේ වෙද්දී එක් කෙනෙක්ට සති හතරකට අවශ්‍ය බඩු යවන්න ගිය වියදම ඇමරිකානු ඩොලර් 65ක් විතර. අපේ සහෝදරයෝ දහස් ගාණකට ඒ බඩු මුට්ටු අවශ්‍ය වෙලා තිබුණා. ඒ නිසා සහෝදරයන්ට අවශ්‍ය දේවල් සපයන්න විශාල මුදලක් වෙන් කරන්න සම්බන්ධීකාරකයන්ගේ කමිටුව අනුමැතිය දුන්නා. ඒත් කාගෙවත් ජීවිතවලට අනතුරක් වෙන්නේ නැතුව ඒවා සහෝදරයන්ට දෙන්නේ කොහොමද?
ආරක්ෂිතව මේ බඩු ප්‍රවාහනය කරන්න පුළුවන්ද කියලා අත්හදා බලන්න මාර්තු 13වෙනිදා සහෝදරයන් දෙන්නෙක්ව පෝලන්ත ශාඛා කාර්යාලයේ ඉඳන් යුක්රේනයේ ලිවිව්වලට යැව්වා. ඊට කලින් පෝලන්තයේ සහ යුක්රේනයේ ශාඛා කාර්යාලවල සහෝදරයන් ගමනට අවශ්‍ය හැම දෙයක්ම සූදානම් කළා. එයාලා දේශ සීමා පහු කරන්න අවශ්‍ය නීතික ලියවිලි හැදුවා. ඒ වගේම බඩු ගෙනියන වාහනවල ‘සහනාධාර’ කියලා පැහැදිලිව ලොකුවට ගැහුවා. ඒ විතරක් නෙවෙයි යුක්රේනයට ඇතුල් වුණාට පස්සේ එතන ඉඳන් බඩු භාර දෙන තැනට යන්න පුළුවන් කෙටිම පාර මොකක්ද කියලත් යුක්රේනයේ සහෝදරයන්ගෙන් අහලා දැනගත්තා. ඒ හොඳ සූදානම නිසා, යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය නිසා අපේ සහෝදරයන්ට පුළුවන් වුණා පරෙස්සමෙන් ලිවිව්වලට ඒ බඩු ගිහින් භාර දෙන්න. ඒ නිසා ඒවා භාර දීලා පැය 24ක් ඇතුළත සහන සේවා කමිටුවල සහෝදරයන්ට ඒ බඩු ටික ලැබුණා. පෝලන්තයේ ඉඳලා ගිය අපේ සහෝදරයෝ දෙන්නත් කිසිම කරදරයක් නැතුව ආයේ ආවා.
අත්හදා බැලීම නම් සාර්ථකයි. ඒත් එදා සහෝදරයන්ට ගෙනියන්න පුළුවන් වුණේ මෙට්‍රික් ටොන් එකකටත් වඩා අඩු බඩු ප්‍රමාණයක්. හැබැයි තව මෙට්‍රික් ටොන් 200ක් විතර යවන්න තිබුණා. එච්චර විශාල ප්‍රමාණයක් පරෙස්සමෙන් එහෙට ගෙනියලා, පුළුවන් තරම් ඉක්මනින්ම සහෝදරයන්ට බෙදලා දෙන්නේ කොහොමද?
“දෙවියන්ගේ සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා”
යුක්රේනයේ ඉන්න අපේ සහෝදරයන් මුහුණ දෙන දේවල් ගැන jw.org එකෙන් දැගත්තාට පස්සේ ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන් එයාලා වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත් වුණා. හුඟක් අය යුක්රේනයේ ඉන්න අපේ සහෝදරයන් වෙනුවෙන් සම්මාදම් කළා. මොකද සංවිධානයෙන් ඒ සම්මාදම් හරිම විදිහට පාවිච්චි කරනවා කියලා එයාලට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ වගේම යුක්රේනය අවට රටවල්වල ඉන්න සහෝදරයන් එයාලගේ කාලය, ශක්තිය, එයාලට තියෙන දේවල් පාවිච්චි කරලා යුක්රේනයේ ඉන්න අයට උදව් කරන්න එයාලගේ පැත්තෙන් උපරිමය කළා. ඒ වගේ උදාහරණ කීපයක් අපි දැන් බලමු.
අවශ්‍ය බඩු පෙට්ටි දහස් ගාණක් පැක් කරන්න ගොඩක් සහෝදරයෝ ඉදිරිපත් වුණා. අපේ පුංචි දරුවෝ ලස්සන ලස්සන කාඩ් හදලා දුන්නා. ලෝක ව්‍යාප්ත භාණ්ඩ හා සේවා සැපයුම් අංශයේ සේවේ කරන බර්තොෂ් කෂියුනියැක් කියන දේ බලන්න. “මේ වැඩවලට හවුල් වෙන්න කැමතිද කියලා අහලා කට ගන්නත් කලින් සහෝදරයෝ සිය ගාණක් ඒකට කැමති වුණා. ගීතාවලිය 110:3 කියනවා ‘දෙවියන්ගේ සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා’ කියලා. මං ඒ පදේ බයිබලෙන් ඕන තරම් කියවලා තියෙනවා. හැබැයි එදා තමයි ඒක ඇත්තටම අද්දැක්කේ.”
අපේ සහෝදරයෙක් හිටියා, එයාට ජාත්‍යන්තර ප්‍රවාහන ආයතනයක් තිබ්බා. ඉතින් යුක්රේනයේ සහෝදරයන්ට අවශ්‍ය බඩු ප්‍රවාහනය කරන්න එයා ට්‍රක් කීපයකුත් ඉන්ධනත් පරිත්‍යාග කරන්න කැමති වුණා. එයා ඒ ගැන මෙහෙම කියනවා. “මේක මගේ සහෝදරයන්ට, යෙහෝවා දෙවියන්ට මගේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න ලැබුණ හොඳ අවස්ථාවක්. ඇත්තටම සහෝදරයන්ට උදව් කරන්න ලැබුණ එක මට ලොකු සතුටක්!” ඒ සහෝදරයා මේ වැඩවලට ඉන්ධන ලීටර් 7,700ක් විතර පරිත්‍යාග කළා. ඒ වගේම අපේ සහෝදරයන් එයාලගේ කාලය, ශක්තිය කැප කරලා කිලෝමීටර් 48,000ක් විතර දුර ගිහින් ඒ බඩු බෙදලා දුන්නා.
සහෝදර සහෝදරියන්ගේ කැපවීම නිසා මාර්තු 28වෙනිදා වෙද්දී ඒ කියන්නේ අත්හදා බැලීම කරලා දවස් 15කට පස්සේ යුක්රේනයේ සහෝදරයන්ට අවශ්‍ය කෑම බීම, සනීපාරක්ෂක දේවල් සහ බෙහෙත් මෙට්‍රික් ටොන් 100ක් විතර ප්‍රවාහනය කරන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි සාක්ෂිකරුවන් වගේම සමහර වෙළඳ ආයතනත් සහනාධාර දෙන්න ඉදිරිපත් වුණා. ඒ නිසා සහන සේවා වෙනුවෙන් වෙන් කරපු මුදලෙන් සෑහෙන්න ප්‍රමාණයක් ඉතුරු කරගන්න අපිට පුළුවන් වුණා. මේ වෙද්දී යුක්රේනයේ අපේ සහෝදරයන්ට අවශ්‍ය සහනාධාර මෙට්‍රික් ටොන් 190ක් විතර යවන්න පුළුවන් වෙලා තියෙනවා. ඒවා යුක්රේනයේ ඉන්න අපේ සහෝදරයන්ට උදව් වෙලා තියෙන්නේ කොහොමද?
“ආදරෙත් පැක් කරලා තිබ්බා!”
අවශ්‍ය බඩු ලිවිව්වලට ආවට පස්සේ සහන සේවා කමිටුවලින් ඒවා අවශ්‍යතා තියෙන සහෝදරයන්ට බෙදලා දුන්නා. සමහර සහෝදරයන්ට මේ බඩු දෙන්න ලිවිව්වල ඉඳන් කිලෝමීටර් 1,300කට වඩා දුර යන්න වුණා. පුළුවන් තරම් ඉක්මනටම මේ බඩු බෙදලා දෙන්න සැලසුම් කළත් ඒකටත් යම් සාධාරණ කාලයක් ගත වුණා.
යුක්රේන ශාඛා කමිටුවේ සේවය කරන මාකස් රේන්හාට් මෙහෙම කියනවා. “මේ අමාරු කාලේ පුරාම යෙහෝවා දෙවියන්ගේ ආදරය සහෝදරයන්ට තදින්ම දැනුණා. ඒ වගේම සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන එකෙන් එයාලා ගොඩක් ප්‍රයෝජන ලැබුවා. මොකද විපතක් එන්න කලින්ම සංවිධානයෙන් අපිව ඒකට සූදානම් කළා. උදාහරණෙකට අපිට මඟ පෙන්වීම් ලැබුණා සති කීපයකට අවශ්‍ය කෑම බීම, වතුර ලෑස්ති කරගන්න කියලා. ඒ ලැබුණ මඟ පෙන්වීම ගැන කිවිව්වල වැඩිමහල්ලෙක් වන සහෝදර ඇන්ටන් මෙහෙම කිව්වා. ‘මේ අමාරු කාලෙට මුහුණ දෙන්න සංවිධානයෙන් අපිව කලින්ම සූදානම් කළා. ඒ ගැන අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. කලින්ම කෑම බීම, වතුර ලෑස්ති කරගෙන හිටපු නිසා, රේඩියෝ එකක් ළඟ තියාගත්ත නිසා අපේ ජීවිත බේරුණා.’ දුන්න මඟ පෙන්වීම්වලට කීකරු වුණ එක ගැන අපි සහෝදරයන්ව ගොඩක් අගය කරනවා. මොකද ශාඛා කාර්යාලයෙන් එයාලට සහනාධාර දෙන කල් ජීවත් වෙන්න අවශ්‍ය දේවල් එයාලා ගාව තිබුණා.”
මේ සහනාධාර ලැබෙද්දී යුක්රේනයේ ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට කොහොමද දැනුණේ කියලා අපි එයාලගෙන් ටිකක් අහලා බලමුද? කාර්කිව්වල ඉන්න මයිකෝලා සහ සිනයිඩා මෙහෙම කියනවා. “ඔයාලගේ ආදරේ, සැලකිල්ල අපේ හිතට හුඟක් දැනුණා. මේ කෑමවලට, බෙහෙත්වලට ඔයාලට ගොඩක් ස්තුතියි. යෙහෝවා දෙවියන් අපිව බලාගන්න ඔයාලව පාවිච්චි කළා.” වැලෙන්ටිනා ඉන්නෙත් කාර්කිව්වලමයි. එයා මෙහෙම කියනවා. “යුද්දේ පටන්ගත්ත කාලේ අවශ්‍ය බඩු ගන්න ලේසි වුණේ නෑ. මිනිස්සු පෝලිම්වල පැය ගාණක් ඉන්නවා. ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නෑ. හැබැයි යෙහෝවා ඒක දැක්කා. අපිට අවශ්‍ය දේවල් ඔහු සහෝදරයෝ මාර්ගයෙන් ගෙදරටම ගෙනල්ලා දුන්නා. ඒ පෙට්ටිවල තිබුණේ අපිට ඕනෙම කරලා තිබුණ දේවල්. මේ වගේ අමාරු දේකට මුහුණ දෙද්දී ලොකු අසරණකමක් දැනෙනවා. මොනාද කරන්නේ කියලා හිතාගන්න බෑ. හැබැයි යෙහෝවා දෙවියන්, ඔහුගේ සංවිධානය අපි ගැන කොච්චර සැලකිලිමත්ද කියලා වෙන කවදාටත් වැඩිය අපි මේ කාලේ අද්දැක්කා. මේ අමාරු කාලේ දෙවියන් අපිව තනි කළේ නෑ. අපිට අවශ්‍යම දේ අවශ්‍යම වෙලාවට දීලා ඔහු අපිව සැනසුවා.”
යෙවේන්, ඉරීනා සහ මිකිටා ජීවත් වෙන්නේ මාරියුපෝල්වල. එයාලා මෙහෙම කියනවා. “අපිව ආදරෙන් බලාගත්තාට ඔයාලට ගොඩක් ස්තුතියි. අපි මුලින් හිතුවේ මේ පෙට්ටිවල තියෙන්නේ අපිට ඕනෙ කරන බඩු විතරයි කියලා. හැබැයි ඇරලා බලද්දී ඒ බඩු අතර ඔයාලගේ ආදරෙත් පැක් කරලා එවලා තිබුණ විදිහ අපි දැක්කා.”
යුද්ධයක් මැද්දේ මෙච්චර දේවල් කරලා අපේ සහෝදරයන්ට සහනයක් ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ යෙහෝවා දෙවිගේ බලය සහ ඔහුගේ මඟ පෙන්වීම් නිසයි. ඒ වගේම ඔයාලා donate.jw.org හරහා ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් දෙන සම්මාදම්වලටත් ඔයාලව ගොඩක් අගය කරන්න කැමතියි. ඔයාලා සතුටු සිතින් කරන ඒ පරිත්‍යාගවලට යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ඔයාලට ආශීර්වාද කරයි!
කඩිනමින්, ආරක්ෂිතව දීපු සහනයක්!
2022 පෙබරවාරි 24: යුක්රේනයේ සහෝදරයන්ට අවශ්‍ය සහනාධාර ලබා දෙන්න සම්බන්ධීකාරකයන්ගේ කමිටුව මුදලක් වෙන් කරයි
2022 පෙබරවාරි 24-මාර්තු 8: යුක්රේනයේ ශාඛා කාර්යාලය ඒ රටේ වෙනත් පැතිවලින් සහෝදරයන්ට අවශ්‍ය දේවල් මිලදී අරන් සහන සේවා කමිටු හරහා ඒවා බෙදාහරින්න පටන්ගනියි. ඒ වගේම පෝලන්තයෙන් ලැබෙන සහනාධාර බෙදාහරින්නත් සැලසුම් කරයි
2022 මාර්තු 9: සම්බන්ධීකාරකයන්ගේ කමිටුව යුක්රේනයේ විපතට පත් වුණ සහෝදරයන්ට අවශ්‍ය දේවල් යවන්න අනුමැතිය දෙයි
2022 මාර්තු 10-12: අත්හදා බැලීමක් විදිහට පෝලන්තයේ ඉඳන් යුක්රේනයේ ලිවිව්වලට අවශ්‍ය බඩු ආරක්ෂිතව යවන්න සැලසුම් කරයි
2022 මාර්තු 13: අත්හදා බැලීමක් විදිහට පෝලන්තයේ ඉඳන් යුක්රේනයේ ලිවිව්වලට බඩු ප්‍රවාහනය කරයි
2022 මාර්තු 14-16: පෝලන්තයේ පොස්නෑන් සමුළු ශාලාවේ ඉඳන් ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් අංශයේ සහෝදරයන් යුක්රේනයේ සහෝදරයන්ට යවන්න අවශ්‍ය බඩු සූදානම් කරයි
2022 මාර්තු 17: අත්හදා බැලීම සාර්ථක වෙලා දවස් හතරකට පස්සේ සහනාධාර මෙට්‍රික් ටොන් 13ක් යුක්රේනයට යවයි
2022 මාර්තු 21-27: කලින් කළා වගේම සහනාධාර පෝලන්තයේදී සූදානම් කරයි. ඊටපස්සේ ඒවා පෝලන්තයේ ඉඳන් යුක්රේනයට ප්‍රවාහනය කරලා පැය 24ක් ඇතුළත අවශ්‍ය පැතිවලට යවයි
2022 මාර්තු 28: අනුමැතිය ලැබිලා දවස් 20කට පස්සේ කෑම බීම, සනීපාරක්ෂක දේවල් සහ බෙහෙත් ඇතුළු සහනාධාර මෙට්‍රික් ටොන් 100ක් යුක්රේනයට යවයි
මේ වෙද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මෙට්‍රික් ටොන් 190කට වඩා වැඩි සහනාධාර ප්‍රමාණයක් යුක්රේනයට යවලා තියෙනවා.