ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
වසංගතය මැද සහන සේවාවලින් සහනයක්!
2021 ජූලි 1
2020 මාර්තු මාසේ කොරෝනා වසංගතය ලෝකේ පුරාම පැතිරීගෙන යන දරුණු වසංගතයක් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනය කළා. වසංගතය අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් තියෙයි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති. මේ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඇතුළු මිලියන ගාණක් සෙනඟ ශාරීරික, මානසික වගේම ආර්ථික ප්‍රශ්නවලිනුත් පීඩා විඳිනවා. මුළු ලෝකෙම මේ විදියට උඩු යටිකුරු වෙලා තියෙන කාලෙක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහන සේවා ලබා දීලා අනිත් අයට සහනයක් වෙලා තියෙන්නේ කොහොමද?
අගහිඟකම් මැද සහනය!
කොරෝනා වසංගතයෙන් බැට කන අපේ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සම්බන්ධීකාරකයන්ගේ කමිටුව පියවර ගත්තා. එයාලගේ මඟ පෙන්වීම යටතේ ලෝකේ පුරාම සහන සේවා කමිටු 950කට වඩා පිහිටුවලා තියෙනවා. සමහර අවස්ථාවලදී සහන සේවා කමිටුවල සහෝදරයෝ සහන සේවා ලබා දෙන්න ඒ ඒ ප්‍රදේශවල ඉන්න සහෝදරයන්ගේ උදව් ගත්තා. තවත් අවස්ථාවලදී රජයෙන් ලබා දෙන උදව් ගන්න එයාලට සිද්ධ වුණා. සහන සේවා කමිටුවල සහෝදරයෝ අපේ සහෝදරයන්ට උදව් කරන්න මහා පරිමාණයෙන් දේවල් සැලසුම් කරපු අවස්ථාත් තිබුණා.
උදාහරණෙකට පැරගුවේවල වුණ සිද්ධියක් බලමු. එහේ එක පුවත්පතක කියලා තිබුණා මේ වසංගතයත් එක්ක ඒ රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් වෙලා තියෙන නිසා “හුඟදෙනෙක් ගෙවල් ඇතුලේ කන්න නැතුව හාමතේ ඉන්නවා” කියලා. හැබැයි අපේ සහෝදරයන්ට එහෙම වුණේ නැහැ. මොකද ඒ වෙද්දී සහන සේවා කමිටුවල සහෝදරයෝ විපතට පත් වෙලා ඉන්න අපේ සහෝදරයන්ට බඩු මලු යවන්න පටන් අරගෙනයි තිබුණේ. ඒ බඩු මල්ලක හතරදෙනෙක්ට සති දෙකකට සෑහෙන්න කෑම බීම, පිරිසිදුව සහ ආරක්ෂිතව ඉන්න උදව් වෙන දේවල් තිබුණා. ඒ බඩු මල්ලක වටිනාකම ඇමරිකානු ඩොලර් 30ක් විතර වුණා.
සහන සේවා ලබා දුන්න සහෝදරයෝ එයාලගෙත් අනිත් අයගෙත් ආරක්ෂාව වෙනුවෙන් ගත්තේ මොන වගේ පියවරද? එයාලා හැම වෙලේම මාස්ක් එකක් දැම්මා, පුද්ගල දුරස්ථභාවය පවත්වගත්තා. ඒ වගේම එයාලා හොයලා බැලුවා බඩු ගන්න ආයතන ආරක්ෂාව ගැන, පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙනවාද කියලා. ඒ ආයතනවල වැඩ කරන සේවකයන් ආරක්ෂාවට අවශ්‍ය දේවල් පළඳිනවාද, බඩු ප්රවාහණය කරන වාහන විෂබීජහරණය කරලා පිරිසිදුව තියාගන්නවාද, බඩු ගබඩා කරන්නේ පිරිසිදු තැන්වලද කියලත් හොයලා බැලුවා. ඒ විතරක් නෙවෙයි අපේ සහෝදරයන්ට මේ බඩු මලු දෙද්දීත් පුද්ගල දුරස්ථභාවය පවත්වගන්න සහෝදරයෝ වගබලා ගත්තා.
සම්මාදම් අරපිරිමැස්මෙන් පාවිච්චි කළා
2021 ජනවාරි වෙද්දී වසංගතය නිසා විපතට පත් වෙලා ඉන්න අපේ සහෝදරයන්ට සහන සේවා සපයන්න ඇමරිකානු ඩොලර් මිලියන 25කටත් වඩා වියදම් කරන්න සම්බන්ධීකාරකයන්ගේ කමිටුවෙන් අනුමැතිය දීලා තිබුණා. ශාඛා කාර්යාලවල සහ සහන සේවා කමිටුවල සහෝදරයෝ සම්මාදම් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න පුළුවන් උපරිමය කරනවා. ඒ නිසා එයාලා හොඳම බඩු අඩුම මිලට ගන්න පුළුවන් විදි ගැන හොයලා බලනවා. උදාහරණෙකට චිලී රටේ වුණු සිද්ධියක් බලන්න. සහන සේවා කමිටුවලට ඕන වුණා අපේ සහෝදරයන්ට දෙන්න පරිප්පු කිලෝ 750ක් ගන්න. හැබැයි ඒ වෙද්දී පරිප්පු කිලෝ එකක මිල කලින් මාසෙට වඩා දෙගුණයකින් වැඩි වෙලයි තිබුණේ. අපේ සහෝදරයෝ ඒ ගාණට පරිප්පු මිල දී ගන්න ආයතනයක් එක්ක කතා කරගත්තා. හැබැයි ඊට පැය දෙකකට පස්සේ ඒ ආයතනයෙන් කතා කරලා කිව්වා එයාලා යවපු ඕඩර් එකක් කැන්සල් වුණ නිසා කලින් මාසේ ගාණටම පරිප්පු දෙන්නම් කියලා.
හැබැයි අපේ සහෝදරයෝ පරිප්පු ගන්න ගියාම එයාලා කිව්වා දෙන්න බැහැ කියලා. මොකද එයාලා හිතුවේ අනිත් සංවිධාන වගේ අපිත් සහන සේවා කටයුතුවල මුවාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න කට්ටියක් කියලා. එතන හිටපු අපේ සහෝදරයෙක් නිහඬව යෙහෝවාට පොඩි යාච්ඤාවක් කරලා විකුණුම්කරුත් එක්ක ඒ ගැන කතා කළා. එයා කිව්වා මේ වෙද්දීත් අපේ සභාවන්වල ඉන්න සහෝදර සහෝදරියන්ගෙන් ඇත්තටම උදව් ඕන කාටද කියලා හොයලා බලලා ඒ ගැන ලැයිස්තුවක් හදලයි තියෙන්නේ කියලා. ඒ වගේම එක එක පවුලේ අවශ්‍යතාවයට අනුව ගැළපෙන විදිහට බඩු මලු හදන්නත් සැලසුම් කරලයි තියෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි මේ වැඩවලට මුදල් ලැබෙන්නේ ස්වේච්ඡා සම්මාදම්වලින් කියලත් සහන සේවා වැඩවලට හවුල් වෙලා ඉන්න අය ඒකට ඉදිරිපත් වෙලා ඉන්නේ ස්වේච්ඡාවෙන් කියලත් අපේ සහෝදරයා එයාට පැහැදිලි කළා. ඒක අහලා එයා පුදුම වුණා. එයා කලින් මාසේ ගාණටම පරිප්පු දෙන්න කැමති වුණා. ඒ විතරක් නෙවෙයි ඊළඟ ඕඩරේදී පරිප්පු කිලෝ 400ක් පරිත්‍යාගයක් විදිහට දෙන්නත් එයා පොරොන්දු වුණා.
“ඒකේ පිරිලා තිබුණේ එයාලගේ ආදරේ”
සහෝදරි ලූසු ලයිබීරියාවේ ජීවත් වෙන මහලු වැන්දඹුවක්. එයාගේ පවුලේ තව පස්දෙනෙක් ඉන්නවා. දවසක් එයාලා වෙනදා වගේම උදේ කෑම කාලා දිනපදය සාකච්ඡා කළා. ඊටපස්සේ අවුරුදු හතක් වයස එයාගේ මුනුපුරා දැක්කා ගෙදර තව කෑම මොකුත්ම ඉතුරු වෙලා නැහැ කියලා. ඉතින් එයා සහෝදරි ලූසුගෙන් ඇහුවා “දැන් අපි මොනවාද කන්නේ” කියලා. එතකොට සහෝදරි ලූසු කිව්වා “මං ඒ ගැන යෙහෝවාට යාච්ඤා කරලා තියෙන්නේ. ඒ නිසා යෙහෝවා අපිට කන්න මොනවා හරි දෙයි” කියලා. එදාම දවල් සභාවේ වැඩිමහල්ලන් සහෝදරි ලූසුට කතා කරලා කිව්වා එයාලට දෙන්න බඩු පෙට්ටියක් තියෙනවා, ඒක ගන්න එන්න කියලා. සහෝදරි ඒ ගැන මෙහෙම කියනවා. “යෙහෝවා මගේ යාච්ඤාවට උත්තර දුන්න විදිහ මගේ මුනුපුරා දැක්කා. එයා මගේ ළඟට ඇවිත් කිව්වා ‘ආච්චි අම්මේ, මං දැන් දන්නවා යෙහෝවා අපේ යාච්ඤා අහලා අපිට උත්තර දෙනවා කියලා.’”
සහන සේවා වැඩවලට හවුල් වුණු සහෝදරයන්ට ස්තුති කරලා කොංගෝවල දුවලා පුතාලා ඇඳපු චිත්‍ර
කොංගෝවල අපේ සහෝදරියකගේ ගෙදරට එහා පැත්තේ ගෙදර එක කාන්තාවක් හිටියා. දවසක් එයා දැක්කා අපේ සහෝදරයෝ මේ සහෝදරියට අවශ්‍ය බඩු ගෙනත් දෙනවා. ඒ කාන්තාව කිව්වා “වසංගතයෙන් පස්සේ අපිත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ වෙනවා. මොකද මේ වගේ අමාරු කාලෙක වුණත් එයාලා අනිත් අය ගැන ගොඩක් හොයලා බලනවා” කියලා. එතකොට එයාගේ මහත්තයා ඇහුවා “ඔයා මේ හාල් මල්ලකටද සාක්ෂිකරුවෙක් වෙන්න හදන්නේ” කියලා. එතකොට මේ කාන්තාව කිව්ව දේ බලන්න. “ඒක නිකම්ම හාල් මල්ලක් නෙමෙයි. ඒකේ පිරිලා තිබුණේ එයාලගේ ආදරේ.”
මේ වසංගතය නිසා පීඩා විඳින අපේ සහෝදර සහෝදරියන්ට අවශ්‍යම වෙලාවේදී සහන සේවා සපයන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔයාලා කැමැත්තෙන්ම දෙන සම්මාදම් නිසයි. donate.jw.org වෙබ් අඩවිය හරහා විවිධ විදිවලින් ඔයාලා මුළු හදවතින්ම දෙන සම්මාදම්වලට ගොඩක් ස්තුතියි.