ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fy 10 පරි. 116-127 පි.
  • පවුලේ සාමාජිකයෙකු අසනීපයෙන් සිටින විට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සාමාජිකයෙකු අසනීපයෙන් සිටින විට
  • පවුලේ සන්තෝෂයට රහස
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔබට ඒ ගැන හැඟෙන්නේ කෙසේද?
  • සුවවීමේ ආත්මයක්
  • ප්‍රමුඛතා තබාගැනීම
  • දරුවන්ට උපකාර කිරීම
  • වෛද්‍ය ප්‍රතිකාර සැලකිය යුතු අයුරු
  • යක්ෂයා අපව රෝගාතුර කරනවාද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සියලු රෝගවලට නිමාවක්!
    2007 පිබිදෙව්!
  • විඳදරාගනිමින් දෙවිට විශ්වාසවන්තව සිටි යෝබ්
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නිරෝගීකම සැමගේ පැතුමයි!
    2007 පිබිදෙව්!
තව තොරතුරු
පවුලේ සන්තෝෂයට රහස
fy 10 පරි. 116-127 පි.

10වෙනි පරිච්ඡේදය

පවුලේ සාමාජිකයෙකු අසනීපයෙන් සිටින විට

1, 2. යෝබ්ගේ අඛණ්ඩතාව බිඳීම සඳහා වෑයම් කිරීමට සාතන් ඛේදවාචකයන් හා අසනීප යොදාගත්තේ කෙසේද?

යෝබ් නම් මිනිසා සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගත කළ අය අතරෙහිලා ගැනුණ බවට නිසැකය. බයිබලය ඔහුව හඳුන්වන්නේ, “නැගෙනඉර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව” සිටි තැනැත්තා වශයෙනි. පුත්‍රයන් සත්දෙනෙකුද, දියණියන් තුන්දෙනෙකුද බැගින් ඔහුට දරුවන් දසදෙනෙකු සිටියේය. තම පවුලට අවශ්‍ය සියල්ල සැපයීමට ඔහුට ධනසම්පත්ද තිබිණ. ඊටත් වඩා වැදගත් ලෙස, ඔහු ආත්මික වැඩකටයුතුවලදී මූලිකත්වය දැරූ අතර, යෙහෝවඃවහන්සේ ඉදිරියේ තම දරුවන්ගේ ස්ථාවරය පිළිබඳව ඔහු සැලකිලිමත් වූයේය. මේ සියල්ල සමීප, සන්තෝෂවත් පවුල් බැඳීම්වලට දායක විය.—යෝබ් 1:1-5.

2 යෝබ්ගේ තත්වය, යෙහෝවඃ දෙවියන්වහන්සේගේ පරම සතුරා වන සාතන්ගේ අවධානයට හසු නොවී නොතිබිණ. දෙවියන්වහන්සේගේ සේවකයන්ගේ අඛණ්ඩතාව බිඳීමට නිරතුරුව මං සොයන සාතන්, යෝබ්ගේ සන්තෝෂවත් පවුල විනාශ කර දැමීම මගින් ඔහුට පහර දුන්නේය. අනතුරුව, ඔහු “යෝබ්ගේ පතුල පටන් ඔහුගේ හිස් මුදුන දක්වා නපුරු ගඩු හටගැන්වීමෙන් ඔහුට පහරදුන්නේය.” මෙලෙස සාතන් යෝබ්ගේ අඛණ්ඩතාව බිඳීම සඳහා ඛේදවාචකයන් හා අසනීප යොදාගැනීමට බලාපොරොත්තු වූයේය.—යෝබ් 2:6, 7.

3. යෝබ්ගේ රෝගයේ රෝග ලක්ෂණ කුමක් වීද?

3 යෝබ්ගේ රෝගය ගැන බයිබලයෙහි වෛද්‍යමය විග්‍රහයක් දෙන්නේ නැත. එහෙත්, එය රෝග ලක්ෂණ ගැන පවසයි. ඔහුගේ මාංසය පණුවන්ගෙන් වැසී තිබුණු අතර, ඔහුගේ සම මත කබොලු හටගෙන, කුණු වෙන්ට පටන්ගත්තේය. යෝබ්ගේ මුඛයෙන් දුගඳක්ද, ශරීරයෙන් අප්‍රසන්න ගඳක්ද වහනය විය. ඔහු අධික වේදනාවෙන් පෙළිණ. (යෝබ් 7:5; 19:17; 30:17, 30) යෝබ් මහත් වේදනාවෙන් අළු ගොඩේ හිඳගත් අතර, වළං කැබිලිත්තකින් ඇඟ කසාගත්තේය. (යෝබ් 2:8, නව අනුවාදය) සැබවින්ම කනගාටුදායක දසුනකි!

4. කලින් කලට සෑම පවුලක්ම අද්දකින්නේ කුමක්ද?

4 ඔබ එවැනි දරුණු රෝගයකින් විපතට පත් වූවා නම්, ප්‍රතික්‍රියා කරනු ඇත්තේ කෙසේද? යෝබ්ට කළාක් මෙන් අදදින, සාතන් දෙවියන්වහන්සේගේ සේවකයන්ට අසනීපවලින් පහර දෙන්නේ නැත. එහෙත්, මිනිස් අසම්පූර්ණකම, දෛනික ජීවිතයේ පීඩන හා අප ජීවත් වන පිරිහෙන වාතාවරණය හේතුකොටගෙන, විටින් විට පවුලේ සාමාජිකයන් අසනීප වේවි කියා අපේක්ෂා කළ යුතුය. අප පූර්වෝපායන් ගත්තද, අපි සියලුදෙනාම අසනීපවලට ගොදුරු විය හැකි තත්වයක සිටින්නෙමු, එනමුත් යෝබ් දුක් වින්ද තරමටම අපෙන් වැඩිදෙනෙකු දුක් නොවිඳින තරම්ය. අපගේ පවුල අසනීපවලින් පහර ලබන විට, එය ඇත්තෙන්ම අභියෝගයක් විය හැක. එසේනම්, මිනිස්වර්ගයාගේ මෙම බලපවත්වන සතුරා සමඟ පොරබැදීමට බයිබලය අපට උපකාර කරන අන්දම අපි බලමු.—දේශනාකාරයා 9:11; 2 තිමෝති 3:16.

ඔබට ඒ ගැන හැඟෙන්නේ කෙසේද?

5. තාවකාලික අසනීප අවස්ථාවලදී පවුලේ සාමාජිකයන් සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද?

5 මොනයම් හේතුවකින් හෝ සාමාන්‍ය ජීවිතයට බාධා පැමිණීම සැමවිටම කටුකය, එමෙන්ම බාධාව පැමිණෙන්නේ දිගු-කාලීන රෝගයක් හේතුවෙන් නම්, මෙය විශේෂයෙන්ම සැබෑය. කෙටි-කාලීන රෝගයකදී පවා යම් සකස්වීම්, ඒත්තුගැනීම් හා පරිත්‍යාගයන් කිරීමට සිදු වේ. අසනීප තැනැත්තාට විවේක ගැනීමට ඉඩහැරීම සඳහා සුවෙන් සිටින පවුල් සාමාජිකයන්ට නිහඬව සිටීමට සිදු විය හැක. ඔවුන්ට යම් ක්‍රියාකාරකම්වලින් වැළකී සිටීමට සිදු විය හැක. කෙසේවුවත්, බොහෝ පවුල්වල බාල දරුවන්ට කල්පනාවෙන් කටයුතු කිරීමට කියා ඉඳහිට සිහිගැන්වීමට සිදු විය හැකි වුවත්, ඔවුහු පවා අසනීපයෙන් සිටින සහෝදරයෙකුට හෝ දෙමාපියෙකුට දයානුකම්පාව දක්වති. (කොලොස්සි 3:12) තාවකාලික අසනීපය සම්බන්ධයෙන් බලද්දී, සාමාන්‍යයෙන්ම අවශ්‍ය දේ කිරීමට පවුලේ අය සූදානම්ව සිටිති. ඊට අමතරව, පවුලේ සෑම සාමාජිකයෙකුම, තමා අසනීප වුවහොත් එසේම සලකයි කියා බලාපොරොත්තු වෙයි.—මතෙව් 7:12.

6. පවුලේ සාමාජිකයෙකු දරුණු, දිගුකල් පවතින රෝගයකින් පෙළෙන්නේ නම්, ඇතැම්විට දක්නට ඇත්තේ කුමන ප්‍රතික්‍රියාද?

6 එහෙත්, අසනීපය ඉතා දරුණු නම්, එමෙන්ම ඉන් සිදු වන හානි ප්‍රබල හා දිගුකල් පවතින ඒවා නම් කුමක් කිව හැකිද? උදාහරණයක් වශයෙන්, පවුලේ සාමාජිකයෙකු අංශභාග වී, ඇල්ෂයිමිර් රෝගයෙන් ආබාධිතව හෝ වෙනයම් රෝගයකින් බෙලහීනව සිටිනවා නම් කුමක් කිව හැකිද? නැතහොත් පවුලේ සාමාජිකයෙකු භින්නෝන්මාදය වැනි මානසික රෝගයකින් විපතට පත්ව සිටිනවා නම් කුමක් කිව හැකිද? මුලින්ම ඇති වන පොදු ප්‍රතික්‍රියාවක් වන්නේ අනුකම්පාව—එනම් ප්‍රේමනීය තැනැත්තෙකු එතරම් දුක් විඳීම ගැන කනගාටුවකි. කෙසේවුවද, අනුකම්පාව සමඟම වෙනත් ප්‍රතික්‍රියා ඇති විය හැක. එක් තැනැත්තෙකුගේ අසනීපය හේතුවෙන් තමන්ට ඉමහත් බලපෑමක් සිදු වී, තම නිදහස සීමා වී ඇතැයි පවුලේ සාමාජිකයන්ට දැනෙන විට, ඔවුන් තුළ නුරුස්නා හැඟීමක් ඇති විය හැක. ඔවුන් මෙසේ කල්පනා කළ හැක: “මට මෙය සිදු වන්නේ ඇයි?”

7. යෝබ්ගේ භාර්යාව ඔහුගේ අසනීපය සම්බන්ධව ප්‍රතික්‍රියා කළේ කෙසේද, තවද ඇයට පැහැදිලිවම අමතක වූයේ කුමක්ද?

7 යෝබ්ගේ භාර්යාවගේ මනසෙහිද එවැනිම අදහසක් පහළ වූ බව පෙනෙන්ට තිබේ. ඒ වන විට ඇගේ දරුවන් අහිමිවීම ඇය අද්දැක තිබුණු බව මතක තබාගන්න. එම දුක්ඛදායක සිද්ධීන් සිදු වූ විට, ඇයට ක්‍රම ක්‍රමයෙන් දැඩි ශෝකයක් දැනුණු බවට නිසැකය. අවසානයේදී, කලක ක්‍රියාශීලීව, ශක්තිමත්ව සිටි තම ස්වාමිපුරුෂයා වේදනාකාරි, අප්‍රසන්න රෝගයකින් පෙළෙන බව දුටු විට, සියලු ඛේදවාචකයන් අබිබවා පැවති වැදගත් සාධකය—එනම් ඇය හා ඇගේ ස්වාමිපුරුෂයා දෙවියන්වහන්සේ සමඟ තිබුණු සබඳතාව සම්බන්ධයෙන් ඇයට අමතක වී ගිය බවක් දක්නට තිබේ. බයිබලය මෙසේ පවසයි: “එවිට [යෝබ්ගේ] භාර්යාව: නුඹේ අවංකකම තවම පවත්වාගන ඉන්නවාද? දෙවියන්වහන්සේ අත්හැරදමා මැරෙවයි කීවාය.”—යෝබ් 2:9.

8. පවුලේ සාමාජිකයෙකු බෙහෙවින් අසනීපව සිටින විට, පවුලේ අනික් සාමාජිකයන්ට සුදුසු දෘෂ්ටිකෝණයක් තබාගැනීමට උපකාර වනු ඇති ශුද්ධ ලියවිලි පාඨය කුමක්ද?

8 වෙනත් කෙනෙකුගේ අසනීපයක් හේතුවෙන් තම ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වූ විට බොහෝදෙනාට කලකිරීමක්, කෝපයක් පවා දැනිය හැක. එහෙත්, ක්‍රිස්තියානියෙකු තත්වය පිළිබඳ හේතු විමසා බලා, අවසානයේදී තම ප්‍රේමයේ අව්‍යාජබව දැක්වීමට මෙය තමාට ප්‍රස්තාවක් සපයන බව වටහාගත යුතුය. සැබෑ ප්‍රේමය “බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; . . . [එමෙන්ම] තමාගේම කාරණා සොයන්නේ නැත, . . . සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය.” (1 කොරින්ති 13:4-7) එමනිසා, නිෂේධාත්මක හැඟීම් බලපැවැත්වීමට ඉඩහරිනවා වෙනුවට, ඒවා පාලනය කිරීම සඳහා අප අපගේ උපරිමය කිරීම අත්‍යවශ්‍යය.—හිතෝපදේශ 3:21.

9. සාමාජිකයෙකු දරුණු ලෙස රෝගීව සිටින විට, පවුලකට ආත්මිකව හා චිත්තවේගීයව උපකාර කරනු ලැබිය හැක්කේ කුමන සහතික කිරීම් මගින්ද?

9 පවුලක සාමාජිකයෙකු දරුණු ලෙස රෝගීව සිටින විට, පවුලේ ආත්මික හා චිත්තවේගීය ශුභසිද්ධිය ආරක්ෂා කිරීමට කුමක් කළ හැකිද? එක් එක් රෝගයට ඊටම ආවේනික විශේෂ සාත්තුව හා ප්‍රතිකාරය දිය යුතු බවට නිසැකය, එමෙන්ම මෙම ප්‍රකාශනයෙහි යම් වෛද්‍යමය හෝ නිවසේදී කරන සාත්තුවක් නිර්දේශ කිරීම සුදුසු නොවනු ඇත. කෙසේනමුත්, ආත්මික ආකාරයකින් යෙහෝවඃවහන්සේ “නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවනසේක.” (ගීතාවලිය 145:14) දාවිත් රජ මෙසේ ලීවේය: “දිළින්දා සලකන්නා ආශීර්වාදලද්දේය. විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ ඔහු මුදනසේක. ස්වාමීන්වහන්සේ ඔහු රක්ෂාකරනසේක, ඔහුගේ දිවි රක්නාසේක, . . . ස්වාමීන්වහන්සේ ඔහු ගිලන්ව ඔත් යහනේදී උසුලනසේක.” (ගීතාවලිය 41:1-3) ස්වකීය සේවකයන් දරන්ට නොහැකි තරමටම චිත්තවේගීයව පීඩා විඳින විට පවා, යෙහෝවඃවහන්සේ ඔවුන්ව ආත්මික වශයෙන් ප්‍රාණවත්ව තබනසේක. (2 කොරින්ති 4:7) බොහෝ පවුල් සාමාජිකයන් තම පවුල තුළ දරුණු අසනීපයකට මුහුණ දෙන විට, ගීතිකාකරුගේ වචන ප්‍රතිරාවය කර ඇත: “මම බොහෝසේ පීඩිතයෙමි. ස්වාමිනි, ඔබගේ වචනය ප්‍රකාර මා ප්‍රාණවත්කළ මැනව.”—ගීතාවලිය 119:107.

සුවවීමේ ආත්මයක්

10, 11. (අ) පවුලකට අසනීපයක් හා පොරබදන්ට සිදු වුවහොත් වැදගත් වන්නේ කුමක්ද? (ආ) එක් ස්ත්‍රියක්, ඇගේ ස්වාමිපුරුෂයාගේ අසනීපය සමඟ සාර්ථකව කටයුතු කළේ කෙසේද?

10 “මනුෂ්‍යයෙකුගේ ආත්මය තමාගේම දුක උසුලන්නේය” යි බයිබල් හිතෝපදේශයක් පවසයි, “එහෙත් බිඳුණු ආත්මය දරන්ට පුළුවන් කාටද?” (හිතෝපදේශ 18:14) පවුලක මෙන්ම ‘මනුෂ්‍යයෙකුගේද ආත්මය’ පෙළන්ට දුක්ඛදායක තත්වයට හැක. එහෙත්, “මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය.” (හිතෝපදේශ 14:30) පවුලක් දරුණු අසනීපයක් සමඟ සාර්ථකව කටයුතු කරනවාද, නැද්ද යන්න විශාල වශයෙන් රඳාපවතින්නේ, එහි සාමාජිකයන්ගේ ආකල්පය හෝ ස්වභාවය මතය.—හිතෝපදේශ 17:22 සසඳන්න.

11 විවාහ වීමෙන් අවුරුදු හයකට පසු, තම ස්වාමිපුරුෂයා ආඝාතයකින් පහර ලැබූ ආකාරය දැකීම දරාගන්ට එක් ක්‍රිස්තියානි ස්ත්‍රියකට සිදු විය. “මගේ ස්වාමිපුරුෂයාගේ කතා කිරීමේ හැකියාවට එය දරුණු ලෙස බලපෑ අතර, ඔහු සම්පූර්ණයෙන්ම පාහේ කතා කිරීමට නොහැකි තත්වයට පත් වුණා,” යයි ඈ සිහිපත් කළාය. “ඔහු කියන්ට අරඅඳින දෙය තේරුම්ගැනීමට වෑයම් කිරීම ඉතා බලවත් මානසික වෙහෙසක් වුණා.” ස්වාමිපුරුෂයා අද්දකින්ට ඇති වේදනාව හා අපේක්ෂාභංගත්වය ගැනද කල්පනා කර බලන්න. යුවළ කළේ කුමක්ද? ඔවුන් ජීවත් වූයේ ක්‍රිස්තියානි සභාවෙන් ඉතා ඈතක වුවත්, සංවිධානයේ අලුත්ම තොරතුරු මෙන්ම මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල නිරතුරුවම සැපයෙන ආත්මික ආහාර නොකඩවා ලබමින් ආත්මිකව ශක්තිමත්ව සිටීමට සහෝදරිය ඇගේ උපරිමය කළාය. මෙය වසර හතරකට පසු, ඇගේ දයාබර ස්වාමිපුරුෂයා මියයන තෙක්ම ඔහුට සාත්තු කිරීමට ඇයට ආත්මික ශක්තිය දුන්නේය.

12. යෝබ්ගේ අද්දැකීමෙන් දකින පරිදි, ඇතැම්විට කවර ආකාරයකින් දායක වීමට අසනීප තැනැත්තාට හැකිද?

12 යෝබ්ගේ අවස්ථාව සම්බන්ධව ගත් කල, විපතට පත්ව සිටි ඔහුම ශක්තිමත්ව සිටියේය. “අපි දෙවියන්වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේදැයි” ඔහු සිය භාර්යාවගෙන් ඇසුවේය. (යෝබ් 2:10) යෝබ් ඉවසීමේ හා දරාගැනීමේ විශිෂ්ට ආදර්ශයක් බවට ශ්‍රාවක යාකොබ් පසුව සඳහන් කිරීම පුදුමයක් නොවේ! යාකොබ් 5:11හි අපි මෙසේ කියවමු: “යෝබ්ගේ ඉවසීම ගැන නුඹලා අසා තිබේ, ස්වාමීන්වහන්සේගේ තීරණයද නුඹලා දුටුවහුය, ස්වාමීන්වහන්සේ බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය.” එලෙසම අදදින, පවුලේ අසනීපව සිටින සාමාජිකයාගේ ධෛර්යවත් ආකල්පය බොහෝ අවස්ථාවලදී, පවුලේ අනිත් අයට ඒකාන්ත බලාපොරොත්තුවක් පවත්වාගැනීමට උපකාර කර ඇත.

13. දරුණු අසනීපයක් අද්දකින පවුලක් නොකළ යුත්තේ කුමන සැසඳීමද?

13 පවුලේ සාමාජිකයන්ට මුලින්ම යථාර්ථයට මුහුණ දීමේ අසීරු කාලයක් තිබීම අසාමාන්‍ය නොවන බවට, පවුලේ අසනීපය සමඟ කටයුතු කිරීමට සිදු වූ වැඩිදෙනෙක් එකඟ වෙති. කෙනෙකු තත්වය දෙස බලන ආකාරය අතිශයින් වැදගත් බව ඔවුහුද ගෙනහැර දක්වති. මුලදී ගෙදර දොරේ වැඩකටයුතුවල වෙනස්වීම් හා සකස්වීම් දුෂ්කර විය හැක. එහෙත් පුද්ගලයෙකු සැබවින්ම වෑයමක් දරනවා නම්, ඔහුට නව තත්වයට අනුව හැඩගැසිය හැක. එසේ කිරීමේදී, අසනීපව නොසිටින වෙනත් පවුල්වල අයගේ ජීවිත වඩාත් පහසු බවත්, තවද ‘එය සාධාරණ නැති’ බවත් සිතමින් අපගේ තත්වයන් ඔවුන්ගේ තත්වයන් සමඟ සැසඳීමෙන් අප වැළකීම වැදගත්ය. ඇත්තෙන්ම, අනික් අයට දරන්ට සිදුව ඇත්තේ කුමන කරදරදැයි ඇත්තෙන්ම කවරෙකුවත් දන්නේ නැත. යේසුස්වහන්සේගේ මෙම වචනවලින් සියලු ක්‍රිස්තියානීහු සැනසීම ලබති: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි.”—මතෙව් 11:28.

ප්‍රමුඛතා තබාගැනීම

14. සුදුසු ප්‍රමුඛතාවන් තැබිය හැක්කේ කෙසේද?

14 දරුණු අසනීපයක් අභියස, මෙම දේවානුභාවය ලද වචන මතක තබාගැනීම පවුලකට ප්‍රයෝජනවත් වනු ඇත: “බොහෝ මන්ත්‍රීන් කරණකොටගෙන ඒවා ස්ථිරවන්නේය.” (හිතෝපදේශ 15:22) පවුලේ සාමාජිකයන්ට එකතු වී අසනීපය මගින් සිදු කර ඇති තත්වය ගැන සාකච්ඡා කළ හැකිද? යාච්ඤාපූර්වකව එසේ කිරීමත්, මඟ පෙන්වීම සඳහා දේවවචනය වෙත හැරීමත් ඇත්තෙන්ම යෝග්‍ය වනු ඇත. (ගීතාවලිය 25:4) එවැනි සාකච්ඡාවකදී සලකා බැලිය යුත්තේ කුමක්ද? ඇත්තෙන්ම, වෛද්‍යමය, මූල්‍යමය හා පවුලේ තීරණ ගැනීමට තිබේ. මූලික සාත්තු සපයනු ඇත්තේ කවරෙක්ද? එම සාත්තු සඳහා සහයවීමට පවුලේ අයට සහයෝගයෙන් කටයුතු කළ හැක්කේ කෙසේද? යොදා ඇති විධිවිධාන පවුලේ එක් එක් සාමාජිකයාට බලපානු ඇත්තේ කෙසේද? මූලික සාත්තුකරන්නාගේ ආත්මික හා වෙනත් අවශ්‍යතා ගැන බලාගනු ඇත්තේ කෙසේද?

15. දරුණු අසනීපයක් අද්දකින පවුල් සඳහා යෙහෝවඃවහන්සේ සපයන්නේ කුමන උපකාරයද?

15 යෙහෝවඃවහන්සේගේ මඟ පෙන්වීම සඳහා උනන්දුවෙන් යාච්ඤා කිරීම, උන්වහන්සේගේ වචනය මත මෙනෙහි කිරීම හා බයිබලය මගින් දක්වා ඇති මාර්ගය නිර්භීතව අනුගමනය කිරීම, බොහෝවිට අපගේ අපේක්ෂාවන් ඉක්මවා ආශීර්වාද ලැබීමට සලස්වා ඇත. රෝගීව සිටින පවුල් සාමාජිකයෙකුගේ රෝගය සැමවිටම යටපත් වීම, සැමවිටම සිදු නොවන්ට පුළුවන. එහෙත් ඕනෑම අවස්ථාවකදී යෙහෝවඃවහන්සේ මත රඳාසිටීම සැමවිටම හොඳම ප්‍රතිඵල ලැබීමට මඟ පාදයි. (ගීතාවලිය 55:22) ගීතිකාකරු මෙසේ ලීවේය: “ඔබගේ කරුණාව මා ඉසිලීය. මා තුළ මාගේ සිතිවිලි බොහෝවූ කල, ඔබගේ සැනසීම මාගේ ආත්මයට සැප දෙයි.”—ගීතාවලිය 94:18, 19; තවද ගීතාවලිය 63:6-8ද බලන්න.

දරුවන්ට උපකාර කිරීම

16, 17. බාල දරුවන් සමඟ සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ අසනීපය ගැන සාකච්ඡා කරන විට, කුමන කරුණු දැක්විය හැකිද?

16 පවුලේ දරුවන්ට ගැටලු ඇති කිරීමට දරුණු අසනීපවලට හැක. පැනනැඟී ඇති අවශ්‍යතාද, උපකාර කිරීම සඳහා ඔවුන්ට කළ හැකි දේද තේරුම්ගැනීමට දෙමාපියන් දරුවන්ට උපකාර කිරීම වැදගත්ය. රෝගී වී සිටින්නේ දරුවෙකු නම්, රෝගී තැනැත්තාට ලැබෙන අතිරේක අවධානය හා සැලකිල්ල, අනික් දරුවන්ට අඩු ආදරයක් දැක්වීමක් අදහස් නොකරන බව තේරුම්ගැනීමට සහෝදර සහෝදරියන්ට උපකාර කළ යුතුය. අමනාපය හා තරඟකාරිත්වය ඇතිවීමට ඉඩහරිනවාට වඩා, එකිනෙකා සමඟ කිට්ටු බැඳීමක් හා අසනීප මගින් ඇති කර තිබෙන තත්වය හැසිරවීමේදී ඔවුන් සහයෝගිතාව දක්වන විට අවංක ආදරයක් ඇති කරගනු වස්, අනික් දරුවන්ට උපකාර කිරීමට දෙමාපියන්ට හැක.

17 වෛද්‍ය තත්වයන් ගැන දීර්ඝ මෙන්ම පැටලිලි සහිත පැහැදිලි කිරීම්වලට වඩා, ඉතා ඉක්මනින් බාල දරුවන් තම හැඟීම්වලට බලපාන අන්දමින් කරන තර්කවලට සාමාන්‍යයෙන්ම වැඩියෙන් ප්‍රතිචාරය දක්වනු ඇත. එබැවින් පවුලේ අසනීප සාමාජිකයා අත්විඳින දේ ගැන ඔවුන් වෙත යම් අදහසක් ඉදිරිපත් කළ හැක. තමන් සාමාන්‍යයෙන් කරන බොහෝ දේ කිරීමට නොහැකි වන සේ රෝගී තත්වය අසනීප තැනැත්තාව වළක්වන අයුරු සුවෙන් සිටින දරුවන් දකිනවා නම්, ඔවුන් “සහෝදර ස්නේහය” හා “අනුකම්පාව” වැඩියෙන් දැක්වීමට වැඩි ඉඩ කඩ තිබේ.—1 පේතෘස් 3:8.

18. අසනීපය මගින් සිදු කෙරෙන ගැටලු තේරුම්ගැනීමට වයසින් වැඩි දරුවන්ට උපකාර කළ හැක්කේ කෙසේද, එමෙන්ම මෙය ඔවුන්ට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද?

18 අසීරු තත්වයක් තිබෙන බවත්, එයට පවුලේ සෑම කෙනෙකුගේම පරිත්‍යාගයන් අවශ්‍ය වන බවත් වටහාගැනීමට වයසින් වැඩි දරුවන්ට උපකාර කළ යුතුය. වෛද්‍ය ගාස්තු සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙවීම් කිරීමට ඇති බැවින්, පෙර පරිදි අනික් දරුවන් සඳහා දේවල් සැපයීමට දෙමාපියන්ට ඇතැම්විට නුපුළුවන. දරුවන්ට අමනාපයක් මෙන්ම ඔවුන්ට යමක් නොදී සිටින බවට හැඟීමක් ඇතිවනු ඇද්ද? නැතහොත් ඔවුන් තත්වය තේරුම්ගෙන, අවශ්‍ය කරන පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වනු ඇද්ද? කාරණය ගැන සාකච්ඡා කරන ආකාරයත්, පවුල තුළ උපදවනු ලබන ස්වභාවයත් මත බොහෝ දේ රඳා පවතියි. ඇත්තෙන්ම, “පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා. නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් බලාපල්ලා” යන පාවුල්ගේ උපදෙස අනුගමනය කිරීමට දරුවන්ව පුහුණු කිරීමේදී, බොහෝ පවුල්වල පවුල් සාමාජිකයෙකුගේ අසනීපය එයට ඉවහල් වී තිබේ.—පිලිප්පි 2:3, 4.

වෛද්‍ය ප්‍රතිකාර සැලකිය යුතු අයුරු

19, 20. (අ) පවුලේ සාමාජිකයෙකු අසනීපව සිටින විට, පවුල් මූලිකයන් උසුලන වගකීම් මොනවාද? (ආ) වෛද්‍ය පෙළ පොතක් නොවුවත්, අසනීපය සමඟ කටයුතු කරන විට බයිබලය මඟ පෙන්වීම දෙන්නේ කුමන ආකාරයෙන්ද?

19 වෛද්‍ය ප්‍රතිකාර දේවනීතියට පටහැනි නොවන තාක් කල් සමබරව ක්‍රියා කරන ක්‍රිස්තියානීහු එයට විරෝධය පළ නොකරති. ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකු රෝගී වන විට, රෝගී තැනැත්තාව වේදනාවෙන් මුදාගැනීම සඳහා උපකාර පැතීමට ඔවුහු උත්සුක වෙති. එහෙත්, වෛද්‍යවරුන්ගේ කිරා මැන බැලිය යුතු, පටහැනි මත තිබිය හැක. ඊට අමතරව, මෑත වර්ෂවලදී නොසිතූ විරූ අන්දමින් අලුත් රෝග හා අක්‍රමිකතා හටගෙන ඇති අතර, මේවායින් වැඩි කොටසකට පොදුවේ පිළිගත් ප්‍රතිකාර ක්‍රමයක් නොමැත. ඇතැම්විට නිවැරදි රෝග විනිශ්චයන් පවා ලබාගැනීම අසීරුය. එසේනම්, ක්‍රිස්තියානියෙකු කළ යුත්තේ කුමක්ද?

20 එක් බයිබල් ලේඛකයෙක් වෛද්‍යවරයෙකු වුවත්, ප්‍රේරිත පාවුල් තම මිත්‍ර තිමෝතිට උපකාරවත් වෛද්‍ය උපදෙස් සැපයුවා වුවත්, ශුද්ධ ලියවිලි සදාචාරමය සහ ආත්මික මඟ පෙන්වීමක් මිසක, වෛද්‍ය පෙළ පොතක් නොවේ. (කොලොස්සි 4:14; 1 තිමෝති 5:23) මෙබැවින්, වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධ කාරණාවලදී, ක්‍රිස්තියානි පවුල් මූලිකයන්ට තමන්ගේම සමබර තීරණ ගැනීමට සිදු වේ. තමන් එක් වෛද්‍යමය මතයකට වඩා වැඩියෙන් දැනගත යුතුයයි සමහරවිට ඔවුන්ට හැඟිය හැක. (හිතෝපදේශ 18:17 සසඳන්න.) තම අසනීප පවුල් සාමාජිකයා වෙනුවෙන් උපරිමයෙන් උපකාරය දීමට ඔවුන්ට ඇත්තෙන්ම වුවමනා වනු ඇති අතර, වැඩිදෙනෙකු මෙය සොයන්නේ සාමාන්‍ය වෛද්‍යවරුන් අතරින්ය. ඇතමෙකුට විකල්ප සෞඛ්‍ය ප්‍රතිකාරවලින් වැඩි සහනයක් දැනේ. මෙයද පෞද්ගලික තීරණයකි. එහෙත්, සෞඛ්‍ය ගැටලු සමඟ කටයුතු කරන විට, ක්‍රිස්තියානීහු ‘දේවවචනය තම පාදයන්ට පහනක් වීමටත්, තම මාවතට එළියක් වීමටත්’ ඉඩහැරීමෙන් නොවැළකෙති. (ගීතාවලිය 119:105) ඔවුහු නොකඩවාම බයිබලයේ පිහිටුවා ඇති මාර්ගදර්ශක අනුගමනය කරති. (යෙසායා 55:8, 9) මෙලෙස, සුළු වශයෙන් හෝ ආත්මබන්ධනයට සම්බන්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමවලින් වැළකී සිටින ඔවුහු, බයිබල් ප්‍රතිපත්ති උල්ලංගනය කරන ප්‍රතිකාරවලින්ද වැළකී සිටිති.—ගීතාවලිය 36:9; ක්‍රියා 15:28, 29; එළිදරව් 21:8.

21, 22. බයිබල් ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් එක් ආසියානු ස්ත්‍රියක් තර්ක කළේ කෙසේද, තවද ඇගේ තත්වයේදී ඇය ගත් තීරණය හරි බව ඔප්පු වූයේ කෙසේද?

21 ආසියානු යෞවන ස්ත්‍රියකගේ අද්දැකීම සලකා බලන්න. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු සමඟ පාඩම් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඈ බයිබලය ඉගෙනීමට පටන්ගත්තාය, ඉන් කෙටි කලකට පසු, ඈ අඩු මාසයෙන් ග්‍රෑම් 1,470ක් පමණ බර ගැහැනු දරුවෙකු වැදුවාය. දරුවා දරුණු ලෙස ඌනවර්ධිත වී කෙදිනකවත් ඇවිදීමට නොහැකි වනු ඇතැයි කියා වෛද්‍යවරයෙකු ඇයට පැවසූ විට, ස්ත්‍රිය දැඩි වේදනාවකට පත් වූවාය. ළදරුවා යම් පුනරුත්ථාපන ආයතනයකට භාර දෙන්නැයි ඔහු උපදෙස් දුන්නේය. කාරණය සම්බන්ධයෙන් ඇගේ ස්වාමිපුරුෂයා පවා අස්ථිර විය. ඇයට කවරෙකු වෙත හැරිය හැකිද?

22 ඈ මෙසේ පවසයි: “ ‘දරුවන් යෙහෝවඃවහන්සේ දෙන උරුමයක්ය; කුසේ ඵලය විපාකයක්ය,’ කියා බයිබලයෙන් ඉගෙනගන්නවා මට මතකයි.” (ගීතාවලිය 127:3) මෙම “උරුමය” ගෙදර ගෙන ගොස් ඇයව රැකබලා ගැනීමට ඈ තීරණය කළාය. මුලදී දේවල් දුෂ්කර වූ නමුත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය සභාවේ ක්‍රිස්තියානි මිතුරන්ගේ උපකාරය තුළින්, දරුවාට අවශ්‍යව තිබූ විශේෂ සහය දීමට ස්ත්‍රියට හැකි විය. වර්ෂ දොළහකට පසු, දැරිය රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට යමින් එහි බාලයන්ගේ ඇසුර භුක්තිවිඳිමින් සිටියාය. මව මෙසේ අදහස් ප්‍රකාශ කරන්නීය: “බයිබල් ප්‍රතිපත්ති මාව හරි දේ කිරීමට පෙලඹෙවූ බැවින් මා ඉතා ස්තුතිවන්ත වෙනවා. යෙහෝවඃ දෙවියන්වහන්සේ ඉදිරියේ පැහැදිලි හෘදය සාක්ෂියක් පවත්වාගැනීමටත්, මගේ ජීවිතයේ ඉතිරි කාලය පුරා විඳින්ට ඉඩ තිබූ පසුතැවීම් නොතිබීමටත් බයිබලය මට උපකාර කළා.”

23. අසනීප අය හා එවැන්නන්ට සාත්තු කරන අය සඳහා බයිබලය දෙන්නේ කුමන සහනයද?

23 අප සමඟ සදහටම අසනීප නොතිබෙනු ඇත. “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකිය[න]” කාලයකට අනාගතවක්තෘ යෙසායා යොමු දැක්වීය. (යෙසායා 33:24) ශීඝ්‍රයෙන් ළඟා වන නව ලොවෙහිදී එම පොරොන්දුව ඉටුවනු ඇත. කෙසේවුවද, ඒ වන තෙක්, අපට අසනීප හා මරණය සමඟින් ජීවත්වීමට සිදු වේ. දේවවචනය අපට මඟ පෙන්වීම හා උපකාර දීම සතුටට කරුණකි. හැසිරීම පිළිබඳව බයිබලය සපයන මූලික නීති කල්පවතින අතර, ඒවා අසම්පූර්ණ මිනිසුන්ගේ සදා වෙනස් වන මතවලට වඩා උතුම්ය. මෙබැවින්, ඥානවන්ත පුද්ගලයෙක් ගීතිකාකරු ලියූ මෙම දෙයට එකඟ වෙයි: “ස්වාමීන්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණය. ආත්මය ප්‍රාණවත්කරන්නේය. ස්වාමීන්ගේ [සිහිගැන්වීම්, NW ] සත්‍යය, නුවණ නැත්තන් ඥානවත්කරන්නේය. . . . ස්වාමීන්ගේ විනිශ්චයෝ සැබෑය, සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය. . . . ඒවා පැවැත්වීමෙන් මහත් විපාක ඇත්තේය.”—ගීතාවලිය 19:7, 9, 11.

පවුලකට තිබෙන දරුණු අසනීපයක් හා එමගින් ඇති කරන හානි හැසිරවීමට. . . මෙම බයිබල් ප්‍රතිපත්ති උපකාර වන්නේ කෙසේද?

ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, එමෙන්ම සියල්ල විඳදරාගන්නේය.—1 කොරින්ති 13:4-7.

හොඳ ආත්ම ශක්තියක් වර්ධනය කරගැනීම වැදගත්ය.—හිතෝපදේශ 18:14, නව අනුවාදය.

වැදගත් තීරණ ගැනීමට පෙර උපදෙස් සලකා බැලීම සුදුසුය.—හිතෝපදේශ 15:22.

ජීවිතය දුෂ්කර වන විට, යෙහෝවඃවහන්සේ අපට උපකාර ඉදිරිපත් කරනසේක.—ගීතාවලිය 55:22.

සියලු අවස්ථාවලදී, යෙහෝවඃවහන්සේගේ වචනය මඟ පෙන්වීම දේ.—ගීතාවලිය 119:105.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න