ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ඔබ පුනර්භවය විශ්වාස කරනවාද?
    1997 මුරටැඹ | මැයි 15
    • ඔබ පුනර්භවය විශ්වාස කරනවාද?

      “ඔයා ඉන්දියාවේ ඇති දැඩි වෙච්ච කාලයේ ආදරය කරපු අසල්වැසි ගේක හිටිය ගෑනු ළමයාව ඔයාට මතකද?” කියා ඉන්දියාවේ වෙසෙන මූකාන්බයි, එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වන තම පුතාට ලිව්වා. “ඈ තව සති කිහිපයකින් විවාහ වෙන්න යනවා. මං හිතුවා ඔයා දැනගන්න එක හොඳයි කියලා.”

      පියා මේ ආරංචිය තමාගේ පුතාට දැන්නුවේ ඇයි? මොකද, මූකාන්බයි මේ නහඹරයන්ගේ ප්‍රේම සම්බන්ධතාවට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙලා, අවුරුදු ගානකට කලින් ඒ සම්බන්ධය නතර කෙරෙව්වා. ඒ වගේම, ඔහුගේ පුතා අවුරුදු හයක කාලයක් තිස්සේ එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටියා. ඒ කාල සීමාව ඇතුළත ඔහු මේ ගැහැනු ළමයා එක්ක අදහස් හුවමාරු කරගත්තේ නැහැ; මේ බව මූකාන්බයි දැනගෙන සිටියා.

      එහෙමනම්, ඇයි සැලකිල්ලක් දක්වන්නේ? මූකාන්බයි ඒ ගැන සැලකිල්ලක් දැක්වුවේ, ඔහු පුනර්භවය නැතහොත් නැවත ඉපදීම විශ්වාස කළ නිසයි.a කුඩා කාලයේ සිට ඇති වූ මේ නහඹරයන්ගේ ප්‍රේම සම්බන්ධය, ඔවුන්ගේ කලින් ජීවිතවලදී විවාහක සහකරුවන් හැටියට ජීවත් වීමේ ප්‍රතිඵලයක් නිසා ඇති වී තිබූ දෙයක් නම්, දැන් විවාහ වීමට සුදුසු වයසක සිටින මේ දෙදෙනාව වෙන් කර දැමීම කුරිරු ක්‍රියාවක් වේවි. මේ ගැහැනු ළමයා මේ ජීවිතයේදී වෙනත් කෙනෙකුගේ බිරිඳක් වෙන්න කලින්, මේ බව තමාගේ පුතාට දන්වන්න මූකාන්බයිට වුවමනා වුණා.

      මේ හා සම්බන්ධ තවත් සිද්ධියක් සලකා බලන්න. සිව් හැවිරිදි ගැහැනු ළමයෙක් ඉන්දියාවේ මුම්බායිහි ආරෝග්‍ය ශාලාවක වේදනාකාරි රෝගයක් නිසා නතර වී සිටියා. ඇගේ රෝගය වුණේ, හදවතේ කපාටයක දෝෂයක්. ඇගේ අත මිට සරු දෙමාපියන්ට තමන්ගේ දරුවා වේදනා විඳිනවා දැකීම දරාගන්න බැරි වුණා. ඒත් ඔවුන් මේ විදිහට එයට හේතු දැක්වූවා: “අපේ දරුවා රෝගියෙක් කියල අපිට පිළිගන්න සිද්ධ වෙනවා. එයාට මේ වගේ දෙයක් වෙන්න, එයාගේ කලින් ජීවිතයේදී එයා මොකක් හරි කරන්න ඇති.”

      පුනර්භවය පිළිබඳ විශ්වාසය හින්දු ධර්මය, බෞද්ධ ධර්මය, ජෛන ධර්මය, සික දහම සහ ඉන්දියානු සම්භවයක් ඇති වෙනත් ආගම්වල සිටින මිලියන ගණනකගේ ජීවිතවලට ඉමහත් බලපෑමක් ඇති කරවනවා. ජීවිතයේ අද්දැකීම්—එනම් ප්‍රේමයෙන් වෙළී සිටීමේ සිට දරුණු වේදනා විඳීම දක්වා සිදුවීම්—පෙර ජීවිතයක හෝ ජීවිතවල සිදු කළ ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක හැටියට සලකනවා.

      බටහිර රටවල් බොහොමයකටද පුනර්භවය පිළිබඳ මූලධර්මය ගැන උනන්දුවක් තියෙනවා. අමෙරිකානු නිළියක් වන ෂ’ලි මක්ලන් එය විශ්වාස කරනවා කියා පවසනවා. පෙර භවයන් 50ක මතකයන් තමාට තිබෙන බව, කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ වැන්කූව’හි සිටින ලේඛකයෙකු වන ලොරල් ෆෙලන් කියා සිටිනවා. සීඑන්එන්/යූඑස්ඒ ටුඩේ යන පුවත්පත වෙනුවෙන් 1994දී කළ ගැලප් විමසුමකදී, වැඩිහිටියන් 1,016දෙනෙකුගෙන් 270කටත් වඩා වැඩිදෙනෙක් කියා සිටියේ තමන් පුනර්භවය විශ්වාස කරන බවයි. පුනර්භවය විශ්වාස කිරීම, නව යුග ව්‍යාපාරයේ කොටසක්ද වෙනවා. ඒ වුණත් මේ විශ්වාසයට කිනම් සාක්ෂිද අනුබල දෙන්නේ?

      “කලින් ජීවිතයේ මතකයන්!” කියා, පුනර්භවය විශ්වාස කරන්නන් කියනවා. එහි ප්‍රතිඵලයක් හැටියට, බැංකොක්හි සිටින තුන් හැවිරිදි රාත්නාට, “වයස අවුරුදු 60 ගණන්වලදී මියගිය ආගමට ලැදි ස්ත්‍රියක් හැටියට ඇගේ කලින් ජීවිතයේ මතකයන්” සිහිපත් වෙන්න පටන්ගත් විට, පුනර්භවය සනාථ කිරීමේ වලංගු සාක්ෂියක් හැටියට බොහෝ නිරීක්ෂකයන් එය පිළිගෙන තියෙනවා.

      කොහොම වුණත්, සැක සහිත අදහස් බොහොමයක් පවතිනවා. ඒ වගේම කලින් ගත කළ ජීවිතවලට සම්බන්ධ කර දක්වන මතකයන් පිළිබඳව කෙරෙන වෙනත් පැහැදිලි කිරීම්ද තියෙන්න පුළුවන්.b හින්දුනිසම්: ඉට්ස් මීනින් ෆෝ ද ලිබ’රේෂන් ඔෆ් ද ස්පිරිට් (හින්දු ධර්මය: ආත්මයෙන් නිදහස් වීම සඳහා එහි ඇති අරුත) නමැති තමාගේ පොතේ, හින්දු දාර්ශනිකයෙකු වන නිකිලානන්ඩ් පවසන්නේ, ‘මරණින් පසු අද්දකින දේවල්, හේතු දැක්වීමෙන් සනාථ කළ නොහැකි’ බවයි. ඒත් “නැවත ඉපදීමේ මූලධර්මයේ සිදුවීමට හැකි ඉඩ කඩ, සිදු නොවීමට හැකි ඉඩ කඩට වඩා වැඩි” බව ඔහු ඊට අනුබල දෙමින් කියනවා.

      බයිබලය මේ ඉගැන්වීමට අනුබල දෙනවාද? එමෙන්ම දෙවිගේ ආනුභාවය ලත් වචනය මළවුන්ට ඉදිරිපත් කරන්නේ කිනම් බලාපොරොත්තුවක්ද?

      [පාදසටහන්වල]

      a “පුනර්භවය” යනුවෙන් අදහස් කරන්නේ, “මිනිසෙක්, සත්වයෙක් හෝ ඇතැම් අවස්ථාවලදී, ගස්කොළන් ලෙසින් උපතක් සිදු විය හැකි, අනුපිළිවෙළකින් යුත් භවයක හෝ ඊට වැඩි භවයන්වල ප්‍රාණය නැවත ඉපදීමයි” කියා ද නියූ එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා පවසනවා. මේ සංසිද්ධිය විස්තර කිරීම සඳහා “නැවත ඉපදීම” යන යෙදුමද භාවිත කරන නමුත්, “පුනර්භවය” යන යෙදුමද පොදුවේ පිළිගනු ලබනවා. ඉන්දියානු භාෂාවලින් ප්‍රකාශයට පත් කොට තිබෙන ශබ්දකෝෂ ගණනාවක මේ වචන මාරුවෙන් මාරුවට භාවිත කරනවා.

      b වර්ෂ 1994 ජූනි 8, පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) සඟරාවේ 5-7 දක්වා පිටු බලන්න.

      [4වන පිටුවේ පින්තූර]

      ඇය කලින් ජීවිතයකදී කළ පාපවලට දඬුවම් ලබමින් සිටීද?

  • ඔබ පුනර්භවය විශ්වාස කළ යුතුද?
    1997 මුරටැඹ | මැයි 15
    • ඔබ පුනර්භවය විශ්වාස කළ යුතුද?

      ග්‍රීක දාර්ශනිකයෙකු වන ප්ලේටෝ, ප්‍රේමයෙන් වෙළී සිටීම, පුනර්භවය නමැති සංකල්පය සමඟ සම්බන්ධ කර දැක්වූවා. ශරීරය මියගිය පසු, අමරණීය දෙයක් වන මිනිසාගේ ප්‍රාණය “නිර්මල ස්වරූපයන්ගෙන් යුත් විෂයකට” ගමන් කරන බව ඔහු විශ්වාස කළා. ඊළඟ ජීවිතයේදී ඇති කරගත යුතු ස්වරූපයන් ගැන සිතමින්, එය කායික සිරුරකින් තොරව යම් කාලයක් එම විෂයෙහි සැරිසරමින් සිටිනවා. පසුකාලයකදී, එය වෙනත් සිරුරක් උපයෝගී කරගෙන නැවත ඉපදෙන අවස්ථාවේදී, ප්‍රාණය යටි සිතින් ස්වරූපයන්ගේ විෂය සිහියට නංවමින් ඒ සඳහා පෙරුම් පුරනවා. ප්ලේටෝ කියන විදිහට, මිනිස්සු ප්‍රේමයෙන් බැඳෙන්නේ, මඳ වශයෙන් ඔවුන්ගේ මතකයේ රැඳී ඇති ශෝභනත්වයේ පරමාදර්ශ ස්වරූපය ඔවුන් තමන් ප්‍රේම කරන අය තුළ දකින නිසයි; ඒ වගේම ඔවුන් එය සොයනවා.

      එහි ප්‍රභවය සහ පදනම හඳුනාගැනීම

      පුනර්භවය පිළිබඳ ඉගැන්වීමේදී ප්‍රාණය අමරණීයයි කියන එක පිළිගත යුතු දෙයක්. එහෙමනම්, පුනර්භවයේ මූලාරම්භය හා එය ක්‍රමානුකූලව වර්ධනය වූ ආකාරය සොයා දැනගත යුත්තේ, එවන් විශ්වාසයක් දැරූ මිනිසුන්ගෙන් හෝ ජාතීන්ගෙනුයි. ඒ පදනමට අනුව, එය මිසරයෙන් ආරම්භ වී පැවතෙන බව සමහරු සිතනවා. එය බබිලෝනියෙන් ආරම්භ වූ බව තවත් අය විශ්වාස කරනවා. බබිලෝනීය ආගමට ප්‍රසිද්ධියක් ලබා දීම සඳහා, එහි පූජකතන්ත්‍රය විසින් ප්‍රාණයේ සංසරණය පිළිබඳ මූලධර්මය ව්‍යාප්ත කිරීමට කටයුතු කළා. මියගොස් බොහෝ කලක් ගත වී තිබුණත් ප්‍රසිද්ධ මුතුන්මිත්තන් ආගමික වීරයන් හැටියට නැවත ඉපදී සිටිනවා කියා, ඒ අනුව ඔවුන් කියන්න පුළුවන්.

      කොහොම වුණත්, පුනර්භවය පිළිබඳ විශ්වාසය සශ්‍රීකව වැඩුණේ ඉන්දියාවෙයි. හින්දු ප්‍රාඥයන්, නපුරුකම හා සම්බන්ධ විශ්ව ගැටලු හා මිනිසුන් අතර දුක් වේදනා පැවතීම සම්බන්ධයෙන් ගැඹුරින් කල්පනා කරමින් සිටියා. ‘ධර්මිෂ්ඨ මැවුම්කරුවෙකු පිළිබඳ සංකල්පය සමඟ මෙය එකඟතාවකට පත් කළ හැක්කේ කොහොමද?’ කියා ඔවුන් ඇසුවා. දෙවිගේ ධර්මිෂ්ඨකම සහ ලෝකයේ සිදු වන කලින් දැකිය නොහැකි විපත්තීන් හා අසමානකම් අතර පවතින මතභේද නිරාකරණය කරන්න ඔවුන් උත්සාහ කළා. කාලයාගේ ඇවෑමෙන්, ඔවුන් “කර්ම නීතිය” නැතහොත් හේතුඵල වාදය, එනම් ‘මිනිසා වපුරන දෙය කුමක් වුණත්, ඔහු එය නෙළාගනී’ යන අදහස ඇති කළා. ඊළඟ භවයේදී පුද්ගලයාගේ ජීවිතයට ලැබෙන විපාක හෝ දඬුවම් තීරණය කරන කුසල් හෝ අකුසල් දක්වන සවිස්තර ‘ශේෂ පත්‍රයක්’ ඔවුන් පිළියෙළ කළා.

      “කර්මය” යනුවෙන් සරලව අදහස් කරන්නේ “ක්‍රියාවයි.” හින්දු භක්තිකයෙක් සමාජීය හා ආගමික නියමයන්වලට අනුකූලව ජීවත් වෙනවා නම්, ඔහුට යහපත් කර්මයක් හිමි වන අතර, ඔහු එසේ නොකරනවා නම්, ඔහුට හිමි වන්නේ අයහපත් කර්මයක් බව පවසා තිබෙනවා. ඔහුගේ ක්‍රියාව නැතහොත් කර්මය මගින්, අනුපිළිවෙළකින් සිදු වන ඔහුගේ අනාගත ඉපදීම් සෑම එකක්ම තීරණය කෙරෙනවා. “මිනිසුන් සියලුදෙනාගේම ශාරීරික ගතිලක්ෂණ පරම්පරාව මගින් නිශ්චය කරනු ලැබුවත්, ඔවුන් ඉපදෙන්නේ යම් ගතිලක්ෂණවලින් සමන්විත සැකැස්මක් ඇතුවයි; එම ගතිලක්ෂණ මූලිකව සකස් වී තිබෙන්නේ, ඔවුන්ගේ කලින් ජීවිතයේදී ඔවුන් කළ ක්‍රියාවන් අනුවයි” කියා දාර්ශනිකයෙකු වන නිකිලානන්ඩ් පවසනවා. “[මෙසේ] මිනිසෙක් කියන්නේ, ඔහුගේම ඉරණම පිළියෙළ කරගන්නාවූ සැලසුම්කරුවෙකි; ඔහුගේම දෛවය ගොඩනඟාගන්නාවූ තැනැත්තෙකි.” කොහොම වුණත් අවසාන ඉලක්කය වන්නේ, මේ සංසාර චක්‍රයෙන් නිදහස් වී බ්‍රහ්මයා සමඟ එක්වීමයි; එය අවසන් යථාර්ථය වෙනවා. මෙය ඉටු කරගනු ලබන්නේ සමාජීය වශයෙන් පිළිගනු ලබන ආකාරයෙන් හැසිරීමෙන් හා හින්දු ධර්මය පිළිබඳ විශේෂ දැනුමක් ලබාගන්න දැඩි ප්‍රයත්නයක් දැරීමෙන් බව විශ්වාස කෙරෙනවා.

      මෙසේ පුනර්භවය පිළිබඳ ඉගැන්වීම, එහි පදනම හැටියට ප්‍රාණයේ අමරණීයත්වය පිළිබඳ මූලධර්මය උපයෝගී කරගන්න අතර, කර්ම නීතිය යොදාගනිමින් ඒ මත ගොඩනැඟී තිබෙනවා. මේ සංකල්ප ගැන දෙවිගේ ආනුභාවය ලත් වචනයට, එනම් බයිබලයට පවසන්න තිබෙන දෙය අපි සලකා බලමු.

      ප්‍රාණය අමරණීයද?

      මේ ප්‍රශ්නයට උත්තර දීම සඳහා, මේ විෂය ගැන තොරතුරු සපයන උසස්ම මූලාශ්‍රය වන මැවුම්කරුගේ ආනුභාවය ලත් වචනයට අපගේ අවධානය යොමු කරමු. “ප්‍රාණයේ” සැබෑ අර්ථය බයිබලයේ පළමුවන පොත වන උත්පත්ති පොතෙන් අපි ඉගෙනගන්නවා. පළමු මිනිසා වූ ආදම්ගේ මැවීම ගැන බයිබලය මෙසේ පවසනවා: “[යෙහෝවා දෙවි, NW] භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළු[වේය]; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය.” (උත්පත්ති 2:7) ප්‍රාණය කියන්නේ මිනිසෙක් සතුව තිබෙන යමක් නොව, නමුත් ඔහුම බව පැහැදිලියි. ප්‍රාණය සඳහා මෙහි භාවිත කර තිබෙන හෙබ්‍රෙව් වචනය නෙʹෆෙෂ්. එය බයිබලයේ 700 වාරයක් පමණ සඳහන් වන අතර, එය මිනිසෙක් සතුව වෙනම පවතින අද්‍රව්‍යමය දෙයක් හැටියට එහි කිසිම විටක යොමු නොදැක්වෙන නමුත්, එය ස්පර්ශ කළ හැකි හා භෞතික දෙයක් වශයෙන් එහි නිතර යොමු දැක්වෙනවා.—යෝබ් 6:7; ගීතාවලිය 35:13; 107:9; 119:28.

      මරණයේදී ප්‍රාණයට සිදු වන්නේ මොකක්ද? ආදම් මියයන විට ඔහුට සිදු වූ දෙය සලකා බලන්න. ඔහු පව් කළ විට, දෙවි ඔහුට මෙහෙම කිව්වා: “නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී ය[න්නේය]; නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.” (උත්පත්ති 3:19) එයින් අදහස් කරන දෙය කල්පනා කර බලන්න. දෙවි ආදම්ව දූවිල්ලෙන් මවන්න කලින්, ඔහු කිසිම තැනක ජීවත් වෙලා හිටියේ නැහැ. ඔහුගේ මරණෙන් පසු, කලින් තත්වයට සමානව පැවැත්මෙන් තොර තත්වයට ඔහු ආපසු පත් වුණා.

      සරලව කියනවා නම්, බයිබලය උගන්වන්නේ මරණය කියන්නේ ජීවිතයේ විරුද්ධ දෙය කියලයි. දේශනාකාරයා 9:5, 10හි අපට මෙසේ කියවීමට තිබෙනවා: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය. කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.”

      මෙයින් අදහස් කරන්නේ, මළවුන්ට කිසි දෙයක් කරන්න හෝ කිසි දෙයක් ගැන හැඟීමක් හෝ නැති බවයි. ඔවුන්ට තවදුරටත් කිසිම දෙයක් ගැන හිතන්නවත්, කිසිම දෙයක් මතකයට නංවන්නවත් බැහැ. ගීතිකාකරු මෙසේ සඳහන් කරනවා: “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්. ඔහුගේ හුස්ම (ආත්මය, NW) නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ.”—ගීතාවලිය 146:3, 4.

      මරණයේදී ප්‍රාණය වෙනත් සිරුරකට මාරු වෙනවා නොව, නමුත් එය මියයන බව බයිබලය පැහැදිලිවම පෙන්වනවා. “පව්කරන ප්‍රාණයම නසින්නේය” කියා බයිබලය අවධාරණය කරනවා. (එසකියෙල් 18:4, 20; ක්‍රියා 3:23; එළිදරව් 16:3) මෙසේ, පුනර්භවය නමැති සිද්ධාන්තයේ මූලිකතම පදනම වන ප්‍රාණයේ අමරණීයත්වය පිළිබඳ මූලධර්මයට, ශුද්ධ ලියවිලි කිසිම විදිහකින්වත් අනුබලයක් සපයන බව සොයාගන්න නැහැ. එය නොමැතිව, එම සිද්ධාන්තය බිඳ වැටෙනවා. එහෙමනම්, අපි ලෝකයේ දකින දුක් වේදනාවලට හේතුව මොකක්ද?

      මිනිසුන් දුක් විඳින්නේ ඇයි?

      මිනිසුන් දුක් වේදනා විඳීමට බලපාන මූලිකතම හේතුව වන්නේ, අපි හැම කෙනෙක්ටම පව්කාර ආදම්ගෙන් උරුම වන අසම්පූර්ණකමයි. “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය” කියා බයිබලය පවසනවා. (රෝම 5:12) ආදම්ගෙන් පැවතෙන නිසා, අපි හැම කෙනෙක්ම අසනීප වෙනවා, මහලු වෙනවා, මියයනවා.—ගීතාවලිය 41:1, 3; පිලිප්පි 2:25-27.

      මැවුම්කරුගේ ස්ථිර සදාචාර නීති ගැන තවදුරටත් මෙසේ සඳහන් වෙනවා: “නොරැවටෙන්න; [දෙවිට] සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය. ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය.” (ගලාති 6:7, 8) මෙසේ සල්ලාල ජීවන රටාවක් ගත කිරීමෙන් චිත්තවේගී පීඩනයන්, නුවුවමනා ගැබ්ගැනීම් හා ලිංගිකව බෝවෙන රෝග ඇති විය හැකියි. “[එක්සත් ජනපදයේ] මාරාන්තික පිළිකා රෝගවලින් සියයට 30ක මවිතකර ප්‍රතිශතයකට හේතුව හැටියට, මූලිකව දුම්පානයටත්, ඒ හා සමාන ප්‍රමාණයක් විශේෂයෙන්ම ආහාර ගැනීමේ පුරුදු හා ව්‍යායාම නොකිරීම හා සම්බන්ධ ජීවන රටාවටත් දෝෂාරෝපණය කළ හැක” කියා සයන්ටිෆික් අමෙරිකන් සඟරාව පවසනවා. දුක් වේදනා ඇති කරවන ඇතැම් විපත්තිවලට හේතුව වන්නේ, පොළොවේ සම්පත් මිනිසා විසින් වැරදි විදිහට පාලනය කිරීමයි.—එළිදරව් 11:18, සසඳන්න.

      ඔව්, මිනිසා අද්දකින දුක් වේදනා රැසකට ඔහු වගකිව යුතුයි. කොහොම වුණත්, ප්‍රාණය අමරණීය දෙයක් නොවන නිසා, ‘ඔබ වපුරන දෙය කපාගැනීමේ’ නීතිය, කර්මයකට, එනම් කලින් ජීවිතයේ කළායයි සිතන ක්‍රියාවන් හා මිනිසාගේ දුක් වේදනා විඳීම අතර සම්බන්ධතාවක් තිබෙන බව දැක්වීම සඳහා යොදාගත නොහැකියි. “මැරුණවූ තැනැත්තේ පාපය ගැන නිර්දෝෂකරනු ලැබ සිටියි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 6:7, 23) මෙසේ පාපයේ ප්‍රතිවිපාක මරණින් පසු ජීවිතයකට මාරු වී දිගටම පවතින්නේ නැහැ.

      සාතන් නමැති යක්ෂයාද දුක් වේදනා බොහොමයක් ඇති කරනවා. ඇත්තෙන්ම, මේ ලෝකය සාතන් විසින් පාලනය කරනු ලබනවා. (1 යොහන් 5:19) එමෙන්ම යේසුස් ක්‍රිස්තුස් කලින් පැවසුවාක් මෙන්, ඔහුගේ ගෝලයන් ‘ඔහුගේ නාමය දරන නිසා සියලු මිනිසුන් විසින් වෛර කරනු ලබන තැනැත්තන්’ වේවි. (මතෙව් 10:22) එහි ප්‍රතිඵලයක් හැටියට, බොහෝවිට ධර්මිෂ්ඨයා දුෂ්ටයාට වඩා ගැටලුවලට මුහුණ දෙනවා.

      හේතූන් පහසුවෙන්ම දැනහඳුනා ගත නොහැකි සමහර දේවල් මේ ලෝකයේ සිදු වෙනවා. වේගවත්ම ධාවකයා පය පැටලී බිම වැටීමෙන් තරඟයෙන් පරදින්න පුළුවන්. බලසම්පන්න හමුදාවක්, එතරම් බලසම්පන්න නැති හමුදාවන් ඉදිරියෙහි පරාජය වෙන්න පුළුවන්. හොඳට ඉගෙනගෙන තියෙන කෙනෙකුට හොඳ රැකියාවක් ලබාගන්න බැරිවීම හේතුවෙන් කුසගින්නෙන් පෙළෙන්න පුළුවන්. ව්‍යාපාර කළමනාකරණය ගැන හොඳ අවබෝධයක් තියෙන අයට, යම් තත්වයන් නිසා, ඔවුන් සතු දැනුම ප්‍රායෝගිකව යොදාගන්න බැරිවීමෙන් දුප්පත් වී සිටින්න පුළුවන්. බුද්ධිමත් පුද්ගලයන් අධිකාරින්ගේ උදහසට ලක්වීමෙන්, අප්‍රසාදයට පත් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් සිදු වන්නේ ඇයි? “කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන” නිසා, එවැනි දේවල් සිදු වන බව පවසමින් ඥානවන්ත සාලමොන් රජ ඊට උත්තර දෙනවා.—දේශනාකාරයා 9:11.

      දුක් වේදනා පැවතීමට හේතුව පැහැදිලි කිරීම සඳහා හින්දු ප්‍රාඥයන් උත්සාහ කරන්න බොහෝ කලකට පෙර සිටම, දුක් වේදනා විඳීම මනුෂ්‍යවර්ගයාගේ ජීවිතයේ කොටසක්ව තිබුණා. ඒත් වඩා යහපත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් තිබෙනවාද? එමෙන්ම මළවුන් සඳහා බයිබලය ඉදිරිපත් කරන්නේ කිනම් පොරොන්දුවක්ද?

      සාමකාමී අනාගතයක්

      සාතන්ගේ පාලනය යටතේ පවතින වත්මන් ලෝක සමාජය ඉක්මනින්ම ඉවත් කර දමන්න යන බව මැවුම්කරු පොරොන්දු වෙලා තියෙනවා. (හිතෝපදේශ 2:21, 22; දානියෙල් 2:44) ධර්මිෂ්ඨ නව මිනිස් සමාජයක්, එනම් “අලුත් පොළොවක්” ඒ කාලයේදී සැබෑවක් වෙන්න යනවා. (2 පේතෘස් 3:13) ඒ කාලයේදී “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.” (යෙසායා 33:24) දෙවි “ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන” නිසා, මරණයේ කටුක වේදනාව පවා ඉවත් වේවි; “මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. . . . පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:4.

      දෙවි පොරොන්දු වී තිබෙන නව ලෝකයේ වාසය කරන අය ගැන ගීතිකාකරු කලින්ම මෙසේ පැවසුවා: “ධර්මිෂ්ඨයෝ දේශය [පොළොව, NW] උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” (ගීතාවලිය 37:29) එමෙන්ම, මොළොක් ගුණ ඇත්තෝ “මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”—ගීතාවලිය 37:11.

      කලින් ලිපියේ සඳහන් කළ මූකාන්බයි, දෙවිගේ මේ මවිතකර පොරොන්දු ගැන කිසිවක් නොදැන මරණයේ සැතපී සිටිනවා. නමුත් “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේය” කියා බයිබලය පොරොන්දු වන නිසා, දෙවි ගැන දැනුමක් නැතුව මියගොස් සිටින මිලියන ගණනකට, එවන් සාමකාමී නව ලොවකට පුබුදුවනු ලැබීමේ අපේක්ෂාව තියෙනවා.—ක්‍රියා 24:15; ලූක් 23:43.

      “නැවත-නැගිටීම” යන වචනය මෙහිදී පරිවර්තනය කර තිබෙන්නේ අ·නාʹස්තා·සිස් යන ග්‍රීක් වචනය අනුසාරයෙන්; එහි පදගතාර්ථයෙන් අදහස් වන්නේ, “නැවත නැඟිට සිටීමයි.” මේ අනුව, පුද්ගලයාගේ ජීවන රටාව යළි පණගැන්වීම, නැවත නැඟිටීම යන්නට අයත් වෙනවා.

      අහස හා පොළොවේ මැවුම්කරු ප්‍රඥාවෙන් අනූනයි. (යෝබ් 12:13) මියගිය අයගේ ජීවන රටාව මතක තබාගැනීම ඔහුට ගැටලුවක් නෙවෙයි. (යෙසායා 40:26, සසඳන්න.) යෙහෝවා දෙවි ප්‍රේමයෙන්ද උතුරා යනවා. (1 යොහන් 4:8) එනිසා, ඔවුන් කර තිබෙන නරක දේවලට මළවුන්ට දඬුවම් කරන්න නොව, නමුත් මියයන්න කලින් ඔවුන් සතුව තිබූ පෞද්ගලිකත්වය සමඟින් පාරාදීස පොළොවක් මතට යළි ජීවිතය ලබා දීම සඳහා ඔහුගේ පරිපූර්ණ මතකය පාවිච්චි කරන්න ඔහුට පුළුවන්.

      මූකාන්බයි වගේ මිලියන ගණනක් සඳහා, නැවත නැඟිටවීමකින් අදහස් කරන්න යන්නේ, නැවතත් තමන්ගේ ප්‍රේමනීයයන් සමඟ ජීවත් වීමයි. ඒත් දැන් ජීවත් වෙමින් ඉන්න අය සඳහා එයින් අදහස් කළ හැකි දෙය ගැන සිතා බලන්න. උදාහරණයක් හැටියට මූකාන්බයිගේ පුතා ගැන සිතා බලන්න; ඔහු දෙවි හා ඔහුගේ පොරොන්දු ගැන මවිතකර සත්‍යය දැනගෙන තිබෙනවා. සෑම භවයක්ම දුෂ්ටකමින් හා දුක් වේදනාවන්ගෙන් වට වී තිබෙන කෙළවරක් නැති තරම් නැවත ඉපදීම්වල ඔහුගේ පියා සිර වී නැති බව දැනගන්න ලැබීම ඔහුට මොනතරම් සහනයක්ද! ඔහුව නැවත නැඟිටවන තෙක්, ඔහු මරණය නමැති නින්දේ නිකම්ම සැතපී සිටිනවා විතරයි. ඔහු බයිබලයෙන් ඉගෙනගෙන තිබෙන දේවල් තමාගේ පියා එක්ක බෙදාගැනීමට පුළුවන් වන දවස ගැන කල්පනා කරබැලීම, ඔහු තුළ මොනතරම් චමත්කාරජනක සිතුවිලි පහළ කරයිද!

      දෙවිගේ කැමැත්ත වන්නේ, “සියලු [ආකාර, NW] මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමි[ණවීමයි].” (1 තිමෝති 2:3, 4) දැනටමත් දෙවිගේ කැමැත්ත කරමින් සිටින මිලියන ගණන් අය සමඟ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට ඔබට හැකි ආකාරය ගැන ඉගෙනගැනීමට කාලය දැන්.—යොහන් 17:3.

      [7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

      “කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන[වා].”—දේශනාකාරයා 9:11

      [6වන පිටුවේ කොටුව]

      දෙවිගේ පෞද්ගලිකත්වය සහ කර්ම නීතිය

      මොහාන්දාස් කේ. ගාන්ධි පැහැදිලි කළ “කර්ම නීතිය,” “නොවෙනස්ව පවතින මෙන්ම මඟහැරිය නොහැකි දෙයක්. මේ නිසා දෙවිට කොහොමටවත් මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. ඔහු මෙම නීතිය පිහිටුවා, ඒකට මැදිහත් වීමෙන් ඉවත් වුණා.” මෙය මහත් වියවුලක් ඇති කරන දෙයක් ලෙස ගාන්ධි සැලකුවා.

      අනිත් අතින් බලන කල නැවත නැඟිටීමේ බලාපොරොත්තුව හෙළි කරන්නේ, තමාගේ මැවීම ගැන දෙවි මහත් උනන්දුවක් දක්වන බවයි. මියගිය කෙනෙකුව පාරාදීස පොළොවක නැවත ජීවිතයට ගෙන ඒම සඳහා, ඒ පුද්ගලයා හා සම්බන්ධ සෑම දෙයක්ම දැනගෙන මතක තබාගන්න දෙවිට සිදු වෙනවා. ඇත්තෙන්ම දෙවි අපි එක් එක්කෙනා ගැන සැලකිලිමත් වෙනවා.—1 පේතෘස් 5:6, 7.

      [5වන පිටුවේ පින්තූරය]

      හින්දු ධර්මයේ උගන්වන ජීවන චක්‍රය

      [8වන පිටුවේ පින්තූරය]

      නැවත නැඟිටුවීම ගැන දේවවචනය උගන්වයි

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න