බයිබලයෙන් පිළිතුරක්
සාන්තුවරුන්ට යාච්ඤා කිරීම සුදුසුද?
මාරි සහ තෙරේසා “භක්තිමත් කතෝලිකයන්” දෙදෙනෙක්. ඔවුන්ට සාන්තුවරුන් කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුණා. එමනිසා ඔවුන් දෙදෙනාම සාන්තුවරුන්ගෙන් උපකාර ඉල්ලා නිතර යාච්ඤා කළා.
ලොව පුරා සිටින මිලියන ගණන් ජනයා මාරි සහ තෙරේසා මෙන් සාන්තුවරුන්ට යාච්ඤා කරනවා. ඒ ගැන එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වුණා. “සාන්තුවරුන් මිනිසුන් වෙනුවෙන් මැදිහත් වෙන නිසා ඔවුන් මාර්ගයෙන් දෙවිට යාච්ඤා කිරීම සුදුසුයි.”—New Catholic Encyclopedia.
නමුත් එසේ කිරීම සුදුසුද? ඒ ගැන දෙවි සිතන්නේ කුමක්ද? දැන් අපි ඒ ගැන සලකා බලමු.
යාච්ඤා කළ යුත්තේ කාටද?
සමහර බයිබල්වල සාන්තුවරයන් යන වචනය ශුද්ධවන්තයන් ලෙසත් පරිවර්තනය කර තිබෙනවා. කෙසේවෙතත් පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් සාන්තුවරුන්ට යාච්ඤා කළ බවක් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඊට හේතුව ඉහත සඳහන් කළ විශ්වකෝෂයේම විස්තර කරන්නේ මෙසේයි. “සාන්තුවරුන්ට යාච්ඤා කළ යුතුයි යන ඉගැන්වීම ආරම්භ වුණේ තුන්වන සියවසේදීයි.” එනම් යේසුස් මිය ගොස් වසර 200කට පමණ පසුවයි. ඉන් පැහැදිලි වන්නේ මෙම ඉගැන්වීම යේසුස්ගෙන් ඇති නොවුණ බවයි. ඒ නිසා එය බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.
අප යේසුස්ගේ නාමයෙන් දෙවිට පමණක් යාච්ඤා කළ යුතු බව බයිබලයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (යොහන් 14:6) තවත් අවස්ථාවකදී ඔහු මෙසේ පැවසුවා. “ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි. ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා.” (මතෙව් 6:9-13) එහිදී යේසුස් අදහස් කළේ අප ස්වර්ගයේ සිටින දෙවිට පමණක් යාච්ඤා කළ යුතු බවයි. ඊට හේතුව කුමක්ද?
නමස්කාරයේ අංගයක්
එක් විශ්වකෝෂයක යාච්ඤාව ගැන සඳහන් වුණේ මෙයයි. “යාච්ඤාව යනු දෙවි දේවතාවුන්ට හෝ තමන් නමස්කාර කරන ඕනෑම කෙනෙකුට හෝ දෙයකට අයැදීමයි. බොහෝ ආගම්වල නමස්කාරයේදී යාච්ඤාවට විශේෂ තැනක් හිමි වී තිබෙනවා.” (The World Book Encyclopedia) මේ ගැන සිතන්න. ‘අපට ජීවිතය දුන් දෙවි හැර වෙනත් ඕනෑම කෙනෙකුට යාච්ඤාව මාර්ගයෙන් නමස්කාර කිරීම සුදුසුද?’ (ගීතාවලිය 36:9) යේසුස් පැහැදිලි කළේ “සැබෑ නමස්කාරකයන් දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව දෙවිට නමස්කාර” කිරීම අවශ්‍ය බවයි. එමෙන්ම “පියාණන් තමන්ට නමස්කාර කිරීම සඳහා සොයමින් සිටින්නේ එවැනි” අයව බවත් ඔහු පැවසුවා. (යොහන් 4:23) ඒ වගේම අපගේ නිර්මාණකරු වන දෙවි “වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින” බවත් බයිබලයේ සඳහන් වෙනවා.—ද්විතීය කතාව 4:24; 6:15.
දැන් අපි යේසුස්ගේ අනුගාමිකයෙකු වූ යොහන්ගේ අද්දැකීම සලකා බලමු. බයිබලයේ එළිදරව් පොතේ සඳහන් වන දර්ශන දුටු විට ඔහු කළ දෙය බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “මා ඇසූ දුටු ඒ දේවල් මට පෙන්වූ දේවදූතයාට නමස්කාර කිරීමේ අදහසින් මම ඔහුගේ පාමුල වැඳ වැටුණෙමි.” එවිට ඒ දේවදූතයා, ‘පරෙස්සම් වන්න! එසේ නොකරන්න! මා ඔබගේද අනාගතවක්තෘවරුන් වන ඔබේ සහෝදරයන්ගේද සෙසු දාසයෙකු පමණි. ඔබ නමස්කාර කළ යුත්තේ දෙවිටයි” කියා පැවසුවා. (එළිදරව් 22:8, 9) මෙයින් අපට පැහැදිලි වන්නේ අප නමස්කාර කළ යුත්තේ යෙහෝවා දෙවිට පමණක් බවයි.
“යාච්ඤා අසන තැනැත්තා” ලෙස බයිබලයේ හඳුන්වන්නේද දෙවිව පමණයි. (ගීතාවලිය 65:2) ඉහත සඳහන් කරුණු සමඟ මෙම කාරණයද එකඟ වෙනවා. යාච්ඤාව මාර්ගයෙන් ඉල්ලන දේවල් ලබා දීමේ හැකියාවත් අයිතියත් බලයත් තිබෙන්නේ දෙවිට පමණයි. (යෝබ් 33:4) දෙවි තරම් බලයක් තමාටවත් නැති බව යේසුස් පවා පැවසුවා. (මතෙව් 20:23; 24:36) ඒ වුණත් යේසුස් ක්‍රිස්තුස් මිනිසා හා දෙවි අතර මැදිහත්කරුවෙකු ලෙස ඉතා වැදගත් කාර්යයක් කරනවා.
මැදිහත්කරුවෙක්
බයිබලයේ යේසුස් ගැන පවසන්නේ මෙයයි. “[යේසුස්] මාර්ගයෙන් දෙවිට ළඟා වන අයව සම්පූර්ණයෙන්ම ගලවාගැනීමට ඔහුට පුළුවන. එසේ වන්නේ ඔවුන් වෙනුවෙන් කන්නලව් කිරීමට ඔහු සදහටම ජීවත්ව සිටින නිසාය.” (හෙබ්‍රෙව් 7:25) ඉන් අදහස් කරන්නේ යේසුස් මාර්ගයෙන් දෙවි වෙතට එන අය වෙනුවෙන් මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට යේසුස්ට හැකි බවයි. නමුත් අප යේසුස්ට යාච්ඤා කළ පසු ඔහු එම යාච්ඤා දෙවිට ඉදිරිපත් කරන බව ඉන් අදහස් කරන්නේ නැහැ. ඒ වෙනුවට අප යේසුස්ට දී තිබෙන බලය පිළිගෙන ඔහුගේ නාමයෙන් දෙවිට පමණක් යාච්ඤා කළ යුතුයි. මැදිහත්කරු ලෙස කටයුතු කිරීමට සුදුසුම පුද්ගලයා යේසුස් වන්නේ ඇයි?
එක් හේතුවක් නම් යේසුස් මිනිසෙකු ලෙස මිහිපිට සිට කාලයේදී මිනිසුන් විඳින දුක් වේදනා හොඳින් තේරුම්ගත් නිසයි. (යොහන් 11:32-35) තවත් හේතුවක් නම් මිනිස් වර්ගයා කෙරෙහි ඔහුට තිබෙන ප්‍රේමයයි. ඔහු ඒ බව පෙන්නුම් කළේ ලෙඩුන්ව සුව කිරීමෙන් මළවුන්ව නැවත නැඟිටුවීමෙන් සහ දෙවි ගැන සත්‍යය අන් අයට කියා දීමෙනුයි. (මතෙව් 15:29, 30; ලූක් 9:11-17) ඔහු මිනිසුන්ගේ පව්වලට පවා සමාව දුන්නා. (ලූක් 5:24) ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “යමෙකු පාපයක් කළොත් අපට උපකාර කිරීමට පියාණන් සමඟ සිටින තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් සිටියි. ඔහු ධර්මිෂ්ඨ කෙනෙකි.” (1 යොහන් 2:1) ඇත්තටම එය දැන සිටීම අපට මොන තරම් සහනයක්ද!
මිනිසා කෙරෙහි යේසුස්ට තිබූ ප්‍රේමය සහ අනුකම්පාව අපත් අනුකරණය කළ යුතුයි. අන් අය වෙනුවෙන් මැදිහත්කරුවෙක් වීමට අපට බැරි වුණත් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළ හැකියි. බයිබල් ලේඛකයෙකු වූ යාකොබ් මෙවැනි දෙයක් පැවසුවා. ‘එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. ඇත්තෙන්ම ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක.’—යාකොබ් 5:16.
ඉහත සඳහන් කළ මාරි සහ තෙරේසා, සාන්තුවරුන්ට යාච්ඤා කිරීම සුදුසුද නැද්ද කියා බයිබලය අධ්‍යයනය කිරීමෙන් තේරුම්ගත්තා. ඔබටත් බයිබලයේ තිබෙන සත්‍ය තොරතුරු දැනගන්න කියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආරාධනා කරනවා. යේසුස් පැවසූ ආකාරයට දෙවි අපගේ නමස්කාරය පිළිගන්නේ අපි සත්‍යය දැනගෙන ඒ අනුව කටයුතු කළොත් පමණයි.—යොහන් 4:24.