-
ජීවිතය ලස්සන කරන හොඳ පුරුදු2016 පිබිදෙව්! | අංක 4
-
-
මුල් පිටුවෙන්
ජීවිතය ලස්සන කරන හොඳ පුරුදු
එලාම් එක වැදිලා ගත වුණේ මොහොතයි. කොච්චර නිදිමතෙන් හිටියත් ඔස්ටින් කලින් දවසේ ලෑස්ති කරලා තිබුණු ඇඳුමත් ඇඳගෙන ව්‍යායාම කරන්න පාරට බැස්සා. ඒ විදිහට සතියට තුන්වතාවක් ඇවිදින එක එයා දැන් අවුරුද්දක් තිස්සේ පුරුද්දක් විදිහට කරනවා.
සැමියා එක්ක රණ්ඩු කරපු ලෝරි ඉන්නේ කේන්තියෙන්. එයා විදුලි වේගෙන් කුස්සියට ගිහින් චොක්ලට් පිරුණු බෑග් එකක් ඇරලා ඒ ඔක්කොම කාගෙන කාගෙන යන්න පටන්ගත්තා. කේන්ති ගියාම එහෙම කරන එක එයාට පුරුද්දක් වෙලා.
ඒ සිද්ධීන් දෙකෙන්ම තේරෙන්නේ මොනවා හරි දේකට පුරුදු වුණොත් ඒක නිරායාසයෙන්ම වෙනවා කියන එක නේද?
ඔයාගේ ජීවිතේ හොඳ පුරුදු ඇති කරගන්න ඔයාත් කැමතිද? සමහරවිට වැඩිපුර ව්‍යායාම කරන්න, හොඳ නින්දක් ලබන්න, ඔයා ආදරය කරන අය එක්ක වැඩිපුර වෙලාවක් ඉන්න වගේ හොඳ පුරුදු ඇති කරගන්න ඔයාත් කැමති ඇති.
අනිත් අතට සිගරට් බොන එක, කඩචෝරු කන එක, ඕනෑවට වඩා කාලයක් ඉන්ටනෙට් එකේ ඉන්න එක වගේ නරක පුරුදු අතහරින්න ඕනෙ කියලත් ඔයාට හිතෙනවා ඇති.
නරක පුරුදු අතහරින එක ලේසි නැහැ තමයි. ඒක හරියට සීතල දවසක ඇඳට වෙලා හොඳට ගුලිගැහිලා නිදාගන්නවා වගෙයි, ඇඳට යන එක ලේසි වුණත් ඇඳෙන් බහින එක නම් ලේසි නැහැ.
එහෙමනම් නරක පුරුදු අතහැරලා හොඳ පුරුදු ඇති කරගන්න ඔයාට පුළුවන් කොහොමද? බයිබලයේ තියෙන ප්‍රතිපත්ති මත පදනම් වුණු යෝජනා තුනක් ගැන බලන්න.
-
-
1 කරන්න පුළුවන් ප්‍රමාණය තේරුම්ගන්න2016 පිබිදෙව්! | අංක 4
-
-
මුල් පිටුවෙන් | ජීවිතය ලස්සන කරන හොඳ පුරුදු
1 කරන්න පුළුවන් ප්‍රමාණය තේරුම්ගන්න
හැම දේම එක රැයින් වෙනස් කරගන්න ඔයා උත්සාහ කරයි. ඔයා ඔයාටම මෙහෙම කියාගන්න ඉඩ තියෙනවා. ‘සිගරට් බොන එක, නරක වචන කියන එක, රෑ වෙන කල් නිදිමරන එක මේ සතියෙම නවත්වනවා. ඒ වෙනුවට ව්‍යායාම් කරන්න පටන්ගන්නවා, පෝෂ්‍යදායී කෑම බීම ගන්නවා, ආච්චිටයි සීයාටයි කෝල් කරනවා.’ හැබැයි ඔයා ඒ ඔක්කොම එක සැරේ කරන්න හැදුවොත් ඔයාට ඒ එකක්වත් කරගන්න බැරි වෙයි.
බයිබල් ප්‍රතිපත්තිය: “නිහතමානී අය ප්‍රඥාවන්තය.”—හිතෝපදේශ 11:2.
නිහතමානී කෙනෙක් තමන්ට කරන්න පුළුවන් ප්‍රමාණය තේරුම්ගන්නවා. තමන්ගේ කාලය, ශක්තිය, තමන්ට අයිති දේවල් වැය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා කියලා එයා තේරුම්ගන්නවා. ඒ නිසා හැම දේම එක සැරේ වෙනස් කරන්න හදනවා වෙනුවට ටිකෙන් ටික වෙනස් කරන්න එයා උත්සාහ කරනවා.
ඔක්කොම එක සැරේ කරන්න හැදුවොත් ඔයාට ඒ එකක්වත් කරගන්න බැරි වෙයි!
කරන්න පුළුවන් දේ
එක සැරේකට එක දෙයක් නැත්නම් දෙකක් විතරක් කරන්න උත්සාහ කරන්න. ඒකට මේ දේවල් ඔයාට උදව් වෙයි:
ඔයා ඇති කරගන්න කැමති හොඳ පුරුදු සහ අත්හරින්න කැමති නරක පුරුදු ගැන ලැයිස්තු දෙකක් හදන්න. එකක් දෙකක් ලියලා නතර කරනවා වෙනුවට පුළුවන් තරම් දේවල් ලියන්න.
මුලින්ම කරන්න ඕන දේවල් තෝරගෙන ඒවා අනුපිළිවෙළට ලකුණු කරගන්න.
ලැයිස්තු දෙකෙන්ම එකක් හරි දෙකක් හරි තෝරගෙන ඒවා හදාගන්න උත්සාහ කරන්න. ඒවා හදාගත්තට පස්සේ තවත් එකක් හරි දෙකක් හරි තෝරගෙන ඒවාත් හදාගන්න උත්සාහ කරන්න.
නරක පුරුද්දක් වෙනුවෙන් යොදවන කාලයේදී හොඳ පුරුද්දක් ඇති කරගන්න උත්සාහ කරන්න. ඔයා හදාගන්න උත්සාහ කරන දේවල් වේගයෙන් හදාගන්න ඒක උදව් වෙයි. උදාහරණෙකට හිතන්න ඔයාගේ නරක පුරුද්ද වැඩිපුර ටීවී බලන එක කියලා. ඔයාට ඇති කරගන්න ඕන හොඳ පුරුද්ද තමයි ඔයා ආදරේ කරන අය වෙනුවෙන් කාලය දෙන එක. එහෙමනම් ‘හැමදාම වැඩ ඇරිලා ඇවිත් ටීවී බලනවා වෙනුවට මං යාළුවෙක්ට හරි නෑදෑයෙක්ට හරි කතා කරනවා’ කියලා අධිෂ්ඨානයක් ගන්න.
-
-
2 වටපිටාව හදාගන්න2016 පිබිදෙව්! | අංක 4
-
-
මුල් පිටුවෙන් | ජීවිතය ලස්සන කරන හොඳ පුරුදු
2 වටපිටාව හදාගන්න
ඔයාගේ අධිෂ්ඨානය කෑම පාලනය කරන්න. ඒත් අයිස්ක්‍රීම් එකක් දැක්කම ආසාවේ බෑ.
ඔයාට ඕනෙ සිගරට් බොන එක නවත්වගන්න. ඒත් ඒක දැන දැනම යාළුවෙක් ඔයාට සිගරට් එකක් දෙනවා.
ඔයා කලින්ම සැලසුම් කළා අද ව්‍යායාම කරනවා කියලා. ඒත් සපත්තු දෙක රාක්කෙන් හොයාගන්න එක නම් ලේසි නැහැ.
ඒ සිද්ධි තුනෙන්ම පැහැදිලි වෙන දේ තමයි අපේ වටපිටාව සහ අපි ආශ්‍රය කරන අය නරක පුරුදු අත්හැරලා හොඳ පුරුදු ඇති කරගන්න අපි ගන්න අධිෂ්ඨානයට ලොකු බලපෑමක් කරනවා කියන දේ.
බයිබල් ප්‍රතිපත්තිය: “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”—හිතෝපදේශ 22:3.
බයිබලයේ කියන්නේ හැම වෙලාවෙම ඉදිරිය ගැන හිතන්න කියලයි. අපේ අධිෂ්ඨානයට බාධාවක් වෙන දේවල් මඟ හැරලා අපේ අධිෂ්ඨානය ඉටු කරගන්න ඒක උදව් වෙනවා. (2 තිමෝති 2:22) කෙටියෙන්ම කියනවා නම් අපේ අධිෂ්ඨානය ජය ගන්න උදව් වෙන වටපිටාවක් අපි හදාගන්න ඕනේ.
නරක පුරුදුවලට පොඩි ඉඩක්වත් දෙන්න එපා. හරි දේ ලේසියෙන්ම කරන්න පුළුවන් විදිහට වටපිටාව හදාගන්න
කරන්න පුළුවන් දේ
නරක පුරුදුවලට පොඩි ඉඩක්වත් දෙන්න එපා. උදාහරණෙකට කඩචෝරු කන එක නවත්වන්න ඔයාට ඕනෙ නම් ඒවා ඔයාගේ ගෙදර පැත්ත පළාතටවත් ගේන්න එපා. එතකොට ඒවා කන්න ආසාවක් ඇති වුණත් ඒවා ළඟ නැති නිසා ඒවා නොකා ඉන්න ඔයා පෙලඹෙයි.
හරි දේ ලේසියෙන් කරන්න පුළුවන් විදිහට වටපිටාව හදාගන්න. ඔයාට ඕනෙ උදෙන්ම ව්‍යායාම කරන්න නම් ඕන කරන ඇඳුම් ටික කලින් දවසේ රෑම ඇඳ ළඟ ලෑස්ති කරලා තියන්න. ඕනම දෙයක් ලේසියෙන්ම කරන්න පුළුවන් විදිහට වටපිටාව හදාගත්තොත් ඒක දිගටම කරන්න ඔයා පෙලඹෙයි.
යාළුවන්ව තෝරගද්දී පරෙස්සම් වෙන්න. අපි ආශ්‍රය කරන අය විදිහට අපිත් හැඩගැහෙන්න තියෙන ඉඩකඩ වැඩියි. (1 කොරින්ති 15:33) ඒ නිසා ඔයා අත්හරින්න හදන නරක පුරුදුවලට ඔයාව පොලඹවන්න හදන අයගෙන් ඈත් වෙන්න. හොඳ පුරුදුවලට ඔයාව දිරිගන්වන අයව ආශ්‍රය කරන්න.
-
-
3 උත්සාහය අත්හරින්න එපා2016 පිබිදෙව්! | අංක 4
-
-
මුල් පිටුවෙන් | ජීවිතය ලස්සන කරන හොඳ පුරුදු
3 උත්සාහය අත්හරින්න එපා
මොනවා හරි දේකට අලුතින් පුරුදු වෙන්න දවස් 21ක් ගත වෙනවා කියලා හුඟක් අය අතරේ මතයක් තියෙනවා. හැබැයි සමහර අයට ඒ දේ කරන්න ඒ තරම් කාලයක් ගත වෙන්නේ නැහැ කියලත් තවත් අයට ඒ දේ කරන්න ඊටත් වඩා වැඩි කාලයක් ගත වෙනවා කියලත් පර්යේෂණවලින් හෙළි වෙලා තියෙනවා. ඒත් ඒකෙන් අදහස් කරන්නේ උත්සාහ කරන එකෙන් පලක් නැහැ කියලද?
හිතන්න ඔයාට ඕනෙ සතියට දවස් තුනක් ව්‍යායාම කරන පුරුද්ද ඇති කරගන්න කියලා.
පළවෙනි සතියේ ඔයා ඒක කරනවා.
දෙවෙනි සතියේ දවසක් මඟ ඇරෙනවා.
තුන්වෙනි සතියේ දවස් තුනේම කරනවා.
හතරවෙනි සතියේ දවසක් විතරක් කරනවා.
පස්වෙනි සතියේ දවස් තුනේම කරනවා. එතන ඉඳන් ඒක දිගටම කරන්න ඔයාට පුළුවන් වෙනවා.
සති පහ ඔයාට ලොකු කාලයක් වගේ පෙනෙයි. ඒත් ඉලක්කය ජයගත්තාම හොඳ පුරුද්දක් ඇති කරගත්තා කියන සතුට ඔයාට දැනෙයි.
බයිබල් ප්‍රතිපත්තිය: “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය.”—හිතෝපදේශ 24:16.
බයිබලයේ කියන්නේ උත්සාහය අත්හරින්න එපා කියලයි. ඇත්තටම වටින්නේ අපි කී වතාවක් වැටුණාද කියන එක නෙවෙයි, කී වතාවක් නැඟිට්ටාද කියන එකයි.
ඇත්තටම වටින්නේ අපි කී වතාවක් වැටුණාද කියන එක නෙවෙයි, කී වතාවක් නැඟිට්ටාද කියන එකයි
කරන්න පුළුවන් දේ
සැරයක් දෙසැරයක් අසාර්ථක වුණා කියලා හැමදාමත් අසාර්ථක වෙන්නේ නැහැ. ඉලක්කයට යද්දී පසුබෑම් තියෙයි කියලා තේරුම්ගන්න.
ඔයා ඒ දේ හරියට කරපු අවස්ථාවන් ගැන හිතන්න. උදාහරණෙකට දරුවන් එක්ක හොඳින් කතාබහ කරන පුරුද්ද ඇති කරගන්න ඕනෙ නම් ඔයාගෙන්ම මෙහෙම අහන්න. ‘දරුවන්ට බණින්න හිතුණු වෙලාවේ කෑගහන්නේ නැතුව ඉන්න අන්තිමට මට පුළුවන් වුණේ කවදාද? එහෙම කරන්න පුළුවන් වුණේ මං මොනවා කරපු නිසාද? ඒ දේ දිගටම කරන්න පුළුවන් කොහොමද?’ අසාර්ථක වුණු අවස්ථාවන් ගැන ළත වෙන්නේ නැතුව සාර්ථක වුණු අවස්ථාවන් ගැන හිතන්න ඒ ප්‍රශ්න උදව් වෙයි.
කනස්සල්ල නැති කරගන්න, සතුට පිරුණු පවුල් ජීවිතයක් ගෙවන්න වගේම නියම සතුට හොයාගන්න බයිබල් ප්‍රතිපත්ති උදව් වෙන විදිහ දැනගන්න ඔයා කැමතිද? එහෙනම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් එක්ක කතා කරන්න. නැත්නම් jw.org/si වෙබ්අඩවිය වෙත පිවිසෙන්න.
-