ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි සිදු කරන ගෞරවනීය විවාහයන්
    2006 මුරටැඹ | ඔක්තෝබර් 15
    • දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි සිදු කරන ගෞරවනීය විවාහයන්

      “ගලීලයේ කානා නුවරෙහි විවාහ මංගල්‍යයක් විය. . . . යේසුස්ව සහ ඔහුගේ ගෝලයන්වද එම විවාහ මංගල්‍යයට ආරාධනා කර තිබිණ.”—යොහන් 2:1, 2.

      1. කානාහිදී සිදු වූ විවාහ මංගල්‍යය පිළිබඳ වාර්තාවෙන් පෙනී යන්නේ කුමක්ද?

      දෙවිට නමස්කාර කරන ජනයා අතර සිදු කරනු ලබන ගෞරවනීය විවාහයකින් ලැබෙන ප්‍රීතිය ගැන කානාහි විවාහ මංගල්‍යයකට සහභාගි වූ යේසුස්ද, ඔහුගේ මවද ඔහුගේ ගෝලයන් සමහරදෙනෙක්ද දැන සිටියා. බයිබලයේ සඳහන් වන පරිදි යේසුස් ඔහුගේ මුල්ම ප්‍රාතිහාර්ය සිදු කළේ ඒ විවාහ උත්සවයේදීයි. ඒ උත්සවයේ ප්‍රීතිය වැඩි කිරීමට ඒ ප්‍රාතිහාර්ය දායක වුණා. (යොහන් 2:1-11) විවාහ වී සන්තෝෂයෙන් දෙවිට සේවය කිරීමට ආශාවෙන් සිටින ක්‍රිස්තියානි යුවළයන්ගේ විවාහ උත්සවවලට ඔබ සහභාගි වී ඇති. ඇතැම්විට ඔබත් එසේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් විය හැකියි. එසේත් නැත්නම් ඔබේ මිතුරෙකුට හෝ මිතුරියකට සාර්ථක විවාහයක් සිදු කිරීම සඳහා ඔබ උපකාර කිරීමට කැමැත්තෙන් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. විවාහය ගෞරවනීය ලෙස සිදු කිරීම සඳහා කළ හැකි දේවල් මොනවාද?

      2. පුරාණ ඊශ්‍රායෙලයේ සිදු වූ විවාහයන් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?

      2 දේවානුභාවයෙන් ලියා තිබෙන බයිබලයේ දී තිබෙන උපදෙස් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින යුවළයන්ට කොතරම් ප්‍රයෝජනවත්ද කියා ක්‍රිස්තියානීන් දන්නවා. (2 තිමෝති 3:16, 17) ක්‍රිස්තියානි විවාහ උත්සවයක් පැවැත්විය යුතු ආකාර ගැන සියලුම විස්තර බයිබලයේ සඳහන් වී නැති බව ඇත්තයි. මීට හේතුව විවාහ චාරිත්‍ර වාරිත්‍ර සහ නීත්‍යනුකූල කටයුතු රටින් රටට හා කලින් කලට වෙනස් විය හැකි නිසයි. උදාහරණයක් හැටියට පුරාණ කාලයේ ඊශ්‍රායෙලයේ විධිමත් විවාහ උත්සවයන් පැවැත්වූයේ නැහැ. විවාහ වන දවසේදී මනාලයා මනාලියව ඔහුගේ නිවසට හෝ තම පියාගේ නිවසට කැඳවාගෙන ආවා. (උත්පත්ති 24:67; යෙසායා 61:10; මතෙව් 1:24) මෙය අවට ජනයා දුටු විට එම යුවළ විවාහ වූ බවට සාක්ෂියක් වුණා. අද දින විවාහයන් බොහොමයක දැකිය හැකි විධිමත් උත්සව එදා සිදු කළේ නැහැ.

      3. කානාහිදී යේසුස් සහභාගි වුණේ කුමකටද?

      3 මනාලියව නිවසට කැඳවාගෙන ඒම විවාහය සිදු වූ බවට සාක්ෂියක් බව පුරාණ ඊශ්‍රායෙල්වරුන් සැලකුවා. ඉන්පසු ඔවුන් ඒ ප්‍රීතිය නිමිත්තෙන් යොහන් 2:1හි සඳහන් ආකාරයේ උත්සවයක් පවත්වන්න ඇති. (මතෙව් 22:2-10; 25:10; ලූක් 14:8) කානාහි සිදු වූ විවාහ උත්සවයට යේසුස් සහභාගි වූ බව වාර්තාවෙන් පැහැදිලි වෙනවා. එමෙන්ම ඔහු එම විවාහ මංගල්‍යයේ ප්‍රීතිය වැඩි කිරීමටද දායක වුණා. එහෙත් මෙහිදී අපි අවධානය යොමු කළ යුතු ප්‍රධානතම කාරණය නම් එදා සිදු වූ විවාහයන් අද දින සිදු වන විවාහයන්ට වඩා වෙනස් බවයි.

      4. ඇතැම් ක්‍රිස්තියානීන් තීරණය කරන්නේ කුමන ආකාරයේ විවාහයක් පැවැත්වීමටද? එවැනි තේරීමක් කිරීමට හේතුව කුමක්ද?

      4 බොහෝ රටවල ජීවත් වන ක්‍රිස්තියානීන් විවාහ වන විට ඔවුන් සපුරාලිය යුතු නීතිමය අවශ්‍යතාවන් තිබෙනවා. ඔවුන් මෙසේ කළ පසු නීත්‍යනුකූලව ඔවුන්ගේ විවාහ කටයුතු සිදු කළ හැකියි. ආණ්ඩුවේ බලතල හිමි රෙජිස්ට්‍රාර්වරයෙකුට හෝ දේවගැතියෙකුට චාම් උත්සවයකදී එවැනි විවාහයක් සිදු කළ හැකියි. සමහර අය නෑදෑයන් කිහිපදෙනෙකුට හෝ ක්‍රිස්තියානි මිතුරන් කිහිපදෙනෙකුට නීත්‍යනුකූල කටයුතුවලට සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටීමට හෝ එම අවස්ථාවේ ප්‍රීතිය භුක්ති විඳීම සඳහා ආරාධනා කළ හැකියි. (යෙරෙමියා 33:11; යොහන් 3:29) සමහර ක්‍රිස්තියානීන් විශාල මුදලක් හා කාලයක් වැය වෙන විවාහ උත්සවයක් නොපැවැත්වීමට තීරණය කළ හැකියි. ඔවුන් කිට්ටු මිතුරන් ටික දෙනෙකු සමඟ ආහාර වේලක් භුක්ති විඳීමට සැලසුම් කරන්න පුළුවන්. විවාහය සිදු කිරීම ගැන ක්‍රිස්තියානීන් අතර වෙනස් මත තිබිය හැකියි.—රෝම 14:3, 4.

      5. බොහෝ ක්‍රිස්තියානි යුවළයන් තමන්ගේ විවාහයේදී බයිබලය මත පදනම් කතාවකට සවන් දීමට ප්‍රිය කරන්නේ ඇයි? එම කතාවේදී මූලිකව පෙන්වා දෙන්නේ කුමක්ද?

      5 ක්‍රිස්තියානි යුවළයන් බොහොමයක් තමන්ගේ විවාහයේදී බයිබලය මත පදනම් කතාවකට සවන් දීමට ප්‍රිය කරනවා.a විවාහ සැලැස්ම මුලින්ම ඇති කළ තැනැත්තා වන යෙහෝවා දෙවි ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නැණවත් උපදෙස් ඔහුගේ වචනය මාර්ගයෙන් ලබා දෙන බව ඔවුන් තේරුම්ගෙන සිටිනවා. (උත්පත්ති 2:22-24; මාක් 10:6-9; එෆීස 5:22-33) තමන්ගේ විවාහ උත්සවයට ක්‍රිස්තියානි හිතමිතුරන් හා නෑදෑයන් සහභාගි වෙනවා දකින්න බොහෝ යුවළයන් කැමතියි. විවාහය හා සම්බන්ධ විවිධ නීතිමය අවශ්‍යතාවන් හා ප්‍රාදේශීය සිරිත් විරිත් අපි සැලකිය යුත්තේ කෙසේද? මේ ලිපියේදී සලකා බලන්නේ විවිධ රටවල තත්වයන් ගැනයි. ඇතැම් රටවල විවාහයන් සිදු වන ආකාරය ඔබේ රටේ විවාහයන් සිදු කරන ආකාරයට වඩා යම් පැතිවලින් වෙනස් විය හැකියි. කෙසේවෙතත් දෙවිගේ සේවකයන් වැදගත් සේ සලකන පොදු ප්‍රතිපත්ති තිබෙන බව ඔබ දකීවි.

      නීත්‍යනුකූල විවාහයක් ගෞරවනීයයි

      6, 7. විවාහය හා සම්බන්ධ නීතිමය කාරණා ගැන අපි උනන්දු වන්නේ ඇයි? අපි ඒ ගැන උනන්දු වන බව පෙන්විය හැක්කේ කෙසේද?

      6 විවාහ සැලැස්ම මුලින්ම ඇති කළේ යෙහෝවා දෙවි වුණත් රජය විසින් විවාහයන් කෙරෙහි යම් නීති පනවා තිබෙනවා. යේසුස් මෙසේ පැවසුවා. “සීසර්ගේ දේ සීසර්ටද, දෙවිගේ දේ දෙවිටද දෙන්න.” (මාක් 12:17) පාවුල්ද මෙසේ සඳහන් කළා. “සෑම කෙනෙකුම උසස් බලධාරීන්ට යටත් වන්න. මන්ද, දෙවිගෙන් මිස වෙන කිසි අධිකාරියක් නැත. දැන් සිටින බලධාරීන්ට හිමි සාපේක්ෂ බලතලවල ඔවුන්ව පිහිටුවා තිබෙන්නේ දෙවි විසිනි.”—රෝම 13:1; තීතස් 3:1.

      7 බොහෝ රටවල ආණ්ඩුවේ බලධාරීන් විසින් විවාහ වීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් තීරණය කරනු ලබයි. මේ නිසා ශුද්ධ ලියවිල්ලට අනුව විවාහ වීමට බාධාවක් නොමැති ක්‍රිස්තියානි යුවළක් තමන් ජීවත් වන රටේ විවාහය හා සම්බන්ධ නීතිවලට කීකරු වෙයි. මෙයට විවාහය ලියාපදිංචි කිරීම හා රජයේ අවසරය තිබෙන පුද්ගලයෙක් ඉදිරියේ විවාහය සිදු කිරීම වැනි දෑ ඇතුළත් විය හැකියි. උදාහරණයක් හැටියට සීසර් ඔගස්ටස් විසින් “ලියාපදිංචි කිරීම” සඳහා නියෝගයක් නිකුත් කළ විට යෝසෙප් සහ මරියා ඊට කීකරු වෙමින් “ලියාපදිංචි වන පිණිස” බෙත්ලෙහෙමට ගියා.—ලූක් 2:1-5.

      8. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිදු නොකරන සමහර පිළිවෙත් මොනවාද? ඊට හේතුව කුමක්ද?

      8 ක්‍රිස්තියානි යුවළක් නීතියෙන් පිළිගන්නා ආකාරයට විවාහ වන විට ඔවුන් දෙදෙනා එකිනෙකා අතර ජීවිතාන්තය දක්වා තිබෙන බැඳීමක් දෙවි ඉදිරියෙහි ඇති කරගන්නවා. මේ නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් නීත්‍යනුකූල කටයුතු දෙතුන්වතාවක් කරන්නේවත් ඔවුන්ගේ 25වන හා 50වන විවාහ සංවත්සරවලදී නැවතත් ඔවුන්ගේ විවාහ පොරොන්දු අලුත් කරන්නේවත් නැහැ. (මතෙව් 5:37) (නීත්‍යනුකූලව විවාහයක් සිදු කළත් පූජකයෙක් එම විවාහය සිදු කර නැත්නම් එය පිළිගත හැකියි කියා ඇතැම් පල්ලි සලකන්නේ නැහැ.) බොහෝ රටවල ආණ්ඩු විසින් විවාහයක් සිදු කිරීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේවගැතියෙකුට අවසර ලබා දිය හැකියි. මෙවැනි බලතල ඔහුට ලබාගත හැකි නම් විවාහයේ නීත්‍යනුකූල කටයුතු සිදු කරන අවස්ථාවේදී කතාවක්ද රාජ්‍ය ශාලාවේ ඉදිරිපත් කිරීමට කැමති විය හැකියි. යෙහෝවා දෙවි ඇති කළ විවාහ සැලැස්ම ගැන කතාවක් ඉදිරිපත් කළ හැකි හොඳම ස්ථානය වන්නේ සැබෑ නමස්කාරයේ මධ්‍යස්ථානය වන රාජ්‍ය ශාලාවයි.

      9. (අ) ක්‍රිස්තියානි යුවළක් නීත්‍යනුකූලව තමන්ගේ විවාහය සිදු කිරීමෙන් පසු කැමති විය හැක්කේ කුමක් කිරීමටද? (ආ) විවාහය සඳහා කරන සැලසුම්වලට වැඩිමහල්ලන් සම්බන්ධ වන්නේ කෙසේද?

      9 ඇතැම් රටවල නීතියට අනුව යුවළක් විවාහ විය යුත්තේ රෙජිස්ට්‍රාර් කාර්යාලයක හෝ විවාහයක් සිදු කිරීම සඳහා රජය විසින් පත් කර තිබෙන නිලධාරියෙක් ඉදිරිපිටයි. ක්‍රිස්තියානීන් විවාහයේ නීතිමය කටයුතු සිදු කරන දවසේදීම හෝ ඉන්පසු දවසක රාජ්‍ය ශාලාවේ බයිබලය මත පදනම් කතාවක් ඉදිරිපත් කරනවා දකින්න යුවළ කැමති විය හැකියි. (නීතිමය කටයුතු සිදු කිරීමෙන් පසු ඔවුන් දෙවි සහ ක්‍රිස්තියානි සභාවේ අය ඇතුළු මනුෂ්‍යයන් ඉදිරියේ නීත්‍යනුකූලව විවාහ වී සිටින නිසා වැඩි දවසක් නොයවා බයිබල මත පදනම් කතාවක් දීමට සැලසුම් කිරීම සුදුසුයි.) නීත්‍යනුකූලව විවාහ වන යුවළක් රාජ්‍ය ශාලාවකදී බයිබලය මත පදනම් කතාවකට සවන් දීමට කැමති නම් ඒ සඳහා ඔවුන් දෙදෙනා කල්වේලා ඇතිව අදාළ සභාවේ සේවා කමිටුවේ වැඩිමහල්ලන්ගෙන් අවසර ලබාගත යුතුයි. මේ අවේක්ෂකයන් එම යුවළ හොඳ නමක් ඇති කරගෙන තිබෙනවාද කියා සොයාබැලීමට අමතරව විවාහය සිදු කරන වේලාව රාජ්‍ය ශාලාවේ පත්වන සාමාන්‍ය රැස්වීම්වලට හා කලින් සැලසුම් කර තිබෙන විශේෂ වැඩසටහන්වලට බාධාවක් නොවන බවට සහතික විය යුතුයි. (1 කොරින්ති 14:33, 40) රාජ්‍ය ශාලාව විවාහය සඳහා සූදානම් කිරීම සම්බන්ධයෙන් යුවළ කරන ඉල්ලීම් ගැනත් ඒ වැඩිමහල්ලන් සලකා බලයි. එමෙන්ම රාජ්‍ය ශාලාවේ විවාහයක් පැවැත්වීම ගැන නිවේදනයක් කරන්න අවශ්‍යද කියා ඔවුන් තීරණය කළ හැකියි.

      10. නීත්‍යනුකූලව විවාහයක් සිදු කර තිබෙනවා නම් එය විවාහ උත්සවයේදී ඉදිරිපත් කරන බයිබලය මත පදනම් කතාවට හා විවාහ පොරොන්දුවලට බලපාන්නේ කෙසේද?

      10 විවාහ උත්සවයේදී බයිබලය මත පදනම් කතාව ඉදිරිපත් කරන වැඩිමහල්ලා එම කතාව මිත්‍රශීලී ආකාරයෙන් මෙන්ම ගෞරවනීය ලෙස ඉදිරිපත් කරයි. ඔහු නව යුවළට යෙහෝවා දෙවිට තවත් ළං වීමට හැකි වන ලෙස කරුණු ඉදිරිපත් කරයි. විවාහ වන යුවළ ඒ වන විටත් නීත්‍යනුකූව විවාහ වී සිටිනවා නම් ඔවුන් දෙදෙනා රටේ නීතියට අනුව දැනටමත් විවාහ වී සිටින බව ඔහු සබයට පවසයි. නීත්‍යනුකූල කටයුතු සිදු කළ අවස්ථාවේදී විවාහ පොරොන්දු ගෙන නැත්නම් කතාව ඉදිරිපත් කරන අවස්ථාවේදී එම පොරොන්දු දීමට යුවළ කැමති විය හැකියි.b නීත්‍යනුකූල කටයුතු සිදු කළ අවස්ථාවේදී විවාහ පොරොන්දු දී තිබුණත් යෙහෝවා දෙවි සහ සභාව ඉදිරියෙහි නැවතත් එම පොරොන්දු දීමට නව විවාහ යුවළ කැමති නම් ඔවුන් එම පොරොන්දු දෙන්නේ ඔවුන් දැනටමත් විවාහ වී සිටින බව අඟවන ආකාරයටයි. ඔවුන් එසේ කරන්නේ තමන් දැනටමත් ‘එක් වී’ සිටින බව අන් අයට පෙන්වීමටයි.—මතෙව් 19:6; 22:21.

      11. ඇතැම් රටවල විවාහයන් සිදු වන්නේ කෙසේද? ඒ අනුව විවාහ කතාව ඉදිරිපත් කරන්නේ කෙසේද?

      11 ඇතැම් රටවල තිබෙන නීතියට අනුව යුවළක් තම විවාහය රජයේ නිලධාරියෙක් ඉදිරියේ සිදු කිරීම අවශ්‍ය නොවිය හැකියි. මෙවැනි රටක විවාහයක් සිදු වන්නේ යුවළ අත්සන් තැබූ පෝරමයක් රජයේ අදාළ නිලධාරියෙකුට බාර දීමෙනුයි. ඉන්පසු ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කර විවාහ සහතිකයක් නිකුත් කරනු ලබන අතර එම යුවළව ස්වාමිපුරුෂයා හා භාර්යාව ලෙස සලකනු ලබනවා. ඔවුන්ගේ විවාහ දිනය වන්නේ එම සහතිකයේ සඳහන් දිනයයි. මේ ආකාරයට නීත්‍යනුකූලව විවාහ වූ යුවළක් රාජ්‍ය ශාලාවේදී විවාහය ගැන බයිබලය මත පදනම් කතාවක් අද්දැකීම් ලත් සහෝදරයෙක් ඉදිරිපත් කරනවාට කැමති විය හැකියි. මෙම විවාහ යුවළ නීත්‍යනුකූලව විවාහ වී තිබෙන බව කථිකයා කතාවේදී සඳහන් කරයි. මෙහිදී දෙනු ලබන විවාහ පොරොන්දු දිය යුත්තේ දහවන ඡේදයේ හා එහි පාද සටහනේ පෙන්වා දී තිබෙන ආකාරයටයි. රාජ්‍ය ශාලාවට පැමිණ සිටින අය යුවළ සමඟ තම ප්‍රීතිය බෙදාගන්න අතර දේවවචනය මත පදනම් උපදෙස්වලින් ඔවුන්ද ප්‍රයෝජන ගනියි.—සලමොන්ගේ ගීතිකාව 3:11.

      චාරිත්‍රානුකූල හා රටේ නීතියට අනුව කෙරෙන විවාහයන්

      12. චාරිත්‍රානුකූල විවාහයක් කියන්නේ කුමකටද? එවැනි විවාහයකින් පසු කුමක් කිරීම ප්‍රයෝජනදායක විය හැකිද?

      12 ඇතැම් රටවල විවාහයන් සිදු කරන්නේ ඒ රටේ (හෝ ගෝත්‍රයේ) චාරිත්‍රවලට අනුවයි. අප මෙහිදී කතා කරන්නේ නීත්‍යනුකූල කටයුතු සිදු නොකර පුරුෂයෙක් හා ස්ත්‍රියක් එකට ජීවත් වීම පිළිගන්න ප්‍රදේශවල පවතින තත්වය ගැන නොවෙයි.c මෙහිදී සලකා බලන චාරිත්‍රානුකූල විවාහයක් කියන්නේ යම් ගෝත්‍රයක හෝ ප්‍රදේශයක පිළිගත් චාරිත්‍රවලට අනුකූලව සිදු වන විවාහයන් ගැනයි. උදාහරණයක් ලෙස එවැනි ප්‍රදේශවල මනාලියක් විවාහ කර ගැනීම සඳහා මුදලක් ගෙවීම සහ එය පිළිගැනීමේ චාරිත්‍ර තිබෙනෙවා. එම චාරිත්‍ර ඉටු කිරීමෙන් අඟවන්නේ ඔවුන් විවාහ ජීවිතයට ඇතුල් වූ බවයි. මෙලෙස විවාහ වීම නීතිමය වශයෙන් පිළිගනු ලබන අතර ශුද්ධ ලියවිල්ලටද පටහැනි නොවෙයි. මෙම චාරිත්‍රය සිදු කරන රටවල රජය විසින් එවැනි චාරිත්‍රානුකූල විවාහයන් නීත්‍යනුකූල බවත් දෙදෙනා එකිනෙකාට බැඳී සිටින බවත් පිළිගනු ලබනවා. චාරිත්‍රානුකූල කටයුතුවලින් පසු විවාහය ලියාපදිංචි කළ හැකි අතර එසේ කිරීමෙන් යුවළට විවාහ සහතිකයක් ලබාගත හැකියි. මෙලෙස විවාහය ලියාපදිංචි කිරීමෙන් යුවළට ලැබෙන නීතිමය ආරක්ෂාව වැඩියි. එමෙන්ම ස්වාමිපුරුෂයා මිය ගියොත් භාර්යාවට හා දරුවන්ටද එය ආරක්ෂාවක් වෙයි. මෙලෙස චාරිත්‍රානුකූලව විවාහ වන අය තමන්ගේ විවාහය ලියාපදිංචි කිරීම වඩාත් ප්‍රයෝජනදායකයි කියා සභාව ඔවුන්ට පෙන්වා දිය හැකියි. මෝසෙස්ට දෙන ලද නීතියට අනුව විවාහයන් සහ උපත් පිළිබඳ නිල වාර්තාවක් තබාගත් බව පෙනෙන්න තිබෙනවා.—මතෙව් 1:1-16.

      13. චාරිත්‍රානුකූල විවාහයකින් පසු බයිබලය මත පදනම් කතාවක් ඉදිරිපත් කිරීමේදී කුමක් ගැන සඳහන් කිරීම යෝග්‍යද?

      13 යුවළක් චාරිත්‍රානුකූලව විවාහ වූ පසු ඔවුන් දෙදෙනාව ස්වාමිපුරුෂයා හා භාර්යාව ලෙස පිළිගනී. මෙය එවැනි රටවල නීතියෙන්ද පිළිගනියි. මෙසේ විවාහ වන යුවළක් විවාහය ගැන කතාවක් හා විවාහ පොරොන්දු දීම රාජ්‍ය ශාලාවේදී සිදු කිරීමට කැමති විය හැකියි. මෙවැනි අවස්ථාවකදී කථිකයා මේ යුවළ රටේ නීතියට අනුව දැනටමත් විවාහ වී සිටින බව සඳහන් කරයි. මෙවැනි කතාවක් ඉදිරිපත් කරන්නේ එක් වතාවක් පමණයි. එමෙන්ම විවාහ චාරිත්‍ර සිදු කරනු ලබන්නේද එක් වතාවක් පමණයි. චාරිත්‍රානුකූල කටයුතුවලින් පසුව එතරම් කල් නොයවා, හැකි නම් එදාම රාජ්‍ය ශාලාවේදී කතාවක් ඉදිරිපත් කරනවා නම් එය ගෞරවනීය ක්‍රිස්තියානි විවාහයක් ලෙස මිනිසුන් සලකයි.

      14. චාරිත්‍රානුකූලව හෝ රටේ නීතියට අනුව විවාහ විය හැකි අවස්ථාවලදී ක්‍රිස්තියානීන් වැඩි කැමැත්තක් දක්වන්නේ කුමන ක්‍රමයටද?

      14 ඇතැම් රටවල චාරිත්‍රානුකූලව හෝ රටේ නීතියට අනුව විවාහයන් සිදු කිරීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් රටේ නීතියට අනුව විවාහයක් සිදු කරනු ලබන්නේ රජයේ නිලධාරියෙක් ඉදිරියේයි. එයට විවාහ පොරොන්දු ගැනීමත් විවාහය ලියාපදිංචි කිරීමත් ඇතුළත් වෙනවා. සමහර ක්‍රිස්තියානීන් චාරිත්‍රානුකූල විවාහයකට වඩා රටේ නීතියට අනුව සිදු කරන විවාහයන්ට කැමතියි. මෙම ආකාර දෙකටම විවාහයක් සිදු කිරීම නීතිමය අවශ්‍යතාවක් නොවන අතර ඉන් එක් ක්‍රමයකට විවාහය සිදු කළත් එය නීත්‍යනුකූල විවාහයක් ලෙස පිළිගනු ලබනවා. බයිබලය මත පදනම් කතාවක් සහ පොරොන්දු ගැනීම සම්බන්ධයෙන් නවවන හා දහවන ඡේදයේ සඳහන් කරුණු මෙවැනි විවාහයකටත් අදාළයි. ප්‍රධානම දෙය වන්නේ විවාහක යුවළ දෙවි සහ මිනිසුන් ඉදිරියේ ගෞරවනීය ලෙස විවාහ වීමයි.—ලූක් 20:25; 1 පේතෘස් 2:13, 14.

      විවාහය තුළ ගෞරවය රැකගැනීම

      15, 16. විවාහයකදී ගෞරවය රැක ගැනීම සඳහා කුමක් කළ යුතුද?

      15 පර්සියානු රජුගේ විවාහ ජීවිතයේ ගැටලුවක් ඇති වූ අවස්ථාවේදී ඔහුගේ ප්‍රධාන උපදේශකයා වූ මෙමූකාන් ‘සියලු භාර්යාවන් තමන්ගේ පුරුෂයන්ට ගෞරවය කරන්න’ කියා උපදෙසක් දුන්නා. එයින් ප්‍රයෝජන අත් වෙන්න ඇතියි කියා සිතිය හැකියි. (එස්තර් 1:20) ක්‍රිස්තියානි භාර්යාවන්ට රජ කෙනෙක් එවැනි නියෝගයක් දීම අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන් තමන්ගේ ස්වාමිපුරුෂයන්ට ගෞරව කරනවා. ඒ හා සමානව ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන්ද තම භාර්යාවන්ට ගෞරව කරමින් ප්‍රශංසා කරනවා. (හිතෝපදේශ 31:11, 30; 1 පේතෘස් 3:7) විවාහය තුළ ගෞරවය පෙන්විය යුතු වන්නේ කාලයක් ගත වූවාට පසුව නොව විවාහ වූ දවසේ සිටයි.

      16 විවාහ දිනයේදී ගෞරවය පෙන්විය යුත්තේ විවාහ වන යුවළ පමණක් නොවෙයි. ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් විවාහ කතාව දෙනවා නම් ඔහුද එය ඉදිරිපත් කළ යුත්තේ ගෞරවනීය ලෙසයි. මෙම කතාවෙන් ඇමතිය යුත්තේ විවාහ වන යුවළවයි. මෙම කතාවෙන්ද යුවළට ගෞරවයක් පෙන්විය හැකි නිසා ඔහු විහිළු කතා පවසන්නේ නැහැ. නව යුවළව හා සබය අපහසුතාවට පත් වන අකාරයෙන් යුවළ සම්බන්ධයෙන් පෞද්ගලික දේවල් නොපැවසිය යුතුයි. ඔහු උත්සහ කළ යුත්තේ තම කතාව උණුසුම් හැඟීමකින් හා ගොඩනංවනසුලු අයුරින් ඉදිරිපත් කරමින් විවාහ සැලැස්ම ආරම්භ කළ තැනැත්තා සහ ඔහු දී තිබෙන උපදෙස් කෙරෙහි අවධානය යොමු කිරීමටයි. මෙලෙස කතාව ඉදිරිපත් කරන වැඩිමහල්ලා ගෞරවනීය ලෙස තම කතාව ඉදිරිපත් කිරීමෙන් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන විවාහයක් සිදු කළ හැකියි.

      17. ක්‍රිස්තියානි විවාහයන්වලදී නීතිමය අවශ්‍යතාවන් ගැන සලකා බැලිය යුත්තේ ඇයි?

      17 විවාහය හා සම්බන්ධ බොහෝ නීතිමය කරුණු අප මේ ලිපියේදී සලකා බැලුවා. මෙහි සඳහන් ඇතැම් කාරණා ඔබ ජීවත් වන රටට බලනොපාන්න පුළුවන්. යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිදු වන විවාහයන්වලදී රටේ නීතිවලට ගෞරව කිරීමේ වැදගත්කම අප සියලුදෙනාම තේරුම් ගත යුතුයි. (ලූක් 20:25) පාවුල් අපෙන් මෙසේ ඉල්ලා සිටියා.‘සියල්ලන්ට දිය යුතු දේ දෙන්න. බදු දිය යුතු තැනැත්තාට බදුද, භය විය යුතු තැනැත්තාට භය වෙන්න. ගෞරවය දිය යුතු තැනැත්තාට ගෞරවය දෙන්න.’ (රෝම 13:7) මේ අනුව ක්‍රිස්තියානීන්, දෙවි විවාහය සම්බන්ධයෙන් පිහිටුවා තිබෙන සැලැස්මට විවාහ වූ දවසේ සිටම ගෞරවය පෙන්වීම වැදගත්.

      18. විවාහයකදී තවත් කුමන කාරණයක් කෙරෙහි සැලකිලිමත් විය යුතුද? ඒ ගැන අපට තොරතුරු ලබාගත හැක්කේ කොහෙන්ද?

      18 බොහෝ ක්‍රිස්තියානීන් ඔවුන්ගේ විවාහයෙන් පසු ප්‍රිය සාදයන් පවත්වනවා. එවැනි ප්‍රිය සාදයකට යේසුස් සහභාගි වූ බව ඔබට මතක ඇති. එවැනි ප්‍රිය සාදයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා නම් දෙවිව ගෞරවයට පත් වන ආකාරයෙනුත් නව යුවළව හා ක්‍රිස්තියානි සභාව කෙරෙහි හොඳ හැඟීමක් ඇති වන ආකාරයෙනුත් එය පැවැත්වීමට බයිබලයේ දී තිබෙන උපදෙස් උපකාරවත් වන්නේ කෙසේද? එම කාරණය ගැන ඊළඟ ලිපියේදී සලකා බලමු.d

      [පාදසටහන්වල]

      a යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විවාහ උත්සවවලදී “දෙවිගේ නෙත් හමුවේ ගෞරවනීය විවාහය” යන තේමාවෙන් යුත් විනාඩි 30ක කතාවක් ඉදිරිපත් කරනවා. මේ කතාවේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කර තිබෙන පවුලේ සන්තෝෂයට රහස නමැති පොතේ හෝ වෙනත් ප්‍රකාශනවල තිබෙන ශුද්ධ ලියවිල්ල මත පදනම් කරුණු ඉදිරිපත් කරනු ලබනවා. මෙම කතාව විවාහ වන යුවළට මෙන්ම පැමිණෙන සියලුදෙනාටම ප්‍රයෝජනවත් වෙනවා.

      b රටේ නීතිය මගින් මෙම පොරොන්දු පිළිගන්නවා නම් දෙවිව ගෞරවයට පත් කරන පහත සඳහන් මෙම පොරොන්දු දිය හැකියි. “[මනාලයාගේ නම] වන මම [මනාලියගේ නම] වන ඔබව මගේ විවාහක භාර්යාව ලෙස පිළිගෙන, ක්‍රිස්තියානීන් සඳහා ශුද්ධ ලියවිලිවල ස්වාමිපුරුෂයන්ට දක්වා තිබෙන දිව්‍යමය නීතියට අනුකූලව, දෙවිගේ විවාහ විධිවිධානයට අනුව අප දෙදෙනා එක්ව පොළොව මත ජීවත්ව සිටින තාක් කල් ප්‍රේම කිරීමටත්, ආදරයෙන් රැකබලා ගැනීමටත් ඔබව භාරගනිමි.” මනාලිය දෙන පොරොන්දුව: “[මනාලියගේ නම] වන මම [මනාලයාගේ නම] වන ඔබව මගේ විවාහක ස්වාමිපුරුෂයා ලෙස පිළිගෙන, ක්‍රිස්තියානීන් සඳහා ශුද්ධ ලියවිලිවල භාර්යාවන්ට දක්වා තිබෙන දිව්‍යමය නීතියට අනුකූලව, දෙවිගේ විවාහ විධිවිධානයට අනුව අප දෙදෙනා එක්ව පොළොව මත ජීවත්ව සිටින තාක් කල් ප්‍රේම කිරීමටත්, ආදරයෙන් රැකබලා ගැනීමටත්, ගැඹුරු ලෙස ගෞරවය කිරීමටත් ඔබව භාරගනිමි.”

      c මෙවැනි විවාහයන් ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 1962 මැයි 1 මුරටැඹ සඟරාවේ 287වන පිටුව බලන්න.—සිංහලෙන් නැත.

      d මෙම සඟරාවේ 28වෙනි පිටුවේ සඳහන් “ඔබේ විවාහ දිනයේ ප්‍රීතිය හා ගෞරවය වැඩි කරගන්න අයුරු” යන තේමාවෙන් යුත් ලිපිය බලන්න.

      ඔබට මතකද?

      • විවාහයකදී නීතිමය කටයුතු මෙන්ම ආගමික කටයුතු ගැනද අප සැලකිල්ලක් දැක්විය යුත්තේ ඇයි?

      • ක්‍රිස්තියානි යුවළක් තම විවාහය ලියාපදිංචි කිරීමෙන් පසුව කල් නොයවා තවත් කුමක් කිරීමට කැමති විය හැකිද?

      • විවාහ කතාව දීමට රාජ්‍ය ශාලාවක් තෝරාගනු ලබන්නේ ඇයි?

      [18වන පිටුවේ පින්තූරය]

      පුරාණ ඊශ්‍රායෙලයේ විවාහයන් සිදු වුණේ මනාලයා මනාලියව ඔහුගේ නිවසට හෝ තම පියාගේ නිවසට කැඳවාගෙන එමෙන්

      [21වන පිටුවේ පින්තූරය]

      චාරිත්‍රානුකූල විවාහයකින් පසු ක්‍රිස්තියානි යුවළක් රාජ්‍ය ශාලාවේදී කතාවකට සවන් දීමට කැමති විය හැකියි

  • ඔබේ ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්වන්න
    2006 මුරටැඹ | ඔක්තෝබර් 15
    • ඔබේ ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්වන්න

      “ඇදහිල්ල ක්‍රියා නැතිව තිබේ නම් එය මැරිලාය.”—යාකොබ් 2:17.

      1. මුල් ක්‍රිස්තියානීන් ඇදහිල්ල ගැන මෙන්ම ක්‍රියා ගැනද සැලකිලිමත් වූයේ මන්ද?

      මුල් ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුගේ ඇදහිල්ල ඔවුන් ජීවත් වූ ආකාරයෙන් දකින්න තිබුණා. යේසුස්ගේ ගෝලයෙක් වූ යාකොබ් සියලුම ක්‍රිස්තියානීන්ගෙන් මෙසේ ඉල්ලා සිටියා. “හුස්ම නැති ශරීරය මැරී තිබෙන්නාක් මෙන්ම, ක්‍රියා නැති ඇදහිල්ලද මැරී තිබේ.” (යාකොබ් 1:22; 2:26) ඔහු එම වචන ලියා අවුරුදු 35ක් පමණ ගතවීමෙන් පසුවත් ඔවුන්ගේ ඇදහිල්ල ක්‍රියාවලින් දිගටම දකින්න තිබුණා. ඒත් කනගාටුවට කරුණක් නම් ඇතැමුන් එසේ නොකිරීමයි. යේසුස් ස්මර්ණා සභාවට ප්‍රශංසා කළා. ඒත් සර්දිස් සභාවේ බොහෝදෙනෙකු ගැන මෙසේ පැවසුවා. “මම ඔබේ ක්‍රියා දනිමි. නමට ඔබ ජීවමානව සිටියත් ඔබ මළ බවද මම දනිමි.”—එළිදරව් 2:8-11; 3:1.

      2. ක්‍රිස්තියානීන් තමන්ගේ ඇදහිල්ල සම්බන්ධයෙන් සිතා බැලිය යුතු ප්‍රශ්න මොනවාද?

      2 යේසුස් සර්දිස්හි සිටි ක්‍රිස්තියානීන්ට පමණක් නොව පසු කාලයකදී ඔහුගේ වදන් කියවන සියලුදෙනාටම සත්‍යය සඳහා මුලින් තිබූ ප්‍රේමය සැමදා පෙන්වීමටත් දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් පවත්වා ගැනීමටත් දිරිගැන්වුවා. (එළිදරව් 3:2, 3) අප එක් එක්කෙනා මේ ප්‍රශ්න ගැන හොඳින් සිතා බැලිය යුතුයි. ‘මම ක්‍රියා කරන ආකාරය ගැන මට සතුටු වෙන්න පුළුවන්ද? මගේ ඇදහිල්ල මගේ ක්‍රියාවලින් පැහැදිලිව දකින්න තිබෙනවාද? එමෙන්ම ශුභාරංචිය දේශනා කිරීම හා සභා රැස්වීම් හැරුණු කොට මම කරන සෑම දෙයකදීම මගේ ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්වීමට මම මගේ උපරිමය කරනවාද?’ (ලූක් 16:10) අපේ ඇදහිල්ල පෙන්විය හැකි පැති බොහෝමයක් තිබෙනවා. ඒත් අපි මේ ලිපියේදී සලකා බලන්නේ එක් පැත්තක් ගැන පමණයි. එනම් ක්‍රිස්තියානීන් තම විවාහයෙන් පසු පවත්වන ප්‍රිය සාදයන් ගැනයි.

      කුඩා ප්‍රිය සාදයන්

      3. ප්‍රිය සාදවලට සහභාගි වීම බයිබලය සලකන්නේ කෙසේද?

      3 ක්‍රිස්තියානීන් සමඟ ප්‍රීතිමත් ඇසුරක් භුක්ති විඳින්න අපටත් ආරාධනා කරනවාට අපි කැමතියි. ‘සන්තෝෂවත් දෙවි’ යෙහෝවා කැමති ඔහුගේ සේවකයන්ද සන්තෝෂයෙන් සිටිනවා දකින්නයි. (1 තිමෝති 1:11) මෙම යථාර්ථය බයිබලයේ වාර්තා කිරීමට දෙවි සලමොන්ට මඟ පෙන්නුවා. “මම ප්‍රීතිය යහපතැයි කීමි. මක්නිසාද කා බී ප්‍රීති වීමට වඩා ඉර යට මනුෂ්‍යයාට හොඳ දෙයක් නැත. දෙවි ඉර යට ඔහුට දෙන ඔහුගේ ජීවිතයේ දවස්වලදී ඔහුගේ වැඩෙන් ඔහුට දෙන ලද එය පවතින්නේය.” (දේශනාකාරයා 3:1, 4, 13; 8:15) පවුලේ අය එකට එකතු වී ආහාර වේලක් ගන්න අවස්ථාවේදී හෝ සැබෑ නමස්කාරකයන් එකට එකතු වී පවත්වන කුඩා ප්‍රිය සාදයකදී එවැනි ප්‍රීතිමත් අවස්ථාවක් භුක්ති විඳිය හැකියි.—යෝබ් 1: 4, 5, 18; ලූක් 10:38-42; 14:12-14.

      4. ප්‍රිය සාදයක් සැලසුම් කරන කෙනෙක් සැලකිලිමත් විය යුත්තේ කුමක් ගැනද?

      4 ඔබ එවැනි ප්‍රිය සාදයක් සැලසුම් කරනවා නම් කල්තියා එම සැලසුම් ගැන හොඳින් සිතා බැලිය යුතුයි. ආහාර වේලක් භුක්ති විඳිමින් සතුටු සාමිච්චියේ යෙදීමට ඔබ ආරාධනා කරන්නේ සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුට පමණක් වුණත් ඒ ගැන හොඳින් සිතා බැලීම අවශ්‍යයි. (රෝම 12:13) “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” සපයන මඟ පෙන්වීම්වලට අනුව ‘සියල්ල විනීතවද පිළිවෙළකටද සිදු වෙනවා’ දකින්න ඔබ කැමති වෙනවාට සැකයක් නැහැ. (1 කොරින්ති 14:40; යාකොබ් 3:17) පාවුල් මෙසේ සඳහන් කළා. “ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත්, දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න. . . . බාධාවට හේතුවක් වීමෙන් වළකින්න.” (1 කොරින්ති 10:31, 32) මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ යුතු පැති මොනවාද? කලින්ම එම පැති ගැන සොයා බැලීමෙන් ඔබත් ඔබ ආරාධනා කරන අයත් ප්‍රිය සාදයේදී කරන දේවලින් දේවවචනයෙන් ඉගෙනගෙන තිබෙන දේවල් ඔබ ආදාළ කරගන්න බව පෙන්විය හැකියි.—රෝම 12:2.

      ඔබ සැලසුම් කරන්නේ මොන වගේ ප්‍රිය සාදයක්ද?

      5. ප්‍රිය සාදයක් සැලසුම් කරන කෙනෙක් මත්පැන් පිළිගැන්වීම ගැනත් සංගීතය ගැනත් විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ ඇයි?

      5 ප්‍රිය සාදයන් සැලසුම් කරන බොහෝදෙනෙක් මුහුණ දෙන ගැටලුවක් වන්නේ මත්පැන් (මධ්‍යසාර අඩංගු බීම වර්ග) පිළිගන්වනවාද නැද්ද යන්න ගැනයි. ප්‍රීතිමත් ඇසුරක් භුක්ති විඳීමට මත්පැන් අවශ්‍යම නැහැ. යේසුස් ඔහු ළඟට පැමිණි විශාල පිරිසකට ආශ්චර්යවත් ලෙස රොටි සහ මාළු කෑමට ලබා දුන්නා. ඒ අවස්ථාවේදී ආශ්චර්යවත් ලෙස වයින්ද සැපයීමට ඔහුට හැකියාව තිබුණද ඔහු එසේ කළ බව වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ. (මතෙව් 14:14-21) ප්‍රිය සාදයකදී මත්පැන් පිළිගැන්වීමට ඔබ බලාපොරොත්තු වෙනවා නම් එහි සීමාව ගැන සැලකිලිමත් වන්න. එමෙන්ම මත්පැන් පානය නොකරන අයට වෙනත් බීම වර්ග සැපයීමට අමතක කරන්න එපා. (1 තිමෝති 3:2, 3, 8; 5:23; 1 පේතෘස් 4:3) ‘සර්පයෙකු මෙන් හපා කෑ’ හැකි මධ්‍යසාර අඩංගු බීම පානය කිරීමට කවදාවත් කිසිවෙකුට බල කරන්න එපා. (හිතෝපදේශ 23:29-32) සංගීතය හා ගීත ගායනා කිරීම ගැන කුමක් කිව හැකිද? ඔබ සැලසුම් කරන ප්‍රිය සාදයකදී සංගීතයට සවන් දීමට කැමති නම් එහි රිද්මය මෙන්ම පද රචනය ගැනද සැලකිලිමත් වෙමින් ගීත හොඳින් තෝරා බේරා ගන්න. (කොලොස්සි 3:8; යාකොබ් 1:21) සහෝදර සහෝදරියන් එකට එකතු වී රාජ්‍ය ගීතිකාවල සංගීතයට සවන් දීමෙන් හෝ ගීතිකා ගායනා කිරීමෙන් ප්‍රිය සාදයේ ප්‍රීතිය තවත් වැඩි කළ හැකි බව බොහෝ ක්‍රිස්තියානීන් අද්දැක තිබෙනවා. (එෆීස 5:19, 20) එකිනෙකාගේ සතුටු සාමිච්චියට මෙන්ම අසල්වැසියන්ටද බාධාවක් ඇති නොවන පරිදි ශබ්දය පාලනය කිරීමට අමතක නොකරන්න.—මතෙව් 7:12.

      6. ප්‍රිය සාදයක් සංවිධානය කරන කෙනෙක් එහිදී සිදුවන කතා බහේදී හා වෙනත් දේවලදී තමන්ගේ ඇදහිල්ලට එකඟව ක්‍රියා කරන බව පෙන්විය හැක්කේ කෙසේද?

      6 ප්‍රිය සාදයන්වලදී ක්‍රිස්තියානීන් විවිධ මාතෘකා යටතේ කතා බහ කරන්න පුළුවන්. එසේත් නැත්නම් ඔවුන් යම් අද්දැකීම් බෙදාගන්න පුළුවන්. ඔවුන්ගේ කතා බහ ක්‍රිස්තියානීන්ට නුසුදුසු තත්වයකට පත් වෙනවා නම් සාදය සැලසුම් කළ තැනැත්තා නැණවත් ලෙස මෙය හරි මඟට ගෙන ඒමට වෑයම් කළ යුතුයි. එක් කෙනෙකුට කතා බහ කරගෙන යෑමට ඉඩ නොදී අන් අයටද කතා බහට හවුල් වීමට හැකි වන ආකාරයට ඉඩ සලසා දීමට ඔහුට හැකියි. එක් කෙනෙක් පමණක් මුල් තැන ගෙන කතා බහේ යෙදෙනවා නම් නැණවත් ලෙස එයට මැදහත් වී අන් අයටද කතාවට හවුල් විය හැකි වෙනත් විෂයක් හඳුන්වා දිය හැකියි. මෙය කළ හැක්කේ යෞවනයන්වද කතාවට හවුල් කර ගැනීමෙන් හෝ බොහෝදෙනෙකුට අදහස් දැක්විය හැකි මාතෘකාවක් හඳුන්වා දීමෙනුයි. ප්‍රිය සාදයකදී කෙරෙන මෙවැනි කතා බහෙන් වැඩිහිටියන් මෙන්ම බාලයන්ද මහත් ප්‍රීතියක් භුක්තිවිඳියි. ඔබ සාදය සැලසුම් කරන්නා හැටියට නැණවත් ලෙස මෙන්ම උපායශීලී ලෙස කාරණා හසුරුවනවා නම් පැමිණ සිටින අයට ‘ඔබේ සාධාරණකම දැනගන්න’ හැකි වෙයි. (ෆිලිප්පි 4:5) ඔබේ ජීවිතයේ සෑම කාරණයකදීම ඔබේ ඇදහිල්ලට එකඟව ක්‍රියා කරන කෙනෙක් බව එවිට පැමිණෙන අය දකීවි.

      විවාහ උත්සව සහ ප්‍රිය සාදයන්

      7. විවාහ උත්සව සහ ප්‍රිය සාදයන් සැලසුම් කිරීමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ ඇයි?

      7 ක්‍රිස්තියානි විවාහයක් ප්‍රීතිවීමට තිබෙන විශේෂ අවස්ථාවක්. යේසුස් හා ඔහුගේ ගෝලයන්ද ඇතුළුව දෙවිගේ පුරාණ සේවකයන් එවැනි ප්‍රීතිමත් අවස්ථාවලට හා ඉන්පසු පැවැත්වූ සාදයන්ට සහභාගි වුණා. (උත්පත්ති 29:21, 22; යොහන් 2:1, 2) විවාහයක් නිමිත්තෙන් පවත්වන ප්‍රිය සාදයන්වලදී ක්‍රිස්තියානීන් වශයෙන් සමබරව හා සාධාරණ මට්ටමින් දේවල් සිදු කිරීමට නම් හොඳින් සැලසුම් කිරීම අවශ්‍ය බව අද්දැකීම්වලින් පෙනී යනවා. මෙවැනි සාදයන් පැවැත්වීම සාමාන්‍ය දෙයක් වුවත් මෙම උත්සව පවත්වන ආකාරයෙන් ක්‍රිස්තියානියෙකුට තමන්ගේ ඇදහිල්ල පෙන්විය හැකියි.

      8, 9. බොහෝ විවාහ උත්සව පවත්වන ආකාරයෙන් 1 යොහන් 2:16, 17හි සඳහන් වදන්වල සත්‍යතාව දැකිය හැක්කේ කෙසේද?

      8 බයිබල් ප්‍රතිපත්ති දන්නේ නැති අය හා ඒවා ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති බොහෝදෙනෙක් විවාහ උත්සවවලදී සීමාව ඉක්මවා දේවල් කරනවා. අලුත විවාහ වූ තැනැත්තියක් යුරෝපීය රටක පළවන සඟරාවකට ඇගේ “රාජකීය” විවාහය ගැන මෙසේ අදහස් පළ කළා. ‘අපි දෙදෙනා ගමන් කළේ අශ්වයන් හතරදෙනෙක් පැදවූ අශ්ව කරත්තයකයි. ඊට පිටුපසින් තනි අශ්ව කරත්ත 12ක් ගමන් ගත්තා. ඒ විතරක් නෙමෙයි, තවත් අශ්ව කරත්තයක සංගීත කණ්ඩායමක් සංගීතය වාදනය කරමින් පැමිණියා. ඉන්පසු අපි ඉතා ප්‍රණීත භෝජන සංග්‍රහයක් භුක්ති වින්ඳා. එදා වාදනය කළ සංගීතය කාගෙත් සිත් ගත්තා. හැම දෙයක්ම උසස්ම තත්වයකයි තිබුණේ. මම ආශාවෙන් හිටිය විදිහට මම එදා රාජ කුමාරිකාවක් වුණා.’

      9 චාරිත්‍ර වාරිත්‍ර රටින් රටට වෙනස් වෙන්න පුළුවන්. කෙසේවෙතත් ඒ තැනැත්තිය පැවසූ දේවලින් පැහැදිලි වන්නේ යොහන් පැවසූ මේ වදන්වල සත්‍යතාවයි. “ලෝකයේ තිබෙන සියල්ල, එනම් මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්, තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීමත් පැමිණෙන්නේ පියාගෙන් නොව, ලෝකයෙන්ය.” බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කරන යුවළක් සුරංගනා කතාවල සඳහන් වෙනවා වගේ රාජකීය විවාහයක් පවත්වයි කියා සිතන්න පුළුවන්ද? එසේ කරයි කියා සිතන්න අමාරුයි. එම යුවළ තම විවාහ උත්සවය සැලසුම් කරන ආකාරයෙන් පෙන්වන්නේ “දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය” කියා බයිබලයේ පවසා තිබෙන දෙය තමන් සිතට ගෙන තිබෙන බවයි.—1 යොහන් 2:16, 17.

      10. (අ) විවාහයක් නිසි අයුරින් සිදු කිරීම සඳහා කලින් සැලසුම් කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි? (ආ) ආරාධනා කරනු ලබන අය ගැන තීරණ ගත යුත්තේ කෙසේද?

      10 ක්‍රිස්තියානි යුවළක් තම විවාහය සැලසුම් කරන විට තමන්ගේ තත්වයන් තේරුම්ගෙන සාධාරණව කටයුතු කළ යුතුයි. මෙහිදී බයිබලයෙන් ඔවුන් දෙදෙනාට උපකාර ලබාගත හැකියි. තමන් විවාහ වන දිනය විශේෂ දිනයක් වුවත් එම දිනය, සදාකාල ජීවිතය බලාපොරොත්තුවෙන් සිටින ක්‍රිස්තියානීන් දෙදෙනෙකුගේ විවාහ ජීවිතයේ ආරම්භය පමණක් කියා ඔවුන් තේරුම්ගෙන සිටිනවා. විශාල උත්සවයක් පැවැත්වීමට ඔවුන් දෙදෙනා බැඳී නැහැ. ප්‍රිය සාදයක් පැවැත්වීමට ඔවුන් දෙදෙනා තීරණය කරයි නම් එයට යන විදයම් මෙන්ම එය පවත්වන ආකාරය ගැනත් ඔවුන් සැලකිලිමත් විය යුතුයි. (ලූක් 14:28) ශුද්ධ ලියවිල්ලට අනුව, ඔවුන් ගත කිරීමට යන යුග දිවියේ මූලිකත්වය ගන්නේ ස්වාමිපුරුෂයායි. (1 කොරින්ති 11:3; එෆීස 5:22, 23) මේ අනුව බලද්දී ප්‍රිය සාදයේ මූලික වගකීම දරන්නේ මනාලයායි. තම විවාහ මංගල්‍යයට ආරාධනා කරන්නේ කී දෙනෙකුටද කියාත් ඊට ඇතුළත් වන්නේ කවුරුන්ද කියාත් තමන්ගේ භාර්යාව වීමට සිටින තැනැත්තිය සමඟ ඔහුට සාකච්ඡා කළ හැකියි. තමන්ගේ සියලුම හිත මිතුරන්ට හා නෑදෑයන්ට ආරාධනා කළ නොහැකි විය හැකියි. මේ නිසා යම් තීරණ ගැනීමේදී සාධාරණ වීම වැදගත්. සභාවේ සමහර සහෝදර සහෝදරියන්ට ආරාධනා කරන්න තමන්ට නොහැකි වුණත් එය ඔවුන් තේරුම්ගනියි කියාත් ඒ ගැන අමනාප වන්නේ නැහැ කියාත් ඔවුන් දෙදෙනාට ස්ථීරයි.—දේශනාකාරයා 7:9.

      “මංගල්‍ය කටයුතු අධීක්ෂණය කරන්නා”

      11. ‘මංගල්‍ය කටයුතු අධීක්ෂණය කරන්නාගේ’ වගකීම කුමක්ද?

      11 යුවළක් ප්‍රිය සාදයක් පැවැත්වීමට තීරණය කරනවා නම් එය ගෞරවනීය ලෙස පැවැත්වීමට ඔවුන්ට හැක්කේ කෙසේද? යේසුස් කානා නුවර සහභාගි වූ විවාහ මංගල්‍යයේදී දකින්න තිබූ දෙයක් ක්‍රියාත්මක කිරීමේ තිබෙන ඥානවන්තකම යෙහෝවාගේ සාක්ෂිකරුවන් තේරුම්ගෙන තිබෙනවා. එම උත්සවයේ ‘මංගල්‍ය කටයුතු අධීක්ෂණය කරන්නෙක්’ සිටියා. ඔහු වගකීම් දැරිය හැකි සෙසු නමස්කාරකයෙක් වූවාට සැකයක් නැහැ. (යොහන් 2:9, 10) ඒ හා සමානව නැණවත් ලෙස ක්‍රියා කරන මනාලයෙක් බයිබල් ප්‍රතිපත්තිවලට ගරු කරන ක්‍රිස්තියානි සහෝදරයෙකුට අධීක්ෂණ කටයුතු භාර දෙයි. මෙම සහෝදරයා මනාලයාගේ රුචි අරුචිකම් කලින් දැනගෙන, ඒ අනුව උත්සවයේ කටයුතු සිදුවන බවට වගබලා ගනියි.

      12. තම විවාහ මංගල්‍යයට පැමිණ සිටින අය මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් මනාලයා සැලකිල්ලක් දැක්විය යුත්තේ ඇයි?

      12 පස්වන ඡේදයේ සඳහන් දෙයට එකඟව ඇතැම් යුවළයන් තමන්ගේ විවාහ මංගල්‍යයේ ප්‍රීතියට හා සාර්ථකත්වයට හානියක් වෙයි කියා සිතන නිසා මත්පැන් කොහොමටවත් පිළිනොගැන්වීමට තීරණය කළ හැකියි. (රෝම 13:13; 1 කොරින්ති 5:11) නමුත් ප්‍රිය සාදයට පැමිණෙන අයට මත්පැන් දීමට තීරණය කරනවා නම් ඔවුන් ළඟට ගොස් මත්පැන් පිළිගන්වනු ලබන බවට හෝ සීමාවක් ඇතුව දෙනු ලබන බවට මනාලයා වගබලාගත යුතුයි. යේසුස් කානා නුවරදී සහභාගි වු විවාහ මංගල්‍යයේ වයින් තිබුණා. එම වයින් ඉවර වූ විට ඔහු හොඳම වර්ගයේ වයින් සැපයෙව්වා. ඒ මංගල්‍යයේ කටයුතු අධීක්ෂණය කළ තැනැත්තා මෙසේ පැවසුවා. “සෑම මිනිසෙකුම පළමුකොට හොඳ වයින් දී, මිනිසුන් බොහෝ සෙයින් බීවායින් පසු බාල වයින් දෙන්නේය. ඔබ මේ වන තුරු හොඳ වයින් තබාගෙන සිටියේය.” (යොහන් 2:10) යේසුස් හොඳ වයින් සැපයීමෙන් මිනිසුන්ව බේබදුකමට පෙලඹුවේ නැති බව ස්ථිරයි. මන්ද ඔහු බේබදුකම හෙළා දක්කා. (ලූක් 12:45, 46) ඒ මංගල්‍යයේ කටයුතු අධීක්ෂණය කළ තැනැත්තා යේසුස් සැපයූ වයින්වල අනර්ඝකම ගැන පුදුමය පළ කිරීමෙන් පෙනී යන්නේ ඒ කාලයේ සමහර මංගල උත්සවවලදී සමහරුන් වෙරි වන බව ඔහු දැක තිබූ බවයි. (ක්‍රියා 2:15; 1 තෙසලෝනික 5:7) මේ නිසා ප්‍රිය සාදයට පැමිණ සිටින සියලුදෙනාම ශුද්ධ ලියවිල්ලේ දී තිබෙන පහත සඳහන් පැහැදිලි උපදේශය පිළිපඳින බවට මනාලයා මෙන්ම එහි කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම ඔහු බාර දී තිබෙන විශ්වාසවන්ත සහෝදරයාද වගබලා ගත යුතුයි. “වයින්වලින් වෙරි වීමෙන් අශිෂ්ට ක්‍රියා හටගන්නා නිසා වෙරි නොවී සිටින්න.”—එෆීස 5:18; හිතෝපදේශ 20:1; හොෂෙයා 4:11.

      13. තම විවාහ මංගල්‍යයේදී සංගීතය සැපයීමට යුවළක් බලාපොරොත්තු වෙනවා නම් ඔවුන් සැලකිලිමත් විය යුත්තේ කුමක් ගැනද? එසේ කළ යුත්තේ ඇයි?

      13 වෙනත් සාදයන්වලදී මෙන්ම විවාහයකින් පසුව පත්වනු ලබන ප්‍රිය සාදයේදී සංගීතය සැපයීමට තීරණය කරනවා නම් පැමිණ සිටින අයගේ කතා බහට බාධා නොවන අකාරයට එය පාලනය කළ යුතුයි. එක් වැඩිමහල්ලෙක් මෙසේ පැවසුවා. “රෑ වෙද්දී අමුත්තන්ගේ කතා බහ වැඩි වන අතර ඇතැමුන් නටන්න පටන්ගන්නවා. මේ වේලාවේදී සංගීතයේ හඬ වැඩි කරනවා. පසුබිම් සංගීතය ලෙස සෙමින් පටන්ගත් සංගීතයේ හඬ වැඩි වී කතා බහවලට බාධාවක් වෙනවා. විවාහ මංගල ප්‍රිය සාදයක් අන් අය සමඟ ප්‍රීතිමත් ඇසුරක් භුක්ති විඳීමට අවස්ථාවක්. සංගීතයෙන් නිකුත් වන ඝෝෂාකාරී හඬ නිසා ඒ අවස්ථාව නැති වී යනවා නම් එය මොන තරම් කනගාටුදායකද!” මෙවැනි අවස්ථාවලදීත් මනාලයා සහ ප්‍රිය සාදය අධීක්ෂණය කරන තැනැත්තා වගකීමෙන් කටයුතු කළ යුතු අතර සංගීතයේ හඬ හා ස්වභාවය පාලනය කළ යුතුයි. ඒ වගේම සංගීතය සපයන අයට කැමති ආකාරයට එය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි. පාවුල් මෙසේ පැවසුවා. “වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කුමක් කළත්, ඒ සියල්ලම ස්වාමීන් වන යේසුස්ගේ නාමයෙන් කරන්න.” (කොලොස්සි 3:17) අමුත්තන් ඔවුන්ගේ නිවෙස්වලට ගිය පසු ඔවුන් සවන් දුන් සංගීතයෙන් ඒ යුවළ සෑම දෙයක්ම ගෞරවනීය ලෙස කළ බව ඔවුන් පවසයිද? ඇත්තෙන්ම ඔවුන්ගේ මුවින් පිට විය යුත්තේ එවැනි දෙයක්.

      14. තමන් සහභාගි වූ විවාහයන් ගැන ක්‍රිස්තියානීන්ට සතුටෙන් සිහිපත් කළ හැක්කේ මොනවාද?

      14 හොඳින් සැලසුම් කළ විවාහයන් ගැන මිහිරි මතකයන් දිගු කාලයක් පුරා පවතියි. මීට අවුරුදු 30කට කලින් විවාහ වූ ඇඩම් සහ ඊඩිටා ඔවුන් සහභාගි වූ විවාහ මංගල්‍යයක් ගැන මෙසේ අදහස් දැක්වුවා. “ඒක නම් ඇත්තටම ක්‍රිස්තියානි විවාහයක් කියලා කියන්න පුළුවන්. එහිදී යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගායනා කළ අතර ප්‍රීතිවීමට තවත් හොඳ දේවල් තිබුණා. සංගීතයට හා නැටුම්වලට මුල් තැන දුන්නේ නැහැ. හොඳ ඇසුරක් භුක්ති විඳින්න පුළුවන් වූ අතර බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි කිසිම දෙයක් එහි සිදු වුණේ නැහැ.” යුවළකට තම විවාහ උත්සවයේදී තම ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්වීමට කළ හැකි බොහෝ දේවල් තිබෙනවා.

      මංගල තෑගි

      15. නව යුවළකට තෑගි දෙන විට අදාළ කරගත හැකි බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

      15 හිත මිතුරන් හා නෑදෑයන් විවාහ වන යුවළකට තෑගි බෝග දීම බොහෝ රටවල දැකිය හැකියි. ඔබ තෑග්ගක් දෙනවා නම් සැලකිල්ලට ගත හැකි සමහර දේවල් මොනවාද? මිනිසුන් “තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීම” ගැන යොහන් පැවසුවා ඔබට මතක ඇති. ඔහු මෙහිදී ප්‍රදර්ශනය කිරීම යන වචනයෙන් අදහස් කළේ ඇදහිල්ල හා සම්බන්ධ ක්‍රියාවන් නොව ‘පහව යන ලෝකයේ’ දේවල් ගැනයි. (1 යොහන් 2:16, 17) යොහන් දේවානුභාවයෙන් ලියූ ඉහත වදන් සලකා බලන විට නව විවාහක යුවළක් තමන්ට තෑගි දුන් අයගේ නම් ප්‍රසිද්ධියේ පැවසීම සුදුසුද? මැසිඩෝනියාවේ හා ඇකේයාවේ සිටි ක්‍රිස්තියානි සහෝදරයන් යෙරුසලමේ සිටි සහෝදරයන්ට සම්මාදම් කළත් ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කළ බවක් පෙනෙන්න නැහැ. (රෝම 15:26) විවාහක යුවළකට තෑගි දෙන බොහෝදෙනෙක් අනවශ්‍ය ලෙස තමන්ට අවධානය ලබා නොගැනීම සඳහා තමන්ගේ නම් සඳහන් නොකර සිටින්න කැමති විය හැකියි. මේ සම්බන්ධයෙන් මතෙව් 6:1-4හි යේසුස් දී තිබෙන උපදෙස සලකා බලන්න.

      16. විවාහක යුවළයන් මංගල තෑගි ලබන විට අන් අයව අපහසුතාවට පත් කිරීමෙන් වැළකී සිටිය හැක්කේ කෙසේද?

      16 තෑගි දෙන අයගේ නම් අන් අයට දැනුම් දීමෙන් “තරඟකාරිත්වයක්” ඇති විය හැකියි. එවැනි තත්වයක් ඇති වන්නේ වටිනාම තෑග්ග තෝරන නිසයි. නැණවත් ක්‍රිස්තියානි විවාහක යුවළක් තෑගි දෙන අයගේ නම් ප්‍රසිද්ධ කිරීමෙන් හා තෑග්ගක් දීමට වත්කමක් නැති අයව අපහසුතාවට පත් කිරීමෙන් වැළකී සිටිනවා. (ගලාති 5:26; 6:10) කෙසේවෙතත් මනාලයා සහ මනාලිය තෑගි දුන් අයගේ නම් දැනගැනීම වැරදි දෙයක් නෙවෙයි. තෑග්ග සමඟ තිබෙන කාඩ් පතෙන් තෑග්ග දුන් අයගේ නම දැනගත හැකි වූවත් ඔවුන් ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මංගල තෑගි මිල දී ගැනීම, ඒවා දීම හා ලැබීම පෞද්ගලික කාරණයක් වුවත් එවැනි කාරණාවලදී පවා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් අපේ ඇදහිල්ල පෙන්වීමට අවස්ථාවන් උදා වෙයි.a

      17. ඇදහිල්ල හා ක්‍රියාවන් සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන්ට තිබිය යුතු ඉලක්කය කුමක්ද?

      17 යහපත් ජීවිතයක් ගත කිරීම, ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම හා දේශනා සේවයේ හවුල් වීමට පමණක් නොව තවත් දේවල්ද අපේ ඇදහිල්ල පෙන්වීමට ඇතුළත් වෙනවා. අපේ ඇදහිල්ල ක්‍රියාවලින් “සම්පූර්ණ කර ඇති බව” පෙන්වමු. (එළිදරව් 3:2) අපි මේ ලිපියේ සාකච්ඡා කළ කාරණාද ඒ ක්‍රියාවලට ඇතුළත් වෙනවා.

      18. ක්‍රිස්තියානි විවාහයන් හා ප්‍රිය සාදයන්වලදී යොහන් 13:17හි සඳහන් වදන්වල සත්‍යතාව අද්දැකිය හැක්කේ කෙසේද?

      18 යේසුස් තමන්ගේ ගෝලයන්ගේ පාද සේදීම නමැති යටහත් පහත් ක්‍රියාව කර, ඔවුන්ට කදිම ආදර්ශයක් තැබීමෙන් පසු මෙසේ පැවසුවා. “ඔබ මේ දේවල් දන්නේ නම්, ඒවා පවත්වනවා නම් ඔබ සන්තෝෂවත්ය.” (යොහන් 13:4-17) නිවසට පැමිණෙන ආගන්තුකයෙකුගේ පාද සේදීම අපි ජීවත් වන ප්‍රදේශයේ චාරිත්‍රයක් නොවිය හැකියි. කෙසේවෙතත් අපි මේ ලිපියෙන් සලකා බැලූ පරිදි අපේ ඇදහිල්ල ප්‍රේමණීය ලෙස ක්‍රියාවලින් පෙන්විය හැකි ජීවිතයේ තවත් පැති තිබෙනවා. එම පැතිවලට ප්‍රිය සාදයන් හා විවාහ උත්සවද ඇතුළත් වෙනවා. විවාහ වන යුවළ හෝ වේවා විවාහ උත්සවයට හෝ ප්‍රිය සාදයට සහභාගි වන අය හෝ වේවා අපි සියලුදෙනාම අපේ ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්වීමට වෑයම් කරමු.

      [පාදසටහන]

      a විවාහ උත්සවය හා ඉන්පසු පවත්වන ප්‍රිය සාදයන් ගැන තවත් විස්තර දැනගැනීම සඳහා “ඔබේ විවාහ දිනයේ ප්‍රීතිය හා ගෞරවය වැඩි කරගන්න අයුරු” යන ලිපිය බලන්න.

      ඔබ උත්තර දෙන්නේ කෙසේද?

      පහත දැක්වෙන අවස්ථාවලදී ඔබේ ඇදහිල්ල පෙන්විය හැක්කේ කෙසේද?

      • ප්‍රිය සාදයක් සැලසුම් කිරීමේදී

      • විවාහ උත්සවයක් හෝ ඉන්පසු පැවැත්වෙන සාදයක් සංවිධානය කිරීමේදී

      • මංගල තෑගි දීමේදී හා ලැබීමේදී

      [24වන පිටුවේ පින්තූරය]

      ප්‍රිය සාදයකට ආරාධනා කරන්නේ ටිකදෙනෙකුට වුණත් “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” මගින් ලැබෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න

  • ඔබේ විවාහ දිනයේ ප්‍රීතිය හා ගෞරවය වැඩි කරගන්න අයුරු
    2006 මුරටැඹ | ඔක්තෝබර් 15
    • ඔබේ විවාහ දිනයේ ප්‍රීතිය හා ගෞරවය වැඩි කරගන්න අයුරු

      “මගේ ජීවිතයේ අතිවැදගත්ම හා ප්‍රීතිමත්ම දවස්වලින් එකක් වන්නේ මම විවාහ වූ දවසයි.” මෙසේ පවසන්නේ මීට අවුරුදු 60කට පමණ කලින් විවාහ වූ ගෝඩන් නමැත්තායි. සැබෑ ක්‍රිස්තියානියෙකුට තමන් විවාහ වන දවස අතිවැදගත්ම දවසක් වන්නේ ඇයි? තමන් බොහෝසේ ප්‍රේම කරන තමන්ගේ සහකරුවාට හා සහකාරියට පමණක් නොව යෙහෝවා දෙවිටද අතිවිශේෂ පොරොන්දුවක් එදින කරන නිසා විවාහ වන දවස සැබෑ ක්‍රිස්තියානියෙකුට අතිවැදගත් දවසක් වෙනවා. (මතෙව් 22:37; එෆීස 5:22-29) විවාහ වීමට සැලසුම් කරන යුවළකගේ ආශාව තමන් විවාහ වන දවස ප්‍රීතිමත් දවසක් වෙනවා දකින්නයි. ඒ විතරක් නොවෙයි විවාහය මුලින්ම ඇති කළ තැනැත්තා වන යෙහෝවා දෙවි එදින ගෞරවයට පත් වෙනවා දැකීමද ඔවුන්ගේ ආශාවයි.—උත්පත්ති 2:18-24; මතෙව් 19:5, 6.

      මෙම ප්‍රීතිමත් දවසේ ගෞරවනීයභාවය වැඩි කිරීම සඳහා මනාලයාට කළ හැක්කේ මොනවාද? තමන්ගේ ස්වාමිපුරුෂයාට මෙන්ම යෙහෝවා දෙවිට තිබෙන තමන්ගේ ගෞරවය පෙන්වීමට මනාලියට හැක්කේ කෙසේද? විවාහ උත්සවයට පැමිණෙන අයට එදින තිබෙන ප්‍රීතියට දායක වීමට හැක්කේ කෙසේද? බයිබල් ප්‍රතිපත්ති කිහිපයක් සලකා බැලීමෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට අපට හැකියි. ඒවා අදාළ කරගැනීමෙන් විවාහ දිනයේ තිබිය යුතු ගෞරවයට හානි විය හැකි දේවල් අවම කරගත හැකියි.

      මූලික වගකීම දරන්නේ කවුද?

      බොහෝ රටවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේවගැතියෙකුට නීත්‍යානුකූලව විවාහයක් සිදු කිරීමේ බලතල තිබිය හැකියි. විවාහයක නීත්‍යානුකූල කටයුතු ආණ්ඩුවේ රෙජිස්ට්‍රාර්වරයෙකු විසින් සිදු කළ යුතු රටවල සිටින යුවළක් පවා බයිබලය මත පදනම් වූ කතාවක් යෙහෝවාගේ සාක්ෂිකාරයෙකු වන දේවගැතියෙකු ඉදිරිපත් කරනවා දකින්න කැමති විය හැකියි. මෙවැනි කතාවකදී, පවුලේ මූලිකයා හැටියට දෙවි තමන්ට පවරා තිබෙන කාර්ය භාර්ය ගැන හොඳින් සිතා බලන්න කියා මනාලයාගෙන් ඉල්ලා සිටිනවා. (1 කොරින්ති 11:3) මේ අනුව තමන් විවාහ වන දවසේ සිදු වන දේවල් සම්බන්ධයෙන් මූලික වගකීම දැරිය යුත්තේ මනාලයායි. ඇත්තෙන්ම, විවාහ උත්සවයේ මෙන්ම ඉන්පසු තිබෙන ප්‍රිය සාදයේ වැඩකටයුතු කලින් සැලසුම් කරනු ලබනවා. මෙසේ කිරීම මනාලයාට අමාරු දෙයක් වන්නේ ඇයි?

      මීට එක් හේතුවක් වන්නේ විවාහයේ වැඩකටයුතු කළ යුතු ආකාරය ගැන පවුලේ අය හා ඥාතීන් විසින් දැඩි බලපෑම් ඇති කිරීමයි. බොහෝ විවාහයන් සිදු කර තිබෙන රොඩොල්ෆො මෙසේ සඳහන් කරනවා. “සමහර අවස්ථාවලදී මනාලයා ඥාතීන්ගේ දැඩි පීඩනයට ලක් වෙනවා. විශේෂයෙන්ම විවාහ උත්සවයේ විය හියදම් දරන්නේ ඔවුන් නම් ඔවුන්ගෙන් ඇති වන බලපෑම් වැඩියි. විවාහ උත්සවයේදී හා පසුව පවත්වන ප්‍රිය සාදයේදී කළ යුතු දේවල් ගැන ඔවුන් එකහෙළාම යම් දේවල් පැවසිය හැකියි. මෙවැනි අවස්ථාවකදී ප්‍රධාන වගකීම දරන්නා හැටියට මනාලයාට ශුද්ධ ලිවිල්ල මගින් පවරා තිබෙන කාර්ය භාර්ය නිසි ලෙස ඉටු කළ නොහැකි විය හැකියි.”

      අවුරුදු 35කට වඩා වැඩි කාලයක සිට විවාහයන් සිදු කර තිබෙන මැක්ස් මෙසේ අදහස් දක්වනවා. “විවාහ උත්සවය හා ප්‍රිය සාදය සංවිධානය කළ යුතු ආකාරය ගැන තීරණ ගනිද්දී මනාලිය මූලිකත්වය ගන්න බවක් මම දකිනවා. හුඟාක් වේලාවට මනාලයාට ඔහුගේ අදහස් ඉදිරිපත් කිරීමට තිබෙන අවස්ථා අඩුයි.” විවාහයන් බොහොමයක් සිදු කර තිබෙන තවත් පුද්ගලයෙකු වන ඩේවිඩ් මෙසේ පවසනවා. “මේ කාරණයේදී මූලිකත්වය ගෙන කාරණ හසුරුවන එක ගැන මනාලයන්ට ඒ තරම් පුරුද්දක් නැහැ. හුඟාක් මනාලයන් විවාහයේ කටයුතු සූදානම් කිරීමට ඒ තරම් හවුල් වෙනවා දකින්න ලැබෙන්නේ නැහැ.” මනාලයාට ඔහුගේ වගකීම හොඳින් ඉටු කළ හැක්කේ කෙසේද?

      අදහස් හුවමාරුවෙන් වැඩි ප්‍රීතියක්

      විවාහය සූදානම් කිරීමේදී තමන්ගේ වගකීම් සාර්ථකව ඉටු කිරීමට නම් මනාලයා අන් අය සමඟ හොඳින් අදහස් හුවමාරු කරගත යුතුයි. මේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මන්ත්‍රණ නැති තැන අදහස් ඉෂ්ට නොවේ..” (හිතෝපදේශ 15:22) මනාලයා විවාහයේ වැඩකටයුතු ගැන මනාලිය සමඟද පවුලේ අය සමඟද බයිබලය මත පදනම් නැණවත් උපදෙස් දිය හැකි වෙනත් අය සමඟද සාකච්ඡා කරනවා නම් ඇති විය හැකි ගැටලු බොහොමයක් වළක්වා ගත හැකියි.

      විවාහ ගිවිස ගෙන සිටින යුවළක් තමන්ගේ විවාහය සැලසුම් කරන ආකාරය ගැන හා තමන්ට මුහුණ දීමට සිදු විය හැකි දේවල් ගැන මුලින්ම එකිනෙකා සමඟ සාකච්ඡා කිරීම වැදගත්. මේ බව වෙනස් සංස්කෘතීන් දෙකකට අයත් වූවත් වසර ගණනාවක් සන්තෝෂවත් විවාහ ජීවිතයක් ගත කරමින් සිටින අයිවන් හා ඔහුගේ බිරිඳ වන ඩෙල්වින් ඔවුන්ගේ විවාහය සැලසුම් කළ ආකාරය සිහිපත් කරමින් පවසන දෙයින් පැහැදිලි වෙනවා. “මගේ ආශාව වුණේ අපේ විවාහයට හා ප්‍රිය සාදයට මගේ යාළුවෝ ඔක්කෝමදෙනා එනවා දකින්නයි. ඒ වගේම වෙඩින් කේක් එකක් කපන්නත් මම ආසා වුණා. මගේ මනාලිය සුදු පාට මංගල ඇඳුමකින් සැරසිලා ඉන්නවා දකිනත් මට ලොකු ආශාවක් තිබුණා. මේ වගේ මම විවාහය ගැන ස්ථීරයෙන්ම හිතාගෙන සිටිය දේවල් තිබුණා. ඒත් ඩෙල්වින් කැමති වුණේ වෙඩින් කේක් එකක් පවා නැතිව සුළුවෙන් චාම් විදිහට අපේ විවාහය සිදු වෙනවා දකින්නයි. ඇය හිතලා තිබුණේ එදාට මංගල ඇඳුමක් වෙනුවට සාමාන්‍යය ඇඳුමකින් සැරසිලා ඉන්නයි.”

      මේ යුවළ අවංකව අදහස් හුවමාරු කරගැනීමෙන් ඔවුන් දෙදෙනා අතර තිබූ වෙනස් අදහස් සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණියා. (හිතෝපදේශ 12:18) අයිවන් තවදුරටත් මෙසේ පැවසුවා. “අපි දෙන්නා විවාහ උත්සව ගැන පළ වී තිබෙන බයිබලය මත පදනම් වූ ලිපි අධ්‍යයනය කළා. අපි දෙන්නා අධ්‍යයනය කළ එක සඟරාවක් තමයි 1985 පෙබරවාරි 1 මුරටැඹ සඟරාවේ 13 සිට 16 දක්වා පිටුවල පළ වූ ලිපිය.a මේ විශේෂ අවස්ථාව දෙස යෙහෝවා දෙවි බලන ආකාරයට බලන්න ඒ ලිපිය අපිට උදව් වුණා. අපි දෙන්නා වෙනස් පසුබිම් දෙකක සිටි නිසා සමහර පෞද්ගලික රුචි අරුචිකම් පසෙක දමන්න සිදු වුණා. අපි දෙන්නාම කාරණා දෙස බලන ආකාරය වෙනස් කරගන්න කැමති වුණා.”

      ආරට් සහ පෙනී එවැනිම ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ තවත් යුවළක්. ඔවුන්ගේ විවාහය ගැන ආරට් මෙසේ පවසනවා. “අපේ විවාහ උත්සවය සිදු විය යුතු ආකාරය ගැන අපි දෙන්නාට තිබුණු වෙනස් අදහස් අපි සාකච්ඡා කළා. මේ නිසා අපිට පුළුවන් වුණා දෙන්නාටම එකඟ වෙන්න පුළුවන් තීරණවලට එලඹෙන්න. අපි විවාහ වන දවසේ සැලසුම්වලට ආශීර්වාද කරන්න කියලා අපි දෙන්නා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. අපේ දෙමාපියන්ගෙන් හා සභාවේ ඉන්න අද්දැකීම්ලත් විවාහක යුවළයන්ගෙන් උපදෙස් ලබා ගත්තා. ඔවුන් පැවසූ දේවල් හුඟාක් උපකාරවත් වුණා. මේ විදිහට අපි දෙන්නා කටයුතු කළ නිසා අපි විවාහ වුණ දවස හුඟාක් ප්‍රීතිමත් දවසක් වුණා.”

      මංගල දිනයේදී ගෞරවාන්විත ලෙස සැරසී සිටීම

      මනාලියගේ මෙන්ම මනාලයාගේද ආශාව වන්නේ තමන් විවාහ වන දවසේදී ලස්සනට ඇඳ පැළඳ සිටින්නයි. (ගීතාවලිය 45:8-15) ඔවුන් දෙදෙනා යෝග්‍ය ඇඳුමක් සූදානම් කරගැනීමට සෑහෙන වෙහෙසක් මෙන්ම සැලකිය යුතු කාලයක් හා මුදලක් වැය කරනවා. විවාහ දිනයේදී ගෞරවනීය මෙන්ම සිත් ඇඳගන්නාසුලු ලෙස සැරසී සිටීම සඳහා මනාලියට මෙන්ම මනාලයාටද උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

      විවාහ දිනයේදී මනාලිය අඳින ඇඳුම ගැන සිතා බලන්න. මේ සම්බන්ධයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට හා රටින් රටට රුචි අරුචිකම් වෙනස් වුණත් බයිබලයේ දෙන මේ උපදේශය ලෝකයේ ඕනෑම තැනක සිටින කෙනෙකුට අදාළ වෙනවා. ස්ත්‍රීන් “විනීතව සහ හොඳ සිහිකල්පනාවෙන් යුතුව, මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින් සැරසී” සිටිය යුතුයි. මෙය ක්‍රිස්තියානි ස්ත්‍රීන් ඇඳ පැළඳ සිටින සෑම අවස්ථාවකටම අදාළයි. විවාහ වන දවසේදී ඇඳ පැළඳ සිටින ආකාරයටද ඒ උපදේශය අදාළ වෙනවා. විවාහ වන දවස ප්‍රීතිමත් දවසක් වීමට “ඉතා මිල අධික වස්ත්‍රවලින්” සැරසී සිටීම අවශ්‍ය දෙයක් නොවෙයි. (1 තිමෝති 2:9; 1 පේතෘස් 3:3, 4) ඒ උපදේශය අදාළ කරගැනීමෙන් අද්දැකිය හැකි ප්‍රීතිය මොනතරම්ද!

      කලින් සඳහන් කළ ඩේවිඩ් මෙසේ පවසනවා. “හුඟාක් යුවළයන් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කරන්න උත්සාහ කරනවා. ඇත්තෙන්ම ඔවුන්ට අපේ ප්‍රශංසාව හිමි විය යුතුයි. ඒ වුණත් සමහර අවස්ථාවලදී මනාලියගේ හා ඇගේ යෙහෙළියන්ගේ ඇඳුම් අවිනීති වී තිබෙනවා. ඔවුන් ඇඳ සිටින හැට්ටය ඉදිරිපසින් ගැඹුරින් කපා තිබෙනවා. එසේත් නැත්නම් විනිවිඳ පෙනෙනවා.” කතාව ඉදිරිපත් කරන වැඩිමහල්ලා මනාලියව සහ මනාලයාව හමු වෙද්දී ඒ ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන ක්‍රියා කිරීමේ වැදගත්කම තේරුම්ගන්න ඔවුන්ට උපකාර කරනවා. ඔහු මෙය කරන්නේ ඔවුන් දෙදෙනා විවාහ දිනයේදී අඳින්න බලාපොරොත්තු වන ඇඳුම් ක්‍රිස්තියානි රැස්වීමකට අඳින්න තරම් විනීතද කියා ඇසීමෙනුයි. ඇත්තයි, සාමාන්‍යය රැස්වීමකට අඳිනවාට වඩා විවාහ දිනයේදී අඳින ඇඳුම වෙනස්. ඒ වගේම තමන් ජීවත් වන ප්‍රදේශයට අනුව විවාහ ඇඳුම වෙනස් විය හැකියි. ඒත් තමන් අඳින ඇඳුමේ විනීතකම ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට එකඟව ගෞරවාන්විතව තිබිය යුතුයි. බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති දැඩියි කියා ලෝකයේ අය සිතිය හැකි වුණත් ලෝකයේ අයට ඔවුන්ගේ අච්චුවට අනුව තමන්ව හැඩගස්වන්න සැබෑ ක්‍රිස්තියානීන් ඉඩ දෙන්නේ නැහැ.—රෝම 12:2; 1 පේතෘස් 4:4.

      කලින් සඳහන් කළ පෙනී තවදුරටත් මෙසේ පවසනවා. “ඇඳුම් පැළඳුම් හා ප්‍රිය සාදය අතිවැදගත් දෙයක් ලෙස සලකන්නේ නැතිව ආරට් සහ මම මූලික අවධානය දුන්නේ විවාහ උත්සවයේ අතිවැදගත්ම දෙය වන එදින ඉදිරිපත් කරනු ලබන බයිබලය මත පදනම් කතාවටයි. මට මතක තියෙන විශේෂ දේවල් වන්නේ මම ඇඳගෙන හිටිය ඇඳුම හෝ කාපු බීපු දේවල් නෙමෙයි, එදින පැමිණ සිටි අය සමඟ ඇසුරු කිරීමෙන් හා මම ආදරය කරන කෙනා එක්ක විවාහ වීමෙන් දැනුණු සතුටයි.” ක්‍රිස්තියානි යුවළක් තමන්ගේ විවාහය සැලසුම් කිරීමේදී එම අදහස් මතක තබාගැනීම වැදගත්.

      ගෞරවනීය ස්ථානයක් වන රාජ්‍ය ශාලාව

      බොහෝ ක්‍රිස්තියානි යුවළයන් කැමති වන්නේ රාජ්‍ය ශාලාවක් තිබෙනවා නම් එහි තමන්ගේ විවාහය සිදු වෙනවා දකින්නයි. ඔවුන් රාජ්‍ය ශාලාවක තම විවාහය සිදු කරන්න වැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි? එක් යුවළක් රාජ්‍ය ශාලාව තෝරාගැනීමට හේතුව විස්තර කළේ මෙසේයි. “විවාහය කියන්නේ යෙහෝවා දෙවි ඇති කළ සැලැස්මක් කියලා අපි දන්නවා. අපි යෙහෝවා දෙවිට නමස්කාර කරන ස්ථානය වන රාජ්‍ය ශාලාවේ අපේ විවාහ සිදු කරද්දී අපේ විවාහයට ඔහුත් ඇතුළත් වෙලා ඉන්නවා කියන එක විවාහයේ ආරම්භයේ පටන්ම අපේ සිතට කාවදිනවා. විවාහ උත්සවය වෙනත් තැනක පවත්වනවා වෙනුවට රාජ්‍ය ශාලාවේ පැවැත්වීමෙන් ලැබුණු තවත් ප්‍රයෝජනයක් වුණේ යෙහෝවා දෙවිට කරන නමස්කාරය අපේ ජීවිතයේ අතිවැදගත් දෙයක් බව තේරුම්ගන්න විවාහ උත්සවයට පැමිණි සාක්ෂිකාර නොවන ඥාතීන්ට හොඳ අවස්ථාවක් වීමයි.”

      රාජ්‍ය ශාලාවක විවාහයක් සිදු කිරීම සඳහා එම රාජ්‍ය ශාලාව අයත් සභාවේ වැඩිමහල්ලන්ගෙන් අවසර ගත යුතු නම් විවාහ ගිවිසගෙන සිටින යුවළ තමන්ගේ සැලසුම් ගැන කල් වේලා ඇතිව ඔවුන්ට දැනුම් දිය යුතුයි. මනමාලිට හා මනාලයාට තමන්ගේ විවාහයට ආරාධනා කර තිබෙන අයට ගෞරවය පෙන්විය හැකි එක් ආකාරයක් නම් ආරාධනා පත්‍රයේ සඳහන් වේලාවට පැමිණීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දැරීමයි. සෑම දෙයක්ම ගෞරවනීය ලෙස සිදු වෙනවා දකින්න ඔවුන් කැමති වන බවට සැකයක් නැහැ.b (1 කොරින්ති 14:40) මේ ආකාරයට කටයුතු සැලසුම් කිරීමෙන් ලෝකයේ බොහෝ විවාහ උත්සවවල දැකිය හැකි දේවල් වළක්වා ගනිමින් තමන්ගේ විවාහය ගෞරවනීය ලෙස සිදු වෙනවා දකින්න ඔවුන්ට හැකි වෙයි.—1 යොහන් 2:15, 16.

      යෙහෝවා දෙවි විවාහය සලකන ආකාරයට තමන්ද එය සලකන බව විවාහ උත්සවයට පැමිණෙන අයටද පෙන්විය හැකියි. විවාහ උත්සව අතර තරඟකාරී ස්වභාවයක් ඇති වීමට ඉඩ නොතබමින් විවාහ උත්සව හුඟාක් ජයට සිදු වෙයි කියා ඔවුන් බලාපොරොත්තු නොවිය යුතුයි. විවාහ උත්සවයේදී ඉදිරිපත් කරනු ලබන බයිබලය මත පදනම් කතාවට සවන් දීම සඳහා රාජ්‍ය ශාලාවට යෑම විවාහයෙන් පසුව පවත්වන ප්‍රිය සාදයට යෑමට වඩා වැදගත් බව ශක්තිමත් ඇදහිල්ලක් තිබෙන ක්‍රිස්තියානීන් තේරුම්ගන්නවා. කාලය හෝ යම් තත්වයන් නිසා තමන්ට යා හැක්කේ විවාහ උත්සවය හෝ ප්‍රිය සාදය යන දෙකෙන් එකකට නම් වඩාත් යෝග්‍ය වන්නේ රාජ්‍ය ශාලාවට යෑමයි. විලියම් නමැති වැඩිමහල්ලා මෙසේ පවසනවා. “අමුත්තන් කිසිම හොඳ හේතුවක් නැතිව රාජ්‍ය ශාලාවේ පවත්වන විවාහ උත්සවයට පැමිණෙන්නේ නැතිව පසුව පවත්වන ප්‍රිය සාදයට පැමිණෙනවා නම් එයින් පෙනී යන්නේ ඒ අවස්ථාවේ තිබෙන පරිශුද්ධභාවය ඔවුන් එතරම් අගය කරන්නේ නැති බවයි. ප්‍රිය සාදයට අපට ආරාධනා කර නොතිබුණත් රාජ්‍ය ශාලාවේ පවත්වන විවාහ උත්සවයට යෑමෙන් මනාලියට හා මනාලයාට අපි සහය දක්වන බව පෙන්වන්න අපිට පුළුවන්. ඒ වගේම අපි රාජ්‍ය ශාලාවේ සිටීම, පැමිණ සිටින සාක්ෂිකරුවන් නොවන ඥාතීන්ටද කදිම සාක්ෂියක්.”

      විවාහ දිනයෙන් පසුවත් දිගටම පවතින ප්‍රීතිය

      වෙළෙඳුන් විසින් විවාහ උත්සව මහත් ලාභ උපයන ව්‍යාපාරයක් කරගෙන තිබෙනවා. මෑතකදී පළ වූ වාර්තාවකට අනුව අමෙරිකාවේ විවාහයක් සඳහා වියදම් කරන සාමාන්‍ය මුදල “ඩොලර් 22,000ක් වෙනවා. මෙය සාමාන්‍ය අමෙරිකන් ජාතිකයෙකුගේ වාර්ෂික ආදායමෙන් භාගයක් වෙනවා.” වෙළෙඳ ප්‍රචාරක දැන්වීම්වල බලපෑමට හසු වී නවක විවාහ යුවළයන් බොහොමයක් හා ඔවුන්ගේ පවුල්වල අය ණය වී විවාහ උත්සව පවත්වනවා. මහත් බරක් වන ඒ ණය අවුරුදු ගණනාවක් පුරා ගෙවීමට සිදු වෙනවා. එලෙස අධික මුදලක් දරමින් විවාහ ජීවිතයට පා තැබීම නැණවත් දෙයක්ද? බයිබල් ප්‍රතිපත්ති ගැන දන්නේ නැති අය හෝ එම ප්‍රතිපත්ති සැලකිල්ලට ගන්නේ නැති අය අධික මුදලක් වැය කරමින් විවාහ උත්සවය පැවැත්වීමට තීරණය කළ හැකියි. ඒත් සැබෑ ක්‍රිස්තියානීන් ක්‍රියා කරන්නේ ඊට වඩා කොතරම් වෙනස් ලෙසද!

      තමන්ගේ විවාහයට ආරාධනා කරන සංඛ්‍යාව මෙන්ම දැරීමට සිදු වන මුදල තමන්ට ඔරොත්තු දෙන මට්ටමකට සීමා කරගැනීමෙන් හා විවාහ දිනයේ සිදු කරනු ලබන ආගමික කාරණාවලට මුල් තැනක් දීමෙන් තමන්ගේ කාලය හා මුදල් දෙවිට වූ තමන්ගේ කැපවීමට අනුව ජීවත්වීම සඳහා වැය කිරීමට බොහෝ ක්‍රිස්තියානි යුවළයන්ට හැකි වී තිබෙනවා. (මතෙව් 6:33) ලොයිඩ්ගේ හා ඔහුගේ බිරිඳ වන ඇලෙක්සැන්ඩ්‍රාගේ අද්දැකීම සලකා බලන්න. ඔවුන් දෙදෙනා විවාහ වූ දා සිට අවුරුදු 17ක කාලයක් පුරා පූර්ණ කාලීන සේවයේ හවුල් වී සිටිනවා. ලොයිඩ් මෙසේ පවසනවා. “සමහර අය අපේ විවාහය සැලකුවේ ඕනෑවට වඩා සරල විවාහයක් කියලයි. ඒත් ඇලෙක්සැන්ඩ්‍රායි මමයි අපි විවාහ වූ දවස ගැන ගොඩක් සතුටු වෙනවා. අපි විවාහ වන දවස අපි මත අනවශ්‍ය මුදල් බරක් පටවන දවසක් වෙනවා දකින්න අපි කැමති වුණේ නැහැ. අපිට ඕන වුණේ විවාහය නමැති යෙහෝවාගේ සැලැස්මට අපි දෙන්නා ඇතුළත් වන දවසේදී අපි දෙන්නා ලොකු ප්‍රීතියක් ලබනවා දකින්නයි.”

      ඇලෙක්සැන්ඩ්‍රා ඊට තවත් යමක් එකතු කරමින් මෙසේ පසනවා. “අපි දෙන්නා විවාහ වෙන්න කලින් මම පුරෝගාමි සේවය කරමිනුයි හිටියේ. ලොකු මුදලක් වැය කරලා අපේ විවාහ උත්සවය පවත්වන්න ඕන නිසා පුරෝගාමි සේවය අත් හරින්න මම කැමති වුණේ නැහැ. අපි විවාහ වූ දවස අපිට හුඟාක් විශේෂ දවසක් වුණා. ඒත් ඒ දවස අපි දෙන්නා එකට ජීවත් වෙන්න පටන්ගත් මුල්ම දවස විතරයි. විවාහ වන දවස ගැන ඕනෑවට වඩා වැඩි අවධානයක් දෙනවා වෙනුවට අපි දෙදෙනා විවාහ ජීවිතය ගත කරන කාලය පුරාම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම සෙවීමට වැඩි අවධානයක් දෙන්න කියා ලැබුණු උපදේශය අපි අදාළ කරගත්තා. මේ විදිහට ක්‍රියා කළ නිසා අපි දෙන්නා යෙහෝවා දෙවිගේ බොහෝ ආශීර්වාද භුක්ති විඳලා තියෙනවා.”c

      ඔබ විවාහ වන දවස ඉතා විශේෂ දවසක්. ඒ දවසේදී ඔබ විදහා පෙන්වන ආකල්ප හා ඔබේ ක්‍රියාවන් ඉදිරි කාලය පුරාම ඔබේ විවාහ ජීවිතයට යහපත් බලපෑමක් කළ හැකියි. මේ නිසා මඟ පෙන්වීම පතා යෙහෝවා දෙවි මත රඳා සිටින්න. (හිතෝපදේශ 3:5, 6) ඔබ විවාහ වන දවසේදී දේවවචනය හා බැඳි කාරණාවලට වැඩි අවධානයක් දෙන්න. ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් හැටියට දෙවි ඔබ දෙදෙනාට දී තිබෙන වගකීම් ඉටු කිරීම සඳහා එකිනෙකාට සහය වන්න. මෙසේ කිරීමෙන් ඔබේ විවාහ ජීවිතයට ශක්තිමත් අත්තිවාරමක් දමාගන්න ඔබට පුළුවන්. එමෙන්ම යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඇතිව විවාහ දිනයේදී පමණක් නොව ඔබ අරඹන නව යුග දිවිය පුරාම ප්‍රීතියෙන් කල් ගෙවන්න ඔබට හැකි වෙනවා නිසැකයි.—හිතෝපදේශ 18:22.

      [පාදසටහන්වල]

      a තවත් විස්තර යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන 2002 පෙබරවාරි 8 පිබිදෙව්! සඟරාවේ පළ වී තිබෙනවා.

      b රාජ්‍ය ශාලාවේ සිදු කරනු ලබන තමන්ගේ විවාහ උත්සවය වීඩියෝ කිරීමට හෝ එහිදී ඡායාරූප ගැනීමට යුවළක් සැලසුම් කරන්නේ නම් විවාහය උත්සවයේ ගෞරවනීයභාවයට හානියක් වන ආකාරයෙන් කිසිවක් නොකරන බවට වගබලාගත යුතුයි.

      c යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන පවුලේ සන්තෝෂයේ රහස නමැති පොතේ 26 වන පිටුව බලන්න.

      [29වන පිටුවේ පින්තූරය]

      යුවළක් තමන්ගේ විවාහය සැලසුම් කරද්දී විවෘතව හා ගෞරවනීය ලෙස අදහස් හුවමාරු කරගත යුතුයි

      [31වන පිටුවේ පින්තූරය]

      ඔබ විවාහ වන දවසේදී බයිබලය මත පදනම් කතාවට වැඩි අවධානයක් දෙන්න

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න