ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ඔබේ දරුවාත් අනතුරේද?
    2007 පිබිදෙව්! | ඔක්තෝබර්
    • ඔබේ දරුවාත් අනතුරේද?

      ජෙනී සහ රිචඩ් කියන්නේ වෙහෙස මහන්සි වී වැඩ කරන ප්‍රීතිමත් යුවළක්. ඔවුන්ට අවුරුදු තුනක දඟකාර සුරතල් පුතෙක් සිටිනවා.a ඔවුන් තම දරුවාව ආදරයෙන් රැකබලා ගන්නවා. ඒත් අද අපි ජීවත් වන මේ දුෂ්ට සමාජයේ ඒක එතරම් පහසු කාර්යයක් නෙවෙයි. ඒක ලොකු වගකීමක්. දරුවන්ට බොහෝ දේ ඉගැන්විය යුතුයි. මෙම වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට ජෙනී සහ රිචඩ් දැඩි සේ වෙහෙසෙනවා. ඒ වගේම ඔවුන් විශේෂයෙන්ම සැලකිලිමත් වන දෙයක් තිබෙනවා. ඒ තම දරු පැටියාව ලිංගික අතවරවලින් ආරක්ෂා කරගැනීමයි. ඒත් ඔවුන් ඒ ගැන ඒ තරම්ම සැලකිලිමත් වෙන්නේ ඇයි?

      ජෙනී මෙසේ පවසනවා. “මගේ තාත්තා කිසිම හිතක් පපුවක් නැති බීමටත් ඇබ්බැහි වූ කෙනෙක්. ඔහු මට හරියට ගැහුවා. ඔහු මටයි මගේ නංගිලාටයි අතවර කළා.”b මෙවැනි කටුක අද්දැකීම් නිසා ඇති වන මානසික පීඩාව මුළු ජීවිත කාලයටම බලපාන බව කවුරුත් පිළිගන්නවා. එවැනි අද්දැකීමක් තිබෙන ජෙනී වැනි මවක් තම පුතාව ආරක්ෂා කරගැනීමට දැඩි අධිෂ්ඨානයකින් සිටීම පුදුමයක්ද! තම පුතාව ආරක්ෂා කරගත යුතුයි කියා රිචඩ්ටත් හැඟෙනවා.

      බොහෝ දෙමාපියන් තම දරුවන්ද එවැනි උවදුරකට ලක් වේදෝ යන බියෙන් සිටිනවා. සමහරවිට ඔබත් එවැනි කෙනෙක් විය හැකියි. නමුත් ඔබ ජෙනී මෙන් ලිංගික අතවරවලට මුහුණ දී නොතිබුණත් අනිවාර්යයෙන්ම එවැනි සිදුවීම් ගැන අසා ඇති. ලොව පුරා සිටින ප්‍රේමණීය දෙමාපියන් තමන්ගේ රටේ දරුවන් මුහුණ දෙන මෙවැනි භයානක දේවල් ගැන දැඩි සේ කම්පාවට පත් වෙනවා.

      ළමා ලිංගික අතවර ගැන සොයා බලන එක් පර්යේෂකයෙක් පැවසුවේ ලිංගික අතවර “මේ කාලයේ අපි අද්දකින හද කම්පා කරවන දේවල් අතරින් එකක්” කියායි. මෙය ඉතා කනගාටුදායක දෙයක් වුණත් පුදුමයට කාරණයක්ද? නැහැ. ඊට හේතුව අපි ජීවත් වන්නේ ප්‍රශ්න ගැටලුවලින් පිරුණු බයිබලයේ ‘අන්තිම දවස්’ කියා හඳුන්වන කාලයේයි. මේ කාලයේදී “දරුණු” ලෙස ක්‍රියා කරන අය සිටින බවත් ඔවුන් “තමුන්ටම ප්‍රේම කරන” අය වන අතර “ජන්ම ස්නේහය නැති” අය බවත් බයිබලය ඉගෙනගන්නා අය දන්නවා.—2 තිමෝති 3:1-5.

      ලිංගික අතවර අද ලොකු ප්‍රශ්නයක්. දුෂ්ට මිනිසුන්ගේ මෙම ක්‍රියාකලාපය සමහර දෙමාපියන්ව බොහෝ සේ වියවුලට පත් කරනවා. ඒත් දෙමාපියන්ට මෙය විසඳාගත හැකිද? ඒ සඳහා ගත හැකි යම් පියවර තිබෙනවාද? මේ ප්‍රශ්නවලට ඊළඟ ලිපිවලින් පිළිතුරු ලැබෙනවා ඇති.

      a මෙම ලිපි මාලාවේ නම් සැබෑ ඒවා නෙවෙයි.

      b දරුවෙක්ව ලිංගික අතවරයකට ලක් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එනම්, වැඩිහිටියෙක් තමාගේ කාමාශාව සංසිඳුවා ගැනීමට දරුවෙකුව යොදාගැනීමයි. දරුවෙකු මෙවැනි අතවරයකට ලක් වන විට බයිබලයේ වේශ්‍යාකම (ග්‍රීක් භාෂාවෙන් පොර්නියා) ලෙස හඳුන්වන දේද සිදු විය හැකියි. එම වේශ්‍යාකමට ලිංගික ප්‍රදේශ ස්පර්ශ කිරීම, ලිංගික සම්බන්ධකම් පැවැත්වීම, ලිංගික ක්‍රියාකාරකම් සඳහා මුඛය හෝ ගුද මාර්ගය යොදාගැනීම අයත් වෙනවා. මීට අමතරව බයිබලයේ “නින්දිත හැසිරීම” සහ ‘ගිජුකමෙන්’ යුතුව කරන ‘අපවිත්‍රකම්’ ලෙස හැඳින්වෙන දේවල්ද අතවරයට ඇතුළත් විය හැකියි. මීට පියයුරු අතගෑම, ලිංගික කටයුතුවල යෙදීමට දරුවෙකුව යොදාගැනීම, කාමුක දර්ශන පෙන්වීම, තමාගේ නිරුවත දරුවාට පෙන්වීම, දරුවාගේ නිරුවත බැලීම හෝ දරුවාව ලිංගික ක්‍රියාවකට යොදා ඒ දෙස බැලීම යනාදිය ඇතුළත් විය හැකියි.—ගලාති 5:19-21; එෆීස 4:19.

  • ඔබේ දරුවාව ආරක්ෂා කරගත හැකි අයුරු
    2007 පිබිදෙව්! | ඔක්තෝබර්
    • ඔබේ දරුවාව ආරක්ෂා කරගත හැකි අයුරු

      දරුවන්ට සිදු වන අතවර ගැන සමහර අය අසන්නවත් කැමති නැහැ. එවැනි දෙයක් කන වැකුණු සැණින් බොහෝ දෙමාපියන් කලබල වෙනවා. දරුවෙක් අතවරයකට ලක්වීම ඉතා භයානක මෙන්ම කම්පාවට පත් කරන දෙයක්. ඒ වගේම එවැනි දෙයකට මුහුණ දෙන දරුවාටද එය ඉතා දරුණු ලෙස බලපානවා. අපි ඇත්තටම මේ විෂය ගැන සලකා බැලීම ප්‍රයෝජනවත්ද? ඔබේ දරුවාගේ ආරක්ෂාව සඳහා ඔබට මවක් හා පියෙක් හැටියට කළ හැක්කේ කුමක්ද? දරුවන් අතවරවලට ලක් වෙන්නේ ඇයි කියා දැනගැනීම සඳහා මවක් හා පියෙක් හැටියට ඔබට දරන්න වෙන්නේ සුළු වෑයමක් පමණයි. ඒත් එවැනි වෑයමක් තුළින් ලබාගන්නා දැනුම ඔබේ දරුවාගේ ආරක්ෂාවට හේතු වෙන නිසා එය ඉතාමත් වටිනවා.

      අද බොහෝ දරුවන් අතවරවලට ලක් වෙන බව ඇත්තයි. ඒත් එවැනි ආරංචිවලින් කලකිරී ඔබේ දරුවාව ආරක්ෂා කරගන්න බැරි වෙයි කියා භය වෙන්න එපා. ඔබට දරුවාට වඩා දැනුම, ප්‍රඥාව හා අද්දැකීම් තිබෙන නිසා ඔබේ දරුවාව ඔබට ආරක්ෂා කරගැනීමට පියවර ගත හැකි බවට නිසැක වෙන්න. මේ සඳහා ඔබට ගත හැකි මූලික පියවර කිහිපයක් තිබෙනවා. (1) දරුවාට ආරක්ෂාව සැපයීමේ මූලික වගකීම ඔබ භාරගන්න. (2) දරුවාව දැනුවත් කරන්න. (3) දරුවාට තමන්ව ආරක්ෂා කරගත හැකි අයුරු කියා දෙන්න.

      දරුවාට ආරක්ෂාව සපයන මූලික තැනැත්තා වන්න

      දරුවන්ට සිදු වන අතවරවලින් ඔවුන්ව ආරක්ෂා කරගැනීමේ මූලික වගකීම තිබෙන්නේ දෙමාපියන්ටයි. මේ නිසා දරුවන්ව දැනුවත් කිරීමට පළමුව දෙමාපියන් ඒ ගැන දැනුවත් වී සිටීම අවශ්‍යයි. දරුවන්ට අතවර කරන්නන්ව හඳුනාගැනීම හා ඔවුන් එවැනි දෙයකට මඟ පාදාගන්නේ කෙසේද කියා දැන සිටීම වැදගත්. බොහෝවිට දෙමාපියන් සිතන්නේ එවැනි දෙයක් සිදු වෙන්නේ දරුවන්ව පැහැරගෙන ගොස් දූෂණය කරන අයගෙන් කියායි. එවැනි දරුණු දේවල් කරන අයත් ඉන්නවා. අපිට එවැනි සිදුවීම් විටින් විට මාධ්‍යය හරහා අසන්න ලැබෙනවා. ඒත් සොයාගෙන තිබෙන තොරතුරුවලින් පැහැදිලි වන්නේ දරුවන්ට සිදු වන අතවරවලින් සියයට 90ක් පමණ සිදු වන්නේ දරුවන්ව හොඳින් හඳුනන දරුවන් තුළ ලොකු විශ්වාසයක් තිබූ අයගෙන් බවයි.

      ඔබ හොඳින් දන්නා හඳුනන අසල්වාසියෙක්, ගුරුවරයෙක්, නෑදෑයෙක් හෝ ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක් එවැනි දෙයක් කරයි කියා සැක කළ යුතු නැහැ. ඒ නිසා ඔබ අවට සිටින හැම කෙනෙක් දෙසම සැකයෙන් බැලීමත් අවශ්‍ය වන්නේ නැහැ. ඊට හේතුව බොහෝදෙනෙක් එවැනි අය නොවන නිසයි. ඒත් දරුවන්ට අතවර කරන කෙනෙක් ක්‍රියා කරන ආකාරය ගැන දැනගැනීමෙන් ඔබට ඔබේ දරුවාව ආරක්ෂා කරගන්න පුළුවන්.—6වෙනි පිටුවේ ඇති කොටුව බලන්න.

      අතවර කරන අයව හඳුනාගැනීමෙන් දෙමාපියන් හැටියට ඔබට පුළුවන් ඔබේ දරුවාගේ මූලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන්න. උදාහරණයක් ලෙස යම් කෙනෙක් පවුලේ වැඩිහිටියන්ට වඩා දරුවන්ට විශේෂ අවධානයක් දෙනවා නම්, ඔබේ දරුවන්ගෙන් එක් කෙනෙකුට විශේෂ සැලකිල්ලක් දක්වනවා නම් හා තෑගි බෝග ගෙනත් දෙනවා නම් දරුවා බලාගැනීමට ඉදිරිපත් වෙනවා නම් ඔබේ දරුවා සමඟ තනිවම ඇවිදින්න යන්න ආස කරනවා නම් ඔබ මොනවද කරන්නේ? එවැනි කෙනෙක් දරුවාට අතවර කරන්න සුදානම් වෙන කෙනෙක් කියා ඔබ හදිස්සි නිගමනයකට එළඹීම ඥානවන්ත දෙයක් නෙවෙයි. දරුවන්ට අවංකවම ආදරය කරන කෙනෙක් පවා එසේ කරන්න පුළුවන්. ඒත් ඔබට පුළුවන් මෙවැනි කෙනෙක් ගැන කල්පනාකාරීව සිටින්න. එසේ කිරීමෙන් අත්වන ප්‍රයෝජනය ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “අද්දැකීම් අඩු තැනැත්තා, කියන ඕනෑම දෙයක් විශ්වාස කරයි. නමුත් බුද්ධිමත් තැනැත්තා තමා ගත යුතු පියවර ගැන කල්පනාකාරී වෙයි.”—හිතෝපදේශ 14:15, නව ලොව පරිවර්තනය, NW.

      ඒත් මෙය මතක තබාගන්න. ඔබට අදහන්න බැරි තරම් ලොකු උදව්වක් කරන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ ගැන අවධානයකින් සිටින්න. ඔබේ දරුවා සමඟ තනිවම කාලය ගත කිරීමට කෙනෙක් වැඩි කැමැත්තක් දක්වනවා නම් එවැනි කෙනෙක් ගැන හුඟක් සෝදිසියෙන් සිටින්න. ඔබ සෑමවිටම ඔබේ දරුවා ගැන සෙවිල්ලෙන් සිටින බව එවැනි අයට අඟවන්න. මෙලිසා සහ මයිකල් පුතුන් තිදෙනෙක් සිටින තරුණ යුවළක්. ඔවුන් තමන්ගේ දරුවෙක් වැඩිහිටියෙක් සමඟ තනිවම සිටින අවස්ථාවලදී ඒ ගැන සැලකිලිමත් වෙනවා. ඔවුන්ගේ දරුවෙක් නිවසේ සංගීතය ඉගෙනගන්න අවස්ථාවලදී මෙලිසා ඒ ගුරුවරයාට මෙහෙම කියනවා. “මම දරුවා ඉගෙනගන්න අතරතුරේ විටින් විට ඇවිත් බලලා යන්නම්.” කෙනෙක් දරුවන් ගැන මෙතරම් සැලකිලිමත් වීම අන්තයටම යෑමක් කියා සිතුවද යමක් වුණාට පසු දුක් වෙනවාට වඩා පරෙස්සම් වීම ඥානවන්ත දෙයක් බව මේ දෙමාපියන් පිළිගන්නවා.

      ඔබේ දරුවාගේ යාළුවෝ, පාසැලේ වැඩ, බාහිර ක්‍රියාකාරකම් යන මේ සෑම දෙයක් ගැනම විමසිලිමත් වීම අවශ්‍යයි. ඔබේ දරුවා මිතුරන් සමඟ හෝ පාසැලෙන් යන විනෝද ගමන් ගැන හොඳ අවධානයකින් සිටින්න. අතවරවලට ලක් වූ දරුවන් සමඟ අවුරුදු 33ක් පුරා කටයුතු කළ එක් මනෝ වෛද්‍ය විශේෂඥයෙක් පැවසුවේ දෙමාපියන් ටිකක් කල්පනාකාරී වුණා නම් බොහෝ දරුවන්ට එවැනි කටුක අද්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැති බවයි. දරුවන්ට අතවර කිරීමේ වරදට හසු වූ කෙනෙක් පැවසුවේ මෙසේයි. “දෙමාපියන් හරියට මෙන්න මගේ දරුවාව ගන්න කියලා කියනවා වගේයි. . . මගේ වැඩේට ඔවුන් ලොකු සහයක් වුණා.” දරුවන්ට අතවර කරන අය බලන්නේ පහසුවෙන්ම අල්ලගන්න පුළුවන් දරුවන්වයි. නමුත් දරුවන්ගේ හැම කාරණයක් ගැනම සොයා බලන දෙමාපියන්ගේ දරුවන්ව හසු කරගැනීම ඔවුන්ට අපහසුයි.

      ඔබේ දරුවාගේ ආරක්ෂාව සලසන මූලික තැනැත්තා ලෙස ක්‍රියා කිරීමේදී ඔබ කළ යුතු තවත් වැදගත් දෙයක් වන්නේ දරුවාට හොඳින් සවන් දීමයි. දරුවන්ට මුහුණ දීමට සිදු වූ කටුක අද්දැකීමක් ඔවුන් එක පාරටම කියන්නේ නැහැ. ඔවුන් එවැනි දෙයක් කියන්න ලැජ්ජා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දෙමාපියන් ගහයි බණියි කියන භයට නොකියා ඉන්නත් පුළුවන්. ඒ නිසා සාවධානව දරුවාට සවන් දෙන්න. ඔවුන් කියන පොඩි දේවල පවා ලොකු තේරුමක් තිබෙනවා.a ඔබගේ අවධානයට යොමු වූ යම් දෙයක් ගැන දරුවා පවසන විට හීන් සීරුවේ ප්‍රශ්න ඇසීමෙන් සම්පූර්ණ විස්තරය දැනගන්න. යම් කෙනෙක් තමාව බලාගැනීමට පැමිණෙනවාට ඔහු අකමැති නම් ඒකට හේතුව අසන්න.b යම් වැඩිහිටියෙකුට දරුවා ආශ නැහැයි කියා කියනවා නම් ඔහු කරන දේවල්වලට ආශ නැහැයි කියා කියනවා නම් “ඒ ඇයි? එයා මොනවද කරන්නේ” කියා අසන්න. දරුවා ඔහු කුචි කවනවා කියා පවසනවා නම් “කොහේද කුචි කවන්නේ” කියා අසන්න. දරුවාගේ පිළිතුරු ගණන් නොගෙන ඉන්න එපා. දරුවන්ට අතවර කරන අය පවසන්නේ දරුවන්ගේ කතා වැඩිහිටියන් ගණන් ගන්නේ නැති බවයි. බොහෝ අවස්ථාවලදී ඇත්තටම සිදු වෙන්නේත් එයයි. දරුවෙක් අතවරයකට ලක් වී තිබෙනවා නම් දරුවාට එම මානසික පීඩාවෙන් ගොඩ ඒමට උපකාර කිරීමට දෙමාපියන්ට කළ හැකි හොඳම දේ නම් දරුවාව විශ්වාස කිරීම හා ඔහුට සහය දැක්වීමයි.

      ඔබේ දරුවාට ආරක්ෂාව සැපයීමේ මූලික වගකීම භාරගත යුත්තේ ඔබයි

      දරුවාව දැනුවත් කරන්න

      දරුවන්ට අතවර කිරීමේ වරදට හසු වූ එක් පුද්ගලයෙක් පැවසුවේ “ලිංගික කාරණා ගැන කිසිම දෙයක් නොදන්න දරුවෙක් හමුවෙනවා කියන්නේ මගේ ඊළඟ ගොදුර මට ලැබුණා කියන එකයි.” ඒ වචන ඇසෙන විටත් ඇඟ කිලිපොළා ගියද එය දෙමාපියන්ට හොඳ අනතුරු ඇඟවීමක්. ලිංගික කාරණා ගැන කිසිම දෙයක් දන්නේ නැති දරුවන්ව රවටාගැනීම පහසුයි. බයිබලයේ පවසන්නේ දැනුම හා ප්‍රඥාව “වංචනික දේ කතා කරන තැනැත්තාගෙන් ඔබව බේරාගන්නේය” කියායි. (හිතෝපදේශ 2:10-12, NW) ඔබටත් අවශ්‍ය කරන්නේ දරුවාට එවැනි ආරක්ෂාවක් ලබා දීමට නෙවෙයිද? එසේනම් දෙවෙනි පියවර ලෙස ඔබ ඔබේ දරුවාට ලිංගික කාරණා පිළිබඳව කියා දෙන්න.

      ඔබට මෙය කළ හැක්කේ කෙසේද? බොහෝ දෙමාපියන් තම දරුවන් සමඟ ලිංගික කාරණා ගැන කතා කිරීමට මැළිකමක් දක්වනවා. නමුත් ඊටත් වඩා එවැනි කාරණයක් ගැන ඔබ සමඟ කතා කරන්න ඔබේ දරුවන් මැළිකමක් දක්වන්න පුළුවන්. ඒ නිසා පෙරමුණ ගත යුත්තේ ඔබයි. මෙලිසා මෙසේ පවසනවා. “අපි දරුවන්ට කුඩා කාලයේදීම ශරීරයේ අවයව නම් කරන්න ඉගැන්නුවා. අපි ඒවාට ළදරු වචන භාවිත නොකර හරි වචනයම පාවිච්චි කළා. ශරීරයේ කිසිම අවයවයක් අසාමාන්‍ය හෝ කතා කිරීමට ලැජ්ජා විය යුතු අවයවයක් නොවන බව කියා දුන්නා.” මේ වගේ දැනුමක් ලබා දීමෙන් පසු අතවරයකට ලක් නොවී සිටීමට කළ හැකි දේ ගැන කතා කිරීම පහසුයි. නාන අවස්ථාවේදී අඳින ඇඳුමෙන් වැසෙන කොටස රහස් අවයව බව තවත් බොහෝ දෙමාපියන් දරුවන්ට කාවද්දනවා.

      කලින් ලිපියේ අදහස් දැක්වූ ජෙනී මෙසේද පැවසුවා. “අපේ පුතාට එයාගේ ලිංගේන්ද්‍රය රහස් අවයවයක් බව අපි කියා දුන්නා. ඒක කිසිම කෙනෙකුට අල්ලන්න දෙන්න එපා. අම්මට තාත්තාට විතරක් නෙවෙයි ඩොක්ටර් අංකල්ට වුණත් එහෙම කරන්න දෙන්න එපා. සමහර වේලාවට අපි ඔයාව ඩොක්ටර් අංකල් ළඟට එක්කන් ගියාම ඔයාට යම් අසනීපයක් නිසා ඩොක්ටර් අංකල් ඒ රහස් අවයවය බලන්න පුළුවන්. ඒ බලන්නේ ඔයාගේ අසනීපය මොකද්ද කියලා හොයාගන්න. ඒකට කමක් නැහැ.” මෙම දෙමාපියෝ දෙදෙනාම කලින් කලට මෙවැනි දේවල් ගැන දරුවා සමඟ කතා කරනවා. ඔහුට කවුරු හරි නොහොබිනා දෙයක් හෝ යම් අපහසුවක් දැනෙන දෙයක් කළ විට දෙමාපියන් සමඟ ඒ ගැන කතා කළ හැකි බවටත් ඔවුන් ඔහුට තහවුරු කර තිබෙනවා. ළමා ආරක්ෂක සංවිධාන මගින් දෙමාපියන්ට නිතරම උනන්දු කරන්නේ දරුවන් සමඟ එවැනි කාරණා ගැන කතා කරන්න කියායි.

      තම දරුවන්ට මෙවැනි කාරණා ගැන ඉගැන්වීමට උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමුc යන පොත දෙමාපියන් බොහෝදෙනෙකුට ප්‍රයෝජනවත් වී තිබෙන බව ඔවුන් පවසනවා. එහි 32වෙනි පරිච්ඡේදයේ “යේසුස්ව ආරක්ෂා කළ සැටි” යන පරිච්ඡේදයේ දරුවන් අතවරවලට ලක්වීමේ අවදානම ගැනත් ආරක්ෂාකාරීව සිටීමේ ඇති වැදගත්කම ගැනත් ඍජු නමුත් සහනදායී පණිවිඩයක් අඩංගුයි. මේ පොත “අපි දරුවන්ට පෞද්ගලිකව කියා දුන් කාරණා බලපෑමෙන් යුක්තව කියා දීමට උපකාරවත් වුණා” කියා මෙලිසා පැවසුවා.

      දරුවන්ව අනිසි ලෙස අතගෑමට හෝ දරුවන් ලවා තමන්ව අත ගාගැනීමට කැමති අයද සිටින බව දරුවන්ට කියා දිය යුතුයි. මේ නිසා දරුවන් සියලුම වැඩිහිටි අයගෙන් ඈත් විය යුතුද? නැහැ. “මෙය ආරක්ෂා වීමට දෙන මඟ පෙන්වීමක් විතරයි” කියා ජෙනී පවසනවා. “මෙය අපි දරුවන්ට දෙන වෙනත් උපදෙස් අතර තවත් එකක්. මේ නිසා මගේ පුතාට ඒ වගේ උපදෙස් දුන්නාම එයා ඒවාට භය වෙන්නේ නැහැ.”

      දරුවෙකුට කීකරු වීමට ඉගැන්වීම හිතන තරම් පහසු දෙයක් නෙවෙයි. (කොලොස්සි 3:20) ඒත් කීකරු වීම ගැන උගන්වන විට කල්පනාකාරී විය යුතුයි. ඕනෑම කාරණයකදී සෑම වැඩිහිටියෙකුටම කීකරු විය යුතුයි කියා ඉගැන්වීම අනතුරුදායක විය හැකියි. ඊට හේතුව එවැනි දරුවෙක් පහසුවෙන්ම අතවරවලට ගොදුරු විය හැකි නිසයි. ඕනෑවට වඩා කීකරු දරුවන්ව අතවර කරන්නන්ට පහසුවෙන්ම හසු කරගන්න පුළුවන්. ඒ නිසා ඥානවන්ත දෙමාපියන් දරුවන්ට කීකරුකම ගැන උගන්වන විටදී එසේ කළ යුත්තේ කොපමණ දුරකටද කියා පෙන්වා දෙනවා. මෙය ක්‍රිස්තියානි දෙමාපියන්ට නම් එතරම් අපහසු කාර්යයක් නෙවෙයි. ඔවුන් දරුවන්ට සරලව මෙසේ කියා දෙනවා. “යෙහෝවා දෙවි අකමැති දෙයක් කරන්න කියලා කවුරු හරි කියනවා නම් ඔයා ඒකට කීකරු වෙන්න ඕනේ නැහැ. දෙවි අකමැති දෙයක් අම්මා තාත්තා කිව්වත් කරන්න එපා. ඔයාට කවුරු හරි වැරදි වැඩක් කරන්න කියලා කියනවා නම් අම්මට හරි තාත්තාට හරි ඒ ගැන කියන්න ඕනේ.”

      ඒ වගේම කවුරු හරි ඔබේ දරුවාට යම් දෙයක් රහසක් හැටියට තියාගන්න කියා කියනවා නම් ඔහු එසේ නොකළ යුතු බව කියා දෙන්න. දරුවාට එවැනි රහසක් කියන්න එපා කියා තර්ජනය කළත්, දරුවා අතින් යම් වරදක් සිදු වී තිබුණත් අම්මාටයි තාත්තාටයි හැම දෙයක්ම කියන්න පුළුවන් බව තේරුම් කර දෙන්න. බොහෝදෙනෙක් එවැනි රහස් රකින්න කියන්නේවත්, අනවශ්‍ය ලෙස ශරීරය අතගාන්නේවත්, දෙවිට අකීකරු වෙන්න කියා කියන්නේවත් නැති බව පහදා දෙන්න. එවිට දරුවා එවැනි උපදෙස්වලට බිය වෙන්නේ නැහැ. ඒක හරියට හදිසි ගින්නක් ඇති වූ අවස්ථාවකදී බේරී යෑමට කළ යුතු දේවල් ගැන කියා දෙනවා වගේයි. සමහරවිට දරුවන්ට අතවර කරන අයගෙන් ආරක්ෂා වීම ගැන දී තිබෙන උපදෙස් අදාළ කරගැනීමට අවස්ථාවක් එන්නේ නැති වෙන්නත් පුළුවන්.

      දරුවාට මේ කාරණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුම ලබා දෙන්න

      ආරක්ෂා කරගත හැකි අයුරු කියා දෙන්න

      තුන්වෙනි පියවරෙන් සාකච්ඡා කරනු ලබන්නේ දරුවා තනි වූ අවස්ථාවකදී තමාගේ ආරක්ෂාව සලසාගන්නේ කෙසේද කියායි. මෙය දරුවාට යම් ක්‍රීඩාවක් කරන ආකාරයෙන් කියා දිය හැකියි. මව හෝ පියා “ඔයාට මෙහෙම දෙයක් වුණොත් ඔයා මොනවද කරන්නේ” කියා යම් ප්‍රශ්නයක් නඟා පිළිතුරු දීමට දරුවාට ඉඩහරින්න. ඔබට මෙසේ අසන්න පුළුවන්. “අපි එකට සාප්පු සංකීර්ණයකට ගිය වේලාවක ඔයා අතරමං වුණොත් මොනවාද කරන්නේ? ඔයා කොහොමද මාව හොයාගන්නේ?” සමහරවිට දරුවා දෙන පිළිතුරු සෑහීම ගෙන දෙන එකක් නොවන නිසා “ඔයාට ඊට වඩා හොඳ දෙයක් කරන්න පුළුවන්ද” වැනි ප්‍රශ්න ඇසීමෙන් යම් මඟ පෙන්වීමක් ලබා දෙන්න පුළුවන්.

      යම් කෙනෙක් දරුවාව අනවශ්‍ය ලෙස අත පත ගානවා නම් ඔහු මොනවද කරන්නේ කියා දැනගන්න ඒ හා සමානම ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නවලින් දරුවාට යම් අපහසුවක් දැනෙනවා නම් වෙනත් ළමයෙකු ගැන යම් කතන්දරයක් කියා දෙන ආකාරයෙන් ප්‍රශ්න අහන්න. උදාහරණයක් ලෙස “පොඩි ළමයෙක් එයාගේ නෑ කෙනෙක් එක්ක ගෙදර හිටියා. මේ නෑදෑයා එයාගේ අල්ලන්න හොඳ නැති තැනක් ඇල්ලුවා. මේ ළමයා මොනවා කරන්න ඕනේ කියලද ඔයා හිතන්නේ?”

      දරුවාට තමන්ව ආරක්ෂා කරගත හැකි අයුරු කියා දෙන්න

      එවැනි අවස්ථාවකදී ඔබේ දරුවා ක්‍රියා කළ යුතු ආකාරය ගැන ඔබ උගන්වන්නේ මොනවාද? එක් කර්තෘවරයෙක් මෙසේ පැවසුවා. “‘එපා’ ‘එහෙම කරන්න එපා’ වැනි දෙයක් කීම ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඒ තුළින් අතවර කරන්න උත්සාහ කරන තැනැත්තා බියට පත් වන අතර ඔහු කරන්න ගිය දේ ගැන දෙසැරයක් සිතීමට පෙලඹෙයි.” මෙවැනි අවස්ථාවකදී ඔබේ දරුවා ක්‍රියා කරන ආකාරය ගැන කෙටියෙන් රඟ දක්වන්න උනන්දු කරන්න. එවිට එවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වුණොත් දරුවාට බියක් නැතිව එපා කියන්නත්, එතනින් පලා යන්නත් සිදු වූ සියල්ල ඔබට පවසන්නත් හැකි වේවි. පුහුණුව දෙන අවස්ථාවේදී දරුවාට මේ සියලු තොරතුරු මතක තිබුණද කාලයක් ගත වෙන විට මේ දේවල් අමතක වී යා හැකියි. ඒ නිසා විටින් විට මේ පුහුණුව ලබා දෙන්න.

      ඔබේ දරුවාව බලාගන්න දරුවාගේ තාත්තා, සීයා හෝ වෙනත් පිරිමි නෑදෑයන් සිටිනවා නම් මේ සියලුදෙනාවමද මෙවැනි සාකච්ඡාවලට සහභාගි කරගන්න. එවිට ඒ අයගෙන් දරුවාට කිසිම අතවරයක් සිදු වෙන්නේ නැති බව දරුවාට ස්ථිර වෙන්න පුළුවන්. බොහෝ අවස්ථාවලදී දරුවන් අතවරවලට ලක් වෙන්නේ තමන්ගේම නිවසේදීයි. මීළඟ ලිපියේ නිවස ආරක්ෂිත ස්ථානයක් කළ හැක්කේ කෙසේද කියා සාකච්ඡා කරනු ලබනවා.

      a මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා තිබෙන කෙනෙක් පවසන්නේ දරුවන් යම් අසීරුතාවක් අද්දකින බව ඔවුන්ගේ හැසිරීමෙන් දැනගත හැකි බවයි. උදාහරණයක් ලෙස දරුවෙක් ඔහුගේ වයසට නොගැලපෙන සමහර දේවල් කරනවා වෙන්න පුළුවන්. සමහරවිට නින්දෙන්ම ඇඳ තෙමනවා නම්, දෙමාපියන්ගේ ආරක්ෂාව වුවමනාවට වඩා බලාපොරොත්තු වෙනවා නම්, තනියම ඉන්න භය නම් දරුවා ගැන සැලකිලිමත් විය යුතුයි. මෙම හැසිරීම් මගින් කියා පාන්නේ දරුවා යම් අසීරුතාවක් අද්දකින බවයි. ඒවා අතවර වීමකට ගොදුරු වීම නිසාම ඇති වූ ඒවා කියා නිගමනය නොකළ යුතුයි. මෙවැනි දේවල් නිරීක්ෂණය කිරීමෙන් දෙමාපියන්ට පුළුවන් දරුවාගේ වෙනස් වීමට හේතුව සොයාගන්න. එවිට ඔබට පුළුවන් දරුවාට අවශ්‍ය උපකාරය, සැනසීම හා ආරක්ෂාව ලබා දෙන්න.

      b මෙම ලිපි මාලාවේ අතවර කරන තැනැත්තාව සහ එයට ලක් වෙන දරුවාව යන දෙදෙනාවම පුරුෂ ලිංගයෙන් දක්වා තිබුණද මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම අදාළයි.

      c යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

      ලොව පුරාම පවතින ප්‍රශ්නයක්

      ළමා අපයෝජන ගැන හදාරන කෙනෙක් ඉදිරිපත් කළ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් 2006දී එක්සත් ජාතීන්ගේ මහ සභා රැස්වීමට ඉදිරිපත් කළා. එම වාර්තාවට අනුව මෑත වසරක අවුරුදු 18ට අඩු ගැහැනු ළමුන් මිලියන 150කට සහ පිරිමි ළමුන් මිලියන 73කට පමණ “ලිංගික සංවාසයේ යෙදීමට හෝ වෙනත් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට බල කර තිබෙන” බව සඳහන් වෙනවා. මෙම වාර්තාව විශ්වාස කිරීමට අමාරු එකක් බව සිතුවද එහි තවදුරටත් පවසන්නේ “මෙහි අඩංගු වාර්තාවට වඩා සැබෑ සංඛ්‍යාව ඊටත් වඩා වැඩියි” කියායි. රටවල් 21ක කළ සමීක්ෂණයෙන් හෙළි වන්නේ සමහර රටවල කාන්තාවන්ගෙන් සියයට 36ක් සහ පිරිමින්ගෙන් සියයට 29ක් තමන්ගේ ළමා කාලයේදී යම් ආකාරයක ලිංගික අතවරයකට ලක් වී තිබෙන බවයි. ඔවුන් බොහෝදෙනෙක් මෙවැනි අතවරවලට ලක් වී තිබෙන්නේ තමන්ගේම නෑදෑයන්ගෙනුයි.

      දරුවන්ව මුළා කරන ආකාරය

      අතවර කරන අය එය කරන්නේ ඉතා සූක්ෂ්ම ආකාරයටයි. ඔවුන් මාන බලන්නේ දරුවෙකුට බලෙන් එවැනි දෙයක් කරනවාට වඩා දරුවාව රවටාගෙන තමන්ගේ කාර්යය කරගැනීමටයි. ඔහු තමාගේ ගොදුරු හැටියට තෝරාගන්නේ පහසුවෙන් රවටාගන්න පුළුවන් විශ්වාසවන්ත මෙන්ම පාලනය කරන්න පුළුවන් දරුවෙක්වයි. ඉන්පසු ඔහු ඒ දරුවාව අනිත් අයගෙන් වෙන් කර ඔහුට විශේෂ අවධානයක් දෙනවා. ඔහු දරුවාගේ දෙමාපියන්ගේ විශ්වාසය දිනාගැනීමටද කටයුතු කරනවා. මෙවැනි අය පවුලට මෙන්ම දරුවාටද අවංක සැලකිල්ලක් දක්වන බව බොරුවට මවාපානවා.

      ටිකෙන් ටික දරුවාව මේ සඳහා සූදානම් කිරීමට ඔහු පටන්ගනියි. දරුවා දෙස ආදරයෙන් බලයි. විහිළුවට මෙන් පොරබැදීමෙන් හා කුචි කැවීම යන ක්‍රියා මගින් දරුවාගේ ශරීරය හා ගැටෙන දේවල් කරන්න පටන්ගනියි. ඔහු මේ දරුවාට තෑගි බෝග ගෙනත් දෙන අතර දරුවාව යහළුවන්ගෙන් හා පවුලේ අයගෙන් වෙන් කර ඔහු සමඟ තනිවම කාලය ගත කිරීමට පටන්ගනියි. සමහර අවස්ථාවලදී ඔහු දෙන තෑග්ගක් හෝ ඔවුන් යන ගමනක් වැනි සුළු කාරණයක් ගැන දෙමාපියන්ට නොකියා රහසක් ලෙස තබාගන්න කියයි. මෙවැනි උපක්‍රමයක් දරුවාට අතවර කිරීමට පෙර සූදානමක් කියා පැවසිය හැකියි. ඔහු දරුවාගේ මෙන්ම දෙමාපියන්ගේද විශ්වාසය දිනාගැනීමෙන් පසු ඔහුගේ අරමුණ ඉටු කරගැනීමට සූදානම්.

      ඔහු මේ අවස්ථාවේදී පවා උත්සාහ කරන්නේ සූක්ෂ්ම ලෙස තමන්ගේ ආශාව ඉෂ්ට කරගැනීමටයි. ස්වභාවයෙන්ම දරුවන් තුළ ලිංගික කාරණා පිළිබඳව දැනගැනීමට තිබෙන කුතුහලයෙන් අයුතු ප්‍රයෝජන ගෙන ඔහු ගුරුවරයෙක් මෙන් ක්‍රියා කරයි. එසේත් නැත්නම් ඔවුන් යම් විශේෂ සෙල්ලමක් කරන බවත් ඒ ගැන කිසිම කෙනෙකුට නොකියන ලෙසත් පවසයි. ඔහු දරුවාට කාමුක දර්ශන ඇතුළත් චිත්‍රපටි පෙන්වා ඒ වගේ දේවල් නරක දේවල් නෙවෙයි කියා තහවුරු කිරීමට වෑයම් කරයි.

      ඔහු දරුවාට අතවර කිරීමට සමත් වුණා නම් ඔහුගේ ඊළඟ පියවර වන්නේ දරුවා එය කිසිම කෙනෙකුට නොකියන බවට වගබලා ගැනීමයි. ඔහු මේ සඳහා විවිධ උපක්‍රම භාවිත කළ හැකියි. තර්ජනය කරන්න පුළුවන්. දරුවාට දොස් කියන්න පුළුවන්. උදාහරණයක් ලෙස “ඔයාට මට නවත්තන්න කියලා කියන්න තිබුණා.” “ඔයා අම්මට හරි තාත්තාට හරි කිව්වොත් පොලිසියෙන් මාව අරන් ගිහින් හිරේ දායි.” එහෙමත් නැත්නම් “මේක අපි දෙන්නා අතර තියෙන රහසක්. ඔයා මේ ගැන කිව්වත් කවුරුත් ඔයාව විශ්වාස කරන්නේ නැහැ. ඔයාගේ අම්මට හරි තාත්තාට හරි මේක කිව්වොත් මම ඒ අයව මරනවා.” මේ වගේ විවිධ සූක්ෂ්ම ක්‍රම ඔවුන් යොදාගන්නවා.

  • සෙනෙහසේ නවාතැනක්
    2007 පිබිදෙව්! | ඔක්තෝබර්
    • සෙනෙහසේ නවාතැනක්

      අපි ජීවත් වන මේ “අන්තිම දවස්වල” බොහෝ මිනිසුන් තුළ “ජන්ම ස්නේහය නැති” බව බයිබලයේ පවසා තිබෙනවා. (2 තිමෝති 3:1, 3, 4) එම අනාවැකියේ සත්‍යතාව අප ජීවත් වන සමාජයේ පවුල්වල සිදු වන ළමා අතවරවලින් සනාථ වෙනවා. ජන්ම ස්නේහයක් නැහැයි කියා පැවසීමෙන් අදහස් වෙන්නේ පවුලේ සාමාජිකයන් අතර විශේෂයෙන්ම දෙමාපියන් හා දරුවන් අතර බැඳීමක් නොමැතිකමයි. බොහෝ දරුවන් අතවරවලට ලක් වෙන්නේ තමන්ගේම නිවසේදීයි.

      සමහර පර්යේෂකයන් පවසන පරිදි බොහෝවිට දරුවන් අතවරවලට ලක් වෙන්නේ පියාගෙනුයි. වෙනත් පිරිමි ඥාතීන් අතින්ද දරුවන් අතවරයට ලක් වෙනවා. බොහෝවිට ගොදුරු වන්නේ ගැහැනු දරුවන් වුවද පිරිමි දරුවන්ද මෙයට ගොදුරු වෙන අවස්ථා තිබෙනවා. මේ අතර අතවර කරන කාන්තාවන්ද සිටිනවා. කෙසේවෙතත් බොහෝවිට පවුලක වැඩිහිටි දරුවන් විසින් බාල දරුවන්ට කරන අතවර වාර්තා වෙන්නේ නැති නිසා මෙහි නියම සංඛ්‍යාව දැනගැනීමට හැකි වෙන්නේ නැහැ. ඒත් දෙමාපියන් හැටියට ඔබ ඒ සියලුම ක්‍රියාවන් වැරදි බව තේරුම්ගත යුතුයි.

      ඔබේ පවුල තුළ මෙවැනි දේවල් ඇති නොවීමට ඔබට කුමක් කළ හැකිද? පවුලේ සෑම සාමාජිකයෙක්ම අතවරවලින් ආරක්ෂා වීමේ අවශ්‍යතාව හා එය කළ හැකි ආකාරය දැන සිටිය යුතුයි. එවැනි ආරක්ෂාවක් සලසාගැනීමට මඟ පෙන්වීම් ලැබිය හැකි හොඳම පොත වන්නේ දෙවිගේ වචනය වන බයිබලයයි.

      දේවවචනය හා මිනිස් සම්බන්ධතා

      බයිබලයේ අඩංගු සදාචාර ප්‍රමිති පිළිපැදීම සෑම පවුලකටම හොඳ ආරක්ෂාවක්. බයිබලයේ ලිංගික කාරණා ගැන ගෞරවනීය මෙන්ම විවෘතවද කතා කර තිබෙනවා. ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් සතුටක් ලැබීම වරදක් නොවන බව දෙවි පවසා තිබෙනවා. (හිතෝපදේශ 5:15-20) නමුත් විවාහයෙන් පිට එවැනි සම්බන්ධකම් පැවැත්වීම දෙවි හෙළාදැක තිබෙනවා. උදාහරණයක් ලෙස පවුලේ සාමාජිකයන් අතර සිදු වන ලිංගික සම්බන්ධකම් (ව්‍යාභිචාරය) බයිබලයේ තරයේ ප්‍රතික්ෂේප කරනවා. “ඔබ අතරේ සිටින කිසි පුරුෂයෙකු තම කිට්ටු නෑයෙකු සමඟ සයනය නොකළ යුතුයි. මා යෙහෝවා දෙවිය.”—ලෙවී කතාව 18:6, නව ලොව පරිවර්තනය, NW.

      යෙහෝවා දෙවි පවුලේ සාමාජිකයන් අතර සිදු වන මෙවැනි නින්දිත ක්‍රියා “පිළිකුල්” ක්‍රියා ලෙස නම් කර තිබෙනවා. මේවා මරණ දණ්ඩනය ලැබිය යුතු වැරදි ලෙස සලකනු ලැබුවා. (ලෙවී කතාව 18:26, 29) මින් පැහැදිලි වන්නේ දෙවිගේ ප්‍රමිති ඉතා උසස් බවයි. අද බොහෝ රටවලද දරුවෙක් පවුලේ කෙනෙක් අතින් අතවරයට ලක් වූ විට එය නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස සලකනවා. දරුවෙක් පවුලේ කෙනෙක් අතින් අතවරයකට ලක් වූ විටත් එය නීතියෙන් හඳුන්වනු ලබන්නේ දූෂණය කිරීමක් ලෙසයි. ඒත් බලහත්කාරයෙන් කරන්නේ නැත්නම් එවැනි තද බල වචනයක් පාවිච්චි කරන්නේ ඇයි?

      බොහෝ අධිකාරීන් බයිබලයේ දරුවන් ගැන පවසා තිබෙන දේට එකඟ වෙනවා. ඒ කියන්නේ දරුවන්ට වැඩිහිටියන්ට මෙන් කරුණු කාරණා වටහාගැනීමේ හැකියාවක් නැහැ. මේ ගැන බයිබලයේ හිතෝපදේශ පොතේ මෙසේ පවසා තිබෙනවා. “මෝඩකම දරුවෙකුගේ සිතට බැඳී ඇත.” (හිතෝපදේශ 22:15) ඒ වගේම බයිබල් ලේඛකයෙක් වන පාවුල්ද මෙසේ පැවසුවා. ‘මම බිලිඳෙකුව සිටියදී බිලිඳෙකු මෙන් සිතුවෙමි. බිලිඳෙකු මෙන් කල්පනා කළෙමි. නමුත් දැන් මා වැඩිහිටියෙකු වී සිටින හෙයින්, මම බිලිඳෙකුගේ ගතිලක්ෂණ අත්හැර දමා සිටිමි.’—1 කොරින්ති 13:11.

      දරුවෙක් ලිංගික ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියා දන්නේ නැහැ. ඒ වගේම ඉන් ඇති වන හානි ගැනද ඔහුට තේරුමක් නැහැ. මේ නිසා දරුවෙකුට ලිංගික ක්‍රියාවක යෙදීමට කැමැත්ත දීමට තරම් දැනුමක් නැහැ. අනික් අතට වැඩිහිටියෙක් (හෝ වැඩුණු දරුවෙක්) දරුවෙක් සමඟ ලිංගික සම්බන්ධකමක් පැවැත්වුවා නම් දරුවා එය වැළැක්වීමට කිසිම උත්සාහයක් දැරුවේ නැහැයි කියා හෝ දරුවා ඒකට කැමති වුණා කියා නිදහසට හේතු කියන්න බැහැ. එමනිසා වැඩිහිටි තැනැත්තා දූෂණය කිරීමේ වරදට හසුවෙනවා. මෙය සාපරාධී ක්‍රියාවක් නිසා බොහෝ අවස්ථාවලදී සිර දඬුවම් ලැබිය යුතු වරදක් වෙනවා. මෙවැනි දූෂණයකට වග කිව යුත්තේ එය සිදු කළ තැනැත්තා මිස එයට ගොදුරු වූ දරුවා නෙවෙයි.

      කනගාටුවට කරුණක් නම් මෙවැනි බොහෝ සාපරාධී ක්‍රියාවන්වලට නීතියෙන් දඬුවම් නොලැබීමයි. උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාවේ නීතියෙන් පියවර ගන්නේ සියයට දහයකට පමණ වන අතර වැරදිකරුවන් බවට පත් වෙන්නේ ඉන් කිහිපදෙනෙක් පමණයි. වෙනත් රටවලද තත්වය මේ හා සමානයි. රජයේ නීති මගින් පවුල්වලට ආරක්ෂාව ලැබෙන්නේ සුළු වශයෙන් වුවද බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් පවුල්වලට ඊටත් වඩා ආරක්ෂාවක් ලැබිය හැකියි.

      දෙවි බයිබලයේ සඳහන් කර තිබෙන ප්‍රතිපත්ති වෙනස් කර නැති බව සැබෑ ක්‍රිස්තියානීන් දන්නවා. අපි කරන කියන සෑම දෙයක්ම අන් අයට නොපෙනුණත් දෙවිට ඒ සියල්ල පෙනෙනවා. බයිබලයේ ඒ ගැන පවසන්නේ මෙසේයි. “අප විසින් ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.”—හෙබ්‍රෙව් 4:13.

      අපි දෙවිගේ නීති කඩ කර අන් අයට හිංසා පීඩා කරනවා නම් අපි ඒවාට ගණන් දිය යුතුයි. අනික් අතට පවුල සම්බන්ධයෙන් දෙවි දී තිබෙන නීති අපි පිළිපදිනවා නම් ඔහු අපට ආශීර්වාද කරනවා. ඔහු අපට දී තිබෙන සමහර ප්‍රතිපත්ති මොනවාද?

      ප්‍රේමයෙන් බැඳුණු පවුලක්

      “ප්‍රේමය” ගැන බයිබලයේ පවසන්නේ එය “එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමක්” කියායි. (කොලොස්සි 3:14) ප්‍රේමය නිකම්ම හැඟීමක් විතරක් නෙවෙයි. එයින් යහපත් දේ සඳහා පෙලඹීමක් ඇති කළ හැකි අතර සමහර ක්‍රියා ද්වේෂ කරන්නත් පුළුවන්. (1 කොරින්ති 13:4-8) පවුලක සාමාජිකයන්ට ප්‍රේමය පෙන්වීමේදී එකිනෙකාට ගෞරවය කිරීමත් කරුණාවෙන් සැලකීමත් ඊට ඇතුළත්. ඒ වගේම පවුලේ සෑම සාමාජිකයෙක්වම දෙවි සලකන ආකාරයට සැලකීමත් ඇතුළත්. දෙවි සෑම කෙනෙකුටම වැදගත් මෙන්ම ගෞරවනීය තැනක් දී තිබෙනවා.

      පවුලේ මූලිකයා ප්‍රේමය පෙන්වීමේදී පෙරමුණ ගත යුතුයි. ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන් පවුලේ මූලිකයා ලෙස කටයුතු කිරීමේදී දරුණු ලෙස තම භාර්යාව හා දරුවන් කෙරෙහි ආධිපත්‍යය පැවැත්වීම වැරදි බව ඔහු දන්නවා. ඔහු ආදර්ශයට ගන්නේ යේසුස්වයි. (එෆීස 5:23, 25) ඒ නිසා ඔහු භාර්යාවට කර්කශ නොවන අතර දරුවන් සමඟද ඉවසීමෙන් වැඩ කරයි. ඔහු තම පවුලට ලොකු ළැදිකමක් දක්වන නිසා පවුලේ සාමයට හා ප්‍රීතියට හානිකර යමක් සිදු වන විට හෝ ආරක්ෂාකාරී හැඟීමක් නැති බව හැඟෙන විට හෝ ඔහු එය වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගනියි.

      ඒ හා සමානව භාර්යාවක් හා මවක් වන ඇයටද ඉතා භාරදූර කාර්යයක් තිබෙනවා. යෙහෝවා දෙවි සහ යේසුස් තම සෙනඟට කොතරම් ආරක්ෂාවක් දෙනවාද කියා දැනගැනීමට සතුන් තම පැටවුන්ට ආරක්ෂාව ලබා දෙන ආකාරය ගැන කතා කරන නිදර්ශනයක් බයිබලයේ සපයා තිබෙනවා. (මතෙව් 23:37) මවක් ඒ හා සමානව තම දරුවන්ව ආරක්ෂා කරගත යුතුයි. තමන්ගේ ආරක්ෂාව හා යහපත ගැන සිතීමට පෙර තම දරුවන් ගැන සිතිය යුතුයි. දෙමාපියන් තමන් අතරේවත් දරුවන් දරුවන් අතරේවත් අනිසි ලෙස බලය පැවැත්වීමට හෝ හිංසාකාරී ලෙස සැලකීමට හෝ ඉඩ දෙන්නේ නැහැ. අන් අයටද ඒ ආකාරයෙන් සැලකීමට තම දරුවන්ට ඔවුන් ඉඩ දෙන්නේත් නැහැ.

      පවුලේ සෑම සාමාජිකයෙක්ම එකිනෙකාට ආදරයෙන් හා ගෞරවයෙන් සලකන විට ඒ පවුල තුළ හොඳ අදහස් හුවමාරුවක් තිබෙන්න යන බව නම් නිසැකයි. විලියම් ප්‍රෙන්ඩගාස්ට් නම් කර්තෘවරයා පැවසුවේ මෙසේයි. “සෑම දෙමාපියෙක්ම තම දරුවන් සමඟ නිතිපතාම හොඳ සංවාදයක යෙදිය යුතුයි. මෙය ලිංගිකව සිදු වන අතවරවලින් ආරක්ෂා වීමට හොඳම ක්‍රමයක්.” බයිබලයේත් එවැනි හොඳ සංවාද නිතර පැවැත්විය යුතු බව පෙන්වා දී තිබෙනවා. (ද්විතීය කතාව 6:6, 7) ඒ වගේ පරිසරයක් ඔබේ නිවසේ ගොඩනැඟී තිබෙනවා නම් සෑම සාමාජිකයෙකුටම තමන්ට හැඟෙන දේ නොවළහා පැවසීමට හැකි වෙනවා.

      අද අපි ජීවත් වෙන්නේ දුෂ්ට සමාජයක නිසා සියලුම ලිංගික අතවරවලින් ආරක්ෂා වීමට නොහැකි බව ඇත්තයි. ඒත් තමන්ට ආරක්ෂාව හා සෙනෙහස ලැබිය හැකි නිවසක් තිබෙනවා නම් එයින් ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. පවුලේ කෙනෙකු යම් දුෂ්කරතාවක් අද්දකින විට ඔහු දන්නවා අනුකම්පාව හා සහනය ලැබිය හැක්කේ කොතැනින්ද කියා. එවැනි ප්‍රේමයකින් පිරුණු නිවසක් ඇත්තටම මේ දුෂ්ට සමාජයේ තිබෙන ක්ෂේම භූමියක් කියා කියන්න පුළුවන්. ඔබේ පවුල තුළත් එවැනි වාතාවරණයක් ඇති කිරීමට ඔබ දරන වෑයමට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබේවා!

      නිවසේදී ආරක්ෂාව ලැබීමට නම් . . .

      අන්තර්ජාලය: ඔබේ දරුවන් අන්තර්ජාලය භාවිත කරනවා නම් එයින් ඇති වන නරක බලපෑමෙන් ආරක්ෂා වී එය භාවිත කළ හැකි ආකාරය ගැන උපදෙස් දෙන්න. එහි හිසේ කෙස් ගාණට කාමුක දර්ශන ඇතුළත් වෙබ් අඩවි, සංවාද කුටි හා වෙනත් ඒ හා සමාන ජාල රාශියක් තිබෙනවා. දරුවන්ට අතවර කිරීමට මාන බලා සිටින අය ඉන් ප්‍රයෝජන ගන්නවා. පරිගණකය ගෙදර හැමෝටම පෙනෙන තැනකින් තැබීමෙන් දරුවන් නරඹන දේවල් ගැන අධීක්ෂණය කිරීමට පහසුයි. දෙමාපියන්ගේ අවසරය නැතිව දරුවන් කිසිම දවසක තමන් ගැන විස්තර ලබා දීම හෝ අන්තර්ජාලය මගින් මිත්‍රකම් පැවැත්වූ කෙනෙක්ව බැහැදැකීමට නොයා යුතුයි.—ගීතාවලිය 26:4.

      මත්පැන්:බොහෝ අවස්ථාවලදී දරුවන් අතවරවලට ලක් වී තිබෙන්නේ බීමත් වූ අය අතිනුයි. වෙනත් වේලාවලදී තමන්ගේ ආශාවන් පාලනය කරගත හැකි අය අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා පාලනයකින් තොරව මෙවැනි ක්‍රියාවල නිරත වී තිබෙන බව වාර්තා වෙනවා. අධික ලෙස මත්පැන් පානය කිරීම වැරදි බවට බයිබලයේ පවසා තිබෙන දෙයට කීකරු වීමට මෙය තවත් හොඳ හේතුවක් වෙනවා.—හිතෝපදේශ 20:1; 23:20, 31-33; 1 පේතෘස් 4:3.

      පෞද්ගලික නිදහස: එක් කාන්තාවක් පැවසුවේ මෙසේයි. “අපේ අම්මා මැරුණට පස්සේ අපේ ගෙදර ජනෙල් රෙදි දාලා තිබුණේත් දොරක් තිබුණේත් තාත්තාගේ කාමරේට විතරයි. අඩුම තරමින් නාන කාමරේටවත් දොරක් තිබුණේ නැහැ.” මේ තාත්තා ඔහුගේ දූවරුන් සියලුදෙනාව යම් යම් අතවරවලට ලක් කළා. පවුලේ සෑම කෙනෙක්ම අන් අයටත් පෞද්ගලික නිදහස අවශ්‍ය බව තේරුම්ගත යුතුයි. සමහර අවස්ථාවලදී දෙමාපියන්ට දරුවන්ගෙන් වෙන් වී තනිව සිටීමට අවශ්‍ය වෙනවා වගේම දරුවන්ටත් ඔවුන් වැඩෙනවාත් සමඟම යම් පෞද්ගලික නිදහසක් අවශ්‍යයි. ඥානවන්ත දෙමාපියන් තමන්ට අන් අය සලකනවාට තමන් කැමති ආකාරයටම ඔවුන්ද අන් අයට සලකනවා.—මතෙව් 7:12.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න