-
1 ඇයි?2010 මුරටැඹ | ඔක්තෝබර් 1
-
-
1 ඇයි?
අද සිටින බොහෝ මිනිසුන් යාච්ඤාව නමැති විෂය ගැන මහත් උනන්දුවක් දක්වනවා. ඒ නිසා යාච්ඤා කිරීම සම්බන්ධයෙන් බොහෝදෙනා කල්පනා කරන ප්‍රශ්න හතක් සහ ඒවාට බයිබලයේ සඳහන් වී තිබෙන පිළිතුරු අපි දැන් සලකා බලමු. මෙම ලිපි මාලාවේ අරමුණ වන්නේ දෙවිට අර්ථවත් ලෙස යාච්ඤා කරන ආකාරය ගැන ඔබට පහදා දීමයි.
ලොව වටා සිටින සියලුම ආගම්වලට අයත් මිනිසුන් විවිධ දෙවිවරුන්ට යාච්ඤා කරනවා. ඔවුන් තනිවම හෝ කණ්ඩායම් වශයෙන් යාච්ඤා කරන ආකාරය ඔබ දැක ඇති. බොහෝවිට ඒ සඳහා ඔවුන් කොන්ත, යාච්ඤා පොත් සහ රූප වැනි දේවල් භාවිත කරනවා.
මිහිපිට සිටින මිනිසුන්ට සහ සතුන්ට පොදු වූ ලක්ෂණ බොහොමයක් තිබෙනවා. උදාහරණයකට සතුන්ට මෙන් මිනිසුන්ටත් ජීවත් වීම සඳහා ආහාර, ජලය සහ වාතය අවශ්‍යයි. එමෙන්ම සතුන් මෙන් මිනිසුන්ද ඉපදී යම් කාලයක් ජීවත් වී පසුව මිය යනවා. (දේශනාකාරයා 3:19) ඒ කොහොමවුණත් යාච්ඤා කිරීම මිනිසුන්ට පමණක් ආවේණික වූ ඉතා සුවිශේෂී දෙයක්. එයට හේතුව කුමක්ද?
මිනිසුන් යාච්ඤා කරන්න පෙලඹෙන්නේ බලවත්, ශ්‍රේෂ්ඨ මෙන්ම සදාතනික දෙවි කෙනෙකුගේ මඟ පෙන්වීම් ලබාගැනීමේ අවශ්‍යතාවය මිනිසා තුළ තිබෙන නිසයි. (මතෙව් 5:3) ඇත්තෙන්ම සදාතනික වූ දේවල් ගැන මිනිසුන් තුළ උනන්දුවක් තිබීම ගැන පුදුම විය යුතු නැහැ. දෙවි මිනිසුන්ව නිර්මාණය කර තිබෙන්නෙත් සදාකාලයටම ජීවත් වීමේ ආශාව ඇතුවයි.—දේශනාකාරයා 3:11.
සමහර අය ජීවිතයේ ඇතැම් තත්වයන්වලදී මිනිසුන්ගෙන් මඟ පෙන්වීම් පතනවා. නමුත් දෙවිට මෙන් පුළුල්ව සිතීමේ හැකියාවක් නැති කෙටි කාලයකට ජීවත් වෙන මිනිසුන්ට නිසි මඟ පෙන්වීම් ලබා දීමට හැකියාවක් නැහැ. එය කළ හැක්කේ ප්‍රඥාවන්ත, බලවත් මෙන්ම සදාකාලයටම ජීවත් වන දෙවිට පමණයි.
ඔබ ආදරය කළ කෙනෙකුගේ මරණය නිසා ඇති වන වේදනාව හමුවේ ඔබට සහනය අවශ්‍යයි කියා දැනී තිබෙනවාද? ජීවිතයේ යම් බැරෑරුම් තීරණයක් ගැනීමට කලින් ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් අවශ්‍යයි කියා ඔබට හැඟී තිබෙනවාද? වධ දෙන හෘදය සාක්ෂියක් ඇතුව සිටින අවස්ථාවක සමාව අවශ්‍යයි කියා ඔබට දැනී තිබෙනවාද? මිනිසුන් ළඟ පිළිතුරු නැති ජීවිතයේ ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමේ අවශ්‍යතාවය ඔබට දැනී තිබෙනවාද? ඇත්තෙන්ම එවැනි තත්වයන්වලදී අපට නිසි මඟ පෙන්වීම් ලබා දිය හැක්කේ දෙවිට පමණයි.
ඉහත සඳහන් තත්වයන්ට මුහුණ දෙන විට මඟ පෙන්වීම් පතා දෙවිට යාච්ඤා කිරීම සුදුසු බව බයිබලයේ පෙන්නුම් කරනවා. ඇත්තෙන්ම දෙවිට යාච්ඤා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඇතුළත් වන්නේ බයිබලයේ පමණයි. අතීතයේ සිටි දෙවිගේ සේවකයන් සහනය, මඟ පෙන්වීම, සමාව සහ ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු ඉල්ලා කළ යාච්ඤා බොහොමයක් එහි සඳහන් වෙනවා.—ගීතාවලිය 23:3; 71:21; දානියෙල් 9:4, 5, 19; හබක්කුක් 1:3.
අතීතයේ සිටි දෙවිගේ සේවකයන් දෙවිට කළ හැම යාච්ඤාවක්ම එක හා සමාන වුණේ නැහැ. නමුත් යාච්ඤා කළ යුත්තේ කාටද කියා ඔවුන් හොඳින්ම දැන සිටියා. කොහොමවුණත් අද සිටින බොහෝ මිනිසුන් එම කාරණය සිතට ගෙන නැහැ.
-
-
2 කාටද?2010 මුරටැඹ | ඔක්තෝබර් 1
-
-
2 කාටද?
මිනිසුන් විවිධ දෙවිවරුන්ගේ නම්වලින් යාච්ඤා කළත් සැබෑ දෙවි ඒ සියලුම යාච්ඤාවලට සවන් දෙනවාද? හැම ආගමකටම දෙවිගේ අනුමැතිය ලැබෙනවා කියා සිතන අය ඊට ඔව් කියා පිළිතුරු දිය හැකියි. නමුත් එය සැබෑවක්ද?
බොහෝ අවස්ථාවලදී මිනිසුන් යාච්ඤා කරන්නේ සැබෑ දෙවිට නොවෙයි. අද මෙන් අතීතයේදීත් මිනිසුන් විවිධ දෙවිවරුන්ගේ රූප ඉදිරියේ වැඳ වැටෙමින් යාච්ඤා කළා. නමුත් එසේ නොකරන්න කියා දෙවි අනතුරු අඟවා තිබෙනවා. උදාහරණයකට රූපවලට යාච්ඤා කිරීමේ ඇති නිෂ්ඵලභාවය ගැන බයිබලයේ සඳහන් මේ වදන් සලකා බලන්න. දේවතා රූපවලට “කන් තිබුණත් කිසිවක් ඇසෙන්නේ නැත.” (ගීතාවලිය 115:4-6) එසේනම් අපේ යාච්ඤාවලට සවන් නොදෙන දෙවි කෙනෙකුට යාච්ඤා කිරීමෙන් ඵලක් තිබෙනවාද? එය තේරුම්ගැනීමට අපි අතීතයේදී සිදු වූ දෙයක් සලකා බලමු.
සැබෑ දෙවිගේ සේවකයෙක් වූ එලියා එක අවස්ථාවකදී බාල් නමැති දෙවියාගේ අනාගතවක්තෘවරුන් පිරිසකට අභියෝගයක් එල්ල කළා. එලියා ඔවුන්ට පැවසුවේ පූජාවක් පිළියෙල කර ඒ පූජාවට අහසින් ගිනි එවා එය දවා දමන ලෙස බාල්ගෙන් ඉල්ලා සිටින්න කියායි. එමෙන්ම එලියාද පූජාවක් පිළියෙල කර ඊට ගිනි එවා දවා දමන මෙන් තමා නමස්කාර කරන දෙවිගෙන් ඉල්ලා සිටිනවා කියාත් පැවසුවා. එම යාච්ඤාවට පිළිතුරු දෙන දෙවි සැබෑ දෙවි බව ඔප්පු වෙනවා කියාත් ඔහු සඳහන් කළා. ඒ නිසා බාල් දෙවියාගේ අනාගතවක්තෘවරුන් බොහෝ වේලාවක් පුරා බාල් දෙවියාට යාච්ඤා කළා. නමුත් ‘කිසිවෙක් ඔවුන්ට පිළිතුරු දුන්නේ නැහැ. ඔවුන්ට උපකාර කිරීමට කිසිවෙක් පැමිණියෙත් නැහැ.’—1 රාජාවලිය 18:29.
නමුත් එලියා සැබෑ දෙවිට යාච්ඤා කිරීමට පටන්ගත් විට දෙවි අහසින් ගිනි එවා ඔහුගේ පූජාව දවා දැමුවා. එලියාගේ යාච්ඤාවට පමණක් පිළිතුරු ලැබුණේ ඇයි? බයිබලයේ වාර්තා වී තිබෙන එම යාච්ඤාව සලකා බලන විට එහි යම් විශේෂ ලක්ෂණයක් තිබෙන බව පැහැදිලි වෙනවා. එනම් ඔහු කළ එම කෙටි යාච්ඤාව තුළ අවස්ථා තුනකදීම යෙහෝවා යන සැබෑ දෙවිගේ නාමය සඳහන් කිරීමයි.—1 රාජාවලිය 18:36, 37.
යෙහෝවා යන දෙවිගේ නාමය අද්විතීයයි. මේ විශ්වයේ සිටින වෙන කිසිම කෙනෙකුව එම නාමයෙන් හඳුන්වන්නේ නැහැ. යෙහෝවා දෙවි මෙවැනි දෙයක් පවසා තිබෙන්නේ ඒ නිසයි. “මාගේ නාමය යෙහෝවාය. මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි.” (යෙසායා 42:8) නමුත් “ස්වාමියා” සහ “අයිතිකරු” යන අර්ථ ඇති බාල් යන නාමය ඊට හාත්පසින්ම වෙනස්. එම නාමයෙන් මිනිසුන්වත් හඳුන්වා තිබෙනවා.
බාල් දෙවියාට කළ නමස්කාරයට අනාචාරය සහ මිනිසුන්ව පූජා කිරීමේ චාරිත්‍රද ඇතුළත් වුණා. නමුත් යෙහෝවා දෙවි ඔහුට නමස්කාර කළ අයට උපදෙස් දී තිබුණේ ගෞරවනීය සහ ශුද්ධ ආකාරයකින් තමන්ට නමස්කාර කරන්න කියායි.
සියලුම යාච්ඤාවලට දෙවි සවන් නොදෙන බව බාල් අනාගතවක්තෘවරුන්ට එලියා පැවසූ දෙයින් සනාථ වෙනවා
බයිබලයේ දෙවිව “අපගේ පියාණන්” ලෙස හඳුන්වා තිබෙනවා. (යෙසායා 63:16) ඒ නිසා ඔබ යෙහෝවා දෙවිගේ නාමය සඳහන් කරමින් යාච්ඤා කරන විට ඔබ යාච්ඤා කරන්නේ අපි සියලුදෙනාවම නිර්මාණය කළ පියාණන්ටයි.a එමෙන්ම යේසුස්ද ස්වර්ගයට යෑමට කලින් “‘මම මගේ පියාණන් හා ඔබේ පියාණන් ළඟටත් මගේ දෙවි හා ඔබේ දෙවි ළඟටත් යනවා’” කියා තම අනුගාමිකයන්ට පැවසුවා. (යොහන් 20:17) ඇත්තෙන්ම යේසුස්ගේ පියා වන්නෙත් යෙහෝවා දෙවිමයි. යේසුස් පවා යාච්ඤා කළේ යෙහෝවා දෙවිටයි. එමෙන්ම ඔහු තම අනුගාමිකයන්ට ඉගැන්වූයේත් යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න කියායි.—මතෙව් 6:9.
යේසුස්ට, මරියතුමියට, සාන්තුවරුන්ට හෝ දේවදූතයන්ට යාච්ඤා කරන්න කියා බයිබලයේ කොතැනකවත් සඳහන් වී නැහැ. එහි සඳහන් වන ආකාරයට අපි යාච්ඤා කළ යුත්තේ යෙහෝවා දෙවිට පමණයි. එයට මූලික වශයෙන් බලපාන හේතු දෙකක් තිබෙනවා. එක් හේතුවක් වන්නේ යාච්ඤාව අපි දෙවිට කරන නමස්කාරයේ කොටසක් වීමයි. අපි නමස්කාර කළ යුත්තේ දෙවිට පමණක් නිසා අපි යාච්ඤා කළ යුත්තේද දෙවිට පමණයි. (නික්මයාම 20:5) දෙවන හේතුව නම් යෙහෝවා දෙවිව “යාච්ඤා අසන තැනැත්තා” ලෙස බයිබලයේ හඳුන්වා තිබීමයි. (ගීතාවලිය 65:2) දෙවි බොහෝ අයට විවිධ වගකීම් පවරා තිබුණත් යාච්ඤාවලට සවන් දීමේ වගකීම ඔහු කිසිම කෙනෙකුට පවරා නැහැ. අපේ යාච්ඤාවලට සවන් දෙන්නේ ඔහු පමණයි.
අපේ යාච්ඤාවලට දෙවි සවන් දෙනවාට අපි කැමති නම් බයිබලයේ සඳහන් මේ දෙය අපි මතක තබාගත යුතුයි. “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවාගනු ලබන්නේය.” (ක්‍රියා 2:21) නමුත් යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට සවන් දීමට නම් අපි මතක තබාගත යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ කුමක්ද?
a යාච්ඤා කරන විට පවා දෙවිගේ නාමය උච්චාරණය කිරීම වැරදි බව ඇතැම් ආගම්වලින් උගන්වා තිබෙනවා. නමුත් දෙවිගේ නාමය 7,000 වාරයකට ආසන්න වතාවක් බයිබලයේ සඳහන් වෙනවා. ඒ අතරිනුත් අවස්ථා ගණනාවකම දෙවිගේ නාමය සඳහන් වී තිබෙන්නේ දෙවිගේ සේවකයන් කළ යාච්ඤා සහ ඔවුන් ගැයූ ගීතිකාවලයි.
-
-
3 කෙසේද?2010 මුරටැඹ | ඔක්තෝබර් 1
-
-
3 කෙසේද?
යාච්ඤාව සම්බන්ධයෙන් බොහෝ ආගම් අවධානය යොමු කර තිබෙන්නේ යාච්ඤා කළ යුතු ඉරියව්ව සහ භාවිත කළ යුතු වචන වැනි දේවල් කෙරෙහියි. නමුත් යාච්ඤා කරන විට අපි සැලකිලිමත් විය යුතු ඉතා වැදගත් දෙයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එය නම් “යාච්ඤා කළ යුත්තේ කෙසේද” යන්නයි.
පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් විවිධ ස්ථානවලදී නොයෙක් ඉරියව්වලින් යෙහෝවා දෙවිට යාච්ඤා කර තිබෙනවා. ඇතැම් අය නිශ්ශබ්දව හෝ හඬ නඟමින්ද තවත් අය අහස දෙස බලමින් හෝ දණ ගසා බිමට පහත් වී යාච්ඤා කර තිබෙනවා. නමුත් ඔවුන් කිසිම අවස්ථාවක රූප, කොන්ත හෝ යාච්ඤා පොත් වැනි දේවල් භාවිත කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ සිතේ තිබෙන සියල්ල දෙවිට පැවසුවා. ඔවුන්ගේ යාච්ඤාවලට යෙහෝවා දෙවි සවන් දීමට හේතුව කුමක්ද?
දෙවි ඔවුන්ගේ යාච්ඤාවලට සවන් දුන්නේ ඔවුන් දෙවිගේ කැමැත්තට එකඟව යාච්ඤා කළ නිසයි. බයිබලයේ සඳහන් වෙන්නේ ‘දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙනවා’ කියායි. (1 යොහන් 5:14) නමුත් දෙවිගේ කැමැත්තට එකඟව යාච්ඤා කළ හැක්කේ කෙසේද?
ඒ සඳහා අපි මුලින්ම බයිබලය අධ්‍යයනය කර දෙවිගේ කැමැත්ත කුමක්ද කියා තේරුම්ගත යුතුයි. ඉන්පසු අපි ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වෙයි කියා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. (මතෙව් 7:21-23) අපි නිතරම දෙවිට යාච්ඤා කළ යුත්තේ අපි බයිබලයෙන් ඉගෙනගන්නා දේවලට එකඟවයි.
යෙහෝවා දෙවිගේ කැමැත්තට එකඟව, විශ්වාසයෙන් යුතුව කරන යාච්ඤා යේසුස්ගේ නාමයෙන් දෙවිට ඔප්පු කරනවා නම් දෙවි ඒවාට සවන් දෙනවා
යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්නා විට දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. දෙවි අපේ යාච්ඤාවලට සවන් දෙනවාට අපි කැමති නම් දෙවි කෙරෙහි විශ්වාසයක් තිබීම ඉතා වැදගත්. “විශ්වාසයක් ඇතුව ඕනෑම දෙයක් ඔබ යාච්ඤාවෙන් ඉල්ලුවොත් ඒ දේ ඔබට ලැබෙයි” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (මතෙව් 21:22) විශ්වාසය යනු බලාපොරොත්තු වන දේවල් අනිවාර්යයෙන්ම ඉටු වෙන බවට සැක නොකිරීමයි. එමෙන්ම විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි තිබෙන නිසා ඒවා පිළිගැනීමයි. (හෙබ්‍රෙව් 11:1) යෙහෝවා දෙවිව අපි කිසිම කෙනෙකුට පෙනෙන්නේ නැහැ. ඒ වුණත් ඔහු සැබවින්ම සිටින බවටත් අපගේ යාච්ඤාවලට සවන් දෙන බවටත් බයිබලයේ ඇති තරම් සාක්ෂි තිබෙනවා. අපේ විශ්වාසය තවත් ශක්තිමත් කරන්න කියා දෙවිගෙන් ඉල්ලුවොත් ඔහු ඉතා කාරුණිකව එය ඉටු කරනවා.—ලූක් 17:5; යාකොබ් 1:17.
අපේ යාච්ඤාවලට දෙවි සවන් දීමට නම් අපි තවත් දෙයක් මතක තබාගත යුතුයි. යේසුස් එය මෙසේ විස්තර කළා. “මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.” (යොහන් 14:6) ඒ අනුව අපිට යෙහෝවා දෙවිට ළං විය හැක්කේ යේසුස් මාර්ගයෙන් පමණයි. මාගේ නාමයෙන් දෙවිට යාච්ඤා කරන්න කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (යොහන් 14:13; 15:16) අපි යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කරන විට ඉන් පෙන්නුම් කරන්නේ දෙවිට ළං විය හැක්කේ යේසුස් තුළින් පමණයි කියා අපි පිළිගන්නා බවයි.
එක අවස්ථාවකදී යේසුස්ගේ ගෝලයන් “යාච්ඤා කරන්නේ කොහොමද” කියා උගන්වන මෙන් යේසුස්ගෙන් ඉල්ලා සිටියා. (ලූක් 11:1) ඔවුන් එසේ ඉල්ලා සිටියේ ‘යාච්ඤා කළ යුත්තේ කුමන කාරණා ගැනද’ කියා දැනගැනීමටයි. ඇත්තෙන්ම අපි යාච්ඤා කළ යුත්තේ කුමක් ගැනද?
-
-
4 කුමක් ගැනද?2010 මුරටැඹ | ඔක්තෝබර් 1
-
-
4 කුමක් ගැනද?
යේසුස් ඉගැන්වූ ආදර්ශ යාච්ඤාව නැත්නම් පරමණ්ඩලයේ යාච්ඤාව අද සිටින ක්‍රිස්තියානියයි කියාගන්නා බොහෝදෙනා වැඩියෙන්ම කියන යාච්ඤාව කියා ඇතැමුන් පවසනවා. ඒ කොහොමවුණත් බොහෝ අය එම යාච්ඤාව වරදවා වටහාගෙන තිබෙනවා. මිලියන ගණන් මිනිසුන් සිතන්නේ එම යාච්ඤාව කටපාඩමින් පැවසිය යුතුයි කියායි. නමුත් යේසුස් එම යාච්ඤාව ඉගැන්වූයේ කටපාඩමින් කීමට නොවෙයි. එසේ පැවසීමට හේතුව සලකා බලමු.
යේසුස් එම යාච්ඤාව කියා දීමට කලින් තම අනුගාමිකයන්ට මෙසේ පැවසුවා. ‘යාච්ඤා කරන විට එකම දේ නැවත නැවතත් කියන්න එපා.’ (මතෙව් 6:7) ඒ අනුව යේසුස් එම යාච්ඤාව ඉගැන්වූයේ එය කටපාඩමින් පැවසීමට නොවන බව පැහැදිලියි. ඔහු එම යාච්ඤාව කියා දුන්නේ යාච්ඤා කරන විට සඳහන් කළ යුතු මූලික කාරණා මොනවාද කියා පෙන්නුම් කිරීමටයි. දැන් අපි එම යාච්ඤාවේ මූලික කරුණු වෙත අපේ අවධානය යොමු කරමු.—මතෙව් 6:9-13.
“ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!”
ආදර්ශ යාච්ඤාව ආරම්භයේදීම අපි යාච්ඤා කළ යුත්තේ යෙහෝවා දෙවිට බව යේසුස් පෙන්වා දුන්නා. නමුත් දෙවිගේ නාමය ශුද්ධව පවතින ලෙසට අප යාච්ඤා කළ යුත්තේ ඇයි?
යෙහෝවා දෙවිගේ සතුරා වන යක්ෂයා දෙවිගේ නාමයට නින්දා කර තිබෙනවා. මිනිස් ඉතිහාසයේ ආරම්භයේදීම ඔහු පැවසුවේ දෙවි බොරු කියන කෙනෙක් බවයි. එමෙන්ම දෙවි ආත්මාර්ථකාමී පාලකයෙක් කියාත් මිනිසුන්ව පාලනය කිරීමට දෙවිට කිසිම අයිතියක් නැහැ කියාත් යක්ෂයා පැවසුවා. (උත්පත්ති 3:1-6) ඔහු පැවසූ එම බොරුවලට රැවටී සිටින අය දෙවිව දකින්නේ ආත්මාර්ථකාමී මෙන්ම කුරිරු කෙනෙක් ලෙසයි. එමෙන්ම මුළු විශ්වයේම නිර්මාතෘ දෙවි බවත් එවැනි මිනිසුන් පිළිගන්නේ නැහැ. ඇතැම් අය දෙවිගේ නාමය භාවිත කිරීම තහනම් කරමින් එය බයිබලයෙන්ද ඉවත් කර තිබෙනවා.
කොහොමවුණත් තම නාමයට වී තිබෙන කැළැල දෙවි නැති කර දමන බව බයිබලයේ සඳහන් වෙනවා. (එසකියෙල් 39:7) ඒ සඳහා දෙවි තම රාජ්‍යය යොදාගැනීමට නියමිතයි.
“ඔබග් රාජ්‍යය පැමිණේවා!”
දෙවිගේ රාජ්‍යය ගැන අද සිටින ආගමික නායකයන් විවිධ අදහස් දරනවා. කොහොමවුණත් ඒ රාජ්‍යය ගැනත් එහි රජු යේසුස් ක්‍රිස්තුස් බවත් බයිබලයේ පැහැදිලිව පෙන්නුම් කර තිබෙනවා. එමෙන්ම ඒ රාජ්‍යය යටතේ පොළොවේ විශාල වෙනස්කම් සිදු වීමට නියමිත බවත් එහි සඳහන් වෙනවා. (යෙසායා 9:6, 7; දානියෙල් 2:44) යක්ෂයාවත් ඔහුගේ සියලුම දුෂ්ට ක්‍රියාවනුත් නැති කර දැමීමෙන් දෙවිගේ නාමයට සිදු වී තිබෙන කැළැල එම රාජ්‍යය ඉවත් කරනු ලබනවා. යුද්ධ, අසනීප, සාගත පමණක් නොව මරණයත් සහමුලින්ම නැති කර දමන්නේ දෙවිගේ රාජ්‍යයයි. (ගීතාවලිය 46:9; 72:12-16; යෙසායා 25:8; 33:24) එමනිසා ඔබ දෙවිගේ රාජ්‍යය පැමිණේවා කියා යාච්ඤා කරනවා නම් ඔබ දෙවිගේ රාජ්‍යය මගින් මිනිස් වර්ගයාට ලැබීමට නියමිත ආශීර්වාද සැබෑ වෙන ලෙසට දෙවිගෙන් ඉල්ලනවා කියා පැවසිය හැකියි.
“ඔබග් කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!”
යෙහෝවා දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ ඉටු වී තිබෙනවා හා සමානව පොළොවේද ඉටු වීමට නියමිතයි. උදාහරණයකට යක්ෂයාවත් ඔහුගේ පැත්ත ගත් දුෂ්ට දූතයන්වත් යේසුස් ස්වර්ගයෙන් පන්නා දැමූ බව බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 12:9-12) අප මෙතෙක් සලකා බැලූ ආදර්ශ යාච්ඤාවේ මුල් කරුණු කිහිපයෙන් පැහැදිලි වන්නේ අපි යාච්ඤා කරන විට අපේ කැමැත්තට වඩා දෙවිගේ කැමැත්තට අදාළ කරුණුවලට ප්‍රමුඛ තැනක් දිය යුතු බවයි. ඇත්තෙන්ම මුළු මිනිස් වර්ගයාටම යහපතක් සිදු වන්නේ දෙවිගේ කැමැත්ත ඉටු වීමෙන් පමණයි. “සිදු විය යුත්තේ මා කැමති දේ නොව ඔබේ කැමැත්තයි” කියා යේසුස් පවා යාච්ඤා කළේ ඒ නිසයි.—ලූක් 22:42.
“දිනපතා අපට අවශ්‍ය ආහාර අපට ලබා දෙන්න.”
අපගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන්ද දෙවිට යාච්ඤා කළ හැකියි. අපි එසේ කරනවා නම් අපි ඉන් පෙන්වන්නේ “සියලුදෙනාටම ජීවිතයත් හුස්මත් අන් සියලු දේත් දෙන්නේ” යෙහෝවා දෙවි කියා අපි පිළිගන්නා බවයි. (ක්‍රියා 17:25) ඇත්තෙන්ම බයිබලයේ යෙහෝවා දෙවිව විස්තර කර තිබෙන්නේ දරුවන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට ආශාවෙන් බලා සිටින ප්‍රේමණීය පියෙක් ලෙසයි. සාමාන්‍යයෙන් දරුවෙක් ඉල්ලා සිටින දෙයක් නිසා ඒ දරුවාට හානියක් විය හැකි නම් කිසිම පියෙක් දරුවා ඉල්ලා සිටින ඒ දේ ලබා දෙන්නේ නැහැ. ඒ හා සමානව අපිත් අපිටම හානියක් විය හැකි දෙයක් ඉල්ලා දෙවිට යාච්ඤා කළොත් අපේම යහපත වෙනුවෙන් දෙවි එය ඉටු කරන්නේ නැහැ.
“අප් වැරදිවලටද අපට සමාව දෙන්න.”
අද සිටින බොහෝ අයට පාපය ගැන පැහැදිලි අවබෝධයක් නැති අතර ඔවුන් පාපය ගැන ඉතා ලිහිල් ආකල්පයක් දරනවා. නමුත් අපි මුහුණ දෙන ප්‍රශ්න ගැටලුවලට සහ මරණයට හේතුව පාපය බව බයිබලයේ පෙන්වා තිබෙනවා. අපි සියලුදෙනාම උපතින්ම පව්කාර ස්වභාවය උරුම කරගෙන සිටින නිසා අපි කවුරු අතිනුත් වැරදි සිදු වෙනවා. ඒ නිසා අපිට සදාකාල ජීවනය ලැබෙන්නේ යෙහෝවා දෙවි අපේ පව්වලට සමාව ලබා දුන්නොත් පමණයි. (රෝම 3:23; 5:12; 6:23) ඇත්තෙන්ම යෙහෝවා දෙවි “සමාව දීමට කැමති, යහපත් දෙවි කෙනෙක්” වීම මොන තරම් සහනයක්ද!—ගීතාවලිය 86:5.
“දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.”
‘දුෂ්ටයා’ හෙවත් යක්ෂයා නිතරම උත්සාහ කරන්නේ අපව යෙහෝවා දෙවිගෙන් ඈත් කරන්නයි. මේ දක්වා තම අණසක යටතේ පවතින මිනිස් සමාජය යක්ෂයා දූෂිත තත්වයකට පත් කර තිබෙනවා හා සමානව ඔබවත් ඉතා දූෂිත තත්වයකට ඇද දැමීමට ඔහු මාන බලනවා. (1 පේතෘස් 5:8) ඒ නිසා අපට නිතරම යෙහෝවා දෙවිගේ රැකවරණය අවශ්‍යයි. යක්ෂයාට වඩා බලවත් යෙහෝවා දෙවි තම සේවකයන්ව යක්ෂයාගෙන් ආරක්ෂා කිරීමට කැමැත්තෙන් සිටිනවා. නමුත් අද සිටින බොහෝ අය යක්ෂයෙක් ඇත්තටම සිටින බව විශ්වාස කරන්නේ නැහැ. කොහොමවුණත් යක්ෂයා යනු සැබෑ පුද්ගලයෙක් බව යේසුස් දැන සිටියා. ඔහු යක්ෂයාව “මේ ලෝකයේ පාලකයා” ලෙස හැඳින්වූයේ ඒ නිසයි.—යොහන් 12:31; 16:11.
යේසුස් ඉගැන්වූ ආදර්ශ යාච්ඤාවෙන් අප සලකා බැලුවේ යාච්ඤා කළ හැකි කරුණු කිහිපයක් ගැන පමණයි. නමුත් අපට තව බොහෝ දේ ගැන යාච්ඤා කිරීමට නිදහස තිබෙනවා. බයිබලයේ සඳහන් වෙන්නේ “දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන බවයි.” (1 යොහන් 5:14) එමනිසා ඔබේ ප්‍රශ්න ගැටලු ගැන දෙවිට යාච්ඤා කළ හැකි බව අමතක කරන්න එපා.—1 පේතෘස් 5:7.
නමුත් අපට ඕනෑම තැනක, ඕනෑම වේලාවකදී දෙවිට යාච්ඤා කළ හැකිද?
-
-
5 කොතැනද? කුමන අවස්ථාවේද?2010 මුරටැඹ | ඔක්තෝබර් 1
-
-
5 කොතැනද? කුමන අවස්ථාවේද?
ඇතැම් ආගම්වලට අයිති අය යාච්ඤා කිරීම සඳහා යම් ස්ථාන සාදා තිබෙන බවත් යාච්ඤා කිරීම සඳහා නිශ්චිත වේලාවන් වෙන් කර තිබෙන බවත් ඔබ දන්නවා ඇති. නමුත් ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද කියා අපි දැන් සලකා බලමු.
යාච්ඤා කළ හැකි සුදුසු අවස්ථාවන් මොනවාද කියා බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට යේසුස් තම ගෝලයන් සමඟ ආහාර ගැනීමට කලින් දෙවිට ස්තුති කරමින් යාච්ඤා කළා. (ලූක් 22:17) එමෙන්ම යේසුස්ගේ ගෝලයන් නමස්කාරය සඳහා එක්රැස් වූ අවස්ථාවලදීද යාච්ඤා කිරීමට පුරුදු වී සිටියා. අතීතයේ සිටි යුදෙව්වන්ද නමස්කාරය හා සම්බන්ධ දේවලට සිනගෝගයට හෝ දෙවිගේ මාලිගාවට ගිය විට දෙවිට යාච්ඤා කළා. ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ අරමුණ වුණේ දෙවිගේ මාලිගාව ‘සියලු ජාතීන් සඳහා යාච්ඤා ගෘහයක්’ වෙනවාටයි.—මාක් 11:17.
තම සේවකයන් එකට එකතු වී දෙවිගේ කැමැත්තට එකඟව එක්සිත්ව යාච්ඤා කරන විට දෙවි බොහෝ සෙයින් සතුටු වෙනවා. එවැනි යාච්ඤා නිසා යෙහෝවා දෙවි කිරීමට අරමුණු කරගෙන නොසිටි දෙයක් පවා කිරීමට පෙලඹිය හැකියි. (හෙබ්‍රෙව් 13:18, 19) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද නමස්කාරය සඳහා එක්රැස් වන සෑම අවස්ථාවකදීම යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා. ඔවුන් යාච්ඤා කරන්නේ කෙසේද කියා දැක බලා ගැනීමට ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානයක් වෙත යන්න ඔබට හැකියි.
අපි නිශ්චිත ස්ථානයකට ගොස් නිශ්චිත වේලාවලදී යාච්ඤා කළ යුතුයි කියා බයිබලයේ සඳහන් වී නැහැ. පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් විවිධ ස්ථානවල විවිධ වේලාවලදී දෙවිට යාච්ඤා කර තිබෙනවා. යාච්ඤා කිරීම ගැන යේසුස් පවා පැවසුවේ මෙසේයි. “ඔබ යාච්ඤා කරන විට ඔබේම කාමරයට ගොස් දොර වසාගෙන ස්වර්ගයේ සිට බලා සිටින ඔබේ පියාණන්ට යාච්ඤා කරන්න. එවිට ස්වර්ගයේ සිට බලා සිටින ඔබේ පියාණන් ඔබට ආශීර්වාද කරයි.”—මතෙව් 6:6.
ඕනෑම ස්ථානයක ඕනෑම වේලාවක යාච්ඤා කළ හැකියි
ඒ අනුව යෙහෝවා දෙවිට ඕනෑම වේලාවක යාච්ඤා කිරීමට ඔබට හැකියි. ඇත්තෙන්ම ඔබේ යාච්ඤාවලට සවන් දීමට දෙවි කැමැත්තෙන් සිටිනවා. යේසුස් පවා බොහෝ අවස්ථාවලදී තනිවම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. එක් අවස්ථාවක ඔහු ඉතා වැදගත් තීරණයක් ගැනීමට කලින් දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලා මුළු රැයක් පුරාම යාච්ඤා කළ බව බයිබලයේ සඳහන් වෙනවා.—ලූක් 6:12, 13.
අතීතයේ සිටි දෙවිගේ සේවකයන්ද ඉතා බැරෑරුම් තීරණ ගැනීමට කලින් හෝ බරපතළ ප්‍රශ්නවලට මුහුණ දුන් අවස්ථාවල දෙවිට යාච්ඤා කළා. ඇතැම්විට ඔවුන් ශබ්ද නඟා හෝ නිහඬවත් තනිවම හෝ කණ්ඩායමක් ලෙසත් දෙවිට යාච්ඤා කළා. එවැනි යාච්ඤාවලට පිළිතුරු දුන් යෙහෝවා දෙවි අද සිටින තම සේවකයන්ටත් පවසන්නේ “නොකඩවා යාච්ඤා කරන්න” කියායි. (1 තෙසලෝනික 5:17) එය මොන තරම් ප්‍රේමණීය ඇරයුමක්ද! ඇත්තෙන්ම තම කැමැත්ත කරන අයගේ යාච්ඤාවලට සවන් දීමට දෙවි ඕනෑම වේලාවක සූදානමින් සිටිනවා.
කොහොමවුණත් අද අපි ජීවත් වන මේ ලෝකය තුළ යාච්ඤා කිරීම තේරුමක් ඇති දෙයක්ද කියා ඔබ කල්පනා කළ හැකියි.
-
-
6 ප්‍රයෝජනවත්ද?2010 මුරටැඹ | ඔක්තෝබර් 1
-
-
6 ප්‍රයෝජනවත්ද?
යාච්ඤා කිරීමෙන් අපට බොහෝ ප්‍රයෝජන අද්දැකිය හැකියි. (ලූක් 22:40; යාකොබ් 5:13) දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමටත් සහනය අද්දැකීමටත් යාච්ඤාව මහඟු උපකාරයක්. එසේ පැවසීමට හේතුව අපි දැන් සලකා බලමු.
කෙනෙක් ඔබට ත්‍යාගයක් දුන්නා කියා සිතන්න. ඒ ගැන ඔබ තුළ ඇති වන අගය ඔබ සිතේ තබාගෙන සිටිනවාද? නැත්නම් ඔබේ සිතේ තිබෙන හැඟීම් ප්‍රකාශ කරනවාද? ඇත්තෙන්ම ඔබට ලැබුණු ත්‍යාගය ගැන ඔබ අගය ප්‍රකාශ කරන විට ඒ ගැන ඔබේ සිතේ තිබෙන අගය තවත් වැඩි වෙනවා. යාච්ඤා කරන විටත් සිදු වන්නේ ඒ හා සමාන දෙයක්. අපේ හැඟීම් යාච්ඤාව තුළින් දෙවිට ප්‍රකාශ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන අපි දැන් සලකා බලමු.
ස්තුතිය ප්‍රකාශ කරන යාච්ඤා. අපට ලැබී තිබෙන යහපත් දේවල් ගැන දෙවිට ස්තුති කරනවා නම් අපි නිතරම සිතන්න පෙලඹෙන්නේ අපට දෙවිගෙන් ලැබී තිබෙන ආශීර්වාද ගැනයි. ප්‍රතිඵලයක් ලෙස තෘප්තිය සහ සන්තෝෂය අද්දැකීමටත් කනස්සලු නොවී සෑහීමට පත් වී සිටීමටත් අපට හැකි වෙනවා.—ෆිලිප්පි 4:6.
උදාහරණය: තම යාච්ඤාවලට සවන්දී ඒවාට පිළිතුරු දීම ගැන යේසුස්, යෙහෝවා දෙවිට ස්තුති කළා.—යොහන් 11:41.
සමාව ඉල්ලා කරන යාච්ඤා. පව්වලට සමාව ඉල්ලා යාච්ඤා කරන විට අපි අතින් සිදු වූ පාපයේ බරපතළකම හොඳින් වටහාගැනීමට හැකි වෙනවා. එමෙන්ම ඒ ගැන සැබවින්ම පසුතැවෙන්නත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමටත් අවස්ථාව ලැබෙනවා.
උදාහරණය: දාවිත් රජ තමා අතින් සිදු වූ වරදට සමාව ඉල්ලාදෙවිට යාච්ඤා කළා.—ගීතාවලිය 51.
මඟ පෙන්වීම් සහ ප්‍රඥාව ඉල්ලා කරන යාච්ඤා. වැදගත් තීරණ ගැනීමට කලින් දෙවිගෙන් මඟ පෙන්වීම සහ ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කිරීමෙන් නිහතමානිව කටයුතු කිරීමට හැකි වෙනවා. එමෙන්ම දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමටත් ඔහුගේ මඟ පෙන්වීම් නොමැතිව අපට සාර්ථක විය නොහැකි බව තේරුම්ගැනීමටත් හැකි වෙනවා.—හිතෝපදේශ 3:5, 6.
උදාහරණය: සලමොන් රජ ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කිරීම සඳහා දෙවිගෙන් මඟ පෙන්වීම සහ ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කළා.—1 රාජාවලිය 3:5-12.
දුෂ්කරතාවලට මුහුණ දෙන විට කරන යාච්ඤා. ජීවිතයේ දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන විට යාච්ඤා කිරීමෙන් මහත් සහනයක් අද්දැකිය හැකියි. එමෙන්ම අපේම ශක්තියෙන් ප්‍රශ්නවලට මුහුණ නොදී දෙවි මත රඳා සිටීමටත් අපි පෙලඹෙනවා.—ගීතාවලිය 62:8.
උදාහරණය: ආසා රජ සතුරු හමුදාවක් සමඟ සටන් කිරීමට පෙර දෙවිට යාච්ඤා කළා.—2 ලේකම් 14:11.
අන් අය වෙනුවෙන් කරන යාච්ඤා. අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීමෙන් අපේම අවශ්‍යතා ගැන සිතනවා වෙනුවට අනුන් ගැනත් සිතන්න අපි ඉගෙනගන්නවා. එමෙන්ම අන් අයට දයානුකම්පාව පෙන්වීමටත් සැලකිල්ල දැක්වීමටත් අපි පෙලඹෙනවා.
උදාහරණය: යේසුස් තම අනුගාමිකයන් වෙනුවෙන් යාච්ඤා කළා.—යොහන් 17:9-17.
ප්‍රශංසා කිරීමේ යාච්ඤා. යෙහෝවා දෙවිගේ පුදුමාකාර ක්‍රියාවන් සහ ඔහු සතු ශ්‍රේෂ්ඨ ගුණාංග ගැන ප්‍රශංසා කරමින් යාච්ඤා කරන විට ඔහු කෙරෙහි තිබෙන ගෞරවය සහ අගය තවත් වැඩි වෙනවා. එමෙන්ම දෙවිට තවත් ළං වීමටත් එය අපට උපකාරවත් වෙනවා.
උදාහරණය: දෙවි නිර්මාණය කර තිබෙන දේවල් ගැන දාවිත්, දෙවිට ප්‍රශංසා කළා.—ගීතාවලිය 8.
යෙහෝවා දෙවිට යාච්ඤා කිරීමෙන් අපට “දෙවි ලබා දෙන සමාදානය” අද්දැකිය හැකියි. ‘එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයක්.’ (ෆිලිප්පි 4:7) අප ජීවත් වන මේ අර්බුදකාරී කාලයේ එවැනි සමාදානයක් අද්දැකීමට ලැබීම මොන තරම් දෙයක්ද! එය අපේ ශරීර සෞඛ්‍යයටත් හිතකර ලෙස බලපානවා. (හිතෝපදේශ 14:30) කොහොමවුණත් දෙවි අපේ යාච්ඤාවලට සවන් දෙයිද?
සහනය අද්දැකීමට, නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගැනීමට සහ දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට යාච්ඤාව මහඟු උපකාරයක්
-
-
7 සවන් දී පිළිතුරු දෙයිද?2010 මුරටැඹ | ඔක්තෝබර් 1
-
-
7 සවන් දී පිළිතුරු දෙයිද?
දෙවි අපගේ යාච්ඤාවලට සවන් දෙනවාද කියා බොහෝ අය කල්පනා කරනවා. කොහොමවුණත් දෙවි යාච්ඤාවලට සවන් දෙන බව බයිබලයේ සඳහන් වෙනවා. නමුත් දෙවි ඔබගේ යාච්ඤාවලට සවන් දෙනවාද නැද්ද යන්න තීරණය වන්නේ ඔබ යාච්ඤා කරන ආකාරය අනුවයි.
යේසුස්ගේ කාලයේ සිටි කුහක ආගමික නායකයන් යාච්ඤා කළේ තමන් ධර්මිෂ්ඨයයි පෙන්වමින් මිනිසුන්ගේ අවධානය ඇදගැනීම සඳහායි. නමුත් ඔවුන්ව හෙළාදුටු යේසුස් මෙසේ පැවසුවා. ‘ඔවුන්ට මිනිසුන්ගේ ගෞරවය ලැබුණත් වෙන කිසි දෙයක් ලැබෙන්නේ නැහැ.’ (මතෙව් 6:5) යේසුස් ඉන් අදහස් කළේ දෙවි ඔවුන්ගේ යාච්ඤාවලට සවන් දෙන්නේ නැති බවයි. එදා මෙන් අදත් බොහෝ අය දෙවි කැමති ආකාරයට යාච්ඤා කරනවා වෙනුවට තමන් කැමති ආකාරයෙන් යාච්ඤා කරනවා. එවැනි අය බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති නොසලකාහැර තිබෙන නිසා දෙවි ඔවුන්ගේ යාච්ඤාවලට සවන් දෙන්නේ නැහැ.
කොහොමවුණත් බයිබලයේ සඳහන් වෙන්නේ “කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා” කියායි. (ක්‍රියා 10:34, 35) ‘දෙවිට ගරුබිය දක්වමින් කටයුතු කිරීම’ යන්නෙන් අදහස් වෙන්නේ දෙවිව ඉතා උසස් කෙනෙක් ලෙස සලකමින් ඔහුව අසතුටට පත් කරන දේවලින් වැළකී සිටීමයි. එමෙන්ම ‘ධර්මිෂ්ඨව ක්‍රියා කරනවා’ කීමෙන් අදහස් වෙන්නේ තමන්ගේ කැමැත්තට අනුව හෝ අන් අය පවසන දේවල් අනුව කටයුතු කරනවා වෙනුවට දෙවි කැමති ආකාරයෙන් ජීවත් වීමයි. ඇත්තෙන්ම දෙවි ඔබේ යාච්ඤාවලට සවන් දීමට නම් ඔබ කළ යුත්තේ කුමක්ද කියා බයිබලයේ සඳහන් වෙනවා.a
තමන් කරන යාච්ඤාවලට දෙවි ආශ්චර්යවත් ආකාරයෙන් පිළිතුරු දෙයි කියා බොහෝ අය බලාපොරොත්තු වෙනවා. නමුත් අතීතයේදී පවා දෙවි ආශ්චර්යවත් දේවල් කළේ කලාතුරකිනුයි. එමෙන්ම යේසුස්ගේ මුල් අනුගාමිකයන් මිය ගිය පසුව ආශ්චර්යවත් දේවල් කිරීම සඳහා දෙවි තම බලය ලබා දීම නතර කළා. (1 කොරින්ති 13:8-10) එමනිසා මිනිසුන් සිතන ආකාරයට දෙවි අද දින යාච්ඤාවලට සවන්දී ආශ්චර්යවත් දේවල් කරයි කියා බලාපොරොත්තු වෙන්න බැහැ. අපේ යාච්ඤාවලට දෙවි පිළිතුරු දෙන්නේ අපි කුමක් සඳහා යාච්ඤා කළොත්ද කියා අපි දැන් සලකා බලමු.
ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කිරීම. යෙහෝවා දෙවි තරම් ප්‍රඥාවන්ත කෙනෙක් තවත් නැහැ. අපි දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලා ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් ඔහු ඉතා ත්‍යාගශීලීව ප්‍රඥාව ලබා දෙනවා.—යාකොබ් 1:5.
බලය ඉල්ලා යාච්ඤා කිරීම. යෙහෝවා දෙවිගේ බලය ඉතා ප්‍රබලයි. එමනිසා අපට එම බලයේ උපකාරය ලැබෙනවා නම් ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දීමටත් මනසේ සාමය ඇතුව කටයුතු කිරීමටත් හැකි වෙනවා. එමෙන්ම කදිම ගුණාංග වර්ධනය කරගැනීමටත් දෙවිගේ බලය මහඟු උපකාරයක්. (ගලාති 5:22, 23) අපි යෙහෝවා දෙවිගෙන් බලය ඉල්ලනවා නම් ඔහු එය නොඅඩුව ලබා දෙනවා.—ලූක් 11:13.
දෙවිව දැන හඳුනා ගැනීමට උපකාර ඉල්ලා යාච්ඤා කිරීම. (ක්‍රියා 17:26, 27) බොහෝ අය දෙවිව දැන හඳුනා ගැනීමට ඉතා ආශාවෙන් සිටිනවා. ඔවුන් දෙවිගේ නාමයේ අර්ථය ගැනත් මිනිස් වර්ගයා සහ පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ කුමක්ද කියාත් දෙවිට ළං විය හැක්කේ කෙසේද කියාත් දැනගැනීමට ඉතා උනන්දුවක් දක්වනවා. (යාකොබ් 4:8) එවැනි අයට බයිබලය මාර්ගයෙන් දෙවි ගැන කියා දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සූදානමින් සිටිනවා.
ඔබත් දෙවිව දැන හඳුනා ගැනීමට කැමැත්තෙන් සිටින කෙනෙක්ද? සමහරවිට ඔබට මෙම මුරටැඹ සඟරාව ලැබෙන්න ඇත්තේ දෙවි ඔබේ යාච්ඤාවලට සවන් දුන් නිසා විය හැකියි.
a දෙවිට පිළිගත හැකි ආකාරයට යාච්ඤා කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 17වන පරිච්ඡේදය බලන්න.
-