-
බලාපොරොත්තුවක් මගින් ජීවිතයේ යම් වෙනසක් ඇති වේද?2004 පිබිදෙව්! | මැයි 8
-
-
බලාපොරොත්තුවක් මගින් ජීවිතයේ යම් වෙනසක් ඇති වේද?
ඩැනියෙල්ගේ වයස අවුරුදු දහයක් වුණත්, ඔහු වසරක් පමණ කාලයක් මුළුල්ලේ පිළිකාවක් සමඟ පොරබදිමිනුයි සිටියේ. ඔහුගේ වෛද්‍යවරුත් ඔහුට සමීප අනික් අයත් ඔහු ගැන තිබූ බලාපොරොත්තු අත්හැරලා තිබුණා. නමුත් ඩැනියෙල්ට තිබුණේ ලොකු බලාපොරොත්තුවක්. තමා ලොකු වුණහම කවදාහරි පිළිකා රෝගය පිළිබඳව පර්යේෂණය කරලා පිළිකා රෝගයට බෙහෙතක් සොයාගන්නවාය යන විශ්වාසය ඔහුට තිබුණා. තමන්ට තිබූ පිළිකා රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් තමාව බැහැදැකීමට එන බව දැනගත්තාම ඔහු ඒ ගැනත් විශේෂ බලාපොරොත්තුවක් ඇති කරගත්තා. එහෙත්, පැමිණීමට තිබූ නියමිත දවසේ අයහපත් කාලගුණික තත්වයක් තිබූ නිසා මේ විශේෂඥ වෛද්‍යවරයා ඔහුව බැහැදැකීම අවලංගු කළා. මෙයින් සිද්ධ වුණේ ඩැනියෙල්ගේ බලාපොරොත්තු සුන්වීමයි. පළමු වතාවට ඔහුට ජීවිතය ගැන තිබූ ආශාව නැතිව ගියා. ඉන්පසු දවස් කිහිපයකින් ඔහු මිය ගියා.
ඩැනියෙල්ගේ මේ කතාව පැවසුවේ බලාපොරොත්තුවක් තිබීම හා නොතිබීම යමෙකුගේ සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන අධ්‍යයනය කළාවූ එක්තරා සෞඛ්‍ය නිලධාරියෙක්. ඒ වගේ වාර්තා ඔබ අසා තිබෙන්නට පුළුවන. නිදසුනක් වශයෙන්, මරණාසන්නව සිටින යම් මහලු තැනැත්තෙක් ජීවිතයේ යම් වැදගත් දෙයක් සිදු වෙන තෙක් බොහෝ කාලයක් තිස්සේ බලා සිටිනවා විය හැකියි. සමහරවිට ඒ තමාට බොහෝ ප්‍රේම කරන කෙනෙකුගේ පැමිණීම හෝ නැත්නම් ඔහුගේ හෝ ඇගේ විවාහ සංවත්සර දවස විය හැකියි. එතෙක් බලා සිටි ඒ අවස්ථාව උදාවීමෙන් පසුව වැඩි කල් යන්නට මත්තෙන් එම පුද්ගලයා මරණයට පත් වෙන්නට පුළුවනි. එවන් තත්වයකට හේතු වෙන්නේ කුමක්ද? ඇතමුන් විශ්වාස කරන්නාක් මෙන් ඇත්තටම බලාපොරොත්තුව, එතරම් ප්‍රබල බලපෑමක් ඇති කළ හැකිද?
වෛද්‍ය පර්යේෂණවලින් එන්ට එන්ටම පැහැදිලිව පෙනී යන කාරණයක් නම්, සර්ව ශුභවාදය, බලාපොරොත්තුව සහ වෙනත් ධනාත්මක චිත්තවේගී හැඟීම් ඇත්තවශයෙන්ම යම් පුද්ගලයෙකුගේ ජීවිතය හා සෞඛ්‍යය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන බවයි. එහෙත් එවන් මතයකට සෑම කෙනෙක්ම එකඟ වෙන්නේ නැහැ. එවන් මතයන් හුදෙක් අවිද්‍යාත්මක කට කතායයි කියන ඇතැම් පර්යේෂකයන් ඒවා නොසලකාහරිනවා. ඔවුන් සිතන්නේ ශාරීරික රෝගවලට හේතුව හුදෙක් ශාරීරික හේතුම බවයි.
බලාපොරොත්තුවක වැදගත්කම පිළිබඳව තිබෙන මෙවන් සැකයන් අලුත් යමක් නොවන බව කිව යුතු නැහැ. මීට වසර දහස් ගණනකට පෙරාතුව, ග්‍රීක් ජාතික දර්ශනවාදියෙකු වූ ඇරිස්ටෝටල්ගෙන් බලාපොරොත්තුව යන්න නිර්වචනය කරන්න කියා විමසූ විට ඔහු දුන් පිළිතුර වූයේ, එය “දවල් දකින හීනයක්” බවයි. වඩාත් මෑත කාලයේදී, අමෙරිකානු රාජ්‍ය නායකයෙකුව සිටි බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ඒ ගැන උපහාසයට ලක් කරමින් කියා සිටියේ, “බලාපොරොත්තුවක් මත ජීවත් වෙන්නා හාමතේ මිය යයි” කියාය.
එසේනම්, බලාපොරොත්තුව පිළිබඳ නියම සත්‍යය කුමක්ද? එය නිකම්ම පැතුමක් විතරද? අහසේ මාලිගා තනමින් සිටින අයව සැනසීමට තිබෙන ක්‍රමයක්ද? එසේ නැත්නම්, බලාපොරොත්තුව යනු ඊටත් වඩා වැඩි යමක්ද? එනම්, අපේ සෞඛ්‍යය හා සන්තෝෂය උදෙසා අප සියලුදෙනාටම ඕනෑ කරන්නාවූ, යම් නියම පදනමක් හා නියම ප්‍රයෝජන ලබා දෙන දෙයක් බව විශ්වාස කිරීමට වලංගු හේතුවක් එහි තිබෙනවාද?
-
-
අපට බලාපොරොත්තුවක් අවශ්‍ය වන්නේ ඇයි?2004 පිබිදෙව්! | මැයි 8
-
-
අපට බලාපොරොත්තුවක් අවශ්‍ය වන්නේ ඇයි?
මීට ඉහත ලිපියේ සඳහන් වූ පිළිකා රෝගයට ගොදුරු වූ ඩැනියෙල් නම් ළමයා දැඩි බලාපොරොත්තු තබාගෙන සිටියා නම් තත්වය කුමක් වෙන්නට තිබුණාද? ඔහු පිළිකා රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුව වෙන්නට ඉඩ තිබුණාද? ඔහු අද දිනත් ජීවතුන් අතර සිටීවිද? බලාපොරොත්තුවක් නිසා කෙනෙකුට සුවය අත් වේය යන මතයට වඩාත් ඇලී සිටින අය පවා එවැනි නිගමනයකට එළඹීමට ඉක්මන් නොවන්නට පුළුවනි. ඇරත් මෙහි අතිවැදගත් කරුණක් සැඟවී තිබෙනවා. ඒ තමයි, බලාපොරොත්තුව ගැන අධිතක්සේරුවක් කිරීමද නුසුදුසු දෙයක් බව. එය සෑම රෝගයකටම සුවය ගෙන දෙන ප්‍රතිකාරයක් නොවේ.
CBS (කොලොම්බියා විකාශන ආයතනය) නම් ප්‍රවෘත්ති වැඩසටහනක පැවති සම්මුඛ සාකච්ඡාවකදී නේතන් චර්නි නමැති වෛද්‍යවරයා බරපතළ තත්වයක සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී බලාපොරොත්තුවේ ඇති බලය ගැන අධිතක්සේරුවක් කිරීමේ අන්තරාය ගැන අනතුරු ඇඟවූවා. “සමහර ස්වාමිපුරුෂයන් තම භාර්යාවන් ප්‍රමාණවත් ලෙස භාවනා කිරීම්වල නියැලුණේ නැහැ කියා සහ ධනාත්මක සිතිවිලි ඇති කරගෙන තිබුණේ නැහැ කියා ඔවුන්ට බැණවදින අවස්ථාවන් අප දැක තිබෙනවා.” වෛද්‍ය චර්නි තවදුරටත් කීවේ මෙසේයි. “සිතිවිලිවලින් ලෙඩ රෝග පාලනය කිරීමට හැකිය යන අදහස දරන අය තම ලෙඩේ දරුණු අතට හැරීම රෝගියෙකුට පාලනය කළ හැකිය යන වැරදි මතය දරනවා. රෝගීන්ගේ තත්වය දරුණු අතට හැරෙන විට, මේ මතය දරන අය කියන්නේ එම රෝගීන් තමන්ගේ පිළිකා ගෙඩි පාලනය කිරීම පිණිස හරි හැටි භාවනාවේ යෙදී සිතිවිලි පාලනය කරගෙන නැහැ කියලායි. එහෙම කියන එක හරිම අසාධාරණයි.”
ඇත්තවශයෙන්ම කියනවා නම්, දරුණු මාරාන්තික අසනීපවලින් පෙළෙන්නන් ජීවත් වීමට දැඩි සටනක් කරනවා. ඔවුන් තුළ වරදසහිතභාවයක් ඇති කිරීමෙන් ඔවුන් දැනට කරන ඒ දැඩි සටනට තවත් බර පටවන්නට එම රෝගීන්ගේ හිතවතුන්ට කිසිසේත් අවශ්‍ය නැහැ. එසේනම්, බලාපොරොත්තුවකින් කිසිම පලක් නැහැ කියන එකද අප මෙතැනදී නිගමනය කළ යුත්තේ?
නැහැ. කොහෙත්ම නැහැ. උදාහරණයක් වශයෙන්, එම වෛද්‍යවරයාම වේදනාව සමනය කිරීමේ ප්‍රතිකාර පිළිබඳ විශේෂඥයෙක්. ඔහු කෙළින්ම රෝගයට එරෙහිව සටන් කරන හෝ ජීවිතය දීර්ඝ කරන ප්‍රතිකාර ක්‍රම යොදාගන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු රෝගියා ජීවත් වන තාක් කල් ඔහුට වඩාත් සුවබර හා ප්‍රසන්න ජීවිතයක් ගත කිරීමට හැකි කරවන ප්‍රතිකාර ලබා දෙන කෙනෙක්. ඉතා දරුණු තත්වයක සිටින රෝගියෙකුට වුණත්, මනස වඩාත් සතුටින් තබන ප්‍රතිකාර ක්‍රම යොදාගැනීම වටින බව එවන් වෛද්‍යවරුන් විශ්වාස කරනවා. බලාපොරොත්තුවකට රෝගියෙකුව සතුටින් තැබිය හැකි බවටත් ඊටත් වඩා දෙයක් කළ හැකි බවටත් සෑහෙන සාක්ෂි තිබෙනවා.
බලාපොරොත්තුවක වටිනාකම
“බලාපොරොත්තුවක් යනු ප්‍රබල ප්‍රතිකාරයකි,” කියා සහතිකවම පවසන්නේ වෛද්‍ය සඟරාවකට ලියන වෛද්‍ය ඩබ්. ජිෆර්ඩ් ජෝන්ස්. මාරාන්තික තත්වයක සිටින රෝගීන්ට දෙනු ලබන සැනසිල්ලේ, උදව් උපකාරවල සහ සහයෝගයේ අගය නිර්ණය කිරීමට ඔහු විවිධ අධ්‍යයන අත්හදා බැලුවා. මේ ආකාරයේ සහයක් රෝගීන්ට දීමෙන් ඔවුන්ව වඩාත් බලාපොරොත්තු සහිත ධනාත්මක ආකල්පයකින් තැබීමට සමත් වෙන බවයි නිගමනය කෙරෙන්නේ. වර්ෂ 1989දී කරන ලද එක් අධ්‍යයනයකදී සොයාගනු ලැබුවේ එවන් සහයෝගයක් ලැබූ රෝගීන් වැඩි කලක් ජීවත් වන බවයි. නමුත් මෑතකදී කරන ලද පර්යේෂණවලින් ඒ පිළිබඳව එතරම්ම සාක්ෂි සොයාගෙන නැහැ. කෙසේවෙතත්, සැනසීම, උදව් උපකාර සහ සහයෝගය ලබන රෝගීන් මානසික අවපීඩනයෙන් හා වේදනාවෙන් පීඩා විඳින්නේ එවන් සහනයක් නොලබන රෝගීන්ට වඩා අඩුවෙන් බවත් අධ්‍යයනවලින් සොයාගෙන තිබෙනවා.
සර්වශුභවාදය [හැම දෙයකම හොඳ පැත්ත බැලීම] සහ සර්වඅශුභවාදය [හැම දෙයක්ම නිෂ්ඵලයි] යන ආකල්ප මගින් කිරීට හෘද රෝගී තත්වයන් කෙරෙහි ඇති බලපෑම ගැන කරන ලද අධ්‍යයන ගැන සලකා බලන්න. මිනිසුන් 1,300කට වැඩි පිරිසක් සමන්විත කණ්ඩායමක් ඔවුන් ජීවිතය දෙස බලන්නේ සර්වශුභවාදීවද නැතහොත් සර්වඅශුභවාදීවද කියා ඉතා සියුම්ව පරීක්ෂාවට ලක් කෙරුණා. ඉන් අවුරුදු දහයකට පසුව කෙරුණු අධ්‍යයනයකදී සොයාගනු ලැබුවේ එම මිනිසුන්ගෙන් සියයට 12කට වැඩි පිරිසක් යම් ආකාරයක කිරීට හෘද රෝගී තත්වයන්ගෙන් පීඩා විඳි බවයි. ඒ අය අතරින් සර්වශුභවාදී අයට වඩා දෙගුණයක් පමණ සිටියේ සර්වඅශුභවාදී අයයි. මහජන සෞඛ්‍යය පිළිබඳ හාවඩ් පාසැලේ සෞඛ්‍යය හා සමාජ චර්යාව පිළිබඳ සහකාර මහාචාර්ය ලෝරා කුබ්සන්ස්කි මෙසේ අදහස් දක්වනවා. “‘ධනාත්මකව සිතීම’ යමෙකුගේ සෞඛ්‍යයට හොඳය යන අදහසට වැඩිපුර සාක්ෂි ලැබී තිබෙන්නේ යම් යම් පුද්ගලයන් සම්බන්ධයෙන් අසන්නට ලැබුණු තොරතුරු නිසයි. නමුත් හෘද රෝග සම්බන්ධ ක්ෂේත්‍රය තුළ මෙම අදහස සනාථ කරන සැබෑ වෛද්‍යමය සාක්ෂි ගණනාවක් පළමු වතාවට මෙම අධ්‍යයන මගින් හෙළි කරනවා.”
ඇතැම් අධ්‍යයනවලින් සොයාගෙන ඇත්තේ තමන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වලයයි කියා සිතා සිටින අය, තමන්ට හොඳ සෞඛ්‍ය තත්වයක් තිබෙනවා කියා සිතන අයට වඩා, ශල්‍ය කර්මයකින් පසුව සුව වෙන්නේ ඉතා සෙමින් බවයි. ජීවිතය ගැන ශුභවාදීව සිතන අයගේ ආයු කාලය දීර්ඝ බවද කියැවෙනවා! තමන් වයසට යෑම පිළිබඳව මහලු අය දරන ධනාත්මක හා ඍණාත්මක සිතිවිලි ඔවුන්ට බලපාන ආකාරය එක් අධ්‍යයනයකින් සොයා බැලුණා. මෙම මහලු පුද්ගලයන්ව පරිගණක ක්‍රීඩාවලට යොමු කෙරුණු අතර, වයස්ගත වීම හා වැඩිමනත් ප්‍රඥාව සහ පළපුරුද්ද සම්බන්ධව කළ පණිවුඩ පරිගණක තිර හරහා වේගයෙන් යනවා ඔවුන් දුටුවායින් පසුව, වැඩි ශක්තියකින් හා ජවයකින් ඔවුන් ඇවිද ගිය බවක් සොයාගැනුණා. ඇත්තෙන්ම, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයේ වර්ධනය සති 12ක් තිස්සේ ව්‍යායාම කිරීමකින් ඇති වන සෞඛ්‍ය වර්ධනයට සමාන වුණා!
බලාපොරොත්තුව, සර්වශුභවාදය සහ ධනාත්මක ආකල්ප වැනි එවන් චිත්තවේගයන් සෞඛ්‍යයට හිතකර බව පෙනෙන්නට ඇත්තේ ඇයි? මේ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරු සැපයීම සඳහා සමහරවිට විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන් තවමත් මිනිස් මනස හා ශරීරය ගැන තේරුම්ගෙන නැතිව ඇති. එහෙත්, මේ විෂය ගැන හදාරන විශේෂඥයන්ට තමන් ලබා ඇති දැනුම, පළපුරුද්ද හා නිරීක්ෂණය මත යම් නිගමනවලට එළැඹෙන්නට හැකියි. නිදසුනක් වශයෙන්, ස්නාසාවේදී මහාචාර්යවරයෙක් මෙසේ අදහස් දක්වනවා. “සතුටින් හා බලාපොරොත්තුවකින් සිටීම හොඳයි. එසේ සිටින අවස්ථාවල ඇති වන මානසික පීඩනය හුඟාක් අඩුයි. ඇරත් ඒ තත්වයන්හිදී තමයි, ශරීරය ප්‍රමුදිත වෙන්නේ. මිනිසුන්ට වඩාත් සෞඛ්‍ය සම්පන්නව සිටීමට කළ හැකි තව එක් දෙයක් තමයි සතුටින් හා බලාපොරොත්තුවකින් සිටීම.”
එම සංකල්පය ඇතැම් වෛද්‍යවරුන්ට, මානසික විශේෂඥයන්ට සහ විද්‍යාඥයන්ට අලුත් යමක් වෙන්නට පුළුවනි. නමුත් බයිබලය අධ්‍යයනය කරන අයට නම් එය එසේ නොවේ. මීට වසර 3,000කට පමණ පෙර, ප්‍රඥාවන්ත සලමොන් රජ මෙම අදහස දේවානුභාවයෙන් යුතුව මෙසේ ලියා තැබුවා. “ප්‍රීතිමත් සිත ඖෂධයක් මෙන් යහපතක් කරයි. නමුත් කලකිරුණු ස්වභාවයකින් ඇට වියළවයි.” (හිතෝපදේශ 17:22, NW) මෙහි දක්වා ඇති සමබර අදහස ගැන සැලකිල්ලට ගන්න. ප්‍රීතිමත් සිතක් යම් රෝගයක් සුවපත් කරන බවක් මෙම පදයේ කියන්නේ නැහැ. නමුත් එහි පවසන්නේ “එය ඖෂධයක් මෙන් යහපතක් කරයි” කියායි.
ඇත්තවශයෙන්ම, බලාපොරොත්තුව කියන දෙය ඖෂධයක් වුණා නම්, එය රෝගීන් සඳහා නිර්දේශ නොකරන්නේ කිනම් වෛද්‍යවරයාද කියා ඇසීම සාධාරණයි. ඊටත් වඩා, සෞඛ්‍ය ක්ෂේත්‍රයට වඩා ඔබ්බට විහිදී ගිය වෙනත් පැතිවලටද බලාපොරොත්තුවකින් තිබෙන වාසි ප්‍රයෝජන බොහෝයි.
සර්වශුභවාදය, සර්වඅශුභවාදය සහ ඔබේ ජීවිතය
සර්වශුභවාදී අදහස් දරන අය තම ධනාත්මක ආකල්ප නිසා බොහෝ පැතිවලින් ප්‍රයෝජන ලබන බවයි පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ. පාසැලේදී, රැකියාවේදී හා මලල ක්‍රීඩාවලදී පවා ඔවුන් ඉතා හොඳින් කටයුතු කිරීමට ප්‍රවණතාවක් දක්වනවා. නිදසුනකට, කාන්තා ධාවන ශූරීන් සම්බන්ධ අධ්‍යයනයක් කෙරුණා. ක්‍රීඩා උපදේශකවරුන් එම ක්‍රීඩිකාවන්ගේ මලල ක්‍රීඩා කෞශල්‍යයන් පිළිබඳව සම්පූර්ණ විශ්ලේෂණයක් ඉදිරිපත් කළා. ඒ අතරම, එම කාන්තාවන්වම සමීක්ෂණයට භාජන කෙරුණු අතර, ජයග්‍රහණය පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තු ගැන ඉතා හොඳින් අධ්‍යයනය කෙරුණා. එයින් හෙළි වූයේ, එම ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් පිළිබඳව ක්‍රීඩා උපදේශකයන් සැපයූ දත්තවලට වඩා, එම ක්‍රීඩිකාවන් තුළ තිබූ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවේ හැඟීම්වලින් ඔවුන් ජයග්‍රහණය කරනවාද නැද්ද යන්න ගැන වඩා නිවැරදිව කීමට හැකියාවක් තිබූ බවයි. බලාපොරොත්තුව මගින් එතරම් ප්‍රබල බලපෑමක් ඇතිවීමට හේතුව මොකක්ද?
සර්වශුභවාදයේ විරුද්ධ පැත්ත හෙවත් සර්වඅශුභවාදය ගැන අධ්‍යයනය කිරීමේදී බොහෝ දෑ හෙළි වී තිබෙනවා. වර්ෂ 1960 ගණන්වලදී, යම් පර්යේෂණවලින් සතුන්ගේ හැසිරීම් පිළිබඳව අනපේක්ෂිත සොයාගැනීමක් සිදු කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් “තමා විහින්ම අසරණ වීම” යන යෙදුම නිර්මාණය කිරීමට පර්යේෂකයින් පෙලඹුණා. මේ හා සමාන දුර්වලතාවකින් මිනිසුන්ද දුක් විඳිය හැකි බව ඔවුන් සොයාගත්තා. නිදසුනක් වශයෙන්, මේ සම්බන්ධව යම් පර්යේෂණවලට භාජන කරන ලද මිනිසුන්ව අමිහිරි ශබ්දයක් සහිත පරිසරයක තබා යම් බොත්තම් කිහිපයක් එබීමෙන් එම අමිහිරි ශබ්ද තමන්ට නැවැත්විය හැකි බව ඔවුන්ට පවසනු ලැබුවා. එම ශබ්ද සාර්ථක ලෙස නවත්වන්නට ඔවුන්ට හැකි වුණා.
දෙවෙනි කණ්ඩායමටද පවසනු ලැබුවේ එයමයි. බොත්තම් එබුවත් ශබ්දය නතර වුණේ නැහැ. දෙවෙනි කණ්ඩායමේ සිටි බොහෝදෙනෙකුට අසරණ බවේ හැඟීමක් ඇති වූ බව ඔබට තේරෙන්න ඇති. පසුව කරන ලද පර්යේෂණවලදී කිසිම දෙයක් කරන්නට ඔවුන් පෙලඹුණේ නැහැ. තමන් කරන කිසිවකින් කිසිම වෙනසක් වෙන්නේ නැති බවයි ඔවුන් ඒත්තුගෙන සිටියේ. එහෙත්, එම දෙවෙනි කණ්ඩායමේ සිටි සර්වශුභවාදී අදහස් ඇති අය එවන් අසරණ මානසිකත්වයකදී පවා බලාපොරොත්තු අත්හරින්නට කැමති වුණේ නැහැ.
කලින් සඳහන් කළ මෙවන් පරීක්ෂණ සමහරක් සැලසුම් කිරීමට උපකාර කළ මාටින් සෙලිග්මාන් නමැති මහාචාර්යවරයා මේ මගින් සර්වශුභවාදය සහ සර්වඅශුභවාදය පිළිබඳ අධ්‍යයනයක් දිගු කලක් තිස්සේ කිරීමට පෙලඹුණා. තමන් අසරණයයි සිතීමට නැඹුරු වී සිටින පුද්ගලයන් තුළ ඇති සිතිවිලි රටාව ගැඹුරින් අධ්‍යයනය කිරීමයි ඔහුගේ කාර්යය වුණේ. එවන් සර්වඅශුභවාදී සිතිවිලි නිසා බොහෝදෙනෙකු ජීවිතයේ යම් උත්සාහයක් දැරීම අකර්මණ්‍ය කරන බවත් නොඑසේනම් සාමාන්‍ය එදිනෙදා කටයුතු කරගන්නට බැරි තත්වයකට වුවද ඔවුන්ව පත් කරන බවත් ඔහු නිගමනය කළා. සර්වඅශුභවාදී සිතිවිලි හා එහි බලපෑම ගැන සෙලිග්මාන් සැකෙවින් දක්වන්නේ මෙලෙසයි. “වසර විසිපහක් පුරා කරන ලද අධ්‍යයනවලින් මට පැහැදිලිව එක දෙයක් ඒත්තු ගියා. එය නම්, අපට දුක් කරදර ඇති වෙන්නේ අපගේම වරදක් නිසා කියාත්, ඒවා දිගින් දිගටම අපට බලපායි කියාත්, අප කරන සෑම කටයුත්තකටම ඒවා බාධාවක් වෙයි කියාත්, සර්වඅශුභවාදී අදහස් ඇති අය වගේ අපත් පුරුද්දක් ලෙස සිතනවා නම්, ශුභවාදීව සිතන කෙනෙක් මතට එන කරදරවලට වඩා අප කරා එන දුක් කරදර ප්‍රමාණය වැඩි වෙන්නට පුළුවන්.”
කලින් සඳහන් කළාක් මෙන්, එවන් නිගමනයන් වර්තමානයේ ඇතැම් අයට අලුත් අදහස් වගේ පේන්න පුළුවනි. නමුත් බයිබල් ශිෂ්‍යයන්ට නම් එම අදහස අලුත් එකක් නොවේ. මේ හිතෝපදේශයේ කියන දේ සැලකිල්ලට ගන්න. “විපත්ති දවසේදී කලකිරෙන්නේ නම්, ඔබේ ශක්තිය අල්පය.” (හිතෝපදේශ 24:10) ඔව්, බයිබලයේ පැහැදිලිව විස්තර කරන්නේ, අධෛර්යයට පත්වීම සහ ඒ හා සබැඳි ඍණාත්මක සිතිවිලි ඔබගේ තත්වය දියුණු කිරීම සඳහා පියවර ගැනීමට ඔබට ඇති ශක්තිය මොට කරන බවයි. එසේනම්, සර්වඅශුභවාදී සිතිවිලි සමඟ සටන් කර වඩාත් සර්වශුභවාදී ආකල්ප ඇති කරගෙන ඔබේ ජීවිතය බලාපොරොත්තුවකින් පුරවාගැනීමට ඔබට කුමක් කළ හැකිද?
[4, 5වන පිටුවේ පින්තූරය]
බලාපොරොත්තුවක් මගින් බොහෝ යහපතක් කළ හැකියි
-
-
අශුභවාදී සිතිවිලි පරාජය කිරීමට ඔබට පුළුවන්2004 පිබිදෙව්! | මැයි 8
-
-
අශුභවාදී සිතිවිලි පරාජය කිරීමට ඔබට පුළුවන්
ජීවිතයේ ඔබ මුහුණ දෙන අසාර්ථකත්වයන් හෙවත් පසුබැසීම් දෙස ඔබ බලන්නේ කෙසේද? බොහෝ විශාරදයන් දැනට විශ්වාස කරන්නේ, එම ප්‍රශ්නයට දෙන පිළිතුර මගින් ඔබ සර්වශුභවාදී පුද්ගලයෙකුද නැත්නම් අශුභවාදියෙක්ද යන්න බොහෝදුරට කිව හැකි බවයි. අප සැවොම ජීවිතයේ විවිධ දුෂ්කර තත්වයන්ට මුහුණ දෙනවා. අපගෙන් සමහරෙක් වෙනත් අයට වඩා වැඩියෙන් එවන් තත්වයන්ට මුහුණපානවා. එහෙත්, ඇතැම් අය තමන්ගේ දුෂ්කරතාවලින් පරාජය නොවී, තවත් වරක් උත්සාහ කරන්නේ ඇයි? තත්වය එසේ තිබියදී තවත් අය සුළු සුළු දුෂ්කරතා හමුවේ පවා පසුබසින්නේ ඇයි?
හිතන්න, ඔබ රැකියාවක් සොයමින් සිටිනවා කියා. ඔබ සම්මුඛ පරීක්ෂණයකට ගියත් ඉන් සමත් වෙන්නේ නැහැ. මේ සිද්ධියෙන් පසුව ඔබට සිතෙන්නේ කොහොමද? ඔබේ යම් අඩු පාඩුවක් තිබුණු නිසයි ඔබව ප්‍රතික්ෂේප කළේ කියා සිතමින්, ‘මං වගේ කෙනෙක්ව කිසිම කෙනෙක් රස්සාවකට ගන්නේ නැහැ. ඉතින් මට කවදාවක්වත් රස්සාවක් හම්බ වෙන එකක් නැහැ’ කියා ඔබ ඔබටම කියාගන්නවා විය හැකියි. නැත්නම්, එක් සම්මුඛ පරීක්ෂණයකින් අසමත් වීම නිසා, ‘මම නම් කිසිම කමකට නැති කෙනෙක්. කිසි කෙනෙකුට මගෙන් වැඩක් නැහැ’ යන සිතිවිල්ල මගින් ඔබේ මුළු ජීවිතයම පාලනය වීමට ඔබ ඉඩහරිනවා විය හැකියි. මේ සෑම අවස්ථාවකදීම සිතේ ඇති වන සිතිවිලි තමයි සර්වඅශුභවාදයේ අරටු වෙන්නේ.
සර්වඅශුභවාදයට එරෙහිව සටන් වැදීම
මේ සිතිවිලි පරාජය කිරීමට ඔබට හැක්කේ කොහොමද? එවන් ඍණාත්මක සිතිවිලි හඳුනාගැනීමට ඉගෙනගැනීම පළමු වැදගත්ම පියවරයි. ඊළඟ පියවර නම් ඒවාට එරෙහිව සටන් කිරීමයි. ඔබ සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වීමට තිබිය හැකි වෙනත් සාධාරණ හේතු ගැන විමසා බලන්න. නිදසුනක් වශයෙන්, ඔබ සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වුණේ කිසිම කෙනෙක් ඔබට රැකියාවක් දෙන්නේ නැති නිසාද? නැත්නම් එම රැකියා ස්ථානයේ ස්වාමියා වෙනත් රැකියා සුදුසුකම් ඇති කෙනෙකුව සොයමින් සිටියා විය හැකිද?
එවන් නිශ්චිත සත්‍ය කරුණු දෙස බලමින් තර්කයට වඩා හැඟීම්වලට ඉඩ දෙන අශුභවාදී සිතිවිලිවලට යට වෙන්න එපා. එක් අයෙක් ඔබව රැකියාවට තෝරාගත්තේ නැහැ කියන්නේ වෙනත් කිසිම කෙනෙක් ඔබට රැකියාවක් දෙන්නේ නැහැ කියන එකද? නැත්නම් ඔබේ ජීවිතයේ වෙනත් පැති ගැන ඔබට සිතන්නට පුළුවන්ද? එනම්, ඔබ යම් තරමක් දුරට සාර්ථක වී ඇති ආත්මික ඉලක්ක? පවුල් සම්බන්ධතා? නැත්නම් මිත්‍රත්වයන් වැනි ඉලක්ක? “කිසිම දෙයක් හරි යන්නේ නැහැනේ” යන අශුභවාදී සිතිවිල්ල මුළුමනින්ම පහ කරන්න. අනික, ඔබට කිසිමදාක රැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා ඔබ ඇත්තටම දන්නවාද? මෙවන් ඍණාත්මක සිතිවිලි ඔබේ සිතෙන් දුරු කරගැනීමට ඔබට තවත් බොහෝ දේවල් කළ හැකියි.
ජීවිතයේ යම් ඉලක්ක තබාගෙන ධනාත්මකව සිතන්න
මෑත කාලවලදී ඇතැම් පර්යේෂකයන් බලාපොරොත්තුව යන විෂය ගැන කුහුල දනවන පටු අර්ථකථනයක් ගොඩනඟා තිබෙනවා. ඔවුන්ගේ අදහස නම්, ඔබට ඔබගේ ඉලක්ක අත් කරගැනීමට හැකි වේය යන විශ්වාසය බලාපොරොත්තුවට ඇතුළත් බවයි. මීළඟ ලිපියේ පෙන්වන්නාක් මෙන්, බලාපොරොත්තුවට ඇත්තෙන්ම ඊට වඩා බොහෝ දේවල් ඇතුළත්. නමුත් මේ අර්ථකථනයද පෙනෙන විදිහට පැති කිහිපයකින් ප්‍රයෝජනවත්. අපට පෞද්ගලිකව ඇති බලාපොරොත්තු සම්බන්ධ මේ පැත්ත වෙතට අවධානය යොමු කිරීමෙන් ඉලක්ක සහිත වඩාත් ධනාත්මක සිතිවිලි වර්ධනය කරගැනීමට පුළුවන්.
අපට අපගේ අනාගතික ඉලක්ක අත් කරගැනීමට හැකිය කියා විශ්වාස කිරීමට නම්, යම් ඉලක්ක කිහිපයක් තබා ඒවා අත් කරගත් බවට වාර්තාවක් ගොඩනඟන්නට අවශ්‍යයි. ඔබට එවන් වර්තාවක් නැහැ කියා සිතෙනවා නම්, ඔබ විසින්ම තබාගත හැකි ඉලක්ක ගැන බැරෑරුම් ලෙස සිතීම වටී. පළමුව, ඔබට එවන් ඉලක්ක තිබෙනවාද? යාන්ත්‍රික ලෙස ගත කරන කලබලකාරී ජීවිතය නිසා ජීවිතයෙන් ඇත්තටම වුවමනා කරන්නේ කුමක්ද, අපට වඩාත් වැඩියෙන්ම වැදගත් වන්නේ කුමක්ද යන්න සිතා බැලීමටවත් ඉස්පාසුවක් නොතිබෙන්නට පුළුවන්. ජීවිතයේ ප්‍රමුඛත්වයන් එලෙස තැබීමට දී ඇති මෙම ප්‍රායෝගික ප්‍රතිපත්තිය ගැනද බොහෝ කලකට පෙරාතුව බයිබලයේ මනාව පැහැදිලි කළේ මෙසේයි. “වඩා වැදගත් දේවල් සහතික කරගන්න.”—ෆිලිප්පි 1:10, NW.
අප අපේ ජීවිතයේ ප්‍රමුඛස්ථානය ලැබිය යුතු දේවල් මොනවාද කියා තීරණය කළ විට, අපගේ ආධ්‍යාත්මික ජීවිතය, අපගේ පවුල් ජීවිතය සහ අපගේ රැකියාව යනාදිය සම්බන්ධයෙන් යම් ප්‍රධාන ඉලක්ක තබාගැනීම පහසු දෙයක් වෙනවා. එහෙත්, ඕනෑවට වඩා ඉලක්ක තබාගෙන නොසිටීම හොඳයි. එක වරකට එක බැගින් අත් කරගත හැකි ඉලක්ක තැබීමයි සුදුසු වෙන්නේ. යම් ඉලක්කයක් අපට අත් කරගැනීමට වඩාත් දුෂ්කර නම්, අප තුළම කලකිරීමක් ඇති වී අප අධෛර්යයට පත් විය හැකියි. ඒ නිසා, මහා පරිමාණයේ දීර්ඝ කාලීන ඉලක්ක තබාගන්නවා වෙනුවට, කෙටි කාලීන සුළු සුළු ඉලක්ක තබාගැනීමයි බොහෝවිට හොඳම දේ වෙන්නේ.
“හිත ඇත්නම් පත කුඩාද?” යන්න පැරණි කියමනක්. ඒ කියමනේ යම් සත්‍යයක් තියෙන බවක්ද පේනවා. අපේ මනසේ ප්‍රධාන ඉලක්ක තබාගෙන සිටිනවා නම්, අපට අවශ්‍ය වන්නේ සිතේ කැමැත්තයි. එනම්, යමක් අත් කරගැනීමට අවශ්‍ය ආශාව හා අධිෂ්ඨානයයි. අපගේ ඉලක්කවල ඇති වටිනාකම ගැන සිතා බැලීමෙන් සහ ඒවා අත් කරගැනීමෙන් ඇති වන වාසි ප්‍රයෝජන ගැන සිතීමෙන් අපට එම අධිෂ්ඨානය ශක්තිමත් කරගන්නට පුළුවන්. බාධා ඇති වන බව නොකිවමනායි. එහෙත් ඒවා අපේ පය පැටලී වැටීමට හේතු වන ගල් ලෙස සිතනවාට වඩා ඉහළට නැඟීමට තිබෙන පඩි ගල් ලෙස සිතීමට අප පුරුදු විය යුතුයි.
කෙසේවෙතත්, අප තබා ඇති ඉලක්ක අත් කරගැනීමට උපකාරවත් වන ප්‍රායෝගික ක්‍රම ගැනත් අප සිතන්න අවශ්‍යයි. බලාපොරොත්තුවක ඇති වටිනාකම ගැන ඉතා පුළුල් අධ්‍යයනයක් කළ සී. ආර්. ස්නයිඩර් නමැති ලේඛකයා යෝජනා කරන්නේ තමාට ඇති ඉලක්කයක් අත් කරගැනීමට ක්‍රම ගණනාවක් ගැන සිතන ලෙසයි. මෙසේ, එක් ක්‍රමයක් අසාර්ථක වන විට, අපට දෙවෙනි ක්‍රමය තුන්වෙනි ක්‍රමය යනාදි වශයෙන් විවිධ ක්‍රම අත්හදා බැලිය හැකියි.
ඒ වගේම එක ඉලක්කයකින් තවත් ඉලක්කයකට මාරු වෙන්නේ කොයි අවස්ථාවේද කියාත් ඉගෙනගන්නා ලෙස ස්නයිඩර් නිර්දේශ කරනවා. අප යම් ඉලක්කයක් අත් කරගැනීමට බැරිව එක තැන හිර වී සිටිනවා නම්, ඒ ගැනම සිත සිතා සිටීමෙන් සිදු වෙන්නේ අප තවත් අධෛර්යයට පත්වීමයි. අනෙක් අතට, ඒ වෙනුවට අත් කරගත හැකි වෙනත් යථාර්ථවාදී ඉලක්කයක් තබාගැනීම අප තුළ බලාපොරොත්තුවක් ජනිත කරයි.
බයිබලය තුළ මේ සම්බන්ධයෙන් ඉතා චමත්කාරජනක ආදර්ශයන් අන්තර්ගතයි. දාවිත් රජ තම දෙවි යෙහෝවාට දේවමාලිගාවක් ඉදි කිරීමට ඉලක්කයක් තබා සිටියා. එහෙත්, දෙවි දාවිත්ට පැවසුවේ ඔහුට නොව ඔහුගේ පුත් සලමොන්ට එම වරප්‍රසාදය හිමි වෙන බවයි. තමාගේ ඉලක්කය සාක්ෂාත් කරගැනීමට නොහැකි වීම ගැන තැවෙමින් හෝ එය අත් කරගැනීමට දිගින් දිගටම උත්සාහ කරමින් හෝ සිටිනවා වෙනුවට, දාවිත් කළේ ඔහුගේ ඉලක්කය වෙනස් කිරීමයි. මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා තම පුත්‍රයාට අවශ්‍ය වන්නාවූ මුදල් හා ද්‍රව්‍යමය දේවල් එකතු කිරීමට ඔහු තමාගේ ශක්තිය වැය කළා.—1 රාජාවලිය 8:17-19; 1 ලේකම් 9:3-7.
සර්වඅශුභවාදයට එරෙහිව සටන් කරමින් සහ ඉලක්ක සහිත ධනාත්මක සිතිවිලි වර්ධනය කරගැනීම මගින් පෞද්ගලික මට්ටමින් බලාපොරොත්තු ගොඩනැංවීමේදී අප සාර්ථක වුවත්, බලාපොරොත්තුවේ සැලකිය යුතු ඌනතාවක් තිබෙන බවට අපට වැටහෙන්නට පුළුවන්. ඒ කෙසේද? මේ ලෝකයේ අපේ බලාපොරොත්තු කඩවීම් බොහොමයක් ඇති වන්නේ අපට කිසිසේත් පාලනය කළ නොහැකි සාධක නිසයි. දිලිඳුකම, යුද්ධ, අයුක්තිය, වැළැක්විය නොහැකි අසනීප හා මරණය වැනි මිනිස් වර්ගයාට දරාගත නොහැකි ගැටලු ගැන අප කල්පනා කරන කල, බලාපොරොත්තු සහිත ආකල්පයක් පවත්වාගැනීමට අපට හැක්කේ කෙසේද?
[7වන පිටුවේ පින්තූරය]
ඔබ කැමති රැකියාව ඔබට නොලැබුණා නම්, ඔබට කවදාවත් වෙනත් රැකියාවක් ලැබෙන්නේ නැහැ කියා ඔබ සිතනවාද?
[8වන පිටුවේ පින්තූරය]
ඉලක්ක තැබීමේදී දාවිත් නම්‍යශීලී වුණා
-
-
ඔබට සැබෑ බලාපොරොත්තුවක් සොයාගත හැක්කේ කොහෙන්ද?2004 පිබිදෙව්! | මැයි 8
-
-
ඔබට සැබෑ බලාපොරොත්තුවක් සොයාගත හැක්කේ කොහෙන්ද?
ඔබේ අත්ඔරලෝසුවේ වේලාව නැවතිලා. පේන විදිහට නම් ඒක කැඩිලා. ඒක සාදාගන්න ඕනෑ නම්, අත්ඔරලෝසු අලුත්වැඩියා කරන කිහිපදෙනෙක්ම ඉන්නවා. අත්ඔරලෝසු අලුත්වැඩියා කරන බවට කරන ලද පුවත්පත් දැන්වීම්ද එමටයි. මේ හැම දැන්වීමකින්ම හොඳ සේවාවක් දෙන බවට පොරොන්දු වෙනවා. සමහරක් දැන්වීම් එකිනෙකට පටහැනි අදහස්ද ඉදිරිපත් කරනවා. ඒ වුණත්, ඔබට දැනගන්නට ලැබෙනවා, ඔබ සතු අත්ඔරලෝසු වර්ගය වසර ගණනාවකට පෙර නිර්මාණය කළ අතිදක්ෂ තැනැත්තා ඔබේ නිවස අසලම පදිංචිව සිටිනවා කියලා. දැන් ඔබ මොකක්ද කරන්නේ? ඒ විතරක් නෙවේ, ඔහු කැමතියි කිසිම මුදලක් අය කරන්නේ නැතිව ඔබට උදව් කරන්න. දැන් ඔබ අත්ඔරලෝසුව අරගෙන කා වෙතටද යන්නේ කියන එක ගැන නම් කතා දෙකක් නැහැ.
දැන් ඒ අත්ඔරලෝසුව, බලාපොරොත්තුවක් ඇති කරගැනීමට ඔබ සතු හැකියාව සමඟ සසඳන්න. මේ අර්බුද සහිත කාලයේදී බොහෝදෙනෙකු මෙන් ඔබත් බලාපොරොත්තු සුන් වූ තත්වයක සිටී නම් උපකාරය පතා ඔබ හැරෙන්නේ කොහාටද? ගැටලු විසඳන බවට බොහෝදෙනෙක් පොරොන්දු දුන්නත්, මේ සඳහා දෙන අපමණ යෝජනා වියවුල්සහගතයි, එකිනෙකට පටහැනියි. එහෙමනම්, බලාපොරොත්තුවක් ඇති කරගැනීමේ හැකියාව ඇතුව මිනිසාව නිර්මාණය කළ තැනැත්තා වෙතට නොයන්නේ ඇයි? බයිබලය කියන්නේ “ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය” කියලයි. ඇරත් ඔහු ඉතා කැමැත්තෙන් සිටිනවා අපට පිහිට වෙන්න.—ක්‍රියා 17:27, NW; 1 පේතෘස් 5:7.
බලාපොරොත්තුව පිළිබඳ වඩාත් ගැඹුරු අර්ථකථනයක්
වත්මන් වෛද්‍යවරුන්, විද්‍යාඥයන් සහ මානසික විශේෂඥයන් බලාපොරොත්තුව කියන වචනයට දී තිබෙන අර්ථයට වඩා ඉතා ගැඹුරු පුළුල් අර්ථයක් තමයි බයිබලය තුළ බලාපොරොත්තුව කියන දේට දී තිබෙන්නේ. බයිබලයේ “බලාපොරොත්තුව” යනුවෙන් පරිවර්තනය කර ඇති මුල් භාෂාමය වචනවලින් අදහස් කරන්නේ ඉතා ඕනෑකමින් බලා සිටීම සහ යහපත අපේක්ෂා කිරීමයි. මූලික වශයෙන්, බලාපොරොත්තුව කියන්නේ ප්‍රධාන සාධක දෙකකින් සමන්විත දෙයක්. යම් යහපත් දෙයකට ආශාවීමත් ඒ වගේම එම යහපත තමන්ට අත් වේවිය කියා විශ්වාස කිරීමට හොඳ පදනමක් තිබීමත් ඊට ඇතුළත් වෙනවා. බයිබලය ඉදිරිපත් කරන බලාපොරොත්තුව නිකම්ම සිතේ ඇති වන ප්‍රාර්ථනාවක් නොවෙයි. අපේක්ෂා කරන දේ සිදු වන බවට ඉදිරිපත් කළ හැකි කරුණු හා සාක්ෂි තිබෙන නිසා එය විශ්වාස කිරීමට ස්ථිරසාර පදනමක් තිබෙනවා.
මේ සම්බන්ධව බලනකොට, බලාපොරොත්තුව හා ඇදහිල්ල අතර යම් සමානත්වයක් තිබෙනවා. ඇදහිල්ල කියන්නේ හුදෙක් හැම විශ්වාසයක්ම ප්‍රශ්න නොකර පිළිගැනීම නොවෙයි. එය ස්ථිරසාර සාක්ෂි මත පදනම් වූවක් බවයි බයිබලයේ කියන්නේ. (හෙබ්‍රෙව් 11:1, NW) එහෙත්, ඇදහිල්ල සහ බලාපොරොත්තුව අතර ඇති වෙනසද බයිබලයේ වෙන් කොට දක්වා තිබෙනවා.—1 කොරින්ති 13:13.
මෙය අපි මෙසේ උපහැරණය කරමු. ඔබ ඔබේ හිතෛෂී මිතුරෙකුගෙන් යම් උපකාරයක් ඉල්ලුවා නම්, ඔබ බලාපොරොත්තු වෙනවා ඔහු ඔබට උපකාර කරයි කියා. ඔබ ඒ ගැන බලාපොරොත්තු වෙන්නේ කිසිම පදනමක් නැතිව නොවෙයි. මන්දයත් ඔබට ඔබේ මිතුරා විශ්වාසයි. ඔබ ඔහු ගැන හොඳින් දන්නවා. මීට පෙර ඔහු ඉතා කාරුණිකව සහ ත්‍යාගශීලී අන්දමින් ක්‍රියා කර තිබෙනවා ඔබ දැක තිබෙනවා. ඇදහිල්ල යනු මෙයාකාරයෙන් දෙවි කෙරෙහි විශ්වාසයක් තැබීමයි. එහෙයින්, ඔබේ ඇදහිල්ලත් බලාපොරොත්තුවත් අතර සබඳතාවක් තිබුණද, ඒවා අතර වෙනසක් තිබෙන බවද මෙම උදාහරණයෙන් පෙනී යයි. ඔබට දෙවි කෙරෙහි එවන් බලාපොරොත්තුවක් තබාගත හැක්කේ කොහොමද?
බලාපොරොත්තුව සඳහා ඇති පදනම
සැබෑ බලාපොරොත්තුවේ උල්පත දෙවියි. බයිබල් කාලවලදී යෙහෝවාව හැඳින්වූයේ, “ඊශ්‍රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව” ලෙසයි. (යෙරෙමියා 14:8) යම් විශ්වාසවන්ත බලාපොරොත්තුවක් ඔහුගේ ජනයාට ලැබුණා නම්, ඒ ඔහුගෙනි. මෙසේ ඔහුයි ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ. එවැනි බලාපොරොත්තුවක් නිකම්ම නිකම් පැතුමක් වූයේ නැහැ. බලාපොරොත්තුවක් සඳහා ස්ථිරසාර පදනමක් දෙවි ඔවුන්ට දී තිබුණා. ඔවුන් සමඟ ශතවර්ෂ ගණනාවක් තිස්සේ කටයුතු කිරීමෙන්, ඔහු තමන් දී තිබූ පොරොන්දු ඉටු කළ බවට වාර්තාවක් ගොඩනඟා තිබුණා. ඊශ්‍රායෙල් නායක යෝෂුවා ඔවුන්ට පැවසුවේ මෙහෙමයි. “ඔබේ දෙවි වූ යෙහෝවා ඔබ ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත් නෑරුණු බව . . . ඔබ දන්නහුය.”—යෝෂුවා 23:14.
වසර දහස් ගණනකට පසුව, එම වාර්තාව තවමත් එසේමයි. දෙවිගේ අතිවිශේෂ පොරොන්දුවලින් මෙන්ම ඒවා ඉටු වූ ආකාරය ගැන නිවැරදි ඓතිහාසික වාර්තාවලින් බයිබලය පිරිලා. ඔහුගේ අනාවැකිමය පොරොන්දු කොතරම් විශ්වාසවන්තද කියනවා නම්, ඒවා වාර්තා කර තිබෙන්නේ එම පොරොන්දු දෙන විටම ඒවා ඉෂ්ට වුණාය කියන අදහසින්.
අන්න ඒ නිසයි අපි බයිබලය බලාපොරොත්තුවලින් පිරි පොතක් කියා හඳුන්වන්නේ. දෙවි මිනිසුන් සමඟ කටයුතු කර ඇති ආකාරය ගැන ඔබ අධ්‍යයනය කරත්ම, ඔහු කෙරෙහි ඔබ බලාපොරොත්තු තැබීමට තිබෙන හේතුව තව තවත් ශක්තිමත් වෙනවා. ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේයි. “අපේ විඳදරාගැනීම මාර්ගයෙන්ද, ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසිල්ල මාර්ගයෙන්ද අප බලාපොරොත්තුව ඇතිව සිටින පිණිස කලින් ලියන ලද සියල්ල අපේ ඉගෙනීම සඳහා ලියා ඇත.”—රෝම 15:4, NW.
දෙවි අපට දෙන බලාපොරොත්තුව කුමක්ද?
බලාපොරොත්තුව සඳහා වැඩියෙන්ම අවශ්‍යතාවක් අපට දැනෙන්නේ කොයි වේලාවටද? ඒ අප මරණයට මුහුණ දෙන මොහොතේදී නොවේද? එහෙත් ඒ වගේ මොහොතකදී තමයි, බලාපොරොත්තුව කියන එක අපෙන් ගිලිහී ගොස් ඇතැයි කියා හැඟෙන්නේ. නිදසුනකට, තමන් ආදරය කළ කෙනෙක් මිය යන මොහොතක් ගැන සිතන්න. ඇත්තෙන්ම, මරණය තරම් අපේ බලාපොරොත්තු නැති කරන්නේ වෙන මොකකින්ද? එය අප සෑම කෙනෙක්ම පසුපස හඹා එන්නේ හිත් පිත් නැති විදිහටයි. සදහටම එය මඟහරිමින් සිටින්නට අපට බැහැ. ඒක පලවාහරින්නටත් අපට බැහැ. ඒකයි, මරණය “අන්තිම සතුරා” කියා බයිබලය හඳුන්වන්නේ.—1 කොරින්ති 15:26, NW.
එහෙමනම්, මරණය හමුවේ අපට බලාපොරොත්තුවක් තබාගත හැක්කේ කොහොමද? මරණය අන්තිම සතුරා කියා හඳුන්වන ඒ බයිබල් පදයේම මෙම සතුරාව “නැති කර දමන්නේය” කියාත් කියනවා. යෙහෝවා දෙවි මරණයට වඩා බලවත්. ඔහු එය අවස්ථා ගණනාවකදීම ඔප්පු කර තිබෙනවා. ඒ කොහොමද? මළවුන්ව නැඟිටුවීමෙන්. දෙවි තමාගේ බලය යොදාගෙන මිය ගිය පුද්ගලයන්ව නැවත ජීවනයට ගෙන ආ සැටි බයිබලයේ වෙන වෙනම අවස්ථා නවයක විස්තර කර තිබෙනවා.
එක් කැපීපෙනෙන උදාහරණයක් සලකා බලන්න. යෙහෝවා තම පුත් යේසුස්ට බලය දුන්නා දවස් හතරකට කලින් මිය ගොස් සිටි ලාසරුස් නම් තම හිතෛශී මිතුරාව නැවත නැඟිට්ටුවන්න. යේසුස් මෙය කළේ රහසින් නොවෙයි. නමුත් බලා සිටින්නන් රාශියක් ඉදිරිපිට ප්‍රසිද්ධියේයි.—යොහන් 11:38-48, 53; 12:9, 10.
ඔබ මෙසේ කල්පනා කරනවා ඇති. ‘මිනිසුන්ව නැවත නැඟිටනු ලැබුවේ ඇයි? මොනවා වුණත් ඒ අය මහලු වී අන්තිමේදී ආයෙත් මිය ගියා නේද?’ ඔව්, ඒ අය මිය ගියා. නමුත් නැවත නැඟිටීම ගැන තිබෙන මේ වගේ විශ්වාසවන්ත වාර්තා නිසා, අප ප්‍රේම කළ මිය ගිය අය නැවත ජීවත් වේය යන ආශාවට වඩා, ඔවුන් නැවත ජීවත් වෙනවාය යන කාරණය විශ්වාස කිරීමට අපට හේතු තිබෙනවා. වෙනත් වචනවලින් කියනවා නම්, අපට තිබෙන්නේ අව්‍යාජ බලාපොරොත්තුවක්.
යේසුස් මෙහෙම කිව්වා. “නැවත නැඟිටීමත් ජීවනයත් මමය.” (යොහන් 11:25, NW) මහා පරිමාණයෙන් නැවත නැඟිටීම් සිදු කිරීමට යෙහෝවා බලය පවරන්නේ ඔහුටයි. යේසුස් මෙහෙම පැවසුවා. “මේ ගැන මවිත නොවන්න. මන්ද සොහොන් ගෙවල්හි සිටින සියල්ලන්ට [ක්‍රිස්තුස්ගේ] හඬ ඇසෙන පැය [පැමිණෙන්නේය.]” (යොහන් 5:28, 29) ඔව්, මිනීවළේ නිදා සිටින සියලුදෙනාටම පාරාදීස පොළොවක ජීවත් වීම සඳහා නැවත නැඟිටීමේ අපේක්ෂාව තිබෙනවා.
ප්‍රොපේත යෙසායා නැවත නැඟිටීම සම්බන්ධ හැඟීම් දනවන පින්තූරයක් ඇන්දා. ‘අපේ මළ ගිය අය නැවත ජීවත් වනු ඇත. ඔවුන්ගේ මළ සිරුරු නැවත පණ ගැන්වෙනු ඇත. සොහොන්වල සැතපී සිටින සියලුදෙන පිබිද ප්‍රීතියෙන් ගී ගයත්වා! බැබළෙන පිනි පොළොව ප්‍රාණවත් කරන සේ බොහෝ කලක් මැරී සිටින අය සමිඳාණෝ නැවත පණගන්වන්නේය.’—යෙසායා 26:19, නව අනුවාදය.
එය සැනසිලිදායක දෙයක් නොවේද? මළවුන් සිටින්නේ සිටිය හැකි හොඳම ආරක්ෂා ස්ථානයේයි. හරියට බිලිඳෙක් තම මව්ගේ ගර්භාෂයේ සුරක්ෂිතව සිටිනවා වගේ. මිනිවළේ සැතපී සිටින අය පරිපූර්ණ ලෙස ආරක්ෂා වී සිටින්නේ සර්වබලධාරී දෙවිගේ අසීමිත මතකය තුළයි. (ලූක් 20:37, 38) ඇරත් ඔවුන්ව නැවත ජීවිතයට ගෙනෙනු ලබන විට, එදාට පවතින සමාජය ඒ අයව පිළිගන්නේ හරියට කුඩා දරුවෙක් ඉපදෙන තෙක් බලා සිටින පවුලේ ආදරණීය සාමාජිකයන් ඒ බිලිඳාව පිළිගන්නවා වගේ! ඒ නිසා මරණය හමුවේ පවා බලාපොරොත්තුවක් තිබෙනවා.
බලාපොරොත්තුව ඔබ කෙරෙහි ඇති කරන බලපෑම
බලාපොරොත්තුවේ වටිනාකම ගැන පාවුල් අපට බොහෝ දෑ උගන්වනවා. ඔහු බලාපොරොත්තුව ගැන කතා කළේ ආත්මික යුද්ධායුධ කට්ටලයක අතිවැදගත් අංගයක් වන ආරක්ෂක හිස්වැස්මක් වගේ කියලයි. (1 තෙසලෝනික 5:8) මේ මගින් ඔහු අදහස් කළේ කුමක්ද? බයිබල් කාලවලදී සොල්දාදුවෙක් යුද්ධයට යන විට ලෝහවලින් තැනූ ආරක්ෂක හිස්වැස්මක් පැළඳගත්තා. බොහෝවිට ආරක්ෂක හිස්වැස්මට යටින් තළන ලද ලොම් හා කෙඳි වර්ග සංයෝගයකින් හෝ හම්වලින් හෝ සාදන ලද තොප්පියක් පැළඳගත්තා. හිසට එල්ල වූ මාරාන්තික පහරවලින් හිසට හානියක් නොවූයේ මේ ආරක්ෂක තොප්පියට ස්තුතිවන්ත වෙන්නටයි. පාවුල් කාවද්දන්නට උත්සාහ කළ මූලික කරුණ මොකක්ද? ආරක්ෂක තොප්පියෙන් හිස ආරක්ෂා වෙනවා වගේම, බලාපොරොත්තුව මගින් මනස හෙවත් සිතිවිලි ආරක්ෂා කරනවා. දෙවිගේ අරමුණු ගැන ස්ථිර බලාපොරොත්තුවක් ඔබට තිබෙනවා නම්, ඔබ දුෂ්කරතාවලට මුහුණ දෙන විට, ඔබ කලබල වී වියවුල් වී මනසේ සාමය නැති කරගන්නේ නැහැ. ඒ වගේ ආරක්ෂක තොප්පියක් අවශ්‍ය නොවන්නේ අපගෙන් කාටද?
දෙවිගේ කැමැත්තට සම්බන්ධ වී ඇති බලාපොරොත්තුව සඳහා පාවුල් තවත් චමත්කාරජනක උපහැරණයක් යොදාගත්තා. ඔහු ලීවේ මෙසේයි. “අපට තිබෙන මේ බලාපොරොත්තුව අපේ ජීවිතයට නැංගුරමක් වැනිය. එය සහතිකය, ස්ථිරය.” (හෙබ්‍රෙව් 6:19, NW) එකවරකට වඩා මුහුදුබත් වීම්වලට ගොදුරු වී දිවි ගලවාගත්තෙකු හැටියට පාවුල් හොඳින් දැනගෙන සිටියා නැංගුරමක ඇති වටිනාකම ගැන. කුණාටුවකට මුහුණ දෙන නැවියෝ නැවේ නැංගුරම මුහුදට දමනවා. එය මුහුද පතුලේ ගැටී ඍජුව සවි වෙන්නේ නම්, නැවත කුණාටුවෙන් ඉවතට ගසාගෙන ගොස් ගල්පරයක හැපී විනාශ වෙනවා වෙනුවට ආරක්ෂිතව මුහුදේම රැඳී තිබීමේ අවස්ථාව වැඩියි.
ඒ හා සමානව, දෙවිගේ පොරොන්දු අපට ‘සහතික, ස්ථිර’ බලාපොරොත්තුවක් නම්, මෙම ‘කුණාටු’ සහිත අර්බුද කාලවලදී ආරක්ෂාකාරීව සිටීමට එම බලාපොරොත්තුව අපට පිහිට වෙනවා. යුද්ධ, අපරාධ, ශෝකය, දුක හෝ මරණයෙන් පවා මිනිස් වර්ගයා පහර නොලබන කාලයක් ඉතා ඉක්මනින් පැමිණෙන බව යෙහෝවා අපට පොරොන්දු වෙනවා. (10 වන පිටුවේ ඇති කොටුව බලන්න.) එම බලාපොරොත්තුවට අප ඇලී සිටිනවා නම්, විපත්තිය නමැති කුණාටුවෙන් බේරීමට අපට හැකි වෙයි. අද දින මේ ලෝකයේ පැතිර පවතින කලහකාරී දුරාචාරමය ස්වභාවයට හසු නොවී දේවප්‍රමිතිවලට අනුව ජීවත් වීමට අපට එය තවත් ශක්තියක් වෙනවා.
යෙහෝවා ඉදිරිපත් කරන බලාපොරොත්තුවට ඔබත් පෞද්ගලිකව සම්බන්ධයි. දෙවි ඔබට ලබා දීමට අරමුණු කළ ජීවිතයම ඔබ අද්දකිනවාට ඔහු කැමතියි. ඔහුගේ ආශාව වන්නේ ‘සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමයි.’ කෙසේද? ඒ සෑම කෙනෙක්ම, ‘සත්‍යය පිළිබඳ නිවැරදි දැනුම’ ලබාගත යුතුයි. (1 තිමෝති 2:4, NW) මේ සඟරාවේ ප්‍රකාශකයින් ඔබෙන් උදක්ම ඉල්ලා සිටින්නේ දෙවිගේ වචනයේ සඳහන් සත්‍යය පිළිබඳ ජීවනය ගෙන දෙන දැනුම ලබාගන්නා ලෙසයි. දෙවි ඔබට ඒ මගින් දෙන බලාපොරොත්තුව මේ ලෝකයෙන් ඔබට ලබාගත හැකි කොයියම් බලාපොරොත්තුවකට වඩා වටිනවා.
ඒ වගේ බලාපොරොත්තුවක් තිබෙද්දී, ඔබට කිසිවිටෙක අසරණ බවක් නොදැනෙයි. මන්දයත්, දෙවිගේ කැමැත්තට එකඟව තිබිය හැකි ඕනෑම ඉලක්කයක් ඉෂ්ට කරගැනීමට අවශ්‍ය ශක්තිය ඔබට දීමට දෙවිට හැකියි. (2 කොරින්ති 4:7; පිලිප්පි 4:13) ඔබට අවශ්‍ය වන්නේ එවන් ආකාරයේ බලාපොරොත්තුවක් නොවේද? ඉතින්, ඔබට බලාපොරොත්තුවක් අවශ්‍ය නම්, ඔබ ඒ වගේ බලාපොරොත්තුවක් මෙතෙක් සොයමින් සිටියා නම්, දැන් ධෛර්යවත් වන්න. බලාපොරොත්තුව අත ළඟ. ඔබට එය සොයාගත හැකියි!
[10වන පිටුවේ කොටුව⁄පින්තූරය]
බලාපොරොත්තු තැබිය හැකිවීමට හේතු
ඔබේ බලාපොරොත්තුව ගොඩනැංවීම පිණිස ඔබට උපකාර කිරීමට මෙම ශුද්ධ ලියවිලිමය අදහස්වලට හැකියි:
◼ දෙවි සන්තෝෂවත් අනාගතයක් පොරොන්දු වෙයි.
ඔහුගේ වචනය පවසන්නේ පොළොව ප්‍රීතිමත් එක්සත් මිනිස් පවුලකින් ජනාවාස වූ සමස්ත ලෝක පාරාදීසයක් වන බවයි.—ගීතාවලිය 37:11, 29; යෙසායා 25:8; එළිදරව් 21:3, 4.
◼ දෙවිට බොරු කීමට බැරිය.
සියලු ආකාරවල බොරු කීම දෙවි පිළිකුල් කරනවා. යෙහෝවා සදාකාලයටම ශුද්ධයි, පිරිසිදුයි. එම නිසා ඔහුට කොහෙත්ම බොරු කිව නොහැකියි.—හිතෝපදේශ 6:16-19; යෙසායා 6:2, 3; තීතස් 1:1; හෙබ්‍රෙව් 6:18.
◼ දෙවිට අසීමිත බලයක් තිබෙනවා.
යෙහෝවා පමණක් සර්ව බලධාරීයි. ඔහුගේ පොරොන්දු ඉෂ්ට කිරීමෙන් ඔහුව වැළැක්වීමට විශ්වයේ තිබෙන කිසිම දෙයකට බැහැ.—නික්මයාම 15:11; යෙසායා 40:25, 26.
◼ දෙවිගේ කැමැත්ත නම් ඔබ සදාකල් ජීවත් වීමය.
◼ දෙවි අප දෙස බලන්නේ බලාපොරොත්තුවක් සමඟිනුයි.
ඔහු අප දෙස බලන කල, බලන්නේ අපගේ වැරදි සහ දෝෂයන් දෙස නොව අපගේ හොඳ ගුණාංග සහ අප දරන ප්‍රයත්නයන් දෙසය. (ගීතාවලිය 103:12-14; 130:3; හෙබ්‍රෙව් 6:10) අප හරි දේ කරන බවට බලාපොරොත්තු වන ඔහු අප එසේ කරන විට සන්තෝෂ වෙනවා.—හිතෝපදේශ 27:11.
◼ දේවභක්තික ඉලක්ක අත් කරගැනීමට අප දරන වෑයමේදී අපට පිහිට වීමට දෙවි පොරොන්දු වෙනවා.
ඔහුගේ සේවකයන්ට කිසිම විටෙක අසරණ බවක් හැඟෙන්නේ නැහැ. දෙවි තම ප්‍රබලතම බලවේගය වන ශුද්ධාත්මය බහුල ලෙස ලබා දෙමින් අපට පිහිට වෙනවා.—පිලිප්පි 4:13.
◼ දෙවි කෙරෙහි ඇති බලාපොරොත්තුව කිසිම විටෙක නිෂ්ඵල වෙන්නේ නැහැ.
එය සම්පූර්ණයෙන්ම විශ්වාස කළ හැකියි, රඳා පැවතිය හැකියි. ඔහු කිසිම විටෙක ඔබේ බලාපොරොත්තු කඩ කරන්නේ නැහැ.—ගීතාවලිය 25:3.
[12වන පිටුවේ පින්තූරය]
ආරක්ෂක තොප්පියකින් හිස ආරක්ෂා කරනවා වගේ, බලාපොරොත්තුව මනස ආරක්ෂා කරනවා
[12වන පිටුවේ පින්තූරය]
නැංගුරමක් හා සමානව, ස්ථිර පදනමක් ඇති බලාපොරොත්තුවකට පුළුවන් ජීවිතයට ස්ථාවරත්වයක් ලබා දෙන්න
[හිමිකම් විස්තර]
René Seindal/Su concessione del Museo Archeologico Regionale A. Salinas di Palermo අනුග්‍රහයෙන්
-