ඔබ දැන සිටියාද?
“කිසි කෙනෙක් අලුත් වයින් පරණ සම් භාජනවලට දමන්නේ නැහැ” කියා යේසුස් පැවසුවේ ඇයි?
▪ අතීතයේදී වයින් දැමීමට භාවිත කළේ සත්ව සම්වලින් සාදාගත් භාජනයි. (යොෂුවා 9:13) බොහෝවිට එවැනි භාජනයක් සාදාගැනීම සඳහා එළුවෙකුගේ සම්පූර්ණ සම භාවිත කළා. මෙවැනි භාජනයක් සාදාගන්නේ කෙසේද? මුලින්ම එළුවාගේ හිස හා පාදවල කුර කොටස් ඉවත් කරනවා. පසුව සතාගේ සමට කිසිම හානියක් නොවෙන පරිද්දෙන් සම්පූර්ණයෙන්ම සම ගලවාගන්නවා. අවසානයේදී ඒ සම හොඳින් පදම් කර ගෙල සහ කකුල්වල යට විවෘත වී ඇති ස්ථාන තදින් මසාගන්නවා. නමුත් එසේ මැසීමට පෙර භාජනයේ කට හැටියට ඉන් එක් ස්ථානයක් විවෘතව තබාගන්නවා. එම කට වසාගැනීම සඳහා පොරොප්පයක් හෝ ලණු කැබැල්ලක් භාවිත කළා.
නමුත් කාලයත් සමඟම එම සම් භාජනවල ප්‍රසාරණය වීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා අලුත් වයින් දැමීම සඳහා ඒවා සුදුසු වන්නේ නැහැ. ඊට හේතුව අලුත් වයින් පැසීමේදී සිදු වන රසායනික ක්‍රියාවලියට ඔරොත්තු දෙන්න එම පරණ සම් භාජනවලට නොහැකි වීමයි. නමුත් අලුත් සම් භාජන ප්‍රසාරණය වන නිසා අලුත් වයින්වල සිදු වන රසායනික ක්‍රියාවලියට ඒවා හොඳින් ඔරොත්තු දෙනවා. “කිසි කෙනෙක් අලුත් වයින් පරණ සම් භාජනවලට දමන්නේ නැහැ. එසේ කළොත් අලුත් වයින් නිසා සම් භාජන පැළී යයි. වයිනුත් ඉහිරී නාස්ති වෙයි. අලුත් වයින් දැමිය යුත්තේ අලුත් සම් භාජනවලටයි” යේසුස් පැවසුවේ ඒ නිසයි.—ලූක් 5:37, 38.
ක්‍රියා 21:38හි සඳහන් කර ඇති “මැරයන්” කවුරුන්ද?
▪ යෙරුසලමේ තිබූ දේවමාලිගාවේ විශාල කෝලාහලයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී රෝම හමුදාපතියෙක් පාවුල්ව අත්අඩංගුවට ගත්තා. ඔහු සිතුවේ පාළුකරයට ගිය ‘මැරයන් හාරදහසගේ’ නායකයා පාවුල් කියායි. (ක්‍රියා 21:30-38) ඇත්තෙන්ම එම ‘මැරයන්’ කවුරුන්ද?
මැරයන් ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය රැගෙන තිබෙන්නේ සිකාරි නම් ලතින් වචනයෙනුයි. එහි අර්ථය වූයේ “උල් ආයුධ අතැතිව සිටින්නන්” යන්නයි. මුල් සියවසේ සිටි ඉතිහාසඥයෙකු වන ෆ්ලේවියස් ජොසිෆස් එම මැර පිරිසව යුදෙව් අන්තවාදීන් ලෙස හැඳින්වූවා. එමෙන්ම ඔවුන් රෝමවරුන්ගේ සතුරන්ව සිටි බවත් දේශපාලනයට සම්බන්ධ අයව ඔවුන් සැලසුම්සහගත ලෙස ඝාතනය කළ බවත් ඔහු සඳහන් කළා.
ජොසිෆස් තවදුරටත් මෙසේද පැවසුවා. “මෙම මැරයන් දහවල් කාලයේදී කිසිම භයක් සැකක් නැතුව සෙනඟ මැද්දේදී පවා මිනිසුන්ව ඝාතනය කළා. ඔවුන් වැඩියෙන්ම එසේ කළේ සෙනඟ ගැවසෙන උත්සව කාලයේදීයි. එවැනි අවස්ථාවලදී ඔවුන් උල් ආයුධ ඇඳුම්වල සඟවාගෙන ඇවිත් සතුරන්ට පහර දී ඔවුන්ව ඝාතනය කළා.” තම අරමුණ ඉටු කරගත් පසු ඔවුන් එම ස්ථානයේම සිටිමින් තමන්ද කම්පාවට පත් වී ඇති බව බොරුවට මවා පෑවා. ඔවුන් එසේ කළේ එම මරණයට තමන් වග කිව යුතු නැහැ කියා ඇඟවීමටයි. ක්‍රිස්තු වර්ෂ 66-70 අතර කාලයේදී යුදෙව්වන් රෝමයට විරුද්ධව කැරලිගැසූ විට එම යුදෙව් අන්තවාදී මැර පිරිස මූලිකත්වය ගෙන කටයුතු කළ බවත් ජොසිෆස් සඳහන් කළා. ඒ අනුව පාවුල්ව අත්අඩංගුවට ගත් විට ඔහු ඇත්තටම එම මැර පිරිසේ නායකයාද කියා දැනගැනීමට හමුදාපතිට දැඩි වුවමනාවක් තිබුණා කියා සිතිය හැකියි.
[15වන පිටුවේ පින්තූරය]
පැරණි සම් භාජනයක්
[15වන පිටුවේ පින්තූරය]
මැරයෙකුව චිත්‍රයට නඟා ඇති ආකාරය