බෙඩෙල්ගේ බයිබලය - පුංචි වුණත් වැදගත් පියවරක්
විලියම් බෙඩෙල් කියන ඉංග්‍රීසි ජාතික පූජකයා 1627දී අයර්ලන්තයට ගියාම එහේ තිබුණ වාතාවරණය ගැන එච්චර සතුටු වුණේ නැහැ. කතෝලික රටක් වුණ අයර්ලන්තය එවකට පාලනය කළේ රෙපරමාදු ආගම අදහන බ්‍රිතාන්‍යයයි. රෙපරමාදු ආගමේ අය යුරෝපය පුරා තියෙන විවිධ භාෂාවලට බයිබලය පරිවර්තනය කරලා තිබුණා. ඒ වුණත් අයර්ලන්ත භාෂාවට බයිබලය පරිවර්තනය කරන්න කාටවත් උවමනාවක් තිබුණේ නැහැ.
අයර්ලන්තයේ “ඉංග්‍රීසි දන්නේ නැති අයට බයිබල් සත්‍යය වසං කරන එක වැරදියි” කියලා බෙඩෙල් තරයේ කියා සිටියා. ඒ නිසා ඔහු බයිබලය අයර්ලන්ත භාෂාවෙන් පරිවර්තනය කරන්න මුලපිරුවා. හැබැයි ඔහු ගොඩක් විරුද්ධවාදිකම්වලට ලක් වුණා. විශේෂයෙන්ම රෙපරමාදු ආගමේ අයගෙන්.
අයර්ලන්ත භාෂාවට එරෙහිව
මුලින්ම බෙඩෙල් අයර්ලන්ත භාෂාව හොඳින් ඉගෙනගත්තා. ඔහු ඩබ්ලින්වල තියෙන ට්‍රිනිටි විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා වගේම කිල්මෝර් ප්‍රදේශයේ බිෂොප්වරයා වුණාට පස්සේ ඔහු යටතේ හිටපු ශිෂ්‍යයන්ට කිව්වේ අයර්ලන්ත භාෂාව පාවිච්චි කරන්න කියලයි. ඇත්තෙන්ම කියනවා නම් එංගලන්තයේ පළවෙනි එලිසබෙත් රැජින ට්‍රිනිටි විශ්ව විද්‍යාලය ආරම්භ කළේ තම තමන්ගේ මව් භාෂාවෙන්ම මිනිසුන්ට බයිබලය උගන්වන්න පුළුවන් පූජකයන් බිහි කරන්නයි. බෙඩෙල්ටත් ඕන වුණේ ඒ දේමයි.
කිල්මෝර් ප්‍රදේශයේ වැඩියෙන්ම හිටියේ අයර්ලන්ත භාෂාව කතා කරන අයයි. ඒ නිසා ඒ භාෂාව කතා කරන්න පුළුවන් පූජකයන් ඉන්න ඕන කියලා බෙඩෙල් තරයේ කිව්වා. ඒකට හේතුව විදිහට ඔහු 1 කොරින්ති 14:19 කියන මේ දේ උපුටලා දැක්වුවා. “සභාවක සිටින විට වෙනත් භාෂාවකින් වචන දසදහසක් කතා කරනවාට වඩා හැමෝටම තේරෙන භාෂාවෙන් වචන පහක් හෝ කතා කර ඔවුන්ට යම් උපදෙස් ලබා දීමට මම කැමැත්තෙමි.”
ඒත් ඔහුට වඩා බලවත් අය ඔහුව නවත්තන්න තමන්ට පුළුවන් හැම දේම කළා. ඉතිහාසඥයන්ට අනුව සමහර අය තරයේ කිව්වේ අයර්ලන්ත භාෂාව කතා කරන එක “රජයට තර්ජනයක්” සහ “බ්‍රිතාන්‍ය රජයේ අණට විරුද්ධ වීමක්” කියලයි. වෙනත් අය හිතුවේ බ්‍රිතාන්‍ය රජය හිතාමතාම අයර්ලන්ත ජාතිකයන්ට ඒ වගේ අධ්‍යාපනයක් දෙන එක වළක්වන්න අදහස් කරනවා කියලයි. මොකද ඒ වෙද්දී අයර්ලන්තයේ අයට ඔවුන්ගේ භාෂාව සහ සිරිත් විරිත් අතහැරලා ඉංග්‍රීසි භාෂාව සහ සිරිත් විරිත් ඉගෙනගන්න කියලා නීති දාලයි තිබුණේ.
බෙඩෙල්ගේ බයිබල් පරිවර්තනය
අනිත් අය කියපු කරපු දේවලින් සැලුණේ නැති බෙඩෙල් 1630 ගණන්වල මුල් භාගයේ එවකට ඉංග්‍රීසියෙන් තිබුණු අලුත්ම පරිවර්තනය (‘ජේම්ස් රජුගේ අනුවාදය,’ 1611) පාවිච්චි කරලා අයර්ලන්ත භාෂාවට බයිබලය පරිවර්තනය කරන්න පටන්ගත්තා. ඔහුට ඕන වුණේ මිනිසුන්ට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් බයිබලයක් පළ කරන්නයි. බයිබලය තමන්ටම කියවලා තේරුම්ගන්න අවස්ථාවක් නැත්නම් සදාකාල ජීවනය ලබාගන්න දුප්පත් මිනිසුන්ට බැරි වෙන එක ගැන බෙඩෙල්ට ලොකු කැක්කුමක් තිබුණා.—යොහන් 17:3.
ඒ විදිහට හිතුවේ බෙඩෙල් විතරක් නෙමෙයි. ඊට අවුරුදු 30කට විතර කලින්, තවත් බිෂොප්වරයෙක් වුණ විලියම් ඩෑනියෙල් බයිබල් සත්‍යය කෙනෙක්ට තේරුම්ගන්න කොච්චර අමාරුද කියලා විස්තර කළේ මෙහෙමයි. බයිබල් සත්‍යය “නොදන්නා භාෂාවකින් තියෙද්දී ඒක හරියට ඝන වලාකුළකින් වැහිලා තියෙනවා වගේ.” ඩෑනියෙල් ග්‍රීක ශුද්ධ ලියවිල්ල අයර්ලන්ත භාෂාවට පරිවර්තනය කරලා තිබුණා. ඒ නිසා බෙඩෙල් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පරිවර්තනය කරන්න පටන්ගත්තා. බෙඩෙල්ගේ බයිබලය කියලා හඳුන්වන බයිබලය විලියම් ඩෑනියෙල්ගෙත් බෙඩෙල්ගෙත් පරිවර්තනවල එකතුවක්. අයර්ලන්ත භාෂාවෙන් මුලින්ම පළ කරපු සම්පූර්ණ බයිබලය බෙඩෙල්ගේ බයිබලයයි. අවුරුදු 300ක් වෙන කල් අයර්ලන්ත භාෂාවෙන් තිබුණු එකම බයිබල් පරිවර්තනයත් එයයි.
හෙබ්‍රෙව් භාෂාව සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් වුණ බෙඩෙල් බයිබලය පරිවර්තනය කරන්න අයර්ලන්ත ජාතිකයන් දෙන්නෙක්ව හවුල් කරගත්තා. ඒ අය වැඩකටයුතු කරගෙන යද්දී බෙඩෙල් තව එක් කෙනෙක් හරි දෙන්නෙක් හරි එක්ක එකතු වෙලා වාක්‍යයෙන් වාක්‍යය පරීක්ෂා කරලා හරිගස්සන අමාරු කාර්යයේ නිරත වුණා. මූලාශ්‍ර හැටියට ඔහු ජොවානි ඩියෝඩාටි කරපු ඉතාලි බයිබල් පරිවර්තනයත් ග්‍රීක ‘සෙප්ටුඅජින්ට්’ පරිවර්තනයත් පුරාණ හෙබ්‍රෙව් අත්පිටපතකුත් යොදාගත්තා.
‘ජේම්ස් රජුගේ අනුවාදය’ පරිවර්තනය කරපු අය (බෙඩෙල් ඒ අයව පෞද්ගලිකව අඳුරන්න ඇති) වගේම බෙඩෙල්ගේ කණ්ඩායමත් දෙවියන්ගේ පෞද්ගලික නාමය බයිබලයේ තැන් කීපයකම ඇතුළත් කළා. උදාහරණයකට නික්මයාම 6:3 දෙවියන්ගේ නම “Iehovah” කියලා සඳහන් කරලා තිබුණා. බෙඩෙල්ගේ මුල්ම පරිවර්තනය අයර්ලන්තයේ ඩබ්ලින් නුවර මාර්ෂ් පුස්තකාලයේ ආරක්ෂිතව තියෙනවා.—“බෙඩෙල්ව ආදරයෙන් සිහි කරයි” කියන කොටුව බලන්න.
අන්තිමේදී පරිවර්තනය පළ කෙරුණා
බෙඩෙල් ඔහුගේ පරිවර්තන කටයුතු 1640දී අවසන් කළත් දිගින් දිගටම ඔහුට විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණ නිසා ඔහුට ඒක පළ කරන්න හම්බ වුණේ නැහැ. බෙඩෙල්ගේ ප්‍රධාන පරිවර්තකයාට නොයෙක් නින්දා අපහාස එල්ල වුණා. බෙඩෙල්වත් අත්අඩංගුවට අරගෙන හිරේ දැම්මා. තියෙන කරදර මදිවට 1641දී ඉංග්‍රීසි අයට විරුද්ධව බිහිසුණු කැරැල්ලක් ඇති වුණා. බෙඩෙල් ඉංග්‍රීසි ජාතිකයෙක් වුණත් අයර්ලන්ත ජාතිකයන් ඔහුව ආරක්ෂා කළා. එහෙම කළේ ඔහු අයර්ලන්ත ජාතිකයන් ගැන අවංක සැලකිල්ලක් දක්වපු නිසයි. හැබැයි පස්සේ කැරලිකරුවන්ගේ අතට අහු වුණ බෙඩෙල්ව හිර කළේ ගොඩක් දුෂ්කර තත්වයන් යටතෙයි. ඔහු වැඩි කල් යන්න කලින් මිය ගියා. ඒ 1642දියි. ඒ නිසා ඔහුට ඔහුගේ පරිවර්තනය පළ කරන්න බැරි වුණා.
බෙඩෙල්ගේ මුල් අත්පිටපතේ පළවෙනි පිටුව 1640දී විතර සහ 1685දී පළ කරපු බයිබලය
බෙඩෙල්ගේ නිවස කොල්ල කාලා විනාශ කරද්දී තව පොඩ්ඩෙන් ඔහු කරපු පරිවර්තන හැම එකක්ම නැති වෙනවා. ඒත් ඔහුගේ කිට්ටු යාළුවෙක් ඔහු පරිවර්තනය කරපු බයිබලයේ කොටස් බේරගත්තා. පස්සේ කාලෙක අයර්ලන්තයේ අගරදගුරු වුණ නාසිසස් මාර්ෂ් 1685දී බෙඩෙල්ගේ බයිබලය පළ කරන්න නිර්භීතව ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒ සඳහා වියදම දැරුවේ රොබට් බොයිල් කියන විද්‍යාඥයායි.
පුංචි වුණත් වැදගත් පියවරක්
බෙඩෙල්ගේ බයිබලය ලෝක ප්‍රසිද්ධ වුණේ නැහැ. ඒත් අයර්ලන්ත භාෂාව කතා කරන අයට බයිබලය පහසුවෙන්ම තේරුම්ගන්න ඒක පුංචි වුණත් වැදගත් පියවරක්. අයර්ලන්තයේ හා ස්කොට්ලන්තයේ විතරක් නෙමෙයි තවත් හුඟක් තැන්වල ඉන්න අයර්ලන්ත භාෂාව කතා කරන අයට මේක ගොඩක් වටිනවා. දැන් ඒගොල්ලන්ට පුළුවන් දෙවිගේ වචනය තමන්ට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් භාෂාවකින් කියවලා හිතට ගන්න.—මතෙව් 5:3, 6.
“බෙඩෙල්ගේ බයිබලය නිසා අපේම මව් භාෂාවෙන් බයිබලය කියවන්න ලැබෙනවා. මටයි මගේ පවුලේ අයටයි දේවවචනයේ තියෙන වටිනා සත්‍යයන් දැනගන්න මඟ විවෘත කෙරුවේ මේ බයිබලයයි”
දෙවිගේ වචනයේ තියෙන සත්‍යය දැනගන්න ආසාවෙන් හිටපු අයට මෑතක් වෙන තුරුම බෙඩෙල්ගේ බයිබලය උදව් වෙලා තියෙනවා. ඒ වගේ ආසාවෙන් හිටපු අයර්ලන්ත භාෂාව කතා කරන කෙනෙක් මෙහෙම කිව්වා. “බෙඩෙල්ගේ බයිබලය නිසා අපේම මව් භාෂාවෙන් බයිබලය කියවන්න ලැබෙනවා. මටයි මගේ පවුලේ අයටයි දේවවචනයේ තියෙන වටිනා සත්‍යයන් දැනගන්න මඟ විවෘත කෙරුවේ මේ බයිබලයයි.”