දෙවියන් දුන්න නීති සාධාරණද?
මිනී මැරුමක් කළා කියන බොරු සාක්ෂි මත බටහිර රටක දෙන්නෙක්ට මරණ දඬුවම නියම කළා. ඒත් පස්සේ කාලෙක සත්‍යය හෙළි වුණාම නීතිඥයන්ට එක් කෙනෙක්ව නිදහස් කරගන්න පුළුවන් වුණත් අනිත් කෙනාව මරණයට පත් කරලා තිබුණ නිසා එයාට සාධාරණයක් ඉටු කරන්න කාටවත් බැරි වුණා.
ඒ වගේ අසාධාරණකම් ඕනම රටක සිද්ධ වෙන්න පුළුවන්. ඒත් බයිබලයේ කියන්නේ “ඔබ යුක්තිය හා සාධාරණය ඉටු කළ යුතුමයි” කියලයි. (ද්විතීය කතාව 16:20) විනිශ්චයකරුවන් සාධාරණව කටයුතු කරද්දී රටවැසියන් ලොකු සහනයක් අද්දකිනවා. දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියේ කිසිම අසාධාරණයක් කරන්න ඉඩකඩ සැලසුණේ නැහැ. “දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරන” කෙනෙක්ද කියලා ඔහු දුන්න නීතිය මාර්ගයෙන් හොයලා බලමු.—ද්විතීය කතාව 32:4.
විනිශ්චයකරුවන්ට තිබුණ සුදුසුකම්
විනිශ්චයකරුවන් අල්ලස් ගන්නේ නැති සාධාරණව කටයුතු කරන දක්ෂ අය නම් රටවැසියන්ට ඒක ලොකු සහනයක්. ඔවුන් ඒ විදිහට ක්‍රියා කරන අය වෙන්න ඕන කියලා දෙවියන් දුන්න නීතියේ පෙන්නලා තිබුණා. ඊශ්‍රායෙල්වරුන් පාළුකරයේ ගමන් කරද්දී ඔවුන්ව විනිශ්චය කරන්න “අයුතු ලෙස ලාභ ප්‍රයෝජන ගැනීම පිළිකුල් කරන, දෙවිට ගරුබිය දක්වන, විශ්වාසවන්ත අයව” තෝරගන්න කියලා දෙවියන් මෝසෙස්ට කිව්වා. (නික්මයාම 18:21, 22) අවුරුදු 40කට පස්සේ දෙවියන් නැවතත් කිව්වේ “ප්‍රඥාවන්ත, දක්ෂ, අද්දැකීම් ඇති පුරුෂයන්ව” විනිශ්චයකරුවන් හැටියට පත් කරන්න කියලයි.—ද්විතීය කතාව 1:13-17.
සියවස් ගණනකට පස්සේ යෙහෝෂපාට්a රජු විනිශ්චයකරුවන්ට මෙහෙම අණ කළා. “ඔබ කරන මේ කාර්යය සැහැල්ලුවට ගන්න එපා. මන්ද ඔබ මේ දේ කරන්නේ යෙහෝවා දෙවි වෙනුවෙනුයි. ඒ නිසා ඔබ නඩු විභාග කරද්දී දෙවි ඔබ සමඟ සිටියි. ඔබ තුළ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුයි. මන්ද අපේ දෙවි වන යෙහෝවා අධර්මිෂ්ඨකම් නොකරන, අල්ලස් නොගන්නා දෙවි කෙනෙකි.” (2 ලේකම් 19:6, 7) උස් පහත් භේද නිසා හරි, අල්ලස් නිසා හරි, විනිශ්චයකරුවන් තමන්ගේ තීරණ වෙනස් කරනවා නම් දෙවියන්ට ගණන් දෙන්න ඔවුන්ට සිද්ධ වෙනවා කියලා රජ මතක් කළා.
ඊශ්‍රායෙල් විනිශ්චයකරුවන් ඒ විදිහට දෙවියන්ගේ උසස් ප්‍රමිතිවලට අනුව නඩු විභාග කරද්දී මිනිසුන්ට ලොකු ආරක්ෂාවක් දැනුණා. දෙවියන් නීතිවලට අමතරව ප්‍රතිපත්ති කීපයකුත් දුන්නා. විනිශ්චයකරුවන්ට සාධාරණ තීන්දුවක් දෙන්න විශේෂයෙන්ම බැරෑරුම් කාරණා හසුරුවද්දී ඒ ප්‍රතිපත්ති ප්‍රයොජනවත් වුණා. අපි ඒ ප්රතිපත්තිවලින් කීපයක් බලමු.
සාධාරණ තීන්දුවක් දෙන්න මඟ පාදන ප්‍රතිපත්ති
විනිශ්චයකරුවන් හැටියට පත් කරපු අය ප්‍රඥාවන්ත, දක්ෂ අය වුණත් ඔවුන්ගේ හැකියාවන් මත තීරණ ගන්න ඔවුන්ට අවසර තිබුණේ නැහැ. සාධාරණ තීරණ ගන්න අවශ්‍ය මඟ පෙන්වීම් හා ප්‍රතිපත්ති දෙවියන් ලබා දුන්නා. ඒවායින් කීපයක් බලමු.
හොඳින් හොයලා බලන්න. ‘ඊශ්‍රායෙල් ජාතිකයන් දෙදෙනෙක් අතරේ ගැටලුවක් ඇති වන විට පැති නොගෙන යුක්තිය ඉටු කරන්න’ කියලා දෙවියන් විනිශ්චයකරුවන්ට කිව්වා. (ද්විතීය කතාව 1:16) සාධාරණ තීන්දුවක් දෙන්න පුළුවන් වෙන්නේ නඩුවට සම්බන්ධ හැම තොරතුරක්ම දැනගත්තොත් විතරයි. ඒ නිසා විනිශ්චය කරද්දී “හොඳින් සොයා බැලිය යුතුයි” කියලා දෙවියන් කිව්වා. අපරාධ නඩුවක් විභාග කරද්දී නඩුව ඉදිරියට ගෙනියන්න කලින් චෝදනා ‘ඔප්පු වෙන්න’ අවශ්‍ය වුණා.—ද්විතීය කතාව 13:14; 17:4.
සාක්ෂිකරුවන් ඉන්න ඕනේ. නඩු විභාගයකදී සාක්ෂි අත්‍යවශ්‍යයි. දෙවියන් දුන්න නීතියේ මෙහෙම සඳහන් වුණා. “යම් කෙනෙක් අතින් යම් වරදක් හෝ පාපයක් සිදු වුණොත් ඔහුව වරදකරුවෙකු ලෙස තීන්දු කිරීමට එක් කෙනෙකුගේ සාක්ෂිය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් ඒ කාරණය ස්ථිර කළ යුතුයි.” (ද්විතීය කතාව 19:15) ඒ වගේම සාක්ෂි දෙන අයටත් මෙහෙම අණ කරලා තිබුණා. “යමෙකු ගැන බොරු ප්‍රචාරය නොකරන්න. දුෂ්ට කෙනෙකු සමඟ කුමන්ත්‍රණය කර නිර්දෝෂ පුද්ගලයෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.”—නික්මයාම 23:1.
සාක්ෂි දෙන අය ඇත්ත කියන්න ඕනේ. නඩුවකදී බොරු සාක්ෂි දෙන අයට තදින් අවවාද කළේ මෙහෙමයි. “විනිශ්චයකරුවන් ඒ කාරණය ගැන හොඳින් සොයා බැලිය යුතුයි. චෝදනාව කළ තැනැත්තා තම සහෝදරයාට විරුද්ධව බොරු චෝදනාවක් කර ඇති බව ඔප්පු වෙනවා නම් ඔබ අතරේ එවැනි දුෂ්ටකමක් පැවතීමට කොහෙත්ම ඉඩ නොදිය යුතුයි. ඒ තැනැත්තා තමාගේ සහෝදරයා පිටට ගෙන ඒමට උත්සාහ කළ දඬුවමම ඔහුට ලබා දෙන්න.” (ද්විතීය කතාව 19:18, 19) කෙනෙක් තව කෙනෙක්ගේ මුදල් හෝ දේපළ ලබාගන්න බොරු සාක්ෂි කිව්වොත් ඔහුට ඒ ප්‍රමාණයටම වන්දියක් ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේම කෙනෙක් තව කෙනෙක්ව මරණයට පත් කරන්න බොරු සාක්ෂි කිව්වොත් ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඒ උපදෙස් ඇත්ත කතා කරන්න පෙලඹීමක් වුණා.
සාධාරණ විනිශ්චයක් දෙන්න ඕනේ. හැම සාක්ෂියක්ම සලකලා බැලුවට පස්සේ තීන්දුවක් දෙන්න විනිශ්චයකරුවන්ට සිද්ධ වුණා. ක්‍රියා කරන්න ඕන විදිහ ගැන දෙවියන් මෙහෙම කිව්වා. “නඩු විභාගයකදී ඔබ අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතුයි. දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන් හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක් දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි.” (ලෙවී කතාව 19:15) නඩු විභාගයකදී තීන්දුව දෙන්න ඕන සලකා බැලූ සැබෑ තොරතුරු මත මිස කෙනෙක්ගේ පිටත පෙනුම හෝ තත්වය දිහා බලලා නෙමෙයි.
ඒ ප්‍රතිපත්ති සඳහන් වුණේ සියවස් ගණනාවකට කලින් දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියේ වුණත් ඒවා අදටත් අදාළයි. ඒ ප්‍රතිපත්තිවලට එකඟව තීරණ දෙනවා නම් කිසිම කෙනෙක්ට අසාධාරණ තීන්දුවක්වත්, වැරදි තීන්දුවක්වත් ලැබෙන්නේ නැහැ.
දෙවි දුන්න නීතියේ සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් සාධාරණ තීන්දුවක් දෙන්න පුළුවන් වෙනවා
යුක්තිය ඉටු කළ නිසා සහනය ලැබූ සෙනඟ
ඊශ්‍රායෙල්වරුන්ගෙන් මෝසෙස් මෙහෙම ඇහුවා. “මා ඔබට කියා දෙන මේ නීති මාලාව තරම් ධර්මිෂ්ඨ නීති මාලාවක් තිබෙන්නේ වෙන කා ළඟද?” (ද්විතීය කතාව 4:8) වෙන කිසිම ජාතියකට ඒ වගේ නීති මාලාවක් තිබුණේ නැහැ. දෙවියන්ගේ නීති පිළිපැද්ද නිසා සලමොන් රජුගේ පාලන කාලයේදී මිනිසුන් “සුරක්ෂිතව කල් ගෙව්වා.” සාමය සමෘද්ධිය දසත පැතිර තිබුණා. “කෑම බීම නොඅඩුව තිබුණු අතර ඔවුහු සතුටින් ජීවිතය ගත කළා.”—1 රාජාවලිය 4:20, 25.
ඒත් කාලයක් යද්දී ඊශ්‍රායෙල්වරුන් ක්‍රියා කරපු විදිහ ගැන යෙරෙමියා මෙහෙම කිව්වා. “ඔවුහු යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් නොසලකාහැරියෝය. එබැවින් ඔවුන් තුළ කිසි ප්‍රඥාවක් තිබිය හැකිද?” (යෙරෙමියා 8:9) දෙවියන්ට පිටු පෑව නිසා යෙරුසලම “පිළිකුල්සහගත දේවලින්” පිරුණු අතර ‘ලේ වගුරුවනු ලැබූ නුවරක්’ බවට පත් වුණා. අන්තිමේදී ඒ නගරය විනාශ වෙලා අවුරුදු 70ක් පුරා පාළුවට ගියා.—එසකියෙල් 22:2; යෙරෙමියා 25:11.
යෙසායා ජීවත් වුණේ ඊශ්‍රායෙලයේ දුක් කරදර තිබුණු කාලයකයි. ඒත් දෙවියන් හා ඔහුගේ නීතිවල තියෙන වටිනාකම ගැන යෙසායා මෙහෙම කිව්වා. “පොළොවේ වැසියන්ව විනිශ්චය කිරීමට ඔබ පැමිණෙන විට ඔවුහු ධර්මිෂ්ඨකම කුමක්ද කියා තේරුම්ගන්නෝය.”—යෙසායා 26:9.
දේවරාජ්‍යයේ රජු වන යේසුස් පාලනය කරන කාලයේදී ඔහු ක්‍රියා කරන ආකාරය ගැන යෙසායා දෙවිගේ මඟ පෙන්වීමෙන් මෙහෙම ලිව්වා. “ඔහු මතුපිටින් දකින දේ අනුව විනිශ්චය නොකරයි. ඔහුට යමක් ඇසුණු පමණින්ද ඔහු දඬුවම් නොකරයි. ඔහු දිලිඳු අයව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි. ඔහු සාධාරණව කටයුතු කර යටහත්පහත් අයගේ ප්‍රයෝජනය සඳහා අවවාද දෙයි.” (යෙසායා 11:3, 4) යේසුස්ගේ පාලනය යටතේ ජීවත් වෙන්න ලැබෙන අයට මොන තරම් ආශීර්වාද භුක්ති විඳින්න ලැබෙයිද!—මතෙව් 6:10.
a යෙහෝෂපාට් යන නමේ තේරුම “යෙහෝවා දෙවි විනිශ්චයකරු” යන්නයි.