පාඩම් අංකය 6—ශුද්ධ ලියවිල්ලේ ක්‍රිස්තියානි ග්‍රීක පිටපත්
ග්‍රීක ලියවිල්ල පිටපත් කිරීමත්, ග්‍රීක් භාෂාවෙන් හා වෙනත් භාෂාවලින් අද දක්වා එය විකාශනය වූ අයුරු; වර්තමානයේ තිබෙන පිටපත්වල විශ්වාසවන්තභාවය.
මුල් ක්‍රිස්තියානීහු යෙහෝවාගේ ලිඛිත වචනය ලොව පුරාම පතළ කිරීමෙහි හා එය ඉගැන්වීමෙහි කටයුතුවල නිරත වූ අය වූහ. යේසුස් ස්වර්ගයට යන්න පෙරාතුව පැවසුවේ මෙසේය. “ඔබ මතට ශුද්ධාත්මය පැමිණි විට ඔබට බලය ලැබෙනවා ඇත. එවිට ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද මා ගැන සාක්ෂිකරුවෝ වන්නහුය.” (යෙසා. 40:8; ක්‍රියා 1:8) ඔවුහු යේසුස්ගේ මෙම වදන් බැරෑරුම්ව සැලකූහ. යේසුස් පුරෝකථනය කළාක් මෙන් මුල් ගෝලයන් 120දෙනාට දෙවිගේ බලය ලැබිණ. එය සිදු වූයේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදීය. එදිනම මෙම නව ඉගැන්වීමේ ක්‍රියාවලියේ පෙරමුණ ගත් පේතෘස් ඉතා ප්‍රබල සාක්ෂියක් දුන්නේය. ඊට සවන් දුන් බොහෝදෙනෙකු මුළු සිතින්ම තමන් ඇසූ දේ පිළිගත් අතර, අලුතින් පිහිටුවා තිබුණු ක්‍රිස්තියානි සභාවට සාමාජිකයන් 3,000ක් පමණ එකතු විය.—ක්‍රියා 2:14-42.
2 එතෙක් ඉතිහාසයේ වෙනත් කිසිම කණ්ඩායමකට වඩා වෙනස්ව ක්‍රියාත්මක වූ යේසුස් ක්‍රිස්තුස්ගේ මෙම ගෝලයන් දියත් කළ ඉගැන්වීමේ ක්‍රියාවලිය එවකට සිටි ජනයා දැනගෙන සිටි ලෝකය පුරාම පතළ විය. (කොලො. 1:23) මහත් කැපවීමකින් ක්‍රියා කළ යෙහෝවාගේ මෙම සාක්ෂිකරුවෝ ගෙයින් ගෙට, නුවරින් නුවරට, රටින් රටට වෙහෙස මහන්සිය නොබලා ගමන් කරමින් “ශුභ දේවල් ගැන ශුභාරංචි ප්‍රකාශ” කිරීමෙහි කාර්යයෙහි නිරත වූහ. (රෝම 10:15) යේසුස්ගේ ජීවිත පූජාවෙන් ඉටු වන දේ, නැවත නැඟිටීමක් තිබෙන බවට වූ බලාපොරොත්තුව සහ ඉදිරියේ පැමිණෙන දේවරාජ්‍යයේ පාලනය මෙම ශුභාරංචියට අයත් විය. (1 කොරි. 15:1-3, 20-22, 50; යාකො. 2:5) මෙවැනි අදෘශ්‍යමාන දේවල් ගැන මීට පෙරාතුව මෙතරම් ප්‍රබල සාක්ෂියක් දී තිබුණේ නැත. ‘නොපෙනෙන නමුත් සැබෑ දේවල් පිළිබඳ පැහැදිලි සාක්ෂියක්’ එමගින් ලැබිණ. ඒ හේතුවෙන් යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන විශ්වයේ පාලක දෙවි ලෙස යෙහෝවාව පිළිගත් බොහෝදෙනෙක් ඇදහිල්ල දක්වන්නට පටන්ගත්හ.—හෙබ්‍රෙ. 11:1; ක්‍රියා 4:24; 1 තිමෝ. 1:14-17.
3 ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අයත් වූ මෙම දේවසේවකයන්ට සත්‍යය ගැන හොඳ පැහැදීමක් තිබිණ. කියවීමේ හා ලිවීමේ හැකියාවද ඔවුන්ට තිබිණ. ශුද්ධ ලියවිල්ල ගැනත් ඔවුහු හොඳින් දැනුවත් වී සිටියෝය. ලෝක සිදුවීම් ගැන ඔවුන්ට පැහැදිලි අවබෝධයක් තිබිණ. ඔවුහු විවිධ ප්‍රදේශවලට ගමන් කළ අයද වූහ. පළඟැටියන් මෙන් ශුභාරංචිය පතුරුවා හැරීමේ කාර්යයෙහි නිරත වූ විට ඔවුහු කිසිදු බාධාවක් ඉදිරියෙහි පසුබට නොවූහ. (ක්‍රියා 2:7-11, 41; යෝවෙල් 2:7-11, 25) ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේදී ඔවුන් හමු වූ පුද්ගලයන් බොහෝ දුරට වර්තමානයේ සිටින ජනතාවට සමාන විය.
4 “ජීවනයේ වචනය” අඛණ්ඩව දේශනා කළ මුල් ක්‍රිස්තියානීහු තමන් අතට පත්වූ සෑම බයිබල් පිටපතක්ම හොඳින් භාවිත කළෝය. (ෆිලි. 2:15, 16; 2 තිමෝ. 4:13) ‘යේසුස් ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය’ ලේඛනගත කිරීමට යෙහෝවා දෙවි විසින් මතෙව්, මාක්, ලූක් සහ යොහන් යන සිව්දෙනාට මඟ පෙන්වීම් සපයන ලදි. (මාක් 1:1; මතෙ. 1:1) පේතෘස්, පාවුල්, යොහන්, යාකොබ් සහ යූද් වැනි අය දෙවිගේ මඟ පෙන්වීම ඇතුව ලිපි ලිවූහ. (2 පේතෘ. 3:15, 16) තවත් අය මෙම ලියවිලි පිටපත් කිරීමෙහි කටයුත්තෙහි නිරත වූ අතර, ලොව පුරා බිහි වූ සභාවන් අතර එම පිටපත් බෙදාහරින ලදි. (කොලො. 4:16) මීට අමතරව “යෙරුසලමේ සිටි ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන්” දෙවිගේ මඟ පෙන්වීම ඇතුව පිළිපැදිය යුතු දේ සම්බන්ධයෙන් වැදගත් තීරණ ගත් අතර, මේවා සභාවේ මතු ප්‍රයෝජනය සඳහා වාර්තා කරනු ලැබීය. මෙම පාලක මණ්ඩලය ලොව පුරා විසිර සිටි සභාවන්ට ලිපි මාර්ගයෙන් උපදෙස් දුන්නේය. (ක්‍රියා 5:29-32; 15:2, 6, 22-29; 16:4) මෙම ලිපි බෙදාහරිනු ලැබුවේ සංචාරක නියෝජිතයන් මාර්ගයෙනි.
5 ශුද්ධ ලියවිල්ල පුළුල්ව බෙදාහැරීමේ කටයුත්ත තවත් වේගවත් කිරීමටත්, එය වඩාත් පහසු අන්දමකින් පරිහරණය කිරීමටත් මුල් ක්‍රිස්තියානීහු අකුළන ලියවිලි වෙනුවට කෝඩෙක්ස් ක්‍රමයෙන් මෙම ලියවිලි පිළියෙල කිරීමට පටන්ගත්තෝය. කෝඩෙක්ස් ක්‍රමය බොහෝ දුරට අද භාවිත කරන පොතකට සමානයි. අකුළන ලියවිල්ලක් කියවීමට සෑහෙන අපහසුතාවක් තිබුණත් කෝඩෙක්ස් එකක් පහසුවෙන් පෙරළිය හැකි පිටුවලින් යුක්තය. කෝඩෙක්ස් ක්‍රමයෙන් ශුද්ධ ලියවිල්ලට අයත් පොත් කිහිපයක් එකට ගොනු කරන්නටත් හැකි විය. අකුළන ලියවිලි නම් වෙන වෙනම තබාගැනීමට සිදු වූ නිසා යම් අපහසුතාවක් තිබිණ. ඇත්තෙන්ම මුල් ක්‍රිස්තියානීහු කෝඩෙක්ස් ක්‍රමය භාවිතයට මහත් කැමැත්තක් දැක්වූහ. ඇතැම් විද්වතුන් සිතන්නේ එම ක්‍රමය ලොවට හඳුන්වා දුන්නේ මුල් ක්‍රිස්තියානීන් බවය. මෙයට හේතුව වන්නේ ලෝකයේ අනිකුත් ලේඛකයන් එම ක්‍රමය භාවිත කිරීමට මුලදී එතරම් කැමැත්තක් නොදැක්වූ නිසාය. ඇත්තෙන්ම දෙවන හා තුන්වන සියවසේ සොයාගත් කෝඩෙක්ස් ලියවිලිවලින් බහුතරයම ක්‍රිස්තියානි ලියවිලි වේ.a
6 කීනි භාෂාව (පොදු ග්‍රීක භාෂාව). සම්භාව්‍ය ග්‍රීක භාෂාව භාවිත කළ කාල වකවානුව ක්‍රි.පූ. නවවන සියවසේ සිට ක්‍රි.පූ. සිව්වන සියවස දක්වා විහිදී ගියේය. ඒ කාලයේදී ඇටික් සහ අයියොනික් උප භාෂාද ප්‍රචලිත විය. ග්‍රීක නාට්‍යවේදීන්, කවියන්, කථිකයන්, ඓතිහාසඥයන්, දාර්ශනිකයන් සහ විද්‍යාඥයන් බොහෝදෙනෙකු ප්‍රසිද්ධ වූයේ එම කාල වකවානුවේදීය. මෙහිදී කැපීපෙනෙන සියවස් වන්නේ ක්‍රි.පූ. පස්වන සහ සිව්වන සියවස්ය. ඒ කාලයේදී හෝමර්, හෙරොඩෝටස්, සොක්රටීස්, ප්ලේටෝ සහ වෙනත් අය ප්‍රසිද්ධ වූහ. කීනි නැත්නම් පොදු ග්‍රීක භාෂාව භාවිත කළ යුගය වූයේ ක්‍රි.පූ. සිව්වන සියවසේ සිට ක්‍රි.ව. හයවන සියවස දක්වා දිගු වු කාල වකවානුවය. මෙම භාෂාව ප්‍රචලිත වූයේ මහ ඇලෙක්සැන්ඩර්ගේ යුද ව්‍යාපාරය හේතුවෙනුයි. ඔහුගේ හමුදාව ග්‍රීසියේ සෑම පළාතකින්ම පැමිණි සෙබළුන්ගෙන් සෑදුණු එකක් විය. ඔවුන් එකිනෙකට වෙනස් ග්‍රීක උපභාෂා ගණනාවක් කතා කළ නිසා සැමගේ පහසුව සඳහා පොදු භාෂාවක් බිහි විය. එය හැඳින්වූයේ කීනි ලෙසයි. ඇලෙක්සැන්ඩර්ගේ ජයග්‍රාහී යුද ව්‍යාපාරය ඊජිප්තුව, ආසියාව හා ඉන්දියාව දක්වා ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් ලෙස කීනි භාෂාව බොහෝ ජනයා අතර පැතිර ගියේය. ඒ භාෂාව ජාත්‍යන්තර භාෂාවක් ලෙස සියවස් ගණනාවක් පුරාම භාවිත කරනු ලැබුවේ එමනිසයි. සෙප්ටූඅජින්ට් අනුවාදයේ භාවිත කර ඇති ග්‍රීක භාෂාව ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රි.පූ. තුන්වන හා දෙවන සියවස්වල භාවිත කළ කීනි ග්‍රීක භාෂාව විය.
7 යේසුස් සහ ඔහුගේ ගෝලයන් ජීවත් වූ කාලයේදී රෝම අධිරාජ්‍යය පුරාම ජාත්‍යන්තර භාෂාව වශයෙන් භාවිත කළේ කීනි භාෂාවයි. මේ බවට සාක්ෂි බයිබලයෙන්ද දැකගත හැකිය. යේසුස්ව වධකණුවක එල්ලූ විට ඔහුගේ හිසට උඩින් දැමූ දැන්වීම යුදෙව්වන් කතා හෙබ්‍රෙව් භාෂාවෙන් පමණක් නොව, දේශයේ නිල භාෂාව වූ ලතින් භාෂාවෙන්ද රෝමයේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සහ ඇතන්ස්වල මෙන් යෙරුසලමේ පොදු භාෂාව වූ ග්‍රීක භාෂාවෙන්ද එය පිළියෙල කරන ලදි. (යොහන් 19:19,20; ක්‍රියා 6:1) ක්‍රියා 9:29හි සඳහන් වන ආකාරයට පාවුල් යෙරුසලමේ ශුභාරංචිය දේශනා කළේ ග්‍රීක භාෂාව කතා කරන යුදෙව්වන්ටය. ඒ කාලය වන විට කීනි භාෂාව ඉතා ප්‍රබල, හොඳින් ව්‍යාප්ත වී තිබුණු භාෂාවක් විය. එමනිසා යෙහෝවා දෙවිගේ වචනය පතළ කිරීමේ වැදගත් අරමුණ ඉටු කිරීමට එය ඉතා කදිම මාධ්‍යයයක් වූ බවට සැකයක් නැත.
ග්‍රීක භාෂාවෙන් සම්පාදනය කළ පිටපත්
8 යෙහෝවා දෙවි හෙබ්‍රෙව් ලියවිල්ල තුළ සත්‍යයේ වචනය ආරක්ෂා කිරීමට පියවර ගත් අයුරු කලින් පරිච්ඡේදයෙන් අපි දුටුවෙමු. යේසුස් ක්‍රිස්තුස්ගේ මුල් ගෝලයන් විසින් ලියන ලද පොත් සම්බන්ධයෙන් අපට පෙනී යන්නේ මොනවාද? අපගේ ප්‍රයෝජනය සඳහා ඒවාත් මැනවින් ආරක්ෂා වී ඇද්ද? ග්‍රීක බසින් හා වෙනත් භාෂාවලින් ආරක්ෂා වී තිබෙන පිටපත් සම්භාරය පරීක්ෂා කිරීමෙන් පෙනී යන්නේ එවැන්නක් සිදු වී ඇති බවය. කලින් සඳහන් කළ පරිදි ග්‍රීක ලියවිල්ලෙහි සම්මත පොත් 27ක් තිබේ. මෙම පොත් 27 පිටපත් කිරීමේ කටයුතු සලකා බැලීමෙන් මුල් ග්‍රීක පිටපත්වල තොරතුරු වර්තමානය දක්වා හොඳින් ආරක්ෂා වී ඇති බව තහවුරු වේ.
9 මුල්ම ග්‍රීක ලියවිලි. ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලට අයත් සම්මත පොත් 27 ලියන ලද්දේ එවකට පොදු ජනයා භාවිත කළ ග්‍රීක භාෂාවෙනි. එනමුත් පෙනෙන පරිදි මතෙව්ගේ පොත යුදෙව් ජනයාගේ ප්‍රයෝජනය සඳහා හෙබ්‍රෙව් ලියවිලි ලිවීමට භාවිත කළ හෙබ්‍රෙව් භාෂාවෙන් මුලදී ලියන ලදි. ක්‍රිස්තු වර්ෂ සිව්වන සියවසේ බයිබලය පරිවර්තනය කළ ජෙරෝම් පැවසුවේ මෙම පොත පසුව ග්‍රීක භාෂාවට පරිවර්තනය කළ බවය. මතෙව් රෝම පරිපාලනය යටතේ රජයේ සේවකයෙකු හා අයබදු එකතු කරන්නෙකු ලෙස සේවය කළ නිසා හෙබ්‍රෙව්, ලතින් සහ ග්‍රීක භාෂා ගැන හොඳ දැනුමක් ඔහුට තිබෙන්නට ඇත. ඒ නිසා එහි පරිවර්තනය ඔහු විසින්ම කරනු ලැබූ බවට සිතිය හැකියි.—මාක් 2:14-17.
10 ක්‍රිස්තියානීන් වූ අනිකුත් බයිබල් ලේඛකයන් වන මාක්, ලූක්, යොහන්, පාවුල්, පේතෘස්, යාකොබ් සහ යූද් තම පොත් හෝ ලිපි ලිව්වේ මුල් සියවසේ ක්‍රිස්තියානීන් හා පොදු ජනයා පහසුවෙන් තේරුම්ගත් පොදු භාෂාව වූ කීනි භාෂාවෙනි. අවසාන ලේඛනය පිළියෙල කරන ලද්දේ ක්‍රි.ව. 98දී යොහන් විසිනි. අප දන්නා තරමට මෙම මුල් ලියවිලිවලින් එකක්වත් වර්තමානය දක්වා ආරක්ෂා වී නැත. එනමුත් එම මුල්ම පිටපත්වලින් පිටපත්ද, එම පිටපත්වලින් තවත් පිටපත්ද, එකම වර්ගයේ පිටපත් සමූහයන්ද අද දක්වා ආරක්ෂා වී තිබේ. එමනිසා ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලට අයත් පිටපත් සම්භාරයක් අප සතුය.
11 පිටපත් 13,000කට වැඩි ප්‍රමාණයක්. ග්‍රීක ශුද්ධ ලියවිල්ලට අයත් සම්මත ග්‍රන්ථවල පිටපත් රාශියක් අදදින අප අතට පත්ව තිබේ. එම ශුද්ධ ලියවිල්ලේ විශාල කොටස් මින් සමහරක අන්තර්ගතය. තවත් සමහරක ඇත්තේ සුළු කොටස් පමණි. එක්තරා අධ්‍යයනයකට අනුව මුල් ග්‍රීක බසින් පිටපත් 5,000කට වැඩි ප්‍රමාණයක් තිබේ. මීට අමතරව වෙනත් භාෂාවලින් පිටපත් 8,000කට වැඩි ගණනක්ද තිබේ. මින් අදහස් කරන්නේ පිටපත් 13,000කට වැඩි ගණනක් ඇති බවය. ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ සිට 16වන සියවස දක්වා පැවති මෙම පිටපත් මුල් ලියවිලිවල තිබූ නිවැරදි ස්වරූපය තීරණය කිරීමට මහෝපකාරී වේ. මෙම පිටපත් රාශිය අතුරින් පැරණිම එක වන්නේ එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරේ ජොන් රයිලන්ඩ්ස් පුස්තකාලයේ පිහිටි යොහන්ගේ සුවිශේෂයේ සම්පාදනය කළ පැපිරස් පිටපතේ කොටසයි. එය හඳුන්වා ඇත්තේ P52 යන අංකයෙනි. මෙම පිටපත දෙවන සියවසේ මුල් භාගයේ, සමහරවිට ක්‍රි.ව. 125දී පමණ සම්පාදනය කර ඇති බවට විශ්වාස කෙරේ.b මින් අදහස් කරන්නේ මුල් පිටපත ලිවීමෙන් අවුරුදු 25ක් පමණ කෙටි කාලයකට පසු මෙම පිටපත නිමවූ බවයි. සාමාන්‍යයෙන් බොහෝ ජනප්‍රිය සම්භාව්‍ය කෘති ලියූ ලේඛකයන්ගේ පොත්පත්වල නිරවද්‍යතාව ඇගයීමට තිබෙන්නේ පිටපත් අතළොස්සක් පමණි. එමනිසා ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලිවල නිරවද්‍යතාව තහවුරු කිරීමට අපට ඉතා බහුල වූ සාක්ෂි තිබීම සතුටට කරුණකි.
12 පැපිරස් පිටපත්. සෙප්ටූඅජින්ට් අනුවාදයේ මුල් පිටපත් සඳහා පැපිරස් භාවිත කළා සේම, ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලිවල පිටපත් සඳහා පැපිරස් භාවිත කරනු ලැබීය. බයිබලය සඳහා පැපිරස් භාවිතය ක්‍රි.ව. සිව්වන සියවස දක්වා පැවතිණ. ක්‍රිස්තියානි සභාවලට ලිපි ලියූ විට බයිබල් ලේඛකයන් භාවිත කළේ පැපිරස්ය.
13 මෙම පැපිරස් පිටපත්වලින් වැඩි හරියක් සොයාගෙන තිබෙන්නේ ඊජිප්තුවේ ෆායියුම් ප්‍රදේශයෙනි. දහනවවන සියවසේ අගභාගයේදී බයිබලයේ පැපිරස් පිටපත් කිහිපයක්ම සොයාගන්නා ලදි. මේ අතුරින් කැපීපෙනෙන සොයාගැනීමක් මහජනයාට එළිදරව් කළේ 1931දීය. කෝඩෙක්ස් ක්‍රමයට සකසා තිබූ පිටපත් 11ක් සොයාගනු ලැබීය. හෙබ්‍රෙව් ලියවිල්ලෙන් පොත් 8ක්ද, ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලෙන් පොත් 15ක්ද ඊට ඇතුළත් විය. මෙම පොත් සියල්ලම ලියා තිබුණේ ග්‍රීක භාෂාවෙනි. ඒවා ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ සිට සිව්වන සියවස දක්වා කාලයේදී සම්පාදනය කළ පිටපත්ය. ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලිවලට අයත් පිටපත්වලින් වැඩි හරියක් චෙස්ටර් බීටිගේ පිටපත් එකතුවට සම්බන්ධයි. ඒවා අංකනය කර තිබෙන්නේ P45, P46 සහ P47 ලෙසටයි. මෙහිදී “P” යන්න භාවිත කර තිබෙන්නේ “පැපිරස්” නියෝජනය කිරීමටය.
14 තවත් සුවිශේෂී පිටපත් එකතුවක් 1956 සිට 1961 දක්වා කාලයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරේදී එළි දක්වන ලදි. මෙම පිටපත් එකතුව හඳුන්වා ඇත්තේ බොඩ්මර් පැපිරස් එකතුව ලෙසයි. ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ මුල් භාගයේ පිටපත් කරන ලද සුවිශේෂ දෙකක් (P66 සහ P75) ඊට ඇතුළත්ය. විසිවන පිටුවේ පිළියෙල කර තිබෙන වගුවේ හෙබ්‍රෙව් සහ ග්‍රීක ලියවිල්ලට අයත් කැපීපෙනෙන ඉපැරණි පැපිරස් පිටපත් කිහිපයක් සඳහන් වී ඇත. එම වගුවේ අවසාන තීරුවේ ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය එම පැපිරස් පිටපත්වල තොරතුරු ප්‍රයෝජනයට ගත් බයිබල් පද සඳහන් කර ඇති අතර, එම ඉංග්‍රීසි බයිබලයේ පාදසටහන්වලද ඒ බව දක්වා ඇත.
15 මෙම පැපිරස් පිටපත් සොයාගැනීමෙන් තහවුරු වන්නේ බයිබලයේ සම්මත ග්රන්ථ නාමාවලිය ක්‍රිස්තියානි සභාව ආරම්භ වූ කාලයේදීම ස්ථිර කරගත් බවය. චෙස්ටර් බීටිගේ පිටපත් එකතුව අතර සුවිශේෂී පිටපත් දෙකක් මෙහිදී සඳහන් කළ යුතුයි. කෝඩෙක්ස් ක්‍රමයට අමුණා ඇති මෙම පිටපත් දෙකින් එකක සුවිශේෂ සතර සහ ක්‍රියා පොත (P45) ඇති අතර, අනික් පිටපතේ පාවුල්ගේ ලිපි 14න් 9ක්ම (P46) ඇතුළත් කර තිබේ. මින් පැහැදිලි වන්නේ ප්‍රේරිතයන්ගේ මරණයෙන් වැඩි කාලයක් යන්නට පෙර ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලි එකට අමුණා සම්මත කරගෙන තිබූ බවය. මෙම පිටපත් ඊජිප්තුව ඇතුළුව බොහෝ ප්‍රදේශවල පුළුල්ව බෙදාහැරීම සඳහා සෑහෙන කාලයක් ගත වන නිසා ශුද්ධ ලියවිල්ලට අයත් විය යුතු පොත් අඩුම තරමින් දෙවන සියවස වෙද්දී සම්මත වී තිබිණ. මේ අනුව දෙවන සියවසේ අවසානය වන විට ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලට මීට අමතර පොත් එකතු කරනු ලැබුවේ නැත. පිළිගත් ග්රන්ථ සමූහය සම්මත කරගෙන තිබිණ.
16 සත්ව හම්වලින් තැනූ පිටපත්. කලින් පාඩමේදී අප සාකච්ඡා කළ පරිදි ක්‍රි.ව. සිව්වන සියවසේ සිට පැපිරස් වෙනුවට ගව, එළු හෝ බැටළු පැටවුන්ගේ සමෙන් තනන ලද තුනී පිටු ලිවීම සඳහා භාවිත කරනු ලැබීය. අද ඉතා වැදගත් සේ සැලකෙන බයිබල් පිටපත් කිහිපයක්ම ලියන ලද්දේ මෙම හම්වලින් තැනූ පිටපත්වලය. සත්ව හම්වලින් හෙබ්‍රෙව් ලියවිල්ලේ තැනූ පිටපත් ගැන දැනටමත් තොරතුරු ඉදිරිපත් කර තිබේ. මෙම පරිච්ඡේදයේ 21වන පිටුවේ දක්වා ඇති වගුවේ සත්ව හම්වලින් තැනූ ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලි සහ හෙබ්‍රෙව් ලියවිල්ලට අයත් කැපීපෙනෙන පිටපත් කිහිපයක් සඳහන් කර ඇත. ග්‍රීක ලියවිල්ලට අයත් පිටපත් ලියනු ලැබුවේ ලොකු අකුරුවලිනි. ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලට අයත් මෙවැනි පිටපත් 274ක් ඇති බව ශබ්දකෝෂයක සඳහන් වී ඇති අතර, ඒවා ක්‍රි.ව. සිව්වන සියවසේ සිට දහවන සියවස දක්වා කාලයේදී ලියන ලදි. (New Bible Dictionary) මීට අමතරව බැඳි අකුරු ශෛලියෙන් ලියා ඇති පිටපත් 5,000කට වැඩි ප්‍රමාණයක් තිබේ.c තුනී සත්ව හම්වලින් සෑදූ මෙම පිටපත්ද ක්‍රි.ව. නවවන සියවසේ සිට මුද්‍රණ ශිල්පය ආරම්භ වූ කාලය දක්වා ලියන ලදි. ලොකු අකුරුවලින් ලියා ඇති පිටපත් ඉතා පැරණි ඒවා වූ නිසාත්, ඒවායෙහි නිරවද්‍යතාව ඉහළ මට්ටමක පවතින නිසාත්, ග්‍රීක පිටපත්වල අර්ථය නිවැරදිව දැක්වීම සඳහා නව ලොව බයිබල් පරිවර්තන කමිටුව ඒවායින් බොහෝ ප්‍රයෝජන නෙළාගෙන ඇත. “සත්ව හම්වලින් තැනූ සුවිශේෂ පිටපත් කිහිපයක්” යන වගුවෙහි ඒ පිළිබඳව තවත් තොරතුරු තිබේ.
පිටපත් සංශෝධනය කළ යුගය
17 ඉරැස්මස්ගේ පිටපත. ක්‍රිස්තු වර්ෂ 500 සිට 1000 දක්වා කාල පරිච්ඡේදය, බටහිර යුරෝපා ඉතිහාසයේ අඳුරු යුගයක් ලෙස හැඳින්වුවහොත් නිවැරදිය. ඒ කාලය පුරා රෝමානු කතෝලික සභාව බටහිර යුරෝපය පුරා සිය අණසක පතුරුවමින් සිටි අතර, ජනයාගේ අධ්‍යාපනය ඉතා පහත් මට්ටමක පැවතිණ. එනමුත් ක්‍රි.ව. 16වන සියවසේදී මුද්‍රණ ශිල්පය බිහි වීමත්, 16වන සියවසේ මුලදී සිදු වූ ‘ක්‍රිස්තියානි’ ප්‍රතිසංස්කරණය සිදු වීමත් සමඟ යුරෝපයේ වැඩි නිදහසක් පැවති අතර, ග්‍රීක භාෂාව පිළිබඳ උනන්දුවට නව ජීවයක් ලැබිණ. සුප්‍රසිද්ධ ඕලන්ද ජාතික විශාරද ඩෙසිඩීරියස් ඉරැස්මස් “අලුත් ගිවිසුමේ” සම්මත ග්‍රීක පිටපතක මුල්ම සංස්කරණය නිකුත් කළේ ඒ කාල වකවානුවේදීය. (සම්මත පිටපතක් පිළියෙල කරනු ලබන්නේ පිටපත් කිහිපයක් එකට සැසඳීමෙන් වැඩියෙන්ම භාවිත වන වචන මුල්ම වචන ලෙස පිළිගෙන නවක පිටපතක් සම්පාදනය කිරීමෙනි. මීට අමතරව විකල්ප යෙදුම් ඇත්නම් එම වචන පිළිබඳ සටහන්ද එම පිටපතට ඇතුළත් කර තිබේ.) මෙහි මුල්ම සංස්කරණය මුද්‍රණය කළේ ස්විට්සර්ලන්තයේ බැසෙල් නුවරේදීය. එනම් ජර්මනියේ ‘ක්‍රිස්තියානි’ ප්‍රතිසංස්කරණයේ ආරම්භයට වසරකට පමණ පෙරාතුවය. මුල්ම සංස්කරණයේ දෝෂ බොහොමයක් තිබුණු නිසා පිළිවෙළින් 1519, 1522, 1527 සහ 1535දී වඩාත් හොඳ තත්වයකින් යුත් සංශෝධන නිකුත් කරනු ලැබීය. තම සම්මත පිටපත පිළියෙල කිරීමට ඉරැස්මස්ට තිබුණේ බැඳි අකුරින් ලියන ලද එතරම් පැරණි නොවූ පිටපත් කිහිපයක් පමණි.
18 බටහිර යුරෝපයේ භාවිත කළ භාෂා කිහිපයකින් වඩාත් හොඳින් ශුද්ධ ලියවිල්ල පරිවර්තනය කිරීමට ඉරැස්මස්ගේ සංශෝධිත ග්‍රීක පිටපත මහෝපකාරී විය. මීට පෙරාතුව ලතින් වල්ගේට් පිටපතින් පරිවර්තනය කළ අනුවාදවලට වඩා ගුණයෙන් ඉහළ තත්වයක පැවති අනුවාද එළි දැක්වීමට හැකියාව ලැබිණ. ඉරැස්මස්ගේ පිටපත භාවිත කළ මුල්ම තැනැත්තා වූයේ ජර්මනියේ මාටින් ලූතර්ය. ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ල ජර්මන් භාෂාවට පරිවර්තනය කළ ලූතර් එය නිම කළේ 1522දීය. එංගලන්තයේ විලියම් ටින්ඩේල් බොහෝ පීඩා මැද ඉරැස්මස්ගේ පිටපත යොදාගෙන ශුද්ධ ලියවිල්ල ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නටද පටන්ගත්තේය. ඔහුව පිටුවහල් කරනු ලැබූ නිසා සිය පරිවර්තන කටයුතු නිම කළේ 1525 යුරෝපයේදීය. ඉතාලියේ අන්තෝනියෝ බ්රූකියෝලි ඉරැස්මස්ගේ පිටපත ආධාරයෙන් ශුද්ධ ලියවිල්ල 1530දී ඉතාලි භාෂාවට පරිවර්තනය කළේය. ඉරැස්මස් පිළියෙල කළ ග්‍රීක පිටපත එළි දැකීමත් සමඟ පිටපත් සංශෝධනය කිරීමට මාර්ගය විවෘත විය. මෙය මුල් බයිබල් පිටපත්වල තිබූ තොරතුරු නිවැරදිව ලේඛනගත කිරීමට ක්‍රමයක් වේ.
19 පරිච්ඡේදවලට හා ඡේදවලට වෙන් කිරීම. රොබට් එටියෙන් හෙවත් ස්ටෙෆනස් 16වන සියවසේ පැරිස් නගරයේ විසූ ප්රමුඛ පෙළේ මුද්‍රණ ශිල්පියෙක් සහ සංස්කාරකයෙකි. ඔහු සංස්කාරකයෙකු වූ නිසා බයිබල් පොත් පරිච්ඡේද හා ඡේදවලට වෙන් කිරීම ප්‍රායෝගික වූ බව දුටු හෙයින් 1551දී නිකුත් කළ ඔහුගේ ග්‍රීක-ලතින් ද්වි භාෂා අලුත් ගිවිසුමේදී එම ක්‍රමය අනුගමනය කරනු ලැබීය. හෙබ්‍රෙව් ලියවිල්ල ඡේදවලට මුලින්ම බෙදා වෙන් කළේ මැසොරෙට්වරුන්ය. එනමුත් දැනට සියලුම බයිබල්වල අනුගමනය කරනු ලබන පරිච්ඡේද හා ඡේද ක්‍රමය මුලින්ම භාවිත කළේ 1553දී ස්ටෙෆනස් නිකුත් කළ ප්‍රංශ බයිබලයේය. මින් පසුව සම්පාදනය කළ ඉංග්‍රීසි බයිබල්වලද මෙම ක්‍රමය අනුගමනය කරනු ලැබූ අතර, ප්‍රතිඵලයක් ලෙස බයිබල් වචන සූචි පිළියෙල කිරීමටද හැකි විය. මීට උදාහරණ වශයෙන් 1737දී ඇලෙක්සැන්ඩර් කෲඩන් බයිබල් වචන සූචියක් පිළියෙල කළ අතර, සම්මත ඉංග්‍රීසි අනුවාදය වෙනුවෙන් විස්තර සහිත වචන සූචි දෙකක් සම්පාදනය කරන ලදි. රොබට් යං විසින් සම්පාදනය කළ සූචිය 1873දී එඩින්බරහි මුද්‍රණය කරනු ලැබීය. අනික නිව් යෝක්හි 1894දී මුද්‍රණය කළ ජේම්ස් ස්ට්‍රෝංගේ වචනය සූචියයි.
20 සම්මත පිටපතක් පිළියෙල කිරීම. ස්ටෙෆනස්ද ග්‍රීක “අලුත් ගිවිසුමේ” සංස්කරණ කිහිපයක්ම නිකුත් කළේය. ඒවාට ප්‍රධාන මූලාශ්‍රය වූයේ ඉරැස්මස්ගේ පිටපතයි. එනමුත් 1522දී නිකුත් කළ කොම්ප්ලුටෙන්සියන් බහුභාෂා බයිබලය හා 15වන සියවසට කලින් සියවස් කිහිපයකම බැඳි අකුරින් ලියන ලද පිටපත් 15ක තොරතුරු අනුව එහි යම් නිවැරදි කිරීම් කර තිබිණ. වර්ෂ 1550දී ස්ටෙෆනස් පිළියෙල කළ ග්‍රීක පිටපතේ තුන්වන සංස්කරණය “සම්මත පිටපත” හැටියට සලකනු ලැබීය. වර්ෂ 1611දී නිකුත් කළ ජේම්ස් රජුගේ බයිබලය හා 16වන සියවසේ නිකුත් කළ වෙනත් ඉංග්‍රීසි බයිබල් පදනම් වී තිබුණේ මෙම පිටපත මතය.
21 ග්‍රීක පිටපත් තවත් සංශෝධනය කෙරේ. ග්‍රීක් භාෂාව ගැන මනා දැනුමක් ඇති විශාරදයෝ පසුව තවත් නිවැරදි තත්වයකට ගෙනා ග්‍රීක පිටපත් සම්පාදනය කළෝය. මෙම පිටපත් අතුරින් කැපීපෙනෙන එකක් ජේ. ජේ. ග්රයිස්බාක් විසින් සම්පාදනය කරන ලදි. ඔහු 18වන සියවසේ අවසානය වෙද්දී පර්යේෂණ සඳහා පහසුවෙන් ලබාගත හැකි වූ ග්‍රීක පිටපත් සිය ගණනකින් ප්‍රයෝජන ගත්තේය. ග්රයිස්බාක්ගේ ග්‍රීක පිටපතේ හොඳම සංස්කරණය මුද්‍රණය කරන ලද්දේ 1796-1806 අතර කාලයේදීයි. වර්ෂ 1840දී ෂාප්ගේ ඉංග්‍රීසි පරිවර්තනය සඳහා භාවිත කළේ ග්රයිස්බාක්ගේ එම සම්මත පිටපතයි. මීට අමතරව 1864දී නිකුත් කළ එම්ෆැටික් ඩයග්ලොට් නමැති ද්විභාෂා බයිබලයේ ග්‍රීක පිටපත සඳහා භාවිත කර තිබෙන්නේ ඒ පිටපතය. කොන්ස්තන්තින් ෆොන් ටිෂන්ඩෝෆ් (1872), හර්මන් ෆොන් සොඩෙන් (1910) යන අයද ඉතා අග්‍රගණ්‍ය පිටපත් සම්පාදනය කළෝය. වර්ෂ 1913දී නිකුත් කළ මොෆට්ගේ ඉංග්‍රීසි අනුවාදය සඳහා භාවිත කළේ ෆොන් සොඩෙන්ගේ පිටපතයි.
22 වෙස්කට් සහ හෝට්ගේ පිටපත. බොහෝදෙනාගේ ගෞරවය දිනාගත් සම්මත ග්‍රීක පිටපතක් 1881දී කේම්බ්‍රිජ් සරසවියේ විශාරදයන් වූ බී. එෆ්. වෙස්කට් සහ එෆ්. ජේ. ඒ. හෝට් විසින් සම්පාදනය කරන ලදි. වෙස්කට් සහ හෝට්ගේ මෙම ග්‍රීක පිටපතේ සෝදුපත් කියවනු ලැබුවේ බ්‍රිතාන්‍ය සංශෝධන කමිටුව විසිනි. වෙස්කට් සහ හෝට්ද එම කමිටුවේ සාමාජිකයන් වූ අතර, 1881දී “අලුත් ගිවිසුම” සංශෝධනය කිරීමේ කාර්යයට ඔවුහුද සහභාගි වූහ. නව ලොව පරිවර්තනයේ ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලි පරිවර්තනය කිරීමට ප්‍රධාන වශයෙන් භාවිත කර තිබෙන්නේ ඔවුන් පිළියෙල කළ මෙම සම්මත පිටපතය. මෙම සම්මත පිටපත ඉංග්‍රීසි බයිබල් කිහිපයක් පරිවර්තනය කිරීම සඳහා භාවිත කරන ලැබීය. (The Emphasised Bible, American Standard Version, An American Translation [Smith Goodspeed], Revised Standard Version.) වරහන් තුළ අවසානයට සඳහන් අනුවාදය පරිවර්තනය කිරීමට නෙස්ලේ නම් විශාරදයාගේ පිටපතද භාවිත කරනු ලැබීය.
23 නෙස්ලේගේ ග්‍රීක පිටපත (1848, 18වන සංස්කරණය) ප්‍රයෝජනවත් සැසඳීම් කිරීම සඳහා නව ලොව බයිබල් පරිවර්තනය කමිටුව විසින් භාවිත කරන ලදි. කතෝලික ජේසු නිකායික විශාරදයන් වූ හෝසේ එම්. බෝවර් (1943) සහ ඔගස්ටිනස් මර්ක් (1948) නිකුත් කළ පිටපත්වලින්ද එම කමිටුව ප්‍රයෝජන ගත්තේය. වර්ෂ 1975දී නිකුත් කළ එක්සත් බයිබල් සමාගම්වල පිටපතද, 1979 නිකුත් කළ නෙස්ලේ-අලාන්ද් පිටපතද 1984දී නිකුත් කළ යොමු සටහන් සහිත නව ලොව සංස්කරණයේ පිටපත්වල තොරතුරු අලුත් කිරීමට භාවිත කරන ලදි.d
24 ඉපැරණි පරිවර්තන. අධ්‍යයනය සඳහා ලබාගත හැකි ග්‍රීක පිටපත්වලට අමතරව, වෙනත් භාෂාවලට පරිවර්තනය කළ ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලිවල පිටපත් බොහොමයක්ද තිබේ. පැරණි ලතින් භාෂාවෙන් සකස් කළ පිටපත් (හෝ කොටස්) 50කට වැඩියද, ජෙරෝම්ගේ ලතින් වල්ගේට් පරිවර්තනයේ පිටපත් දහස් ගණනක්ද තිබේ. නව ලොව බයිබල් පරිවර්තන කමිටුව මේවායින්ද, කොප්ටික්, ආමේනියානු සහ සිරියැක් අනුවාදවලින්ද තොරතුරු රැගෙන ඇත.e
25 අඩුම තරමින් 14වන සියවසේ සිට ග්‍රීක ලියවිල්ලේ පොත් හෙබ්‍රෙව් භාෂාවට පරිවර්තනය කර ඇත. ඒවායේ තැන් කිහිපයකම යෙහෝවාගේ නාමය නැවතත් ඇතුළත් කර තිබේ. නව ලොව පරිවර්තනයෙහි මෙම හෙබ්‍රෙව් අනුවාද ගැන සඳහන් වී ඇති අතර, සාමාන්‍යයෙන් “J” අකුර සහ කුඩා අකුරින් අංකයක් දක්වා ඇත. තවත් තොරතුරු දැනගැනීමට ඉංග්‍රීසි නව ලොව පරිවර්තනයෙහි 9-10වන පිටුවල දක්වා ඇති පෙරවදන සහ සිංහල නව ලොව පරිවර්තනයේ උපග්රන්ථ අංක 2හි “ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ දිව්‍ය නාමය තිබුණු ස්ථානවලට එය නැවත දැමීම” යන කොටසද බලන්න.
පිටපත්වල වෙනස්කම් සැලකිය යුතු අයුරු
26 ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ 13,000කට වැඩි පිටපත් සංඛ්‍යාව සෝදිසි කර බලද්දී නොයෙකුත් වෙනස්කම් දක්නට ලැබේ. ග්‍රීක භාෂාවෙන් පිළියෙල කර තිබෙන පිටපත් 5,000 සැසඳීමෙනුත් එවැනි වෙනස්කම් ඇති බව පෙනේ. ඉපැරණි පිටපත්වලින් මෙලෙස කාලයක් පුරා පිටපත් සෑදීමෙන් යම් දෝෂ ඇති විය හැකි බව අප තේරුම්ගත යුතුයි. උදාහරණයකට එක පිටපතක් එක්තරා ප්‍රදේශයකට යවනු ලැබුවා නම්, ඒ ප්‍රදේශයේ ඒ පිටපතේ තවත් පිටපත් සාදන විට ඒ දෝෂය ඒ පිටපත්වල දක්නට ලැබෙනු ඇත. එමනිසා ප්‍රාදේශීය වශයෙන්ද පිටපත් කිහිපයකම එකම දෝෂ දක්නට ලැබේ. එකම වර්ගයේ පිටපත් සමූහ එකතු වුණේ එමගිනි. පිටපත් කරන අය අතින් සිදු වූ මෙවැනි දෝෂ දහස් ගණන ගැන අප කලබල විය යුතුද? ශුද්ධ ලියවිල්ලේ තොරතුරු අප වෙත නිවැරදිව ලැබී නැති බව මින් අදහස් වෙනවාද? එසේ පැවසීමට කිසිම පදනමක් නැත.
27 වෙස්කට් සහ හෝට්ගේ පිටපතට හවුල් වූ එෆ්. ජේ. ඒ. හෝට් මෙසේ අදහස් දක්වයි. “අලුත් ගිවිසුමට අයත් පොත්වලින් බහුතරයක් සියුම් සෝදිසයකට ලක් කිරීමෙන් පෙනී යන්නේ ඒවා තුළ බරපතළ වෙනස්කම් නොමැති බවයි. . . . අප සුළු සුළු වෙනස්කම් . . . නොසලකා හැරියොත්, අපට යම් සැකයක් ඇති වන්නේ අලුත් ගිවිසුමේ අන්තර්ගතයෙන් දාහෙන් එක කොටසක් ගැන පමණයි.”f
28 පිටපත් කිරීමේ කටයුත්ත ඇගයීම. ග්‍රීක ලියවිලි සියවස් බොහොමයක් පුරා පිටපත් කර ඇති නිසා ඒවා නිවැරදිව පිටපත් කළාද යන්න සම්බන්ධයෙන් අපට එළඹිය හැකි නිගමනය කුමක්ද? සැසඳීම් කිරීමට පිටපත් දහස් ගණනක් තිබෙන බව අප මතක තබාගත යුතු අතරම, මෑත වර්ෂ කිහිපය තුළදී සොයාගත් ඉතා පැරණි බයිබල් පිටපත්ද ඇත. ඉන් සමහරක් ක්‍රි.ව 125දී සම්පාදනය කළ ඒවාය. මින් අදහස් කරන්නේ ක්‍රි.ව. 100දී පමණ සිදු වූ යේසුස්ගේ කිට්ටුම ගෝලයෙකු වූ යොහන්ගේ මරණයෙන් දශක දෙකක් තරම් කෙටි කාලයකට පසු එම පිටපත් පිළියෙල කළ බවය. මෙම පිටපත්වලින් ලැබෙන සාක්ෂිවලට අනුව අපට ඉතා විශ්වාසවන්ත වූ ඉහළ තත්වයක පවතින ග්‍රීක පිටපතක් ඇති බව පැහැදිලිව පැවසිය හැක. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂක හා පුසතකාලයාධිපති ශ්‍රීමත් ෆ්රෙඩ්රික් කෙන්යන් කළ නිගමනය සලකා බලන්න:
29 “මෙම ලියවිලි මුලින්ම ලියූ කාලය සහ අපට ලබාගත හැකි පැරණිම පිටපත් සම්පාදනය කළ කාලය අතර පරතරය ඉතා කුඩාය. ඇත්තටම එම පරතරය සැලකීමට තරම් වටින්නේ නැත. එමනිසා අප අතට පත්වී ඇති ශුද්ධ ලියවිල්ල දෝෂවලින් යුක්තද යන්න ගැන කිසිදු සැකයක් නොමැත. අලුත් ගිවිසුමේ නිරවද්‍යතාව සහ විශ්වාසවන්තභාවය දැන් ප්රබලව තහවුරු වී ඇති බව පැවසිය හැක. එනමුත් ඇතැම් සුළු සුළු වෙනස්කම් තිබෙන බවද සඳහන් කළ යුතුය.”g
30 “සුළු සුළු වෙනස්කම්” ඇති බව කියද්දී 27වන ඡේදයේ ආචාර්ය හෝට් පැවසූ දේ සලකා බැලිය හැක. සියුම් තොරතුරු නිවැරදිදැයි පරීක්ෂා කිරීමේ කටයුතු පිටපත් සංශෝධකයන් විසින් කළ යුතු අතර, මෙය ඔවුන් බොහෝ දුරට සිදු කර හමාරය. වෙස්කට් සහ හෝට්ගේ සංශෝධිත ග්‍රීක පිටපත ඉතා ඉහළ ගණයේ එකක් ලෙස සැලකෙන්නේ ඒ හේතුව නිසාය. නව ලොව පරිවර්තනයේ ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලි පරිවර්තනය කිරීමට පදනම වශයෙන් භාවිත කළේ මෙම අතිවිශිෂ්ට ග්‍රීක පිටපතයි. ප්‍රතිඵලයක් හැටියට “යෙහෝවාගේ ප්‍රකාශය” ග්‍රීක පිටපත් සම්භාරයෙහි ඉතා මැනවින් ආරක්ෂා වී ඇති නිසා, එහි තොරතුරු ඉතා නිවැරදිව එහි පාඨකයන්ට ලබා දෙන්නට මෙම පරිවර්තනය සමත් වී ඇත.—1 පේතෘ. 1:24, 25.
31 ශ්‍රීමත් ෆ්රෙඩ්රික් කෙන්යන් ලියූ තවත් පොතක සඳහන් කරුණුද සැලකිල්ලට ගැනීම වටී: “අලුත් ගිවිසුමේ නිරවද්‍යතාව සමස්තයක් ලෙස ගත් කල මෑතකදී අනාවරණය වී ඇති පිටපත්වලින් ප්‍රබල ලෙස සනාථ වන බව දැනගැනීමෙන් අපට ඉමහත් සතුටක් ඇති විය යුතුයි. මෑතකදී අනාවරණය වී ඇති පිටපත්වලින් මුල් පොත් ලියනු ලැබූ කාලය හා අපට තිබෙන පැරණිම පිටපත් ලියූ කාලය අතර පරතරය බොහෝ සෙයින් අඩු වී තිබේ. මෙම ලියවිලි සැසඳීමෙන් පැහැදිලි වන්නේ යම් සිත්ගන්නා වෙනස්කම් තිබුණත්, ඒවා ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට කිසිදු ආකාරයකින් බලපාන්නේ නැති බවය.” (Our Bible and the Ancient Manuscripts, 1962; 249 පිටුව) මෙම පරිච්ඡේදයේ 17වන පිටුවේ “නව ලොව පරිවර්තනය පිළියෙල කිරීමට උපකාරවත් වූ මූලාශ්‍ර” යන වගුවේ දක්වා ඇති ආකාරයට නිවැරදි පරිවර්තනයක් බිහි කිරීමේ අරමුණින් සෑම මූලාශ්‍රයකින්ම උපරිම තොරතුරු ලබාගෙන ඇත. ප්‍රයෝජනවත් පාදසටහන් රැසකින් පරිවර්තනයේ නිරවද්‍යතාවට තවත් සාක්ෂි ලැබේ. ඉතා කදිම පරිවර්තනයක් බිහි කිරීමට නව ලොව බයිබල් පරිවර්තන කමිටුව සමත් වූයේ සියවස් ගණනාවක් පුරා බයිබලය සම්බන්ධයෙන් ඉතා පුළුල් පර්යේෂණ පවත්වා තිබුණු නිසාය. එමනිසා අප සතු ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලිවල යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් විසින් ලියන ලද “සුවදායී වචනවල ආදර්ශය” අනිවාර්යයෙන්ම තිබෙන බව අපට නිසැකවම පැවසිය හැක. අප ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුතුව එම අනර්ඝ වචන තදින් අල්ලාගෙන සිටිමු.—2 තිමෝ. 1:13.
32 මෙම පරිච්ඡේදයෙන් හා කලින් පරිච්ඡේදයෙන් ශුද්ධ ලියවිල්ලේ පිටපත් හා එහි අන්තර්ගතය ගැන සෑහෙන ගැඹුරු සාකච්ඡාවක් කරන ලදි. මෙවැනි තොරතුරු සාකච්ඡා කිරීමේ අරමුණ කුමක්ද? හෙබ්‍රෙව් සහ ග්‍රීක ලියවිලිවල වත්මන් අන්තර්ගතය හා අතීතයේ යෙහෝවා දෙවි විශ්වාසවන්ත මිනිසුන් ලවා එම තොරතුරු ලියන අවස්ථාවේදී තිබූ දෙය අතර එතරම් වෙනසක් නැති බව පැහැදිලිව පෙන්නුම් කිරීම සඳහාය. මුල් පොත් සමූහය ලියන ලද්දේ දෙවිගේ මඟ පෙන්වීමෙනි. පිටපත් කරන අයට යම් කුසලතාවක් තිබුණත්, එම කාර්යය කිරීමට ඔවුන්ට දෙවිගෙන් යම් විශේෂ බලයක් ලැබුණේ නැත. (ගීතා. 45:1; 2 පේතෘ. 1:20, 21; 3:16) දැනට අප අතට පත්වී ඇති පිටපත් සම්භාරය හොඳින් සෝදිසි කර බැලීමෙන් අපට යෙහෝවා දෙවිගෙන් සත්‍යය නිවැරදිව ලැබී ඇති බව තහවුරු වේ. අපට දේවවචනය වන බයිබලය තිළිණ කිරීම ගැන අප යෙහෝවාට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! දේවරාජ්‍යය පිළිබඳව එහි ඇතුළත් ශුභාරංචියද අපට මොන තරම් සතුටට හේතුවක්ද!
[පාදසටහන්වල]
a Insight on the Scriptures, Vol. 1, pages 354-5.
b Insight on the Scriptures, Vol. 1, page 323; New Bible Dictionary, second edition, 1986, J. D. Douglas, page 1187.
c New Bible Dictionary, second edition, page 1187.
d The Kingdom Interlinear Translation of the Greek Scriptures, 1985, pages 8-9.
e ඉංග්‍රීසි බයිබලයේ ලූක් 24:40; යොහන් 5:4; ක්‍රියා 19:23; 27:37 සහ එළිදරව් 3:16හි පාද සටහන් බලන්න.
f The New Testament in the Original Greek, 1974, Vol. I, page 561.
g The Bible and Archaeology, 1940 pages 288-9.