ඔබ දැන සිටියාද?
කෙත්වල මායිම් දක්වාම අස්වැන්න නෙළීමෙන් වළකින්න කියා දෙවි පැවසුවේ ඇයි?
▪ මෝසෙස් මාර්ගයෙන් දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියට අනුව කෙත්වල මායිම් දක්වාම අස්වැන්න නෙළීම තහනම් කර තිබුණා. එමෙන්ම මිදිපල එකතු කිරීමේදී අතහැරුණු පල සහ තැනින් තැන වැටුණු පල එකතු කර නොගන්න කියාත් නීතියේ සඳහන් වුණා. ඊට අමතරව ඔලීව ගස්වලින් ගෙඩි කඩාගත් පසු ඒවායේ අතුවල තවත් ගෙඩි ඉතුරු වී තිබෙනවාද කියා සොයා බලන්න එපා කියාත් එහි සඳහන් වුණා. (ලෙවී කතාව 19:9, 10; ද්විතීය කතාව 24:19-21) එම සැලැස්ම නිසා දිලිඳු අයට, පියා නැති දරුවන්ට, වැන්දඹුවන්ට සහ විදේශිකයන්ට ඉතුරු වූ අස්වැන්න එක් රැස් කරගැනීමට අවස්ථාව ලැබුණා.
එයින් මුළු ඊශ්‍රායෙල් ජාතියම ප්‍රයෝජන ලැබුවා. ගොවියන්ට පරිත්‍යාගශීලී වීමට සහ දෙවිගේ ආශීර්වාද මත රඳා සිටීමට එය දිරිගැන්වීමක් වුණා. එමෙන්ම වෙහෙස මහන්සි වී වැඩ කිරීමට දිළිඳු මෙන්ම අසරණ තත්වයේ සිටි අයත් ඉන් පෙලඹුණා. (රූත් 2:2-17) ඒ නිසා දිලිඳු අය කුසගින්නේ සිටියේවත් අන් අයට බරක් වුණේවත් නැහැ. එමෙන්ම ඔවුන්ට සහනාධාර මත යැපීමට හෝ අන් අයට අතපෑමෙන් නින්දාවට ලක් වීමට සිදු වුණේද නැහැ.
සලමොන් රජු දේවමාලිගාව ඉදි කිරීමට දුර ඈත ලෙබනොන් දේශයෙන් ලී ගෙන්වාගත්තේ ඇයි?
▪ ලෙබනොන් දේශයේ සිට දේවදාර හා ජුනිපර් ලී ගෙන්වාගැනීමට සලමොන් රජු තීර්හි හීරාම් රජු සමඟ ඇති කරගත් ගිවිසුම ගැන බයිබලයේ සඳහන් වෙනවා.—1 රාජාවලිය 5:1-10.
පුරාණයේදී මැද පෙරදිග රටවල දේවදාර ලී සලකනු ලැබුවේ වටිනා වෙළඳ භාණ්ඩයක් ලෙසයි. උදාහරණයකට ඊජිප්තුවේ සහ මෙසපොතේමියාවේ දේවස්ථාන සහ රජමාලිගාවල බිත්ති අලංකාර කිරීම සඳහාත් බාල්ක සඳහාත් එම ලී යොදාගෙන තිබෙනවා. එමෙන්ම දකුණු මෙසපොතේමියාවේ විවිධ ප්‍රදේශවලට දේවදාර ලී ගෙන්වාගත් බවට පැරණි ලියවිලිවල, සාහිත්‍ය පොත් පත්වල සහ වෙනත් පුරා වස්තුවලද සඳහන් වෙනවා. සමහර අවස්ථාවලදී ඒ ප්‍රදේශවලට එම ලී ලැබී තිබෙන්නේ කොල්ලයක් ලෙස හෝ කප්පම් ලෙසයි. ඊජිප්තුවේ රජවරුන් සඳහා පාරු, මිනී පෙට්ටි මෙන්ම භූමදාන කටයුතුවලට අදාළ වෙනත් භාණ්ඩ සෑදීමටද එම ලී භාවිත කළා.
ලෙබනොන්හි දේවදාර ලී මිහිරි සුවඳක් විහිදුවන, අලංකාරවත් මෙන්ම කල් පවතින ලී වර්ගයක් බවට ප්‍රසිද්ධියක් ඉසිලුවා. එපමණක්ද නොව එම ලී කෘමී උවදුරුවලටත් ඔරොත්තු දුන්නා. ඒ අනුව බලන විට සලමොන් රජු දේවමාලිගාව සඳහා භාවිත කර තිබුණේ ඉස්තරම්ම ලී වර්ගයක් බව පැහැදිලියි. එදා ලෙබනොන් කඳුකරය දේවදාර ගස්වලින් වැසී තිබුණත් අද එහි දේවදාර ගස් දක්නට තිබෙන්නේ අතරින් පතරයි.
[15වන පිටුවේ පින්තූරය]
ඇසිරියාවේ සර්ගොන් රජුගේ මාලිගාවෙන් සොයාගත් දේවදාර ලී ප්රවාහණය කරන අයුරු පෙන්වන කැටයමක්
[හිමිකම් විස්තර]
Erich Lessing/Art Resource, NY