ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • “කාගෙවත් ජීවිත නැති වෙන්නේ නැහැ”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
    • 26වෙනි පරිච්ඡේදය

      “කාගෙවත් ජීවිත නැති වෙන්නේ නැහැ”

      නැව මුහුදුබත් වුණත් පාවුල්ගේ විශ්වාසයවත් අනිත් අය ගැන තියෙන ආදරයවත් අඩු නොවෙයි

      ක්‍රියා 27:1–28:10

      1, 2. රෝමයට යන්න තියෙන ගමන මොන වගේද? පාවුල් මොන දේවල් ගැන කල්පනා කරන්න ඇද්ද?

      “ඔයාව සීසර් ළඟට යවනවා” කියලා ආණ්ඩුකාර ෆෙස්ටස් පාවුල්ට කිව්වා කියලා ඔබට මතක ඇති. (ක්‍රියා 25:12) ඔහු කියපු ඒ දේ ගැන පාවුල් දිගින් දිගටම කල්පනා කරනවා. මොකද අනාගතයේදී ඔහුට මොනවා වෙයිද කියන එක රඳා පැවතුණේ රෝමයේදී ඔහුට ලැබෙන තීන්දුව මතයි. ඇත්තයි, රෝමයට යන දිග ගමන අවුරුදු දෙකක් පුරා පාවුල් ගත කරපු ජීවිතයෙන් යම් නිදහසක්. නමුත් මුහුදු ගමන් ඔහුට සොඳුරු අද්දැකීමක් වුණේ නැහැ. ඒ නිසා මේ යන දිගු ගමනේදී තමන්ට මොන දේවලට මුහුණ දෙන්න වෙයිද කියලා පාවුල් කල්පනා කරන්න ඇති.

      2 පාවුල්ට කිහිප වතාවක්ම ‘මුහුදේදී වෙන අනතුරුවලට මූණ දෙන්න සිද්ධ වුණා.’ අවස්ථා තුනකදීම ඔහු ගමන් කරපු නැව මුහුදුබත් වුණා. එක අවස්ථාවක ඔහුට ගැඹුරු මුහුදේ මුළු රැයකුත් දවාලකුත් ගත කරන්න වුණා. (2 කොරි. 11:25, 26) මේ ගමනට කිලෝමීටර් 3,000කට වඩා දුරක් යන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඔහු මේ ගමන යන්නේ සිරකරුවෙක් විදිහටයි. ඒ නිසා ශුභාරංචිය දේශනා කරන්න ඔහු කලින් ගිය මුහුදු ගමන්වලට වඩා සිසේරියේ සිට රෝමය බලා යන මේ ගමන දුෂ්කරයි. කිසිම අනතුරක් නැතුව මේ ගමන යන්න ඔහුට පුළුවන් වෙයිද? අනතුරක් නැතුව ඔහු රෝමයට ගියත් එහෙදී ඔහුට මොන වගේ තීන්දුවක් ලැබෙයිද? රෝමයේදී ඔහුට තීන්දුවක් ලැබෙන්නේ සාතන් යටතේ ඒ කාලයේ තිබුණ බලවත්ම ආණ්ඩුවෙන් කියලා අමතක කරන්න එපා.

      3. පාවුල් අරන් තිබුණ අදිටන මොකක්ද? අපි මේ පරිච්ඡේදයෙන් බලන්නේ මොනවාද?

      3 තමා ඉදිරියේ තිබුණ ඒ වගේ අභියෝග ගැන හිතලා පාවුල් කලකිරීමට හෝ කනස්සල්ලට පත් වුණාද? කොහොමටවත් නැහැ. තමන්ට ඉදිරියේදී මොන විදිහේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වෙයිද කියලා ඔහු හරියටම දැනගෙන හිටියේ නැතත් අනිවාර්යයෙන්ම දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වෙනවා කියලා පාවුල් දැනගෙන හිටියා. ඒ නිසා තමාට පාලනය කරන්න බැරි දේවල් ගැන කනස්සලු වෙලා ඔහු තමන්ගේ සතුට නැති කරගත්තේ නැහැ. (මතෙ. 6:27, 34) උසස් බලධාරීන් ඇතුළු හැම කෙනෙක්ටම පුළුවන් හැම අවස්ථාවකදීම ශුභාරංචිය කියන්න දෙවියන් තමන්ව තෝරගත්තා කියලා පාවුල් දැනගෙන හිටියා. (ක්‍රියා 9:15) මොන දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වුණත් දෙවියන් තමන්ට දුන්න පැවරුම ඉටු කරන්න පාවුල් අදිටන් කරගෙන හිටියේ ඒ නිසයි. අපේ අදිටනත් ඒකම නෙවෙයිද? එහෙමනම් රෝමයට පාවුල් ගිය ගමනේදී ඔහුට මුහුණ දෙන්න වුණ දේවල් හා අපට ඔහුගෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් සලකා බලන එක මොන තරම් ප්‍රයෝජනවත්ද!

      “හුළඟ අපේ ගමනට බාධා කළා” (ක්‍රියා 27:1-7අ)

      4. පාවුල් ගියේ මොන වගේ නැවකද? ඔහු සමඟ ගිය ඔහුගේ මිතුරන් කවුද?

      4 පාවුල්ව හා තවත් සිරකරුවන් පිරිසක්ව රෝමයට අරන් යන වගකීම භාර දීලා තිබුණේ ජූලියස් කියන රෝම හමුදා නිලධාරියෙක්ටයි. සිසේරියට ආපු බඩු ගෙනියන නැවකට ඔහු ගොඩ වෙලා ගමන ආරම්භ කළා. ඒ නැව ඇවිත් තිබුණේ කුඩා ආසියාවේ බටහිර වෙරළබඩ තීරයේ තිබුණ අද්‍රාමුත්තිය කියන වරායේ සිටයි. ඒ වරාය තිබුණේ ලේස්වොස් දූපතේ තිබුණ මිතුලේන කියන නගරයට ආසන්නවයි. නැවේ තිබුණ සමහර බඩු බාන්න හා තවත් බඩු පටවගන්න ඒ නැව සිසේරියේ සිට මුලින්ම උතුරු දෙසටත් ඊටපස්සේ බටහිර දෙසටත් ගමන් කරන්න නියමිත වෙලා තිබුණා. ඒ වගේ නැවක ගමන් කරන එක කොයි තරම් අපහසු දෙයක් වෙන්න ඇද්ද! මොකද ඒවා ඉදි කරලා තිබුණේ බඩු ගෙනියන්න මිසක් මඟීන්ගේ සැපපහසුව ගැන හිතලා නෙවෙයි. ඒ නිසා නාවිකයන් නැවේ ගමන් කරපු සිරකරුවන්ගේ පහසුව ගැන සැලකිලිමත් වෙයි කියලා හිතන්න බැහැ. (234වෙනි පිටුවේ “මුහුදු ගමන්” කියන කොටුව බලන්න.) නැවේ ගිය අපරාධකරුවන් අතරේ පාවුල්ට අමතරව තවත් ක්‍රිස්තියානීන් හිටියා. අඩුම තරමින් අරිස්තාකස් හා මේ වාර්තාව ලියපු ලූක් පාවුල් සමඟ ඒ ගමනට හවුල් වුණා කියලා කියන්න පුළුවන්. කොහොමවුණත් ඒ ආදරණීය සහෝදරයන් දෙන්නා ඒ ගමනට සහභාගි වුණේ මුදල් දීලාද නැත්නම් පාවුල්ගේ සේවකයන් විදිහටද කියලා අපි හරියටම දන්නේ නැහැ.—ක්‍රියා 27:1, 2.

      මුහුදු ගමන්

      අතීතයේදී නැව් ප්‍රධාන වශයෙන් යොදාගත්තේ බඩු ප්‍රවාහණය කිරීමට මිස මඟී ප්‍රවාහණයට නෙවෙයි. ඒ නිසා නැව් සාදා තිබුණේ ඒ අරමුණ මනසේ තියාගෙනයි. කෙනෙක්ට මුහුදෙන් යම් ප්‍රදේශයකට යන්න අවශ්‍ය නම් ඔහු ඒ ප්‍රදේශය වෙතට බඩු අරන් යන නැවක් හොයාගෙන ඒකේ අයිතිකරු එක්ක ගමන් වියදම කතා කරගත යුතුයි. ඒ ගමන ඔහුට යන්න පුළුවන් වෙන්නේ ඔහුට කැමති දවසේදී නෙවෙයි නැව පිටත්ව යන දවසෙදියි.

      ඒ කාලයේ දහස් ගාණක් නැව්, ආහාර හා වෙනත් බඩු ප්‍රවාහණය කරන්න මධ්‍යධරණී මුහුද හරහා වාර ගණනාවක් යාත්‍රා කළා. ඒ වගේ නැවක ගමන් කරන මඟීන්ට නිදාගන්න විශේෂ ස්ථානයක් තිබුණේ නැහැ. ඔවුන් හුඟක් වෙලාවට නිදාගත්තේ නැවේ උඩ තට්ටුවේ කුඩා කූඩාරමක් වගේ දෙයක් ගහගෙන. හැම උදෑසනකම ඔවුන්ට ඒක අකුළන්න සිදු වුණා. ගමනට තමන්ට අවශ්‍ය හැම දෙයක්ම ඒ කියන්නේ ආහාර පාන හා නිදාගන්න අවශ්‍ය දේවල් ඔවුන් අරන් යන්න ඕනේ.

      මුහුදු ගමනකට ගත වන කාලය රඳා පැවතුණේ සුළං මතයි. ශීත කාලයේ පවතින අයහපත් කාලගුණික තත්වය නිසා නොවැම්බර් මැද සිට මාර්තු මැද දක්වා කාලය මුහුදු ගමන්වලට සුදුසු වුණේ නැහැ.

      පුරාණ නැවක අවරය සහ ඉදිරිපස අතර තියෙන ප්‍රධාන කොටස් හතර. 1. සුක්කානම්. 2. ප්‍රධාන රුවල. 3. නැංගුරම්. 4. ඉදිරිපස රුවල.

      5. සීදොන්වලදී පාවුල්ට මුණගැහුණේ කාවද? ඒ සිද්ධියෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

      5 සිසේරියෙන් පිටත් වුණ නැව දවසක් ඇතුළතදී කිලෝමීටර් 110ක් විතර උතුරු පැත්තට ගමන් කරලා සිරියාවේ වෙරළබඩ තීරයේ සීදොන් කියන නගරයට ආවා. එහෙදී ජූලියස් කියන හමුදා නිලධාරියා නැවෙන් බැහැලා එතනට ඇවිත් හිටිය සහෝදර සහෝදරියන්ව හමු වෙන්න පාවුල්ට අවසර දුන්නා. ඒකෙන් පේන්නේ ඔහු සාමාන්‍ය සිරකරුවන්ට වඩා වෙනස් විදිහකට පාවුල්ට සැලකුවා කියලයි. සමහරවිට ඔහු එහෙම කරන්න ඇත්තේ පාවුල් රෝම පුරවැසියෙක් වුණ නිසාත් ඔහුව වරදකරුවෙක් විදිහට ඔප්පු කරලා තිබුණේ නැති නිසාත් විය හැකියි. (ක්‍රියා 22:27, 28; 26:31, 32) දිගු කාලයක් සිරගතව හිටිය පාවුල්ව හමු වෙලා ඔහුට අවශ්‍ය දේවල් දෙන්න හැකි වුණ එක ගැන සීදොන්වල හිටිය සහෝදරයන් හුඟක් සතුටු වෙන්න ඇති. ආගන්තුක සත්කාරය පෙන්වපු ඒ සහෝදරයන් අද්දැක්ක සතුට අපිටත් අද්දැකිය හැකියි. ඒ නිසා ආගන්තුක සත්කාරය පෙන්විය හැකි අවස්ථාවන් ගැන අපි සිතා බලමු.—ක්‍රියා 27:3.

      6-8. සීදොන් සිට කනීදස දක්වා ගිය ගමන විස්තර කරන්න. පාවුල් තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ කොහොමද?

      6 ඊටපස්සේ නැව සීදොන්වලින් පිටත් වෙලා උතුරු දෙසට ගමන් කළා. ඒ ගමනේදී ඔවුන් සිලීසියාවේ ටාසස් කියන නගරය පහු කරගෙන ගියා කියලා වාර්තාවේ සඳහන් වෙනවා. ටාසස් කියන්නේ පාවුල් ආපු නගරයයි. සීදොන්වලින් පිටත් වුණාට පස්සේ නැව වෙන කිසිම වරායක නතර කළා කියලා ලූක් වාර්තා කරලා නැහැ. නමුත් “හුළඟ අපේ ගමනට බාධා කළා” කියලා ඔහු කියනවා. ඔවුන් යම් අනතුරුවලට මුහුණ දුන් බව ඒකෙන් පැහැදිලියි. (ක්‍රියා 27:4, 5) ඒ වගේ තත්වයන් මැද වුණත් පාවුල් ශුභාරංචිය දේශනා කරන්න තමන්ට ලැබුණ අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගත්තා කියලා නම් නිසැකයි. ඔහු අනිවාර්යයෙන්ම නැවේ හිටිය අනිත් සිරකරුවන්ට, හේවායන්ට හා නැවියන් ඇතුළුව නැව නතර කරපු වරායන්වලදී හමු වුණ සියලුදෙනාට ශුභාරංචිය දේශනා කරන්න ඇති. අපත් පාවුල් වගේ ශුභාරංචිය දේශනා කරන්න අපට ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්නවාද?

      7 ඒ විදිහට ගමන්ගත්ත නැව කුඩා ආසියාවේ දකුණු වෙරළබඩ තීරයේ තිබුණ මුරා කියන වරායට ආවා. එහෙදී පාවුල් හා අනිත් අය නැවෙන් බැහැලා ඔවුන්ගේ ගමනාන්තය වන රෝමයට යන වෙන නැවකට නැග්ගා. (ක්‍රියා 27:6) ඒ කාලයේ රෝමයට අවශ්‍ය ධාන්‍ය වැඩි හරියක් ගෙන්වගත්තේ ඊජිප්තුවෙන්. ඒ නිසා ඊජිප්තුවේ සිට රෝමයට යන ධාන්‍ය නැව් සාමාන්‍යයෙන් මුරා වරායට ආවා. පේන විදිහට රෝමයට යන්න ජූලියස්, තම භාරයේ හිටිය සිරකරුවන් හා හේවායන් එක්ක ගොඩ වුණේ ඒ වගේ නැවකටයි. සිසේරියේ ඉඳන් ආපු නැවට වඩා මේ නැව විශාල ඇති. මොකද මේ නැවේ විශාල ධාන්‍ය ප්‍රමාණයක් ගෙන ගියා වගේම නැවියන්, හේවායන්, සිරකරුවන් ඇතුළු මඟීන් 276දෙනෙක් ගමන් කළා. එහෙම එක නැවකින් තවත් නැවකට මාරු වුණ නිසා පාවුල්ට තවත් විශාල පිරිසකට ශුභාරංචිය දේශනා කරන්න අවස්ථාව ලැබුණා. ඔහු ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා කියලා නම් නිසැකයි.

      8 ඊටපස්සේ නැව නතර කළේ කනීදස කියන ස්ථානයේ. සාමාන්‍යයෙන් යහපත් කාලගුණික තත්වයන් යටතේ මුරා සිට කනීදස දක්වා ගමන් කරන්න ගත වෙන්නේ එක දවසක් විතරයි. නමුත් ලූක් කියන්නේ මෙහෙමයි. “අපි දවස් ගාණක්ම යාත්‍රා කළේ හරිම හෙමින්. ඊටපස්සේ හුඟක් අමාරුවෙන් අපි කනීදසයට ළං වුණා.” (ක්‍රියා 27:7අ) ඒකෙන් අපට පැහැදිලි වන්නේ ඒ වෙනකොට කාලගුණික තත්වයන් නරක අතට හැරෙමින් තිබුණා කියලයි. (“මධ්‍යධරණී මුහුද හරහා ගිය ගමන්” කියන කොටුව බලන්න.) සැඩ සුළං හා චණ්ඩ රළ පහරවල් මැදින් නැව ඉදිරියට ඇදෙද්දී ඒකේ හිටිය අය මොන තරම් අපහසුතා අද්දකින්න ඇද්ද!

      මධ්‍යධරණී මුහුද හරහා ගිය ගමන්

      බඩු රැගත් නැව් මධ්‍යධරණී මුහුද ඒ කියන්නේ මහ මුහුද හරහා ගමන් කිරීමට තෝරගත්ත මාර්ගයන් හා ගමන් කරන කාලය රඳා පැවතුණේ සුළං හා ඍතු මතයි. මධ්‍යධරණී මුහුදේ නැඟෙනහිර ප්‍රදේශයට ගිම්හාන කාලයේදී සුළං හැමුවේ බටහිර දිශාවේ සිට නැඟෙනහිර දෙසටයි. ඒ නිසා ඒ කාලය අතරතුරේදී නැඟෙනහිර දෙසට ගමන් කිරීම පහසු වුණා. පාවුල් තුන්වෙනි මිෂනාරි ගමන අවසන් කරලා ආයෙත් ආවේ ඒ වගේ යහපත් කාලයක බව වාර්තාවෙන් පැහැදිලි වෙනවා. මිලේටස් වෙතින් පිටත් වුණ පාවුල් හා පිරිස, රෝඩ්ස් දූපත පහු කරලා පටාරා වරායට ආවා. එතන ඉඳන් ෆිනීෂියාවේ වෙරළබඩ තීරයේ පිහිටි තීර් වෙතට කෙළින්ම ගමන් කිරීමට ඔවුන්ට හැකි වුණා. ඒ ගමනේදී ඔවුන් තමන්ට වම් පැත්තෙන් තිබුණ සයිප්‍රස් දූපත පසු කළ බව ඒ කියන්නේ සයිප්‍රස් දූපතේ දකුණු පැත්තෙන් ගමන් කළ බව ලූක් වාර්තා කර තිබෙනවා.—ක්‍රියා 21:1-3.

      බටහිර දිශාවට ගමන් කරන්නත් ඒ හා සමාන ගමන් මඟක් නැවියන් යොදාගත්තා. නමුත් එහෙම කරන්න පුළුවන් වුණේ ඔවුන්ගේ ගමනට වාසිදායක විදිහට සුළං හැමුවොත් විතරයි. සමහර අවස්ථාවලදී බටහිර දිශාවට ගමන් කරන්න කොහෙත්ම බැරි වුණා. විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. “බොහෝදුරට ශීත කාලයේදී වායුගෝලය කැලඹිලි සහිතයි. ඒ නිසා දරුණු සුළි සුළං ඇති වන අතර ඒවා මධ්‍යධරණී මුහුදේ නැඟෙනහිර දිශාවට හමා යනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අධික වර්ෂාව ඇති විය හැකි අතර සමහර අවස්ථාවලදී හිම පවා වැටිය හැකියි.” ඒ වගේ අවස්ථාවලදී ගමන් කිරීම ඉතා භයානකයි.—The International Standard Bible Encyclopedia.

      වෙරළට ආසන්නයෙන් ගමන් කරන නැවකට අවුරුද්දේ ඕනෑම කාලයකදී පලස්තීනයේ වෙරළබඩ තීරය දිගේ උතුරු දෙසටත් ඊටපස්සේ පම්ෆිලිය පහු කරගෙන බටහිර දෙසටත් ගමන් කිරීමට හැකිකම තිබුණා. බටහිර දෙසට ගමන් කරද්දී ගොඩබිම දෙසින් හමපු මද සුළං හා බටහිර දෙසට ගහපු මුහුදු රැළි උපකාරවත් වුණා. පාවුල් සිරකරුවෙක් විදිහට රෝමයට ගිය ගමනේ මුල්ම අදියරයේදී නැවියන් යොදාගත්තේ ඒ ක්‍රමයයි. නමුත් සමහර අවස්ථාවලදී සුළං හමන දිශාව වෙනස් විය හැකියි. (ක්‍රියා 27:4) උදාහරණයකට ලූක් තම වාර්තාවේ විස්තර කරන ධාන්‍ය රැගත් නැව ඊජිප්තුවේ සිට උතුරු දෙසට ආවාට පස්සේ සයිප්‍රස් දූපත හා කුඩා ආසියා ප්‍රදේශය අතරින් ගමන් කළා. කපිතාන්ට වුවමනා වුණේ මුරා සිට දිගටම බටහිර දෙසට ගමන් කරලා, පස්සේ ග්‍රීසිය හරහා ඉතාලියේ බටහිර වෙරළබඩ තීරයට යන්න. (ක්‍රියා 27:5, 6) නමුත් ළඟා වෙමින් තිබුණ ශීත ඍතුව හා දැඩි සුළං නිසා ඔවුන්ට ඊට වඩා වෙනස් මඟක ගමන් කිරීමට සිදු වුණා.

      “කුණාටුව නිසා නැව දරුණු විදිහට ඒ මේ අත ගහගෙන ගියා” (ක්‍රියා 27:7ආ-26)

      9, 10. ක්‍රීට් දූපත ළඟ මුහුණ දෙන්න වුණ අපහසුතා මොනවාද?

      9 නැවේ කපිතාන්ට වුවමනා වුණේ කනීදස සිට බටහිර දෙසට යාත්‍රා කරන්නයි. නමුත් ලූක් කියන්නේ ‘සැඩ සුළං ගමනට බාධා කරපු නිසා’ ඒ ගමන් මාර්ගයේ යාත්‍රා කරන්න අපහසු වුණා කියලයි. (ක්‍රියා 27:7ආ) සැඩ සුළං නිසා නැව ගොඩබිමෙන් තව තවත් ඈතට ගහගෙන ගියා. ඒ එක්කම වයඹ පැත්තෙන් ආපු දරුණු සුළං පහරකට නැව වේගයෙන් දකුණු පැත්තට තල්ලු වෙලා ගියා. පාවුල් ගිය පළවෙනි නැව සැඩ සුළඟින් ආරක්ෂා වීමට සයිප්‍රස් දූපතේ පිහිට පැතුව විදිහටම මේ නැවත් සුළං මඟහරින්න ක්‍රීට් දූපතේ පිහිට පැතුවා. ක්‍රීට් දූපතේ නැඟෙනහිර පැත්තෙන් තිබුණ සල්මොනය කියන තුඩුව පහු කළාම යම් ආරක්ෂාවක් ලබාගන්න හැකි වුණා. මොකද නැව ගමන් කළේ ඒ තරම් සැඩ සුළං නැති ක්‍රීට් දූපතේ දකුණු පැත්තටයි. ඒ අවස්ථාවේදී නැවේ හිටිය අයට යම් සහනයක් දැනෙන්න ඇති. ඒත් ශීත කාලය ළං වෙමින් තිබුණ නිසා ඔවුන් ඉදිරියේ තවත් අභියෝගයක් තියෙනවා කියලා නැවියන් දැනගෙන හිටියා.

      10 ලූක් කියන්නේ “අපි දිගටම ඒ වෙරළබඩ තීරය දිගේ අමාරුවෙන් යාත්‍රා කරලා ‘සුබ වරාය’ කියන වරායට ආවා” කියලයි. ඒකෙන් පැහැදිලි වන්නේ ක්‍රීට් දූපතේ දකුණු පැත්තට ගිය එකෙන් ඔවුන් යම් ආරක්ෂාවක් අද්දැක්කත් ඒ ගමන් මාර්ගයත් ඒ තරම් පහසු එකක් නෙවෙයි කියලයි. නැවියන් දකුණු වෙරළබඩ තීරයේ උතුරු දෙසට හැරෙන ස්ථානය ළඟ තිබුණ කුඩා වරායේ නැව නවත්තලා තිබ්බේ ඒ නිසයි. වාර්තාවේ කියන්නේ ඔවුන් ඒ වරායේ “සෑහෙන කාලයක් නතර වෙලා හිටියා” කියලයි. නමුත් ඔවුන් ඉදිරියේ තිබුණේ අනතුරුදායක තත්වයක්. මොකද සාමාන්‍යයෙන් සැප්තැම්බර්, ඔක්තෝබර් කියන මාස මුහුදු ගමන්වලට සුදුසු කාලයක් නෙවෙයි.—ක්‍රියා 27:8, 9.

      11. පාවුල් දුන්න යෝජනාව මොකක්ද? නමුත් නැවියන් තීරණය කළේ මොනවා කරන්නද?

      11 මුහුදු ගමන් ගැන පාවුල්ට අද්දැකීම් තිබුණ නිසා නැවේ හිටිය සමහර අය ඔහුගෙන් අදහස් අහන්න ඇති. ඔහු යෝජනා කළේ මේ තත්වය යටතේ නැව තවදුරටත් යාත්‍රා කිරීම සුදුසු නැහැ කියලයි. මොකද ගමන දිගටම ගියොත් නැවේ තිබුණ බඩුවලට විතරක් නෙවෙයි ඒකේ හිටිය අයගේ ජීවිතවලටත් “ලොකු අනතුරක්” වෙන්න ඉඩ තිබුණා. නමුත් වඩා ආරක්ෂිත වරායකට පුළුවන් ඉක්මනින් යන්න ඕනෙ කියලා හිතපු නැවේ නියමුවාට හා අයිතිකරුට වුවමනා වුණේ ගමන දිගටම යන්නයි. නැවේ හිටිය වැඩිදෙනෙක් යෝජනා කළෙත් ක්‍රීට් දූපතේ වෙරළ තීරය දිගේ ගිහින් ෆීනික්ස් කියන වරායට යන එක සුදුසු බවයි. සමහරවිට ඒ වරාය වඩා විශාල වරායක් වගේම ශීත කාලය ගත කරන්න සුදුසු වාතාවරණයක් ඒකේ තියෙන්න ඇති. ඒ යෝජනාවට ඔවුන් ජූලියස්වත් කැමති කරවගත්තා. දකුණු දෙසින් මද සුළඟක් හමා ආවාම තමන් අරමුණු කරපු විදිහට යාත්‍රා කළ හැකියි කියලා හිතලා ඔවුන් ගමන් ඇරඹුවා.—ක්‍රියා 27:10-13.

      12. ෆීනික්ස් කියන වරායට යාත්‍රා කරන්න පටන්ගත්තාම වුණේ මොනවාද? අනතුරකින් බේරෙන්න නැවියන් කළේ මොනවාද?

      12 නමුත් වැඩි දවසක් යන්න කලින් දූපතේ ඊසාන දිගින් ආපු “දරුණු කුණාටුවක්” නිසා නැව “කෞද කියලා හඳුන්වපු පොඩි දූපතකට” ගහගෙන ගියා. ඒ දූපත තිබුණේ සුබ වරායට කිලෝමීටර් 65ක් විතර දුරිනුයි. හමා ආපු සැඩ සුළං යම් දුරකට මඟහරින්න ඒ දූපත ඔවුන්ට උදව් වුණා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ තත්වය හොඳ අතට හැරුණා කියලා නෙවෙයි. වාර්තාවේ කියන්නේ නැවේ කුඩා බෝට්ටුව රැකගන්න ඒක නැව ඇතුළට ගන්න නැවියන්ට ලොකු වෙහෙසක් දරන්න වුණා කියලයි. මොකද ඒ කුඩා බෝට්ටුව සමහරවිට වතුරෙන් පිරිලා තියෙන්න ඇති. ඊටපස්සේ ඔවුන් නැවේ බඳ වටේ කඹ නැත්නම් දම්වැල් දාලා ඒක හොඳින් සවිමත් වෙන්න බැන්දා. පස්සේ ඔවුන් නැවේ රුවල් බාලා සුළඟ හමන දිශාවට විරුද්ධ පැත්තට නැව ගෙනියන්න ලොකු උත්සාහයක් දැරුවා. ඒ හැම දෙයක්ම ඔවුන් කළේ නැව තවත් දකුණු දෙසට ගහගෙන ගිහින් අප්‍රිකාවේ වෙරළබඩ තීරයේ තිබුණ වැලි කණ්ඩිවල ගැටෙයි කියලා බය වුණ නිසයි. නමුත් කුණාටුව නිසා නැව දිගටම “දරුණු විදිහට ඒ මේ අත ගහගෙන ගියා.” තුන්වෙනි දවසේදී නැවේ බර අඩු කරන්න ඔවුන් නැවේ තිබුණ බඩු මුහුදට වීසි කළා. නැවේ හිටපු අය ඒ දින කිහිපය ගෙවන්න ඇත්තේ මොන තරම් බයකින්ද!—ක්‍රියා 27:14-19.

      13. දරුණු කුණාටුවට මුහුණ දෙද්දී නැවේ හිටිය අයට කොහොම දැනෙන්න ඇද්ද?

      13 නැවේ හිටපු හැමෝම බයෙන් හිටියත් පාවුල් හා ඔහුගේ මිතුරන්ගේ මුහුණුවලින් නම් ඒ වගේ බයක් දකින්න තිබුණේ නැහැ. මොකද පාවුල් අනිවාර්යයෙන්ම රෝමයේදී සාක්ෂි දරනවා කියලා ස්වාමීන් ඔහුට කියලා තිබුණා. ඊටපස්සේ දේවදූතයෙක් මාර්ගයෙන් ඒ පොරොන්දුව ස්ථිර කරලත් තිබුණා. (ක්‍රියා 19:21; 23:11) සති දෙකක් ගත වුණත් දිවා රෑ දෙකේම හමපු දරුණු කුණාටුව අඩු වුණේ නැහැ. නොනවත්වා ඇද හැලුණ වර්ෂාව හා ඝන වලාකුළු නිසා හිරු එළියවත් තරුවත් දැකගන්න බැරි වුණා. ඒ නිසා කපිතාන්ට නැව තියෙන ස්ථානයවත් ඒක ගමන් කරන දිශාවවත් හරියට දැනගන්න බැරි වුණා. ඒ අතර නැවේ හිටපු අය හුඟක් වෙහෙසට පත් වෙලා, බය වෙලා, සීතලෙන් ගැහිගැහී ඉන්න ඇති. ඔවුන් මොන තරම් බයෙන් හිටියාද කියනවා නම් බඩගින්නක්වත් ඔවුන්ට නොදැනෙන්න ඇති.

      14, 15. (අ) තමා කලින් දුන්න යෝජනාව ගැන නැවේ හිටිය අයට පාවුල් මතක් කළේ ඇයි? (ආ) පාවුල් කියපු දෙයින් අපට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

      14 ඒ වෙලාවේ පාවුල් සියලුදෙනා මැද සිටගෙන නැව යාත්‍රා කරන එක ගැන ඔහු කලින් දුන්න යෝජනාව මතක් කළා. ඔහු එහෙම කළේ තමන් දුන්න යෝජනාව පිළි නොගත්ත එක ගැන ඔවුන්ට දොස් කියන්න නෙවෙයි. නමුත් ඔහු කියන දේවලට සවන් දීම ප්‍රයෝජනවත් කියලා පෙන්වන්නයි. ඊටපස්සේ ඔහු ඔවුන්ට මෙහෙම කිව්වා. “හිතට ධෛර්යය ගන්න. මොකද අපි කාගෙවත් ජීවිත නැති වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැව විතරයි.” (ක්‍රියා 27:21, 22) ඒක අහලා එතන හිටපු අය සහනයක් ලබන්න ඇති. යෙහෝවා දෙවියන් නැවේ හිටපු අයට ඒ වගේ පණිවිඩයක් කියන්න කියපු එක ගැන පාවුල් මොන තරම් සතුටු වන්න ඇද්ද! අපටත් ඒකෙන් වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ඒ, යෙහෝවාට හැම කෙනෙක්ගෙම ජීවිත හුඟක් වටිනවා කියන එක. ඒ දේ අප කිසිවිටක අමතක නොකළ යුතුයි. පේතෘස් යෙහෝවා ගැන මෙහෙම කිව්වා. “ඔහු කැමති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙනවා දකින්න. ඔහුට ඕනෙ හැමෝටම පසුතැවිලි වෙන්න අවස්ථාව දෙන්නයි.” (2 පේතෘ. 3:9) අද හුඟක් අයගේ ජීවිත තියෙන්නේ අනතුරේ කියලා අපි දන්නවා. එහෙමනම් කල් නොදමා පුළුවන් තරම් දෙනෙක්ට දෙවියන් ලබා දීලා තියෙන බලාපොරොත්තුව ගැන කියන එක හරිම වැදගත්. එහෙම කරලා දෙවියන් අනර්ඝ විදිහට සලකන ජීවිත බේරගන්න අපට හැකි වෙයි.

      15 පාවුල් නැවේ හිටිය හුඟක් අයට ‘දෙවියන් දුන්න පොරොන්දුව’ අනිවාර්යයෙන් ඉටු වෙනවා කියන එක ගැන කියලා තිබුණ බවට සැකයක් නැහැ. (ක්‍රියා 26:6; කොලො. 1:5) දැන් මේ භයානක තත්වයෙනුත් දෙවියන් ඔවුන්ව බේරගන්නවා කියන විශ්වාසය ඇති කරගන්න හොඳ හේතුවක් ගැන පාවුල් මෙහෙම කියනවා. “අද අඳුර වැටුණාට පස්සේ මම සේවය කරන මගේ දෙවියන්ගේ දූතයෙක් මං ළඟ හිටගෙන මෙහෙම කිව්වා. ‘පාවුල්, කිසි දේකට බය වෙන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම සීසර් ඉස්සරහට යනවා. ඔයාට දෙවියන්ගේ කරුණාව ලැබිලා තියෙන නිසා ඔහු ඔයාවයි, නැවේ ඉන්න අනිත් හැමෝවමයි බේරගන්නවා.’ ඒ නිසා කිසි කෙනෙක් අධෛර්යය වෙන්න එපා. මොකද දේවදූතයා කියපු දේ ඒ විදිහටම වෙයි. මට දෙවියන් ගැන විශ්වාසයි. අපි මෙහෙම ගිහින් කොහේ හරි දූපතකට ගහගෙන යයි.”—ක්‍රියා 27:23-26.

      “හැමෝම කිසි අනතුරක් නැතුව ගොඩබිමට ආවා” (ක්‍රියා 27:27-44)

      සෙනඟ පිරී සිටින බඩු ගෙනියන නැවක් ඇතුළේ සිටින පාවුල් යාච්ඤා කරනවා. වෙහෙසට පත් වෙලා ඉන්න සමහර මඟීන් හිස පහත් කරගෙන සිටින අතරතුරේ තවත් අය වටපිට බලමින් සිටිනවා. ලී පෙට්ටි මත රොටි තිබෙනවා.

      ‘එයා හැමෝම ඉස්සරහා දෙවියන්ට ස්තුති කළා.’—ක්‍රියා 27:35

      16, 17. (අ) පාවුල් ප්‍රසිද්ධියේ යාච්ඤා කළේ මොන අවස්ථාවේදීද? ඒකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද? (ආ) පාවුල් කියපු දේ ඉටු වුණේ කොහොමද?

      16 සති දෙකක් පුරා හමපු දරුණු කුණාටුව නිසා නැව කිලෝමීටර් 870ක් විතර දුරක් ගහගෙන ගිහින් තිබුණා. නමුත් නැව ගොඩබිමකට ළං වෙනවා කියලා නැවියෝ තේරුම්ගත්තා. සමහරවිට එහෙම හිතන්න ඇත්තේ මුහුදු රළ වෙරළට ගහන හඬ ඔවුන්ට ඇහුණු නිසා විය හැකියි. නැව වෙනතකට ගහගෙන යන්නේ නැති වෙන්න ඔවුන් නැවේ අවරෙන් නැංගුරම් දැම්මා. නැංගුරම් දාලා බලා ඉන්න අතරතුරේ නැවියෝ නැවෙන් පැනලා යන්න උත්සාහ කළා. ඒක දැක්ක පාවුල් “මේ මිනිස්සු නැවේම හිටියොත් විතරයි අපිට බේරෙන්න ලැබෙන්නේ” කියලා හමුදා නිලධාරියාට කිව්වා. හමුදා නිලධාරියාගේ අණ පරිදි හේවායන් ඔවුන්ට පලා යන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වෙනකොට නැව ගහගෙන යන එක යම් දුරකට අඩු වෙලා තිබුණ නිසා කෑම ටිකක් කන්න කියලා පාවුල් හැමෝටම කිව්වා. ඔවුන්ගේ ජීවිතවලට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා ඔහු නැවතත් මතක් කරලා ‘හැමෝම ඉස්සරහා දෙවියන්ට ස්තුති කළා.’ (ක්‍රියා 27:31, 35) වාර්තාවේ කියන්නේ ඔහු දෙවියන්ට ස්තුති කරමින් යාච්ඤා කළාට පස්සේ “අනිත් අයගෙත් හිතට හයියක් ඇවිත් එයාලත් කන්න පටන්ගත්තා” කියලයි. (ක්‍රියා 27:36) ඒ වගේ අවස්ථාවක යාච්ඤා කරලා පාවුල් තිබ්බේ කදිම ආදර්ශයක්. අපට ඒකෙන් වැදගත් කාරණයක් ඉගෙනගන්න පුළුවන්. ඒ, අනිත් අය ඉදිරියේ අප යාච්ඤා කරද්දී ඔවුන්ව සනසන හා දිරිගන්වන විදිහට ඒක කරන්න ඕනෙ කියලයි.

      17 කෑම කාලා ඉවර වුණාට පස්සේ ගොඩබිමට ළඟා වෙද්දී නැවේ බර තවත් අඩු කරන්න ඔවුන් ඒකේ ගබඩා කරලා තිබුණ තිරිඟු මුහුදට වීසි කළා. පහුවදා ඔවුන් නැංගුරම් කපලා සුක්කානම්වල කඹ ලිහලා දැම්මා. ඒ වගේම වෙරළ දෙසට යාත්‍රා කරද්දී නැව යම් දුරකට පාලනය කරන්න පුළුවන් වෙන්න ඉස්සරහා තිබුණ කුඩා රුවල ඔසවලා තිබ්බා. නමුත් නැවේ ඉදිරිපස වැලි කණ්ඩියක හිර වුණ නිසා නැත්නම් මඩේ එරුණු නිසා රළ පහරට අහු වෙලා නැවේ අවරය කෑලිවලට කැඩිලා ගියා. ඒ අවස්ථාවේ සිරකරුවන් මුහුදට පැනලා ගැලවිලා යයි කියලා හිතලා හේවායන් ඔවුන්ව මරන්න උත්සාහ කළා. නමුත් ජූලියස් මැදිහත් වෙලා එහෙම කරන එකෙන් ඔවුන්ව වැළැක්වුවා. ඔහු හැමෝටම අණ කළේ මුහුදට පැනලා ගොඩබිමට පිහිනන්න හෝ යම් දෙයක් ආධාරයෙන් ගොඩට යන්න කියලයි. පාවුල් කියපු විදිහට නැවේ හිටිය 276දෙනාම “කිසි අනතුරක් නැතුව ගොඩබිමට ආවා.”—ක්‍රියා 27:44.

      “එයාලා අපිට හුඟක් ආදරෙන්, කරුණාවෙන් සැලකුවා” (ක්‍රියා 28:1-10)

      18-20. මෝල්ටාවේ වැසියන් දූපතට ආපු ආගන්තුකයන්ට “හුඟක් ආදරෙන්, කරුණාවෙන්” සැලකුවේ කොහොමද? ඒ අවස්ථාවේ දෙවියන් කරපු ආශ්චර්යය මොකක්ද?

      18 ඔවුන් ඇවිත් තිබුණේ මෝල්ටාව කියන දූපතටයි. (“මෝල්ටාව” කියන කොටුව බලන්න.) එහේ හිටිය වැසියන් කතා කළේ වෙනත් භාෂාවක්. නමුත් “අපි හිතුවාටත් වඩා එයාලා අපිට හුඟක් ආදරෙන්, කරුණාවෙන් සැලකුවා” කියලා වාර්තාවේ සඳහන් වෙනවා. (ක්‍රියා 28:2) හොඳටම තෙමිලා සීතලෙන් ගැහිගැහී තමන්ගේ දූපතට ආපු මේ ආගන්තුකයන්ට උණුසුම් වෙන්න ඔවුන් ගිනිමැලයක් ගැහුවා. ඒ ගිනිමැලය නිසා යම් ආශ්චර්යයකුත් වුණා.

      19 පාවුල් ඔවුන්ට උදව් කරන්න දර අහුලගෙන ඇවිත් දර මිටියක් ගින්නට දැම්මා. එතකොට දර මිටියේ හිටිය පොළඟෙක් එළියට ඇවිත් ඔහුගේ අතට දෂ්ට කරලා අතේ එල්ලුණා. ඒක දැක්ක දූපතේ වැසියන් හිතුවේ පාවුල්ට එහෙම වුණේ දේවශාපයක් නිසා කියලයි.a

      20 ඔවුන් හිතුවේ පාවුල්ගේ “ඇඟ ඉදිමෙයි” කියලයි. නමුත් පාවුල් අත ගසලා අතේ එල්ලිලා හිටපු විසකුරු සර්පයාව ඉවත් කරලා දැම්මා. ඔහුට කිසිම හානියක් වුණේ නැහැ. එක පොතක කියන්නේ “ඇඟ ඉදිමෙයි” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය වෛද්‍ය විද්‍යාවේ යොදාගන්න යෙදුමක් කියලයි. “ආදරණීය වෛද්‍යවරයෙක් වන ලූක්” තම වාර්තාවේ ඒ වගේ යෙදුමක් භාවිත කරපු එක පුදුමයට හේතුවක් නෙවෙයි.—ක්‍රියා 28:6; කොලො. 4:14.

      21. (අ) ලූක්ගේ වාර්තාව නිවැරදියි කියන්න තියෙන හේතු මොනවාද? (ආ) පාවුල් කරපු ආශ්චර්යයන් මොනවාද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?

      21 ඉඩකඩම් හිමි පබ්ලියස් කියන ධනවත් මිනිසෙක් ඒ අවට ජීවත් වුණා. සමහරවිට මෝල්ටාවේ හිටිය ප්‍රධාන රෝම නිලධාරියා ඔහු වෙන්න පුළුවන්. ලූක් ඔහුව විස්තර කරලා තියෙන්නේ “දූපතේ ප්‍රධානියා” විදිහට. ඒ දූපතෙන් හොයාගත්ත ගල් පුවරු දෙකකත් ඒ යෙදුම භාවිත කරලා තියෙනවා. ලූක්ගේ වාර්තාව මොන තරම් නිවැරදිද කියලා ඒකෙන් පැහැදිලියි. පබ්ලියස් පාවුල්ව හා පිරිසව පිළි අරන් දවස් තුනක් ඔවුන්ට හොඳින් සැලකුවා. ඒ කාලයේදී ඔහුගේ තාත්තා “උණ සහ පාචනය හැදිලා ඇඳට වෙලයි හිටියේ” කියලා ලූක් කියනවා. ඔහු අසනීප වෙලා හිටියා කියලා කියනවා වෙනුවට ලූක් ඔහුගේ අසනීපය පැහැදිලිව විස්තර කරලා තියෙන විදිහ ඔබ දැක්කාද? අසනීප වෙලා හිටපු ඔහු ළඟට පාවුල් ගිහින් යාච්ඤා කරලා ඔහු පිට අත් තිබ්බාම ඔහු සුව වුණා. ඒ ආශ්චර්යයෙන් පස්සේ දූපතේ අසනීප වෙලා හිටිය තවත් අයව සුව කරගන්න පාවුල් ළඟට ගෙනාවා. එහෙම එද්දී ඔවුන් තෑගිබෝගත් ගෙනාවා. ඒ වගේම පාවුල් හා පිරිසට අවශ්‍ය වන තව හුඟක් දේවලුත් ගෙනත් දුන්නා.—ක්‍රියා 28:7-10.

      22. (අ) රෝමය බලා ගිය ගමන ලූක් විස්තර කරලා තියෙන විදිහ ගැන විශාරදයෙක් කියන්නේ මොනවාද? (ආ) අප ඊළඟ පරිච්ඡේදයේ බලන්නේ මොනවා ගැනද?

      22 රෝමයට පාවුල් ගිය ගමන ගැන අප මේ වෙන කල් බලපු වාර්තාව ඉතා නිවැරදියි. එක විශාරදයෙක් කියන්නේ ලූක් ඒ වාර්තාව සකසන්න ඇත්තේ දින පොතකින් ගත්ත තොරතුරුවලින් විය යුතුයි කියලයි. ඒකට හේතුව පැහැදිලි කරමින් ඔහු මෙහෙම කිව්වා. “ලූක්ගේ වාර්තාව හරිම සවිස්තරාත්මකයි. බයිබලයේ අනිත් පොත්වලට වඩා ඒක කැපීපේනවා. පළවෙනි සියවසේ නාවිකයන් නැව ආරක්ෂා කරගන්න යොදාගත්ත විවිධ ක්‍රම හා මධ්‍යධරණී මුහුදේ සිදුවීම් ඔහු ඉතාමත් නිවැරදිව විස්තර කරලා තියෙනවා.” ලූක් සමහරවිට පාවුල් සමඟ ගිය ගමන්වලදී අද්දැක්ක දේවල් දින පොතක සටහන් කරගන්න ඇති. ගමනේ ඉතුරු කොටස ගැනත් ලූක්ට සටහන් කරගන්න බොහෝ දේ තිබුණා. අපි ඒ ගැන ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.

      මෝල්ටාව

      පාවුල් ගමන්ගත්ත නැව මුහුදුබත් වුණේ දැන් “මෝල්ටාව” විදිහට හඳුන්වන දූපත අසල නෙවෙයි වෙනත් දූපතක් අසල බවට විවිධ මත ඉදිරිපත් කර තිබෙනවා. සමහරු කියන්නේ ග්‍රීසියට බටහිර දෙසින් පිහිටි කෝෆු කියන දූපත අසල නැව මුහුදුබත් වුණ බවයි. තවත් සමහරු කියන්නේ ක්‍රොඒෂියාවට එපිටින් ආද්‍රියාතික් මුහුදේ පිහිටි මෙලත ඉලිරිකා දූපත අසල ඒක සිදු වුණ බවයි. ඒ දූපත දැන් හඳුන්වන්නේ ම්ලෙට් කියලයි. ඔවුන් ඒ නිගමනයට ඇවිත් තියෙන්නේ ක්‍රියා පොතේ “මෝල්ටාව” විදිහට පරිවර්තනය කරලා තියෙන මෙලීතේ කියන ග්‍රීක වචනය නිසයි.

      ක්‍රියා 27:27 “ආද්‍රිය මුහුද” ගැන සඳහන් කර තිබෙන බව ඇත්ත. නමුත් පාවුල් ජීවත් වුණ කාලයේ “ආද්‍රිය මුහුද” කියද්දී අද ආද්‍රියාතික් මුහුද විදිහට හඳුන්වන ප්‍රදේශයට වඩා විශාල ප්‍රදේශයක් ඒකෙන් අදහස් කළා. ඒකට අයෝනියන් මුහුද, සිසිලියට නැඟෙනහිරෙන් පිහිටි මුහුද හා ක්‍රීට් දූපතේ බටහිර මුහුද ඇතුළත් වුණා. අද මෝල්ටාව විදිහට හඳුන්වන දූපත තියෙන්නෙත් ඒ ප්‍රදේශයෙයි.

      වාර්තාවේ සඳහන් වන්නේ පාවුල් ගමන්ගත්ත නැව සැඩ සුළං නිසා කනීදස නගරයේ සිට දකුණු දෙසට ගහගෙන ගිහින් ක්‍රීට් දූපතේ දකුණු ප්‍රදේශයට ළඟා වුණ බවයි. ම්ලෙට් හා කෝෆු දූපත තියෙන්නේ එතන ඉඳන් ඈත උතුරෙනුයි. ඒ අවස්ථාවේ පැවති දරුණු චණ්ඩ මාරුතය නිසා ක්‍රීට් දූපතේ සිට උතුරු දිශාවට ඒ තරම් දුරක් යන්න පුළුවන් වෙයි කියා සිතිය නොහැකියි. එහෙමනම් ක්‍රියා පොතේ සඳහන් වන මෝල්ටාව බටහිර දිශාවේ පිහිටා තිබුණා කියලා හිතන එක තර්කානුකූලයි. ඒ අනුව නැව මුහුදුබත් වුණේ සිසිලියට දකුණින් පිහිටි මෝල්ටාව දූපත අසලයි කියලා කියන එක වඩාත් නිවැරදියි.

      a පාවුල්ට දෂ්ට කළේ මොන වගේ සර්පයෙක්ද කියලා දූපතේ වැසියන් හඳුනගත්ත එකෙන් පේන්නේ ඒ කාලයේ මෝල්ටාවේ පොළඟුන් හිටියා කියලයි. නමුත් දැන් මෝල්ටා දූපතේ පොළඟුන් නැහැ. ඒකට හේතුව සියවස් ගාණක් පුරා පරිසරයේ වෙලා තියෙන වෙනස්කම් විය හැකියි. නැත්නම් දූපතේ ජනගහනය වැඩි වෙනවාත් එක්කම පොළඟුන් වඳ වෙලා යන්න ඇති.

  • පාවුල් “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙයි
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
    • 27වෙනි පරිච්ඡේදය

      පාවුල් “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙයි

      රෝමයේ සිරගතව සිටියත් පාවුල් දිගටම නිර්භීතව සාක්ෂි දරයි

      ක්‍රියා 28:11-31

      1. රෝමයට ගිය ගමන සාර්ථක වෙනවා කියලා පාවුල්ට හා ඔහුගේ මිත්‍රයන්ට නිසැකකමක් තිබුණේ ඇයි?

      මේ ක්‍රි.ව. 59වෙනි අවුරුද්දයි. “සියුස්ගේ පුතුන්ගේ රූප” කැටයම් කරලා තියෙන ධාන්‍ය රැගත් නැවක් මෝල්ටාවේ සිට ඉතාලිය බලා පිටත් වෙනවා. හේවායන්ගේ භාරයේ ඉන්න පාවුල් සහ ඔහුගේ මිත්‍රයන් වන ලූක් හා අරිස්තාකස් මේ නැවේ ඉන්නවා. (ක්‍රියා 27:2) පේන විදිහට මේ නැවේ ගමන් කරන අය ගමනට රැකවරණය පතන්නේ සියුස් කියන ග්‍රීක දෙවියාගේ නිවුන් පුතුන් දෙන්නාගෙන් (ඒ කියන්නේ කැස්ටර් හා පොලොක්ස්). නමුත් පාවුල් හා ඔහුගේ මිත්‍රයන් ඒ වගේ දෙවිවරුන්ගෙන් රැකවරණය පැතුවේ නැහැ. (ක්‍රියා 28:11) මොකද පාවුල් රෝමයේදී සාක්ෂි දරනවා කියලත් ඔහු සීසර් ඉස්සරහට යනවා කියලත් ඔවුන් නමස්කාර කරන සැබෑ දෙවි යෙහෝවා ඔවුන්ට පොරොන්දු වෙලා තිබුණා. එහෙමනම් මේ ගමන සාර්ථක වන බවට ඔවුන්ට නිසැකකමක් තිබුණ එක පුදුමයක් නෙවෙයි.—ක්‍රියා 23:11; 27:24.

      2, 3. පාවුල් ගිය නැව ගමන් කළේ මොන මාර්ගයේද? පාවුල්ට ලැබුණේ කාගේ උපකාරයද?

      2 දින තුනකට පස්සේ සිසිලියේ පිහිටි සිරකූසය කියන අලංකාරවත් නගරයට ඔවුන් ආවා. ඒක ඇතන්ස් හා රෝමය වගේ ඉතා ප්‍රසිද්ධ නගරයක්. එතනින් පිටත් වුණ ඔවුන් ඊළඟට ළඟා වුණේ ඉතාලියේ දකුණු ප්‍රදේශයේ පිහිටි නගරයක් වුණ රෙජියම්වලට. දකුණු දෙසින් හමපු සුළඟ නිසා රෙජියම් සිට කිලෝමීටර් 320ක් ඈතින් පිහිටි පුටෙයෝලිය වරාය වෙතට (අද දින නේපල්ස් විදිහට හඳුන්වන ස්ථානය අසලට) සිතුවාටත් වඩා වේගයෙන් යන්න ඔවුන්ට පුළුවන් වුණා.—ක්‍රියා 28:12, 13.

      3 දැන් පාවුල් ඔහුගේ ගමනාන්තය වන රෝමයට ළඟා වෙනවා. එහෙදී ඔහු අධිරාජ්‍යයා වුණ නීරෝ ඉදිරියේ පෙනී ඉන්නයි යන්නේ. සිසේරියේ සිට රෝමය දක්වා ආපු මේ ගමනේදී “ඕනෙම අවස්ථාවකදී අපිව සනසන දෙවි” යෙහෝවාගේ උපකාරය පාවුල්ට ලැබුණා. (2 කොරි. 1:3) දෙවියන්ගේ උපකාරය ඔහුට දිගටම ලැබුණු විදිහ ගැනත් පාවුල් දිගටම උද්‍යෝගයෙන් සේවය කරපු විදිහ ගැනත් දැන් අපි බලමු.

      “පාවුල්ගේ හිතට ලොකු ධෛර්යයක් ඇවිත් එයා දෙවියන්ට ස්තුති කළා” (ක්‍රියා 28:14, 15)

      4, 5. (අ) සහෝදරයන් පාවුල්ට හා ඔහුගේ මිත්‍රයන්ට ආගන්තුක සත්කාරය පෙන්නුවේ කොහොමද? පාවුල්ට සහෝදරයන් එක්ක කාලය ගත කිරීමට නිදහස ලැබෙන්න ඇත්තේ ඇයි? (ආ) තම යහපත් හැසිරීම නිසා සිරගෙවල්වලදී පවා ක්‍රිස්තියානීන්ට ලැබිලා තියෙන ප්‍රයෝජන මොනවාද?

      4 පුටෙයෝලිය වරායට ආවාම පාවුල්ට හා ඔහුගේ මිත්‍රයන්ට එහේ හිටපු “සහෝදරයන්ව හම්බ වුණා.” වාර්තාවේ මෙහෙම කියනවා. “එයාලා අපිට කිව්වා එයාලා එක්ක දවස් හතක් නැවතිලා ඉන්න කියලා.” (ක්‍රියා 28:14) ආගන්තුක සත්කාරය පෙන්වීම සම්බන්ධයෙන් ඒ සහෝදරයන් කදිම ආදර්ශයක්. පාවුල් හා ඔහුගේ මිත්‍රයන් සමඟ එකට කාලය ගත කිරීමෙන් ඒ සහෝදරයන් ලොකු දිරිගැන්වීමක් ලැබුවා. නමුත් රෝම නිලධාරියා තමන් භාරයේ ඉන්න සිරකරුවෙක් වුණ පාවුල්ට සහෝදරයන් සමඟ කාලය ගත කිරීමට නිදහස දුන්නේ ඇයි? සමහරවිට පාවුල් වැඩ කරපු විදිහ දැකලා රෝම නිලධාරියාට පාවුල් ගැන ලොකු විශ්වාසයක් ඇති වෙන්න ඇති.

      5 අදත් යෙහෝවා දෙවිගේ සේවකයන්ට ඔවුන්ගේ යහපත් හැසිරීම නිසා සිරගෙවල්වල හා ගාල් කඳවුරුවල ඉන්න නිලධාරීන්ගේ විශ්වාසය දිනාගන්න පුළුවන් වෙලා තියෙනවා. උදාහරණයකට මංකොල්ල කෑමක් නිසා අවුරුදු 75ක සිරදඬුවමක් ලබපු රුමේනියාවේ පුද්ගලයෙක්ගේ අද්දැකීම බලන්න. සිරගෙදර ඉද්දී ඔහු බයිබලය පාඩම් කරන්න පටන් අරන් බයිබල් ප්‍රතිපත්තිවලට අනුව තම ජීවිතයේ හුඟක් වෙනස්කම් කළා. ප්‍රතිඵලයක් විදිහට සිරගෙදරට අවශ්‍ය බඩු මිල දී ගැනීම සඳහා නගරයට යන්න නිලධාරීන් ඔහුට අවසර දුන්නා. ඔවුන් ඔහුව කොතරම් විශ්වාස කළාද කියනවා නම් නගරයට යද්දී කිසිම නිලධාරියෙක්ව ඔහු එක්ක යැව්වේ නැහැ. ඇත්තෙන්ම ඔහුගේ යහපත් හැසිරීම නිසා යෙහෝවාට ලැබුණේ මොන තරම් ගෞරවයක්ද!—1 පේතෘ. 2:12.

      6, 7. රෝමයේ හිටපු සහෝදරයන් ඔවුන්ගේ ආදරේ පෙන්නුවේ කොහොමද?

      6 පුටෙයෝලියෙන් පිටත් වුණ පාවුල් හා ඔහුගේ මිත්‍රයන්, කිලෝමීටර් 50ක් විතර පයින් ගමන් කරලා කැපුවා කියන නගරයට ආවා. ඔවුන් ගමන් කළේ රෝමය දක්වා ගිය ඇපියන් මාර්ගය හරහා. ඒ මාර්ගය විශාල, පැතලි ගල් අතුරලා ඉදි කරලා තිබුණා. ඇපියන් මාර්ගය හරහා ගිය කෙනෙක්ට ඉතාලියේ ගම්බද ප්‍රදේශය දැක බලා ගැනීමට හැකි වුණා. ඒ මාර්ගයේ සමහර තැන් තිබුණේ මධ්‍යධරණී මුහුද අසල. ඒකේ ගමන් කරද්දී වගුරුබිම් සහිත පෙන්සියානෙ කියන ප්‍රදේශයත් පහු කරන්න වෙනවා. අප්පියස්ගේ වෙළඳපොළ තිබුණේ එතන. රෝමය තිබුණේ එතන ඉඳන් කිලෝමීටර් 60ක් විතර දුරිනුයි. පාවුල් හා ඔහුගේ මිත්‍රයන් “එනවා කියලා ආරංචි වෙලා එහේ හිටපු සහෝදරයෝ” ඔවුන්ව හමු වෙන්න අප්පියස්ගේ වෙළඳපොළ දක්වාම ඇවිත් හිටියා. තවත් සමහරු තුන් තානායම කියන ස්ථානයට ඇවිත් පාවුල් එන කල් බලන් හිටියා. තුන් තානායම කියන ස්ථානයේ සිට රෝමය පිහිටා තිබුණේ කිලෝමීටර් 50ක් විතර දුරින්. ඇත්තෙන්ම රෝමයේ සිටි සහෝදරයන් වැඩ කරපු විදිහෙන් ඔවුන්ට සහෝදරයන් ගැන මොන තරම් ආදරයක් තිබුණාද කියලා පැහැදිලියි.—ක්‍රියා 28:15.

      7 අප්පියස්ගේ වෙළඳපොළ කියන්නේ වෙහෙසට පත් වෙලා හිටපු මඟීන්ට සැපපහසුවට ඉන්න පුළුවන් තැනක් නම් නෙවෙයි. රෝම ජාතික කවියෙක් වුණ හොරස් ඒ වෙළඳපොළ විස්තර කරන්නේ මෙහෙමයි. “ඒක නැවියන්ගෙන් හා කිසි කමකට නැති තැබෑරුම්කරුවන්ගෙන් පිරුණු ස්ථානයක්. එහේ තිබුණ ජලය හරිම අපවිත්‍රයි.” ඒ ස්ථානයේ සිට ආහාරයක් ගැනීමටවත් හොරස් කැමති වුණේ නැහැ. නමුත් රෝමයෙන් ආපු සහෝදරයන් ඒ තරම් අපහසුකම් මැද පාවුල් හා ඔහුගේ මිත්‍රයන් එන කල් එතනට වෙලා බලාගෙන හිටියා. ඔවුන්ට වුවමනා වුණේ ඒ ස්ථානයේ සිට රෝමය දක්වා පාවුල් සමඟ එකට ගමන් කිරීමටයි.

      8. පාවුල් සහෝදරයන්ව දැක්කාම දෙවියන්ට ස්තුති කළේ ඇයි?

      8 වාර්තාවේ සඳහන් වන්නේ “එයාලව දැක්කාම පාවුල්ගේ හිතට ලොකු ධෛර්යයක් ඇවිත් එයා දෙවියන්ට ස්තුති කළා” කියායි. (ක්‍රියා 28:15) එතනට ඇවිත් හිටපු සමහර සහෝදරයන් පාවුල්ව හොඳින් දැන හඳුනන අය වෙන්න ඇති. ඔවුන් සියලුදෙනාවම දැකීමෙන් පාවුල් මොන තරම් සැනසීමක්, දිරිගැන්වීමක් ලබන්න ඇද්ද! පාවුල් සහෝදරයන්ව දැකලා දෙවියන්ට ස්තුති කළේ ඔවුන් තමන් ගැනවත් නොසිතා ඒ විදිහට ආදරේ පෙන්වන්න පෙලඹුණේ දෙවියන්ගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වුණ නිසා කියලා තේරුම්ගත්ත නිසයි. ඇත්තෙන්ම දෙවියන්ගේ බලය ඒ සහෝදරයන් තුළ ක්‍රියාත්මක වෙන විදිහ දැක්ක පාවුල්, ලොකු ධෛර්යයක් ලැබුවා. (ගලා. 5:22) අනිත් අයට අවශ්‍ය උපකාර හා සැනසීම ලබා දීමට සැබෑ ක්‍රිස්තියානීන් වන අප පෙලඹෙන්නෙත් දෙවියන්ගේ බලය අප තුළ ක්‍රියාත්මක වන නිසයි.—1 තෙස. 5:11, 14.

      9. අපට රෝමයේ හිටපු සහෝදරයන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

      9 උදාහරණයකට චාරිකා සේවකයන්ට, මිෂනාරිවරුන්ට හා පූර්ණකාලීනව දෙවියන්ට සේවය කරන අනිත් අයට විවිධ පැතිවලින් උපකාර ලබා දෙන්න සහෝදර සහෝදරියන්ගේ සිත් පොලඹවන්නේ දෙවියන්ගේ බලයයි. පූර්ණකාලීනව සේවය කරන සහෝදර සහෝදරියන් මොන තරම් කැප කිරීම් කර තිබෙනවාද! එහෙමනම් අප හැම කෙනෙක්ම මේ ප්‍රශ්න ගැන කල්පනා කරන එක හරිම වැදගත්. ‘චාරිකා සේවකට හා ඔහු විවාහක නම් ඔහුගේ භාර්යාවට ආගන්තුක සත්කාරය පෙන්වීම හෝ වෙනත් විදිහකින් උපකාරයක් ලබා දීම සම්බන්ධයෙන් මට තව දියුණු විය හැකිද? ඔවුන් සමඟ සේවයේ හවුල් වෙන්න මට කලින්ම සැලසුම් යෙදිය හැකිද?’ එහෙම කරන එකෙන් ඔබට හුඟක් ආශීර්වාද ලබාගත හැකියි. ටිකක් සිතන්න. පාවුල් හා ඔහුගේ මිත්‍රයන් රෝමයෙන් ආපු සහෝදරයන් සමඟ දිරිගන්වනසුලු, ගොඩනංවනසුලු අද්දැකීම් බෙදාගත්තාම සහෝදරයන් කොතරම් ප්‍රීතියක් ලබන්න ඇද්ද!—ක්‍රියා 15:3, 4.

      “හැම තැනකම මිනිස්සු මේ නිකායට විරුද්ධව කතා කරනවා” (ක්‍රියා 28:16-22)

      10. රෝමයේදී පාවුල් හිටපු තත්වය විස්තර කරන්න. රෝමයට ඇවිත් වැඩි දවසක් යන්න කලින් ඔහු කළේ මොකක්ද?

      10 පාවුල් හා පිරිස රෝමයට ඇතුල් වුණාම “පාවුල්ට අවසර ලැබුණා වෙනම තැනක නතර වෙන්න. එයාව මුර කරන්න හේවායෙක්ව පත් කරලා තිබුණා.” (ක්‍රියා 28:16) සාමාන්‍යයෙන් ඒ විදිහට අත්අඩංගුවේ ඉන්න සිරකරුවෙක් පැනලා යන එක වළක්වන්න ඔහුගේ අත් දම්වැලකින් බැඳලා ඒක ඔහුව මුර කරපු හේවායාට සම්බන්ධ කළා. පාවුල්වත් ඒ විදිහට දම්වැලකින් බැඳලා තිබුණත් ශුභාරංචිය දේශනා කිරීම නම් ඔහු නතර කළේ නැහැ. වාර්තාවේ කියන්නේ පාවුල් රෝමයට ඇවිත් දවස් තුනකට පස්සේ එහේ හිටපු යුදෙව්වන්ගේ ප්‍රධානීන්ට ඇවිත් තමාව හමු වන්න කියා පණිවිඩයක් යවපු බවයි. පේන විදිහට දවස් තුනක් වගේ කෙටි කාලයකින් ගමන් මහන්සිය නිවාගත්ත පාවුල්, යුදෙව්වන්ගේ ප්‍රධානීන්ට තමන්ව හඳුන්වලා දීලා ශුභාරංචිය ගැන සාක්ෂි දරන්න සූදානම් වුණා.

      11, 12. තමා ගැන යුදෙව්වන්ට යම් වැරදි මතයක් තිබුණා නම් ඒක නැති කරන්න පාවුල් කළේ මොකක්ද?

      11 යුදෙව්වන්ගේ ප්‍රධානීන් පාවුල්ව හම්බ වෙන්න ආවාම පාවුල් ඔවුන්ට මෙහෙම කිව්වා. “මගේ සහෝදරයෙනි, මම මිනිස්සුන්ටවත් අපේ මුතුන්මිත්තන්ගේ චාරිත්‍රවලටවත් විරුද්ධව කිසි දෙයක් කළේ නැහැ. ඒ වුණත් යෙරුසලමේදී මාව හිරකාරයෙක් විදිහට අල්ලගෙන රෝමවරුන්ට භාර දුන්නා. නඩු විභාගයකින් පස්සේ එයාලට තේරුණා මරණ දඬුවම ලබන්න තරම් වටින කිසිම දෙයක් මං කරලා නැහැ කියලා. ඉතින් එයාලට ඕනෙ වුණේ මාව නිදහස් කරන්න. ඒත් යුදෙව්වරුන් ඒකට විරුද්ධ වුණ නිසා මට සිද්ධ වුණා සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලන්න. ඒත් මං එහෙම කළේ මගේ ජාතියට විරුද්ධව චෝදනාවක් එල්ල කරන්න නෙමෙයි.”—ක්‍රියා 28:17-19.

      12 තමාව හමු වෙන්න ආපු යුදෙව්වන්ව පාවුල් ඇමතුවේ “මගේ සහෝදරයෙනි” කියලා. ඔවුන්ව ඒ විදිහට අමතපු එකෙන් පාවුල් කළේ තමා ගැන ඔවුන්ට යම් වැරදි මතයක් තියෙනවා නම් ඒක නැති කරලා ඔවුන්ගේ සිත් දිනාගැනීමටයි. (1 කොරි. 9:20) තමා රෝමයට ආවේ සීසර්ගෙන් තීන්දුවක් ලබාගැනීමට මිස තම ජාතියේ අයට ඒ කියන්නේ යුදෙව්වන්ට විරුද්ධව චෝදනා එල්ල කිරීමට නෙවෙයි කියලත් ඔහු ඔවුන්ට කිව්වා. නමුත් පුදුමයට කරුණක් තමයි පාවුල් ඒ දේවල් කියන කල් ඔහුගේ නඩුව හා සම්බන්ධ කිසිම දෙයක් එහේ හිටපු යුදෙව්වන් දැන නොසිටීම. (ක්‍රියා 28:21) ඒකට හේතුව ගැන පොතක මෙහෙම සඳහන් වෙනවා. “පාවුල් ආපු නැව ශීත කාලය අවසන් වුණාට පස්සේ ඉතාලියට ආපු මුල්ම නැව්වලින් එකක් වෙන්න ඇති. ඒ නිසා යෙරුසලමේ ඉඳන් ආපු යුදෙව් නියෝජිතයන්වත් නඩුව ගැන සඳහන් ලිපියක්වත් ඒ වෙන කල් රෝමයට ඇවිත් තියෙන්න නැතුව ඇති.”

      13, 14. දේවරාජ්‍යය ගැන දේශනා කරන්න පාවුල් අඩිතාලම දැම්මේ කොහොමද? අපට ඔහුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

      13 තමා සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලපු හේතුව පැහැදිලි කළාට පස්සේ පාවුල් ඔවුන්ට මෙහෙම කිව්වා. “මාව මේ දම්වැල්වලින් බැඳලා තියෙන්නේ ඊශ්‍රායෙල්වරුන් බලාපොරොත්තුවෙන් ඉන්න තැනැත්තාව මං විශ්වාස කරන නිසයි.” (ක්‍රියා 28:20) පාවුල් ඒ වගේ දෙයක් කිව්වේ දේවරාජ්‍යය ගැන පණිවිඩය ඔවුන්ට කියන්න අඩිතාලමක් දාන අරමුණෙන්. ඔහුට අවශ්‍ය වුණේ ඊශ්‍රායෙල්වරුන් බලාපොරොත්තුවෙන් හිටපු තැනැත්තා ඒ කියන්නේ පොරොන්දු වුණ ගැලවුම්කරුව ඔවුන්ට හඳුන්වලා දෙන්නයි. පේන විදිහට පාවුල්ට සවන් දෙන්න ඒ යුදෙව්වන් තුළ උනන්දුවක් ඇති වුණා. ඔවුන් ඔහුට මේ දේ කිව්වේ ඒ නිසයි. “හැම තැනකම මිනිස්සු මේ නිකායට විරුද්ධව කතා කරනවා කියලා අපි දන්නවා. ඉතින් අපි ආසයි ඔයාට කියන්න තියෙන්නේ මොනවාද කියලා දැනගන්න.”—ක්‍රියා 28:22.

      14 අපත් පාවුල්ව ආදර්ශයට ගන්නවා නම් ශුභාරංචිය දේශනා කරද්දී සවන් දෙන අයට උනන්දුවක් ඇති කරන විදිහට අපේ පණිවිඩය කියන්න අප උත්සාහ කරනවා. උනන්දුව ඇති කරන යම් කාරණයක් ගැන සඳහන් කිරීමෙන් හෝ යම් ප්‍රශ්නයක් ඇසීමෙන් අපට ඒ දේ කරන්න පුළුවන්. ඒ සඳහා කදිම යෝජනා අපට සේවා පාසැල් පොතෙන් හා උගන්වන සඟරාවෙන් හොයාගන්න පුළුවන්. ඒවාවල සඳහන් යෝජනා සේවයේදී අදාළ කරගැනීම හොඳ දෙයක් නෙවෙයිද?

      “දෙවියන්ගේ රාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක් දුන්න” පාවුල් (ක්‍රියා 28:23-29)

      15. පාවුල් සාක්ෂි දරපු විදිහෙන් අපට ඉගෙනගන්න පුළුවන් කාරණා හතර මොනවාද?

      15 පාවුල් එක්ක කතාබහ කිරීමට නියම කරගත්ත දවසේදී යුදෙව්වන් “විශාල පිරිසක්” ඔහු නවාතැන් ගත්ත ස්ථානයට ආවා. පාවුල් “උදේ ඉඳන් හවස් වෙන කල්ම එයාලට දෙවියන්ගේ රාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක් දුන්නා. එයා මෝසෙස්ගේ නීතියේ තිබුණ දේවලුයි, අනාගතවක්තෘවරුන් ලියපු දේවලුයි පාවිච්චි කරලා යේසුස් ගැන විශ්වාසයක් ඇති වෙන විදිහේ තර්ක ඉදිරිපත් කළා.” (ක්‍රියා 28:23) පාවුල් සාක්ෂි දරපු විදිහෙන් අපට කාරණා හතරක් ඉගෙනගන්න පුළුවන්. එකක් තමයි ඔහු පණිවිඩය ඉදිරිපත් කරද්දී වැඩි අවධානයක් දුන්නේ දේවරාජ්‍යයට. දෙවෙනි කාරණය තමයි තමන්ට සවන් දෙන අයගේ හදවතට තොරතුරු කාවද්දන්න ඔහු “විශ්වාසයක් ඇති වෙන විදිහේ තර්ක ඉදිරිපත් කළා.” තුන්වෙනි කාරණය තමයි ඔහු දේවල් පැහැදිලි කරන්න පදනම විදිහට යොදාගත්තේ ශුද්ධ ලියවිල්ලයි. ඔහු “උදේ ඉඳන් හවස් වෙන කල්ම” සාක්ෂි දරපු බවත් වාර්තාවේ කියනවා. ඔහු තමා ගැනවත් නොසිතා තම පැවරුම ඉටු කළ බව ඒකෙන් පැහැදිලියි. ඒක අපට ඉගෙනගන්න පුළුවන් හතරවෙනි කාරණයයි. පාවුල්ට සවන් දුන් අය ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද? ලූක් වාර්තා කරන්නේ පාවුල් කියපු දේවල් ‘සමහරු විශ්වාස කළත්’ තවත් සමහරු විශ්වාස නොකළ බවයි. ප්‍රතිඵලයක් විදිහට ඔවුන් අතරේ මතභේදයක් ඇති වෙලා ඔවුන් ‘එතනින් යන්න හැදුවා.’—ක්‍රියා 28:24, 25අ.

      16-18. යුදෙව්වන් දක්වපු ප්‍රතිචාරය ගැන පාවුල් පුදුම නොවුණේ ඇයි? අපේ පණිවිඩයට මිනිසුන් හොඳ ප්‍රතිචාරයක් නොදක්වද්දී අපි කරන්න ඕනෙ මොනවාද?

      16 ඒ යුදෙව්වන් ප්‍රතිචාරය දක්වපු විදිහ ගැන පාවුල් පුදුම වුණේ නැහැ. මොකද ඒ හා සමාන ප්‍රතිචාරයක් ඔහු කලින් අවස්ථාවලදී අද්දැකලා තිබුණා වගේම ඒ වගේ දෙයකට මුහුණ දෙන්න වෙනවා කියලා ශුද්ධ ලියවිල්ලෙත් සඳහන් කරලා තිබුණා. (ක්‍රියා 13:42-47; 18:5, 6; 19:8, 9) ඔහු කියපු දේවල් පිළිගන්න අකමැතිව එතනින් යන්න සූදානම් වුණ අයට ඔහු මෙහෙම කිව්වා. “දෙවියන්ගේ බලය අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් ඔයාලාගේ මුතුන්මිත්තන්ට දන්වපු දේ කොච්චර ඇත්තද! යෙසායාට මෙහෙම දැන්නුවා. ‘ගිහින් මේ සෙනඟට මේ පණිවිඩේ කියන්න. “ඔබට ඇහුණත් ඔබ කිසි දෙයක් තේරුම්ගන්නේ නැහැ. ඔබ බැලුවත් කිසි දෙයක් ඔබට පේන්නේ නැහැ. මොකද මේ සෙනඟ ඔවුන්ගේ හිත් මුරණ්ඩු කරගෙන.”’” (ක්‍රියා 28:25ආ-27) ඔවුන්ගේ සිත් කොතරම් “මුරණ්ඩු කරගෙන” තිබුණාද කියනවා නම් දේවරාජ්‍යය ගැන පණිවිඩය ඔවුන්ගේ හදවතට කිසිම විදිහකින් බලපෑවේ නැහැ. ඔවුන් හිටියේ මොන තරම් භයානක තත්වයකද!

      17 දේවරාජ්‍යය ගැන පණිවිඩයට යුදෙව්වන් හොඳ ප්‍රතිචාරයක් නොදැක්වුවත් ‘වෙනත් ජාතීන් නම් අනිවාර්යයෙන්ම ඇහුම්කන් දෙයි’ කියලා පාවුල් තම කතාව අවසන් කළා. (ක්‍රියා 28:28; ගීතා. 67:2; යෙසා. 11:10) වෙනත් ජාතීන්ට අයත් හුඟදෙනෙක් ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වන විදිහ පාවුල් ඇස් දෙකෙන්ම දැකලා තිබුණා. ඒ දේ ඔහු ලොකු නිසැකකමකින් කිව්වේ ඒ නිසයි.—ක්‍රියා 13:48; 14:27.

      18 අප කියන පණිවිඩයට මිනිසුන් හොඳ ප්‍රතිචාරයක් නොදක්වද්දී අප පාවුල්ව ආදර්ශයට අරන් අනවශ්‍ය විදිහට කනගාටු නොවිය යුතුයි. මොකද ජීවනයට යන පාර හොයාගන්නේ ටිකදෙනෙක් විතරයි කියලා අප හොඳින් දන්නවා. (මතෙ. 7:13, 14) නමුත් කෙනෙක් ශුභාරංචිය පිළිගෙන සැබෑ දෙවියන්ට නමස්කාර කිරීම සඳහා අපත් එක්ක එකතු වෙද්දී අප කොතරම් සතුටු විය යුතුද! අපේ සහෝදරත්වයට ඔහුව හද පිරි ආදරෙන් පිළිගනිමු.—ලූක් 15:7.

      පාවුල් දිගටම “දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශනා කළා” (ක්‍රියා 28:30, 31)

      19. නිවාස අඩස්සියේ ගත කරපු කාලයෙන් පාවුල් උපරිම ප්‍රයෝජන ගත්තේ කොහොමද?

      19 නියෝජිතයන්ගේ ක්‍රියා ගැන තමා ලියපු වාර්තාව ලූක් අවසන් කරන්නේ මෙහෙමයි. “පාවුල් අවුරුදු දෙකක්ම හිටියේ එයාටම කියලා කුලියට ගත්ත ගෙදරක. එයාව හම්බ වෙන්න ආපු හැමෝවම එයා ආදරෙන් පිළිගත්තා. එයා කිසිම බයක් නැතුව ලොකු උද්‍යෝගයකින් දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශනා කරලා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන අනිත් අයට ඉගැන්නුවා. ඒකට එයාට කිසිම බාධාවක් තිබුණේ නැහැ.” (ක්‍රියා 28:30, 31) ආගන්තුක සත්කාරය, විශ්වාසය හා උද්‍යෝගය සම්බන්ධයෙන් පාවුල් අපට කදිම ආදර්ශයක්!

      20, 21. පාවුල් රෝමයේදී කරපු සේවයෙන් ප්‍රයෝජන ලබපු අය ගැන සඳහන් කරන්න.

      20 පාවුල් නිවාස අඩස්සියේ ඉද්දී ඔහුව හමු වෙන්න ආපු අයගෙන් එක් කෙනෙක් තමයි ඔනෙසිමස්. ඔහු කොලොස්සියේ සිට තම ස්වාමියාව අත්හැරලා පලා ආපු දාසයෙක්. ඔහුට ක්‍රිස්තියානියෙක් වෙන්න පාවුල් උපකාර කළා වගේම ඔහුත් පාවුල්ට ‘ආදරණීය, විශ්වාසවන්ත සහෝදරයෙක්’ වුණා. ඔනෙසිමස් සමඟ ගත කරපු කාලය පාවුල්ට ලොකු දිරිගැන්වීමක් වුණ බව නිසැකයි. ඔනෙසිමස්ව තමා ‘දරුවෙක්’ විදිහට සලකන බව පාවුල් තම ලිපියක සඳහන් කළේ ඒ නිසයි.a—කොලො. 4:9; ෆිලෙ. 10-12.

      21 පේන විදිහට පාවුල්ගේ ආදර්ශයෙන් තව හුඟදෙනෙක් ප්‍රයෝජන ලැබුවා. ඔහු ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන්ට කියපු මේ දෙයින් ඒක පැහැදිලියි. “ශුභාරංචිය තව වැඩියෙන් පැතිරෙන්න මං දැන් ඉන්න තත්වය උදව් වෙලා තියෙනවා. . . . මාව හිරේ දාලා තියෙන්නේ මං ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් නිසා කියන දේ අධිරාජ්‍යයාගේ ආරක්ෂක නිලධාරීන් අතරෙත් අනිත් හැමෝම අතරෙත් ප්‍රසිද්ධ වෙලයි තියෙන්නේ. මං හිරේ ඉන්නවා දැකලා ස්වාමීන්ට සේවය කරන සහෝදරයන් හුඟදෙනෙක්ගේ ධෛර්යය තවත් වැඩි වෙලා තියෙනවා. දැන් එයාලා කලින්ටත් වඩා නිර්භීතව දෙවියන්ගේ පණිවිඩය ගැන කතා කරනවා.”—ෆිලි. 1:12-14.

      22. පාවුල් නිවාස අඩස්සියේ හිටපු කාලය යොදාගත්තේ මොනා කරන්නද?

      22 පාවුල් නිවාස අඩස්සියේ සිටි කාලය අතරතුරේදී ලියපු ලිපි කිහිපයක්ම ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලට ඇතුළත් කරලා තියෙනවා.b මුල් සියවසේ ක්‍රිස්තියානීන් ඒ ලිපිවලින් හුඟක් ප්‍රයෝජන ලැබුවා. අපිත් ඒවායින් ප්‍රයෝජන ලබනවා. මොකද දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියපු ඒ තොරතුරු එදා වගේම අදටත් ගැළපෙනවා.—2 තිමෝ. 3:16, 17.

      පාවුල් රෝමයේ මුල්ම වතාවට සිරගතව ඉද්දී ලියපු ලිපි

      පාවුල් ලියපු ලිපි අතරින් ලිපි පහක්ම ඔහු ලිව්වේ රෝමයේ මුල්ම වතාවට සිරගත වෙලා හිටිය ක්‍රි.ව. 60 සිට 61 විතර කාලයෙදියි. ෆිලෙමොන් කියන සහෝදරයාට ඔහු ලියපු ලිපිය ඒ අතරින් එකක්. ෆිලෙමොන්ගෙන් පලා ගිය දාසයෙක් වුණ ඔනෙසිමස් දැන් යේසුස්ගේ අනුගාමිකයෙක් කියලා ඔහු ඒ ලිපියේ සඳහන් කළා. ඒ නිසා කලින් ඔහුගෙන් ‘කිසි ප්‍රයෝජනයක් තිබුණේ නැතත්’ දැන් ඔහුව ආදරණීය සහෝදරයෙක් විදිහට භාරගන්න කියලත් පාවුල් ෆිලෙමොන්ගෙන් ඉල්ලුවා. ඔනෙසිමස්ව තමාගෙම දරුවෙක් විදිහට සලකනවා කියලත් පාවුල් ඒකේ සඳහන් කළා.—ෆිලෙ. 10-12, 16.

      පාවුල් කොලොස්සිවරුන්ට ලියපු ලිපියේ ඔනෙසිමස් “ඔයාලාගෙම පළාතේ කෙනෙක්” කියලා සඳහන් කළා. (කොලො. 4:9) ෆිලෙමොන්ට, කොලොස්සිවරුන්ට හා එෆීසවරුන්ට පාවුල් ලියපු ලිපි අදාළ අය වෙතට අරන් ගියේ ඔනෙසිමස් හා තිකිකස් කියන සහෝදරයන්.—එෆී. 6:21.

      පාවුල් ‘හිරේ ඉන්න වෙලාවේ’ ෆිලිප්පියේ ඉන්න සහෝදරයන් ඔහුට දක්වපු සහයෝගය ගැන පාවුල් ෆිලිප්පිවරුන්ට ලියපු ලිපියේ සඳහන් කළා. ඒ ලිපිය ඔවුන් වෙතට අරන් ගිය එපෆ්‍රොදිතස් කියන සහෝදරයා ගැන යම් විස්තරයකුත් ඔහු ඒකට ඇතුළත් කළා. ෆිලිප්පිවරුන් එපෆ්‍රොදිතස්ව පාවුල් ළඟට යැව්වේ පාවුල්ට අවශ්‍ය යම් උපකාර ලබා දෙන්නයි. නමුත් උපකාරයට ආපු ඔහු, මරණාසන්න තත්වයට පත් වන තරම් බරපතළ විදිහට අසනීප වුණා කියලත් ඒ ගැන ෆිලිප්පිවරුන්ට ආරංචි වුණ නිසා “එයා ඉන්නේ දුකෙන්” කියලත් පාවුල් ඒ ලිපියේ සඳහන් කළා. ඒ නිසා “ඒ වගේ පුරුෂයන්ව ඔයාලට ගොඩක් වටිනවා කියලා පෙන්නන්න” කියලා පාවුල් ඔවුන්ට මතක් කළා.—ෆිලි. 1:7; 2:25-30.

      හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපිය ලිව්වේ යූදා ප්‍රදේශයේ හිටිය හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ටයි. ඒ ලිපිය ලියන්නේ කවුද කියලා ඒකේ නිශ්චිතවම සඳහන් නොවුණත් ඒක පාවුල් ලියපු ලිපියක් කියලා ඒකේ සඳහන් තොරතුරුවලින් පැහැදිලි වෙනවා. ඒකේ තියෙන්නේ පාවුල්ගේ භාෂා ශෛලියයි. ඔහු එක්ක රෝමයේ හිටිය තිමෝති ගැන ඔහු ඒ ලිපියේ සඳහන් කළා. ඒ වගේම ඉතාලියේ ඉන්න අය ඔවුන්ව ආදරෙන් මතක් කරනවා කියලත් ඔහු ඒකේ ලියලා තිබුණා.—ෆිලි. 1:1; කොලො. 1:1; ෆිලෙ. 1; හෙබ්‍රෙ. 13:23, 24.

      23, 24. මෑත කාලවලදීත් සාක්ෂිකරුවන් පාවුල් වගේ වැඩ කරලා තියෙන්නේ කොහොමද?

      23 පාවුල් නිදහස් වුණ එක ගැන ක්‍රියා පොතේ සඳහන් වන්නේ නැහැ. නමුත් ඔහු අවුරුදු හතරක්වත් ඒ කියන්නේ සිසේරියේ අවුරුදු දෙකක් හා රෝමයේ අවුරුදු දෙකක් සිරභාරයේ සිටි බව පැහැදිලියි.c (ක්‍රියා 23:35; 24:27) ඒ කාලය පුරා ඔහු තමාට කළ හැකි උපරිමයෙන් හා ප්‍රීතියෙන් තම පැවරුම ඉටු කළා. දෙවියන්ට විශ්වාසවන්තව හිටපු නිසා යෙහෝවාගේ සේවකයන්ව මෑත කාලවලදීත් අසාධාරණ විදිහට සිරගත කර තිබෙනවා. නමුත් ඔවුනුත් පාවුල් වගේ අත් නෑර ශුභාරංචිය දේශනා කරනවා. තමන් සිටින තත්වය ගැන අනවශ්‍ය විදිහට කනස්සලු වෙමින් ඔවුන් තම ප්‍රීතිය අහිමි කරගන්නේ නැහැ. උදාහරණයකට ස්පාඤ්ඤයේ ජීවත් වුණ සහෝදර අඩොල්ෆෝගේ අද්දැකීම බලන්න. දේශපාලන වශයෙන් පැති ගත්තේ නැති නිසා ඔහුව සිරගත කෙරුවා. එහේ හිටපු නිලධාරියෙක් දිනක් ඔහුට මේ වගේ දෙයක් කිව්වා. “අපි නිතරම උත්සාහ කළේ ඔයාගේ ජීවිතේ ඔයාට තිත්ත කරවන්නයි. අපේ උත්සාහය අපි තව තවත් වැඩි කරද්දී ඔයා අපිට තව තවත් කරුණාවන්තව සැලකුවා. ඔයාගේ මුහුණේ හිනාව කවදාවත් අඩු වුණේ නැහැ.”

      24 කාලයක් ගත වුණාට පස්සේ නිලධාරීන්ට සහෝදර අඩොල්ෆෝ ගැන කොතරම් විශ්වාසයක් ඇති වුණාද කියනවා නම් ඔවුන් ඔහුගේ සිරකුටියේ දොර විවෘත කරලා තිබ්බා. බයිබලය සම්බන්ධයෙන් විවිධ දේවල් දැනගැනීම සඳහා ඔවුන් ඔහුව හමු වෙන්නත් ගියා. එක මුරකරුවෙක් බයිබලය කියවන්න ඔහුගේ සිරකුටිය ඇතුළටම ආවා. ඒ වගේ අවස්ථාවලදී සහෝදර අඩොල්ෆෝ වෙනත් අය එනවාද කියලා විපරමින් හිටියා. ඇත්තටම ඒ වගේ අවස්ථාවලදී වුණේ සිරකරුවෙක් මුරකරුව ආරක්ෂා කරපු එකයි! දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඒ වගේ සහෝදර සහෝදරියන්ගේ අද්දැකීම් බලද්දී දුෂ්කරතා මැද වුණත් “කලින්ටත් වඩා නිර්භීතව දෙවියන්ගේ පණිවිඩය ගැන කතා කරන්න” අප පෙලඹෙන්නේ නැද්ද?

      25, 26. පාවුල් අද්දැක්කේ මොන අනාවැකියේ ඉටු වීමද? අප ජීවත් වන කාලයේ ඒක ඉටු වෙලා තියෙන්නේ කොහොමද?

      25 නිවාස අඩස්සියේ සිටි පාවුල් තමාව හමු වෙන්න ආපු හැමෝටම ලොකු උද්‍යෝගයකින් “දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශනා කළා.” ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා ඇතුළත් ප්‍රබල වාර්තාව ඒ වචන පෙළ සමඟින් අවසන් වෙනවා. යේසුස් තම අනුගාමිකයන්ට දුන්න පැවරුම ගැන ක්‍රියා පොතේ පළවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඔහු කිව්වේ මෙහෙමයි. “ඔයාලට දෙවියන්ගේ බලය ලැබුණාම ඔයාලා ශක්තිමත් වෙයි. ඊටපස්සේ ඔයාලා යෙරුසලමෙත් යුදය පුරාමත් සමාරියෙත් පොළොවේ දුර ඈත ප්‍රදේශවලත් මං ගැන සාක්ෂි දරයි.” (ක්‍රියා 1:8) යේසුස් ඒ පැවරුම භාර දීලා අවුරුදු 30ක්වත් ගත වෙන්න කලින් දේවරාජ්‍යය ගැන පණිවිඩය “මුළු පොළොව පුරාම දේශනා” කරපු බව පාවුල් පැවසුවා.d (කොලො. 1:23) යේසුස්ගේ අනුගාමිකයන්ට දෙවියන්ගේ බලයේ උපකාරය ලැබුණු බවට ඒක මොන තරම් ප්‍රබල සාක්ෂියක්ද!—සෙක. 4:6.

      26 පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හා ඔවුන්ට සහයෝගය ලබා දෙන වෙනත් බැටළුවන් දෙවියන්ගේ බලයේ උපකාරයෙන් අදත් රටවල් 240ක දිගටම “දෙවියන්ගේ රාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක්” ලබා දෙනවා. (යොහ. 10:16; ක්‍රියා 28:23) ඔබත් හැකි උපරිමයෙන් ඒ කාර්යයට හවුල් වෙනවාද?

      ක්‍රිස්තු වර්ෂ 61න් පස්සේ පාවුල්ට සිදු වුණේ මොකක්ද?

      පේන විදිහට පාවුල් ක්‍රි.ව. 61දී විතර අධිරාජ්‍යයා වුණ නීරෝ ඉස්සරහා පෙනී හිටිය අතර ඔහු පාවුල්ව නිදහස් කළා. ඊටපස්සේ පාවුල් කරපු කියපු දේවල් ගැන වැඩි විස්තරයක් වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ. ඔහු කලින් සැලසුම් කරපු විදිහට ස්පාඤ්ඤයට ගියා නම් ඔහු එහෙට යන්න ඇත්තේ ඒ කාලයේදී වෙන්න පුළුවන්. (රෝම 15:28) පාවුල් “බටහිර ප්‍රදේශයේ දුර ඈත දක්වා” ගමන් කළා කියලා රෝම ජාතිකයෙක් වුණ ක්ලෙමන්ට් ක්‍රි.ව. 95දී විතර ලියලා තියෙනවා.

      නිදහස් වුණාට පස්සේ පාවුල් ක්‍රීට් දුපතට, මැසිඩෝනියාවට, ත්‍රෝවසට හා නිකපොලිසියට ගියා කියලා පාවුල් තිමෝතිට ලියපු පළවෙනි හා දෙවෙනි ලිපිවලිනුත් තීතස්ට ලියපු ලිපියෙනුත් පැහැදිලියි. (1 තිමෝ. 1:3; 2 තිමෝ. 4:13; තීත. 1:5; 3:12) සමහරවිට ඔහුව නැවත අත්අඩංගුවට ගත්තේ ග්‍රීසියේ නිකපොලිසියේදී විය හැකියි. කොහොමවුණත් ක්‍රි.ව. 65 විතර වෙද්දී ඔහු සිටියේ නැවත රෝමයේ සිරභාරයෙයි. ඒ අවස්ථාවේදී නම් අධිරාජ්‍යයා පාවුල්ට පක්ෂව තීන්දුවක් දුන්නේ නැහැ. මොකද ක්‍රි.ව. 64දී රෝමය ගිනිබත් වුණ අවස්ථාවේදී ඒකට වග කිව යුත්තේ ක්‍රිස්තියානීන් කියලා රාවයක් පතුරුවමින් නීරෝ අධිරාජ්‍යයා ක්‍රිස්තියානීන්ට දරුණු විදිහට පීඩා කළා කියලා රෝම ඉතිහාසඥ ටැසිටස් කියලා තියෙනවා.

      තමන් මරණය අබියසටම ඇවිත් තියෙනවා කියලා දැන සිටි පාවුල්, තිමෝතිට හා මාක්ට පුළුවන් ඉක්මනින් තමා ඉන්න තැනට එන්න කියලා තිමෝතිට ලියපු දෙවෙනි ලිපියේ සඳහන් කළා. ලූක් හා ඔනෙසිෆරස් තම ජීවිත පරදුවට තියලා තමන්ගේ උපකාරයට ආවා කියලත් පාවුල් ඒ ලිපියේ සඳහන් කළා. (2 තිමෝ. 1:16, 17; 4:6-9, 11) එහෙම කරන්න ඔවුන් දෙන්නා තුළ මහත් නිර්භීතකමක් තිබුණ කියලා නිසැකයි. මොකද ඒ කාලයේ කෙනෙක් තමා ක්‍රිස්තියානියෙක් කියලා ප්‍රසිද්ධියේ පිළිගත්තොත් ඔහුව අත්අඩංගුවට අරන් වධ දීලා මරලා දැම්මා. පාවුල්ටත් මුහුණ දෙන්න වුණේ ඒ වගේම මරණයක්. සමහරවිට පාවුල්ව මරලා දැම්මේ තිමෝතිට දෙවෙනි ලිපිය ලියලා වැඩි කාලයක් යන්න කලින්, ක්‍රි.ව. 65දී විතර වෙන්න ඇති. වැඩිදෙනෙක් කියන්නේ පාවුල්ව මරලා දාලා අවුරුදු තුනකට විතර පස්සේ නීරෝ අධිරාජ්‍යයාත් දරුණු මරණයක් අද්දැක්කා කියලයි.

      “මුළු පොළොව පුරාම දේශනා කරපු ශුභාරංචිය”

      පාවුල් ක්‍රි.ව. 61දී විතර රෝමයේ සිරගතව ඉද්දී කොලොස්සිවරුන්ට ලියපු ලිපියේ ‘ශුභාරංචිය මුළු පොළොව පුරාම දේශනා කරලා’ තියෙනවා කියලා සඳහන් කළා. (කොලො. 1:23) ඔහු ඒකෙන් අදහස් කළේ මොකක්ද?

      පාවුල් කියන්න උත්සාහ කළේ ශුභාරංචිය කොයි තරම් දුරට ව්‍යාප්ත වෙලා තියෙනවාද කියලා මිසක් ඒක ඇත්තටම ලෝකයේ හැම ප්‍රදේශයකටම පැතිර ගිහින් තියෙනවා කියන එක නෙවෙයි. මොකද ඒ කාලයේ ජීවත් වුණ අයට පොළොවේ විවිධ ප්‍රදේශයන් ගැන අවබෝධයක් තිබුණා. උදාහරණයකට ක්‍රි.පූ. හතරවෙනි සියවස වෙනකොට මහා ඇලෙක්සැන්ඩර් රජ ආසියාවේ ඉන්දියාව දක්වා ගමන් කරලා තිබුණා. ජූලියස් සීසර් ක්‍රි.පූ. 55දී බ්‍රිතාන්‍යය ආක්‍රමණය කරලා තිබුණා. ඊටපස්සේ ක්ලෝදියස් ක්‍රි.ව. 43දී ඒ දූපතේ දකුණු කොටස යටත් කරගෙන ඒක රෝම අධිරාජ්‍යයේ කොටසක් කරගෙන තිබුණා. අනර්ඝ සිල්ක්වලට ප්‍රසිද්ධ වුණ ඈත පෙරදිග ප්‍රදේශ ගැනත් ඒ කාලයේ හිටිය මිනිසුන් දැනගෙන හිටියා.

      පාවුල් කොලොස්සිවරුන්ට ලිපිය ලියපු කාලය වෙනකොට බ්‍රිතාන්‍යයේ, චීනයේ හා ඈත පෙරදිග ප්‍රදේශවල ශුභාරංචිය දේශනා කරලා තිබුණේ නැහැ. ශුභාරංචිය “දේශනා කරලා නැති” පළාතක් වුණ ස්පාඤ්ඤයට යන්න තමා අදහස් කරගෙන ඉන්නවා කියලා ක්‍රි.ව. 56දී විතර පාවුල් කිව්වත් ඔහු කොලොස්සිවරුන්ට ලිපිය ලියපු කාලය වෙනකොටත් එහෙට යන්න හැකි වෙලා තිබුණේ නැහැ. (රෝම 15:20, 23, 24) කොහොමවුණත් ක්‍රි.ව. 61 විතර වෙනකොට දේවරාජ්‍යය ගැන පණිවිඩය බොහෝ ප්‍රදේශයන් පුරා ව්‍යාප්ත වෙලා තිබුණා. පොළොවේ හැම ප්‍රදේශයකම පණිවිඩය දේශනා කරලා නොතිබුණත් යුදෙව්වන් ජීවත් වුණ පළාත්වල ශුභාරංචිය ව්‍යාප්ත වෙලා තිබුණා. යුදෙව් ආගමට හැරිලා හිටිය වෙනත් ජාතීන්ට අයත් අය ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී බව්තීස්ම වුණාට පස්සේ නැවත තම මව්බිමට ගිහින් ශුභාරංචිය දේශනා කරන්නත් ඇති. ඒ ප්‍රදේශවලත් පණිවිඩය ව්‍යාප්ත වෙලා තිබුණා. යේසුස්ගේ නියෝජිතයන් ගමන් කරපු විවිධ ප්‍රදේශවලත් ශුභාරංචිය දේශනා කරලා තිබුණා.—ක්‍රියා 2:1, 8-11, 41, 42.

      a ඔනෙසිමස්ව තමා ළඟ තබාගැනීමට පාවුල්ට වුවමනා වුණත් ඒක රෝම නීතිය වගේම ඔහුගේ ස්වාමියාගේ අයිතීන් කඩ කිරීමක් බව පාවුල් දැනන් හිටියා. ඒ නිසා ඔනෙසිමස්, තම ස්වාමියා හා ක්‍රිස්තියානි සහෝදරයෙක් වුණ ෆිලෙමොන් ළඟට නැවත ගියා. පාවුල් ඔනෙසිමස් අත ෆිලෙමොන්ට ලිපියක් යැව්වා. ඔනෙසිමස්ව දාසයෙක් විදිහට නෙවෙයි ක්‍රිස්තියානි සහෝදරයෙක් විදිහට පිළිගන්න කියලා පාවුල් ඒ ලිපිය මාර්ගයෙන් ෆිලෙමොන්ට උනන්දු කළා.—ෆිලෙ. 13-19.

      b “පාවුල් රෝමයේ මුල්ම වතාවට සිරගතව ඉද්දී ලියපු ලිපි” කියන කොටුව බලන්න.

      c “ක්‍රිස්තු වර්ෂ 61න් පස්සේ පාවුල්ට සිදු වුණේ මොකක්ද?” කියන කොටුව බලන්න.

      d “මුළු පොළොව පුරාම දේශනා කරපු ශුභාරංචිය” කියන කොටුව බලන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න