28වෙනි පාඩම
බූරුවෙක් කතා කරයි
ඊශ්‍රායෙල්වරු පාළුකරයේ අවුරුදු 40ක් විතර හිටියා. ඒ කාලේ එයාලා බලවත් නුවරවල් ගොඩක් අල්ලගත්තා. දෙවියන් පොරොන්දු වුණ දේශයට යන්න කාලය ඇවිල්ලයි තිබුණේ. ඒ වෙනකොට එයාලා හිටියේ යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තිබුණු මෝවබ් දේශය ළඟ. ඒ දේශයේ රජ වුණු බාලාක් ඊශ්‍රායෙල්වරු එයාගේ දේශයත් අල්ලගනියි කියලා බය වුණා. ඒ නිසා එයා බාලාම්ට කිව්වා මෝවබ්වලට ඇවිත් ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න කියලා.
ඒත් ‘ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න එපා’ කියලා යෙහෝවා කිව්ව නිසා බාලාම් ගියේ නැහැ. බාලාක් රජ ආයෙත් බාලාම්ට කිව්වා ‘ආවොත් ඔයා ඉල්ලන ඕනෙම දෙයක් දෙන්නම්’ කියලා. ඒත් බාලාම් ගියේ නැහැ. පස්සේ දෙවියන් බාලාම්ට කිව්වා ‘ඔයා ගිහින් මං කියන දේ විතරක් කියන්න’ කියලා.
බාලාම් එයාගේ බූරුවා පිටේ නැඟලා ගමන යන්න පිටත් වුණා. ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න එපා කියලා යෙහෝවා කිව්වත් බාලාම් හැදුවේ ඒක කරන්න. යන අතරමඟදී යෙහෝවාගේ දූතයා තුන් පාරක්ම ආවත් බාලාම් දේවදූතයාව දැක්කේ නැහැ. ඒත් බූරුවා දැක්කා. ඉස්සෙල්ලාම බූරුවා පාරෙන් අයින් වෙලා කෙතකට ගියා. ඊළඟට ඌ පාරේ අයිනටම ගිහින් තාප්පෙක හැප්පුණා. ඒ නිසා බාලාම්ගේ කකුලත් තාප්පෙට තද වුණා. අන්තිමට බූරුවා පාර මැද ඉඳගත්තා. ඒ හැම වෙලාවකම බාලාම් ඌට පොල්ලකින් හොඳටම ගැහුවා.
ඊටපස්සේ යෙහෝවා බූරුවාට කතා කරන්න හැකියාව දුන්නා. ඒ නිසා ඌ බාලාම්ගෙන් ඇහුවා ‘ඇයි ඔයා මට ගහන්නේ’ කියලා. බාලාම් කිව්වා ‘උඹ මාව විහිළුවකට ගත්ත නිසයි. මං ළඟ කඩුවක් තිබ්බා නම් මම උඹව මරනවා’ කියලා. බූරුවා මෙහෙම කිව්වා. ‘අවුරුදු ගාණක් ඔයා ගමන්බිමන් ගියේ මං එක්ක. කවදාවත් මං මෙහෙම කරලා තියෙනවාද?’
එතකොට බාලාම් දේවදූතයාව දැක්කා. ‘ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න එපා කියලා යෙහෝවා කිව්වා නේද’ කියලා දේවදූතයා ඇහුවාම බාලාම් කිව්වා ‘මං කළේ වරදක්. මං ආපහු හැරිලා යන්නම්’ කියලා. ඒත් දේවදූතයා කිව්වා ‘ඔයා මෝවබ්වලට ගිහින් යෙහෝවා කියන දේ විතරක් කියන්න’ කියලා.
බාලාම් පාඩමක් ඉගෙනගත්තාද? නැහැ. එයා තුන් පාරක්ම ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න හැදුවා. ඒත් යෙහෝවා ඒ ශාප ආශීර්වාදවලට හැරෙව්වා. අන්තිමේදී ඊශ්‍රායෙල්වරු මෝවබ් දේශය අල්ලගෙන බාලාම්ව මරලා දැම්මා. බාලාම් පළවෙනි පාරම යෙහෝවා කියපු දේ ඇහුවා නම් හොඳයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?
“එක එක හේතු නිසා හිත්වල කෑදරකමක් ඇති වෙන්න පුළුවන්. ඒ ගැන පරෙස්සම් වෙන්න. මොකද කෙනෙක්ට කොච්චර දේවල් තිබුණත් එයා ජීවත් වෙන්නේ ඒ දේවල් නිසා නෙමෙයි.”—ලූක් 12:15