ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මිදිවතු ගැන නිදර්ශන දෙකක්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
    • වැවිලිකරුවන් මිදිවත්තේ අයිතිකරුගේ පුත්‍රයාව මරා දමයි

      106වෙනි පරිච්ඡේදය

      මිදිවතු ගැන නිදර්ශන දෙකක්

      මතෙව් 21:28-46 මාක් 12:1-12 ලූක් 20:9-19

      • පුතුන් දෙදෙනා ගැන නිදර්ශනය

      • මිදිවත්තක වැවිලිකරුවන් ගැන නිදර්ශනය

      යේසුස් දේවමාලිගාවේ ඉද්දී නායක පූජකයන් සහ ජනතාව අතර හිටිය වැඩිමහල්ලන් ඔහුට තියෙන අධිකාරිය ගැන ප්‍රශ්න කළාම ඔහුත් ඔවුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ නිසා ඔවුන්ට කටඋත්තරත් නැතුව ගියා. ඔවුන් මොන වගේ අයද කියලා පැහැදිලි කරන්න යේසුස් දැන් මේ නිදර්ශනය කියනවා.

      “එක්තරා මිනිසෙකුට දරුවන් දෙදෙනෙක් සිටියා. ඔහු පළමුවෙනි පුතා ළඟට ගොස්, ‘පුතාට පුළුවන්ද අද ගිහින් මිදිවත්තේ වැඩ කරන්න’ කියා ඇසුවා. එවිට ඔහු, ‘පියාණෙනි, මම යන්නම්’ කියා කිව්වත් ඔහු ගියේ නැහැ. ඉන්පසු එම මිනිසා දෙවෙනි පුතා ළඟට ගොස් ඒ දේම ඇසුවා. ඔහු, ‘මට යන්න බැහැ’ කියා පැවසුවත් පසුව ඔහු තමන් කී දේ ගැන කනගාටු වී මිදිවත්තේ වැඩට ගියා. ඒ දෙදෙනා අතරින් තම පියාගේ කැමැත්ත කළේ කවුද?” (මතෙව් 21:28-31) අන්තිමේදී දෙවෙනි පුතා තමයි තාත්තාගේ කැමැත්ත කළේ.

      යේසුස් ඔහුට විරුද්ධ අයට දැන් කියන්නේ ‘බදු එකතු කරන්නන් සහ ගණිකාවන් ඔබට පළමුවෙන් දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවා’ කියලයි. ඔව්, ඒ අය මුලින් දෙවිට සේවය කළේ නැහැ. ඒත් දෙවෙනි පුතා වගේ ඔවුන් වැරදි ගැන පසුතැවිලා දෙවිට සේවය කරනවා. හැබැයි පළවෙනි පුතා වගේ හැසිරෙන ආගමික නායකයන් දෙවිට සේවය කරනවා කියලා කිව්වත් එහෙම කරන්නේ නැහැ. ඊළඟට යේසුස් මෙහෙම කියනවා. “යොහන් [බව්තීස්ත] ඔබට ධර්මිෂ්ඨ මාර්ගය පෙන්වමින් ඔබ වෙතට ආවත් ඔබ ඔහුව විශ්වාස කළේ නැහැ. එනමුත් බදු එකතු කරන්නන් සහ ගණිකාවන් ඔහුව විශ්වාස කළා. ඒ සියල්ල දුටුවත් ඔබ කළ දේ ගැන පසුතැවිලි වී ඔබ ඔහුව විශ්වාස කළේ නැහැ.”—මතෙව් 21:31, 32.

      ඒ ආගමික නායකයන්ගේ දුෂ්ටකම පැහැදිලි කරන්න යේසුස් දැන් මේ නිදර්ශනය කියනවා. “මිදිවත්තක් වැවූ එක්තරා මිනිසෙක් සිටියා. ඔහු එය වටා වැටක් බැඳ, මිදි පෑගීම සඳහා වළක් හාරා, ටැඹක් ඉදි කර එය වැවිලිකරුවන් පිරිසකට බද්දට දී පිටරට ගියා. පලදාව නෙළන කාලය පැමිණි විට මිදිවත්තේ පලදාවෙන් යමක් ලබාගැනීමට ඔහු ඒ වැවිලිකරුවන් වෙතට ඔහුගේ දාසයෙකුව යැව්වා. නමුත් ඔවුන් ඔහුව අල්ලාගෙන ඔහුට තැළුවා. ඔහු එතැනින් පිටත් වූයේ හිස් අතින්. පසුව ඔහු තවත් දාසයෙකුව ඔවුන් වෙතට යැව්වා. ඔවුන් මේ දාසයාගෙත් හිසට පහර දී ඔහුට නින්දා කළා. ඔහු තවත් දාසයෙකුව යැවූ විට ඔවුන් ඔහුව මරණයට පත් කළා. ඉන්පසුව ඔහු දාසයන් බොහෝදෙනෙකුව යැව්වා. ඔවුන්ගෙන් සමහරදෙනෙකුටද ඔවුන් තැළුවා. තවත් සමහරෙකුව මරා දැම්මා.”—මාක් 12:1-5.

      යේසුස්ට සවන් දෙන අය ඒ නිදර්ශනය තේරුම්ගනියිද? සමහරවිට යෙසායා කියපු මේ දේ ඔවුන්ට මතක ඇති. “මේ මිදිවත්තේ අයිතිකරු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මමය. මිදිවත්තෙන් සංකේතවත් කරන්නේ ඊශ්‍රායෙල් ජාතියවයි. මා ප්‍රිය කළ මිදිවැල නම් යූදා ගෝත්‍රයයි. ඔවුන් යුක්තිය ඉටු කරයි කියා මා බලාපොරොත්තු වූ නමුත් ඔවුහු නීතියට ගරු නොකළෝය.” (යෙසායා 5:7) යේසුස් කියපු නිදර්ශනයෙත් මිදිවත්තේ අයිතිකරුගෙන් නියෝජනය වෙන්නේ යෙහෝවා දෙවිව. වැටකින් ආරක්ෂා වෙලා තියෙන මිදිවත්තෙන් නියෝජනය වෙන්නේ දෙවිගේ නීතියෙන් ආරක්ෂාව ලබන ඊශ්‍රායෙල් සෙනඟව. ඔවුන්ට මඟ පෙන්වන්නත් හොඳින් පල දරන්න උදව් කරන්නත් යෙහෝවා දෙවියන් ඔවුන් වෙතට අනාගතවක්තෘවරුන්ව යැව්වා.

      ඒත් “වැවිලිකරුවන්” ඔවුන් වෙතට එවපු “දාසයන්ව” මරලා දැම්මා. යේසුස් තවදුරටත් මෙහෙම කියනවා. ‘අවසානයේදී ඔවුන් වෙත යැවීමට ඔහුට ඉතුරුව සිටියේ එක් කෙනෙක් පමණයි. ඒ ඔහුගේ ප්‍රේමණීය පුත්‍රයායි. “ඔවුන් මාගේ පුත්‍රයාට ගරු කරයි” කියා සිතාගෙන ඔහු ඔහුවත් ඔවුන් වෙතට යැව්වා. එවිට ඒ වැවිලිකරුවන් තම තමන් අතරේ කතා කරගනිමින්, “මොහු තමයි උරුමක්කාරයා. එන්න, අපි මොහුව මරා දමමු. එතකොට ඔහුගේ උරුමය අයිති වන්නේ අපටයි” කියා පැවසුවා. එමනිසා ඔවුන් ඔහුව අල්ලාගෙන මරා දැමුවා.’—මාක් 12:6-8.

      “මිදිවත්තේ අයිතිකරු පැමිණි විට ඔහු ඒ වැවිලිකරුවන්ට කුමක් කරයිද” කියලා යේසුස් අහද්දී ආගමික නායකයන් මෙහෙම කියනවා. “ඔවුන් නපුරු නිසා ඔහු ඔවුන් පිට දරුණු විනාශයක් ගෙනැවිත් නියම කාලයේදී තමන්ට පලදාව ලබා දෙන වෙනත් වැවිලිකරුවන්ට ඒ මිදිවත්ත බද්දට දෙයි.”—මාක් 12:9; මතෙව් 21:41.

      යෙහෝවා දෙවිගේ “මිදිවත්තේ” “වැවිලිකරුවන්” වන ඔවුන් නොදැනුවත්වම කිව්වේ ඔවුන්ට මුහුණ දෙන්න වෙන විනිශ්චය ගැනයි. ඔවුන් නිපදවයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන පල අතරට තම පුත්‍රයා වන මෙසියස් ගැන විශ්වාසය තියන එකත් ඇතුළත්. ආගමික නායකයන් දිහා බලන යේසුස් ඔවුන්ට මෙහෙම කියනවා. “මේ දේ ඔබ ශුද්ධ ලියවිල්ලෙන් කවදාවත් කියවා නැද්ද? එනම්, ‘ඉදි කරන්නන් ඉවත දැමූ ඒ ගල ප්‍රධාන ගල වී ඇත. එය යෙහෝවා දෙවි විසින්ම කළ මහත් ක්‍රියාවක්ය. අපේ ඇස්වලට එය අදහාගත නොහැකි තරම්ය.’” (මාක් 12:10, 11) කාරණය පැහැදිලි කරමින් යේසුස් දැන් කියන්නේ ‘දෙවිගේ රාජ්‍යය ඔබෙන් ගෙන රාජ්‍යය වෙනුවෙන් පල උපදවන වෙනත් ජාතියකට එය දෙනු ලබනවා’ කියලයි.—මතෙව් 21:43.

      නීතිය පිටපත් කරන්නන් සහ නායක පූජකයන් තේරුම්ගන්නවා යේසුස් “එම උපමාව කිව්වේ තමන් ගැන” කියලා. (ලූක් 20:19) ඒ නිසා ඒ වෙලාවේම “උරුමක්කාරයා” වන ඔහුව මරා දමන්න ඔවුන්ට උවමනා වෙනවා. ඒත් යේසුස්ව අනාගතවක්තෘවරයෙක් විදිහට සලකන සෙනඟට තියෙන බය නිසා ඒ වෙලාවේ ඔවුන් යේසුස්ව මරා දමන්න උත්සාහ කරන්නේ නැහැ.

      • යේසුස් කියපු නිදර්ශනයේ පුත්තු දෙන්නාගෙන් නියෝජනය වුණේ කාවද?

      • දෙවෙනි නිදර්ශනයේ සඳහන් වුණු “අයිතිකරුගෙන්,” “මිදිවත්තෙන්,” “වැවිලිකරුවන්ගෙන්,” “දාසයන්ගෙන්” සහ “උරුමක්කාරයාගෙන්” නියෝජනය වුණේ කාවද?

      • “වැවිලිකරුවන්ට” මුහුණ දෙන්න වෙන්නේ මොනවාටද?

  • විවාහ උත්සවයට ආරාධනා ලැබූ අයව රජ කැඳවයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
    • විවාහ උත්සවයට සුදුසු වස්ත්‍රයක් අඳින්නේ නැතුව පැමිණි මිනිසාව රජුගේ නියෝගය පිට එළියට ඇද දමයි

      107වෙනි පරිච්ඡේදය

      විවාහ උත්සවයට ආරාධනා ලැබූ අයව රජ කැඳවයි

      මතෙව් 22:1-14

      • විවාහ උත්සවය ගැන නිදර්ශනය

      දැන් ගෙවීගෙන යන්නේ යේසුස් පොළොවේදී සේවය කරන අන්තිම හෝරා කිහිපය. ඔහු නිදර්ශන මාර්ගයෙන් නීතිය පිටපත් කරන අයගේ සහ ආගමික නායකයන්ගේ වැරදි හෙළි කරමිනුයි ඉන්නේ. ඒ නිසා තමයි ඔවුන් යේසුස්ව මරලා දාන්න උත්සාහ කරන්නේ. (ලූක් 20:19) යේසුස් දැන් ඔවුන් ගැන තවත් නිදර්ශනයක් කියනවා.

      “තම පුත්‍රයාගේ විවාහය වෙනුවෙන් උත්සවයක් පිළියෙල කළ රජෙකුට ස්වර්ග රාජ්‍යය සමාන කළ හැකියි. විවාහ උත්සවය සඳහා ආරාධනා කළ අයව කැඳවාගෙන ඒමට ඔහු තම දාසයන්ව යැව්වත් ඒ ආරාධිතයන් එන්න කැමති වුණේ නැහැ.” (මතෙව් 22:2, 3) යේසුස් මේ නිදර්ශනයේදී “ස්වර්ග රාජ්‍යය” ගැන සඳහන් කරන නිසා ඔහු ‘රජ’ විදිහට හඳුන්වන කෙනාගෙන් නියෝජනය වෙන්නේ යෙහෝවා දෙවිව කියලා හිතන්න පුළුවන්. ඒ අනුව බලද්දී රජගේ පුතාගෙන් නියෝජනය වෙන්නේ යේසුස්ව කියලත් ආරාධනා ලබපු අයගෙන් නියෝජනය වෙන්නේ ස්වර්ග රාජ්‍යය උරුම කරගන්න අවස්ථාව ලැබෙන අයව කියලත් පැහැදිලි වෙනවා.

      ඒ ආරාධනාව මුලින්ම ලැබුණේ කාටද? යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කළේ කාටද කියලා හිතන්න. ඔවුන් දේශනා කළේ යුදෙව්වන්ට. (මතෙව් 10:6, 7; 15:24) ක්‍රි.පූ. 1513දී දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟ එක්ක නීතිය මාර්ගයෙන් ගිවිසුමක් ඇති කරගත්ත නිසා ඔවුන්ට තමයි “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” වෙන්න මුලින්ම අවස්ථාව ලැබුණේ. (නික්මයාම 19:5-8) ඒත් “විවාහ උත්සවයට” ඔවුන්ව කැඳෙව්වේ කවදා ඉඳලද? ඒක ආරම්භ වුණේ ක්‍රි.ව. 29දී යේසුස් ස්වර්ග රාජ්‍යය ගැන දේශනා කරන්න පටන්ගත්ත අවස්ථාවේ ඉඳලයි.

      ඒ ආරාධනාව ලබපු හුඟක් යුදෙව්වන් කළේ මොනවාද? යේසුස් කිව්වේ ඔවුන් “එන්න කැමති වුණේ නැහැ” කියලයි. ඔව්, ආගමික නායකයන් සහ මිනිසුන් අතරේ හිටිය හුඟදෙනෙක් යේසුස්ව මෙසියස් විදිහටත් දෙවියන් පත් කරපු රජ විදිහටත් පිළිගත්තේ නැහැ.

      ඒත් ඔවුන්ට තවත් අවස්ථාවක් ලැබෙනවා කියලා යේසුස් මෙහෙම පැහැදිලි කරනවා. “නැවත වරක් ඔහු තවත් දාසයන් කිහිපදෙනෙකුව යවා, ‘“මෙන්න! දහවල් භෝජනය පිළියෙල කර තිබෙනවා. මගේ ගවයන්වත් තර කළ සතුන්වත් මරා, සියල්ල සූදානම් කර තිබෙනවා. විවාහ උත්සවයට එන්න” කියා ආරාධිතයන්ට කියන්න’ කියා පැවසුවා. නමුත් ආරාධිතයන් එය නොසලකා, කෙනෙක් තමාගේම කෙතටත් තව කෙනෙක් තමාගේ ව්‍යාපාරික කටයුතු සඳහාත් ගියා. නමුත් අනික් අය එම දාසයන්ව අල්ලාගෙන ඔවුන්ට අගෞරවනීය ලෙස සලකා ඔවුන්ව මරා දැමුවා.” (මතෙව් 22:4-6) ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වාට පස්සේ වෙන දෙයක් ගැන තමයි යේසුස් ඒකෙන් පැහැදිලි කරන්නේ. දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ඒ වෙද්දිත් යුදෙව්වන්ට අවස්ථාව තියෙනවා. ඒත් ඒ අවස්ථාවත් ප්‍රතික්ෂේප කරන යුදෙව්වන් ‘රජගේ දාසයන්ටත්’ පීඩා කරනවා.—ක්‍රියා 4:13-18; 7:54, 58.

      අන්තිමේදී ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ මොනවාටද? යේසුස් කියන මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “රජ උදහස් වී, තමාගේ සේනාව යවා ඒ මිනී මරුවන්ව විනාශ කර ඔවුන්ගේ නුවර ගිනිබත් කළා.” (මතෙව් 22:7) ක්‍රි.ව. 70දී යුදෙව්වන්ට ඒක අද්දකින්න ලැබෙනවා. ඔව්, රෝමවරුන් ඇවිත් “ඔවුන්ගේ නුවර” සම්පූර්ණයෙන්ම විනාශ කරනවා.

      නිදර්ශනයේ ඊළඟට වෙන දේ ගැන යේසුස් මෙහෙම කියනවා. “ඉන්පසු ඔහු [රජ] තම දාසයන්ව කැඳවා, ‘විවාහ උත්සවය සූදානම් කර තිබෙනවා. නමුත් ආරාධිතයන් ඊට හවුල් වීමට වටින අය නම් නොවෙයි. ඒ නිසා නුවරින් පිට විහිදී ඇති මාවත්වලට ගොස් ඔබට හමු වන සියල්ලන්ටම විවාහ උත්සවයට ආරාධනා කරන්න’ කියා පැවසුවා. ඒ අනුව එම දාසයන් මාවත්වලට ගොස් තමුන්ට හමු වූ සියල්ලන්ව එනම්, දුෂ්ට හා යහපත් යන දෙපිරිසම එකට රැස් කළා. කෑමට ඉඳගෙන සිටි අයගෙන් විවාහ උත්සව ශාලාව පිරී ගියා.”—මතෙව් 22:8-10.

      යුදෙව්වන් ආරාධනාව ප්‍රතික්ෂේප කරන නිසා තවත් පිරිසකට ඒ ආරාධනාව ලැබෙනවා කියලා ඒකෙන් පැහැදිලියි. ඒක වෙන්න පටන්ගන්නේ ක්‍රි.ව. 36දී පේතෘස්, රෝම හමුදා නිලධාරියෙක් වුණු කොර්නේලියස්ට සහ ඔහුගේ පවුලේ අයට ක්‍රිස්තියානීන් වෙන්න උදව් කරන අවස්ථාවේ ඉඳලයි. එදා ඉඳන් තමයි යුදෙව් නොවන ජාතීන්ටත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙන්නේ.—ක්‍රියා 10:1, 34-48.

      විවාහ උත්සවයට ඇවිත් ඉන්න සමහර අයට “රජගේ” අනුමැතිය ලැබෙන්නේ නැහැ. යේසුස් කියන මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “අමුත්තන්ව බැලීමට රජ පැමිණි විට උත්සවයට සුදුසු නැති වස්ත්‍රයක් ඇඳගෙන සිටි මිනිසෙකුව ඔහු දුටුවා. එහෙයින් ඔහු ඒ මිනිසාට කතා කරමින්, ‘ඔබ උත්සවයට සුදුසු වස්ත්‍රයක් අඳින්නේ නැතුව මෙතැනට ඇතුල් වුණේ කොහොමද’ කියා ඇසුවා. එයට කිසි පිළිතුරක් දීමට ඒ මිනිසාට හැකි වුණේ නැහැ. එවිට රජ තම සේවකයන්ව කැඳවා, ‘මොහුගේ අත් පා බැඳ, පිටතට ඇද දමා අන්ධකාරයට දමන්න. එහිදී ඔහුට හඬමින්ද දත්මිටි කමින්ද කල් ගෙවන්න සිදු වෙයි’ කියා ඔවුන්ට පැවසුවා. ‘ආරාධිතයන් නම් බොහෝයි. නමුත් තෝරාගන්නේ ස්වල්පදෙනෙක්වයි.’”—මතෙව් 22:11-14.

      යේසුස් කියපු නිදර්ශනයෙන් අදහස් වෙන්නේ මොනවාද කියලා ආගමික නායකයන් තේරුම්ගත්තේ නැතුව ඇති. හැබැයි යේසුස් කියන දේවල් නිසා ඔවුන්ට යේසුස් එක්ක තියෙන කේන්තිය තව තවත් වැඩි වෙනවා.

      • “රජගෙන්,” “පුත්‍රයාගෙන්” සහ මුලින්ම ආරාධනා ලැබූ අයගෙන් නියෝජනය වුණේ කාවද?

      • යුදෙව්වන්ට ආරාධනා කරන්න පටන්ගත්තේ කවදා ඉඳලද? ඊටපස්සේ ආරාධනා කළේ කාටද?

      • ආරාධිතයන් හුඟදෙනෙක් හිටියත් තෝරාගන්නේ ටිකදෙනෙක්වයි කියලා යේසුස් කියපු දෙයින් අදහස් වුණේ මොකක්ද?

  • යේසුස් ආගමික නායකයන්ට හසු නොවෙයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
    • යේසුස්ගේ වරදක් අල්ලගන්න පරිසිවරුන් ඇසූ ප්‍රශ්නයට කාසියක් පෙන්වමින් යේසුස් පිළිතුරු දෙමින්

      108වෙනි පරිච්ඡේදය

      යේසුස් ආගමික නායකයන්ට හසු නොවෙයි

      මතෙව් 22:15-40 මාක් 12:13-34 ලූක් 20:20-40

      • සීසර්ගේ දේ සීසර්ට දෙන්න කියා පවසයි

      • නැවත නැඟිටින අයගේ විවාහය ගැන ප්‍රශ්න කරයි

      • උතුම්ම ආඥා දෙක ගැන කියයි

      යේසුස් නිදර්ශන මාර්ගයෙන් ආගමික නායකයන්ගේ වැරදි හෙළි කරන නිසා ඔවුන් ඉන්නේ කේන්තියෙන්. ඒ නිසා යේසුස්ගේ කටින් රෝම ආණ්ඩුවට විරුද්ධව දෙයක් කියවගෙන ඔහුව ආණ්ඩුකාරයා ළඟට ගෙනියන්නයි පරිසිවරු උත්සාහ කරන්නේ. ඒ වෙනුවෙන් තම ගෝලයන්ව යේසුස් ළඟට යවන ඔවුන් ඒ අයට යම් ගෙවීමකුත් කරනවා.—ලූක් 6:7.

      යේසුස් ළඟට යන ඔවුන් කියන්නේ මෙහෙමයි. “ගුරුතුමනි, ඔබ නිවැරදි ආකාරයට කතා කරන කෙනෙක් බවත් ඔබේ ඉගැන්වීම් නිවැරදි බවත් ඔබ කාගෙවත් පැත්ත නොගෙන කතා කරන බවත් දෙවි කියා දී තිබෙන මාර්ගය සත්‍යය පදනම් කරගෙන උගන්වන බවත් අපි දන්නවා. ඒ නිසා සීසර්ට බදු ගෙවිය යුතුද නැද්ද කියා අපට කියන්න පුළුවන්ද?” (ලූක් 20:21, 22) ඔවුන්ගේ කපටිකමත් කුහකකමත් තේරුම්ගන්න යේසුස් ඒ චාටු කතාවලට රැවටෙන්නේ නැහැ. ‘බදු ගෙවන්න ඕනෙ නැහැ’ කියලා යේසුස් කිව්වොත් රෝම ආණ්ඩුවට විරුද්ධව කතා කළා කියලා ඔහුව අත්අඩංගුවට ගනියි. ‘බදු ගෙවන්න ඕනේ’ කියලා කිව්වොත් රෝම පාලනයෙන් පීඩා විඳින මිනිසුන් යේසුස්ට විරුද්ධව කෝලහලයක් කරයි. යේසුස් මොනවා කියයිද?

      ඔහු මෙහෙම කියනවා. “ඔබ මොන තරම් කුහකයෝද? ඔබ මගේ වරදක් අල්ලාගන්න උත්සාහ කරන්නේ ඇයි? බදු ගෙවීමට භාවිත කරන කාසියක් මට දෙන්න.” ඔවුන් ඩිනාරි කාසියක් ගෙනාවාම “මෙහි තිබෙන රූපයත් නමත් කාගේද” කියලා යේසුස් අහනවා. ඔවුන් උත්තර දෙන්නේ “සීසර්ගේ” කියලයි. “එසේනම් සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවිට අයිති දේ දෙවිට දෙන්න” කියලා යේසුස් කියනවා.—මතෙව් 22:18-21.

      ඒ ගැන පුදුම වෙන ඔවුන් එතැනින් පිට වෙනවා. පරිසිවරුන්ගේ උත්සාහය අසාර්ථක වුණත් සද්දුසිවරු යේසුස්ගේ වරදක් අල්ලාගන්න හිතාගෙන ඔහු ළඟට එනවා.

      නැවත නැඟිටීම විශ්වාස නොකරන ඔවුන් යේසුස්ගෙන් මෙහෙම අහනවා. “ගුරුතුමනි, ‘මිනිසෙකු දරුවන් නැතුව මිය ගියොත් ඔහුගේ සහෝදරයෙක් ඔහුගේ බිරිඳව විවාහ කරගෙන තම සහෝදරයාගේ නමින් දරුවන් බිහි කළ යුතුයි’ කියා මෝසෙස් පැවසුවා. අප අතර සහෝදරයන් හත්දෙනෙක් සිටියා. පළමුවෙනියා විවාහ වූ පසුව මිය ගියා. ඔහුට දරුවන් නොසිටි නිසා ඔහුගේ බිරිඳව ඔහුගේ සහෝදරයාට විවාහ කර දුන්නා. දෙවෙනියාත් තුන්වෙනියාත් දරුවන් නැතුව මිය ගියා. එයාකාරයට හත්දෙනාම ඇයව විවාහ කරගත්තත් ඔවුන් සියලුදෙනාම දරුවන් නැතුව මිය ගියා. පසුව ස්ත්‍රියත් මිය ගියා. ඒ හත්දෙනාම ඇයව විවාහ කරගත් නිසා නැවත නැඟිටීමේදී ඇය බිරිඳ වෙන්නේ ඒ හත්දෙනා අතරින් කුමන කෙනාගේද?”—මතෙව් 22:24-28.

      යේසුස් උත්තර දෙන්නේ මෙහෙමයි. “ඔබට මේ ගැන තිබෙන්නේ වැරදි වැටහීමක්. ශුද්ධ ලියවිල්ල ගැනවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය ගැනවත් හරි අවබෝධයක් ඔබට නැති බව මෙයින් පෙනෙනවා. මන්ද නැවත නැඟිටීමේදී මිනිසුන් විවාහ වන්නේවත් ස්ත්‍රීන්ව විවාහ කර දෙන්නේවත් නැහැ. ඔවුන් ස්වර්ගයේ සිටින දේවදූතයන්ට සමාන වෙනවා. මිය ගිය අය නැවත නැඟිටුවනු ලබන බව මෝසෙස්ගේ ලියවිල්ලෙහි සඳහන් කටු පඳුර අසල සිද්ධියෙන් පැහැදිලි වෙනවා. ඒ ගැන ඔබ කියවා නැද්ද? එම වාර්තාවේ ‘මම ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිය’ කියා දෙවි මෝසෙස්ට කිව්වා. එයින් පැහැදිලි වන්නේ ඔහු මිය ගොස් ඇති අයගේ දෙවි නොව ජීවත් වන අයගේ දෙවි බවයි. එහෙයින් ඔබේ නිගමනය සම්පූර්ණයෙන්ම වැරදියි.”—මාක් 12:24-27; නික්මයාම 3:1-6.

      යේසුස් පරිසිවරුන්ව සහ සද්දුසිවරුන්ව නිහඬ කරපු නිසා ඒ දෙගොල්ලන්ම දැන් එකතු වෙලා යේසුස්ගේ වරදක් අල්ලාගන්න උත්සාහ කරනවා. නීතිය පිටපත් කරන්නෙක් යේසුස්ගෙන් මෙහෙම අහනවා. “ගුරුතුමනි, නීතියේ උතුම්ම ආඥාව කුමක්ද?”—මතෙව් 22:36.

      යේසුස් උත්තර දෙන්නේ මෙහෙමයි. “පළමුවෙනි ආඥාව මෙයයි. ‘ඊශ්‍රායෙල්වරුනි, සවන් දෙන්න. අපගේ දෙවි යෙහෝවායි. යෙහෝවා යන නමින් සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි. ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. එලෙසම ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’ දෙවෙනි ආඥාව මෙයයි. ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.’ ඒ ආඥා දෙකට වඩා උතුම් ආඥාවක් නැහැ.”—මාක් 12:29-31.

      එතකොට ඔහු මෙහෙම කියනවා. “ගුරුතුමනි, ‘දෙවි එක් කෙනෙක්. ඔහු හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ’ කියා ඔබ පැවසූ දේ ඉතා නිවැරදියි. එය සත්‍යයක්. ඔහුට මුළු හදවතින්ම ප්‍රේම කිරීමත් ඔහු වෙනුවෙන් මුළු ශක්තිය යොදා උපරිමය කිරීමත් ඔහුව සතුටු කිරීම ගැන නිතරම මනස යොමු කර තැබීමත් තමන්ට මෙන් තම අසල්වැසියාට ප්‍රේම කිරීමත් අවශ්‍යයි. ඒ වගේම ඒ දේවල් සියලුම දවන පූජා හා යාගවලට වඩා වටිනවා.” බුද්ධිමත්ව උත්තර දීපු ඔහුට යේසුස් කියන්නේ “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ඔබට තව වැඩි දුර යන්න අවශ්‍ය නැහැ” කියලයි.—මාක් 12:32-34.

      නීසාන් 9, 10 සහ 11 කියන දවස් තුනේම යේසුස් දේවමාලිගාවේදී ඉගැන්නුවා. නීතිය පිටපත් කරන්නා සහ තවත් අය උනන්දුවෙන් යේසුස්ට ඇහුම්කන් දුන්නා. ඒත් යේසුස්ගෙන් ‘කිසි ප්‍රශ්නයක් අහන්න ධෛර්යයක්’ නැති ආගමික නායකයන් නම් ඊට වඩා වෙනස්.

      • පරිසිවරුන් යේසුස්ගේ වරදක් අල්ලාගන්න උත්සාහ කළේ කොහොමද? සිද්ධ වුණේ මොකක්ද?

      • සද්දුසිවරුන් යේසුස්ගේ වරදක් අල්ලාගන්න දරපු උත්සාහය අසාර්ථක වුණේ කොහොමද?

      • නීතිය පිටපත් කරන්නාට උත්තර දෙද්දී යේසුස් වඩාත් වැදගත් දෙය ලෙස හැඳින්නුවේ මොකක්ද?

  • ආගමික නායකයන්ව හෙළාදකියි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
    • යේසුස් ආගමික නායකයන්ගේ වැරදි හෙළාදකිමින්

      109වෙනි පරිච්ඡේදය

      ආගමික නායකයන්ව හෙළාදකියි

      මතෙව් 22:41–23:24 මාක් 12:35-40 ලූක් 20:41-47

      • ක්‍රිස්තුස් කාගේ පුත්‍රයාද කියා අසයි

      • විරුද්ධවාදීන්ගේ කුහකකම යේසුස් හෙළි කරයි

      යේසුස් ගැන මිනිසුන්ගේ සිත්වල සැකයක් ඇති කරන්නත් රෝම ආණ්ඩුවට විරුද්ධ දෙයක් යේසුස් ලවා කියවාගන්නත් විරුද්ධවාදීන් දරපු වෑයම අසාර්ථක වෙලා. (ලූක් 20:20) නීසාන් 11වෙනිදා තවමත් දේවමාලිගාවේ ඉන්න යේසුස් පරිසිවරුන්ගෙන් මෙහෙම අහනවා. “ඔබ ක්‍රිස්තුස් ගැන සිතන්නේ කුමක්ද? ඔහු කාගේ පුත්‍රයාද?” (මතෙව් 22:42) ඔවුන් කියන්නේ ක්‍රිස්තුස් දාවිත්ගේ පෙළපතින් එනවා කියලයි.—මතෙව් 9:27; 12:23; යොහන් 7:42.

      යේසුස් තවදුරටත් මෙහෙම අහනවා. “එසේනම් දාවිත් දෙවිගේ මඟ පෙන්වීමෙන් ඔහුට ‘ස්වාමීන්’ කියා පැවසුවේ ඇයි? මන්ද දාවිත් එක් අවස්ථාවක, ‘යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න. මා ඔබේ සතුරන්ව ඔබේ පාද යට දමන තුරු එසේ සිටින්න”’ කියා පැවසුවා. දාවිත් ඔහුට ‘ස්වාමීන්’ යයි කියනවා නම් ඔහු දාවිත්ගේ පුත්‍රයා වන්නේ කොහොමද?”—මතෙව් 22:43-45.

      පරිසිවරු පිළිතුරු දෙන්නේ නැහැ. මොකද ඔවුන් හිතන්නේ දාවිත්ගේ පෙළපතින් එන මිනිසෙක් ඔවුන්ව රෝම පාලනයෙන් මුදවාගනියි කියලයි. ඒත් ගීතාවලිය 110:1, 2 පදවලට අනුව මෙසියස් මිනිසෙකුට වඩා ශ්‍රේෂ්ඨයි කියලා යේසුස් කියනවා. ඒ පදවල දාවිත් ඔහුව හඳුන්වන්නේ තම ස්වාමියා විදිහට. ඒ වගේම දෙවිගේ දකුණු පැත්තේ ඉඳගත්තාට පස්සේ ඔහුට පාලන බලය ලැබෙනවා. ඒ දේවල් ඇහෙද්දී විරුද්ධවාදීන් නිහඬ වෙනවා.

      ඒ සාකච්ඡාව යේසුස්ගේ ගෝලයන් සහ තව හුඟදෙනෙක් අහගෙනයි හිටියේ. නීතිය පිටපත් කරන්නන් සහ පරිසිවරු නීතිය ගැන උගන්වන අය විදිහට පෙනී ඉන්න නිසා ඔවුන් ‘මෝසෙස්ගේ තැන හිමි කරගෙන’ ඉන්නවා. ඔවුන් ගැන අනතුරු අඟවන යේසුස් සෙනඟට කියන්නේ මෙහෙමයි. “ඔවුන් ඔබට කියන සියල්ල කරන්න. ඒවා පිළිපදින්න. නමුත් ඔවුන් කරන දේවල් නම් කරන්න එපා. මන්ද ඔවුන් කියනවා මිස කරන්නේ නැහැ.”—මතෙව් 23:2, 3.

      ඊළඟට යේසුස් ඔවුන්ගේ කුහකකම හෙළි කරනවා. “ඔවුන් තම ආරක්ෂාවට කුඩා පෙට්ටි සාදා ශුද්ධ ලියවිල්ලේ කොටස් ඒවාට දමා ඒවා තම නළල්වල පළඳිනවා.” සමහර යුදෙව්වන් පොඩි පෙට්ටිවලට නීතියේ කොටසක් දාලා ඒවා නළලේ නැත්නම් අත්වල බැඳගන්නවා. ඒත් පරිසිවරු නීතියට හුඟක් ළැදියි කියලා පෙන්වන්න ඒ පෙට්ටිවල ප්‍රමාණය ලොකු කරලා තියෙනවා. දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කියලා තිබුණා වස්ත්‍රවල වාටියක් මහන්න කියලා. (ගණන් කතාව 15:38-40) හැබැයි පරිසිවරු තමන් ධර්මිෂ්ඨයි කියලා පෙන්වන්න ‘වස්ත්‍රවල වාටි තවත් පළල් කරලා’ තියෙනවා. ඔවුන් ඒ හැම දෙයක්ම කරන්නේ “මිනිසුන්ට පෙනෙන්නයි.”—මතෙව් 23:5.

      යේසුස්ගේ ගෝලයන්ටත් කැපිලා පේන්න ආසාවක් ඇති වෙන්න පුළුවන් නිසා යේසුස් ඔවුන්ට මෙහෙම අනතුරු අඟවනවා. “අන් අය ඔබට රබ්බි කියා ඇමතිය යුතුයි කියා නොසිතන්න. මන්ද ඔබට සිටින්නේ එකම ගුරුවරයෙක්. ඔබ සියලුදෙනාම සහෝදරයෝයි. පොළොවෙහි සිටින කාටවත් ‘පියාණන්’ කියා නොකියන්න. මන්ද ඔබට සිටින්නේ එකම පියෙක්. ඒ ස්වර්ගයෙහි සිටින තැනැත්තායි. ඔබ අතරේ සිටින කිසිම කෙනෙකුට ‘නායකයා’ කියා නොකියන්න. මන්ද ඔබට සිටින්නේ එකම නායකයෙක්. ඒ ක්‍රිස්තුස්.” ගෝලයන් තමන් ගැනම හිතන්න ඕන විදිහ ගැන යේසුස් මෙහෙම කියනවා. “ඔබ අතරේ සිටින උතුම්ම තැනැත්තා ඔබේ සේවකයා විය යුතුයි. උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි. නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.”—මතෙව් 23:8-12.

      නීතිය පිටපත් කරන අයට සහ පරිසිවරුන්ට මුහුණ දෙන්න වෙන දේ ගැන යේසුස් දැන් කියන්නේ මෙහෙමයි. “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට ඇති දොරටුවලට අගුල් දමා මිනිසුන්ට ඊට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබ එයින් ඇතුල් වෙන්නෙත් නැහැ. ඇතුල් වෙන්න උත්සාහ කරන අයට ඇතුල් වෙන්න ඔබ ඉඩ දෙන්නෙත් නැහැ.”—මතෙව් 23:13.

      පරිසිවරු ක්‍රියා කරන විදිහෙන් පැහැදිලි වෙනවා යෙහෝවා දෙවියන් වැදගත් විදිහට සලකන දේවල් ගැන ඔවුන්ට තැකීමක් නැහැ කියලා. උදාහරණයකට “යමෙකු දේවමාලිගාවේ නාමයෙන් දිවුරුවොත් එය වලංගු නැහැයි කියාත් යමෙකු දේවමාලිගාවේ රන්වල නාමයෙන් දිවුරුමක් කළොත් ඔහු එම දිවුරුම ඉටු කිරීමට බැඳී සිටියි” කියාත් ඔවුන් කියනවා. ඒ විදිහට ඔවුන් යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න උදව් වෙන දේවමාලිගාවට වඩා එතැන තියෙන රන් වඩාත් වැදගත් විදිහට සලකනවා. ඒ වගේම ‘යුක්තිය, දයාව, විශ්වාසවන්තකම යන නීතියේ වඩා බැරෑරුම් කාරණාවලට ඔවුන් කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ.’—මතෙව් 23:16, 23; ලූක් 11:42.

      යේසුස් පරිසිවරුන්ව හඳුන්වන්නේ මදුරුවාව අයින් කර ඔටුවාව ගිලින අන්ධ මඟ පෙන්වන්නන් විදිහට. (මතෙව් 23:24) මදුරුවාව සැලකුවේ අපවිත්‍ර කෘමියෙක් විදිහට නිසා වයින්වලට මදුරුවෙක්ව වැටුණොත් ඔවුන් ඌව අයින් කරනවා. නීතියේ සඳහන් පුංචි කාරණා ගැන සැලකිලිමත් වුණත් ඔවුන් නීතියේ සඳහන් බැරෑරුම් කාරණා නොසලකාහරිනවා. ඒක හරියට මදුරුවාට වඩා හුඟක් ලොකු, අපවිත්‍ර සතෙක් විදිහට සැලකුව ඔටුවෙක්ව ගිලිනවා වගෙයි.—ලෙවී කතාව 11:4, 21-24.

      • යේසුස් ගීතාවලිය 110 සඳහන් දේ ගැන ප්‍රශ්නයක් ඇහුවාම පරිසිවරු නිහඬ වුණේ ඇයි?

      • පරිසිවරු නීතියේ කොටසක් දාලා තිබුණු පෙට්ටිවල ප්‍රමාණය ලොකු කරගත්තෙත් වස්ත්‍රවල වාටි තවත් පළල් කරගත්තෙත් ඇයි?

      • යේසුස් තම ගෝලයන්ට දුන්නේ මොන අනතුරු ඇඟවීමද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න