ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jr 1 පරි. 4-17 පි.
  • ‘ඔබ පැවසිය යුතු දේ මම ඔබට දැන්වූවෙමි’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ඔබ පැවසිය යුතු දේ මම ඔබට දැන්වූවෙමි’
  • යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විශේෂ පැවරුමක් සඳහා තෝරාගනියි
  • අප හා සමාන හැඟීම් ඇති කෙනෙක්
  • මේ පොතේ අරමුණ
  • “මට මේ විපත ගැන ප්‍රකාශ නොකර සිටිය නොහැක”
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • ඔබේ මිතුරන් කවුරුන්ද?
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • මා පවසන දේ ‘ඔබ සෙනඟට කියන්න’
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • ඔබ දිනපතා “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්” පතනවාද?
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
තව තොරතුරු
යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
jr 1 පරි. 4-17 පි.

පළමුවෙනි පරිච්ඡේදය

‘ඔබ පැවසිය යුතු දේ මම ඔබට දැන්වූවෙමි’

1, 2. බයිබලයේ සඳහන් දේවල් ඔබට විශ්වාස කළ හැක්කේ ඇයි?

‘සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව සිටින මිතුරෙක් සිටියි.’ හිතෝපදේශ පොතෙහි සඳහන් එම වදන්වල සත්‍යතාව ඔබත් අද්දැක තිබෙනවාද? (හිතෝ. 18:24) එවැනි මිතුරෙකු ඔබට සිටිනවා නම් ඔහු පවසන කිසිම දෙයක් ගැන ඔබ සැක කරන්නේ නැහැ. ඔබ කළ යම් දෙයක් ඔහු ප්‍රශංසාවට ලක් කරන විට ඔහු එසේ කරන්නේ අවංකව බව ඔබට විශ්වාසයි. ඔහු ඔබව යම් අවස්ථාවලදී නිවැරදි කරන විට ඔබ එම උපදෙස් පිළිගෙන ඒවා අදාළ කරගන්නවා. මන්ද ඔහු ඒ සෑම දෙයක්ම කරන්නේ ඔබේ යහපතටයි කියා ඔබට විශ්වාසයි. ඔබේ මිතුරාට ඔබත් එවැනි විශ්වාසවන්ත මිතුරෙකු වෙනවා නම් ඔබ දෙදෙනා අතර තිබෙන මිත්‍රත්වය සැමදා පවතියි.

2 බයිබලය ලිවීමට දෙවි යොදාගත් අයත් එවැනි විශ්වාසවන්ත මිතුරන්. ඔවුන් ලියා තිබෙන දේවල් ඔබට විශ්වාසයි. ඒවා ලියා තිබෙන්නේ ඔබේ යහපතට කියා ඔබ දන්නවා. නමුත් ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව කතා කළ’ එවැනි අයව ඊශ්‍රායෙල් සෙනඟ තම විශ්වාසවන්ත මිතුරන් ලෙස නොසැලකීම කනගාටුවට කරුණක්. (2 පේතෘ. 1:20, 21) බයිබලයේ තිබෙන අනාවැකි ඇතුළත් විශාලතම පොත ලිවීමට දෙවි යොදාගත් යෙරෙමියාද විශ්වාසවන්ත මිතුරෙක්. යෙරෙමියා පොතට අමතරව විලාප ගී යන පොත හා බයිබලයේ තවත් පොත් දෙකක් ඔහු විසින් ලියනු ලැබුවා.

3, 4. සමහරදෙනෙක් යෙරෙමියා හා විලාප ගී යන පොත් සලකන්නේ කෙසේද? එය වැරදි මතයක් වන්නේ ඇයි? පැහැදිලි කරන්න.

3 ඇතැම් අය යෙරෙමියා හා විලාප ගී යන පොත් කියවීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔවුන් සිතන්නේ යෙරෙමියා හා විලාප ගී යන පොත්වල ඇතුළත් වී තිබෙන්නේ භයානක අනතුරු ඇඟවීම් හා අශුභ පණිවිඩ පමණක් කියායි. ඔවුන් සිතන දේ හරිද?

4 එම පොත්වල අනතුරු ඇඟවීම් හා ඍජු උපදෙස් ඇතුළත් බව ඇත්තයි. නමුත් ඒ නිසාම එම පොත්වල ඇතුළත් වන්නේ කලකිරීමට පත් කරවන පණිවිඩ පමණයි කියා සිතීම වැරදියි. විශ්වාසවන්ත මිතුරන් පවා අවශ්‍ය අවස්ථාවලදී ඍජු උපදෙස් හා අවවාද ලබා දෙන්නේ නැද්ද? යේසුස්ද ඔහුගේ මිතුරන්ට උපදෙස් හා අවවාද ලබා දෙමින් ඔවුන් තුළ තිබූ වැරදි ආකල්ප නිවැරදි කළා. (මාක් 9:33-37) නමුත් ඔහු වැඩි අවධානයක් දුන්නේ දෙවිගේ අනුමැතිය දිනාගෙන සැබෑ සතුට අත් කරගත හැකි මඟ මිනිසුන්ට කියා දීමටයි. (මතෙ. 5:3-10, 43-45) ඒ නිසා ඔහු ඉදිරිපත් කළ පණිවිඩය බලාපොරොත්තුවක් ඇති කරන ප්‍රීතිමත් පණිවිඩයක් කියා පැවසිය හැකියි. යෙරෙමියා ලියූ පොත්වල අඩංගු තොරතුරුද ඒ හා සමානයි. ‘මුළු ශුද්ධ ලියවිල්ලට’ ඇතුළත් එම පොත් “කාරණා නිවැරදි කිරීමට” ප්‍රයෝජනවත්. (2 තිමෝ. 3:16) දෙවිට නමස්කාර කරනවා කියා පැවසුවත් දෙවි බලාපොරොත්තු වන ආකාරයට ජීවත් නොවූ අය අද්දකින ප්‍රතිඵල ගැන සඳහන් කරමින් ඔහු ඔවුන්ට අනතුරු ඇඟවීම් ලබා දුන්නා. නමුත් දෙවිගෙන් ආශීර්වාද ලබාගත හැකි ආකාරය ගැනත් ඔහු තම පොත්වල සඳහන් කළා. දෙවි තම අරමුණට එකඟව කටයුතු කරන ආකාර ගැන සඳහන් අනාවැකිද ඔහු තම පොත්වලට ඇතුළත් කළා. එම අනාවැකිවල ඉටු වීම අද දින ජීවත් වන දෙවිගේ සෙනඟ අද්දකිමින් සිටිනවා. ඒ හේතූන් නිසා යෙරෙමියා හා විලාප ගී යන පොත්වල දිරිගන්වනසුලු අදහස් හා බලාපොරොත්තුවක් ඇති කරවන ප්‍රීතිමත් පණිවිඩයක් ඇතුළත් කියා පැවසිය හැකියි.—යෙරෙමියා 31:13, 33; 33:10, 11; විලාප ගී 3:22, 23 කියවන්න.

5. යෙරෙමියා ලියා තිබෙන දේවල් අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

5 යෙරෙමියා ලියූ දේවල් අද දින සිටින දෙවිගේ සෙනඟට බොහෝ පැතිවලින් ප්‍රයෝජනවත්. අපේ සහෝදරත්වය ගැන ටිකක් සිතන්න. යෙරෙමියා ලියා තිබෙන දේවල් අදාළ කරගැනීමෙන් දෙවිගේ සෙනඟ අතරේ තිබෙන බැඳීම තව තවත් ශක්තිමත් කරගැනීමට හැකි වන අතර පාවුල් දුන් මෙම උපදෙස අදාළ කරගැනීමටත් හැකි වෙනවා. “සහෝදරයෙනි, . . . දිගටම ප්‍රීතියෙන් සිටින්න. ඔබ සිතන ආකාරය නිරතුරුව සකස් කරගන්න. අන් අයගෙන් ලබන සැනසිල්ල අගය කරන්න. එකඟතාවකින් කටයුතු කරන්න. සමාදානයෙන් ජීවත් වන්න. ඔබ එසේ කළොත් ප්‍රේමයද සමාදානයද ලබා දෙන දෙවි ඔබ සමඟ සිටිනු ඇත.” (2 කොරි. 13:11) එදා යෙරෙමියා ප්‍රකාශ කළ පණිවිඩය ගැනද මදකට සිතා බලන්න. අද දින දෙවිගේ සෙනඟද ප්‍රකාශ කරමින් සිටින්නේ ඒ හා සමාන පණිවිඩයක්. අප ජීවත් වන්නේ අවසාන කාලයේ බව පවසමින් ළඟා වෙමින් තිබෙන මේ දුෂ්ට සමාජයේ විනාශය ගැන අප මිනිසුන්ට අනතුරු අඟවනවා. නමුත් ඉන් බේරී ජීවත් වීමේ බලාපොරොත්තුවක්ද අප මිනිසුන්ට ලබා දෙනවා. ඒ නිසා යෙරෙමියා මෙන් අපත් ඉදිරිපත් කරන්නේ ප්‍රීතිමත් පණිවිඩයක්. එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වන දේවල්ද යෙරෙමියා ලියා තිබෙන දේවලට ඇතුළත්. ඇත්තෙන්ම යෙරෙමියා හා අප අතරේ බොහෝ සමානකම් තිබෙනවා. ඒ බව වඩාත් හොඳින් තේරුම්ගැනීමට දෙවිගෙන් විශේෂ පැවරුමක් ලැබූ මේ අනාගතවක්තෘවරයාගේ පසුබිම හා ඔහුගේ පැවරුම ගැන සලකා බලමු.—යෙරෙ. 1:9.

8වන පිටුවේ පින්තූරය

6, 7. දෙවි යෙරෙමියා ගැන සැලකිලිමත් වුණා කියා පැවසිය හැක්කේ ඇයි? ඔහු ඉපදුණු කාලයේ යූදාහි පැවතුණේ මොන වගේ වාතාවරණයක්ද?

6 තම දරුවා ඉපදෙන තෙක් මහත් ආශාවෙන් බලා සිටින යුවළක් තම දරුවා මොන වගේ කෙනෙක් වෙයිද ඔහු මොන වගේ දේවලට ප්‍රිය කරයිද ඔහු මොනවා කරයිද යන කාරණා ගැන කල්පනා කරනවා. සමහරවිට ඔබේ දෙමාපියන්ද ඔබ ගැන එලෙස කල්පනා කරන්න ඇති. යෙරෙමියාගේ දෙමාපියන්ද එසේ කරන්න ඇති. ඔහුගේ දෙමාපියන්ට අමතරව තවත් වැදගත් කෙනෙක් ඔහුගේ ජීවිතය හා ඔහු අනාගතයේ කිරීමට යන දේවල් ගැන සැලකිලිමත් වුණා. ඒ වෙන කවුරුත් නොව මේ මුළු විශ්වයේම නිර්මාතෘ වන යෙහෝවා දෙවියි.—යෙරෙමියා 1:5 කියවන්න.

7 අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කිරීමට යෙරෙමියා සුදුසු බව ඔහු ඉපදෙන්නත් කලින් සිටම දෙවි දුටුවා. යෙරුසලමට උතුරෙන් ජීවත් වූ පූජක පවුලකට උපන් මේ දරුවාට දෙවි විශේෂ අවධානයක් දුන්නේ ඒ නිසයි. යෙරෙමියා ඉපදුණේ ක්‍රිස්තු පූර්ව හත්වෙනි සියවසේ මැදභාගයෙයි. ඔහු ඉපදුණු ඒ කාලයේ යූදාහි හොඳ වාතාවරණයක් පැවතුණේ නැහැ. ඒ කාලයේ යූදා දේශය පාලනය කරමින් සිටියේ මනස්සේ රජුයි. (23වෙනි පිටුව බලන්න.) අවුරුදු 55ක් පුරාම යූදා දේශය පාලනය කළ ඔහු, ඉන් වැඩි කාලයක්ම දෙවි පිළිකුල් කළ දේවල් කළා. ඔහුගෙන් පසුව රජකමට පත් වූ ඔහුගේ පුත් ආමොන්ද කටයුතු කළේ ඔහුගේ පියාට සමානවයි. (2 රාජා. 21:1-9, 19-26) නමුත් ඊළඟට රජු බවට පත් වූ යොෂියාගේ පාලනයත් සමඟම යූදාහි තත්වය වෙනස් අතකට හැරුණා. යොෂියා රජු යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතා කටයුතු කළ රජ කෙනෙක්. ඔහුගේ පාලනයේ 18වෙනි අවුරුද්ද වන විට වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීම සඳහා යොදාගත් සෑම දෙයක්ම ඔහු මුළු දේශයෙන්ම ඉවත් කර තිබුණා. යෙරෙමියාට ඔහුගේ පැවරුම ලැබුණේ එවැනි යහපත් වාතාවරණයක් යූදාහි පැවති කාලයෙයි. ඒ ගැන ඔහුගේ දෙමාපියන් සතුටු වන්න ඇති.—2 ලේක. 34:3-8.

යෙරෙමියා හා විලාප ගී යන පොත්වල ඇතුළත් තොරතුරු සලකා බැලීම ඔබට වැදගත් වන්නේ ඇයි?

විශේෂ පැවරුමක් සඳහා තෝරාගනියි

8. දෙවි යෙරෙමියාව පත් කළේ කුමක් සඳහාද? ඔහු ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

8 “ජාතීන්ට අනාවැකි කීමට මම ඔබව පත් කළෙමි” කියා දෙවි යෙරෙමියාට පවසන විට ඔහු කුමන වයසක සිටියාද කියා අප නිශ්චිතව දන්නේ නැහැ. අඩුම තරමින් ඒ වන විට ඔහුට වයස අවුරුදු 25ක්වත් වන්න ඇති. මන්ද සාමාන්‍යයෙන් ලෙවීවරයෙක් තම සේවය ආරම්භ කරන්නේ එවැනි වයසක සිටයි. (ගණන්. 8:24) ඔහු කුමන වයසක පසු වුණත් දෙවි පැවසූ දෙයට ඔහුගේ ප්‍රතිචාරය වුණේ මෙයයි. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මම තවම තරුණයෙක්. අනික මම කතාවට දක්ෂ කෙනෙක් නෙවෙයි.” (යෙරෙ. 1:6) දෙවි ඔහුට දුන් පැවරුම භාරගැනීමට ඔහු අදිමදි කළේ ඒ සඳහා තමා ළාබාල වැඩියි කියා සිතූ නිසා විය හැකියි. එසේත් නැත්නම් අනාගතවක්තෘවරයෙකුට තිබෙන බැරෑරුම් වගකීම් ඉටු කිරීමටත් සෙනඟ ඉදිරියේ කතා කිරීමටත් තමාට සුදුසුකම් නැහැයි කියා ඔහු සිතන්න ඇති.

9, 10. යෙරෙමියාට පැවරුම ලැබුණේ කුමන වාතාවරණයක් යටතේද? කාලයක් ගත වූ පසු තම පැවරුම ඉටු කිරීම ඔහුට අභියෝගයක් වුණේ ඇයි?

9 යෙරෙමියාට තම පැවරුම ලැබුණේ යොෂියා රජු බොරු නමස්කාරයට සම්බන්ධ පිළිකුල් දේවල් දේශයෙන් ඉවත් කරමින් සැබෑ නමස්කාරය යළි පිහිටෙවූ කාලයෙයි. ශෙපනියා හා නාහුම් යන අනාගතවක්තෘවරුන්ද යූදාහි සේවය කළේ යොෂියා රජුගේ පාලන සමයේ මුල් අවදියෙයි.a ඉදිරියේදී අයහපත් කාලයක් උදා වන බවට අනාවැකි පැවසූ අනාගතවක්තෘවරියක වූ හුල්දා සේවය කළෙත් ඒ කාලයෙයි. (2 රාජා. 22:14) ඇය පැවසූ අනාවැකිවල ඉටු වීම යෙරෙමියා අද්දැක්කා. ඇය පැවසූ ලෙස දේශය මොන තරම් දුෂ්ට තත්වයකට පත් වුණාද කියනවා නම් විරුද්ධවාදීන් යෙරෙමියාව මරා දැමීමට කිහිප අවස්ථාවකදීම උත්සාහ කළා. ඒබෙද්-මෙලෙක් හා බාරුක් වැනි මිතුරන් එවැනි අවස්ථාවලදී යෙරෙමියාගේ උපකාරයට පැමිණියා.

10 ප්‍රබල පණිවිඩයක් අන් අයට ප්‍රකාශ කිරීම සඳහා ඔබව තෝරාගත්තා කියා දෙවි පැවසුවොත් ඔබට කෙසේ හැඟෙයිද? දෙවි යෙරෙමියාව තෝරාගත්තේ එවැනි කාර්යයක් සඳහායි. (යෙරෙමියා 1:10 කියවන්න.) ඔහුට ප්‍රකාශ කිරීමට සිදු වූ එක් පණිවිඩයක් සලකා බලන්න. ක්‍රිස්තු පූර්ව 609දී බැබිලෝනිය හමුදාව යෙරුසලම යටත් කරගැනීම සඳහා ඒ දෙසට පැමිණෙමින් සිටියා. යෙරුසලමේ රජුව සිටි ශෙදකියා, ඒ අවස්ථාවේ සිතුවේ යෙහෝවා දෙවි යෙරෙමියා මාර්ගයෙන් සතුටුදායක පණිවිඩයක් ප්‍රකාශ කරයි කියායි. නමුත් රජුට දැන්වීම සඳහා දෙවි යෙරෙමියාට දුන් පණිවිඩය රජු බලාපොරොත්තු වුණාට වඩා හාත්පසින්ම වෙනස් පණිවිඩයක්.—යෙරෙමියා 21:4-7, 10 කියවන්න.

අප හා සමාන හැඟීම් ඇති කෙනෙක්

11. යෙරෙමියාට තම පැවරුම ඉටු කිරීම අපහසු කාර්යයක් වුණේ ඇයි? ඔහුට ලැබුණු පොරොන්දුව කුමක්ද?

11 දුෂ්ට රජවරුන්ට, දූෂිත පූජකයන්ට හා බොරු අනාගතවක්තෘවරුන්ට විරුද්ධව ප්‍රබල පණිවිඩ ප්‍රකාශ කිරීම යෙරෙමියාට මොන තරම් අපහසු කාර්යයක් වන්න ඇද්ද කියා ඔබට සිතාගත හැකිද? නමුත් ඔහුගේ උපකාරයට යෙහෝවා දෙවි සිටියා. (යෙරෙ. 1:7-9) දෙවි එම පැවරුම ඔහුට භාර දුන්නේ මෙවැනි පොරොන්දුවක් සමඟිනුයි. “අද මම ඔබව යූදා දේශයේ රජවරුන්, පාලකයන්, පූජකයන් සහ දේශයේ වැසියන් ඉදිරියේ බලකොටුවක් මෙන්ද යකඩ කුලුනක් මෙන්ද තඹ පවුරක් මෙන්ද ශක්තිමත් කරන්නෙමි. ඔවුන් ඔබට විරුද්ධව සටන් කළත් ඔබව පරාජය කිරීමට ඔවුන්ට හැකි වන්නේ නැත. මන්ද ඔබව ගලවාගැනීමට මම ඔබ සමඟ සිටිමි. මේ දේවල් පවසන මා යෙහෝවා දෙවිය.”—යෙරෙ. 1:18, 19.

12. යෙරෙමියා හා අප අතරේ තිබෙන සමානකම් මොනවාද?

12 යෙරෙමියා ගැන සලකා බලන විට ඔහු අසාමාන්‍ය පුද්ගලයෙක් නොවන බව අප මතක තබාගත යුතුයි. ඔහුත් ‘අප හා සමාන හැඟීම් ඇති මිනිසෙක්.’ (යාකො. 5:17) යෙරෙමියා ජීවත් වුණේ මීට අවුරුදු ගණනාවකට ඉහතදී වුණත් අද දින අප මුහුණ දෙන දේවල්වලට එදා ඔහුත් මුහුණ දුන්නා. විවිධාකාරයේ පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට අපට සිදු වෙනවා වගේම විවිධ පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට එදා යෙරෙමියාටත් සිදු වුණා. ඊට උදාහරණ කිහිපයක් දැන් අපි සලකා බලමු.

13, 14. යෙරෙමියාට අප හා සමාන හැඟීම් තිබුණා කියා පැවසිය හැක්කේ ඇයි? (මේ පිටුවේ තිබෙන පින්තූරය බලන්න.)

13 එක් අවස්ථාවක දෙවිගේ ගෘහයේ ප්‍රධාන නිලධාරියා ලෙස සේවය කළ පෂ්හූර් නම් පූජකයා යෙරෙමියාට පහර දී ඔහුව දඬුකඳේ ගැසුවා. එලෙස ඔහුගේ අත්, පාද හා බෙල්ල පැය ගණනාවක් දඬුකඳේ සිර කර තැබූ නිසා ඔහුට මහත් වේදනාවක් දැනෙන්න ඇති. එතරම් වේදනාවකින් සිටි ඔහුට මිනිසුන්ගේ සමච්චල්වලටත් මුහුණ දීමට සිදු වුණා. එවැනි දෙයකට ඔබට මුහුණ දීමට සිදු වුණා නම් ඔබට කෙසේ හැඟෙයිද?—යෙරෙ. 20:1-4.

12වන පිටුවේ පින්තූරය

14 යෙරෙමියා මෙවැනි දෙයක් පැවසීම ගැන ඔබ පුදුම නොවන බව නම් නිසැකයි. “මා උපන් දවසට ශාප වේවා! . . . මා මව්කුසින් මෙලොවට බිහි වුණේ කුමකටද? මේ මහත් දුක් ගැහැටවලට මුහුණ දෙන්නද? ජීවිත කාලය පුරාම ලැජ්ජාව අද්දකින්නද?” (යෙරෙ. 20:14-18) යෙරෙමියා ඒ අවස්ථාවේ අධෛර්යයට පත් වුණත් ඉන් ගොඩ ඒමට ඔහුට හැකි වුණා. මුහුණ දීමට සිදු වන දේවල් නිසා සමහරවිට ඔබටත් එලෙස හැඟෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවලදී ඔබත් අධෛර්යයට පත් වී ඔබේ කිසිම වටිනාකමක් නැහැ කියා හෝ දිගටම දෙවිට සේවය කිරීමෙන් කිසිම පලක් නැහැ කියා හෝ සිතීමට ඉඩ තිබෙනවා. එසේනම් යෙරෙමියාගේ අද්දැකීම සලකා බැලීම ඔබට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේවි.

යෙහෝවා දෙවි යෙරෙමියාව අනාගතවක්තෘවරයෙකු ලෙස තෝරාගැනීම ගැන ඔබට හැඟෙන්නේ කෙසේද? යෙරෙමියාත් ඔබ හා සමාන කෙනෙක් කියා පැවසිය හැක්කේ ඇයි?

15. යෙරෙමියාටත් විවිධාකාර හැඟීම් ඇති වූ බව සලකා බැලීම අපට ප්‍රයෝජනවත් වන්නේ ඇයි?

15 යෙරෙමියා අප හා සමාන කෙනෙක් කියා පැවසීමට තවත් හේතුවක් සලකා බලන්න. ඔහු අධෛර්යයට පත්ව යෙරෙමියා 20:14-18 දක්වා සඳහන් වදන් පැවසුවේ යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න කියා අන් අයව උනන්දු කර වැඩි වේලාවක් යන්න මත්තෙනුයි. (යෙරෙමියා 20:12, 13 කියවන්න.) ඉන් පැහැදිලි වන්නේ ඔහුගේ හැඟීම් විගස වෙනස් වූ බවයි. සමහර අවස්ථාවලදී ඔබත් එය අද්දැක ඇති. එක මොහොතක ඔබ සතුටින් සිටිනවා. ඊළඟ මොහොතේ ඔබ අධෛර්යයට පත්ව දුකින් සිටිනවා. එලෙස අප හා සමාන පුද්ගලයෙකු වූ යෙරෙමියාව යෙහෝවා දෙවි තම සේවය සඳහා විශිෂ්ටාකාරයෙන් පාවිච්චි කළා. (2 ලේක. 36:12, 21, 22; එස්රා 1:1) ඒ නිසා යෙරෙමියා තම ජීවිතයේ අද්දුටු දේවල් හා ඔහු ඒවාට ප්‍රතිචාරය දැක්වූ ආකාර අධ්‍යයනය කිරීම අප සෑම කෙනෙකුටම බොහෝ ප්‍රයෝජනවත්.

16. දෙවි යෙරෙමියාට දුන් විශේෂ ආඥාව ගැන සලකා බැලීම ප්‍රයෝජනවත් වන්නේ කාටද?

16 යෙහෝවා දෙවි යෙරෙමියාට දුන් එක් විශේෂ ආඥාවකට ඔහු කීකරු වූ ආකාරයෙන්ද අපට යම් කාරණා ඉගෙනගත හැකියි. ‘ඔබ විවාහ නොවිය යුතුයි’ කියා දෙවි ඔහුට පැවසුවා. (යෙරෙමියා 16:2 කියවන්න.) එය අමුතු මෙන්ම පිළිපැදීමට අපහසු ආඥාවක් මෙන් පෙනෙන්න ඇති. දෙවි ඔහුට එවැනි ආඥාවක් ලබා දීමට හේතුව කුමක්ද? එය යෙරෙමියාට බලපෑවේ කෙසේද? එම වාර්තාව සලකා බැලීම විවාහ නොවී සිටීමට තීරණය කර සිටින කෙනෙකුට හෝ විවිධ හේතූන් නිසා තවමත් විවාහ නොවී සිටින කෙනෙකුට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද? දෙවි දුන් එම ආඥාවෙන් දැනටමත් විවාහ වී සිටින අයට ඉගෙනගැනීමට යමක් තිබෙනවාද? විවාහ වී සිටියත් ‘දරුවන්’ නොමැතිව සිටින අයට එම ආඥාව අදාළ කරගත හැක්කේ කෙසේද?

17. යෙරෙමියා 38:20හි සඳහන් දෙයින් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

17 යෙරෙමියා යූදාහි රජුට පැවසූ මේ වදන් සලකා බැලීමෙන්ද අපට වැදගත් දෙයක් ඉගෙනගත හැකියි. “මම ඔබට පවසන යෙහෝවා දෙවිගේ වදන්වලට කීකරු වෙන්න. ඔබ එසේ කළොත් ඔබට කිසි කරදරයක් වෙන්නේ නැහැ. ඔබට ඔබේ ජීවිතේ රැකගැනීමට හැකි වෙයි.” (යෙරෙ. 38:20) දෙවිගේ මඟ පෙන්වීම් පිළිගෙන දෙවිට කීකරු වීමෙන් දෙවිගේ රැකවරණය අද්දැකිය හැකි බව යෙරෙමියා දැන සිටියා. ඔහු ඒ බව රජුටත් පැවසුවා. අපත් යෙරෙමියා මෙන් ක්‍රියා කරනවාද? ජීවිතය ගත කළ හැකි හොඳම ක්‍රමය දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගැනීම බව අප දන්නා නිසා එසේ කිරීමට අප අන් අයවත් දිරිගන්වනවාද? දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයව හා තවමත් දෙවිට සේවය නොකළත් දෙවි ගැන දැනගැනීමට කැමැත්තෙන් සිටින අයව අපට එසේ දිරිගැන්විය හැකියි.

මේ පොතේ අරමුණ

18, 19. යෙරෙමියා හා විලාප ගී යන පොත් අධ්‍යයනය කළ හැකි ක්‍රම කිහිපයක් මොනවාද?

18 මෙම පොත යෙරෙමියා හා විලාප ගී යන පොත්වල තොරතුරු සෝදිසි කිරීමටත් ඒවා අපේ ජීවිතයට අදාළ වන පැති ගැන දැනුවත් වීමටත් මහඟු අත්වැලක් වේවි. පාවුල් පැවසුවේ, “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්‍රයෝජනවත්ය” කියායි. (2 තිමෝ. 3:16) එසේනම් ශුද්ධ ලියවිල්ලට ඇතුළත් මෙම පොත් දෙකෙන්ද අපට ප්‍රයෝජන රැසක් අත් කරගත හැකි බව නිසැකයි.

19 යෙරෙමියා හා විලාප ගී යන පොත් අධ්‍යයනය කිරීමට කෙනෙකුට ක්‍රම කිහිපයක් යොදාගත හැකියි. එක් ක්‍රමයක් වන්නේ එම පොත් දෙක පදයෙන් පදය අධ්‍යයනය කරමින් ඒ සෑම පදයකම අර්ථය හා පසුබිම තේරුම්ගැනීමට උත්සාහ කිරීමයි. එම පොත් දෙකේ සඳහන් වන පුද්ගලයන් හා විස්තර කර තිබෙන සිදුවීම් අපේ කාලය සමඟ සන්සන්දය කර බැලීම තවත් ක්‍රමයක්. (යෙරෙ. 24:6, 7; 1 කොරි. 3:6) එසේත් නැත්නම් එම පොත්වල කැපීපෙනෙන ඓතිහාසික සිද්ධීන් කෙනෙකුට අධ්‍යයනය කළ හැකියි. (යෙරෙ. 39:1-9) ඇත්තටම එම පොත් දෙකෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් එවැනි තොරතුරු යම් දුරකට හෝ සලකා බැලීම වැදගත්. යෙරෙමියා ජීවත් වූ කාලය ගැන හා යෙහෝවා දෙවි කාරණා හැසිරෙවූ ආකාරය ගැන අප ඊළඟ පරිච්ඡේදයේ සලකා බලන්නේ ඒ නිසයි.

20. මෙම පොත විශේෂයෙන් පිළියෙල කර තිබෙන්නේ කුමන අරමුණක් ඇතුවද?

20 නමුත් මේ පොත විශේෂයෙන්ම පිළියෙල කර තිබෙන්නේ යෙරෙමියා හා විලාප ගී යන පොත් තුළින් ක්‍රිස්තියානීන් වන අපට දෙවි ලබා දී තිබෙන මඟ පෙන්වීම් සොයා බැලීම සඳහායි. (තීත. 2:12) මේ පොත අධ්‍යයනය කරන විට ‘ඉගැන්වීම සඳහා ප්‍රයෝජනවත්’ බොහෝ තොරතුරු යෙරෙමියා හා විලාප ගී යන පොත්වල තිබෙන බව ඔබ දකියි. එදිනෙදා ජීවිතයේ විවිධ අභියෝගයන්වලට අප මුහුණ දෙන විට අදාළ කරගත හැකි උපදෙස් හා මඟ පෙන්වීම්ද එහි ඇතුළත් වී තිබෙනවා. ඔබ තනිකඩ කෙනෙක් වුණත් විවාහක කෙනෙක් වුණත් වැඩිමහල්ලෙක් වුණත් පුරෝගාමියෙක් වුණත් පවුල වෙනුවෙන් මුදල් උපයන්නෙක් වුණත් ගෘහණියක් වුණත් ඉන් උගත හැකි දේ බොහෝයි. ඇත්තෙන්ම “සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින කෙනෙක්” වීමට එම පොත් දෙක මහඟු පිටුවහලක් බව ඔබ තේරුම්ගනියි.—2 තිමෝ. 3:17.

16වන පිටුවේ පින්තූරය

21. මෙම පොත අධ්‍යයනය කිරීමට ඔබ කැමති ඇයි?

21 මෙම පොතේ එක් එක් පරිච්ඡේදය සලකා බලන විට ඔබට පෞද්ගලිකව අදාළ කරගත හැකි කාරණා හඳුනාගැනීමට උත්සාහ කරන්න. ඔබ එසේ කරන විට පාවුල් පැවසූ මෙම වදන්වල සත්‍යතාව ඔබට වැටහේවි. “අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක. එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු. එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.”—රෝම 15:4.

යෙරෙමියා හා විලාප ගී යන පොත්වල සඳහන් තොරතුරු සලකා බැලීම ඔබට ප්‍රයෝජනවත් කියා ඔබ සිතන්නේ ඇයි?

a යෙරෙමියා අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කළ කාලයේදී අනාගතවක්තෘවරුන් ලෙස සේවය කළ අය අතරට හබක්කුක්, ඔබදියා, දානියෙල් හා එසකියෙල් යන අයත් ඇතුළත්. ක්‍රිස්තු පූර්ව 607දී යෙරුසලම විනාශ වන විට යෙරෙමියා අවුරුදු 40ක් පමණ අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කර තිබුණා. විනාශයෙන් පසුව අවුරුදු 20කට වඩා වැඩි කාලයක් ඔහු ජීවත් වුණා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න