අතීතයෙන් බිඳක්
“වෙන කවරදාකටත් වඩා උනන්දුවකින්, ආසාවකින්”
ඒ 1922 සැප්තැම්බර් මාසේ සිකුරාදා දවසක්. 8,000දෙනෙක්ගෙන් විතර ශාලාව අතුරුසිදුරු නැතුව පිරී ඉතිරී ගියා. රස්නෙත් එන්න එන්නම වැඩි වුණා. සැසිවාරය ආරම්භයේදී සභාපති මෙහෙම කිව්වා. ‘මේ වැදගත් සැසිවාරය අතරතුර කෙනෙක්ට ශාලාවෙන් පිට වෙන්න පුළුවන්. ඒත් ආයෙත් ඇතුල් වෙන්න අවසර නැහැ.’
මුල් ගීතිකාවෙන් පස්සේ වේදිකාවට පිවිසුණේ සහෝදර ජේ.එෆ්. රදෆර්ඩ්. හැමෝගෙම හිත්වල තිබුණේ ලොකු කුතුහලයක්. දරාගන්න බැරි රස්නේ නිසා ඇවිදඇවිද හිටපු කිහිපදෙනෙක්ට ‘දැන් වාඩි වෙලා දේශනයට ඇහුම්කන් දෙන්න’ කියලා සහෝදර රදෆර්ඩ් කාරුණිකව කිව්වා. වේදිකාවට ඉහළින් අකුළලා තිබුණු බැනරය එදා රැස් වෙලා හිටපු අය දකින්න ඇද්ද?
“දේවරාජ්‍යයේ පාලනය අත ළඟයි” කියන තේමාවෙන් දේශනය ඉදිරිපත් කරපු සහෝදර රදෆර්ඩ් අතීතයේ අනාගතවක්තෘවරුන් දේවරාජ්‍යය ගැන නිර්භීතව අනාවැකි කිව්ව විදිහ පැහැදිලි කළා. පැය 1 1/2ක් පුරා එයාගේ ප්‍රබල කටහඬ ශාලාව පුරා දෝංකාර දුන්නා. දේශනයේ වැදගත්ම කොටසට එද්දී එයා මෙහෙම ඇහුවා. “තේජාන්විත රජු පාලනය පටන් අරන් කියා ඔබ විශ්වාස කරනවද?” එතන හිටපු අය “එසේය” කියලා එක හඬින් පිළිතුරු දුන්නා.
ඒත් එක්කම සහෝදර රදෆර්ඩ් හඬ නඟලා මෙහෙම කිව්වා. “මහෝත්තම දෙවිගේ පුත්‍රයෙනි, එහෙමනම් ආයෙත් ක්ෂේත්‍රයට යමු! යේසුස් රජ ලෙස පාලනය කරනවා. ඔබ ඔහුගේ නියෝජිතයෝ. ඒ නිසා රජු සහ ඔහුගේ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න!”
වේදිකාවට ඉහළින් අකුළලා තිබුණු බැනරය ඒ මොහොතේම දිගහැරුණා. ඒකේ සඳහන් වුණේ “රජ සහ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න” කියලයි.
ඒ දවස සිහිපත් කරමින් රේ බොප් මෙහෙම කිව්වා. “එතන හිටපු හැමෝම සතුටින් ඉපිල ගියා.” ඇනා ගාඩ්නර් කිව්වේ “කට්ටිය අත්පුඩි ගහපු සද්දෙට බාල්කත් දෙදරුවා” කියලා. “එකපාරටම හැමෝම හිටගැනුණා” කියලා ෆ්‍රෙඩ් ට්වාරොෂ් කිව්වා. එවාන්ජලොස් ස්කූෆස් ඒ අවස්ථාව සිහි කළේ මෙහෙමයි. “ඒක හරියට කවුරු හරි අපිව එකපාරටම පුටුවලින් නැඟිට්ටෙව්වා වගේ. අපේ ඇස් සතුටු කඳුළුවලින් පිරුණා.”
එදා ආපු හුඟදෙනෙක් ඒ වෙද්දීත් ශුභාරංචිය දේශනා කරමිනුයි හිටියේ. ඒත් දේශනා කරන එකේ අරමුණ එයාලට තවත් පැහැදිලි වුණේ ඒ සමුළුවෙන්. බයිබල් ශිෂ්‍යයන් එදා ඉඳන් “වෙන කවරදාකටත් වඩා උනන්දුවකින්, ආසාවකින්” ශුභාරංචිය දේශනා කළා කියලා එතල් බෙනෙකොෆ් කිව්වා. ඒ වෙද්දී වයස 18ක් වුණු ඕඩෙස ටක් සමුළුව ඉවර වෙලා ආවේ ‘කවුද යන්න කැමති’ කියන ආරාධනය පිළිගන්න අධිෂ්ඨානය ඇතුවයි. එයා මෙහෙම කිව්වා. “කොහෙටද යන්නේ, කොහොමද ඒක කරන්නේ, මොනවද දේශනා කරන්නේ කියලා මං දැනං හිටියේ නෑ. ඒත් මට ඕනෙ වුණේ ‘මම යන්න කැමතියි. මාව යවන්න’ කියලා කියපු යෙසායා වගේ වෙන්න.” (යෙසා. 6:8) ඒ දවස ගැන මතකය අවදි කරමින් රැල්ෆ් ලෙෆ්ලර් කිව්වේ මෙහෙමයි. “දේවරාජ්‍යය ගැන ලෝකෙ අස්සක් මුල්ලක් නෑර දේශනා කරන කාර්යයට ජවයක් ලැබුණේ එදා කිව්වොත් හරි.”
1922 සීඩා පොයින්ට්වල තිබුණු සමුළුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසයේ අමතක නොවන අවස්ථාවක්! ජෝජ් ගැංගස් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “එක සමුළුවක්වත් අතපසු නොකර ඉන්න අදිටන් කරගන්න ඒ සමුළුව මට උදව් වුණා.” එයාට මතක ඇති කාලෙක එයා එක සමුළුවක්වත් අතපසු කරලා නැහැ. ජූලියා විල්කොක්ස් මෙහෙම කිව්වා. “අපේ පොත් පත්වලින් ඒ සමුළුව ගැන කියවන හැම වතාවකම මගේ සතුට ඉහවහා යනවා. ඒ වෙලාවට ‘යෙහෝවා දෙවියනි, මටත් එදා එතන ඉන්න අවස්ථාව දුන්නට ගොඩක් ස්තුතියි’ කියලා මට කියවෙනවා.”
යෙහෝවා දෙවි ගැනත් ඔහු පත් කරපු රජු ගැනත් හිතේ තියෙන ආදරේ තව වැඩි වුණු, සේවයට අලුත් පණක් ලැබුණු සමුළු ගැන අපෙන් හුඟදෙනෙක්ට සොඳුරු මතකයන් තියෙනවා. ඒ මතකයන් අවදි කරද්දී “යෙහෝවා දෙවියනි, මටත් එදා එතන ඉන්න අවස්ථාව දුන්නට ගොඩක් ස්තුතියි” කියලා කියන්න අපිත් පෙලඹෙන්නේ නිතැතින්මයි.