1වෙනි පරිච්ඡේදය
යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
විවිධ ප්‍රතිපත්ති, අරමුණු, සිතුවිලි, දර්ශනවාදී අදහස් මුල් කරගෙන බිහි වුණු ආගමික, දේශපාලනික, වාණිජමය සහ සමාජීය සංවිධාන ලෝකෙ පුරාම තියෙනවා. හැබැයි එක සංවිධානයක් ඒ හැම එකක් අතරින්ම කැපිලා පේනවා. ඒ තමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය. ඒක අනිත් හැම සංවිධානයකටම වඩා වෙනස් වෙන්නේ ඒකේ ඉන්න අය දෙවියන්ගේ වචනයේ සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගන්න නිසයි.
2 යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට ඔයා ඇවිත් තියෙන එක ඇත්තෙන්ම සතුටට කරුණක්. දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා වටහාගත්ත ඔයා දැන් ඒ දේ ඉටු කරනවා. (ගීතා. 143:10; රෝම 12:2) දෙවියන්ගේ සේවකයෙක් විදිහට ඔයා ලෝකෙ පුරාම විසිරිලා ඉන්න සහෝදර පවුලක් එක්ක එකතු වෙලා ඔහුට සේවය කරනවා. (2 කොරි. 6:4; 1 පේතෘ. 2:17; 5:9) ඒ නිසා දෙවියන්ගේ වචනයේ පොරොන්දු වෙලා තියෙන විදිහට දෙවියන්ගේ ආශීර්වාදත් සැබෑ සතුටත් ඔයා අද්දකිනවා. (හිතෝ. 10:22; මාක් 10:30) ඔයා දැන් ඉඳලාම දෙවියන්ගේ කැමැත්ත විශ්වාසවන්තව ඉටු කරද්දී, සදාකාලයටම ආශීර්වාද ලබමින් ජීවත් වෙන්න හොඳ අඩිතාලමක් ගොඩනඟාගන්න ඔයාට පුළුවන්.—1 තිමෝ. 6:18, 19; 1 යොහ. 2:17.
3 අපේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු වන යෙහෝවා දෙවියන් තමයි මේ සංවිධානයේ පාලකයා. අපේ විනිශ්චයකරු, නීතිදායකයා සහ රජු වන ඔහු ගැන අපිට පූර්ණ නිසැකකමක් තියෙනවා. (යෙසා. 33:22) යෙහෝවා දෙවියන් හැම දෙයක්ම පිළිවෙළට කරන දෙවි කෙනෙක්. ඒ නිසා “දෙවි සමඟ එකට වැඩ කරන හවුල් සේවකයන්” විදිහට ඔහුගේ අරමුණට අනුව දේවල් කරන්න අපිට පුළුවන් වෙන්න ඔහු දේවල් සැලසුම් කරලා තියෙනවා.—2 කොරි. 6:1, 2.
4 පවතින මේ සමාජයේ අවසානය ළඟා වෙලා තියෙන මේ කාලෙදී අපේ රජු විදිහට පත් කරලා තියෙන යේසුස් ක්‍රිස්තුස්ගේ නායකත්වය යටතේ අපි ඉදිරියටම ගමන් කරනවා. (යෙසා. 55:4; එළි. 6:2; 11:15) යේසුස් කියපු විදිහටම ඔහුගේ අනුගාමිකයන් ඔහුට වඩා අද මහත් ක්‍රියාවන් ඉටු කරනවා. (යොහ. 14:12) ඔවුන් යේසුස්ට වඩා වැඩි කාලයක් පුරා සේවය කරලා තියෙන නිසාත් ඔවුන්ගේ ගණන එන්න එන්නම වැඩි වෙන නිසාත් වැඩි ප්‍රදේශ ගණනක සේවය කරන්න පුළුවන් වෙලා තියෙනවා. පොළොවේ දුර ඈත කෙළවර දක්වාම ඔවුන් ශුභාරංචිය ප්‍රකාශ කරමින් ඉන්නවා කියලා ඒකෙන් පැහැදිලියි.—මතෙ. 24:14; 28:19, 20; ක්‍රියා 1:8.
5 ඒත් ශුභාරංචිය දේශනා කරන එක යෙහෝවා දෙවියන් නියම කරලා තියෙන කාලයේදී නතර වෙනවා කියලා යේසුස් කියලා තියෙනවා. ඒකට තව වැඩි කාලයක් ඉතුරු වෙලා නැහැ. යෙහෝවා දෙවියන්ගේ බිය උපදවන දවස ළඟා වෙලා තියෙනවා කියලා බයිබල් අනාවැකිවලින් තේරුම්ගන්න පුළුවන්.—යෝවෙ. 2:31; ශෙප. 1:14-18; 2:2, 3; 1 පේතෘ. 4:7.
වෙන කවරදාටත් වඩා වැඩියෙන් අපි දෙවියන්ගේ කැමැත්ත ඉටු කරන්න ඕනේ. ඒ දේ කරන්න නම් දෙවියන්ගේ සංවිධානය ක්‍රියාත්මක වෙන විදිහ හොඳින් තේරුම්ගන්න එක හුඟක් වැදගත්
6 අපි දැන් ජීවත් වෙන්නේ අවසාන කාලයේ නිසා වෙන කවරදාටත් වඩා වැඩියෙන් අපි දෙවියන්ගේ කැමැත්ත ඉටු කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ දෙවියන්ගේ සංවිධානය ක්‍රියාත්මක වෙන විදිහ හොඳින් තේරුම් අරන් ඒකට අපේ පූර්ණ සහයෝගය දුන්නොත් විතරයි. ඒ සංවිධානය ක්‍රියාත්මක වෙන්නේ දෙවියන්ගේ වචනයේ සඳහන් ප්‍රතිපත්ති, ආඥා, නීති, අණපනත්, නියෝග සහ ඉගැන්වීම් අනුවයි.—ගීතා. 19:7-9.
7 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන නිසා ඔවුන් සාමයෙන් එකමුතුව වැඩ කරනවා. (ගීතා. 133:1; යෙසා. 60:17; රෝම 14:19) ඇත්තෙන්ම ලෝකෙ කොහේ හිටියත් ඔවුන් එකමුතුව වැඩ කරන්නේ ඔවුන් අතරේ තියෙන ප්‍රේමය නිසයි. (යොහ. 13:34, 35; කොලො. 3:14) දෙවියන්ගේ සෙනඟට එකමුතුව වැඩ කරන්න දෙවියන් ආශීර්වාද කරලා තියෙන නිසා දෙවියන්ගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස එක්ක ඉදිරියටම ගමන් කරන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා.
යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස
8 අනාගතවක්තෘ යෙසායා, එසකියෙල් සහ දානියෙල් යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස දර්ශනවලින් දැක්කා. (යෙසා. 6 පරි.; එස. 1 පරි.; දානි. 7:9, 10) නියෝජිත යොහනුත් ඒ ගැන දර්ශනයක් දැක්කා. එළිදරව් පොතේ ඒ ගැන තොරතුරු බිඳක් ඔහු වාර්තා කරලා තියෙනවා. තේජවත් සිංහාසනයේ ඉන්න යෙහෝවා දෙවියන්ව සහ ඔහු අසල ඉන්න දේවදූතයන්ව ඔහු දැක්කා. දේවදූතයන් “සිටියාවූ, සිටින්නාවූ, මතු පැමිණෙන්නාවූ සියලු බලැති තැනැත්තාණන් වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය” කියලා පවසමින් හිටිය බව ඔහු වාර්තා කරලා තියෙනවා. (එළි. 4:8) ඒ වගේම ‘සිංහාසනය අසල බැටළු පැටවෙකු සිටගෙන සිටිනවාත්’ ඔහු දැක්කා. ඒ දෙවියන්ගේ බැටළු පැටවා වන යේසුස් ක්‍රිස්තුස්.—එළි. 5:6, 13, 14; යොහ. 1:29.
9 යෙහෝවා දෙවියන් සිංහාසනයේ ඉන්න එකෙන් පැහැදිලි වෙනවා ඒ සංවිධානයේ හිස ඔහු කියලා. ඔහු ගැනත් ඔහුට හිමි තේජවත් තත්වය ගැනත් 1 ලේකම් 29:11, 12 මෙහෙම සඳහන් වෙනවා. “යෙහෝවා දෙවියනි, ශ්‍රේෂ්ඨ, බලවත්, අතිඋත්කෘෂ්ට දෙවි ඔබයි. සියලු ගෞරවය හිමි විය යුත්තේ ඔබටයි. අහසේ සහ පොළොවේ ඇති සියල්ල අයිති ඔබටයි. යෙහෝවා දෙවියනි, සියලුදෙනාටම වඩා උසස්ව සිටින්නේ ඔබයි. සියලුදෙනා කෙරෙහි රජකම් කරන්නෙත් ඔබයි. සියලු දේ පාලනය කරන්නෙත් ඔබයි. ධනයත් ගෞරවයත් ලැබෙන්නේ ඔබ නිසයි. බලයත් ශක්තියත් ඔබ අතෙයි. යමෙකුව ශ්‍රේෂ්ඨයෙකු කරන්නෙත් යමෙකුව ශක්තිමත් කරන්නෙත් ඔබයි.”
10 යෙහෝවා දෙවියන්ගේ හවුල් සේවකයෙක් වන යේසුස් ක්‍රිස්තුස්ටත් ස්වර්ගයේ උසස් තත්වයක් තියෙනවා. ඒ වගේම ඔහුට හුඟක් බලතල දීලා තියෙනවා. බයිබලයේ සඳහන් වෙන්නේ “දෙවි ඔහුගේ පාදවලට සියල්ල යටත් කර සභාවේ ප්‍රයෝජනය උදෙසා ඔහුව සියලු දේවල් කෙරෙහි හිස ලෙස පත් කළේය” කියලයි. (එෆී. 1:22) ඒ වගේම බයිබලයේ මෙහෙමත් සඳහන් වෙනවා. “දෙවි ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළේ ඒ නිසාය. එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක් දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නේය. දෙවි එසේ කළේ ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළෝගැබෙහිද සිටින සියලුදෙනා යේසුස්ගේ නාමය පිළිගෙන ඔහුට දණ නැමීම සඳහාය. එලෙසම යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව සියලුදෙනාම ප්‍රසිද්ධියේ පිළිගැනීම සඳහාය. එයින් පියාණන් වන දෙවිට සියලු ප්‍රශංසා සහ ගෞරවය හිමි වනු ඇත.” (ෆිලි. 2:9-11) ඇත්තෙන්ම අපිට යේසුස් ක්‍රිස්තුස්ගේ ධර්මිෂ්ඨ පාලනය ගැන සම්පූර්ණ විශ්වාසය තියන්න පුළුවන්.
11 අනාගතවක්තෘ දානියෙල් සිංහාසනයේ ඉන්න පුරාතන තැනැත්තාව දර්ශනයකින් දැක්කා. ඒ වගේම “දහසක් වර දහසක්” දේවදූතයන් “ඔහුට සේවය කරමින්” ඉන්න විදිහත් ඔහු ඉදිරියේ තවත් දේවදූතයන් ‘දසදහස් වර දසදහස් දෙනෙක් සිටගෙන’ ඉන්න විදිහත් ඔහු දැක්කා. (දානි. 7:10) ඒ දේවදූතයන් හැමෝවම බයිබලයේ හඳුන්වලා තියෙන්නේ “ජනයා වෙනුවෙන් සේවය කිරීමට යවනු ලැබූ බලවත් දූතයන්” සහ “ගැලවීම උරුම කරගැනීමට සිටින අය වෙනුවෙන් සේවය කිරීමට” යවනු ලැබූ අය හැටියටයි. (හෙබ්‍රෙ. 1:14) මේ දේවදූතයන්ට ‘රාජකීය නිලයන්, තනතුරු, පාලන ක්‍රම සහ අධිකාරීන්’ දීලා ඔවුන්ව හොඳින් සංවිධානය කරලා තියෙනවා.—කොලො. 1:16.
12 ‘උත්කෘෂ්ට සිංහාසනයක ඉඳගෙන’ හිටිය යෙහෝවා දෙවියන්වත් ‘ඔහු අවට හිටිය සෙරාෆ්වරුන්වත්’ දර්ශනයකින් දැකපු යෙසායා කිව්වේ මෙහෙමයි. “අනේ, මම අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්. මම ජීවත් වෙන්නෙත් අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරෙයි. එහෙත් ස්වර්ගයේ සේනාවල අධිපතිද රජුද වන යෙහෝවා දෙවිව මම දැක්කා! අපවිත්‍ර කෙනෙකුට දෙවිව දැක ජීවත් වෙන්න පුළුවන්ද?” ඔහු දැකපු දේ ගැන ඔහුට ලොකු බයක් දැනුණා. යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස සම්බන්ධයෙන් අපි බලපු තොරතුරු ගැන කල්පනා කරද්දී යෙසායාට ඒ විදිහට හැඟුණේ ඇයි කියලා තේරුම්ගන්න පුළුවන්. ඒ දර්ශනය ඔහුට කොයි තරම් බලපෑවාද කියනවා නම් එක අවස්ථාවකදී යෙහෝවා දෙවියන්ගේ විනිශ්චය දැනුම් දෙන විශේෂ පැවරුමක් ඉටු කරන්න කැමති කවුද කියලා දෙවියන් ඇහුවාම යෙසායා කිව්වේ “මම යන්න කැමතියි. මාව යවන්න” කියලයි.—යෙසා. 6:1-5, 8.
13 යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ගැන හොඳ අවබෝධයක් ලබාගත්තාම අපිට ඒ ගැන ලොකු අගයක් ඇති වෙනවා. එතකොට අපිත් යෙසායා වගේ ක්‍රියා කරන්න පෙලඹෙනවා. අපි උත්සාහ කරන්නේ දෙවියන්ගේ සංවිධානයත් එක්ක ඉදිරියටම යන්නයි. යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ගැන අපිට ලොකු නිසැකකමක් තියෙනවා.
යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ඉදිරියටම යයි
14 එසකියෙල් 1වෙනි පරිච්ඡේදයේ රෝද තියෙන විශාල රථයක් ගැන සඳහන් වෙනවා. යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස තමයි ඒ රථයෙන් නියෝජනය වෙන්නේ. යෙහෝවා දෙවියන් ඒ රථය හසුරුවන්නේ ඒ කියන්නේ තම සංවිධානයට මඟ පෙන්වන්නේ තමන්ගේ අරමුණ ඉටු වෙන විදිහටයි. ඔහු ඒ දේ කරන්නේ හරිම ප්‍රේමණීය ආකාරයෙන්.—ගීතා. 103:20.
15 ඒ රථයේ තියෙන එක් එක් රෝදය හරහට ඒ හා සමාන තවත් රෝදයක් සවි කරලා තියෙනවා. “ඕනෑම දිශාවකට පහසුවෙන් ගමන් කරන්න” ඒ රථයට හැකියාව තියෙන්නේ ඒ නිසයි. (එස. 1:17) කොහොමවුණත් ඒ රථය ගමන් කරන්නේ පාලනයකින් තොරව නෙවෙයි. යෙහෝවා දෙවියන් තමන්ගේ සංවිධානයට කැමති කැමති විදිහට ගමන් කරන්න ඉඩ දෙන්නේ නැහැ. එසකියෙල් 1:20 කියන මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “දෙවිගේ බලය ආධාරයෙන් ගමන් කළ එම ජීවීහු දෙවි පෙන්වූ දිශාවටම ගියෝය.” ඇත්තෙන්ම යෙහෝවා දෙවියන් තමයි තම බලය මාර්ගයෙන් තමන්ගේ සංවිධානය ගමන් කරන්න ඕනෙ මොන දිශාවටද කියලා මඟ පෙන්වන්නේ. ඒ නිසා ‘මම දෙවියන්ගේ සංවිධානයත් එක්ක ඉදිරියටම ගමන් කරනවාද’ කියලා අපි එක් එක් කෙනා කල්පනා කරන එක හුඟක් වැදගත්.
16 යෙහෝවා දෙවියන්ගේ සංවිධානයත් එක්ක ඉදිරියටම ගමන් කරන්න නම් රැස්වීම්වලට සහභාගි වෙන එක සහ දේශනා සේවයේ හවුල් වෙන එක විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා මූලිකවම ඕන කරන්නේ සත්‍ය මාර්ගය තුළ දියුණුවක් ලබමින් දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න එකයි. ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගැනීමටත්’ දෙවියන්ගේ වචනයෙන් අපිව පෝෂණය කරන්න සකස් කරලා තියෙන හැම වැඩසටහනකින්ම ප්‍රයෝජන ගන්නත් අපි උපරිමයෙන් උත්සාහ කරනවා. (ෆිලි. 1:10; 4:8, 9; යොහ. 17:3) ඕනම සංවිධානයක් හොඳින් ක්‍රියාත්මක වෙන්නේ හොඳ අධීක්ෂණයක් යටතේ හැමෝම සහයෝගයෙන් වැඩ කළොත් විතරයි කියලා අපි මතක තියාගන්න ඕනේ. ඒ නිසා යෙහෝවා දෙවියන්ගෙන් අපිට ලැබිලා තියෙන හැකියාවන්, සම්පත් සහ කාලය පාවිච්චි කරලා දෙවියන්ගේ කැමැත්ත ඉටු කරන්න අපේ උපරිමයෙන් හවුල් වෙන එක මොන තරම් වැදගත්ද කියලා අපි තේරුම්ගන්න ඕනේ. දෙවියන්ගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටසත් එක්ක අපි ගමන් කරද්දී අපි දේශනා කරන පණිවිඩයට එකඟව කටයුතු කරන්න අපිට පුළුවන් වෙනවා.
17 යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටසෙන් අපිට ලැබෙන උපකාරය නිසා දිගටම දෙවියන්ගේ කැමැත්ත කරන්න අපිට පුළුවන් වෙනවා. ඒක මෙහෙයවන්නේ යෙහෝවා දෙවියන් කියලා අපි හොඳින්ම දන්නවා. ඒ නිසා අපි දිගටම දෙවියන්ගේ සංවිධානයත් එක්ක කිට්ටුවෙන් ගමන් කරමු. අපේ පර්වතය වන යෙහෝවා දෙවියන් ගැන පූර්ණ නිසැකකමක් අපිට තියෙනවා කියලත් අපි මුළු සිතින්ම ඔහුට ගෞරවය කරනවා කියලත් ඒකෙන් පෙන්වන්න පුළුවන්. (ගීතා. 18:31) බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “යෙහෝවා දෙවි තම සෙනඟට ශක්තිය ලබා දෙන්නේය. තම සෙනඟ අතරේ සාමය පැවතීමට ඉඩහැරීමෙන් යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කරන්නේය.” (ගීතා. 29:11) යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට අයත් වෙලා ඉන්න අය හැටියට අපි ඔහු ලබා දෙන ශක්තියත් සාමයත් අද්දකිනවා. දැනුත් ඉදිරියේදීත් අපි දෙවියන්ගේ කැමැත්ත කරද්දී ඔහු දිගටම අපිට ආශීර්වාද කරන බවට ස්ථීර වෙන්න පුළුවන්.