4වෙනි පරිච්ඡේදය
සභාව සංවිධානය වෙලා තියෙන විදිහ
පාවුල් කොරින්තිවරුන්ට ලියපු පළවෙනි ලිපියේ දෙවියන් ගැන වැදගත් සත්‍යයක් පැහැදිලි කළා. ඔහු කිව්වේ “දෙවි අවුල්සහගත දෙවි කෙනෙකු නොව සමාදානයේ දෙවි කෙනෙක්” කියලයි. ඒ වගේම සභාවේ පවත්වන රැස්වීම් “ඔබිනා ලෙසත් පිළිවෙළකටත්” කරන්න කියලා ඔහු ඔවුන්ව දිරිගැන්නුවා.—1 කොරි. 14:33, 40.
2 කොරින්ති සභාවේ තිබුණු මතභේද ගැනත් පාවුල් ඒ ලිපියේ මුලින්ම සඳහන් කළා. “පවසන දේවල් අතර එකඟතාවක්” තියාගන්න කියලා දිරිගන්වපු ඔහු මේ දේත් සඳහන් කළා. “ඔබ සියලුදෙනා අතර පූර්ණ එකමුතුකමක් තිබිය යුතුයි. එසේ කළ හැක්කේ එක හා සමාන ආකල්ප දැරීමෙන් හා එක හා සමාන ආකාරයකින් කල්පනා කිරීමට පුරුදු වීමෙනි.” (1 කොරි. 1:10, 11) සභාවේ එකමුතුකමට බාධාවක් වෙලා තියෙන දේවල් ගැනත් ඔහු සඳහන් කළා. ඒ වගේම මිනිස් සිරුරක් ගැන සඳහන් කරමින් සභාවේ අය එකමුතුව වැඩ කරන එක මොන තරම් වැදගත්ද කියන කාරණයත් ඔහු පැහැදිලි කළා. ඔහු හැමෝටම උනන්දු කළේ සභාවේදී තමන්ට ලැබිලා තියෙන වගකීම මොකක් වුණත් එකිනෙකාට ආදරෙන් සලකමින් එකිනෙකා ගැන සැලකිලිමත් වෙන්න කියලයි. (1 කොරි. 12:12-26) සභාවේ හැමෝම එකිනෙකා ගැන සැලකිලිමත් වෙමින් සහයෝගයෙන් වැඩ කරද්දී ඒකෙන් ඔප්පු වෙනවා සභාව හොඳින් සංවිධානය වෙලා තියෙනවා කියලා.
3 ක්‍රිස්තියානි සභාව සංවිධානය වුණේ කොහොමද? සංවිධානය කළේ කවුද? සංවිධානය වෙලා තියෙන්නේ මොන වගේ සැලැස්මකටද? සභාවේ වගකීම් ඉටු කරන්නේ කවුද? අපි දැන් ඒ ප්‍රශ්නවලට උත්තර බයිබලයෙන් බලමු.—1 කොරි. 4:6.
සංවිධානය වෙලා තියෙන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීම යටතෙයි
4 ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වා. ක්‍රිස්තියානි සභාව සංවිධානය කළේ යෙහෝවා දෙවියන්. ඔහු තමයි සභාව පාලනය කළේ. සභාවේ හැම කෙනෙක්ම ඔහුගේ පාලනයට යටත් වුණා. දෙවියන්ට තියෙන මේ අධිකාරිය ගැන 1 පේතෘස් 5:10, 11 පදවල පේතෘස් සඳහන් කරනවා. අවුරුදු 2,000කට විතර කලින් යෙරුසලමේදී මුල් ක්‍රිස්තියානි සභාව පිහිටුවපු වෙලාවේ සිද්ධ වුණු දෙයකින් පැහැදිලි වෙනවා අභිෂේක ලත් අයගෙන් සමන්විත සභාව පිහිටෙව්වේ යෙහෝවා දෙවියන් කියලා. (ක්‍රියා 2:1-47) ක්‍රිස්තියානි සභාව දෙවියන් විසින් ඉදි කරපු ගොඩනැඟිල්ල විදිහට හඳුන්වලා තියෙනවා. ඒකට අයිති අයව දෙවියන්ගේ පවුලේ සාමාජිකයන් විදිහටත් හඳුන්වලා තියෙනවා. (1 කොරි. 3:9; එෆී. 2:19) අදටත් ක්‍රිස්තියානි සභාව ක්‍රියාත්මක වෙන්නේ පළවෙනි සියවසේදී ක්‍රිස්තියානි සභාව සංවිධානය වුණු සහ ක්‍රියාත්මක වුණු විදිහටමයි.
අදටත් ක්‍රිස්තියානි සභාව ක්‍රියාත්මක වෙන්නේ පළවෙනි සියවසේදී ක්‍රිස්තියානි සභාව සංවිධානය වුණු සහ ක්‍රියාත්මක වුණු විදිහටමයි
5 ක්‍රිස්තියානි සභාව පිහිටුවපු අවස්ථාවේදී ගෝලයන් 120දෙනෙක් විතර හිටියා. යෝවෙල් 2:28, 29 පදවල සඳහන් විදිහට එදා දෙවියන්ගේ බලය ඔවුන්ට ලැබුණා. (ක්‍රියා 2:16-18) එදාම තවත් 3,000ක් විතර බව්තීස්ම වෙලා අභිෂේක ලත් අයගෙන් සමන්විත සභාවට එකතු වුණා. ක්‍රිස්තුස් ගැන ඉගෙනගත් දේවල් මුළු හදින්ම පිළිගත් ඔවුන් “නියෝජිතයන් ඉගැන්වූ දේවලට හොඳ අවධානයක්” දුන්නා. “යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන් ගැලවීමේ මඟට ඇතුල් වූ බොහෝ පිරිසක් ඔවුන්ට දිනපතා එකතු වුණා.”—ක්‍රියා 2:41, 42, 47.
6 යෙරුසලමේ තිබුණු ක්‍රිස්තියානි සභාව මොන තරම් වර්ධනය වුණාද කියනවා නම් ගෝලයන් උගන්වන දේවල් යෙරුසලම පුරාම පැතිරිලා තියෙනවා කියලා උත්තම පූජකයා චෝදනා කළා. ඒ කාලයේදී යුදෙව් පූජකයන් හුඟදෙනෙකුත් සභාවට අලුතින් එකතු වුණා.—ක්‍රියා 5:27, 28; 6:7.
7 යේසුස් කියලා තිබුණා “ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි” කියලා. (ක්‍රියා 1:8) ස්තේපන්ගේ මරණයත් එක්කම යෙරුසලමේ ඇති වුණු පීඩාකාරී කාලය අතරතුරේදී ඒ දේ ඇත්තක් වුණා. යුදයේ සහ සමාරියේ පළාත් පුරා විසිරී ගිය ගෝලයන් ඒ හැම තැනකම ශුභාරංචිය දේශනා කරමින් මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කළා. ගෝලයන් වුණු අය අතරේ සමරිතානුවනුත් හිටියා. (ක්‍රියා 8:1-13) කාලයක් යද්දී යුදෙව්වන් නොවන අය අතරෙත් ශුභාරංචිය පැතිරුණා. (ක්‍රියා 10:1-48) ප්‍රතිඵලයක් විදිහට ගෝලයන්ගේ ගණන එන්න එන්නම වැඩි වෙලා යෙරුසලමෙන් පිටත් අලුත් සභාවන් බිහි වෙන්න පටන්ගත්තා.—ක්‍රියා 11:19-21; 14:21-23.
8 ඒ විදිහට බිහි වුණු සභාවන් හොඳින් සංවිධානය කරන්න ඕනේ. ඒ වගේම දෙවියන්ගේ මඟ පෙන්වීමට අනුව ඒ සභාවල වැඩකටයුතු සිද්ධ වෙන්නත් ඕනේ. ඒක කරන්න පුළුවන් වුණේ කොහොමද? සභාවන්වල ඉන්න අයව බලාගන්න දෙවියන්ගේ බලයේ උපකාරයෙන් වැඩිමහල්ලන්ව පත් කළා. උදාහරණයකට පාවුල් සහ බානබස් ගිය මුල්ම මිෂනාරි ගමන අතරතුරේදී ඔවුන් ගිය සභාවල වැඩිමහල්ලන්ව පත් කළා. (ක්‍රියා 14:23) එෆීස සභාවේ හිටිය වැඩිමහල්ලන් එක්ක පාවුල් පවත්වපු රැස්වීමකදී ඔහු කියපු මේ දේ ගැන ලූක් වාර්තා කරලා තියෙනවා. “දැන් දෙවි තම බලයෙන් ඔබව පත් කර තිබෙන්නේ ඔහුගේ සභාව රැකබලා ගැනීමටයි. ඒ සභාව ඔහු මිල දී ගත්තේ තමාගේ පුත්‍රයාගේ රුධිරයෙන් කියා අමතක කරන්න එපා. ඒ නිසා ඔබ ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් සිටින්න.” (ක්‍රියා 20:17, 28) ඒ අයව වැඩිමහල්ලන් විදිහට පත් කරලා තිබුණේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් වුණු සුදුසුකම් ඔවුන්ට තිබුණු නිසයි. (1 තිමෝ. 3:1-7) පාවුල් එක්ක එකට වැඩ කරපු තීතස්ට ක්‍රීට් දූපතේ තිබුණු සභාවල වැඩිමහල්ලන්ව පත් කිරීමේ වගකීම පැවරිලා තිබුණා.—තීත. 1:5.
9 විවිධ ප්‍රදේශවල සභාවන් ගණන එන්න එන්නම වැඩි වෙද්දී යෙරුසලමේ හිටිය නියෝජිතයන් සහ වැඩිමහල්ලන් ඒ සභාවලට මඟ පෙන්වන්න පෙරමුණ අරන් වැඩ කළා. ඔවුන් තමයි පාලක මණ්ඩලය විදිහට වැඩ කළේ.
10 දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට යටත් වෙන එකෙන් සහ යේසුස්ගේ නායකත්වයට කීකරු වෙන එකෙන් සභාවේ එකමුතුකම පවත්වාගන්න පුළුවන් කියලා පාවුල් එෆීසවරුන්ට ලියපු ලිපියේ සඳහන් කළා. ඒ වගේම දිගටම නිහතමානීව කටයුතු කරන්න කියලත් “දෙවිගේ බලය ඔබ අතරෙහි ක්‍රියාත්මක වීම මගින් ඔබ අද්දකින එක්සත්කම” රැකගන්න කියලත් ඔහු උනන්දු කළා. (එෆී. 4:1-6) ඊටපස්සේ ගීතාවලිය 68:18 උපුටා දක්වපු ඔහු නියෝජිතයන්, අනාගතවක්තෘවරුන්, ශුභාරංචිය දේශනා කරන්නන්, එඬේරුන් සහ ගුරුවරුන් විදිහට සභාවේ වැඩ කරන පුරුෂයන්ට ඒක අදාළ කළා. දෙවියන් තෑගි විදිහට දීලා තියෙන ඒ පුරුෂයන් දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්න සභාවේ අයට උදව් කරනවා.—එෆී. 4:7-16.
අද දින සභාවන් සංවිධානය වෙලා තියෙන විදිහ
11 අද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් සංවිධානය වෙලා තියෙන්නේ නියෝජිතයන්ගේ කාලයේදී ක්‍රිස්තියානි සභාව සංවිධානය වෙලා තිබුණු විදිහටමයි. ලෝකෙ පුරාම විසිරිලා ඉන්න වෙනත් බැටළුවන් අභිෂේක ලත් අයත් එක්ක එකතු වෙලා වැඩ කරන නිසා ක්‍රිස්තියානි සභාව තුළ එක්සත්කම දැකගන්න ලැබෙනවා. (සෙක. 8:23) ඒ වගේ එක්සත්කමක් ඇතුව වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් නිසයි. “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම” අභිෂේක ලත් අයත් එක්ක ඉන්නවා කියලා දීපු පොරොන්දුව යේසුස් ඉටු කරලා තියෙනවා. සභාව තුළට දිගින් දිගටම එකතු වෙන සෙනඟ ශුභාරංචිය හදවතින්ම පිළි අරන් යෙහෝවා දෙවියන්ට මුළු ජීවිතයම කැප කරලා බව්තීස්ම වෙලා තියෙනවා. (මතෙ. 28:19, 20; මාක් 1:14; ක්‍රියා 2:41) අභිෂේක ලත් අයගෙන් සහ ‘වෙනත් බැටළුවන්ගෙන්’ හැදිලා තියෙන ක්‍රිස්තියානි සභාවේ නායකයා “උතුම් එඬේරා” වන යේසුස් ක්‍රිස්තුස් කියලා ඔවුන් පිළිගන්නවා. (යොහ. 10:14, 16; එෆී. 1:22, 23) “එක රැළක්” විදිහට කටයුතු කරන ඔවුන්ට දිගටම එකමුතුව ඉන්න පුළුවන් වෙන්නේ ඔවුන් තමන්ගේ නායකයා විදිහට ක්‍රිස්තුස්ව පිළි අරන් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලබා දෙන මඟ පෙන්වීම්වලට කැමැත්තෙන්ම කීකරු වෙන නිසයි. තම සෙනඟට මඟ පෙන්වන්න දෙවියන් පත් කරලා තියෙන ඒ දාසයා දෙන මඟ පෙන්වීම් දිගටම අදාළ කරගන්න අපි අදිටන් කරගමු.—මතෙ. 24:45.
සංවිධානය පිහිටුවලා තියෙන නීතිගත සංස්ථා
12 දෙවියන්ගේ සේවකයන්ට අවශ්‍ය පෝෂණය දිගටම ලබා දෙන්න වගේම විනාශයට කලින් ශුභාරංචිය ලෝකෙ පුරාම දේශනා කරන කාර්යය සාර්ථකව කරන්න සංවිධානය නීතිගත සංස්ථා පිහිටුවලා තියෙනවා. ඒ ඒ රටේ නීතිය අනුව ලියාපදිංචි කරලා තියෙන ඒ හැම නීතිගත සංස්ථාවක්ම සහයෝගයෙන් ක්‍රියා කරනවා. ලෝකෙ පුරාම දේශනා සේවය හොඳින් කරගෙන යන්න ඒවාවලින් ලැබෙන්නේ අපමණ සහායක්.
ශාඛා කාර්යාල යටතේ දේවල් සංවිධානය වෙලා තියෙන විදිහ
13 ශාඛා කාර්යාලයක් අලුතින් පිහිටෙව්වාම ඒකේ ශාඛා කමිටුවේ වැඩ කරන්න වැඩිමහල්ලන් තුන්දෙනෙක්ව හරි ඊට වැඩි ප්‍රමාණයක් හරි පත් කරනවා. ඔවුන් අතරින් එක සහෝදරයෙක් ශාඛා කමිටුවේ සම්බන්ධීකාරක විදිහට වැඩ කරනවා. ඔවුන්ව පත් කරන්නේ ඒ ශාඛා කාර්යාලය යටතේ තියෙන රටේ නැත්නම් රටවල්වල සිද්ධ වෙන වැඩකටයුතු බලා කියා ගන්නයි.
14 හැම ශාඛා කාර්යාලයක් යටතේම තියෙන සභාවන් චාරිකාවලට බෙදලා තියෙනවා. චාරිකාවක් මොන තරම් විශාලද කියලා තීරණය වෙන්නේ සභා ප්‍රමාණය සහ භාෂාව අනුවයි. හැම චාරිකාවකටම චාරිකා සේවකයෙක්ව පත් කරනවා. චාරිකා සේවකගේ වගකීම් හොඳින් ඉටු කරන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම් ශාඛා කාර්යාලය මගින් ලබා දෙනවා.
15 හැමෝගෙම යහපත වෙනුවෙන් සංවිධානය සකස් කරලා තියෙන සැලැස්ම සභාවන් කැමැත්තෙන්ම පිළිගන්නවා. උදාහරණයකට ශාඛා කාර්යාලවල, චාරිකාවල සහ සභාවල සේවය කරන්න වැඩිමහල්ලන්ව පත් කරන සැලැස්ම ඔවුන් පිළිගන්නේ කැමැත්තෙන්මයි. ඒ වගේම නියමිත වෙලාවට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ විශ්වාසවන්ත දාසයා කියලත් ඔවුන් පිළිගන්නවා. විශ්වාසවන්ත දාසයා ක්‍රිස්තුස්ගේ නායකත්වයට යටත් වෙනවා. බයිබල් ප්‍රතිපත්තිවලට අනුව හැම දෙයක්ම කරන ඔවුන් දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට කැමැත්තෙන්ම යටත් වෙනවා. පළවෙනි සියවසේ හිටිය ක්‍රිස්තියානීන් එක්සත්ව එකමුතුව වැඩ කරපු නිසා ‘සියලුදෙනාගේ විශ්වාසය ශක්තිමත් වුණා.’ ඒ වගේම ඔවුන්ගේ ‘ගණනද දිනෙන් දින වැඩි වුණා.’ එක්සත්ව එකමුතුව වැඩ කරද්දී අපිටත් ඒ දේ අද්දකින්න පුළුවන්.—ක්‍රියා 16:5.