14වන පාඩම
දෙවියන් තම සෙනඟව සංවිධානය කළේ ඇයි?
1. අතීතයේදී දෙවියන් තම සෙනඟව සංවිධානය කළේ ඇයි?
පුරාණයේ හිටපු දෙවියන්ගේ සේවකයෙක් වුණු ආබ්‍රහම්ගෙන් පැවත ආ අයව දෙවියන් තම සෙනඟ හැටියට තෝරගත්තා. ඔහු ඔවුන්ට නීති මාලාවක් දීලා ඔවුන්ව විශේෂ ජාතියක් හැටියට සංවිධානය කළා. ඔවුන්ව හැඳින්නුවේ, “ඊශ්‍රායෙල්” ජාතිය කියලයි. ඒ කාලයේ සැබෑ දෙවියන්ට නමස්කාර කළේ ඔවුන් විතරයි. දෙවියන් තම පණිවිඩ දැන්නුවෙත් ඔවුන්ටයි. (ගීතාවලිය 147:19, 20) පොළොවේ සියලු ජාතීන් ආශීර්වාද ලැබීමට නියමිතව තිබුණේ ඒ ජාතිය මගිනුයි.—උත්පත්ති 22:18 කියවන්න.
දෙවියන් ඊශ්‍රායෙල් ජාතිය එක්ක ක්‍රියා කරපු විදිහෙන් සැබෑ දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා අනිත් ජාතීන්ට දැනගන්න පුළුවන් වුණා. උදාහරණයකට දෙවියන්ගේ ආඥා පිළිපදින එක ඊශ්‍රායෙල්වරුන්ගේ ජීවිතවලට කොච්චර ප්‍රයෝජනවත් වුණාද කියලා ඒ ජාතීන් දැක්කා. (ද්විතීය කතාව 4:6) ඒ අනුව පොළොවේ හිටපු අනිත් ජාතීන්ට සැබෑ දෙවියන් ගැන සාක්ෂියක් දැරුවේ ඊශ්‍රායෙල් ජාතියයි.—යෙසායා 43:10, 12 කියවන්න.
2. යේසුස්ගේ අනුගාමිකයන්ව දෙවියන් තම සෙනඟ ලෙස සංවිධානය කළේ ඇයි?
කාලයක් ගියාට පස්සේ ඊශ්‍රායෙල් ජාතිය දෙවියන්ට අකීකරු වුණා. ඒ නිසා ඔහු ඔවුන්ව ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට යේසුස්ගේ අනුගාමිකයන්ව තම විශේෂ සෙනඟ හැටියට තෝරගත්තා. (මතෙව් 21:43; 23:37, 38) ඊශ්‍රායෙල් ජාතිය වෙනුවට දැන් දෙවියන් ගැන සාක්ෂියක් දරන්නේ යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්.—ක්‍රියා 15:14, 17 කියවන්න.
යේසුස් තම අනුගාමිකයන්ව සංවිධානය කරලා ඔවුන්ට විශේෂ වැඩක් භාර දුන්නා. ඒ තමයි මිනිසුන් අතරට ගිහින් දේවරාජ්‍යය ගැන පණිවිඩය දේශනා කරලා යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න මිනිසුන්ට උදව් කරන එක. (මතෙව් 10:7, 11; 24:14; 28:19, 20) දුෂ්ට සමාජයේ විනාශය ළං වෙලා තියෙන මේ කාලයේ ඒ වැඩේ උපරිමයෙන් කරනවා කියලා කියන්න පුළුවන්. මොකද ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා අද විවිධ ජාතීන්ට අයිති මිනිසුන් යේසුස්ගේ අනුගාමිකයන් වෙලා එකමුතුව දෙවියන්ට නමස්කාර කරනවා. (එළිදරව් 7:9, 10) ලෝකයේ කොහේ හිටියත් දේවවචනයෙන් ඔවුන් ඉගෙනගන්න දේවල්වල වෙනසක් නැහැ. ඔවුන් ඒ විදිහට සංවිධානය වෙලා ඉන්න නිසා අනිත් අයව දිරිගන්වන්නත් ඒ අයට උදව් කරන්නත් ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා.—හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.
3. නවීන දින දෙවියන්ගේ සංවිධානය ආරම්භ වුණේ කොහොමද?
එක්දාස් අටසිය හැත්තෑ ගණන්වලදී කීපදෙනෙක් බයිබලයේ තියෙන සමහරක් ඉගැන්වීම් ගැන අධ්‍යයනය කරන්න පටන්ගත්තා. කාලයක් පුරා ඒ ඉගැන්වීම් යටපත් වෙලයි තිබුණේ. යේසුස් තම අනුගාමිකයන්ව සංවිධානය කරලා තිබුණේ දේවරාජ්‍යය ගැන පණිවිඩය ප්‍රකාශ කරන්නයි කියලා ඒ කුඩා කණ්ඩායමට තේරුණා. ඒ නිසා ඒ අය ලොව පුරා ඒ පණිවිඩය දේශනා කරන්න පටන්ගත්තා. කාලයක් යද්දී ඔවුන් විශාල පිරිසක් වුණා. වර්ෂ 1931දී ඔවුන්ව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා හැඳින්නුවා. නවීන දින දෙවියන්ගේ සංවිධානය ආරම්භ වුණේ ඒ විදිහටයි.—ක්‍රියා 1:8; 2:1, 4; 5:42 කියවන්න.
4. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සංවිධානය වෙලා ඉන්නේ කොහොමද?
ක්‍රිස්තු වර්ෂ පළමුවෙනි සියවස වෙද්දී යේසුස්ගේ අනුගාමිකයන් විවිධ ප්‍රදේශවල විසිරිලා හිටියා. ඔවුන්ට මඟ පෙන්වීම් දෙමින් ඔවුන්ව රැකබලා ගත්තේ දෙවියන්ගේ සේවකයන් කීපදෙනෙකුගෙන් හැදිලා තිබුණු කුඩා කණ්ඩායමක්. ඒ අයව හැඳින්නුවේ පාලක මණ්ඩලය කියලයි. (ක්‍රියා 16:4, 5) එදා වගේ අදත් පාලක මණ්ඩලයක් ඉන්නවා. ඔවුනුත් එදා හිටිය පාලක මණ්ඩලය වගේ යේසුස්ව ඔවුන්ගේ නායකයා හැටියට පිළිගන්නවා. අද වන කොට සාක්ෂිකරුවන් බයිබලය මත පදනම් පොත් පත් භාෂා 600කට වඩා වැඩි ගාණකට පරිවර්තනය කරනවා. ඒවා මුද්‍රණය කරලා ලොව පුරා බෙදාහරිනවා. ඒ හැම වැඩක්ම අධීක්ෂණය කරන්නේ පාලක මණ්ඩලයයි. මේ වෙද්දී සාක්ෂිකරුවන්ගේ සභාවන් 1,00,000කට වඩා තියෙනවා. පොත් පත් හා සඟරා මාර්ගයෙන් පාලක මණ්ඩලය ඒ සභාවන්ට අවශ්‍ය මඟ පෙන්වීම් හා දිරිගැන්වීම් දෙනවා. ඒ හැම සභාවකම ඉන්න අයව රැකබලා ගන්න අද්දැකීම් තියෙන අයව පත් කරලා තියෙනවා.—1 පේතෘස් 5:2, 3 කියවන්න.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපි දේවරාජ්‍යය ගැන පණිවිඩය දේශනා කරන්නත් යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න අනිත් අයට උදව් කරන්නත් හොඳින් සංවිධානය වෙලා ඉන්නවා. යේසුස්ගේ ගෝලයන් වගේ අපිත් දෙවියන්ගේ පණිවිඩය කියන්න මිනිසුන්ගේ ගෙවල්වලටම යනවා. (ක්‍රියා 20:20) බයිබලයේ තියෙන සත්‍ය තොරතුරු දැනගන්න කැමති අයට ඒ තොරතුරු කියලා දෙන්න අපි සතුටුයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ නිකම්ම සංවිධානයක් විතරක් නෙමෙයි. අපි ප්‍රේමණීය පවුලක්. අපේ පියා යෙහෝවා දෙවියි. සංවිධානයේ ඉන්න හැම සාමාජිකයෙක්ම අපේ සහෝදර සහෝදරියන්. (2 තෙසලෝනික 1:3) අපි දෙවියන්ගේ කැමැත්ත ඉටු කරන්නත් අනිත් අයට උදව් කරන්නත් ඒ විදිහට සංවිධානය වෙලා ඉන්න නිසා අපි ප්‍රීතිමත් පවුලක්.—ගීතාවලිය 33:12; ක්‍රියා 20:35 කියවන්න.