7වෙනි පරිච්ඡේදය
“ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට” පොලඹවන රැස්වීම්
සියවස් ගණනාවක් පුරාම යෙහෝවා දෙවියන්ගේ සෙනඟ හොඳින් සංවිධානය වෙලා එකට රැස් වුණා. ඊශ්‍රායෙල් පුරුෂයන් අවුරුද්දකට තුන් වතාවක් යෙරුසලමේ පවත්වපු උත්සවවලට සහභාගි වුණා. (ද්වි. 16:16) පළමු සියවසේදීත් ක්‍රිස්තියානීන් නොකඩවා එක්රැස් වුණා. හුඟක් වෙලාවට ඔවුන් රැස් වුණේ නිවෙස්වල. (ෆිලෙ. 1, 2) අපිත් අපේ රැස්වීම් සහ සමුළුවලට සහභාගි වීමෙන් ලොකු සතුටක් අද්දකිනවා. දෙවියන්ගේ සෙනඟ ඒ විදිහට එකට රැස් වෙන්නේ ඒක දෙවියන්ට කරන නමස්කාරයේ මූලික අංගයක් වන නිසයි.—ගීතා. 95:6; කොලො. 3:16.
2 රැස්වීම්වලට එන හැමෝම හුඟක් ප්‍රයෝජන ලබනවා. අවුරුදු හතකට සැරයක් පවත්වන පැල් උත්සවය ගැන ඊශ්‍රායෙල් සෙනඟට දෙවියන් මෙහෙම කිව්වා. “දේශයේ වාසය කරන සියලුම පුරුෂයන්, ස්ත්‍රීන්, කුඩා දරුවන් මෙන්ම ඔබ සමඟ ජීවත් වන විදේශිකයන්ද රැස් විය යුතුයි. එවිට නීතියට සවන් දෙන්නත් එය හොඳින් ඉගෙනගන්නත් ඔවුන් සියලුදෙනාටම හැකි වෙයි. එසේ කිරීමෙන් යෙහෝවා දෙවියන්ට ගරුබිය දක්වන්නත් මේ නීතියේ සඳහන් සියලු දේ හොඳින් පිළිපදින්නත් ඔවුන් පුරුදු වෙයි.” (ද්වි. 31:12) රැස්වීම්වලට සහභාගි වීමෙන් ලැබෙන වැදගත් ප්‍රයෝජනයක් වෙන්නේ ‘යෙහෝවා දෙවිගෙන් ඉගෙනගන්න’ ලැබෙන එකයි. (යෙසා. 54:13) ඊට අමතරව එකිනෙකාව දැන හඳුනා ගන්නත් දිරිගැන්වීමක් ලබන්නත් අවස්ථාව ලැබෙනවා.
සභා රැස්වීම්
3 ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසෙන් පස්සේ එකට රැස් වුණු ගෝලයන්, නියෝජිතයන් උගන්වපු දේවලට හොඳින් අවධානය දුන්නා. ඔවුන් “සෑම දිනකම දේවමාලිගාවෙහි එකට රැස් වුණා.” (ක්‍රියා 2:42, 46) ක්‍රිස්තියානීන් නමස්කාර කටයුතුවලට එකට රැස් වෙද්දී, නියෝජිතයන් සහ ගෝලයන් දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් සභාවලට ලියපු ලිපි ඇතුළු ශුද්ධ ලියවිලි කියෙව්වා. (1 කොරි. 1:1, 2; කොලො. 4:16; 1 තෙස. 1:1; යාකො. 1:1) එකට යාච්ඤා කළා. (ක්‍රියා 4:24-29; 20:36) මිෂනාරි සේවයේ හවුල් වුණු අය ලබපු අද්දැකීම් ගැනත් සමහර අවස්ථාවලදී සඳහන් කළා. (ක්‍රියා 11:5-18; 14:27, 28) බයිබල් ඉගැන්වීම් ගැනත් අනාවැකි ඉටු වෙලා තියෙන විදිහ ගැනත් සලකලා බැලුවා. දෙවියන්ට භක්තියක් ඇතුව ක්‍රිස්තියානීන්ට ඔබින විදිහට හැසිරෙන්න ඕන විදිහ ගැන මඟ පෙන්වීම් ලබා දුන්නා. ශුභාරංචිය ගැන උද්යෝගයෙන් අනිත් අයට කියන්න, රැස්වීම්වලට සහභාගි වුණු හැමෝටම හොඳ දිරිගැන්වීමක් ලැබුණා.—රෝම 10:9, 10; 1 කොරි. 11:23-26; 15:58; එෆී. 5:1-33.
මේ අසීරු කාලයේ ජීවත් වෙන අපිට රැස්වීම්වලින් ලැබෙන දිරිගැන්වීම අනිවාර්යයෙන්ම ඕනේ
4 අදත් ක්‍රිස්තියානි රැස්වීම් පවත්වන්නේ නියෝජිතයන්ගේ කාලයේදී රැස්වීම් පවත්වපු විදිහ ආදර්ශයට අරගෙනයි. හෙබ්‍රෙව් 10:24, 25 සඳහන් මේ දේ අපි හිතට අරන් තියෙනවා. ‘අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින්, සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි. එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු. ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.’ මේ අසීරු කාලයේ ජීවත් වෙන අපිට රැස්වීම්වලින් ලැබෙන දිරිගැන්වීම අනිවාර්යයෙන්ම ඕනේ. දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්නත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නත් ඒ තොරතුරු උදව් වෙනවා. (රෝම 1:11, 12) අපි අද ජීවත් වෙන්නේ වංක, නොමඟ ගිය මිනිස් සමාජයක. දෙවියන්ට අගෞරවයක් ගෙන දෙන ක්‍රියාවන් සහ පව්කාර ආශාවන් අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා. (ෆිලි. 2:15, 16; තීත. 2:12-14) අපිට ආශ්‍රය කරන්න යෙහෝවා දෙවියන්ගේ සෙනඟට වඩා හොඳ සෙනඟක් තවත් ඉන්නවාද? (ගීතා. 84:10) බයිබලයේ තියෙන තොරතුරු ගැන ඉගෙනගැනීමෙන් ලැබෙන ප්රයෝජනවලට වඩා වැඩියෙන් ප්‍රයෝජන ලැබෙන තවත් දෙයක් තියෙනවාද? අපේම ප්‍රයෝජනයට සකස් කරලා තියෙන රැස්වීම් කිහිපයක් ගැන දැන් අපි බලමු.
සති අන්ත රැස්වීම
5 සති අන්ත රැස්වීම ආරම්භ වෙන්නේ බයිබල් දේශනයකින්. විශේෂයෙන්ම පොදු ජනයා වෙනුවෙන්මයි ඒ දේශන සකස් කරලා තියෙන්නේ. මුල්ම වතාවට රැස්වීමට සහභාගි වෙන අයටත් ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. සභාවේ ප්‍රචාරකයන්ට වගේම සභාවට අලුතින් එකතු වෙලා ඉන්න අයටත් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වාගන්න ඒ දේශන ප්‍රයෝජනවත් වෙනවා.—ක්‍රියා 18:4; 19:9, 10.
6 යේසුස් වගේම ඔහුගේ නියෝජිතයන් සහ අනුගාමිකයනුත් අද අපි පවත්වනවා හා සමාන පොදු රැස්වීම් පැවැත්තුවා. එදා මෙදා කාලය අතරතුරේදී මහජනයාට ප්‍රසිද්ධියේ උගන්වපු දක්ෂම ගුරුවරයා යේසුස් කියලා අපි දන්නවා. “ඒ වගේ උගන්වන්න පුළුවන් මිනිසෙකුව නම් අපි කවදාවත් දැකලා නැහැ” කියලා බයිබලයේ සඳහන් දෙයින් ඒක තවත් පැහැදිලියි. (යොහ. 7:46) දෙවියන් මත රඳා සිටිමින් ඔහු උගන්වපු විදිහ දැකපු මිනිසුන් ඒ ගැන පුදුම වුණා. (මතෙ. 7:28, 29) ඔහු උගන්වපු දේවල් අදාළ කරගත්ත අයට හුඟක් ප්‍රයෝජන ලැබුණා. (මතෙ. 13:16, 17) නියෝජිතයන් හැමෝම යේසුස්ගේ ආදර්ශය අනුගමනය කළා. උදාහරණයකට ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී පේතෘස් දක්ෂ විදිහට පවත්වපු දේශනයක් ගැන ක්‍රියා 2:14-36 සඳහන් වෙනවා. එදා එතැන හිටිය දහස් ගණන් දෙනෙක් ඔහු කියපු දේවල් අදාළ කරගන්න පෙලඹුණා. පස්සේ කාලෙකදී පාවුල් ඇතන්ස් නුවරේ පවත්වපු දේශනයක් නිසාත් සමහර අය යේසුස්ගේ අනුගාමිකයන් වුණා.—ක්‍රියා 17:22-34.
7 සභාවල වගේම සමුළුවල පවත්වන බයිබල් දේශනවලින් අදටත් මිලියන ගණන් දෙනෙක් ප්‍රයෝජන ලබනවා. බයිබල් ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්නත් උද්යෝගයෙන් සේවයේ හවුල් වෙන්නත් ඒ දේශන අපිට උදව් වෙනවා. උනන්දුවක් පෙන්වන අයට සහ අපිට මුණගැහෙන හැමෝටම අපි ඒ දේශනවලට ආරාධනා කරනවා නම් ඒ අයටත් මූලික බයිබල් ඉගැන්වීම් ගැන නිවැරදි අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙනවා.
8 විවිධ විෂයන් ඔස්සේ බයිබල් දේශන ඉදිරිපත් කරනවා. බයිබල් ප්‍රතිපත්ති, බයිබල් ඉගැන්වීම්, අනාවැකි, පවුල් ජීවිතය සහ ධන සම්පත් සම්බන්ධයෙන් මඟ පෙන්වීම්, යෞවනයන්ට ප්‍රයෝජනවත් තොරතුරු වගේම සදාචාරය සම්බන්ධ කාරණා ඊට ඇතුළත්. සමහර දේශනවලින් යෙහෝවා දෙවියන්ගේ විස්මිත නිර්මාණ ගැනත් කතා කරනවා. දෙවියන්ට විශ්වාසවන්තව, නිර්භීතව කටයුතු කරපු බයිබල් චරිතවලින් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැන තවත් දේශනවලින් කතා කරනවා.
9 බයිබල් දේශනවලින් උපරිම ප්‍රයෝජන ගන්න නම් කථිකයා ඉදිරිපත් කරන තොරතුරුවලට හොඳින් අවධානය දෙන එකත් ඔහු සඳහන් කරන බයිබල් පද පෙරළලා බලන එකත් හුඟක් වැදගත්. (ලූක් 8:18) ඉගෙනගන්න දේවල් හොඳින් හිතට ගන්නවා නම් ඒ දේවල් අදාළ කරගන්න අපි පෙලඹෙනවා.—1 තෙස. 5:21.
10 කථිකයන් ඉන්නවා නම් හැම සතියකම බයිබල් දේශනයක් ඉදිරිපත් කරනවා. හුඟක් වෙලාවට කථිකයන්ව හොයාගන්නේ ළඟපාත සභාවලින්. හැබැයි කථිකයන් අඩුයි නම් පුළුවන් අවස්ථාවලදී දේශන දෙන්න සැලසුම් කරනවා.
11 සති අන්ත රැස්වීමේ දෙවෙනියට පවත්වන්නේ ප්‍රශ්න උත්තර සාකච්ඡාවක් විදිහට කරන ‘මුරටැඹ’ පාඩමයි. යෙහෝවා දෙවියන් තමන් එක්ක තියෙන බැඳීම දිගටම පවත්වාගන්න උදව් වෙන තොරතුරු ‘මුරටැඹ’ ලිපිවලින් අපිට නියම වෙලාවට ලබා දෙනවා.
12 හුඟක් වෙලාවට පාඩම් ලිපිවලින් සාකච්ඡා කරන්නේ එදිනෙදා ජීවිතයට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න පුළුවන් විදිහ ගැනයි. “මේ ලෝකයේ සිටින අයගේ බලපෑමට හසු නොවී” ඉන්න ඒ තොරතුරු උදව් වෙනවා. (1 කොරි. 2:12) බයිබල් ඉගැන්වීම් සහ අනාවැකි ගැන අපේ අවබෝධය තවත් වැඩි කරගන්න උදව් වෙන තොරතුරු ‘මුරටැඹ’ ලිපි මාර්ගයෙන් ලැබෙනවා. ඒ නිසා ඒ තොරතුරු මනසේ රඳවාගන්නත් දිගටම ධර්මිෂ්ඨයන්ගේ මාවතේ ගමන් කරන්නත් අපිට පුළුවන්. (ගීතා. 97:11; හිතෝ. 4:18) අපි ‘මුරටැඹ’ පාඩමට හොඳින් සූදානම් වෙලා සහභාගි වෙනවා නම් ධර්මිෂ්ඨකම රජයන අලුත් පොළොව සම්බන්ධයෙන් යෙහෝවා දෙවියන් දීලා තියෙන බලාපොරොත්තුව ගැන දිගටම සතුටු වෙන්න අපිට පුළුවන්. (රෝම 12:12; 2 පේතෘ. 3:13) ඒ වගේම දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග වර්ධනය කරගෙන උද්යෝගයෙන් දෙවියන්ට සේවය කරන්නත් පුළුවන් වෙනවා. (ගලා. 5:22, 23) ඒ විතරක් නෙවෙයි පීඩා කරදර දරාගන්නත් “අනාගතය සඳහා ස්ථිර අඩිතාලමක්” ගොඩනඟාගෙන ‘සැබෑ ජීවිතය තදින් අල්ලාගන්නත්’ පුළුවන් වෙනවා.—1 තිමෝ. 6:19; 1 පේතෘ. 1:6, 7.
13 ‘මුරටැඹ’ පාඩමෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? පෞද්ගලිකව හරි පවුලක් විදිහට හරි කල් ඇතුව ඒ ලිපිවලට හොඳින් සූදානම් වෙන්න ඕනේ. බයිබල් පද පෙරළලා බලන්න ඕනේ. ලිපිය සාකච්ඡා කරද්දී අපේම වචනයෙන් අදහස් දෙන්නත් ඕනේ. එතකොට ඒ තොරතුරු අපේ හිතට කාවදිනවා. ඒ වගේම අපේ අදහස්වලින් අනිත් අයත් ප්‍රයෝජන ලබනවා. අනිත් අයගේ අදහස්වලට හොඳින් ඇහුම්කන් දෙනවා නම් අපිටත් ප්‍රයෝජන ලබන්න පුළුවන්.
සති මැද රැස්වීම
14 හැම සභාවක්ම නමස්කාර මධ්‍යස්ථානයේදී සතිපතා ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය විදිහට හඳුන්වන රැස්වීම පවත්වනවා. කොටස් තුනකින් සමන්විත ඒ රැස්වීම දේවසේවකයන් විදිහට අපිට “නිසි සුදුසුකම්” ලබාගන්න උදව් වෙනවා. (2 කොරි. 3:5, 6) හැම මාසයකම ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ අපිට ලැබෙනවා. සති මැද රැස්වීමේ වැඩසටහන සහ සාකච්ඡා කරන තොරතුරු ගැන ඒකෙන් දැනගන්න පුළුවන්. සේවයට උදව් වෙන සාකච්ඡාවකට යෝජනාත් ඒකේ සඳහන් වෙනවා.
15 ඒ රැස්වීමේ පළවෙනි කොටස හඳුන්වන්නේ දේවවචනය නිධානයක් කියලයි. ඒ කොටසේ තියෙන තොරතුරු බයිබලයේ සඳහන් සිද්ධීන්වල පසුබිම හොඳින් තේරුම්ගන්න වගේම ඒ තොරතුරු ජීවිතයට අදාළ කරගන්න පුළුවන් විදිහ තේරුම්ගන්නත් උදව් වෙනවා. ඒ කොටසට දේශනයක්, බයිබල් කියවීමක් සහ සතිපතා තියෙන බයිබල් කියවීම පදනම් කරගෙන කරන සාකච්ඡාවක් ඇතුළත්. ඒ තොරතුරු හොඳින් තේරුම්ගන්න උදව් වෙන රූපසටහන් සහ ප්‍රශ්න ‘ජීවිතය සහ දේවසේවය වැඩපොතේ’ ඇතුළත් වෙනවා. බයිබලයේ තියෙන තොරතුරු ඒ විදිහට ගැඹුරින් අධ්‍යයනය කරද්දී ඒවා අපේ ජීවිතයටත් දේවසේවයටත් ප්‍රයෝජනවත් වෙනවා. “සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින කෙනෙක්” වෙන්න ඒ තොරතුරු හුඟක් ප්‍රයෝජනවත්.—2 තිමෝ. 3:16, 17.
16 ඒ රැස්වීමේ දෙවෙනි කොටස හඳුන්වන්නේ සේවය හොඳින් කරන්න ඉගෙනගමු කියලයි. ඒ කොටස සකස් කරලා තියෙන්නේ සේවයේදී කතා කරන විදිහ හුරු වෙන්න වගේම දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගන්න අපි හැමෝටම උදව් කරන්නයි. ඒ කොටසේදී ශිෂ්‍යයන් ඔවුන්ගේ පැවරුම් ඉදිරිපත් කරනවා. ඒ වගේම සාකච්ඡාවකට යෝජනා ඇතුළත් වීඩියෝත් සලකා බලනවා. “විඩා වූ අයට සහනයක් ගෙන දෙන අයුරින් කතා කිරීමට” ඒ කොටසෙන් සාකච්ඡා කරන තොරතුරු අපිට උදව් වෙනවා.—යෙසා. 50:4.
17 යහපත් ක්‍රිස්තියානීන් වෙමු යන මාතෘකාවෙන් හඳුන්වන තුන්වෙනි කොටසේදී සාකච්ඡා කරන්නේ එදිනෙදා ජීවිතයේදී බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න පුළුවන් විදි ගැනයි. (ගීතා. 119:105) සභා බයිබල් පාඩම මේ කොටසට අයත් විශේෂ අංගයක්. ‘මුරටැඹ’ පාඩම වගේ සභා බයිබල් පාඩමත් කරන්නේ ප්‍රශ්න උත්තර සාකච්ඡාවක් විදිහටයි.
18 හැම මාසයකම ‘ජීවිතය සහ දේවසේවය වැඩපොත’ ලැබුණාම වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක හරි ඔහුට සහාය වෙන වැඩිමහල්ලෙක් හරි ඒකේ තියෙන තොරතුරු හොඳින් සලකලා බලලා සභාවේ අයට ඒ කොටස් පවරනවා. වැඩිමහල් මණ්ඩලය අනුමත කරපු, උගන්වන්න සමත් වැඩිමහල්ලෙක් රැස්වීමේ සභාපති විදිහට වැඩ කරනවා. රැස්වීම නියමිත වේලාවට ආරම්භ කරනවාද සහ නියමිත වේලාවට අවසන් කරනවාද කියලා බලන එකත් ශිෂ්‍ය පැවරුම් ඉදිරිපත් කරන අයට අවශ්‍ය උපදෙස් දෙන එකත් ඒ අයව අගය කරන එකත් සභාපතිගේ වගකීම්වලට අයිතියි.
19 ජීවිතය සහ දේවසේවය සඳහා රැස්වීමට හොඳින් සූදානම් වෙලා නොකඩවාම සහභාගි වෙනවා නම් බයිබලයේ තියෙන තොරතුරු සහ ප්‍රතිපත්ති හොඳින් තේරුම්ගන්නත් බය නැතුව ශුභාරංචිය දේශනා කරන්නත් දක්ෂ ගුරුවරුන් වෙන්නත් අපිට පුළුවන්. රැස්වීමේදී ඉදිරිපත් කරන තොරතුරුවලින් සහ සහෝදර ආශ්රයෙන් බව්තීස්ම වෙලා නැති අයටත් හුඟක් ප්‍රයෝජන ලබන්න පුළුවන්. මේ රැස්වීමටත් අනිත් රැස්වීම්වලටත් සූදානම් වෙද්දී “වොච්ටවර් ලයිබ්‍රරි,” ‘JW ලයිබ්‍රරි,’ ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ සහ නමස්කාර මධ්‍යස්ථානයේ තියෙන පුස්තකාලය පාවිච්චි කරන්න පුළුවන්. ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොත, බයිබල් වචනවල සූචියක්, විවිධ බයිබල් පරිවර්තන, ශබ්දකෝෂ සහ තොරතුරු හොයාගන්න උදව් වෙන තවත් පොත් පත් ඒ පුස්තකාලයේ තියෙනවා. රැස්වීම් පටන්ගන්න කලිනුත් රැස්වීම් ඉවර වුණාට පස්සෙත් ඕනම කෙනෙක්ට ඒ පුස්තකාලය පාවිච්චි කරන්න පුළුවන්.
ක්ෂේත්‍ර සේවා රැස්වීම
20 සතියේ දවස්වලත් සති අන්තවලත් ප්‍රචාරකයන් සේවයේ යන්න කලින් නිවසක හරි වෙනත් සුදුසු ස්ථානයක හරි ක්ෂේත්‍ර සේවා රැස්වීමක් කෙටියෙන් පවත්වනවා. නමස්කාර මධ්‍යස්ථානයෙත් ඒ රැස්වීම පවත්වන්න පුළුවන්. ප්‍රචාරකයන් සභාවට අයිති ප්‍රදේශයේ පුංචි කණ්ඩායම් විදිහට වෙන වෙනම රැස් වෙනවා නම් ප්‍රචාරකයන්ට ඒ රැස්වීමට එන්නත් ඉක්මනින්ම සේවය පටන්ගන්නත් ඒක උදව් වෙනවා. ඒ වගේම කණ්ඩායම භාර වැඩිමහල්ලාට කණ්ඩායමේ ඉන්න එක් එක් කෙනා ගැන සැලකිලිමත් වෙන්නත් ඒක උදව් වෙනවා. කණ්ඩායම් වෙන වෙනම රැස් වෙන එකෙන් හුඟක් ප්‍රයෝජන තිබුණත් සමහර තත්වයන් නිසා කණ්ඩායම්වල ඉන්න හැමෝටම එක තැනකට රැස් වෙන්න වෙයි. උදාහරණයකට සතියේ දවස්වල සේවයේ හවුල් වෙන්නේ ප්‍රචාරකයන් ටිකදෙනෙක් නම් ඒ හැමෝම නමස්කාර මධ්‍යස්ථානයේ හරි වෙනත් සුදුසු තැනක හරි රැස් වෙන එක ප්‍රයෝජනවත් වෙයි. සේවයේ හවුල් වෙන්න කෙනෙක්ව හොයාගන්න ප්‍රචාරකයන්ට ඒක උදව් වෙනවා. නිවාඩු දවස්වලදීත් නමස්කාර මධ්‍යස්ථානයේ ඒ රැස්වීම පවත්වන එක වඩාත් සුදුසුයි කියලා සමහර සභාවන් තීරණය කරන්න ඉඩ තියෙනවා. ‘මුරටැඹ’ පාඩමෙන් පස්සේ ඒ රැස්වීම පවත්වන්නත් සමහර සභාවන් සැලසුම් කරයි.
21 කණ්ඩායම් වෙන වෙනම රැස් වෙනවා නම් කණ්ඩායම භාර වැඩිමහල්ලා තමයි ක්ෂේත්‍ර සේවා රැස්වීම මෙහෙයවන්නේ. විටින් විට ඒ රැස්වීම මෙහෙයවන්න ඔහු තමන්ට සහාය වෙන සහෝදරයාට හරි සුදුසුකම් තියෙන වෙනත් සහෝදරයෙක්ට හරි පවරන්න ඉඩ තියෙනවා. සේවයට උදව් වෙන යම් කරුණක් ගැන කතා කරන්න ඔහු සූදානම් වෙලා එන්න ඕනේ. සේවයට යන්න ප්‍රචාරකයන්ව බෙදුවාට පස්සේ කණ්ඩායමේ කෙනෙක් යාච්ඤාවක් කරනවා. ඊටපස්සේ හැමෝම ඉක්මනින්ම සේවයට පිටත් වෙනවා. ඒ රැස්වීම විනාඩි පහත් හතත් අතර කාලයකදී අවසන් කරන්න ඕනේ. ඒ රැස්වීම තියෙන්නේ සභා රැස්වීමකට පස්සේ නම් ඒ කාලය තවත් අඩු කරන්න ඕනේ. ඒ රැස්වීමේදී දිරිගැන්වීම්, ප්‍රායෝගික උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දෙන්න ඕනේ. අලුත් ප්‍රචාරකයන්ට සහ උපකාර අවශ්‍ය අයට අද්දැකීම් තියෙන ප්‍රචාරකයන් එක්ක සේවයේ හවුල් වෙන්න පුළුවන්.
අලුත් සභාවන් සහ කුඩා සභාවන් සඳහා රැස්වීම්
22 ගෝලයන් ගණන එන්න එන්නම වැඩි වෙද්දී සභාවන් ගණනත් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් අලුතින් සභාවක් පිහිටුවන්න නිර්දේශයන් ඉදිරිපත් කරන්නේ චාරිකා සේවකයන්. සමහර තත්වයන් නිසා කුඩා කණ්ඩායම් ළඟපාත සභාවක රැස්වීම්වලට හවුල් වෙන එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.
23 සමහර කුඩා සභාවල ඉන්නේ සහෝදරියන් විතරක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී සහෝදරියන් රැස්වීමේ කොටස් මෙහෙයවද්දී හිස් ආවරණයක් පළඳින්න ඕනේ. (1 කොරි. 11:3-16) හුඟක් වෙලාවට ඒ සහෝදරිය සභාවේ ඉන්න අයව පේන විදිහට ඉඳගෙන තමයි ඒ කොටස් මෙහෙයවන්නේ. කිසිම අවස්ථාවකදී සහෝදරියන් දේශන ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට සංවිධානයෙන් සපයන තොරතුරු සබයට කියවලා ඒ ගැන අදහස් දක්වනවා. සමහර අවස්ථාවලදී ඒ තොරතුරු නිරූපණයක් නැත්නම් සාකච්ඡාවක් විදිහට ඉදිරිපත් කරන්නත් ඉඩ තියෙනවා. ශාඛා කාර්යාලයත් එක්ක අවශ්‍ය කරන තොරතුරු හුවමාරු කරන්නත් රැස්වීම් සම්බන්ධ කටයුතු බලාගන්නත් ශාඛා කාර්යාලයෙන් යම් සහෝදරියක්ව පත් කරයි. සුදුසුකම් තියෙන සහෝදරයන් පත් වුණාම ඔවුන් ඒ වගකීම් ඉටු කරයි.
චාරිකා සමුළු
24 හැම අවුරුද්දකම එක් එක් චාරිකාවන්ට අයිති සභාවලට වෙන වෙනම එක්දින චාරිකා සමුළු දෙකක් පවත්වනවා. සහෝදර සහෝදරියන් සඳහා තියෙන ‘ප්‍රේමය තව තවත් වැඩි කරගන්න’ ඒ සමුළුවලට සහභාගි වෙන හැමෝටම අවස්ථාව ලැබෙනවා. (2 කොරි. 6:11-13) යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ඒ සමුළුවලට ශුද්ධ ලියවිල්ල මත පදනම් තේමාවන් තෝරගන්නෙත් කොටස් සකස් කරන්නෙත් මතු වෙලා තියෙන යම් අවශ්‍යතාවන් සැලකිල්ලට අරගෙනයි. දේශන, නිරූපණ, සැබෑ අද්දැකීමක් රඟ දැක්වීම සහ සම්මුඛ සාකච්ඡා මාර්ගයෙන් අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරනවා. ඒ කාලෝචිත මඟ පෙන්වීම්වලින් හැමෝම දිරිගැන්වෙනවා. දෙවියන්ට කැප වෙලා ඉන්න බව සංකේතවත් කරමින් බව්තීස්ම වෙන්නත් අලුත් අයට අවස්ථාව ලැබෙනවා.
තුන්දින සමුළු
25 අවුරුද්දකට වතාවක් තුන්දින සමුළුවක් පවත්වනවා. සාමාන්‍යයෙන් චාරිකා කිහිපයකට අයත් සභා කිහිපයක් එකතු කරලා පවත්වන ඒ සමුළුවලට විශාල පිරිසක් සහභාගි වෙනවා. සභා විශාල ප්‍රමාණයක් නැති රටක නම් හැම සභාවකම ඉන්න අයව එක තැනකට රැස් කරලා ඒ සමුළුව පවත්වන එක ප්‍රායෝගිකයි. විවිධ තත්වයන් සහ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම් අනුව සමහර රටවල මේ සමුළු පවත්වන විදිහ වෙනස් වෙන්න පුළුවන්. කාලෙන් කාලෙට සමහර රටවල ජාත්‍යන්තර සමුළු එහෙමත් නැත්නම් විශේෂ සමුළු පවත්වනවා. ලෝකෙ පුරාම ඉන්න සාක්ෂිකරුවන් දසදහස් ගණනකට ඒ සමුළුවලට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනවා. සමුළුවලට සහභාගි වෙන්න කියලා සාක්ෂිකරුවන් අනිත් අයටත් ආරාධනා කරන නිසා හුඟක් අයට ශුභාරංචිය ගැන දැනගන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
26 සාක්ෂිකරුවන් පවත්වන සමුළු දෙවියන්ට එක්සත්ව කරන නමස්කාරයට අයිති හරිම ප්‍රීතිමත් අවස්ථාවන් හැටියට හඳුන්වන්න පුළුවන්. ශුද්ධ ලියවිල්ලේ තියෙන තොරතුරු සම්බන්ධයෙන් අපේ අවබෝධය තවත් වැඩි කරන තොරතුරු සමුළුවලදී හෙළි කරනවා. සමහර සමුළුවලදී අලුත් ප්‍රකාශන මුදාහරිනවා. ඒවා පෞද්ගලික අධ්‍යයනයට, රැස්වීම් කොටස්වලට එහෙමත් නැත්නම් සේවයේදී පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සමුළුවලදී බව්තීස්ම වෙන්නත් අවස්ථාව ලැබෙනවා. දෙවියන් එක්ක තියෙන බැඳීම තව තවත් ශක්තිමත් කරගන්නත් සමුළුවලින් ලැබෙන තොරතුරු ප්‍රයෝජනවත් වෙනවා. යේසුස්ගේ සැබෑ ගෝලයන් වන ලෝකෙ පුරාම විසිරිලා ඉන්න සාක්ෂිකරුවන් අතරේ මොන තරම් ප්‍රේමයක් තියෙනවාද කියලත් ඒ සමුළුවලින් පැහැදිලි වෙනවා.—යොහ. 13:35.
27 සාක්ෂිකරුවන්ගේ සභා රැස්වීම්වලට, චාරිකා සමුළුවලට සහ තුන්දින සමුළුවලට සහභාගි වීමෙන් යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් වෙනවා. මේ ලෝකයෙන් එන නරක බලපෑම්වලට අහු වෙන්නේ නැතුව දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නත් ඒ තොරතුරු උදව් වෙනවා. ඒ රැස්වීම්වලින් යෙහෝවා දෙවියන්ව ගෞරවයටත් ප්‍රශංසාවටත් පත් වෙනවා. (ගීතා. 35:18; හිතෝ. 14:28) අන්තිම කාලයේ ජීවත් වෙන අපිට යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්න උදව් වෙන කදිම තොරතුරු ඒ රැස්වීම් මාර්ගයෙන් දෙවියන් ලබා දෙන එක ගැන අපි කොයි තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද!
ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය
28 හැම අවුරුද්දකටම වතාවක් සාක්ෂිකරුවන් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කරනවා. (1 කොරි. 11:20, 23, 24) ඒක ඔවුන් පවත්වන වැදගත්ම රැස්වීම විදිහට හඳුන්වන්න පුළුවන්. ක්‍රිස්තුස්ගේ මරණය හැම අවුරුද්දකම සමරන්න කියලා අපිට අණක් ලැබිලා තියෙනවා.—ලූක් 22:19.
29 ක්‍රිස්තුස්ගේ මරණය සිහි කරන්නේ ඊශ්‍රායෙල්වරු පාස්කු උත්සවය පවත්වපු දවසෙමයි. (නික්. 12:2, 6; මතෙ. 26:17, 20, 26) හැම අවුරුද්දකම පාස්කු උත්සවය සැමරුවේ ඊජිප්තුවේ වහල්භාවයේ හිටිය දෙවියන්ගේ සෙනඟව ක්‍රි.පූ. 1513දී ගලවාගත්ත එක සිහි කරන්නයි. යෙහෝවා දෙවියන් කියලා තිබුණා පළවෙනි මාසයේ 14වෙනිදා (හෙබ්‍රෙව් දිනදර්ශනයට අනුව) පාස්කු බැටළුවාව ආහාරයට අරන් ඊජිප්තුවෙන් පිට වෙන්න කියලා. (නික්. 12:1-51) වසන්ත කාලයේ එක දවසක දවාල පවතින කාලයත් රාත්‍රිය පවතින කාලයත් එක හා සමාන වෙනවා. ඒ දවසින් පස්සේ මුලින්ම නව සඳ පායන දවස සැලකුවේ නීසාන් මාසේ 1වෙනිදා විදිහට. නව සඳ පායන දවස කියන්නේ අමාවක දවසට පස්සේ මුලින්ම සඳ දකින දවසයි. එදා ඉඳන් දවස් 13ක් ගියාට පස්සේ තමයි පාස්කු උත්සවය සැමරුවේ. සාමාන්‍යයෙන් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම යෙදෙන්නේ නීසාන් මාසේ 1වෙනිදායින් පස්සේ මුලින්ම පුරහඳ පායන දවසෙයි.
30 මරණය සිහි කරන්න ඕන විදිහ ගැන යේසුස් කියපු දේ මතෙව් 26:26-28 සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී පාවිච්චි කරන රොටි සහ වයින් යේසුස්ගේ ශරීරය සහ රුධිරය බවට හැරෙන්නේ නැහැ. ඒවා සංකේත විතරයි. ඒ රොටි කන්නෙත් වයින් බොන්නෙත් යේසුස් එක්ක ස්වර්ගයේදී රජකම් කරන්න හවුල් වෙන අය විතරයි. (ලූක් 22:28-30) දෙවියන්ට කැප වෙලා ඉන්න අනිත් ක්‍රිස්තියානීන්ට සහ වෙනත් අයට නිරීක්ෂකයන් විදිහට ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට පැමිණෙන්න කියලා දිරිගන්වලා තියෙනවා. යෙහෝවා දෙවියන් තම පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් මිනිසුන්ව පාපයෙන් ගලවාගන්න පියවර ගත්ත එක තමන් ඇත්තටම අගය කරනවා කියලා ඒකට සහභාගි වීමෙන් පෙන්වන්න පුළුවන්. යේසුස්ගේ මරණය සිහි කිරීම පවත්වන්න කලින් විශේෂ බයිබල් දේශනයක් ඉදිරිපත් කරනවා. ඒක සකස් කරලා තියෙන්නේ සිහි කිරීමට සහභාගි වෙන්නත් බයිබලයේ තියෙන තොරතුරු ගැන තවත් දැනගන්නත් මිනිසුන් තුළ උනන්දුවක් ඇති කරන්නයි.
31 “එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට” එකිනෙකාව පොලඹවන්න අවස්ථාව ලැබෙන ක්‍රිස්තියානි රැස්වීම්වලට සාක්ෂිකරුවන් සහභාගි වෙන්නේ හද පිරි සතුටින්. (හෙබ්‍රෙ. 10:24) විශ්වාසවන්ත නුවණ ඇති දාසයා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන තොරතුරු ඒ රැස්වීම් මාර්ගයෙන් ලබා දෙනවා. ඒවාට නොකඩවා සහභාගි වෙලා උපරිමයෙන් ප්‍රයෝජන ගන්න කියලා දෙවියන්ගේ සෙනඟටත් දෙවියන් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයටත් උනන්දු කරලා තියෙනවා. යෙහෝවා දෙවියන් තම සංවිධානය මාර්ගයෙන් ලබා දෙන සැපයුම් මුළු හදින්ම අගය කරන නිසා එක්සත්ව ඉන්න දෙවියන්ගේ සෙනඟට පුළුවන් වෙලා තියෙනවා. වඩාත් වැදගත් දේ වෙන්නේ රැස්වීම්වලින් යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න ලැබෙන එකයි.—ගීතා. 111:1.