ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • kr 16 පරි. 170-181 පි.
  • නමස්කාර කරන්න එකට රැස් වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නමස්කාර කරන්න එකට රැස් වෙයි
  • දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එකට රැස් වෙන්න ඕනෙ ඇයි?
  • “ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට” පොලඹවන රැස්වීම්
  • වසරේ වැදගත්ම රැස්වීම
  • රැස්වීම්වලට සහභාගි වෙද්දී අපි ගැන හෙළි වෙන දේ
  • “ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට” පොලඹවන රැස්වීම්
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • අපි ඔබට සාදරයෙන් ආරාධනා කරමු!
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම් ඔයාටත් ප්‍රයෝජනවත්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • නමස්කාරය සඳහා රැස් වෙන්න ඕනෙ ඇයි?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
kr 16 පරි. 170-181 පි.

16වෙනි පරිච්ඡේදය

නමස්කාර කරන්න එකට රැස් වෙයි

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

රැස්වීම් පවත්වන්න පටන්ගත්ත විදිහ සහ රැස්වීම්වල වැදගත්කම

1. යේසුස්ගේ ගෝලයන් එකට එකතු වුණු වෙලාවේදී ඒ අයට ලැබුණු උපකාරය මොකක්ද? ඔවුන්ට ඒක අවශ්‍ය වුණේ ඇයි?

යේසුස් නැවත නැඟිටලා ටික දවසකට පස්සේ ඔහුගේ ගෝලයන් එකට රැස් වුණා. ඔවුන් එහෙම කළේ එකිනෙකාව දිරිගන්වන්න ඕන වුණ නිසයි. හැබැයි සතුරන්ට බයේ හිටිය නිසා ඔවුන් ශාලාවේ දොර වහගෙනයි හිටියේ. හැබැයි යේසුස් ඒ අය අතරට ඇවිත් “ඔබට දෙවිගේ බලය ලැබෙයි” කියලා කිව්වාම ඒ අය අනිවාර්යයෙන්ම දිරිගැන්වෙන්න ඇති. (යොහන් 20:19-22 කියවන්න.) ආපහු අවස්ථාවක ඒ අය එකට රැස් වුණා. ඒ වතාවේදී ඔවුන්ට යෙහෝවා දෙවිගේ බලය ලැබුණා. නිර්භීතව දේශනා සේවයේ හවුල් වෙන්න ඒකෙන් ඒ අයට කොයි තරම් ශක්තියක් ලැබෙන්න ඇද්ද!—ක්‍රියා 2:1-7.

2. (අ) යෙහෝවා දෙවි අපිව ශක්තිමත් කරන්නේ කොහොමද? අපිට ඒක ඕන කරන්නේ ඇයි? (ආ) පවුලේ නමස්කාරය හුඟක් වැදගත් වෙන්නේ ඇයි? (පාදසටහන සහ “පවුලේ නමස්කාරය”යන කොටුව බලන්න.)

2 පළවෙනි සියවසේ හිටිය අපේ සහෝදරයන් මුහුණ දුන්නා වගේ අභියෝගවලට අද අපිත් මුහුණ දෙනවා. (1 පේතෘ. 5:9) සමහර අවස්ථාවලදී අපිට මිනිසුන් ගැන බයක් දැනෙන්න පුළුවන්. ඒ නිසා දිගටම දේශනා සේවය කරගෙන යන්න නම් අපිට අනිවාර්යයෙන්ම දෙවිගේ බලයෙන් ලැබෙන ශක්තිය ඕනේ. (එෆී. 6:10) අපි රැස්වීම්වලට සහභාගි වෙනවා නම් අපිට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. දැන් අපිට රැස්වීම් දෙකක් තියෙනවා. එකක් තමයි පොදු රැස්වීම සහ ‘මුරටැඹ’ පාඩම. අනිත් එක සතිය මැද පවත්වන ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය කියලා හඳුන්වන රැස්වීම.a ඒ විතරක් නෙවෙයි වාර්ෂිකව පවත්වන තවත් විශේෂ රැස්වීම් හතරකුත් තියෙනවා. ඒ තමයි තුන්දින සමුළුව, එක්දින චාරිකා සමුළු දෙක සහ යේසුස්ගේ මරණය සිහි කිරීම. ඒ හැම රැස්වීමකටම හවුල් වෙන එක හුඟක් වැදගත් වෙන්නේ ඇයි? අපේ රැස්වීම් මුලින්ම පටන් අරන් තියෙන්නේ කොහොමද? රැස්වීම්වලට සහභාගි වෙද්දී ඒකෙන් අපි ගැන හෙළි වෙන්නේ මොනවාද?

එකට රැස් වෙන්න ඕනෙ ඇයි?

3, 4. හුඟක් කාලෙකට කලින් ඉඳලම යෙහෝවා දෙවි තම සෙනඟට කියලා තිබුණේ මොනවා කරන්න කියලද? උදාහරණ දෙන්න.

3 නමස්කාර කරන්න එකට රැස් වෙන්න කියලා යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට කියලා තිබුණේ හුඟ කාලෙකට කලින්. උදාහරණයකට ක්‍රි.පූ. 1513දී දෙවි ඊශ්‍රායෙල් සෙනඟට දීපු නීතියේ සඳහන් වුණා හැමෝම සතිපතා සබත් දවස පවත්වන්න ඕනෙ කියලා. හැම පවුලකටම යෙහෝවා දෙවිට නමස්කාර කරන්නත් නීතියේ තියෙන දේවල් ගැන ඉගෙනගන්නත් ඒකෙන් අවස්ථාව ලැබුණා. (ද්වි. 5:12; 6:4-9) ඒ නීතියට කීකරු වෙද්දී පවුල්වල හිටිය සාමාජිකයන්ට විතරක් නෙවෙයි මුළු ජාතියටම දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් පවත්වාගන්න පුළුවන් වුණා. හැබැයි නමස්කාර කරන්න එකට රැස් වෙන්න කියලා දෙවි දීපු නීතිය නොසලකාහැරියාම මුළු ජාතියටම දෙවිගේ අනුමැතිය නැති වුණා.—ලෙවී. 10:11; 26:31-35; 2 ලේක. 36:20, 21.

4 යේසුස් ගැනත් ටිකකට හිතන්න. හැම සතියකම සබත් දවසේදී ඔහු සිනගෝගයට ගියා. (ලූක් 4:16) යේසුස්ගේ ගෝලයන් සබත් නීතිය යටතේ හිටියේ නැති වුණත් එකට රැස් වෙන එක ඔවුන් කවදාවත් නතර කළේ නැහැ. (ක්‍රියා 1:6, 12-14; 2:1-4; රෝම 14:5; කොලො. 2:13, 14) පළවෙනි සියවසේ හිටිය ක්‍රිස්තියානීන් ඒ විදිහට එකට රැස් වුණාම ඒ අයට මඟ පෙන්වීම් සහ දිරිගැන්වීම් ලැබුණා. ඒ විතරක් නෙවෙයි යාච්ඤා කරද්දී, අදහස් දක්වද්දී සහ ගීතිකා ගායනා කරද්දී දෙවිව ප්‍රශංසාවට පත් කරන්නත් පුළුවන් වුණා.—කොලො. 3:16; හෙබ්‍රෙ. 13:15.

නැවත නැඟිටුණු යේසුස් තම ගෝලයන් එක් රැස් වෙලා හිටිය කාමරයක පෙනී සිටිමින්

එකිනෙකාව ශක්තිමත් කරන්නත් දිරිගන්වන්නත් යේසුස්ගේ ගෝලයන් එකට රැස් වුණා

5. සතිපතා පවත්වන රැස්වීම්වලටත් සමුළුවලටත් අපි සහභාගි වෙන්න ඕනෙ ඇයි? (“දෙවිගේ සෙනඟව එක්සත් කරන වාර්ෂික සමුළු” යන කොටුවත් බලන්න.)

5 රැස්වීම්වලට සහ සමුළුවලට සහභාගි වෙද්දී අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? අපි දෙවිගේ රාජ්‍යයට පක්ෂයි කියලා පෙන්වන්නත් දෙවිගේ බලයේ උපකාරය ලබාගන්නත් දෙවි ගැන අපිට තියෙන විශ්වාසය ප්‍රසිද්ධියේම කියලා එකිනෙකාව දිරිගන්වන්නත් පුළුවන් වෙනවා. හැබැයි වැදගත්ම දේ වෙන්නේ යාච්ඤා කරන එකෙන්, අදහස් දක්වන එකෙන් සහ ගීතිකා ගායනා කරන එකෙන් දෙවිට නමස්කාර කරන්න අපිට පුළුවන් වෙන එකයි. අද අපේ රැස්වීම් සංවිධානය වෙලා තියෙන විදිහ ඊශ්‍රායෙල් සෙනඟ සහ පළවෙනි සියවසේ හිටිය ක්‍රිස්තියානීන් රැස්වීම් පවත්වපු විදිහට වඩා වෙනස් වුණත් රැස්වීම්වල තියෙන වැදගත්කම නම් අඩු වෙලා නැහැ. දැන් අපි බලමු අපේ රැස්වීම් මුලින්ම පටන් අරන් තියෙන්නේ කොහොමද කියලා.

“ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට” පොලඹවන රැස්වීම්

6, 7. (අ) අපේ රැස්වීම්වල අරමුණ මොකක්ද? (ආ) රැස්වීම් පවත්වපු විදිහ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වුණේ කොහොමද?

6 සහෝදර චාල්ස් ටේස් රසල් බයිබලයේ සඳහන් සත්‍යය ගැන හොයන්න පටන්ගත්ත කාලෙදීම තේරුම්ගත්තා සත්‍යය හොයන්න කැමති අනිත් අයත් එක්ක එකට රැස් වෙන එක හුඟක් වැදගත් කියලා. 1879 ‘මුරටැඹ’ සඟරාවේ ඔහු සඳහන් කරපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “මම පිට්ස්බර්ග්වල හිටිය තව කිහිපදෙනෙකුත් එක්ක එකතු වෙලා බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න හැම ඉරිදාවකම බයිබල් පංතියක් පැවැත්වුවා.” ඒ වගේම එකට රැස් වෙන්න කියලා ‘මුරටැඹ’ පාඨකයන්වත් දිරිගැන්නුවා. 1881 ඉඳන් පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග්වල හැම සතියෙම ඉරිදා සහ බදාදා රැස්වීම් පවත්වන්න පටන්ගත්තා. ඒ රැස්වීම්වල අරමුණ “ක්‍රිස්තියානීන් අතර තියෙන ආදරය සහ අදහස් හුවමාරුව” වැඩි කරලා එකිනෙකාව දිරිගන්වන්න අවස්ථාව දෙන එක කියලා 1895 ‘මුරටැඹ’ සඟරාවක පැහැදිලි කළා.—හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.

7 ඒ කාලේ එක එක ප්‍රදේශවල අපේ රැස්වීම් සංවිධානය කරලා තිබුණේ එකම විදහට නෙවෙයි. උදාහරණයකට 1911 එක්සත් ජනපදයේ එක කණ්ඩායමක් එවපු ලියුමක සඳහන් වුණා “අපි අඩුම තරමින් සතියකට රැස්වීම් පහක්වත් පවත්වනවා” කියලා. ඒ අය රැස්වීම් පවත්වලා තිබුණේ සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා කියන දවස්වල. ඉරිදා දවසේ රැස්වීම් දෙකක්ම පවත්වලා තියෙනවා. 1914දී අප්‍රිකාවේ කණ්ඩායමක් එවලා තිබුණු ලියුමක සඳහන් වුණේ මෙහෙමයි. “සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා කියන දවස් තුනේම අපි රැස්වීම් පැවැත්තුවා. හැබැයි අපි ඒක කළේ මාසෙකට දෙපාරක් විතරයි.” ඒත් කාලයත් එක්කම අපේ සහෝදරයන් දැන් අපි රැස්වීම් පවත්වන විදිහටම රැස්වීම් පවත්වන්න පටන්ගත්තා. අපි පවත්වන රැස්වීම්වල ඉතිහාසය ගැන තොරතුරු ටිකක් දැන් බලමු.

8. මුලදී බයිබල් දේශන පවත්වලා තියෙන්නේ මොන වගේ තේමාවන් යටතේද?

8 පොදු රැස්වීම. මුල්ම ‘මුරටැඹ’ සඟරාව පළ වෙලා අවුරුද්දකට පස්සේ ඒ කියන්නේ 1880දී සහෝදර රසල් පළවෙනි සියවසේදී යේසුස් කළා වගේ ශුභාරංචිය දේශනා කරන්න සංචාරයක හවුල් වුණා. (ලූක් 4:43) ඒ සංචාරය ගැන ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණේ මෙහෙමයි. සහෝදර රසල් “මේ සංචාරයේදී පවත්වන පොදු රැස්වීම්වලදී ‘දෙවිගේ රාජ්‍යය පිළිබඳ දේවල්’ කියන මාතෘකාවෙන් දේශනයක් දෙන්න කැමැත්තෙන් ඉන්නවා.” ඒ සංචාරයේදී තමයි අද අපි මහජනයා වෙනුවෙන් පවත්වන පොදු රැස්වීම පටන්ගත්තේ. 1911 වෙද්දී හුඟක් රටවල්වල සභාවන් පිහිටෙව්වාට පස්සේ ඒ සභාවල සහෝදරයන්ව දිරිගැන්නුවා ළඟපාත සභාවලට ගිහින් විවිධ විෂයන් හයක් යටතේ දේශන ඉදිරිපත් කරන්න කියලා. විනිශ්චය දවස සහ යේසුස්ගේ ජීවිත පූජාව ඒ අතරට අයිති වුණා. රැස්වීමෙන් පස්සේ ඊළඟ සතියේ දේශනය දෙන සහෝදරයාගේ නමත් දේශනයේ මාතෘකාවත් නිවේදනය කළා.

9. පොදු රැස්වීම කාලෙන් කාලෙට වෙනස් වෙලා තියෙන්නේ කොහොමද? ඒ රැස්වීම ඔබ අගය කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

9 1945දී ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණා ඒ කාලෙට වැදගත් වුණු ප්‍රශ්න ගැන සඳහන් වුණු බයිබල් දේශන අටක් ලෝකෙ පුරාම ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා කියලා. සමහර සහෝදරයන් අවුරුදු ගාණක් යන කල්ම දාසයා මාර්ගයෙන් ලැබිලා තිබුණු විෂයන්වලට අමතරව ඒ අය කැමති විෂයන් යටතෙත් දේශන දීලා තියෙනවා. හැබැයි 1981 ඉඳන් දේශන ඉදිරිපත් කරද්දී සභාවට ලැබිලා තිබුණු දළ සටහන් විතරක් පාවිච්චි කරන්න කියලා කථිකයන්ට දැනුම් දුන්නා.b සමහර දේශනවලට නිරූපණ හෝ සබයේ අයත් එක්ක කරපු සාකච්ඡා ඇතුළත් වුණා. හැබැයි දේශන ඉදිරිපත් කරන්න ඕනෙ කතාවක් හැටියට විතරයි කියලා 1990දී පැහැදිලි මඟ පෙන්වීමක් ලැබුණා. ඒ වෙද්දී දේශන සකස් කරලා තිබුණේ විනාඩි 45කට වුණත් 2008 ඉඳන් ඒක විනාඩි 30කට සීමා වුණා. ඒ විදිහට දේශන ඉදිරිපත් කරන විදිහ කාලෙන් කාලෙට වෙනස් වුණත් එදා වගේම අදත් හොඳින් සූදානම් වෙලා ඉදිරිපත් කරන දේශනවලින් දෙවිගේ වචනය ගැන අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. දෙවිගේ රාජ්‍යය ගැන තව තවත් ඉගෙනගන්නත් පුළුවන් වෙනවා. (1 තිමෝ. 4:13, 16) බයිබලය මත පදනම් වෙලා තියෙන ඒ දේශනවලට එන්න කියලා ඔබේ නැවත බැලීම්වලටත් සාක්ෂිකරුවන් නොවන අයටත් ඔබ ආරාධනා කරනවාද?

10-12. (අ) ‘මුරටැඹ’ පාඩමේ සිද්ධ වෙලා තියෙන වෙනස්කම් මොනවාද? (ආ) ඔබෙන්ම අහගන්න ඕන ප්‍රශ්න මොනවාද?

10 ‘මුරටැඹ’ පාඩම. 1922 ඉඳන් දේශන ඉදිරිපත් කරන්නත් දේශනා සේවයේ මූලිකත්වය අරන් වැඩ කරන්නත් සංචාරක සේවකයන් විදිහට හඳුන්වපු සහෝදරයන්ව “වොච් ටවර් සොසයිටි” එකෙන් විවිධ සභාවලට යැව්වා. ඒ අය යෝජනා කරලා තියෙනවා ‘මුරටැඹ’ පාඩම්වල තොරතුරු සාකච්ඡා කරන්න අලුතින් රැස්වීමක් පටන්ගමුද කියලා. ඒ යෝජනාවට සමිතියෙන් අවසර ලැබුණා. මුලදී ‘මුරටැඹ’ පාඩම කරලා තියෙන්නේ බදාදා නැත්නම් ඉරිදා දවස්වල.

1931දී බයිබල් ශිෂ්‍යයන් ඝානාවල පවත්වපු රැස්වීමක්

ඝානාවල 1931දී ‘මුරටැඹ’ පාඩමක් පවත්වමින්

11 ඒ රැස්වීම පවත්වන්න ඕන විදිහ ගැන 1932 ජූනි 15 ‘මුරටැඹ’ සඟරාවේ මඟ පෙන්වීම් දීලා තිබුණා. බෙතෙල් පවුලේ ‘මුරටැඹ’ පාඩම කරනවා වගේම සභාවලත් සහෝදරයෙක්ට ඒ පාඩම මෙහෙයවන්න කියලත් සහෝදරයන් තුන්දෙනෙක්ට ඉස්සරහම පේළියේ ඉඳගෙන ‘මුරටැඹ’ ලිපියේ ඡේද මාරුවෙන් මාරුවට කියවන්න කියලත් ඒකේ තිබුණා. ඒ දවස්වල ‘මුරටැඹ’ පාඩම් ලිපිවල ප්‍රශ්න සඳහන් කරලා තිබුණේ නැති නිසා ඡේදයක් කියෙව්වාට පස්සේ ඒකට අදාළ ප්‍රශ්න තියෙනවාද කියලා සබයේ ඉන්න අයගෙන් අහන්න කියලා තිබුණා. ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න සබයේ ඉන්න අනිත් අයටත් අවස්ථාව දෙන්න කියලත් තවත් තොරතුරු පැහැදිලි කරන්න ඕනෙ වුණොත් විතරක් පාඩම මෙහෙයවන කෙනාට “අදාළ තොරතුරු කෙටියෙන්” පැහැදිලි කරන්න පුළුවන් කියලත් ඒකේ කියලා තිබුණා.

12 ඒ දවස්වල මුරටැඹ පාඩමට සාකච්ඡා කරන්නේ මොන ලිපියද කියලා තීරණය කළේ සභාවේ වැඩිදෙනාගේ කැමැත්ත අනුව. හැබැයි 1933 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණා හැම සභාවක්ම සාකච්ඡා කරන්න ඕනෙ අලුතින්ම එන ‘මුරටැඹ’ සඟරාව කියලා. ඒ වගේම හැම සතියකම ඒ පාඩම කරන්න ඕනෙ ඉරිදා දවසේදී කියලත් 1937දී මඟ පෙන්වලා තිබුණා. අපි දැන් කරන විදිහට ඒ පාඩම කරන්න කියලා සඳහන් වෙලා තිබුණේ 1942 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’ සඟරාවෙයි. හැම පිටුවකම යටින් පාඩමට අදාළ ප්‍රශ්න සඳහන් කරනවා කියලත් ඒ ප්‍රශ්න සබයෙන් අහන්න ඕනෙ කියලත් ඒ සඟරාවේ සඳහන් වුණා. පාඩම පැයකින් ඉවර කරන්න කියලත් ඡේදයේ තියෙන වාක්‍ය කියවනවා වෙනුවට තමන්ගේම වචනවලින් අදහස් දෙන්න කියලත් ඒකේ සඳහන් වුණා. එදා වගේම අදටත් දාසයා නියම වෙලාවට අපිව පෝෂණය කරන්න පාවිච්චි කරන මූලිකම ක්‍රමය හැටියට ‘මුරටැඹ’ පාඩම හඳුන්වන්න පුළුවන්. (මතෙ. 24:45) දැන් මෙහෙම හිතන්න. “මම හැම සතියෙම ‘මුරටැඹ’ පාඩමට සූදානම් වෙනවාද? පුළුවන් හැම අවස්ථාවකදීම මම අදහස් දක්වනවාද?”

13, 14. සභා බයිබල් පාඩමේ ඉතිහාසය ගැන කියන්න පුළුවන් මොනවාද? මේ රැස්වීමට ඔබ කැමති ඇයි?

13 සභා බයිබල් පාඩම. 1890 මැදභාගය වෙද්දී ‘සහස්‍රයේ උදාව’c කියන පොතේ වෙළුම් කිහිපයක්ම ප්‍රකාශයට පත් වෙලා තිබුණා. ඒ පොත්වල තියෙන තොරතුරු පොඩි කණ්ඩායම් විදිහට එකතු වෙලා සාකච්ඡා කරන්න කියලා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් නගරයේ ජීවත් වුණු සහෝදර එච්. එන්. රාන් යෝජනා කරලා තියෙනවා. ඒක අත්හදා බලන්න ගෙවල් කිහිපයක ඒ විදිහේ රැස්වීමක් පැවැත්වුවා. 1895 සැප්තැම්බර් මාසය වෙද්දී එක්සත් ජනපදයේ නගර කිහිපයකම ඒ රැස්වීම හරිම සාර්ථක විදිහට පැවැත්වුවා. ඒ නිසා හැමෝටම ඒ රැස්වීම පවත්වන්න කියලා ඒ මාසයේ ‘මුරටැඹ’ සඟරාවේ දිරිගන්වලා තිබුණා. ඒ වගේම හොඳට කියවන්න පුළුවන් කෙනෙක් ඒ පාඩම මෙහෙයවන්න ඕනෙ කියලත් දැනුම් දීලා තිබුණා. මුලින්ම ඒ කෙනා ඡේදයේ තියෙන මුල් වාක්‍යය කියවලා සබයේ අයගෙන් ඒකේ තේරුම අහනවා. ඒ විදිහට ඡේදයක හැම වාක්‍යයක්ම කියවලා සාකච්ඡා කළාට පස්සේ ඒ ඡේදයේ තියෙන බයිබල් පදත් කියවනවා. අන්තිමේදී පරිච්ඡේදයක් ඉවර වුණාම ඒ පාඩමෙන් ඉගෙනගත්ත දේ ගැන අදහස් දක්වන්න සබයේ ඉන්න හැම කෙනෙක්වම උනන්දු කරනවා.

14 ඒ රැස්වීම හඳුන්වපු නම අවස්ථා කිහිපයකදීම වෙනස් වෙලා තියෙනවා. පළවෙනි සියවසේ හිටිය බෙරියවරුන් වගේ බයිබලයේ තියෙන තොරතුරු හොඳින් අධ්‍යයනය කරන්න ඒ රැස්වීම උදව් වුණු නිසා ඒක බෙරියවරුන්ගේ කණ්ඩායම විදිහට හඳුන්වලා තියෙනවා. (ක්‍රියා 17:11) කාලයක් යද්දී ඒක සභා පොත් පාඩම කියලා හඳුන්වන්න පටන්ගත්තා. දැන් ඒක හඳුන්වන්නේ සභා බයිබල් පාඩම කියලයි. දැන් සභාවක් විදිහට නමස්කාර මධ්‍යස්ථානයේ එකතු වෙලා තමයි ඒ රැස්වීම පවත්වන්නේ. හුඟ කාලයක් තිස්සේ පැවැත්වෙන ඒ රැස්වීමේදී විවිධ පොත්, සඟරා සහ ‘මුරටැඹ’ ලිපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ රැස්වීමේදී අදහස් දක්වන්න කියලා මුල ඉඳලම ඒකට සහභාගි වෙන අයව දිරිගන්වලා තියෙනවා. බයිබලය ගැන අපිට තියෙන දැනුම තවත් වැඩි කරගන්න මේ රැස්වීම අපිට කොයි තරම් ප්‍රයෝජනවත් වෙලා තියෙනවාද! ඔබ අතපසු කරන්නේ නැතුව ඒ රැස්වීමට සූදානම් වෙලා පුළුවන් උපරිමයෙන් අදහස් දක්වනවාද?

පුංචි දියණියන් දෙදෙනෙක් සිටින පවුලක් සතුටින් පවුලේ නමස්කාරයේ යෙදෙමින්

හොඳින් සූදානම් වෙලා පවුලේ නමස්කාරය කරන එක ඔබේ කාලසටහනට ඇතුළත්ද?

පවුලේ නමස්කාරය

පවුලක් හැටියට එකතු වෙලා බයිබලයේ තියෙන දේවල් අධ්‍යයනය කරන්න කියලා අවසාන කාලයේ ජීවත් වෙන අපිට දෙවිගේ සංවිධානය නිතරම මතක් කරලා තියෙනවා. (2 තිමෝ. 3:1) උදාහරණයකට 1932දී ප්‍රකාශයට පත් කරපු ‘නිවහන සහ සතුට’e කියන පොඩි පොතේ මෙහෙම කියලා තිබුණා. “පවුලේ හැමෝම එකතු වෙලා ගෙදරදීම බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගන්න.” 1956 මැයි 15 ‘මුරටැඹ’ සඟරාවේ හැමෝටම කිව්වා “පවුලේ හැම කෙනෙක්ගෙම ප්‍රයෝජනය වෙනුවෙන් නිතිපතා ගෙදරදීම බයිබලය අධ්‍යයනය කරන්න” කියලා. ඒත් එක්කම මේ ප්‍රශ්නෙත් අහලා තිබුණා. “රැස්වීමට යන්න කලින් ඔබ පවුලක් විදිහට එකතු වෙලා ‘මුරටැඹ’ පාඩමට සූදානම් වෙනවාද?”

2009දී සතිය මැද තියෙන රැස්වීම්වල ලොකු වෙනසක් වුණා. ඒ වෙනසත් එක්කම පවුලේ නමස්කාරය කොච්චර වැදගත්ද කියන එක හැමෝටම පැහැදිලි වුණා. ඒ වෙනස තමයි සේවා පාසැල සහ සේවා රැස්වීම තියෙන දවසේම සභා බයිබල් පාඩමත් පවත්වන්න පටන්ගත්ත එක. එහෙම කළේ ඇයි? 2011 ජනවාරි ‘අපගේ රාජ්‍ය සේවාවේ’ ඒ ගැන මෙහෙම සඳහන් වුණා. මේ වෙනස කරන්න “එක් හේතුවක් වුණේ පවුලේ නමස්කාරය සඳහා සෑම සතියකම එක් රාත්‍රියක් වෙන් කර, පවුලක් ලෙස යෙහෝවා දෙවි සමඟ තිබෙන බැඳීම ශක්තිමත් කරගැනීමට අවස්ථාවක් දීමයි.” ඒ වගේම “බයිබලය මත පදනම් තොරතුරු සාකච්ඡා කිරීමට අවශ්‍ය තරම් කාලය ගන්න” කියලත් “පවුලේ අවශ්‍යතාවන්ට අනුව එය සකස් කරගන්න” කියලත් ඒකේ සඳහන් වුණා.f

පවුලේ නමස්කාරය කියන්නේ හරිම වැදගත් දෙයක්. ඒක අතපසු කරන එක කොහොමටවත් සුදුසු නැහැ. එහෙම කියන්නේ ඒකෙන් අපේ පවුලේ අය විතරක් නෙවෙයි සභාවේ අයත් දිරිගැන්වෙන නිසයි. ඒක තව ටිකක් තේරුම්ගන්න උදාහරණයක් බලමු. අපි හිතමු සභාව කියන්නේ ගඩොල් කැට එක උඩ එක තියලා හදපු ගෙයක් කියලා. (හෙබ්‍රෙව් 3:4-6 කියවන්න.)g ඒ ගෙය දිගටම ශක්තිමත්ව තියෙන්න දේවල් දෙකක් බලපානවා. එකක් තමයි අත්තිවාරම. අනිත් එක තමයි බිත්ති බැඳලා තියෙන ගඩොල් කැටවල ශක්තිය. අත්තිවාරම හොඳ නැත්නම් ගේ කඩාගෙන වැටෙනවා. හැබැයි අත්තිවාරම ශක්තිමත්ව තිබුණත් ගල් හයිය නැත්නම් ඒත් ගේ කඩාගෙන වැටෙනවා. සභාව ගොඩනඟලා තියෙන්නේ ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් කියන ශක්තිමත් අත්තිවාරම මතයි. (1 කොරින්ති 3:10-15 කියවන්න.)h සභාවේ ඉන්න තනි පුද්ගලයන් සහ පවුල් හරියට එක් එක් ගඩොල් කැට වගෙයි. පවුලේ නමස්කාරය ඒ හැමෝටම උදව් වෙනවා පීඩා මැද වුණත් විශ්වාසය දුර්වල කරගන්නේ නැතුව ඉන්න. ඒ වගේ ශක්තිමත් විශ්වාසයක් තියෙන අය ඉන්නකොට මුළු සභාවම ශක්තිමත් වෙනවා. හොඳින් සූදානම් වෙලා පවුලේ නමස්කාරය කරන එක ඔබේ කාලසටහනට ඇතුළත්ද?

e ඉංග්‍රීසියෙන්.

f පවුලේ නමස්කාරයට වටිනා යෝජනා කිහිපයක් 2011 ජනවාරි ‘අපගේ රාජ්‍ය සේවාවේ’ සඳහන් වෙනවා.

g පාවුල් ඒ දේ කිව්වේ “ස්වර්ගයට යෑම සඳහා කැඳවීම ලබා සිටින” අයටයි. (හෙබ්‍රෙ. 3:1) හැබැයි ඒ දේ හැම ක්‍රිස්තියානියෙක්ටම අදාළයි.

h මේ ගැන වැඩි විස්තර දැනගන්න 1999 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ 12-14 පිටුවල 15-20 ඡේද බලන්න. ඒ තොරතුරු කියවද්දී ඒවා පවුලේ නමස්කාරයට අදාළ වෙන්නේ කොහොමද කියලා හිතන්න.

15. සේවා පාසැලේ අරමුණ වුණේ මොකක්ද?

15 සේවා පාසැල. බෘක්ලින්වල තිබුණු ලෝක මූලස්ථානයේ සේවය කරපු සී. බාබර් කියපු දේ බලන්න. “1942 පෙබරවාරි 16වෙනිදා බෙතෙල් එකේ හිටිය හැම සහෝදරයෙක්ටම සේවා පාසැලට හවුල් වෙන්න කියලා ආරාධනා කළා.” පස්සේ කාලෙක පාලක මණ්ඩලයේ සේවය කරපු සහෝදර බාබර් ඒ රැස්වීම ගැන කිව්වේ මෙහෙමයි. “දෙවි ඔහුගේ සෙනඟට මඟ පෙන්වන නිසා සිද්ධ වෙලා තියෙන වැදගත්ම වෙනසක් විදිහට මේ රැස්වීම හඳුන්වන්න පුළුවන්.” ඒකෙන් ලැබුණු පුහුණුව නිසා දක්ෂ විදිහට උගන්වන්නත් දේශනා කරන්නත් අපේ සහෝදරයන්ට පුළුවන් වුණා. ප්‍රතිඵලයක් විදිහට 1943දී ‘සේවා පාසැල් පාඨමාලාව’d කියන පොඩි පොත ලෝකෙ පුරාම හිටිය සාක්ෂිකරුවන්ටත් ලැබෙන්න සලස්වලා තියෙනවා. සේවා පාසැලේ අරමුණ දෙවිගේ සේවකයන්ව “රාජ්‍යය ගැන දක්ෂ විදිහට සාක්ෂි දරන්න පුහුණු කරන එක” කියලා 1943 ජූනි 1 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වෙලා තිබුණා.—2 තිමෝ. 2:15.

16, 17. සේවා පාසැලෙන් ඉගැන්නුවේ කථික ගුණාංග වර්ධනය කරගන්න විතරද? පැහැදිලි කරන්න.

16 ලොකු සෙනඟක් ඉස්සරහ කතා කරන්න මුලදී හුඟක් අයට ලෙහෙසි වුණේ නැහැ. 1943දී මුල්ම වතාවට ඒ පාසැලට සහභාගි වුණු සහෝදර ක්ලේටන් වුඩ්වර්ත් කියපු දේ බලන්න. “සෙනඟක් ඉස්සරහ කතා කරන එක මට නම් හරිම අමාරු වැඩක්. ඒ වෙලාවට මගේ තොල කට හොඳටම වේළෙනවා. ඒ නිසා මගේ කටහඬ ඇහුණේ හරිම ගොරහැඬි විදිහට.” හැබැයි පාසැලෙන් ලැබුණු පුහුණුව නිසා ක්ලේටන්ට හුඟක් දේශන ඉදිරිපත් කරන්නත් අවස්ථාව ලැබුණා. කථික ගුණාංග වර්ධනය කරගන්න විතරක් නෙවෙයි නිහතමානීව ක්‍රියා කරන එකත් හැම කාරණාවකදීම යෙහෝවා දෙවි මත විශ්වාසය තියන එකත් කොයි තරම් වැදගත්ද කියලා තේරුම්ගන්න ඒ පාසැල ඔහුට උදව්වක් වෙලා තියෙනවා. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “වඩාත් වැදගත් වෙන්නේ කථිකයා කවුද කියන එක නෙවෙයි. හැබැයි දේශනයක් දෙන්න කලින් හොඳින් සූදානම් වෙලා යෙහෝවා දෙවි මත විශ්වාසය තියනවා නම් හැමෝම හුඟක් සතුටින් ඒකට ඇහුම්කන් දෙයි. මොනවා හරි දෙයක් ඉගෙනගන්න ඒ අයට පුළුවන් වෙයි.”

17 සේවා පාසැලේ කොටස්වලට හවුල් වෙන්න කියලා 1959දී සහෝදරියන්ටත් ආරාධනා කළා. ඒ ගැන මුල්ම වතාවට සමුළුවකදී අහන්න ලැබුණු එක ගැන තමන්ට හැඟුණු විදිහ සහෝදරි එඩ්න බවර් මෙහෙම විස්තර කළා. “ඒ නිවේදනය ඇහුණාම එතැන හිටිය සහෝදරියන් හුඟක් සතුටු වුණා. දැන් සහෝදරියන්ටත් සේවා වරප්‍රසාද ලැබිලා තියෙනවා.” වසර ගණනාවක් තිස්සේ සහෝදර සහෝදරියන් සේවා පාසැලට හවුල් වෙලා යෙහෝවා දෙවිගෙන් ඉගෙනගෙන තියෙනවා. අදටත් සතිය මැද පවත්වන රැස්වීමෙන් අවශ්‍ය පුහුණුව අපිට දිගටම ලැබෙනවා.—යෙසායා 54:13 කියවන්න.

18, 19. (අ) අපේ සේවය කරන්න ඕන විදිහ ගැන අද අපිට මඟ පෙන්වීම් ලැබෙන්නේ කොහොමද? (ආ) රැස්වීම්වලදී අපි ගීතිකා ගායනා කරන්නේ ඇයි? (“දෙවි යෙහෝවාට ප්‍රශංසා ගී” යන කොටුව බලන්න.)

18 සේවා රැස්වීම. 1919 ඉඳලම සේවය සංවිධානය කරන්න රැස්වීම් පවත්වලා තියෙනවා. හැබැයි මුලදී ඒකට හවුල් වෙලා තියෙන්නේ පොත් පත් බෙදාහැරපු අය විතරයි. 1923දී මාසයකට වතාවක් සේවා රැස්වීම පවත්වන්න පටන්ගත්තාම සභාවේ හැමෝටම ඒකට සහභාගි වෙන්න කියලා දැනුම් දීලා තියෙනවා. 1928දී සේවා රැස්වීම හැම සතියකම පවත්වන්න කියලා සභාවලට දැනුම් දීලා තිබුණා. ඒ වගේම 1935 ‘මුරටැඹ’ සඟරාවකින් හැමෝටම දිරිගැන්නුවා “ඩිරෙක්ට” පත්‍රිකාවේ (කලින් “ඉන්ෆෝමන්ට්” කියලත් පස්සේ ‘අපගේ රාජ්‍ය සේවාව’ කියලත් හැඳින්නුවා) තියෙන මඟ පෙන්වීම්වලට අනුව ඒ රැස්වීම පවත්වන්න කියලා. වැඩි කාලයක් යන්න කලින් සේවා රැස්වීම සාක්ෂිකරුවන් නොකඩවා පවත්වපු රැස්වීම් අතරට අයිති වුණා.

19 අපේ සේවය කරන්න ඕන විදිහ ගැන අද අපිට මඟ පෙන්වීම් ලැබෙන්නේ සතිය මැද පවත්වන රැස්වීමෙනුයි. (මතෙ. 10:5-13) ඒ රැස්වීමට අදාළ වැඩපොත ලැබුණාම ඔබ ඒක හොඳින් අධ්‍යයනය කරනවාද? සේවයේ යද්දී ඒ තොරතුරු අදාළ කරගන්නවාද?

වසරේ වැදගත්ම රැස්වීම

මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීන් සභාවක් විදිහට ක්‍රිස්තුස්ගේ මරණය සිහි කරමින්

පළවෙනි සියවසේ ඉඳන් ක්‍රිස්තියානීන් අවුරුද්දට සැරයක් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කරන්න එකට එකතු වුණා (20 ඡේදය බලන්න)

20-22. (අ) අපි යේසුස්ගේ මරණය සිහි කරන්නේ ඇයි? (ආ) හැම අවුරුද්දකම ඒ සැමරීමට හවුල් වෙද්දී ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

20 තමන්ගේ මරණය සිහි කරන්න කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා. අතීතයේදී පාස්කු උත්සවය පැවැත්වුවා වගේ ක්‍රිස්තුස්ගේ මරණය සිහි කරන්නෙත් අවුරුද්දට එක සැරයයි. (1 කොරි. 11:23-26) හැම අවුරුද්දකම ඒක සමරන්න මිලියන ගණන් සෙනඟක් සහභාගි වෙනවා. ඒක සමරද්දී දෙවිගේ රාජ්‍යයේ පාලකයන් විදිහට සේවය කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදය ගැන අභිෂේක ලත් අයට මතක් වෙනවා. (රෝම 8:17) ඒ වගේම දෙවිගේ රාජ්‍යයේ රජුට දක්වන පක්ෂපාතකම සහ ගෞරවය තව තවත් වැඩි කරගන්න වෙනත් බැටළුවන්ට අවස්ථාව ලැබෙනවා.—යොහ. 10:16.

21 ස්වාමීන්ගේ මරණය සිහි කරන එක හුඟක් වැදගත් කියලත් ඒක පවත්වන්න ඕන අවුරුද්දට සැරයක් කියලත් සහෝදර රසල් සහ ඔහුගේ මිතුරන් තේරුම්ගත්තා. 1880 අප්‍රියෙල් ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණු මේ දේ බලන්න. “පිට්ස්බර්ග්වල ඉන්න හුඟදෙනෙක් අවුරුදු ගාණක් තිස්සේ . . . පාස්කු උත්සවය [යේසුස්ගේ මරණය සිහි කිරීම] සමරද්දී ස්වාමීන්ගේ ශරීරයත් රුධිරයත් නියෝජනය කරන සංකේත අරන් තියෙනවා.” වැඩි කාලයක් යන්න කලින් සමුළුවලදී යේසුස්ගේ මරණය සිහි කරන්න පටන්ගත්තා. ඒ විදිහට පවත්වපු සමුළු අතරින් මුලින්ම වාර්තා වෙලා තිබුණේ 1889දී පවත්වපු සමුළුව ගැනයි. 225දෙනෙක් ඇවිත් හිටිය ඒ සමුළුවේදී 22දෙනෙක් බව්තීස්ම වෙලා තියෙනවා.

22 දැන් අපි යේසුස්ගේ මරණය සිහි කරන්නේ සමුළුවලදී නෙවෙයි. ඒ වෙනුවට අපේ නමස්කාර මධ්‍යස්ථානවල නැත්නම් වෙනත් ශාලාවක. ඒකට සහභාගි වෙන්න කියලා අපේ සභාවට අයිති ප්‍රදේශයේ ඉන්න හැමෝටම අපි ආරාධනා කරනවා. 2013දී යේසුස්ගේ මරණය සිහි කරන්න මිලියන 19කට වඩා වැඩිදෙනෙක් සහභාගි වෙලා තිබුණා. ඒ වැදගත් සැමරීමට හවුල් වෙන්න වගේම ඒකට සහභාගි වෙන්න කියලා අනිත් අයටත් ආරාධනා කරන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව මොන තරම් වරප්‍රසාදයක්ද! හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කරද්දී ඒකට හවුල් වෙන්න කියලා ඔබත් හැකි උපරිමයෙන් මිනිසුන්ට ආරාධනා කරනවාද?

රැස්වීම්වලට සහභාගි වෙද්දී අපි ගැන හෙළි වෙන දේ

23. නමස්කාර කරන්න එකට එකතු වෙන එක ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

23 එකට රැස් වෙන්න කියලා දීලා තියෙන මඟ පෙන්වීම යෙහෝවා දෙවිගේ සේවකයන් බරක් විදිහට සලකන්නේ නැහැ. (හෙබ්‍රෙ. 10:24, 25; 1 යොහ. 5:3) උදාහරණයකට දාවිත් රජ දෙවිට නමස්කාර කරන්න දෙවිගේ ගෘහයට ගියේ හරිම සතුටින්. (ගීතා. 27:4) දෙවිට ප්‍රේම කරන සෙනඟත් එක්ක එකට ඉන්න ඔහු හුඟක් ආස වුණා. (ගීතා. 35:18) යේසුස් ඒ සම්බන්ධයෙන් අපිට හොඳ ආදර්ශයක් තියලා තියෙනවා. යෞවන කාලයේදී ඉඳලා දෙවිගේ ගෘහයට ගිහින් දෙවිට නමස්කාර කරන්න ඔහුට ලොකු ආසාවක් තිබුණා.—ලූක් 2:41-49.

රැස්වීම්වලට සහභාගි වෙද්දී අපි දෙවිගේ රාජ්‍යය ඇත්තක් විදිහට සලකනවා කියලා ඔප්පු වෙනවා

24. රැස්වීම්වලට සහභාගි වෙද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

24 රැස්වීම්වලට සහභාගි වෙද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද? අපි යෙහෝවා දෙවිට හුඟක් ආදරෙයි කියලත් අපේ සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න අපි කැමතියි කියලත් පෙන්වන්න අපිට ඒකෙන් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන් විදිහට ජීවත් වෙන්න ඕන විදිහ ගැන ඉගෙනගන්න අපිට තියෙන ආසාව ගැනත් ඒකෙන් හෙළි වෙනවා. අපේ රැස්වීම්වලිනුත් සමුළුවලිනුත් මූලිකවම අපිව පුහුණු කරන්නේ ඒ දේටම තමයි. ඒ වගේම දිගටම දේශනා සේවයේ හවුල් වෙලා මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න අපිට ඕන කරන පුහුණුවත් ශක්තියත් රැස්වීම්වලින් ලැබෙනවා. (මතෙව් 28:19, 20 කියවන්න.) දේශනා සේවය දෙවිගේ රාජ්‍යයේ මඟ පෙන්වීම යටතේ පොළොවේ සිද්ධ වෙන හුඟක් වැදගත් දෙයක්. අපි කැමැත්තෙන්ම රැස්වීම්වලට සහභාගි වෙද්දී අපි දෙවිගේ රාජ්‍යය ඇත්තක් විදිහට සලකනවා කියලත් ඔප්පු වෙනවා. රැස්වීම් ගැන අපිට තියෙන අගය නැති වෙන්න කිසිම දේකට ඉඩ නොදී ඉන්න අපි උපරිමයෙන් වෑයම් කරමු.

a සභාවේ පවත්වන රැස්වීම්වලට අමතරව පවුලේ නමස්කාරයට නැත්නම් පෞද්ගලික අධ්‍යයනයට වෙලාව වෙන් කරගන්න කියලා හැමෝටම දිරිගන්වලා තියෙනවා.

b 2013 වෙද්දී බයිබල් දේශන ඉදිරිපත් කරන්න දළ සටහන් 180කටත් වඩා වැඩියෙන් ලැබිලා තිබුණ

c ඉංග්‍රීසියෙන්.

d ඉංග්‍රීසියෙන්.

දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?

  • අපි එකට රැස් වෙන්නේ ඇයි?

  • රැස්වීම් අතරෙන් ඔබ වැඩියෙන්ම කැමති මොන රැස්වීමටද? ඒ ඇයි?

  • රැස්වීම්වලට සහභාගි වෙද්දී ඒකෙන් ඔබ ගැන හෙළි වෙන්නේ මොනවාද? පැහැදිලි කරන්න.

සමුළුවකදී ලැබුණු ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය අතැතිව සිටින පිරිසක්

දෙවිගේ සෙනඟව එක්සත් කරන වාර්ෂික සමුළු

අවුරුද්දට තුන් වතාවක් යෙරුසලමට යන්න කියලා ඊශ්‍රායෙල් පුරුෂයන්ට යෙහෝවා දෙවි කියලා තිබුණා. (නික්. 23:14-17; ලෙවී. 23:34-36) ඒකට කීකරු වුණු යෝසෙප්, යේසුස්වත් පවුලේ අනිත් අයවත් එක්කගෙන විශේෂ උත්සව පවත්වන්න යෙරුසලමට ගියා. අනිත් පුරුෂයනුත් ඒ දේම කළා. ඒ අය වගේ අද ඉන්න දෙවිගේ සෙනඟත් අවුරුද්දට තුන් වතාවක් සමුළු පවත්වනවා. ඒ සමුළුවලදී සිද්ධ වුණු සමහර කැපීපෙනෙන දේවල් දෙවිගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටසේ වර්ධනයට හේතු වෙලා තියෙනවා. ඒ අතරින් කිහිපයක් බලමු.

  • 1919: ඇමරිකා එක්සත් ජනපදයේ ඔහයෝ ප්‍රාන්තයේ සීඩා පොයින්ට්

    පළවෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ මුල්ම වතාවට පවත්වපු ලොකුම සමුළුව වුණේ මේකයි.

    දේවසේවය ආපහු පටන්ගත්තා.

    ‘රන්වන් යුගය’ (‘පිබිදෙව්!’) සඟරාව ප්‍රකාශයට පත් කරනවා කියලා දැනුම් දුන්නා.

  • 1922: ඔහයෝ ප්‍රාන්තයේ සීඩා පොයින්ට්

    “දෙවිගේ රාජ්‍යය” කියන මාතෘකාවෙන් ඉදිරිපත් කරපු දේශනයේදී “රජු සහ ඔහුගේ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න” කියලා සඳහන් කළා. ඒ දේශනයෙන් සේවයේ හවුල් වෙන්න හැමෝවම දිරිගැන්නුවා.

  • 1931: ඔහයෝ ප්‍රාන්තයේ කොලොම්බස්

    අපිව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන නමින් හඳුන්වන්න පටන්ගත්තා.

  • 1935: වොෂිංටන් ඩී. සී.

    එළිදරව් 7:9 “මහත් සමූහය” විදිහට හඳුන්වලා තියෙන්නේ පොළොවේ සදහටම ජීවත් වෙන අයව කියලා පැහැදිලි කළා.

  • 1942: ලෝකෙ විවිධ නගර 85ක දෙවි ගෙනෙන නව ලොව කියන තේමාවෙන් පවත්වපු සමුළුව

    “සාමය සැමදා පවතීද?” යන තේමාවෙන් දීපු දේශනයේදී එළිදරව් 17වෙනි පරිච්ඡේදයේ සඳහන් අනාවැකියේ අදහස පැහැදිලි කළා. ඒ අනාවැකියට අනුව දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ දෙවිගේ රාජ්‍යයේ යටත්වැසියන් ගණන වැඩි වෙනවා කියලා දැනුම් දුන්නා.

  • 1950: දෙවිගේ පාලනය ව්‍යාප්ත වේ කියන තේමාවෙන් පවත්වපු සමුළුව

    ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය’ මුදාහැරියා.

  • 1958: දෙවිගේ කැමැත්ත කියන තේමාවෙන් පවත්වපු සමුළුව

    නිව් යෝර්ක්වල පවත්වපු ඒ ජාත්‍යන්තර සමුළුවට තමයි මුල්ම වතාවට වැඩිම පිරිසක් සහභාගි වුණේ. ඒකට රටවල් 123කින් 2,50,000කට වඩා වැඩිදෙනෙක් ඇවිත් හිටියා.

  • 1961: එක්සත් නමස්කාරයේ හවුල් වෙන්නන් කියන තේමාවෙන් පවත්වපු සමුළුව

    ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ තනි වෙළුමක් හැටියට මුදාහැරියා.

  • 1992: “ආලෝකය දරන්නෝ” කියන තේමාවෙන් පවත්වපු සමුළුව

    ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පවත්වපු ඒ සමුළුව තමයි රුසියාවේ පවත්වපු මුල්ම ජාත්‍යන්තර සමුළුව.

  • 1993: යුක්රේනයේ කීව්වල “දිව්‍ය ඉගැන්වීම්” කියන තේමාවෙන් පවත්වපු සමුළුව

    ඒ සමුළුවේදී 7,402ක් බව්තීස්ම වුණා. ඒ තරම් ප්‍රමාණයක් බව්තීස්ම වෙලා තියෙන්නේ ඒ සමුළුවේදී විතරයි.

  • 2011: “දෙවිගේ රාජ්‍යය පැමිණේවා!” කියන තේමාවෙන් පවත්වපු සමුළුව

    දානියෙල් 2වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන රූපයේ අර්ථය ගැන අපිට හරියටම අවබෝධ වුණේ ඒ සමුළුවේදියි. යකඩ සහ මැටි මිශ්‍ර පාද කොටසින් අදහස් වෙන්නේ බ්‍රිතාන්‍ය-ඇමරිකානු ලෝක අධිරාජ්‍යය කියලා අපි තේරුම්ගත්තා. දෙවිගේ රාජ්‍යයෙන් ඒ රූපය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන මොහොත වෙන කල්ම ඒ අධිරාජ්‍යය බලයේ ඉන්නවා.

  • 2014: “නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න!” කියන තේමාවෙන් පවත්වපු සමුළුව

    ක්‍රිස්තුස් ස්වර්ගයේ රජකම් කරන්න පටන් අරන් වසර 100ක් ගෙවුණු එක කාවැද්දුවා.

යේසුස් සහ ගෝලයන් දෙවිට ප්‍රශංසා ගී ගයමින්

දෙවි යෙහෝවාට ප්‍රශංසා ගී

යෙහෝවා දෙවිට තියෙන භක්තිය ප්‍රකාශ කරන්න ඔහුගේ සෙනඟ ගීතිකා ගායනා කරන්නේ හරිම සතුටින්. ඒ ගීතිකා අතරට යෙහෝවා දෙවිට ගයන ගීතිකා වගේම යෙහෝවා දෙවි ගැන කියවෙන ගීතිකාත් ඇතුළත් වෙනවා. යෙහෝවා දෙවි රතු මුහුද දෙබෑ කරලා ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවරුන්ගෙන් ගලවාගත්ත වෙලාවේ ඊශ්‍රායෙල්වරු දෙවිට ස්තුති කරන්න ගී ගායනා කළා. (නික්. 15:1-21) කාලයක් යද්දී ගී ගායනා කරන එක දේවමාලිගාවේදී යෙහෝවා දෙවිට කරපු නමස්කාරයේ වැදගත් අංගයක් වුණා. (1 ලේක. 23:4, 5; 25:7) දෙවිට ස්තුති ප්‍රශංසා කරන්න යේසුස් සහ ඔහුගේ ගෝලයනුත් ගී ගායනා කරලා තියෙනවා.—මතෙ. 26:30; එෆී. 5:19.

සහෝදර රසල් සහ ඔහුගේ මිතුරන් සත්‍යය ගැන හොයන්න පටන්ගත්ත කාලයේ ඉඳන් අද වෙන කල් දෙවිගේ සෙනඟ ඔහුට නමස්කාර කරද්දී විවිධ ගීතිකා ඇතුළත් පොත් කිහිපයක්ම පාවිච්චි කරලා තියෙනවා. ගීතිකා ගායනා කරන එකේ තියෙන වටිනාකම ගැන 1896 පෙබරවාරි 15 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණේ මෙහෙමයි. “සත්‍ය ඉගැන්වීම් හිතේ රඳවාගැනීමට හොඳම ක්‍රමයක් වන්නේ ඒවා ගීතිකාවලට හරවා ගායනා කිරීමයි.”

Cover of the book Songs of the Bride, 1879

1879

Cover of the book Poems and Hymns of Millennial Dawn, 1890

1890

Sheet music with lyrics for the song The Shining Light, from Zion’s Glad Songs of the Morning, 1896

1896

Cover of the book Zion’s Glad Songs, 1900

1900

Cover of the book Hymns of the Millennial Dawn, 1905

1905

Cover of Kingdom Hymns, 1925

1925

Cover of the book Songs of Praise to Jehovah, 1928

1928

Cover of the book Kingdom Service Song Book, 1944)

1944

Cover of the book Songs to Jehovah’s Praise, 1950

1950

1966දී ප්‍රකාශයට පත් කළ “ඔබගේ හෘදයේ සංගීතයෙන් යුක්තව ගායනයෙන් හවුල් වීම” ගීතිකා පොතේ කවරය

1966

1984දී ප්‍රකාශයට පත් කළ යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න ගීතිකා පොතේ කවරය

1984

ගයමු ගී දෙවි යෙහෝවාට ගීතිකා පොතේ කවරය

දැන්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න