ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/01 3-6 පි.
  • ඔබටත් ඉදිරිපත් විය හැකිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබටත් ඉදිරිපත් විය හැකිද?
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • මෙය ඔබට තෝරාගත හැකි හොඳම ජීවිත මඟ විය හැකිද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “දෙවියන්වහන්සේගේ ගෘහය” දෙස අගය කිරීමෙන් යුක්තව බැලීම
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි කරන සේවය දෙවියන් අමතක කරන්නේ නැහැ
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාදර ඇරයුමයි!
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2001 අපගේ රාජ්‍ය සේවාව
km 6/01 3-6 පි.

ඔබටත් ඉදිරිපත් විය හැකිද?

1 පොදු යුගයට පෙර 778 එක් දවසක සුවිශේෂ වූ දෙයක් සිදු වුණා. “[යෙහෝවා] උස්වූ උසස්වූ සිංහාසනයක වැඩ සිටිනවා” අනාගතවක්තෘ යෙසායා දර්ශනයකින් දකියි. යෙහෝවාගේ මහිමය අවධානයට ලක් කරවමින් සෙරාප්වරු මෙසේ පවසනවා යෙසායාට ඇසෙයි. “සේනාවල [යෙහෝවා] ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.” එය මොනතරම් ගරුබිය දනවන දර්ශනයක්ද! එම දර්ශනයේදී යෙහෝවා මෙම අභියෝගාත්මක ප්‍රශ්නය නඟයි. “මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුද?” පැවරුම මොන වගේ එකක්ද කියාවත්, සිය කැමැත්තෙන්ම මෙම පැවරුම බාරගන්න තැනැත්තාට ඉන් අත් වන්නේ මොන වගේ ප්‍රයෝජනද කියාවත් මෙහි පැහැදිලි කර නැහැ. ඒ වුණත්, හිත හිත ඉන්නේ නැතිව යෙසායා මෙසේ ප්‍රතිචාරය දක්වයි. “මෙන්න මම මෙහිය: මා යැවුව මැනව.”—යෙසා. 6:1, 3, 8.

2 යෙහෝවා ඉල්ලා සිටින ඕනෑම දෙයක් කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වීම ඔහුගේ සෙනඟගේ ලක්ෂණයකි. (ගීතා. 110:3) ඉදිරිපත් වීමට කැමති අයට මේ කාලයේදී විශේෂ ඇරයුමක් කෙරෙයි. යෙසායා වගේ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙමින් එම ආරාධනාව පිළිගන්න ඔබ කැමතිද?

3 බෙතෙල්හි සේවය කිරීම සඳහා සහෝදරයන් අවශ්‍යයි. මෙය දිනෙන් දින වැඩි වෙමින් පවතින අවශ්‍යතාවක්. මෙම පැවරුම බාරගැනීමට කැමති සහෝදරයන් තුළ රාජ්‍යයට මුල්තැන දීමට දැඩි ආශාවක් තිබිය යුතු අතර, ලොව පුරා සිදු කෙරෙන දේශනා කිරීමේ කාර්යයට සහය වීමේදී කරන්න තිබෙන ඕනෑම දෙයක් කිරීමට කැමති විය යුතුයි. (මතෙ. 6:33) ඇත්තෙන්ම, බෙතෙල් පවුලේ සාමාජිකයෙකු වීම, යෙහෝවාට ආත්ම පූර්ණ සේවයක් කරන්න ලැබෙන සුවිශේෂ ප්‍රස්තාවකි. බෙතෙල්හි එවන් සේවයක් යෙහෝවාට පිරිනැමිය හැක්කේ කෙසේද?

4 බෙතෙල්හි කෙරෙන සේවය: අමෙරිකා එක්සත් ජනපදයේ බෘක්ලින්, පැටර්සන් හා වොල්කිල්, නියූ යෝක් යන ස්ථානවල පිහිටි බෙතෙල් සංකීර්ණ තුනෙහි නිතිපතා සිදු කෙරෙන වැඩ ගැන සිතා බලන්න. මේ බෙතෙල් සංකීර්ණ තුනෙහි සහෝදර සහෝදරියන් 5,730දෙනෙක් සේවය කරනවා. බෙතෙල් පවුලේ මෙම සාමාජිකයන් භුක්ති විඳින වරප්‍රසාදයක් වන්නේ ලොව පුරා ක්ෂේත්‍රයේදී බෙදාහැරීමට මෙන්ම සාක්ෂිකරුවන්ගේ අධ්‍යයනය සඳහා බයිබල් හා බයිබලය මත පදනම් පොත් පත් ප්‍රකාශයට පත් කිරීමේදී, විශ්වාස වූ නුවණ ඇති දාසයා සහ එහි පාලක මණ්ඩලය සමඟ සමීපව වැඩ කරමින් ඔවුන්ට සහය වීමට හැකිවීමයි. (මතෙ. 24:45) උදාහරණයක් හැටියට, එක්සත් ජනපද බෙතෙල් පවුලේ සාමාජිකයන්ගේ සාමූහික වෑයමේ ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය සේවා වසරේදී පොත් 2,43,64,670ක්ද, පොත් පිංච හා විවරණිකා 3,98,13,464ක්ද, සඟරා 27,05,28,000ක්ද, ශ්‍රව්‍ය කැසට් පට 12,71,041ක්ද ප්‍රකාශයට පත් කර ලොව පුරා බෙදාහැරීමට හැකි විය. මේ ප්‍රකාශන පිළියෙළ කිරීම සඳහා ‘ප්‍රිය වචන හා හරි වූ සත්‍යය වූ කාරණා’ සෝදිසි කර බලා තෝරාගැනීමට මහත් වෑයමක් දරයි. (දේශ. 12:9, 10) ලොව පුරා පරිවර්තකයන් 1,900කට වඩා වැඩි පිරිසක් සිටින අතර, භාෂා 300කට වඩා වැඩි ගණනකින් පොත් පත් ප්‍රකාශයට පත් කිරීමේ කාර්යයට උර දෙමින් සිටින ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම්ද සපයයි. ලොව පුරා පිහිටි ශාඛා කාර්යාල 111 මගින් සිදු කරන වැඩකටයුතු සම්බන්ධීකරණය කිරීමේදී බොහෝ දේවල් සිදු කෙරෙයි. ශ්‍රී ලංකාවේ තිබෙන සභා හා කණ්ඩායම් 75දඑයට ඇතුළත් වෙයි. බෙතෙල් නිවාස මෙන්ම එක්රැස්වීම් ශාලා ඉදි කිරීම් කටයුතුවල හවුල් වන හා ඒවා සැලසුම් කරන ශාඛා කාර්යාලවලට අවශ්‍ය උපකාරද සපයයි. සම්පත් හිඟ රටවල දැනට රාජ්‍ය ශාලා 15,248ක අවශ්‍යතාවක් තිබෙනවා. පොත් පත් මුද්‍රණය කිරීම හා නැව්ගත කිරීම, පිරිසිදු කිරීම, නඩත්තු කිරීම, ආහාර පිළියෙළ කිරීම, භාණ්ඩ මිල දී ගැනීම, සෞඛ්‍ය ආරක්ෂක කටයුතු හා බෙතෙල්හි සිදු කෙරෙන තවත් බොහෝ වැඩ සඳහා සියගණන් ස්වෙච්ඡා සේවකයන් අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ සියලුම සභාවල අවශ්‍යතා සපුරාලන ශ්‍රී ලංකා බෙතෙල් නිවසේද විශාල වැඩක් සිදු කෙරෙනවා. අපේ ආත්මික අවශ්‍යතා සපුරාලීම සඳහා පරිවර්තන අංශය වෙහෙස නොබලා වැඩ කරයි. ලොව පුරා සිදු කෙරෙන රාජ්‍ය වැඩකටයුතු ගැන අපට හොඳ අවබෝධයක් තිබෙනවා නම්, යෙහෝවාගේ සෙනඟ වෙනුවෙන් සිදු කෙරෙන සියලුම වැඩ අගය කරන්න අපි තුළ පෙලඹීමක් ඇති වනවා නිසැකයි.

5 බෙතෙල් නිවාසවල සිදු කෙරෙන වැඩය අතිමහත් වුවත්, එහි හවුල් වීමෙන් ආත්මිකව මහත් තෘප්තියක් ලැබිය හැකියි. අපේ මුළු ශක්තිය යොදවන්නේ දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කටයුතුවලට සහය වීම සඳහා බව දැන සිටීමෙන් අප ලබන්නේ මහත් ප්‍රීතියක්. යෙහෝවාගේ සංවිධානය වඩාත් හොඳින් හඳුනාගැනීමට බෙතෙල්හි සිදු කෙරෙන සේවය අපට උපකාරවත් වෙනවා. ඉශ්‍රායෙල්වරුන්ගේ කාලයේ තිබූ දිව්‍ය පාලනයේ භූමික මධ්‍යස්ථානය වඩාත් හොඳින් හඳුනාගන්න කියා ගීතිකාකරු ඔවුන්ව දිරිගැන්වූ ආකාරය අපට මෙහිදී මතක් වෙයි.—ගීතා. 48:12, 13.

6 බෙතෙල් සේවයේ ආශීර්වාද: තමන් භුක්ති විඳින වරප්‍රසාදය ගැන බෙතෙල්හි සේවය කරන අයට හැඟෙන්නේ කෙසේද? බෙතෙල් පවුලේ තරුණ හා වැඩිහිටි සාමාජිකයන් පවසන පහත සඳහන් දේවල් සැලකිල්ලට ගන්න. බෙතෙල් පවුලේ එක් සාමාජිකාවක් වසර තුනක සිට බෙතෙල්හි කරන තම සේවය ගැන මෙසේ පැවසුවා. “බෙතෙල්හි සේවය කරන්න ලැබීම නිසා යෙහෝවා සමඟ තිබෙන මගේ සබඳතාව ශක්තිමත් වෙලා තියෙනවා. තව කාලයක් මෙහෙ සේවය කරද්දී බෙතෙල් එකක් ක්‍රියාත්මක වන ආකාරය ගැන මට තවත් ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම යෙහෝවාගේ පෞද්ගලිකත්වය ගැන වැඩි වැඩියෙන් ඉගෙනගන්නත් පුළුවන්. යෙහෝවා විවිධ පුද්ගලයන්ව ඔහුගේ වැඩකටයුතු සඳහා යොදාගන්න ආකාරය හොඳින් දකින්න බෙතෙල් සේවය මට උපකාරවත් වෙලා තියෙනවා. යෙහෝවාට පිළිගත හැකි පුද්ගලයෙක් වෙන්න සම්පූර්ණ පුද්ගලයෙක් වෙන්නම අවශ්‍ය නැහැ.”

7 යෞවන සහෝදරයෙක් මෙසේ පවසනවා. “දවසක් මට මේ වගේ හිතුණා. ‘රැකියාවක් කරල ධනවත් වෙන්න උත්සාහ කරන්නේ නැතුව, මම බෙතෙල් එකේ අවුරුදු ගණනාවක් සේවය කළා කියල නව ලොවේදී නැවත නැඟිටින පුරාණ ඇදහිලිවන්තයන්ට කියන්න මට හැකි වුණොත් මට දැනෙන සතුට කියල නිම කරන්න බැරි වේවි.’”

8 තමන්ට ලැබුණු පුහුණුව ගැන තරුණ සහෝදරයෙක් මෙසේ පවසනවා. “මට මාවම හොඳින් තේරුම්ගැනීමෙන් හා දියුණු කරගත යුතු ගුණාංග දියුණු කරගැනීමෙන් මම හුඟාක් ප්‍රයෝජන ලබලා තියෙනවා. යෙහෝවාට සේවය කරන්න මම දැන් හොඳ තත්වයක ඉන්නවා කියලා මට හැඟෙනවා. ඉවසිලිවන්තකම, ආත්ම දමනය වගේ ගුණාංග වෙනදාට වඩා වැඩියෙන් මා තුළ තිබෙනවා කියලත් මම දැන් අනිත් අයට වැඩියෙන් ප්‍රේමය පෙන්වනවා කියලත් මට දැනෙනවා.”

9 මේ දක්වා බෙතෙල් සේවයෙන් තමන් අද්දැක තිබෙන ආශීර්වාද ගැන සහෝදරියක් මෙසේ පවසනවා. “යෙහෝවා ගැනත් ඔහුව අනුකරණය කරමින් සිතුවිලි, හැඟීම් හා ක්‍රියාවන් සකස් කරගත හැකි ආකාරය ගැනත් වැඩියෙන් ඉගෙනගන්න බෙතෙල් එකේ තිබෙන ආත්මික වැඩසටහන් මට උපකාරවත් වෙලා තියෙනවා. දිගටම පුහුණුව ලැබෙනවා වගේම ආශීර්වාදත් දිගටම භුක්ති විඳින්න පුළුවන්.”

10 පූර්ණ කාලීන සේවය කර තිබෙන අවුරුදු 59න් අවුරුදු 43ක්ම බෙතෙල්හි සේවය කර තිබෙන සහෝදරයෙක් මෙසේ පැවසුවා. “සමහර අය හිතන්න පුළුවන් බෙතෙල් එක පූජකාරාමයක් වගේ කියල. ඇත්තෙන්ම බෙතෙල් එක ඒ වගේ තැනක් නෙමෙයි. අපි මෙහෙ ජීවිතය ගත කරන්නේ කාලසටහනකට අනුව නිසා අපිට ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. . . . මම බෙතෙල් එකේ කරපු වැඩවලින් සතුටට පත් වුණේ නැති දවසක් නැහැ. ඒකට හේතුව අපි යෙහෝවාට සේවය කරන්න අපව මුළුමනින්ම යොදවා තිබීමයි. ‘අපි විසින් කළ යුතුව තිබුණු දේ කළා’ කියන හැඟීම ඇති වෙන නිසා අපි ලොකු තෘප්තියක් ලබනවා.”—ලූක් 17:10.

11 අවුරුදු 62ක් තිස්සේ බෙතෙල්හි සේවය කරන තවත් සහෝදරයෙක් මෙසේ පැවසුවා. “අනාගතයේදී පොළොව පාරාදීසයක් වෙන්න කලින් මේ පොළොවේ ජීවත් වෙන්න තියෙන හොඳම තැන බෙතෙල් එක කියල මම දැඩි ලෙස විශ්වාස කරනවා. පූර්ණ කාලීන සේවය තෝරාගැනීම ගැන මම කවදාවත් එක මොහොතක්වත් කනගාටු වෙලා නැහැ. යෙහෝවාගේ භූමික සංවිධානයේ සිදු වන මහත් වර්ධනය දැකගන්න ලැබීමෙනුත් ඒකට හවුල් වෙන්න ලැබීමෙනුත් ඇති වන සතුට කියා නිම කරන්න බැහැ! යෙහෝවාගේ උපකාරය ඇතුව දිගටම බෙතෙල් එකේ සේවය කරමින් රාජ්‍ය කටයුතුවල වර්ධනයට හැකි උපරිමයෙන් හවුල් වීම මගේ අධිෂ්ඨානයයි.”

12 බෙතෙල් පවුලේ මෙම සාමාජිකයන් සඳහන් කළේ, බෙතෙල්හි සේවය කරන්න ඔබ ඉදිරිපත් වුණොත් ඔබට භුක්ති විඳින්න ලැබෙන බොහෝ ආශීර්වාදවලින් ටිකක් ගැන පමණයි. ඒත් ඕනෑම සේවා වරප්‍රසාදයක් භුක්ති විඳීම සඳහා යම් සුදුසුකම් තිබිය යුතු වන්නාක් මෙන් බෙතෙල්හි සේවය කිරීම සඳහාද මුලින්ම ඔබට සුදුසුකම් තිබිය යුතුයි. බෙතෙල් පවුලේ සාමාජිකයෙකු වශයෙන් සේවය කිරීමට තිබිය යුතු සුදුසුකම් සමහරක් මොනවාද?

13 බෙතෙල් සේවය සඳහා සුදුසුකම්: බෙතෙල් සේවය සඳහා අයදුම් කරන අයට තිබිය යුතු මූලික සුදුසුකම් මේ ලිපිය සමඟ තිබෙන කොටුවේ සඳහන් වෙනවා. එම සුදුසුකම්වලට අමතරව, ඔවුන් ක්‍රියාශීලීව වැඩ කිරීමට කැමති විය යුතු අතර ‘සැපසෙල්ලමට ප්‍රේම කරන්නන්’ නොවිය යුතුයි. (2 තිමෝ. 3:4; 1 කොරි. 13:11) බෙතෙල් පවුලේ සාමාජිකයන් වන අය හොඳ පෞද්ගලික අධ්‍යයන පුරුදු දියුණු කරගෙන තිබෙන, ‘හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීමේ’ තම හැකියාවන් හොඳින් පුහුණු කරගෙන තිබෙන ආත්මික පුරුෂයන් හා ස්ත්‍රීන් විය යුතුයි. (හෙබ්‍රෙ. 5:14, NW) තමන් දැනටමත් ක්‍රිස්තියානි මේරුභාවය කරා ළඟා වී තිබෙන බව ඔවුන් තම ඇඳුම් පැළඳුම්, හිසකෙස් සකස් කරන ආකාරය මෙන්ම තෝරාගන්න සංගීතය හා විනෝදාස්වාද යනාදිය ඇතුළුව තමන්ගේ ජීවිතයේ සෑම පැත්තකින්ම පෙන්වා තිබෙන අය විය යුතුයි. සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වන බෙතෙල් පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ සේවය අවශ්‍ය කරන ඕනෑම තැනක වැඩ කිරීමට කැමැත්තෙන් සිටියි. සාමාන්‍යයෙන් බෙතෙල් පවුලේ යෞවන සාමාජිකයන්ට පැවරෙන්නේ කය වෙහෙසා කළ යුතු වැඩයි. පොත් පත් මුද්‍රණය හා නැව්ගත කිරීම, නඩත්තු කිරීම්, බෙතෙල් නිවස පවිත්‍ර කිරීම, රෙදි සේදීම හා මැදීම මෙන්ම ආහාර පිළියෙළ කිරීම වැනි දේවල් එම පැවරුම්වලට අයත් වෙනවා. (හිතෝ. 20:29) ඒ වුණත්, ලෞකික රැකියාවක් වගේ නොවෙයි, බෙතෙල්හි තමන්ට ලැබෙන ඕනෑම පැවරුමක් මගින් මහත් තෘප්තියක් ලබන්න පුළුවන්. මොකද සෑම පැවරුමක්ම අයත් වන්නේ යෙහෝවාව මහිමයට පත් කරවන පරිශුද්ධ සේවයටයි.—කොලො. 3:24.

14 බෙතෙල්හි සේවය කිරීම සඳහා ආරාධනා කරනු ලබන අය අඩුම තරමින් එහි අවුරුද්දක්වත් සිටිය යුතුයි. තමන්ට ලැබෙන වැඩ ඵලදායී ලෙස කිරීම සඳහා එම කාලය තුළ ඔවුන්ව පුහුණු කරනු ලබනවා. මෙම පුහුණුවෙන් අපේක්ෂා කරන්නේ බෙතෙල් නිවස තමන්ගේම නිවස කරගැනීමට නවක සාමාජිකයන්ට උපකාර කිරීමයි. පෞද්ගලික කාරණාවලට නොව, රාජ්‍යයේ වැඩකටයුතුවලට මුල්තැන දීමට බෙතෙල් පවුලේ සාමාජිකයන්ව පොලඹවන්නේ යෙහෝවා කෙරෙහි ඔවුන් තුළ තිබෙන ප්‍රේමයයි. ඔවුන් එසේ රාජ්‍ය වැඩකටයුතුවලට මුල් තැන දී වැඩ කරන විට, යෙහෝවා ඒ ගැන හුඟාක් සතුටු වෙයි.—මතෙ. 16:24.

15 වත්මන් අවශ්‍යතා: බෙතෙල්හි සිදු කෙරෙන වැඩවල ස්වභාවය අනුව, අපගේ මූලික වත්මන් අවශ්‍යතාව වන්නේ තනිකඩ සහෝදරයන්ය. ස්ථාවර පුරෝගාමියෙකු වීම සුදුසුකමක් නොවුණත්, එවැනි කෙනෙකු දැනටමත් පූර්ණ කාලීන සේවයේ නිරත වන නිසා බෙතෙල් අයදුම්කරුවන්ව තෝරාගැනීමේදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ ඔවුන්ටයි. බෙතෙල්හි සිදු කෙරෙන ඇතැම් වැඩ සඳහා අවශ්‍ය කරන විශේෂ හැකියාවන් තිබෙන වයස අවුරුදු 19ත් 35ත් අතර තනිකඩ සහෝදරියන්ට හා විවාහක යුවළයන්ට ඇතැම් අවස්ථාවලදී බෙතෙල්හි සේවය කිරීමේ ප්‍රස්තාව විවෘත විය හැකියි. මීට අමතරව, බෙතෙල් සේවය සඳහා යොදාගත හැකි විශේෂ දක්ෂතා හා පුහුණුවක් ලබා තිබෙන අවුරුදු 35ට ටිකක් වැඩි සහෝදර සහෝදරියන්ටද බෙතෙල් සේවය සඳහා අයදුම් කළ හැකියි. උදාහරණයක් හැටියට, මෙයට ඇතුළත් වන්නේ දත්ත වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, ගණකාධිකාරිවරුන්, වාස්තු විද්‍යාඥයන්, ඉන්ජිනේරුවන්, හෙද සේවයේ පුහුණුවක් ලබා සිටින අය, මෝටර් රථ වාහන කාර්මිකයන් හා ඉලෙක්ට්‍රොනික් කාර්මිකයන් වැනි අයයි. කෙසේවෙතත්, බෙතෙල් අයදුම්කරුවන් අතර තමන්ට ප්‍රමුඛත්වයක් ලබාගැනීමේ අරමුණින් යම් ක්ෂේත්‍රයක් ගැන විශේෂ අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලබන්න කියා අපි කිසිවෙකුව දිරිගන්වන්නේ නැහැ. ඇතැම්විට සත්‍යය දැනගැනීමට කලින් විශේෂ පුහුණුවක් ලබා තිබෙන අය කැමති නම්, ඔවුන්ට පුළුවන් බෙතෙල් අයදුම් පතක් පුරවා, ඒ සමඟ තමන් විශේෂ පුහුණුවක් ලබා තිබෙන ක්ෂේත්‍රය ගැන විස්තර ලියා එවන්න.

16 බෙතෙල්හි සේවය කිරීමට අයදුම් කළත් ඔබට ආරාධනාවක් නොලැබිය හැකියි. එහෙත් අධෛර්යය වන්න එපා. අවුරුද්දකට වතාවක් ඔබේ අයදුම් පත අලුත් කිරීම ගැන සිතා බලන්න ඔබට පුළුවන්. විශේෂ පුහුණුවක් ලබා සිටින හෝ හැකියාවන් තිබෙන සමහර සහෝදරයන් තාවකාලික පදනමක් මත ස්වෙච්ඡාවෙන් සේවය කරන්න ඉදිරිපත් වී තිබෙනවා. සතියක් දෙකක් හෝ නැත්නම් මාස දෙක තුනක් වැනි කාලයකට සේවය කිරීම සඳහා ඔවුන්ට අයදුම් කළ හැකියි.

17 ක්‍රිස්තුස්ගේ සහෝදරයන් සමඟ සමීප සබඳතාවක් පවත්වාගනිමින් යෙහෝවාට සේවය කිරීමේ අද්විතීය වරප්‍රසාදය බෙතෙල්හි සේවය කරන අය භුක්ති විඳිනවා. ලොව පුරා සිටින අපේ සහෝදරයන්ගේ ආත්මික අවශ්‍යතා සපුරාලීම සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටින සෑම කෙනෙකුගේම ආත්ම පරිත්‍යාගශීලී ස්ප්‍රීතුව පාලක මණ්ඩලය අගය කරයි.—පිලි. 2:20-22; 2 තිමෝ. 4:11.

18 නහඹරයෙනි බෙතෙල් සේවය සඳහා දැන්ම සූදානම් වන්න: බෙතෙල් සේවය සඳහා සූදානම් වීම ආරම්භ වන්නේ ඒ සඳහා තිබිය යුතු මූලික සුදුසුකමක් වන වයස අවුරුදු 19ක් වෙන්නත් බොහෝ කලකට පෙර සිටයි. බෙතෙල් සේවය සඳහා සැලසුම් කිරීමේදී නහඹර වියේ පසුවන අයට කුමක් කළ හැකිද? යේසුස් පැවසූ මේ වදන් සැලකිල්ලට ගන්න. “කොතක් ගොඩනගන්ට කැමතිවූ නුඹලාගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?” (ලූක් 14:28) යම් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සාර්ථකව නිම කිරීම සඳහා හොඳින් සූදානම් වීම හා සැලසුම් කිරීම අත්‍යවශ්‍යයි. එසේ නම්, යෙහෝවාට සේවය කිරීමේ අරමුණින් තමන්ගේ අනාගතය ගොඩනඟාගන්නා ආකාරය පරෙස්සමින් සැලසුම් කිරීම කොපමණ වැදගත්ද! ආත්මික ඉලක්ක අත් කරගැනීම සඳහා බාල කාලයේ සිටම ශක්තිමත් අත්තිවාරමක් දමා ගත යුතුයි. නහඹරයෙකු වශයෙන් ඔබ ඔබේ අත්තිවාරම කොතරම් හොඳින් දමමින් සිටිනවාද? ඔබ බෙතෙල්හි සේවය කිරීමට කැමති නම්, පහත සඳහන් කාරණා පරෙස්සමින් සලකා බැලීම ඔබට ප්‍රයෝජනවත් වේවි.

19 මෙම විශේෂ වරප්‍රසාදය සඳහා “ඉඩකඩ සලසා ගන්න”: තනිකඩව සිටීම සඳහා “ඉඩකඩ සලසා ගන්න” කියමින් යේසුස් ඔහුගේ ගෝලයන්ව දිරිමත් කළ බව මතෙව් 19:12හි [NW] සඳහන් වදන්වලින් පැහැදිලි වෙනවා. ඔහු එසේ දිරිමත් කළේ ඇයි? පෞද්ගලික හේතූන් සඳහා නොව, නමුත් ‘ස්වර්ග රාජ්‍යය උදෙසාය.’ මේ හා සමානව පාවුල්ද “බාධාවකින් තොරව නිරතුරුව ස්වාමීන්ගේ වැඩයෙහි නිරත වන” [NW] ජීවිත මාර්ගයක් ලුහුබැඳීමට අපට දිරිගැන්වුවා. (1 කොරි. 7:32-35) තනිකඩ සහෝදරයන් බොහෝදෙනෙක් තරුණ වියේ මුල් අවදියේම විවාහ වීම නිසා බෙතෙල්හි සේවය කිරීමේ වරප්‍රසාදය අහිමි කරගෙන තිබීම කනගාටුවට කරුණක්. පවුල් වගකීම්වලින් නිදහස්ව සිටින කාලයේදී පූර්ණ කාලීන සේවය කිරීම සඳහා තමන්ගේ කාලය හා ශ්‍රමය වැය කරන මෙන් අපගේ යෞවන සහෝදරයන්ව දිරිමත් කරන්න කැමතියි. පසු කාලයේදී විවාහ වීමට ඔවුන් තීරණය කරයි නම්, ජීවිතය පිළිබඳව හා දේවසේවය පිළිබඳව බොහෝ අද්දැකීම් ලබා තිබෙන නිසා එවන් පුරුෂයන් වඩාත් හොඳ ස්වාමිපුරුෂයන් විය හැකියි. සමහර බෙතෙල් සේවකයන් අවුරුදු කිහිපයක් බෙතෙල්හි සේවය කිරීමෙන් පසු, විවාහ වී යුවළක් වශයෙන් දිගටම පූර්ණ කාලීන සේවය කරගෙන යයි. පසු කාලයේදී සංචාරක අවේක්ෂකයන් හා මිෂනාරිවරුන් වශයෙන් සේවය කිරීමේ වෙනත් වරප්‍රසාද ඔවුන්ට භුක්ති විඳින්න ලැබුණොත්, බෙතෙල්හි සේවය කිරීම සඳහා කාලය වෙන් කිරීම ගැන ඔවුන් කිසිසේත් කනගාටු වන්නේ නැහැ.

20 ඔබව වෙනතකට යොමු කිරීමට ද්‍රව්‍යමය දේවලට ඉඩ නොදෙන්න: සෑම යෞවනයෙකුම තමන්ගෙන් මෙසේ අසාගැනීම හොඳයි. ‘පාසැල් අධ්‍යාපනය අවසන් කළාට පස්සේ මගේ ඉලක්කය රැකියාවක් කිරීමද නැත්නම් යෙහෝවාට පූර්ණ කාලීනව සේවය කිරීමද?’ දෙවනුවට සඳහන් කළ ඉලක්කය අත් කරගැනීම සඳහා යම් කැප කිරීම් කළ යුතු බව ඇත්තයි. ඒ වුණත්, රැකියාවක් කරද්දීත් ඒ හා සමානව යම් කැප කිරීම් කරන්න සිදු වෙනවා. එහෙත් අවසන් ප්‍රතිඵලය සලකා බලද්දී, ඇත්තෙන්ම කල්පවතින ප්‍රයෝජන ලැබෙන්නේ කුමකින්ද? යේසුස් මෙයට පැහැදිලි උත්තරයක් දුන්නා. මේ සම්බන්ධයෙන් යේසුස් පැවසූ වදන් මතෙව් 6:19-21හි අපට මෙසේ කියවීමට තිබෙනවා. “පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති. නුමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස්කර තබා ගන්න; එහිදී කාවෝවත් මලකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති. මක්නිසාද නුඹේ වස්තුව යම් තැනෙක්හිද නුඹේ සිතත් එතැන්හිම වන්නේය.” යෙහෝවාට ආත්ම පූර්ණව සේවය කිරීම අත්හැර දමමින් ලෞකික රැකියාවක් හෝ ද්‍රව්‍යමය දේවල් ලුහුබැඳීම කෙරෙහි අපි අපේ සිත ඇදී යාමට ඉඩ නොදෙමු. අත් කරගැනීමට වෙර දැරිය යුතු වටිනාම වස්තුව වන්නේ යෙහෝවාගේ හදවත සතුටු කරවමින් ඔහු සමඟ යහපත් සබඳතාවක් ඇති කරගැනීම බව අප සියලුදෙනාම තේරුම්ගත යුතුයි. (හිතෝ. 27:11) බාල කාලයේ සිටම යෙහෝවාට අපේ ජීවිතයේ මුල්තැන දීමෙන් අප පෙන්වන්නේ අපි ඉතා අගය කොට සලකන්නේ කුමක්ද යන්නයි. එනම් රාජ්‍යය අපේ ජීවිතයේ මොනතරම් වැදගත් දෙයක් බවට පත් වී තිබෙනවාද කියායි. ‘යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත්කම ලබා දෙන බවත් ඔහු ඊට දුක එකතු නොකරන බවත්’ මතක තබාගන්න. (හිතෝ. 10:22) යෙහෝවා තමන්ට දී තිබෙන සෑම යහපත් දෙයක් වෙනුවෙන්ම අගය පෙන්වීම සඳහා තමන් සතු වටිනා දේවල් ඔහුට දීමෙන් තමන්ගේ සිත යොමු වී තිබෙන්නේ කුමන දේවල් කෙරෙහිද කියා පෙන්වීමට යෞවනයන්ට කදිම ප්‍රස්තාවක් ලැබී තිබෙනවා. එම ප්‍රස්තාව බෙතෙල් සේවයයි. සුදුසුකම් තිබෙන අයට එම ප්‍රස්තාව විවෘත වෙයි.

21 බෙතෙල්හි සේවය කරන අය සදාචාර සම්පන්න ජීවිතයක් ගත කළ යුතුයි: “තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද?” කියා ගීතිකාකරු ඇසුවා. එයට උත්තර දෙමින් ඔහු මෙසේ පැවසුවා. “ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.” (ගීතා. 119:9) සාතන්ගේ ආධිපත්‍යය යටතේ පවතින මේ ක්‍රමය තුළ තිබෙන සදාචාරය කෙලසන සෑම දෙයකින්ම වැළකී සිටීම දෙවිගේ වචනය ප්‍රකාර පැවැත්මට අයත් වෙනවා. අන්තර්ජාලය මගින් කාමුක දර්ශන බැලීම, විරුද්ධ ලිංගයේ අය සමඟ නොමනා හැසිරීම, නීච සංගීතය, පහත් විනෝදාස්වාදයන් හා පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම යනාදිය යෞවනයන්ව ආත්මික ඉලක්ක අත් කරගැනීමෙන් වැළැක්වීම සඳහා සාතන් යොදාගන්න මලපත්වලින් කිහිපයක් පමණයි. සාතන්ගේ මේ උපායන්වලට හසු නොවී සිටීම සඳහා දැඩි අධිෂ්ඨානයක් අවශ්‍යයි. යෞවනයෙකු හැටියට ඔබ, කලින් සඳහන් කළ දේවලින් යමකට හසු වී සිටිනවා නම්, ඔබේ සභාවේ වැඩිමහල්ලන් සමඟ ඒ ගැන කතා කර, බෙතෙල් සේවයට අයදුම් කිරීමට පෙර එය නිරාකරණය කරගන්න. යෙහෝවාට මුළු හදින් සේවය කිරීමේදී පවිත්‍ර හෘදය සාක්ෂියක් තිබීම ඉතාමත් වැදගත්.—1 තිමෝ. 1:5.

22 අන් අය සමඟ පෑහී කටයුතු කිරීමට ඉගෙනගන්න: බෙතෙල් සේවය සාර්ථකව කරගෙන යෑමට බලපාන එක් වැදගත් අවශ්‍යතාවක් වන්නේ අනිත් අය සමඟ පෑහී කටයුතු කිරීමට ඉගෙනගැනීමයි. ශ්‍රී ලංකාවේ බෙතෙල් පවුල සමන්විත වන්නේ විවිධ රටවලින් පැමිණ සිටින හා විවිධ ජාතීන්වලට අයත් සහෝදර සහෝදරියන්ගෙනුයි. එමෙන්ම අමෙරිකා එක්සත් ජනපද බෙතෙල් පවුලේ සාමාජිකයන් වන සහෝදර සහෝදරියන් දහස්ගණනක් දෙනා පැමිණ සිටින්නේද විවිධ පසුබිම්වලිනුයි. මෙසේ විවිධ පසුබිම්වලට අයත් අය බෙතෙල් පවුලේ සිටීම, එහි පවතින ආත්මික සුන්දරත්වය තවත් ඉහළ නැංවීමට හේතුවක් වුණත්, සමහර අවස්ථාවලදී විවිධ පෞද්ගලික්වයන් නිසා අභියෝගවලට මුහුණ දීමට සිදු විය හැක. ඔබ බෙතෙල් සේවය ගැන කල්පනා කරමින් සිටිනවා නම් ඔබෙන්ම මෙසේ අසාගැනීම හොඳයි. ‘අනිත් අය මා සමඟ එකඟ වෙන්නේ නැති අවස්ථාවලදී, මම ඔවුන් සමඟ අමනාප වෙනවාද? මා සමඟ කටයුතු කිරීම පහසු බව අනිත් අයට හැඟෙනවාද?’ මේ පැතිවලින් ඔබ දියුණු විය යුතු බව පෙනී යනවා නම්, දැන්ම ඒ සඳහා පියවර ගන්න. මේ කාරණය සම්බන්ධයෙන් දියුණු වීමට ඔබ පියවර ගන්නවා නම්, බෙතෙල් පවුලේ සාමාජිකයන් සමඟ එකමුතුව වෙසෙමින් වැඩ කිරීම සඳහා හැඩගැසීම ඔබට පහසු වෙයි.

23 යෙහෝවා සමඟ සමීප සබඳතාවක් වර්ධනය කරගැනීමෙන් ආත්මික පුද්ගලයෙකු වීමට වෙර දරන්න. දිනපතා බයිබලය කියවීම ඇතුළුව පෞද්ගලික අධ්‍යයනයේ නිරත වීම සඳහා හොඳ කාල සටහනක් තබාගන්න. ශුභාරංචිය දේශනා කිරීමෙහි ක්‍රියාශීලීව හවුල් වන්න. ඔබ මේ දේවල් කරනවා නම්, මෙයින් පෙනී යන්නේ ඔබ ආත්මික දියුණුවක් ලබමින් සිටින බවයි. (1 තිමෝ. 4:15) පූර්ණ කාලීන සේවය තමන්ගේ ජීවිත මඟ කරගැනීම සඳහා දැන් සිටම සූදානම් වන අයට තිබෙන්නේ මොනතරම් අපූර්ව බලාපොරොත්තුද!

24 දෙමාපියෙනි ඔබේ දරුවන්ව පුහුණු කරන්න: පූර්ණ කාලීන සේවයේ යෙදීමට තම දරුවන්ව දිරිමත් කිරීම සඳහා දෙමාපියන්ට කුමක් කළ හැකිද? “සම්පූර්ණත්වයට පැමිණි සෑමදෙනම තමුන්ගේ ගුරුවරයා මෙන් වන්නෝය” කියා යේසුස් පැවසුවා. (ලූක් 6:40) හොඳින් පුහුණු කරනු ලැබූ ශිෂ්‍යයෙක් කැපවීමෙන් තමාට ඉගැන්වූ ගුරුවරයාගේ කදිම ගුණාංග විදහාපෙන්වයි. ‘දේවභක්තිය ලුහුබැඳීම [ඔවුන්ගේ] ඉලක්කය කරවමින්’ තමන්ගේ දරුවන්ව පුහුණු කිරීමේදී, ක්‍රිස්තියානි දෙමාපියන්ද එය මතක තබාගැනීම වැදගත්. (1 තිමෝ. 4:7, NW) ආත්මික දේවල් සම්බන්ධයෙන් දෙමාපියන්ගේ ආකල්පය විදහාපෙන්වීමට දරුවන්ද නැඹුරුවාවක් දක්වන නිසා දෙමාපියන් තමන්ගෙන්ම මෙසේ අසාගැනීම හොඳයි. ‘යෙහෝවාගේ සැබෑ නමස්කාරයේ වර්ධනය සඳහා බෙතෙල්හි සිදු කෙරෙන වැඩකටයුතු මම පෞද්ගලිකව අගය කරනවාද? බෙතෙල් නිවසේ ක්‍රියාත්මක වන විධිවිධානයට යෙහෝවාගේ ආශීර්වාද ලැබෙන බව අපි පිළිගන්නවාද? අපේ දරුවන්ට තෝරාගත හැකි හොඳම දෙය ඔවුන්ගේ ජීවිත යෙහෝවාගේ සේවය සඳහා යෙදවීම බව අපි විශ්වාස කරනවාද?’ බෙතෙල් සේවය හා එහි සිදු කෙරෙන වැඩකටයුතු අපි අවංකවම අගය කරනවා නම්, අපේ දරුවන් තුළද එවන් අගය කිරීමක් ඇති කරන්න අපට පුළුවන්.

25 එල්කානා හා හන්නා සැබෑ නමස්කාරය සැලකුවේ ඉතාමත් අනර්ඝ දෙයක් ලෙසයි. අද සිටින ක්‍රිස්තියානි දෙමාපියන් සඳහා ඔවුන් දෙදෙනා කදිම ආදර්ශයක් තැබුවා. පුරාණ ඉශ්‍රායෙලයේ තිබූ මණ්ඩපය අසල අවුරුද්දකට තුන්වතාවක් ‘ස්වාමිවූ යෙහෝවා ඉදිරියෙහි පෙනී සිටීමට’ නියම කරනු ලැබුවේ ඉශ්‍රායෙල් ජාතික පුරුෂයන්ට පමණයි. ඒ වුණත්, යෙහෝවාගේ එම නමස්කාර මධ්‍යස්ථානය වෙතට ගොස් පූජා ඔප්පු කිරීමට එල්කානා තමාගේ මුළු පවුල සමඟ “අවුරුද්දෙන් අවුරුද්ද” කිලෝමීටර් 30ක් පමණ දුර පයින් ගමන් කළා. (නික්. 23:17; 1 සාමු. 1:3, 4, 9, 19; 2:19) මෙයින් පෙනී යන්නේ ආත්මික දේවල් සඳහා තමා දැක්වූ උනන්දුව තමාගේ පවුලේ සෑම කෙනෙක් තුළම තිබෙනවා දකින්න පවුල් මූලිකයෙකු වූ එල්කානාට වුවමනාවක් තිබූ බවයි.

26 සැබෑ නමස්කාරය සඳහා තමාගේ ස්වාමිපුරුෂයා දැක්වූ උනන්දුව හන්නා තුළද දක්නට තිබුණා. මණ්ඩපය අසල සිදු කළ සැබෑ නමස්කාරයට සහයෝගය දැක්වීමෙන් තමාටද එයට හවුල් විය හැකි බව ඇයට හැඟුණා. යෙහෝවා තමාට පිරිමි දරුවෙකු දුන්නොත්, ඒ දරුවාව මණ්ඩපයේ සේවය කිරීම සඳහා ලබා දෙන බවට පොරොන්දු වෙමින් හාන්නා බාරයක් වුණා. (1 සාමු. 1:11) සාමාන්‍යයෙන් මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව භාර්යාවක් කළ බාරයක් අවලංගු කිරීමට ස්වාමිපුරුෂයෙකුට හැකියාව තිබුණා. (ගණන්. 30:6-8) කෙසේවෙතත්, එල්කානා සැබෑ නමස්කාරයට තමාගේද සහයෝගය ලැබෙන බව පෙන්වමින් හාන්නාගේ බාරය අනුමත කළ බව පෙනෙන්න තිබෙනවා.—1 සාමු. 1:22, 23.

27 එල්කානා හා හන්නා සැබෑ නමස්කාරය අගය කරමින් විදහාපෙන්වූ කදිම ආකල්පය ඔවුන්ගේ පුත් සාමුවෙල්ට යහපත් බලපෑමක් ඇති කළාද? ඔව්. සාමුවෙල් ළමයෙකුව සිටි කාලයේදී ඔහුට පවරා තිබූ වැඩ කොටස් කැමැත්තෙන්ම බාරගෙන විශ්වාසවන්තව ඒවා ඉටු කළා. ඒ වගේම දෙවිගේ සේවයෙහි වරප්‍රසාදය අගය කොට සැලකීම සඳහා ඔහුට පුහුණුවක් ලැබුණා. සාමුවෙල්ව මණ්ඩපයේ සේවය කිරීමට යොමු කිරීම සම්බන්ධයෙන් එල්කානා හා හන්නා දැක්වූ උනන්දුව ඔහු එහි සේවය පටන්ගත්තාට පසුව පවා අඩු වුණේ නැහැ. සාමුවෙල් දිගටම දෙවිට පූර්ණ කාලීනව සේවය කරගෙන යන විට, ඔහුව දිරිමත් කිරීම සඳහාත් යම් උපකාරයන් දීම සඳහාත් ඔවුන් දෙදෙනා කලින් කලට ඔහුව බැහැදකින්න ගියා.—1 සාමු. 2:18, 19.

28 අද සිටින ක්‍රිස්තියානි දෙමාපියන් සඳහා එල්කානා හා හන්නා තැබුවේ මොනතරම් විශිෂ්ට ආදර්ශයක්ද! බෙතෙල්හි සේවය කිරීමේ වරප්‍රසාදය අගය කරමින් අපි මුළු හදින්ම පවසන දේවල් අපේ දරුවන්ට ඇසෙන විට හා රාජ්‍ය කටයුතුවල වර්ධනය සඳහා අපි ආත්ම පරිත්‍යාගශීලී ස්ප්‍රීතුවක් විදහාපෙන්වනවා දකින විට, අනිත් අයට සේවය කිරීමේ අවංක ආශාවක් ඔවුන් තුළත් ඇති වෙයි. දෙමාපියන් බොහෝදෙනෙක් මෙම ආශාව සාර්ථකව ලෙස තමන්ගේ දරුවන් තුළ ඇති කර තිබෙනවා. අවුරුදු හතක ළමයෙක් මෙසේ ලියා තිබුණා. “මම ලොකු වුණාම, බෙතෙල් එකේ සේවය කරනවා. බෙතෙල් එකේ කරන්න මම කැමති දේවල් කිහිපයක් තියෙනවා. (1) මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ටයිප් කරන්න, (2) පින්තූර ඇඳීමේ අංශයේ වැඩ කරන්න, (3) රෙදි මදින්න. වැඩේ මොකක් වුණත් කමක් නැහැ. බෙතෙල් එකේ ලැබෙන ඕනෑම වැඩක් කරන්න මම කැමතියි.” අපේ දරුවන් තුළත් ඒ වගේ කැමැත්තෙන්ම ඉදිරිපත් වීමේ ස්වභාවයක් තිබෙනවා දැකීමෙන් අප තුළ ඇති වන්නේ මොනතරම් සතුටක්ද!

29 යෞවනයෙනි, මෙය මතක තබාගන්න. “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් [දෙවියන්ගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.” (1 යොහ. 2:17) බෙතෙල්හි සේවය කිරීමේ සුවිශේෂී වරප්‍රසාදය ඇතුළුව වෙනත් ආත්මික ඉලක්කද තබාගෙන, ඒවා අත් කරගැනීමට වෑයම් කරන්න. දෙමාපියෙනි, දේවභක්තික ජීවිතයක් ගත කිරීමට තම දරුවන්ව දිරිමත් කළ පුරාණයේ විසූ ඇදහිලිවන්ත දෙමාපියන්ගේ ආදර්ශයන් අනුකරණය කරන්න. (2 පේතෘ. 3:11) අපේ උදාර මැවුම්කරුට ඔවුන්ගේ උපරිමයෙන් සේවය කිරීම සඳහා අපේ යෞවන සහෝදර සහෝදරියන්ට සහය වීම සඳහා අපි සියලුදෙනාම අපට කළ හැකි දෙය කරමු. එසේ තමන්ට හැකි උපරිමයෙන් දෙවිට සේවය කිරීමෙන් ‘දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දුව’ ඇතුව සිටිය හැක.—1 තිමෝ. 4:8; දේශ. 12:1.

[Box on page 4]

බෙතෙල් සේවය සඳහා මූලික සුදුසුකම්

● බව්තීස්ම වී අඩුම තරමින් වසරක්වත් ගත වී තිබිය යුතුයි

● යෙහෝවාටත් ඔහුගේ සංවිධානයටත් ගැඹුරු ප්‍රේමයක් තිබෙන ආත්මික පුද්ගලයෙකු විය යුතුයි

● හොඳ ආත්මික, මානසික, චිත්තවේගීය හා ශාරීරික සෞඛ්‍යයක් තිබිය යුතුයි

● ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම හෝ නීත්‍යනුකූල ලෙස ස්ථිර පදිංචිකරුවෙකු වීම අවශ්‍යය

● හොඳින් කියවීමට, ලිවීමට හා කතා කිරීමට හැකි විය යුතුයි

● වයස අවුරුදු 19ත් 35ත් අතර විය යුතුයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න