මෙය ඔබට තෝරාගත හැකි හොඳම ජීවිත මඟ විය හැකිද?
ඔබ බව්තීස්ම ලත් ක්‍රිස්තියානියෙකු නම් දෙවිගේ කැමැත්ත කිරීමට ඔබව පොලඹවන්නේ ඔහුට ඇති ඔබේ ප්‍රේමය බවට කිසිම සැකයක් නැහැ. එමෙන්ම, ඔබේ ජීවිතයේ ඔබට වැදගත්ම දේ වෙන්නේ දේවසේවයයි. යේසුස් ක්‍රිස්තුස් ගෝලයන් සාදන්න කියා ඔහුගේ අනුගාමිකයන් සියලුදෙනාටම බලපැවරුමක් දුන්නා නොවේද? (මතෙව් 28:19, 20) ඔබේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපයාගැනීම සඳහා ඔබ රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. ඒ වුණත්, යේසුස්ගේ අනුගාමිකයෙකු හා යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වශයෙන් ඔබ රාජ්‍ය දේශනා කිරීමේ කාර්යය ජීවිතයේ මුල් තැන තබා කටයුතු කළ යුතු ක්‍රිස්තියානි දේවසේවකයෙක් බව අමතක නොකරන්න.—මතෙව් 24:14.
සමහරවිට ඔබ නහඹර වියේ අවසාන භාගයේ හෝ විසි ගණන්වල මුල් භාගයේ පසු වන කෙනෙකු වෙන්න පුළුවන්. ජීවිතයේ ඉතිරි කාලයේදී මොනවද කරන්නේ කියන දෙය ගැන ඔබ සෑහෙන්න කල්පනා කර තිබෙනවා විය හැකියි. ඔබ ඉදිරියෙහි ඇති විකල්ප තේරීම් අතුරින් එකක් තෝරාගැනීමේදී, ඔබ තෝරාගන්න දෙයින් ලැබිය හැකි තෘප්තිය කෙරෙහි ඔබ වැඩි සැලකිල්ලක් යොමු කළ හැකියි.
තමන් කළ තේරීම ගැන ඩෙන්මාර්කයේ යෝර්න් පවසන දෙය සැලකිල්ලට ගන්න. “මම තෝරාගෙන තියෙන්නේ ජීවිතයේ හොඳම මඟයි. මොකද, අද කරන්න තිබෙන ඉතා වැදගත්ම සේවයෙහි හවුල් වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා.” ග්‍රීසියේ ජීවත් වන 31 හැවිරිදි ඊවා මෙසේ පවසනවා. “මගේ සම වයසේ සිටින අයගේ ජීවිත දිහා බලද්දී, මගේ ජීවිතය ඒ අයගේ ජීවිතවලට වඩා හරිම අර්ථවත්, ඒ වගේම සන්තෝෂයෙන් පිරිලා තියෙනවා කියල කියන්න පුළුවන්.” එවන් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ කුමන ජීවිත මාර්ගය තෝරාගැනීම නිසාද? ඔබටත් එවන් ජීවිත මාර්ගයක් තෝරාගත හැක්කේ කෙසේද?
දෙවි ඔබට මාර්ගය පෙන්වනවාද?
තමන් සඳහා ජීවිත මඟක් තෝරාගැනීම එතරම් ලෙහෙසි දෙයක් නොවිය හැකියි. දෙවි කැමති වන්නේ තමන් කුමන ජීවන මඟ තෝරාගන්නවාටද කියා දෙවි විසින්ම පැහැදිලිව පෙන්වා දෙනවා දකින්න සමහරුන් කැමති වෙන්න පුළුවන්.
මෝසෙස් මිදියන් දේශයේ වාසය කරමින් සිටි කාලයේදී, ආපසු මිසරයට ගොස් ඉශ්රායෙල්වරුන්ව වහල්භාවයෙන් මුදවාගැනීම සඳහා යෙහෝවා ඔහුට මඟ පෙන්නුවා. (නික්මයාම 3:1-10) පසු කාලයකදී, ඉශ්රායෙල්වරුන්ව හිංසා පීඩාවලින් ගළවාගැනීම සඳහා පත් කළ ගිඩියොන් ඉදිරියෙහි දෙවිගේ දූතයා පෙනී සිටියා. (විනිශ්චයකාරයන් 6:11-14) ඉශ්රායෙලයේ ඊළඟ රජු හැටියට දාවිත්ව ආලේප කරන්න කියා දෙවි සාමුවෙල්ට පැවසූ අවස්ථාවේදී දාවිත් සිටියේ බැටළුවන්ව බලාගනිමිනුයි. (1 සාමුවෙල් 16:1-13) අද අපිට ඒ වගේ මඟ පෙන්වීම් ලැබෙන්නේ නැහැ. ඒ වුණත්, දෙවි අපට දී තිබෙන හැකියාවන් යොදාගන්නා ආකාරය තීරණය කිරීමේදී අපි කාරණා පරෙස්සමින් සලකා බැලිය යුතුයි.
යෙහෝවා අදදින සිටින යෞවන ක්‍රිස්තියානීන් සඳහා “ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරටුවක්” විවෘත කර තිබෙනවා. (1 කොරින්ති 16:9, NW) ඒ කොහොමද? පසුගිය අවුරුදු දහය ඇතුළතදී රාජ්‍ය ප්‍රචාරකයන්ගේ ගණන 21,25,000කට වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙනවා. අද වන විට රාජ්‍ය ප්‍රචාරකයන් ගණන 60,00,000කට වඩා වැඩි වී තිබෙනවා. දෙවිගේ සෙනඟගේ ආත්මික පෝෂණය සඳහාත් ලොව පුරා සිදු කෙරෙන රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය සඳහාත් අවශ්‍ය බයිබල්, පොත්, විවරණිකා, සඟරා සහ පත්‍රිකා දශලක්ෂ ගණනක් සැපයීමට උපකාර කරන්නේ කවුද? ලොව පුරා බෙතෙල් පවුල්වල සිටින සාමාජිකයන්, මෙම සේවයට දායක වන අතර ඔවුන් එය සලකන්නේ ආශීර්වාද ලත් වරප්‍රසාදයක් ලෙසයි.
තෘප්තිමත් ජීවිතයක්
බෙතෙල් යන වචනයේ තේරුම ‘දෙවිගේ ගෘහය’ යන්නයි. වොට් ටවර් සමිතියේ මූලස්ථානයේ සහ එහි ශාඛා කාර්යාලවල සේවය කරන ස්වේච්ඡා සේවකයන් පදිංචි වී සිටින ස්ථාන හඳුන්වන්නේ බෙතෙල් නිවාස කියාය. (උත්පත්ති 28:19, පාදසටහන) යෙහෝවාට තිබෙන ප්‍රේමය නමැති අත්තිවාරම මත, හොඳින් සැලසුම් කර, ‘ප්‍රඥාවෙන් ගොඩනඟා තිබෙන ගෙවල්වලට’ අදදින බෙතෙල් පවුල් සමාන කරන්න පුළුවන්.—හිතෝපදේශ 24:3.
බෙතෙල්හි පවතින පවුලක් බඳු වාතාවරණය ගැන කුමක් කිව හැකිද? එස්ටෝනියාවේ බෙතෙල් පවුලේ සිටින 25 හැවිරිදි සාමාජිකයෙක් මෙසේ පවසනවා. “හැම වේලාවේම යෙහෝවාගේ මිතුරන් එක්කයි මම ඉන්නේ කියන හැඟීම මට දැනෙනවා. බෙතෙල් සේවයේ වටිනාම දෙය හැටියට මම සලකන්නේ මේ දෙයයි.”—ගීතාවලිය 15:1, 2.
මේ වන විට 19,500දෙනෙකු පමණ ලොව පුරා බෙතෙල් නිවාසවල සේවය කිරීමේ වරප්‍රසාදය භුක්ති විඳිනවා. (ගීතාවලිය 110:3) එක්සත් ජනපදයේ සිටින බෙතෙල් සේවකයන්ගෙන් සියයට 46ක් අයත් වන්නේ අවුරුදු 19-29 දක්වා වයස් කාණ්ඩයටයි. යෙසායා මෙන් ඔවුන්ද “මෙන්න මම මෙහිය; මා යැවුව මැනව” කියා පවසා තිබෙනවා. (යෙසායා 6:8) මෙම වදන් පවසන විටත් කැප වී සිටි යෙසායා තවත් සේවා වරප්‍රසාදයක් බාරගැනීම සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. මේ වරප්‍රසාදය පිළිගැනීමේදී ඔහුට යම් දේවල් කැප කරන්න සිදු වෙන්න ඇති. බෙතෙල් සේවකයන්ද ඔවුන්ගේ නිවෙස්වලින් හා ඔවුන් හැදී වැඩුණු පරිසරයෙන් මෙන්ම දෙමාපියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් හා මිතුරන්ගෙන් ඈත් වී සිටිනවා. ඔවුන් “ශුභාරංචිය නිසා” ඒ වගේ කැප කිරීම් කර තිබෙන්නේ සිය කැමැත්තෙනුයි.—මාර්ක් 10:29, 30.
කෙසේවෙතත්, බෙතෙල්හි සේවය කිරීමේදී භුක්ති විඳින්න ලැබෙන ආත්මික ආශීර්වාද මොනතරම් මහත්ද! රුසියාවේ බෙතෙල් පවුලේ සිටින යොවුන් වියේ පසු වන සාමාජිකාවක් මෙසේ පැවසුවා. “ආත්ම පරිත්‍යාගී ස්වභාවයක් ඇතුව සිටීමෙන් අපිට හුඟාක් දේවල් ඉගෙනගන්න පුළුවන්. දැන් අපි ඉගෙනගන්න දේවල් නව ලොවේ ජීවත් වීමේදී අපිට ප්‍රයෝජනවත් වෙනවා. යෙහෝවාගෙන් ලැබිලා තියෙන ආශීර්වාද මම පරිත්‍යාග කරල තියෙන දේවලට වඩා වැඩියි කියලා මගේ පෞද්ගලික අද්දැකීමෙන් මට කියන්න පුළුවන්.”—මලාකී 3:10.
බෙතෙල්හි ජීවිතය
බෙතෙල්හි ජීවිතය මොන වගේ එකක්ද? බෙතෙල්හි ගෙවන ජීවිතය සතුටුදායක මෙන්ම ආත්මික ගුණාංග වර්ධනය කරගැනීමට පහසු කරවන එකක්ය කියා බෙතෙල් සාමාජිකයන් එකඟ වෙනවා. හතළිස්තුන්වන වියේ පසු වන යෙන්ස් බෙතෙල්හි සතුටින් සේවය කරයි. එයට හේතුව ඔහු මෙසේ සඳහන් කරනවා. “ඉතාමත් වැදගත් වැඩක් කිරීම සඳහා අපි සියලුදෙනාම එක්ව මහත් උත්සාහයක් දරනවා කියා මට හැඟෙනවා. යෙහෝවාගේ සේවයට මොනතරම් දේවල් ඇතුළත් වෙනවාද කියාත් ඒවා කොයිතරම් වැදගත්ද කියාත් මම තේරුම්ගෙන තිබෙනවා. ඒ නිසයි මම සතුටින් ඉන්නේ.”
සඳුදා සිට සෙනසුරාදා දක්වා දිනවල බෙතෙල්හි දවස ආරම්භ කරන්නේ උදෑසන නමස්කාරයත් සමඟයි. මෙහිදී අද්දැකීම් ලත් වැඩිමහල්ලෙක් මුලසුන හොබවමින් බයිබලය මත පදනම් සාකච්ඡාවක් කරනවා. සෑම සඳුදා සැන්දෑවකම මුරටැඹ සඟරාව යොදාගනිමින් බෙතෙල් සාමාජිකයන් පවුලක් හැටියට එය අධ්‍යයනය කරනවා. සමහර දවස්වල මෙම මුරටැඹ පාඩමෙන් පසු, විශේෂයෙන්ම බෙතෙල් සේවකයන් සඳහා පිළියෙළ කර තිබෙන ශුද්ධ ලියවිලි මත පදනම් කතාවක් ඉදිරිපත් කරනවා.
කෙනෙක් මුල් වතාවට බෙතෙල්හි වැඩ කිරීමට පටන්ගන්නා විට ඔහුට හෝ ඇයට අද්දකින්න ලැබෙන්නේ කුමක්ද? බෙතෙල්හි ජීවිතය මොන වගේ එකක්ද කියා අලුත් සාමාජිකයන්ට හඳුන්වා දෙමින්, එහි සිටින මේරූ සහෝදරයන් බෙතෙල් සේවයේ විවිධ පැති ගැන ඔවුන්ට පැහැදිලි කර දෙනවා. බෙතෙල් පවුලේ අලුත් සාමාජිකයන්ගේ ශුද්ධ ලියවිල්ල පිළිබඳ අවබෝධය තවත් වැඩි කිරීමේ අරමුණින් පිළියෙළ කර තිබෙන සති කිහිපයක් පුරා පැවැත්වෙන කදිම පාසැලකට මුල් අවුරුද්ද තුළදී සහභාගි වීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. අලුත් සාමාජිකයන් විශේෂ කාලසටහනකට අනුව බයිබලය කියවීමටද පටන්ගනියි. මේ අය බෙතෙල් සේවයේ මුල් අවුරුද්ද ඇතුළත මුළු බයිබලයම කියවයි.
මෙම සෑම පුහුණු වැඩසටහනකින්ම අත් කරගෙන තිබෙන ප්‍රතිඵල ගැන කුමක් කිව හැකිද? හොංකොං බෙතෙල් පවුලේ සාමාජිකයෙකු වන 33 හැවිරිදි ජොෂුවා ඒ ගැන මෙසේ පවසනවා. “යෙහෝවා කෙරෙහි තිබෙන මගේ අගය තව තවත් වැඩි කරගන්න බෙතෙල්හි සේවය කිරීම මට ලොකු උපකාරයක් වෙලා තියෙනවා. තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි හරියක් යෙහෝවාට සේවය කරන්න යොදවා තියෙන අද්දැකීම් ලත් සහෝදරයන් හුඟදෙනෙක් එක්ක ආශ්‍රය කරන්න මට අවස්ථාව ලැබිල තියෙනවා. උදෑසන නමස්කාරය, පවුලේ මුරටැඹ පාඩම වැනි ආත්මික පෝෂණය ලබා දෙන වැඩසටහන් මම හුඟාක් අගය කරනවා. ඒ වගේම බෙතෙල් එකේ ගත කරන පිළිවෙළකින් යුත් සරල ජීවිතයටත් මම කැමතියි. මේ ජීවිත ක්‍රමය නිසා ජීවිතයේ කාංසාවන් බොහොමයකින් නිදහස් වෙන්න පුළුවන්. ක්‍රිස්තියානියෙකුට යෝග්‍ය වන විදිහට දේවල් හසුරුවන ආකාරය මම ඉගෙනගන්නවා. මෙහි සේවය කිරීමෙන් මම බොහෝ ප්‍රයෝජන ලබලා තියෙනවා.”
බෙතෙල් පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ කාලය හා ශ්‍රමය වැඩියෙන්ම යොදවන්නේ ඔවුන් ස්වේච්ඡාවෙන් කිරීමට ඉදිරිපත් වී තිබෙන කාර්යය කිරීම සඳහායි. ඔවුන් තමන්ගේ ශාරීරික හා මානසික ශක්තිය මූලිකව යොදවන්නේ බෙතෙල්හි තමන්ගේ පැවරුම ඉටු කිරීමටයි. බෙතෙල්හි විවිධ වර්ගයේ වැඩ බොහොමයක් කරන්න තිබෙනවා. සමහරු මුද්‍රණ අංශයේ වැඩ කරන අතර, තවත් අය පොත් පත් සභාවලට යැවීම සඳහා කටයුතු පිළියෙළ කරනවා. ඊට අමතරව තවත් අය මුළුතැන්ගෙයි, කෑම කාමරයේ හා ලොන්ඩරියේ වැඩ කරනවා. පිරිසිදු කිරීම, වත්ත බලාගැනීම, ගොඩනැඟීමේ වැඩ හා වෙනත් ආකාරයේ වැඩ සමහර අයගේ පැවරුමට අයත් වෙනවා. තවත් සමහර අයට පැවරී තිබෙන්නේ කලින් සඳහන් කළ විවිධ අංශවල භාවිත කරන උපකරණ නඩත්තු කිරීමයි. තවත් අය පවුලේ අයගේ සෞඛ්‍යය හා සම්බන්ධ කාරණා ගැන සැලකිලිමත් වේ. නැත්නම් කාර්යාල වැඩවල නිරත වෙයි. බෙතෙල්හි සෑම පැවරුමක්ම ප්‍රීතිය ගෙන දෙන අභියෝගාත්මක පැවරුමක් කියා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම එම පැවරුම් ඉටු කිරීමෙන් මහත් තෘප්තියක් භුක්ති විඳින්නත් පුළුවන්. බෙතෙල් සේවය තෘප්තිය ලැබිය හැකි සේවයක් වීමට ප්‍රධානතම හේතුව වන්නේ, මෙම සේවය රාජ්‍ය කටයුතුවල වර්ධනයට දායක වන නිසාත් අපි යෙහෝවාට තිබෙන ප්‍රේමයෙන් පෙලඹී එය කරන නිසාත්ය.
බෙතෙල් සාමාජිකයන්ට විවිධ සභාවල සේවය කිරීමට පැවරුම් ලැබී තිබෙනවා. තමන් කරන සේවයේ ප්‍රතිඵලයක් හැටියට සියලුදෙනාම ප්‍රයෝජන ලබන ආකාරය එහිදී ඔවුන් අද්දකිනවා. තමන් අයත් වන සභාවේ රැස්වීම්වලට යෑමෙන් හා දේශනා සේවයේ හවුල් වීමෙන් ඔවුන් මහත් සතුටක් ලබනවා. මෙසේ සභාවල සිටින සහෝදර සහෝදරියන් සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීමෙන් ඔවුන් සමඟ හොඳ මිත්‍රත්වයක් ගොඩනඟාගැනීමට බෙතෙල් පවුලේ සාමාජිකයන්ට හැකි වී තිබෙනවා.—මාර්ක් 10:29, 30.
බ්‍රිතාන්‍යයේ බෙතෙල් පවුලේ සාමාජිකාවක් වන රීටා මෙසේ පවසනවා. “සභාවේ ඉන්න සහෝදර සහෝදරියන්ට මම හුඟාක් ස්තුතිවන්ත වෙනවා. මොකද මට රැස්වීම්වලදී හා දේවසේවයේදී හමු වන ප්‍රේමනීය සහෝදර සහෝදරියන්ව, ළමයින්ව හා වයසක අයව දකිද්දී මගේ ඇදහිල්ල තවත් ශක්තිමත් වෙනවා. මොන බාධක තිබුණත් ඒ අය රැස්වීම්වලට එනවා. දේවසේවයේ හවුල් වෙනවා. මගේ බෙතෙල් සේවය තව තවත් උනන්දුවෙන් කරන්න එය මට ලොකු උපකාරයක් වෙලා තියෙනවා.”
බෙතෙල්හි ජීවිතය සැමවිටම වැඩ කිරීම, රැස්වීම් යෑම, ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම හා අධ්‍යයනය කිරීම යනාදියට පමණක් සීමා වී නැත. පවුලේ සාමාජිකයන් විවේකයෙන් පසු වන අවස්ථාද තිබෙනවා. කලින් කලට පවුලේ ප්‍රිය සාදයන්ද පවත්වනු ලබන අතර එයින් යම් විනෝදයක් මෙන්ම ආත්මික ප්‍රයෝජනද ලබාගන්නවා. මෙවැනි අවස්ථාවලදී බොහෝදෙනෙක් ඔවුන්ගේ හැකියාවන් අනුව ඉදිරිපත් කරන දේවලින්ද මහත් සතුටක් ලබන්න පුළුවන්. එමෙන්ම එවැනි එකමුතු වීම්වලදී සමහර බෙතෙල් සාමාජිකයන්ගේ දිරිගන්වනසුලු අද්දැකීම් ඇසීමෙන්ද ප්‍රයෝජන ලබාගත හැකියි. බෙතෙල් පවුලේ වෙනත් අයව බැහැදකින්න යන අවස්ථාවලින්ද සතුට මෙන්ම දිරිගැන්වීම ලැබෙයි. වැඩවලින් පසු විවිධ ක්‍රීඩාවල නිරත වීම සඳහා අවශ්‍ය පහසුකම්ද සපයා තිබෙනවා. ඒ වගේම පොත් පත් කියවීම හා ප්‍රකාශන ඇසුරෙන් පර්යේෂණ කිරීම සඳහා පුස්තකාල පහසුකම්ද ලබා දී තිබෙනවා. ආහාර ගන්න අවස්ථාවලදී භුක්ති විඳින ප්‍රීතිමත් ඇසුරද මෙහිදී අමතක කළ නොහැකියි.
එස්ටෝනියාවේ බෙතෙල් පවුලේ සාමාජිකයෙකු වන ටොම් මෙසේ පවසනවා. “අපේ බෙතෙල් එක මුහුදට කිට්ටුයි. ඒ විතරක් නෙමෙයි, බෙතෙල් එක ළඟ ලස්සන වනාන්තරයකුත් තියෙනවා. සමහර වෙලාවට මගේ භාර්යාවයි මමයි මුහුදු වෙරළේ හා වනාන්තරයේ ටිකක් ඇවිදින්න යනවා. මම ඉඳලා හිටලා සභාවේ හා බෙතෙල් එකේ ඉන්න යාළුවොත් එක්ක ගොල්ෆ්, හොකී වගේම ටෙනිස් ක්‍රීඩා කරනවා. සමහර වෙලාවට අපි බයිසිකල්වලින් පොඩි රවුමක් යනවා.”
සුදුසුකම් ලැබීමට ඔබට කුමක් කළ හැකිද?
බෙතෙල් ගෘහය කියන්නේ මේරූ ක්‍රිස්තියානීන් යෙහෝවාට පරිශුද්ධ සේවය පිරිනමමින් ලොව පුරා සිටින තමන්ගේ සෙසු සහෝදර සහෝදරියන් වෙනුවෙන් සේවය කරන ස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. බෙතෙල් පවුලේ සාමාජිකයන් වන අය විසින් සපුරාලිය යුතු විශේෂ සුදුසුකම් කිහිපයක් තිබෙනවා. බෙතෙල්හි සේවය කිරීම සඳහා සුදුසුකම් ලබන්න ඔබට කුමක් කළ හැකිද?
ප්‍රේරිත පාවුල් සමඟ සේවය කළ තිමෝති වගේ බෙතෙල්හි සේවය කිරීමට තෝරාගන්න අයද තමන්ගේ සභාවේ හොඳ නමක් ඇති කරගෙන සිටිය යුතුයි. (1 තිමෝති 1:1) තිමෝති “ලුස්ත්‍රාවෙහිද ඉකෝනියෙහිද සිටි සහෝදරයන් අතරේ යහපත්යයි ප්රසිද්ධවූ කෙනෙක්ය.” (ක්‍රියා 16:2) තිමෝති ළමයෙකුව සිටි කාලයේදී පවා ශුද්ධ ලියවිලි පිළිබඳව හොඳින් දැන සිටි අතර, සත්‍යයෙහි ස්ථිරව සිටියා. (2 තිමෝති 3:14, 15) මේ හා සමානව, බෙතෙල්හි සේවය කිරීමට කැඳවනු ලබන අයටද බයිබලය පිළිබඳ දැනුම තිබිය යුතුයි.
බෙතෙල් පවුලේ සාමාජිකයන්ට ආත්ම පරිත්‍යාගී ස්ප්‍රීතුවක් තිබීම අවශ්‍යයි. තිමෝති තුළ මොනතරම් ආත්ම පරිත්‍යාගී ස්ප්‍රීතුවක් හා තමාගේම කාරණාවලට වඩා රාජ්‍ය කටයුතුවලට මුල් තැන දීමට කැමැත්තක් තිබුණාද කියනවා නම්, ඔහු ගැන මෙසේ පැවසීමට පාවුල්ට හැකි වුණා. “නුඹලාගේ කාරණා ගැන ඔහු වාගේ සැබෑලෙස සලකන්නාවූ වෙන කෙනෙක් මට නැත. මක්නිසාද සියල්ලෝ යේසුස් [ක්‍රිස්තුස්ගේ] කාරණා නොව තම තමුන්ගේම කාරණා සොයන්නෝය. ඔහු නම් දරුවෙක් පියෙකුට සේවයකරන්නාක්මෙන් ශුභාරංචියේ වර්ධනය සඳහා මා සමඟ සේවයකළේය යන ඔහුගේ ඔප්පුව නුඹලා දනිහුය.”—පිලිප්පි 2:20-22.
බෙතෙල් සේවයට අවශ්‍ය වන්නේ ආත්මික මේරූ පුරුෂයන් හා ස්ත්‍රීන්වයි. බෙතෙල් පවුලේ සාමාජිකයන්ට ආත්මික මේරූභාවය කරා වර්ධනය වීම සඳහා නොයෙක් විධිවිධාන සකස් කර තිබෙනවා. ඒවාට පෞද්ගලික අධ්‍යයනය, නිතිපතා රැස්වීම්වලට හා ක්ෂේත්‍ර සේවයේ යෑම හා මේරූ ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීම ඇතුළත් වේ. මේ ආකාරයෙන්, බෙතෙල්හි සේවය කරන අයට ප්‍රේරිත පාවුල්ගේ මෙම උපදේශය ක්‍රියාවට නැංවීමට උපකාර ලැබී තිබෙනවා. “නුඹලා ස්වාමීවූ ක්‍රිස්තුස් [යේසුස්ව] පිළිගත් ලෙස, [ඔහු] තුළ මුල්ඇද ගොඩනගන ලදුව, නුඹලාට ඉගැන්නූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලෙහි පිහිටා, බොහෝසෙයින් ස්තුතිදෙමින් [ඔහු] තුළ හැසිරෙන්න.”—කොලොස්සි 2:6, 7.
බෙතෙල්හි කරන්න තිබෙන වැඩ දෙස බලන විට, මෙම වරප්‍රසාදය භුක්ති විඳින අය හොඳ ශරීර සෞඛ්‍යයකින් පසු වන අය විය යුතුයි. ඔබ ඉහත සඳහන් කළ සුදුසුකම් තිබෙන වයස අවුරුදු 19ක් හෝ ඊට වැඩි කෙනෙකු නම් හා බව්තීස්ම වී අඩුම තරමින් අවුරුද්දක්වත් ගත වී තිබෙනවා නම්, බෙතෙල් සේවය සඳහා ඔබව දිරිමත් කරන්න අපි සතුටුයි.
අපි සෑම කෙනෙකුටම වැඩ කොටසක් තිබෙනවා
ක්‍රිස්තියානීන් හැටියට අපි සෑම කෙනෙකුගේම ආශාව, රාජ්‍ය කටයුතුවලට මුල් තැන දෙමින් අපේ මුළු ආත්මයෙන්ම යෙහෝවාට සේවය කිරීමයි. (මතෙව් 6:33; කොලොස්සි 3:24) බෙතෙල්හි සේවය කරන අයව, දිගටම එම සේවය කරගෙන යෑම සඳහා දිරිමත් කරන්න අපිට පුළුවන්. ඒ වගේම බෙතෙල්හි සේවය කිරීම සඳහා සුදුසුකම් තිබෙන යෞවන සහෝදරයන්ව මෙම සේවා වරප්‍රසාදය අත් කරගැනීම සඳහාද උනන්දු කළ හැකියි.
බෙතෙල්හි සේවය කිරීමෙන් ඔබේ ආත්මික ජීවිතය තෘප්තිමත් එකක් කරගැනීමට හැකි වන අතර ඔබට තෝරාගත හැකි හොඳම මඟද එයයි. වයස අවුරුදු 20දී බෙතෙල්හි සේවය ආරම්භ කළ නික් එහි සත්‍යතාව අද්දැක තිබෙනවා. මේ දක්වා අවුරුදු දහයක් බෙතෙල්හි සේවය කර තිබෙන ඔහු මෙසේ පවසනවා. “යෙහෝවාගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවට මම ඔහුට ස්තුති කරමින් යාච්ඤා කරනවා. මීටත් වඩා වෙන මොනවාද මට ඔහුගෙන් ඉල්ලන්න තියෙන්නේ? යෙහෝවාට තමන්ගේ උපරිමයෙන් සේවය කරන විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකු සමඟ ඇසුරු කරන්න බෙතෙල් සේවය අපට ප්‍රස්තාව උදා කර දී තියෙනවා.”
[22වන පිටුවේ කොටුව⁄පින්තූරය]
වැඩිමහල්ලන්ට හා දෙමාපියන්ට කළ හැක්කේ කුමක්ද?
විශේෂයෙන්ම වැඩිමහල්ලන් හා සංචාරක අවේක්ෂකයන් බෙතෙල් සේවය සඳහා අයදුම් කිරීමට තරුණයන්ව දිරිගැන්විය යුතුයි. බෙතෙල් පවුලට අයත් යෞවන සාමාජිකයන්ගෙන් සියයට 34දෙනෙකුව බෙතෙල් සේවය සඳහා දිරිමත් කරනු ලැබුවේ ක්‍රිස්තියානි අවේක්ෂකයන් විසින් බව මෑතකදී කළ විමසුමකදී පැහැදිලි වුණා. සභාවල සිටින යෞවනයන් බෙතෙල්හි සේවය කිරීමට යෑමෙන් ඔවුන්ගේ සේවය තවදුරටත් එම සභාවලට නොලැබිය හැකි බව ඇත්තයි. එහෙත්, තිමෝති ලුස්ත්‍රාවේ සහ ඉකෝනියේ සිටි යෞවනයන්ට යහපත් ආදර්ශයක් තැබූ තරුණයෙකු වුවත්, ඔහු පාවුල් සමඟ සේවය කිරීම සඳහා යෑම වැළැක්වීමට එම සභාවල සිටි වැඩිමහල්ලන් කිසිවිටකත් උත්සාහ කළේ නැහැ. තවදුරටත් තිමෝති ප්‍රේරිත පාවුල් සමඟ සංචාරක ගමන්වලට එක් වූ නිසා තමන්ගේ සභාවට මහත් පාඩුවක් සිදු වෙයි කියා ඔවුන් සිතුවෙත් නැහැ.—1 තිමෝති 4:14.
විශේෂයෙන්ම දෙමාපියන්ද බෙතෙල් සේවය කෙරෙහි තම දරුවන් තුළ හොඳ ආකල්පයක් ඇති කිරීමට වෑයම් කළ යුතුයි. බෙතෙල් සේවය සඳහා තමන්ව වැඩියෙන්ම දිරිමත් කළේ තමන්ගේ දෙමාපියන් බව ඉහත සඳහන් කළ විමසුමේදී බෙතෙල් සේවකයන්ගෙන් සියයට 40ක් පැවසුවා. අවුරුදු කිහිපයක් පුරා බෙතෙල්හි සේවය කරමින් සිටින සහෝදරියක් මෙසේ අදහස් පළ කළා. “බෙතෙල් එකේ සේවය කරන්න මා තුළ පෙලඹීමක් ඇති කළේ මගේ දෙමාපියන් යෙහෝවාට සේවය කරන්න දක්වන දැඩි ඇල්මයි. සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට තිබෙන හොඳම මඟ යෙහෝවාට සේවය කිරීම බව පූර්ණ කාලීන සේවකයන් හැටියට ඔවුන් තැබූ ආදර්ශයෙන් මම තේරුම්ගත්තා.”
[24වන පිටුවේ කොටුව]
ඔවුන් බෙතෙල් සේවය අගයයි
“බෙතෙල් එකේ සේවය කරන්න ලැබීම මට ලැබිල තිබෙන උතුම් වරප්‍රසාදයක්. දවසක් දවසක් පාසා මගේ මුළු කාලයම යෙහෝවාගේ සේවයට යෙදවීමෙන් මම ලොකු සතුටක් ලබනවා. මේ විදිහට හැම දවසකම යෙහෝවාට සේවය කිරීමට හැකිවීම නිසා මට යහපත් හෘදය සාක්ෂියක් ලැබිලා තියෙනවා. ඒ වගේම මගේ මනස ඒකාන්ත සිතුවිලිවලින් පුරවාගන්නත් මට හැකි වෙලා තියෙනවා.”
“බෙතෙල් එක කියන්නේ ඔබේ මුළු කාලය හා මුළු ශ්‍රමයම යෙහෝවාගේ සේවය සඳහා යොදවන්න පුළුවන් තැනක්. මෙසේ කරද්දී ඔබේ සිත වෙනත් දේවලට ඇදී යන්නේ නැහැ. ඒ සේවයෙන් සැබෑ ප්‍රීතියක් අද්දකින්න පුළුවන්. විවිධ කෝණවලින් යෙහෝවාගේ සංවිධානය දෙස බලන්නත් ඔබට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, සංවිධානයේ සියලු කටයුතු මෙහෙයවන මූලස්ථානයට සමීපව සිටින බවක්ද ඔබට දැනෙයි. ඇත්තෙන්ම, මෙය පුදුමාකාර අද්දැකීමක්.”
“මගේ ජීවිතයේ ලබන්න පුළුවන් උතුම්ම වරප්‍රසාදය තමයි බෙතෙල් එකේ සේවය කරන්න ලැබීම. මෙහිදී ලබාගන්න පුළුවන් අධ්‍යාපනයට කෙළවරක් නැහැ. මෙහි මා ලබන අධ්‍යාපනයේ අරමුණ යෙහෝවාට තව තවත් වැඩියෙන් සේවය කිරීම මිසක් මගේම සමර්ථකම් දියුණු කරගැනීම නෙමෙයි. මම මෙහි කරන සේවය කවදාවත් නිෂ්ඵල වෙන්නේ නැහැ.”
“බෙතෙල් එකේ සේවය කරද්දී මගේ හැකියාවන් යෙහෝවා වෙනුවෙනුත් මගේ සහෝදරයන් වෙනුවෙනුත් යොදවන්න ලැබෙන නිසා මට ලොකු සතුටක් දැනෙනවා.”
“මම කලින් රැකියාවක් කළා. ඒත් මට එයින් සැබෑ ප්‍රීතියක් ලැබුණේ නැහැ. මගේ සහෝදර සහෝදරියන් සමඟ සේවය කිරීමටත් ඔවුන් වෙනුවෙන් මට කළ හැකි සෑම දෙයක්ම කිරීමටත් මම අවුරුදු ගණනාවක් පුරා සිහින මැව්වා. දැන් මගේ සිහිනය සැබෑ වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වුණ අවස්ථාව මට දැන් ලැබිලා තියෙනවා. මෙහිදී මම දරන සෑම වෑයමක් මගින්ම අනිත් අයට ආත්මික ප්‍රයෝජන ලැබෙන බවත් යෙහෝවාව ප්‍රශංසාවට පත් කරන්න පුළුවන් බවත් දන්න නිසා එයින් මම ලොකු සතුටක් ලබනවා.”