සුළඟින් මුවා වෙන ස්ථානයක්
යුරෝපයේ උස් කඳු බිම්වල දක්නට ලැබෙන ශක්තිමත් මල් පඳුරු විශේෂයක් හඳුන්වනු ලබන්නේ ඇල්පයින් රෝස (මහ රත්මල් විශේෂයක්) යනුවෙනි. උස් බිම්වල හමන සැඩ සුළඟින් ආරක්ෂා වීම සඳහා මේවා පොළවට ඉතා සමීපව මිටි ඝන පඳුරු ලෙස එක ළඟ වැඩේ. මෙම සැඩ සුළඟ වායුගෝලයේ උෂ්ණත්වය අඩු කිරීමෙන්ද, වාතය හා පස වියළි කිරීමෙන්ද, ශාකයේ මුල් ගැළවී යන තරම් වේගයෙන් හැමීමෙන්ද ශාකයේ පැවැත්මට තර්ජන එල්ල කරයි.
විනාශකාරි සුළඟින් බේරීමට ඇල්පයින් රෝස ගස කඳු විවර අතර ඇති පස්වල වැඩේ. කඳු විවරවල ඇත්තේ පස් ස්වල්පයක් වුවද ඒවා පැළයට ආරක්ෂාව සපයන අතර අවශ්‍ය ජලය රඳවා තබාගැනීමටද උපකාර කරයි. අවුරුද්දේ බොහෝ කාලයක් සැඟවී ඉන්නා මේ ඇල්පයින් රෝස ගස ග්‍රීෂ්ම ඍතුවේදී රතු මලින් බර වී මුළු කඳුකරයම සරසයි.
ප්‍රොපේත යෙසායා පැහැදිලි කළේ ‘අධිපතීන්ව’ දෙවි විසින් පත් කරනු ලබන බවත්, ඔවුන් “සුළඟින් මුවා වෙන ස්ථානයක්” වන බවත්ය. (යෙසායා 32:1, 2, NW) රජ වූ ක්‍රිස්තුස් යේසුස්ගේ අධීක්ෂණය යටතේ මෙම ආත්මික අධිපතීන් හෝ අවේක්ෂකයන්, අන් අයගේ දුකේදී හා පීඩාවේදී ශක්තිමත් පර්වත වෙනවාට කිසිම සැකයක් නොමැත. අවේක්ෂකයන් අන් අයගේ විපත්තියේදී රැකවරණයක් වෙනවා පමණක් නොව, ඔවුන්ගේ ආත්මිකත්වය පවත්වාගැනීමට අවශ්‍ය දේවවචනයේ ඇති ආත්මික ජලය රඳවාගැනීමටත් උපකාර කරනු ඇත.
පීඩා, පසුබට වීම් හෝ අසනීප තත්වයන්, ක්‍රිස්තියානියෙකුට මුහුණ පෑමට සිදු වන තද සුළං පහරක් හා සමානයි. මෙයින් ආරක්ෂා වන්නේ නැත්නම් අපේ ඇදහිල්ල සුළඟට අසු වී පර වී යා හැකියි. මෙවැනි අවස්ථාවලදී ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට ආරක්ෂාව දිය හැකි ක්‍රම නම් හොඳින් සවන් දීම, බයිබලය මත පදනම් උපදෙස් ලබා දීම, දිරිගැන්වීම හෝ ප්‍රායෝගික උපකාර ලබා දීමයි. ඔවුන්ගේ පත් කරන ලද රජ වන ක්‍රිස්තුස් යේසුස් කටයුතු කළා හා සමානව ‘විසිර සිටින්නන්ට’ උපකාර කිරීමට ඔවුහු ආශාවෙන් සිටිති. (මතෙව් 9:36) බොරු ඉගැන්වීම් නමැති චණ්ඩ මාරුතයට අසු වී සිටින්නන්ට සහාය වන්නට ඔවුන් දක්වන්නේ ඉමහත් කැමැත්තකි. (එපීස 4:14) නියමිත වේලාවට ලැබෙන එවැනි කදිම උපදෙස් ඉතා අගේය.
“මම ජීවිතයේ ඉතා අප්‍රසන්න කාලපරිච්ඡේදයකට මුහුණ දුන්නා. මගේ ළඟම යහළුවන් සභාවෙන් අයින් වුණා. ඒ කාලයේදීම මගේ පියාගේ මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමක් සිදු වුණා” යැයි මිරියම් පැවසුවාය. “මුහුණ පෑමට සිදු වූ පීඩාකාරි තත්වයෙන් ගොඩ ඒම සඳහා මම ලෝකයේ පුරුෂයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන්ගත්තා. ඉන් ටික කලකට පසු මම නොවටිනා පුද්ගලයෙක් කියා හැඟුණු නිසා, සභාවෙන් අයින් වෙන්න තීරණය කර තිබෙනවා කියා වැඩිමහල්ලන්ට දැන්නුවා. මා එසේ කළේ මා කළ දේවල් නිසා යෙහෝවා මට ප්‍රේම නොකරන බව මට හිතුණ නිසයි.
“මේ දුක්බර කාලයේදී ප්‍රේමනීය වැඩිමහල්ලෙක් මට මතක් කර දුන්නා, මම කාලයක් ස්ථාවර පුරෝගාමියෙක් ලෙස යෙහෝවාට කළ සේවය ගැන. මගේ ඇදහිලිවන්ත සේවය ඔහු නිතරම අගය කළ බව කිව්වා. ඒ වගේම යෙහෝවා දක්වන ප්‍රේමය ගැන සහතික වීමට මේ අවස්ථාවේදී වැඩිමහල්ලන්ට මට උදව් කරන්න අවස්ථාව දෙන මෙන්ද ඉල්ලා සිටියා. ඔවුන් දැක්වූ ප්‍රේමනීය සැලකිල්ල, ආත්මික සැඩ සුළඟකට අසු වී සිටින කෙනෙකුට ‘මුවා වෙන්න පුළුවන් ස්ථානයක්’ වගෙයි. මාසයක් ඇතුළත මම ප්‍රේම සම්බන්ධය නතර කළ අතර එදා පටන් දිගටම සත්‍ය මාර්ගයේ ගමන් කරමින් සිටිනවා.”
නිසි කලට අවශ්‍ය උපකාරය සපයා දීම හේතුවෙන් ක්‍රිස්තියානීන් ආත්මිකව විකසිත වෙනවා දැකීම වැඩිමහල්ලන්ගේ ඉමහත් සතුටට හේතුවක් වේ. මෙම “මුවා වෙන ස්ථාන” අප ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලන සමයේදී අද්දකින මහත් ආත්මික උපකාරයේ පෙර දැක්මක් පමණි.