සේවයේ යන විට කල්පනාකාරී වෙන්න!
1. අපි කල්පනාකාරීව සේවයේ යෙදෙන්න ඕනේ ඇයි?
1 යෙහෝවා දෙවිගේ සෙනඟ ‘වෘකයන් මැදට යන බැටළුවන්’ වගේ “වංක, නොමඟ ගිය මිනිස් පරම්පරාවක් අතරේ” දේශනා කරනවා. (මතෙ. 10:16; ෆිලි. 2:15) කෝලහල, අපරාධ, පැහැරගෙන යෑම් වගේ භයානක පුවත් දවසින් දවස වැඩි වෙනවා. ඒකෙන් පේන්නේ දුෂ්ට මිනිසුන් ‘තව තවත් නරක අතට හැරෙනවා’ කියන එකයි. (2 තිමෝ. 3:13) දේවසේවයේ යන කොට “සුපරීක්ෂාකාරී” වීමට අපිට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?—මතෙ. 10:16.
2. වෙන තැනක සේවය කරන එක ඥානවන්ත වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?
2 ඥානවන්ත වෙන්න: ‘බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙනවා’ කියලා හිතෝපදේශ 22:3හි සඳහන් වෙනවා. ඒ නිසා නිතරම කල්පනාකාරීව කටයුතු කරන්න! සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නැති ප්‍රදේශයක වුණත් හිටි හැටියේම මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. සමහරවිට මිනිස්සු හෙමින් හෙමින් කල්ලි ගැහෙනවා ඔබ දකියි. අපි ගැන සැලකිලිමත් ගෙහිමියෙක් ඒ ගැන අපිට අනතුරු අඟවන්න පුළුවන්. ඒ වගේ වෙලාවක, මොකක්ද වෙන්නේ කියලා බලබලා ඉන්නේ නැතුව ඉක්මනින් එතැනින් ඉවත් වෙලා වෙන තැනක සේවය කරන එක නුවණට හුරුයි. ඒ වගේම මිනිසුන් ගැවසෙන තැන්වල සේවය සඳහා එකතු වෙන එකෙනුත් අපි වැළකෙන්න ඕනේ. මොකද අපිට විරුද්ධකම් කරන අයගේ අවධානයට ලක් වෙලා අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.—හිතෝ. 17:14; යොහ. 8:59; 1 තෙස. 4:11.
3. දේශනාකාරයා 4:9හි තියෙන ප්‍රතිපත්තිය සේවයට අදාළ වෙන්නේ කොහොමද?
3 එකට වැඩ කරන්න: ‘එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳයි’ කියලා දේශනාකාරයා 4:9 කියනවා. සමහරවිට තනියම සේවයේ ගිහින් ඔබට පුරුදු ඇති. නමුත් දැන් තනියම සේවයේ යන එක ආරක්ෂාකාරීද කියලා කල්පනා කරලා බලන්න. සමහර ප්‍රදේශවල තනියම සේවය කරන්න පුළුවන්. නමුත් තවත් ප්‍රදේශවල විශේෂයෙන්ම හවස් වුණාට පස්සේ සහෝදරියකට හෝ යෞවන කෙනෙකුට තනියම සේවය කරන එක අනතුරුදායක වෙන්න පුළුවන්. තවත් කෙනෙකු සමඟ සේවයේ යන එක හුඟක් ආරක්ෂාකාරී දෙයක් කියලා අද්දැකීම්වලින් ඔප්පු වෙලා තියෙනවා. (දේශ. 4:10, 12) කණ්ඩායමේ අනිත් අය ගැනත් සැලකිලිමත් වෙන්න. ඔබ සේවය නවත්වනවා නම් යන්න කලින් කණ්ඩායමේ එක් කෙනෙකුටවත් දන්වා යන එක පුරුද්දක් කරගන්න.
4. අපේ සභාවේ ඉන්න හැමෝගෙම ආරක්ෂාව ගැන හිතන්න අපිට පුළුවන් කොහොමද?
4 අපි “ගැන සෝදිසියෙන්” ඉන්න අය හැටියට අපිට හොඳ මඟ පෙන්වීම් ලබා දීම වැඩිමහල්ලන්ගේ වගකීමක්. (හෙබ්‍රෙ. 13:17) අපි නිහතමානී වෙලා ඒගොල්ලන්ට සහයෝගය දෙනවා නම් යෙහෝවා දෙවි අපිට ආශීර්වාද කරනවාට සැකයක් නැහැ. (මීකා 6:8; 1 කොරි. 10:12) යෙහෝවා දෙවිගේ සේවකයන් වන අපි හැමෝම උද්යෝගයෙන් දේශනා කරන්න අධිෂ්ඨාන කරගමු. ඒත් එක්කම සේවයේදී කල්පනාකාරී වෙන්නත් වගබලා ගමු.