ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • dg 11 කොටස 28-32 පි.
  • පාරාදීස පොළොවේ ජීවත් වීමට නියමිත අලුත් සමාජය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාරාදීස පොළොවේ ජීවත් වීමට නියමිත අලුත් සමාජය
  • අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සැබෑ සහෝදරත්වයක්
  • දෙවිගේ සේවකයන්ව හඳුනාගනිමු
  • ඔවුන්ව හඳුනාගැනීමට තවත් සාධකයක්
  • යක්ෂයා නැඟූ චෝදනාවට පිළිතුරක්
  • ඔබගේ තීරණය කුමක්ද?
  • යෙහෝවඃවහන්සේ—අරමුණක් සහිත දෙවිඳාණෝ
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එක්සත් සහෝදරත්වයක්
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • “බලව! මම සියල්ලම අලුත් කරමි”
    “බලව! මම සියල්ලම අලුත් කරමි”
අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
dg 11 කොටස 28-32 පි.

11වන කොටස

පාරාදීස පොළොවේ ජීවත් වීමට නියමිත අලුත් සමාජය

1, 2. බයිබලයේ සඳහන් ආකාරයට අපගේ කාලයේදී සිදු වන්නේ කුමක්ද?

යක්ෂයාගේ පාලනය යටතේ පවතින සමාජය පිරිහෙමින් පවතින මේ කාලයේදීම පාරාදීස පොළොවේ ජීවත් වීමට දෙවි මිනිසුන්ව සූදානම් කරමින් සිටිනවා. ඒ ගැන අප කොතරම් ප්‍රීති විය යුතුද! සියලු ජාතීන්ගෙන් දෙවි තෝරාගෙන තිබෙන ඒ පිරිස යක්ෂයාගේ දුෂ්ට සමාජය පහව ගිය පසුව පාරාදීස පොළොවේ ජීවත් වන අලුත් මිනිස් සමාජය බවට පත් වෙනවා. එම අලුත් මිනිස් සමාජය බයිබලයේ හඳුන්වා තිබෙන්නේ “අලුත් පොළොවක්” ලෙසයි.—2 පේතෘස් 3:13.

2 මේ කාලයේදී මිනිසුන් දෙවි වෙතට එක්රැස් වන ආකාරය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘අවසාන කාලයේදී, [එනම් අපි ජීවත් වන මේ කාලයේදී] බොහෝ ජනයා මෙසේ කියන්නෝය. ජනයෙනි, එන්න. අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. [එනම් සැබෑ නමස්කාරයේ හවුල් වෙමු] එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි. අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.’—යෙසායා 2:2, 3.

3. (අ) යෙසායා පොතේ සඳහන් අනාවැකිය අදාළ වෙන්නේ කාටද? (ආ) ඔවුන් ගැන එළිදරව් පොතේ සඳහන් වෙන්නේ කුමක්ද?

3 යෙසායා පොතේ සඳහන් ආකාරයට ‘දෙවිගේ මාර්ගවලට’ අනුව ජීවත් වන ‘ඔහුගේ මාවත්වල හැසිරෙන’ අය කවුද? ඒ දෙවිගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වන අයයි. සාමයට ප්‍රිය කරන ඔවුන්ව එළිදරව් පොතේ හඳුන්වා තිබෙන්නේ “මහත් සමූහයක්” ලෙසයි. ඒ සමූහයට “සියලු ජාතීහුද ගෝත්‍රද ජනයාද සියලු භාෂා කතා කරන අයද” අයත් වෙනවා. එමෙන්ම ඔවුන් “මහත් පීඩාවෙන් බේරී එන” බවත් එහි සඳහන් වෙනවා. ඉන් අදහස් වෙන්නේ මෙම දුෂ්ට සමාජය විනාශ වන විට ඔවුන් ඉන් ගැලවෙන බවයි.—එළිදරව් 7:9, 14; මතෙව් 24:3.

සැබෑ සහෝදරත්වයක්

4, 5. ලොව පුරා විසිරී සිටින සාක්ෂිකරුවන්ට සැබෑ සහෝදරත්වයකින් කටයුතු කිරීමට හැකි වී තිබෙන්නේ ඇයි?

4 ලොව වටා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න උපරිම වෑයමක් දරනවා. ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින්නේ මේ පොළොව පාරාදීසයක් වූ පසුව එහි සදහටම ජීවත් වීමටයි. ඔවුන් ජීවිතයේ සෑම කාරණයකදීම දෙවිට කීකරු වීමෙන් පෙන්වන්නේ දැනුත් අනාගතයේදීත් දෙවිගේ පාලනයට කැමැත්තෙන්ම යටත් වීමට ඔවුන් සූදානමින් සිටින බවයි. ඔවුන් විවිධ රටවල ජීවත් වුණත් කුමන ජාතියකට අයත් වුණත් බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති ඔවුන් සියලුදෙනාම එක සේ අදාළ කරගන්නවා. ඔවුන් අතර සැබෑ සහෝදරත්වයක් තිබෙනවා කියා පවසන්නේ ඒ නිසයි. ඇත්තෙන්ම ඔවුන් දෙවිගේ මඟ පෙන්වීමෙන් බිහි වී තිබෙන අලුත් සමාජයක් කියා පැවසිය හැකියි.—යෙසායා 54:13; මතෙව් 22:37, 38; යොහන් 15:9, 14.

5 ලොව පුරා විසිරී සිටියත් සැබෑ සහෝදරත්වයකින් කටයුතු කිරීමට තමන්ට හැකි වී තිබීම ගැන සාක්ෂිකරුවන් යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා. ඊට හේතුව ඔවුන්ට එලෙස කටයුතු කිරීමට හැකි වී තිබෙන්නේ දෙවිගේ බලයේ උපකාරය නිසා බව සාක්ෂිකරුවන් හොඳින්ම තේරුම්ගෙන සිටීමයි. (ක්‍රියා 5:29, 32; ගලාති 5:22, 23) “මිනිසුන්ට කරන්න බැරි දේවල් දෙවිට කරන්න පුළුවන්” කියා යේසුස් පවා එක අවස්ථාවකදී පැවසුවා. (ලූක් 18:27) සාක්ෂිකරුවන් අතර සදහටම පවතින සහෝදරත්වයක් ඇති කළේ විශ්වය සදහටම පවතින ලෙස නිර්මාණය කළ යෙහෝවා දෙවි විසින්මයි.

6. සාක්ෂිකරුවන් අතර තිබෙන සහෝදරත්වය දෙවි සිදු කර තිබෙන ආශ්චර්යයක් කියා පැවසිය හැක්කේ ඇයි?

6 යෙහෝවා දෙවි අද සිටින ඔහුගේ සේවකයන්ව මෙහෙයවන ආකාරයෙන් පාරාදීස පොළොවේදී ඔහු කොයි ආකාරයෙන් පාලනය කරයිද කියා අපට තේරුම්ගත හැකියි. දෙවි තම සේවකයන් අතර කිසිදා කැඩී නොයන බැඳීමක් ඇති කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රටවල් 236ක විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සැබෑ සහෝදරත්වයකින් කටයුතු කරනවා. ඒ නිසා ඔවුන් අතර කිසිම භේදයක් නැති අතර ඔවුන්ගේ සහෝදරත්වය බිඳ දැමීමට කිසිම දෙයකට හැකියාවක්ද නැහැ. ඇත්තෙන්ම එය යෙහෝවා දෙවි සිදු කර තිබෙන ආශ්චර්යයක් කියා පැවසිය හැකියි.—යෙසායා 43:10, 11, 21; ක්‍රියා 10:34, 35; ගලාති 3:28.

දෙවිගේ සේවකයන්ව හඳුනාගනිමු

7. යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගත හැක්කේ කෙසේද?

7 පාරාදීස පොළොවේ ජීවත් වීමට දෙවි තෝරාගෙන තිබෙන අයව හඳුනාගත හැක්කේ කෙසේද? ඔවුන් යේසුස් පැවසූ මෙම ආඥාව පිළිපදින අය විය යුතුයි. “මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.” (යොහන් 13:34, 35) ලොව පුරා සිටින සාක්ෂිකරුවන් එම ආඥාව පිළිපදිනවා. ඒ නිසා “එකිනෙකා සඳහා බලවත් ප්‍රේමයක් ඇතුව” සිටීමට ඔවුන් හැකි සෑම දෙයක්ම කරනවා. (1 පේතෘස් 4:8) එමෙන්ම ඔවුන් බයිබලයේ සඳහන් මෙම ආඥාවත් හොඳින් සිතට ගෙන තිබෙනවා. “ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි. මන්ද එක්සත්කමට දායක වන හොඳම බැඳීම එයයි.” (කොලොස්සි 3:14) ඒ අනුව ලොව පුරා සිටින සාක්ෂිකරුවන්ට සැබෑ සහෝදරත්වයක් ඇතුව කටයුතු කිරීමට හැකි වී තිබෙන්නේ ඔවුන් අතර තිබෙන ප්‍රේමය නිසයි.

8. දෙවිගේ සේවකයන්ව හඳුනාගැනීමට 1 යොහන් 3:10-12 උපකාරවත් වන්නේ කෙසේද?

8 බයිබලයේ සඳහන් මේ දෙය සලකා බලන්න. “දෙවිගේ දරුවන් සහ යක්ෂයාගේ දරුවන් හඳුනාගත හැක්කේ මෙලෙසය. ධර්මිෂ්ඨකම් නොකරන, තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන කිසිවෙක් දෙවිගේ මඟ පෙන්වීමට යටත් කෙනෙකු නොවේ. මන්ද මුල සිටම ඔබට ඇසුණු පණිවිඩය නම් අප එකිනෙකාට ප්‍රේම කළ යුතුයි යන්නය. තම සහෝදරයාව මැරූ දුෂ්ටයාගේ බලපෑමට හසු වූ කායින් මෙන් අප නොවිය යුතුයි.” (1 යොහන් 3:10-12) සාක්ෂිකරුවන් එම බයිබල් පදයට අනුව කටයුතු කරන නිසා ඔවුන් එකිනෙකාට සතුරුකම් පාන්නේ නැහැ.

ඔවුන්ව හඳුනාගැනීමට තවත් සාධකයක්

9, 10. (අ) දෙවිගේ සේවකයන්ව හඳුනාගත හැක්කේ ඔවුන් නියැලෙන කුමන කාර්යයෙන්ද? (ආ) ඔවුන් මතෙව් 24:14ට එකඟව ක්‍රියා කර ඇත්තේ කෙසේද?

9 දෙවිගේ සේවකයන්ව හඳුනාගැනීමට උපකාරවත් වන තවත් සාධකයක් සලකා බලමු. මෙම දුෂ්ට සමාජයේ අවසානය හඳුනාගැනීමට උපකාරවත් වන සිදුවීම් කිහිපයක්a ගැන යේසුස් සඳහන් කළ විට ඔහු මෙසේද පැවසුවා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”—මතෙව් 24:14.

10 යේසුස් පැවසූ ඒ දේ අද ඉටු වෙනවාද? ඔව්. වර්ෂ 1914න් ඇරඹුණු අවසන් කාලපරිච්ඡේදයත් සමඟම සාක්ෂිකරුවන් යේසුස් දී තිබෙන මඟ පෙන්වීම්වලට එකඟව ගෙයින් ගෙට ගොස් දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරනවා. (මතෙව් 10:7, 12; ක්‍රියා 20:20) මෙම සේවයට සාක්ෂිකරුවන් ලක්ෂ ගණනක් සහභාගි වෙනවා. එයට දෙවිගේ රාජ්‍යය පිළිබඳව නොයෙකුත් පොත් පත් මුද්‍රණය කර බෙදාහැරීමත් ඇතුළත්. මෙම සඟරාව ඔබ අතට පත් වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. අවසානය පැමිණෙන්න “කලින්” මෙම දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය ඉටු කළ යුතුයි කියා බයිබලයේ සඳහන් වෙනවා. (මාක් 13:10) නමුත් සාක්ෂිකරුවන් හැර දෙවිගේ රාජ්‍යය ගැන ගෙයින් ගෙට ගොස් දේශනා කරන වෙනත් පිරිසක් ඔබ දැක තිබෙනවාද?

යක්ෂයා නැඟූ චෝදනාවට පිළිතුරක්

11. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙවිගේ පාලනය පිළිගැනීමෙන් ඔප්පු කර තිබෙන්නේ කුමක්ද?

11 යක්ෂයා පැවසුවේ මිනිසුන් පීඩා ප්‍රශ්නවලට මුහුණ දෙන විට දෙවිට විශ්වාසවන්තව සිටින්නේ නැහැ කියායි. (යෝබ් 2:1-5) නමුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සෑම අවස්ථාවකදීම දෙවිගේ නීතිවලට හා ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමෙන් යක්ෂයා නැඟූ එම චෝදනාව බොරුවක් බව ඔප්පු කර තිබෙනවා. ලොව පුරා විසිරී සිටින සංවිධානයක් ලෙස ඔවුන් සියලුදෙනාම දෙවිට විශ්වාසවන්තව සිටිනවා. ඔවුන් අතින් යම් අඩුපාඩුකම් සිදු වුණත් යක්ෂයා ඔවුන්ට එරෙහිව ගෙනෙන පීඩා හමුවේ ඔවුන් දෙවිගේ පාලනය පිළිගන්නවා.

12. දෙවිට විශ්වාසවන්තව සිටීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් අනුකරණය කරන්නේ කාවද?

12 අද දින සිටින ලක්ෂ සංඛ්‍යාත සාක්ෂිකරුවන් දෙවිට විශ්වාසවන්තව සිටීම සම්බන්ධයෙන් පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් තැබූ ආදර්ශයන් අනුකරණය කරනවා. ආබෙල්, නෝවා, යෝබ්, ආබ්‍රහම්, සාරා, ඊසාක්, යාකොබ්, දෙබොරා, රූත්, දාවිත් සහ දානියෙල් ඒ අතරින් කිහිපදෙනෙක් පමණයි. (හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදය) බයිබලයේ ඔවුන්ව හඳුන්වා තිබෙන්නේ ‘විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහයක්’ ලෙසයි. (හෙබ්‍රෙව් 12:1) ඔවුන් ඇතුළු යේසුස්ගේ ගෝලයන්ද පීඩා හමුවේ දෙවිට විශ්වාසවන්තව සිටියා. කොහොමවුණත් දෙවිට විශ්වාසවන්තව සිටීමේ විශිෂ්ටතම ආදර්ශකයා ලෙස යේසුස්ව හැඳින්විය හැකියි.

13. යක්ෂයා ගැන යේසුස් පැවසුවේ කුමක්ද? එය සැබෑවක් වී තිබෙන්නේ කෙසේද?

13 මිනිසුන් දෙවිට විශ්වාසවන්තව සිටින්නේ නැහැ කියා යක්ෂයා නැඟූ චෝදනාව බොරුවක් බව දැනටමත් ඔප්පු වී තිබෙනවා. ඒ නිසා යක්ෂයා ගැන පුරාණයේ සිටි ආගමික නායකයන්ට යේසුස් මෙවැනි දෙයක් පැවසීම ගැන අප පුදුම විය යුතු නැහැ. “ඔබ උත්සාහ කරන්නේ දෙවිගෙන් ඇසූ සත්‍යය ගැන ඔබට කියා දුන් මිනිසෙකු වන මාව මරා දමන්නයි.” “ඔබේ පියා යක්ෂයායි. ඔබ කැමති වන්නේ ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීමටයි. ඒ තැනැත්තා නොමඟ ගිය දා සිට මිනී මරුවෙක්. ඔහු වංචාවෙන් පිරී ඇති නිසා ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ. ඔහු තුළ බලපවත්වන්නේ බොරුවයි. ඒ නිසා ඔහු පවසන්නේ බොරු පමණයි. මන්ද ඔහු බොරුකාරයෙක්. බොරුවේ පියායි.”—යොහන් 8:40, 44.

ඔබගේ තීරණය කුමක්ද?

14. සාක්ෂිකරුවන්ගේ වර්ධනය ගැන පැවසිය හැක්කේ කුමක්ද?

14 පාරාදීස පොළොව උරුම කර දීම සඳහා දෙවි තෝරාගෙන තිබෙන ඔහුගේ සාක්ෂිකරුවන් අතරට මිනිසුන් දිනෙන් දින එකතු වෙනවා. සියදහස් ගණන්දෙනා බයිබලයේ සඳහන් නිවැරදි දැනුම ලබාගත් පසු කැමැත්තෙන්ම දෙවිගේ පාලනයට යටත් වීමට තීරණය කර තිබෙනවා. ඔවුන් සියලුදෙනාගේම අධිෂ්ඨානය වන්නේ දෙවිගේ පාලනයට යටත් වෙමින් යක්ෂයා බොරුකාරයෙකු බව ඔප්පු කිරීමයි.

15. අනාගතයේදී මිනිස් වර්ගයා මුහුණ දීමට නියමිත විනිශ්චය කුමක්ද?

15 දෙවිගේ පාලනය පිළිගන්නා අයට හා පිළි නොගන්නා අයට සිදු වන දේ ගැන බයිබලයේ මෙසේ සඳහන් කර තිබෙනවා. “සියලු ජාතීන් ඔහු [එනම් යේසුස්] ඉදිරියට රැස් කරනු ලබයි. ඉන්පසුව එඬේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නා සේ ඔහු මිනිසුන්ව වෙන් කරයි. ඔහු බැටළුවන්ව තම දකුණු පැත්තටත් එළුවන්ව තම වම් පැත්තටත් දමයි.” (මතෙව් 25:31-46) එම බැටළුවන්ගෙන් නියෝජනය වන්නේ දෙවිගේ පාලනයට යටත් වෙමින් යේසුස්ගේ සහෝදරයන්ට අත හිත දුන් නිහතමානී මිනිසුන්වයි. එළුවන්ගෙන් නියෝජනය වන්නේ යේසුස්ගේ සහෝදරයන්ව ප්‍රතික්ෂේප කරමින් දෙවිගේ පාලනයට කොයි ලෙසකින්වත් සහයෝගය නොදුන් මිනිසුන්වයි. ඒ දෙපිරිසට අවසානයේදී සිදු වෙන්නේ කුමක්ද? යේසුස් පැවසූ මේ වදන්වලින් ඊට පිළිතුර පැහැදිලි වෙනවා. “ඔවුන්ට [එනම් දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කරන අයට] හිමි වන්නේ සදාකාල මරණයයි. නමුත් ධර්මිෂ්ඨයන්ට [එනම් දෙවිගේ පාලනය පිළිගන්නා අයට] සදාකාල ජීවනය හිමි වෙයි.”—මතෙව් 25:31-46.

16. පාරාදීස පොළොවේ ජීවත් වීමට නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

16 ඇත්තෙන්ම දෙවි අප ගැන ඉතා සැලකිලිමත්. ඒ නිසා ඔහු ඉතා ළඟදීම මේ පොළොව පාරාදීසයක් බවට පත් කරනවා. ඒ පාරාදීසයේ ජීවත් වෙන්න ඔබත් කැමතිද? එසේනම් යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන ඔහු කැමති ආකාරයෙන් ජීවත් වීමට උත්සාහ කරන්න. ඒ ගැන බයිබලයේ සඳහන් කර තිබෙන්නේ මෙසේයි. ‘යෙහෝවා දෙවිට ළං වීමට ප්‍රස්තාව තිබියදී ඔහුගේ මඟ පෙන්වීම් පතන්න. ඔහු සවන් දෙන කල ඔහුට හඬගසන්න. දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා! කුරිරු තැනැත්තා තම හානිකර සිතුවිලි වෙනස් කරගනීවා! එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වනු ඇත.’—යෙසායා 55:6, 7.

17. දෙවි ගැන ඉගෙනගැනීමට තිබෙන මේ කාලය අපතේ නොයැවිය යුත්තේ ඇයි?

17 බයිබලයේ සඳහන් මෙම වදන් සලකා බලන්න. ‘මේ ලෝකයටවත් මෙහි තිබෙන දේවලටවත් ඇල්මක් නොදක්වන්න. යමෙක් මේ ලෝකයේ තිබෙන දේවලට ඇල්මක් දක්වනවා නම් පියාණන් සඳහා ප්‍රේමයක් ඔහු තුළ නැත. මේ ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යන්නේය. නමුත් සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයාය.’ (1 යොහන් 2:15-17) ඒ අනුව ළඟදීම මේ දුෂ්ට සමාජය විනාශ වී යන නිසා දෙවි ගැන ඉගෙනගැනීමට ඉතිරි වී තිබෙන කාලය අපතේ නොයවා ඉන් උපරිම ප්‍රයෝජන ලබාගන්න.

18. පාරාදීස පොළොවේ ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටීමට නම් ඔබ ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද?

18 පාරාදීස පොළොවේ ජීවත් වීම සඳහා දෙවි ඔහුගේ සේවකයන්ව මේ කාලයේදී පුහුණු කරමින් සිටිනවා. ඒ නිසා පොළොව පාරාදීසයක් කිරීම සඳහා අවශ්‍ය සියලුම කුසලතා දැන් සිට ඔවුන් ප්‍රගුණ කරගන්නවා. දෙවිගේ පාලනය පිළිගෙන මිනිසුන්ට ගැලවීම අත් කර දීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෝක ව්‍යාප්තව සිදු කරන වැදගත් කාර්යයට සහභාගි වෙන්න කියා අපි ඔබටත් ආරාධනා කරන්න කැමතියි. සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඔබ ගැන සැලකිලිමත් වන දෙවි ගැන ඉගෙනගන්න. එසේ කිරීමෙන් පාරාදීස පොළොවේ ජීවත් වීමට දෙවි තෝරාගෙන තිබෙන අය සමඟ එක් වෙන්න ඔබටත් හැකි වෙනවා. එවිට පාරාදීස පොළොවේ සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සන්තෝෂයෙන් සිටින්න ඔබට හැකි වෙනවා නියතයි.

[පාදසටහන]

a වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම සඟරාවේ 9වන කොටස බලන්න.

[31වන පිටුවේ පින්තූරය]

ලෝක ව්‍යාප්තව විසිරී සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සැබෑ සහෝදරත්වයකින් කටයුතු කරනවා

[32වන පිටුවේ පින්තූරය]

මේ පොළොව පාරාදීසයක් කිරීම සඳහා දැන් සිටම අවශ්‍ය දේවල් සිදු වෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න