ගෝලයන් වෙන්න උපකාර කරන්න සූදානමින් ඉන්න
1. ගැලවීම ලබන්න නම් මිනිසුන්ට අවශ්‍ය මොනවාද?
1 2014 සේවා වාර්තාවෙන් පේන්නේ දෙවිගේ සෙනඟ උද්යෝගයෙන් ශුභාරංචිය කියලා තියෙනවා කියලයි. (මතෙ. 24:14) ගෙයින් ගෙට සේවයෙන්, පත්‍රිකා සහ ආරාධනා පත්‍ර බෙදාහැරීමෙන්, මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීමෙන් කලින්ට වඩා පණිවිඩය දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒත් එක් එක් කෙනා ගැලවෙන්න නම් බයිබලය ගැන උගන්වලා ඔවුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න ඕනේ.—1 තිමෝ. 2:4.
2. බයිබල් පාඩම් පටන්ගන්න සූදානමින් ඉන්න නම් අපි හිතන්න ඕන මොන ප්‍රශ්න ගැනද?
2 බයිබල් පාඩම් පටන්ගන්න සූදානමින් ඉන්න: උනන්දුව දක්වන කෙනෙක්ව ආපහු හමු වෙන්න අවශ්‍ය තොරතුරු ගන්නත් ඉක්මනින්ම පාඩමක් පටන්ගන්නත් ඔබ වෑයම් කරනවාද? මුල්ම හමු වීමේදී පාඩමක් කරන විදිහ අන්තිම වතාවට පෙන්නුවේ කවදාද? පාඩමක් කරන්න කැමතිද කියලා සඟරා මාර්ගයකින් අන්තිමට ඇහුවේ කවදාද? රැකියා ස්ථානයේ හා පාසැලේ ඉන්න අයටත් අසල්වාසීන්ටත් නෑදෑ හිතමිතුරන්ටත් ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ කියන වීඩියෝ පෙන්නලා තියෙනවාද? පොත් පත් ප්‍රදර්ශනය කරලා සාක්ෂි දරද්දී පාඩම් කරන ප්රකාශනයක් ගන්න අයට නොමිලේ පවත්වන බයිබල් පාඩම ගැන කියනවාද?
3. සත්‍යය හොඳින් උගන්වන්න නම් අවශ්‍ය මොනවාද?
3 දෙවිගෙන් සහ යේසුස්ගෙන් උපකාර: “ගොස් . . . ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියලා යේසුස් කිව්වා. ‘යන්න’ නම් අපි වෑයමක් දරන්න ඕනේ. ඒත් ඔහු අපිව අතරමං කළෙත් නැහැ. අපි එක්ක ඉන්නවා කියලා පොරොන්දු වුණා. (මතෙ. 28:19, 20) ඒ වගේම අනිත් අයට සත්‍යය උගන්වන්න දෙවි ඔහුගේ බලයත් අවශ්‍ය පුහුණුවත් අවශ්‍ය දේවලුත් දීලා තියෙනවා. (සෙක. 4:6; 2 කොරි. 4:7) මේ වැදගත් සේවයේ හවුල් වෙන්න අපි තුළ ‘ආශාවක් මෙන්ම පෙලඹීමක්’ ඇති කරන්න කියලා යාච්ඤා කරන්න අපිට පුළුවන්.—ෆිලි. 2:13.
4. සත්‍යය උගන්වන්න සූදානමින් ඉන්න ඕන ඇයි?
4 ශුභාරංචිය කියන එක අපිට සතුටක්. කෙනෙක්ට සත්‍යය උගන්වලා ‘ජීවනය කරා යන පාරට’ ඇතුල් වෙන්න උදව් කරද්දී ඒ සතුට දෙගුණ තෙගුණ වෙනවා. (මතෙ. 7:14; 1 තෙස. 2:19, 20) ඊටත් වඩා, කෙනෙක්ට ගෝලයෙක් වෙන්න උදව් කරන්න සූදානමින් ඉන්න එකෙන් යෙහෝවා දෙවිව සතුටු කරන්නත් අපිට පුළුවන්. මොකද ඔහු කවුරුත් විනාශ වෙනවාට කැමති නැහැ.—2 පේතෘ. 3:9.