බයිබල් පාඩම් සාර්ථකව පවත්වමු
1. බයිබල් පාඩම් කරන ප්‍රචාරකයන්ට තියෙන වගකීම මොකක්ද?
1 දෙවිට සේවය කරන්න කෙනෙක් පෙලඹෙන්නේ යෙහෝවා දෙවි ඔහු තුළ “ආශාවක් ඇති කළොත්” විතරයි. (යොහ. 6:44) ඒත් ශිෂ්‍යයා දෙවිට ළං වෙන්න නම් බයිබල් පාඩම කරන ප්රචාරකයාත් වෑයමක් දරන්න ඕනේ. (යාකො. 4:8) නිකම්ම ඡේදය කියවලා පොතේ තියෙන ප්‍රශ්නේ ඇහුවාට ඒක වෙන්නේ නැහැ. ඒකට ප්‍රචාරකයා හොඳින් සූදානම් වෙන්න ඕනේ.
2. සාර්ථක බයිබල් පාඩමක ප්‍රතිඵලය මොකක්ද?
2 පාඩමක් සාර්ථක කරගන්න නම් ප්‍රචාරකයෙක් ශිෂ්‍යයාට (1) බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්නත් (2) ඒවා පිළිගන්නත් (3) පිළිපදින්නත් උදව් කරන්න ඕනේ. (යොහ. 3:16; 17:3; යාකො. 2:26) යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම ටිකෙන් ටික වැඩි කරගෙන ඔහුට කැප වෙන්න ශිෂ්‍යයාට ඒ පියවර තුන අත්‍යවශ්‍යයි. ඒ සඳහා මාස ගාණක් ශිෂ්‍යයාට උදව් කරන්න සිද්ධ වෙයි.
3. සාර්ථකව බයිබල් පාඩම් පවත්වන අය අදහස් විමසන ප්‍රශ්න අහන්නේ ඇයි?
3 ශිෂ්‍යයා හිතන්නේ මොනවාද? ඉගෙනගන්න දේවල් තේරුම් අරගෙන ඒවා පිළිගන්නවාද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ අපිම කතා නොකර ශිෂ්‍යයාට කතා කරන්න ඉඩ දුන්නොත් විතරයි. (යාකො. 1:19) සාකච්ඡා කරන කාරණය ගැන බයිබලයේ කියන දේ ඔහුට තේරෙනවාද? ඒක ඔහුගේම වචනයෙන් කියන්න පුළුවන්ද? ඉගෙනගත්ත දේ ගැන ඔහුට හැඟෙන්නේ කොහොමද? ඒ ගැන බයිබලයේ කියන දේ සාධාරණයි කියලා ඔහුට හිතෙනවාද? (1 තෙස. 2:13) ඒ අනුව ඔහුගේ ජීවිතයේ යම් වෙනස්කම් කරන්න ඕන කියලා තේරුම් අරන් ඉන්නවාද? (කොලො. 3:10) ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් අදහස් විමසන ප්‍රශ්න අහලා හොඳින් ඇහුම්කන් දෙන්න ඕනේ.—මතෙ. 16:13-16.
4. බයිබලයේ ඉගැන්වීමක් තේරුම්ගන්න හරි පිළිපදින්න හරි ශිෂ්‍යයෙක්ට අමාරු අවස්ථාවකදී මොකක්ද කරන්න ඕනේ?
4 කෙනෙක්ට තමන්ගේ පුරුදු සහ හිතන විදිහ වෙනස් කරගන්න කාලයක් යනවා. (2 කොරි. 10:5) ශිෂ්‍යයෙක් යම් දේවල් පිළිගන්නේ නැත්නම් හරි පිළිපදින්නේ නැත්නම් හරි මොනවද කරන්න ඕනේ? දේවවචනයෙන් ඉගෙනගන්න දේවල් ශිෂ්‍යයාගේ හදවතට කාවදින්නත් දෙවිගේ බලයේ උපකාරයෙන් ශිෂ්‍යයාගේ හිත පෙලඹෙන්නත් යම් කාලයක් යනවා. ඒ නිසා ප්‍රචාරකයා ඉවසිලිවන්ත වෙන්න ඕනේ. (1 කොරි. 3:6, 7; හෙබ්‍රෙ. 4:12) බයිබලයේ ඉගැන්වීමක් තේරුම්ගන්න හරි පිළිපදින්න හරි ශිෂ්‍යයෙක්ට අමාරු අවස්ථාවකදී ඒ දේ කරන්න බල නොකර වෙන විෂයක් ගැන සාකච්ඡා කරන එක හොඳයි. අපි ඉවසිලිවන්තව, ප්‍රේමණීයව බයිබලයේ තියෙන දේවල් දිගටම කියලා දෙද්දී ඔහු අවශ්‍ය වෙනස්කම් කරන්න ඉඩ තියෙනවා.