ප්රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 4වන කොටස:
සූදානම් වීමට ශිෂ්‍යයන්ව පුහුණු කරන්න
1 ශිෂ්‍යයෙක් පාඩම කලින් සූදානම් කරනවා නම්, පිළිතුරු ලකුණු කරනවා නම්, තමන්ගේම වචනවලින් අදහස් දැක්වීමට කල්පනා කරනවා නම් ඉක්මනින්ම ආත්මික ප්‍රගතියක් ලබනවා. එම නිසා පාඩමක් නොකඩවා කිරීමට පටන්ගත් විට සූදානම් වන කරන ආකාරය ශිෂ්‍යයාට පෙන්වීමට දෙදෙනාම එකතු වී පාඩමකට සූදානම් වන්න. ශිෂ්‍යයන් වැඩිදෙනෙකු සමඟ මුළු පරිච්ඡේදයක් හෝ පාඩමක් එකට සූදානම් කිරීම ඔවුන්ට උපකාරයක් වෙයි.
2 ලකුණු කිරීම් හා සටහන් කිරීම්: මුද්‍රිත ප්‍රශ්නවලට අදාළ පිළිතුරු සොයාගන්නා ආකාරය පැහැදිලි කරන්න. පාඩමට යොදාගන්නා පොතේ මූලික වචන හෝ වාක්‍ය ඛණ්ඩයන් පමණක් ඔබ ලකුණු කර තිබෙන ආකාරය ශිෂ්‍යයාට පෙන්වන්න. ඔබ පාඩමේ කරුණු සලකා බලන විට, පිළිතුර මතකයට නැඟීමට අවශ්‍ය කරන කරුණ පමණක් ඔහු තමාගේ පොතේ ලකුණු කරමින් ඔබේ ආදර්ශය අනුගමනය කරාවි. (ලූක් 6:40) ඉන්පසු ඔහුගේම වචනයෙන් පිළිතුරු දෙන්න කියා ඔහුට පවසන්න. එමගින් ඔහු කොතරම් දුරට පාඩම් කරන කරුණු තේරුම්ගත්තාද කියා බැලීමට හැකියාවක් ඔබට ලැබෙයි.
3 ශිෂ්‍යයෙකු පාඩමට සූදානම් වීමේදී උපුටා දක්වා නැති ශුද්ධ ලියවිලි පද ඉතා හොඳින් සෝදිසි කර බැලීම අත්‍යවශ්‍යයි. (ක්‍රියා 17:11) උපුටා දක්වා නැති සෑම පදයක්ම ඡේදයේ ඇති කරුණකට අදාළ වන ආකාරය තේරුම්ගැනීමට ඔහුට උපකාර කරන්න. ඔහුගේ පාඩම් පොතේ හිස් තීරුවල කෙටියෙන් යමක් සටහන් කළ හැකි ආකාරය පෙන්වන්න. ඔහු ඉගෙනගන්න දේට පදනම බයිබලය යන කාරණය ඒත්තු ගන්වන්න. පාඩම අතරතුර අදහස් දැක්වීමේදී උපුටා දක්වා නැති බයිබල් පදත් හැකි තරම් ඇතුළත් කරන්න ඔහුව දිරිගන්වන්න.
4 දළ අදහසක් ලබාගැනීම සහ පුනරීක්ෂණය: ශිෂ්‍යයා පාඩම ගැඹුරින් සූදානම් වීමට පෙර විෂය ගැන දළ අදහසක් ලබාගැනීම ඔහුට උපකාරවත් වෙයි. පරිච්ඡේදයේ මාතෘකාව, උප මාතෘකා සහ පින්තූර ආදිය බැලීමෙන් ඔහුට පාඩමේ තොරතුරු ගැන දළ අදහසක් ලබාගත හැකි බව පෙන්වා දෙන්න. ඔහුගේ සූදානම් වීම අවසාන කිරීමට පෙර පාඩමේ ප්‍රධාන කරුණු නැවත සලකා බැලීමට යම් කාලයක් ගැනීම නැණවත් දෙයක් බව ඔහුට පැහැදිලි කරන්න. ඒ සඳහා පුනරීක්ෂණ කොටුවක් ඇත්නම් එය යොදාගත හැකියි. එලෙස පුනරීක්ෂණය කිරීම, ඔහුට තොරතුරු මතකයේ රඳවාගැනීමට උපකාරවත් වෙයි.
5 තම පාඩම සඳහා හොඳින් සූදානම් වීමට ශිෂ්‍යයාව පුහුණු කිරීම මගින් සභා රැස්වීම්වලදී අර්ථාන්විතව අදහස් දැක්වීමට ඔහුට හැකි වෙයි. ඒවගේම ඔහුත් සමඟ කෙරෙන බයිබල් පාඩම අවසන් වූ පසුව පවා ඔහුට හොඳ අධ්‍යයන පුරුදු වර්ධන කරගැනීමට එය උපකාරවත් වෙයි.